සංචාරකයන් නැතිව වේළෙන සීගිරිය


 

 

“ගොල්ල වැඩි වෙලා කෙල්ල කණවැන්දුම් වුණා” වගේ සංචාරක කර්මාන්තයට සිදුවී ඇතැයි සීගිරියේ සංචාරක කර්මාන්තකරුවෝ පවසති.   


සීගිරිය ප්‍රදේශයේ 90% පමණ ජනතාව සංචාරක කර්මාන්තයෙන් සිය ජීවිකාව පවත්වාගෙන ගියද මේ වනවිට ඔවුහු බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ පා ඇතැයි කියති.   


ඔරු සෆාරි, කරත්ත සෆාරි, අලි සෆාරි, කැටයම් කලාව, කාමර ලබාදීම සහ තැඹිලි ගෙඩියක් අලෙවි කරන පුද්ගලයාගේ සිට සංචාරක මගපෙන්වන්නා දක්වාම දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව ඔවුහු පවසති.   


ඇතැම් කරත්ත සෆාරිකරුවන් තම කරත්තවල බැඳි ගොනුන් මස් කඩවලට අලෙවි කර ඇති බවත් කරත්ත සියල්ල දිරාපත් වී ඇති බවත් පවසති. ඇතැම් අය තමන්ට හැකි පමණින් එම සතුන් රැක ගනිමින් ද සිටිති.   


අලි සෆාරි සිදුකරගෙන යන පුද්ගලයන් කියා සිටියේ මසකට රුපියල් අසූ දාහකට ලක්ෂයකට ආසන්න මුදලක් අලින් ජීවත් කරවීම සඳහා වියදම් යන බවය.   
දැඩි ලෙස පාළු නගරයක් බවට සීගිරිය මේ වනවිටත් පත්වී හමාරය.   


ත්‍රිරෝද රථ රියදුරන් තවමත් සීගිරි ගල ඉදිරිපිට කුඩා ගල් කැබලිවල වාඩිවී විදේශිකයෙක් එනතුරු බලා සිට නැවත සුසුම් හෙළමින් නිවෙස්වලට යන බව පවසති.   
කැටයම් කර්මාන්තකරුවෝ මේ වනවිට කුලී වැඩවලට ගොස් ජීවත් වෙන බවත් කිසිදු ආදායමක් නොමැතිව සියලු‍ දෙනා අසරණ බවට පත්ව ඇතැයි ඔවුහු කියති.   


 දේශීය සංචාරක කර්මාන්තය නගාසිටුවීම හෝ එසේත් නොමැති නම් මෙම සංචාරක කර්මාන්තකරුවන් හට ජීවත්වීම සඳහා කුමන හෝ වැඩපිළිවෙළක් රජය මඟින් ක්‍රියාත්මක කළ යුතු බව සංචාරක කර්මාන්තයේ නියැලු‍න ජනතාව කියා සිටිති.  

 

 


ප්‍රේමරත්න ගමගෙදර මහතා:   


 “අද සීගිරියට වෙලා තියෙන්නේත් සංචාරක කර්මාන්තයට වෙලා තියෙන්නේත් ගොල්ල වැඩි වෙලා කෙල්ල කණවැන්දුම් වුණා වගේ වැඩක්. මොකද සංචාරක කර්මාන්තය නගාසිටුවන්න කාටවත් වුවමනාවක් නෑ. හැබැයි ආයතන රැසක් තියෙනවා. එම ආයතන නිලධාරීන් තම තමන්ගේ ‍ක්‍රියාකාරකම්වල නිරත වෙනවා. සංවර්ධනය විය යුත්තේ නගාසිටුවිය යුත්තේ සංචාරක ව්‍යාපාරය. හැබැයි සිද්ධවෙන්නේ වෙන වෙන අයගේ තීන්දු තීරණ නිසා ඒ අයගේ සංවර්ධනය විතරයි. අද වනවිට සීගිරියේ සියයට අනූනවයක්ම මිනිස්සුන්ට යන එන මං නැති වෙලා. කාමරයක් දීලා හම්බ කරගත්ත මිනිහගේ ඉඳලා ඉහළම සංචාරක හෝටලය කරපු අය දක්වාම කඩාවැටිලා. මේ වෙනකන් කිසිම කෙනෙක් ඇවිල්ලා සොයා බැලු‍වෙවත් නෑ. අපි දන්නවා මුළු ලෝකෙටම මේ තත්ත්වය තියෙනවා කියලා. හැබැයි හැම ක්‍ෂේත්‍රයක් පිළිබඳවම අවධානය යොමු කරනකොට මේ රටේ වැඩිම ආදායමක් ලබා ගත්තු සංචාරක කර්මාන්තයට අපි කරපු කැපකිරීම සහ අද අපිට රට කරන සැලකිල්ල ගැන කනගාටුවක් තියෙන්නේ.   

 


මේ ප්‍රදේශයේ තියෙන සියලු‍ම ලැගුම්හල් කඩාවැටිලා. ගරා වැටිලා. අඩුම තරමේ සුද්ද පවිත්‍ර කරන්නවත් හිතක් දෙන්නෙ නෑ. ඒ තරම් කනගාටුයි.”‍   


සීගිරිය ප්‍රදේශයේ කරත්ත සෆාරි පවත්වාගෙන ගිය චමින්ද හේරත් මහතා:   


“අපි සංචාරක කර්මාන්තය හරහා ජීවත් වෙච්ච අය. අපට බැංකු ලෝන් දෙනවා කිව්වා. විවිධ වරප්‍රසාද දෙනවා කිව්වා. හැබැයි ඒවා වචනවලට විතරක් සීමා වෙලා. අපි මේවා කතා කරන්නවත් කැමති නෑ. අපේ කරත්ත ටික දිරාපත් වෙනවා. තිබුණු පුංචි පැළ සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. පොල් අතු ටික දිරලා වේයෝ කාලා. ඇතැම් අය හරක් ටික මසට විකුණලා. අපි හරක් ටික යාළුවන්ගෙ උදව්වෙන් පුළුවන් විදියට කන්න දීලා රැකගෙන ඉන්නවා. හරකෙක් නඩත්තු කරන්න මාසෙකට රුපියල් 30,000ක්වත් යනවා. හැබැයි ඒකවත් හොයාගන්න විදිහක් නෑ. මොනවා වුණත් අපට කන්න දීපු සත්තු කැලේ කොළේ හරි දීලා බලාගෙන ඉන්නවා. අඩුම තරමේ අපි දැන් වේලක් ඇර වේලක් ආහාර ගන්න තත්ත්වෙට පත්වෙලා. මේක කියන්න කෙනෙක් නෑ. මොනවද කරන්නේ කියලා හිතෙන්නේ නෑ. දැන් අපි මානසික රෝගීන් බවට පත්වෙලා ඉන්නේ.”‍   


ජාතික සංචාරක මාර්ග උපදේශක සංගමයේ ජාතික සංවිධායක නාමල් ධනසේකර මහතා:   


 “මේ ආණ්ඩුව මුලින්ම ක්‍රියාත්මක කරන්න හදපු විදිය හොඳයි. ගත්තු උත්සාහයට අපි බොහොම ස්තූතිවන්ත වෙනවා. එදා සෆාරි ගියපු අයට සිද්ධ වෙච්ච අසාධාරණයත් එක්ක වර්තමානයේ විදේශිකයන් දිහා බලන්නවත් අපේ අය අකමැති වෙලා ඉන්නේ. නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නැතුව ආවට ගියාට මේක කරන්න බැහැ. අඩියෙන් අඩිය සංචාරක කර්මාන්තය දියුණු කරගන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අද ඒක වෙනුවට අපි සියලු‍ දෙනාම බඩගින්නෙ කුසගින්නේ ඉන්නේ. සංචාරක කර්මාන්තයෙ තැඹිලි ගෙඩිය විකුණන මනුස්සයාගේ ඉඳලා ජීවත් වෙච්ච අයට කුමන හෝ ආධාරයක් අනුබලයක් දෙන්න ඕන ජීවත් වෙන්න. මොකද ඒ අය පුළුවන් කාලේ මේ රටට ඩොලර්, යූරෝ හම්බ කරල දීපු අය.”‍   


මංජුල ප්‍රසාද් ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නියැළි තරුණ මහතෙකි.   


 “අපි සංචාරක කර්මාන්තයට එකතු වුණේ ගොවිතැන් බත් අතෑරල දාල, තියෙන වතුපිටි යම්කිසි විදියකට උගස් කරලා විකුණලා. සංචාරක ව්‍යාපාරය ඉතා හොඳට සාර්ථක වෙලා ආව. අන්තිමට සහරාන් ප්‍රහාරයත් එක්ක ආව කොරෝනා වසංගතය නිසා දැන් අපිට සම්පූර්ණයෙන්ම හත වැදිලා ඉවරයි. ඇතැම් අය නැවතත් ගොවිතැන්වලට යනවා. ව්‍යාපාර ඔක්කොම කඩා වැටිලා විනාස වෙලා. කරත්ත ටික දිරලා. මඩු ටික දිරලා. අඩුම තරමේ සතෙකුටවත් කන්න දෙන්න බැරි තරමටම අපි පත්වෙලා. අපි හදාගත්තු පුංචි කාමර ටික කටුමැටි දියවෙලා. පොල් අත්තක් බැඳ ගන්න බැරි තරමටම අපි විනාස වෙලා. අඩුම තරමේ මේ කරත්ත ටික, ඔරු ටික ආරක්ෂා කරගන්න පොල් අත්තක්වත් අරන් දෙන්න අපට කෙනෙක් නෑ. කටු මැටි ටික දියවෙලා පොල් අත්තක් තරම්වත් වහගන්න බෑ. මේක තමයි කර්මාන්තයේ විනාසය. හැබැයි මේවා හොයන්න බලන්න කිසිම කෙනෙක් එන්නෙත් නෑ. මාධ්‍ය විතරයි නිකමට හරි ඇවිල්ල බැලු‍වේ.”   


අලි සෆාරි පවත්වාගෙන යන කෝසල චින්තන මහතා.   


 “අපි සීගිරියේ අලි සෆාරි පවත්වාගෙන යන බොහෝ දෙනෙක් ඉන්නවා. අද සිද්ධ වෙලා තියෙන්නේ අලියා නඩත්තු කරගෙන බොහොම අමාරුවෙන් ජීවත් වීම විතරයි. දැන් අවුරුද්දකට ආසන්න වෙනවා. රුපියලක්වත් හොයල නෑ. අලියාව නඩත්තු කරන්න ඇත්ගොව්වන්ට පඩි ගෙවන්න රුපියල් අසූ දාහක් ලක්ෂයක් විතර මාසෙකට වියදම් යනවා. අලියා අපිට ඒ කාලයේ හොයල දුන්නු මුදල් ඉතුරු කරගෙන යම් මට්ටමකින් අලියව නඩත්තු කරගෙන එනවා.


දැන්නම් එ්කවත් කරගන්න බැරි තත්ත්වෙට පත්වෙලා. මොකද මේ හීලෑ අලින්ට කැලේ කොළ කාලා පුරුදු නෑ. ඒ අයට කිතුල්, පොල් අතු ගෙනල්ලා දෙන්න ඕන. ගෙනල්ල දෙන්නේ කොහොමද අපට ආදායමක් නැතුව. මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ. අලි අයිතිකාරයෝ සල්ලි ඉල්ලන්නේ නැහැ. කොහොමහරි අලිය බලාගන්න කියනවා. දැන් අලියා බලාගැනිල්ලත් අපට ගැටලු‍වක් බවට පත්වෙමින් පවතින්නේ.”‍   


සීගිරිය ත්‍රිරෝද රථ රියදුරකු ලෙස සේවය කරන විජය බණ්ඩාර මහතා.   


“අපි කාලයක් තිස්සේම සීගිරිය ගල ඉදිරිපිට ත්‍රිරෝද රථ දුවලා තමයි ජීවත් වුණේ. ඒ වගේ පවුල් රැසක් ජීවත් වෙනවා. අපි තවමත් උදේට ත්‍රීවිල් එක අරගෙන ඇවිල්ලා සීගිරිය ගල ඉස්සරහ නගරයේ නවත්තලා සීගිරිය ගල දෙස දිහා බලාගෙන පුංචි ගල්වල වාඩිවෙලා ඉන්නවා පුදුමාකාර දුකකින්.   


හයර් එකක් දුවන්න මේ ප්‍රදේශයේ මිනිස්සුන්ට සල්ලි නෑ. මොකද හැමෝම වගේ ජීවත් වුණේ සංචාරක කර්මාන්තයෙන්. සංචාරක කර්මාන්තය කඩාවැටිලා නිසා අද හරියයි හෙට හරියයි කියලා ගල දිහා බලාගෙන අපි හූල්ලා වැටෙමින් තමයි ඉන්නේ.”‍ 

 
සමහර දවස්වලට රුපියල් සියයක්වත් හොයාගන්න විදිහක් නෑ. හරිම දුකෙන් අපි ගෙදර යනවා. ආපහු උදේ නැගිටලා මූණ හෝදගෙන සීගිරි ගල දිහා බලාගෙන ඉන්නවා. කාශ්‍යප රජතුමා සීගිරිය නිර්මාණය කරලා අපේ පවුල් පිටින් එදා ජීවත් කළා. අපි විශ්වාස කරනවා ඉක්මනින් මේ කොරෝනා වසංගතයේ ඉවරවෙලා අපිට හිනාවෙන්න සතුටු වෙන්න දවසක් එයි කියලා.”‍   


සීගිරිය ප්‍රදේශයේ කැටයම් ආයතනයක් පවත්වාගෙන යන ජී. ප්‍රේමදාස මහතා.   


“සීගිරිය කිවුවහම කැටයම් කලාවට පුදුමාකාර විදිහට ඉල්ලු‍මක් තිබුණු ප්‍රදේශයක්. කලාගාරයක් නිසා කලාවට විදේශිකයෝ ඇලු‍ම් කළා. බොහෝ දෙනෙක් මේකෙන් ජීවත් වුණා. සිගිරිය ප්‍රදේශයේම කැටයම් ශිල්පීන් විශාල පිරිසක් ජීවත් වෙච්ච තැනක්. අද ඒ අයට කැටයමක් විකුණගන්න කපාගන්න විදිහක් නෑ. මේ අය සියලු‍ දෙනාම කුලී වැඩට යනවා. කුඹුරු වැඩට යනවා. සමහර අයට ඒවා කරන්න හුරු නෑ. මොකද ඒ අය කලාකාරයො නිර්මාණකාරයෝ. දැන් ඒ අයට නිර්මාණ කරන්න හැකියාවක් නෑ. මොකද ඒ අය මානසිකව දැන් වැටිල තියෙන්නෙ, කරපු කැටයම් විශාල ප්‍රමාණයක් මේ වනවිටත් ගොඩගහලා තියෙනවා. මේවා වෙනත් රටවල්වලට අරන් ගිහිල්ලා අලෙවි කරන වැඩපිළිවෙළක් හෝ දේශීය සංචාරකයන්ට අලෙවි කරන වැඩපිළිවෙළක් හෝ ක්‍රියාත්මක කරනවා නම් හොඳයි. මේක මුළු ලෝකෙම වෙලාගත්ත ප්‍රශ්නයක් නිසා දැන් ඉතින් වෙන මොනව හරි රස්සාවක් කරගන්න තමයි කල්පනා කරන්නේ.” 

 

 

 

සටහන/ ඡායාරූප : දඹුල්ල -
 කාංචන කුමාර ආරියද‌ාස