සංගීත ශිල්පියකුගේ අවසන් ගමන


 

සංගීත කණ්ඩායමක ඕගන් වාදන ශිල්පියෙකුට අකාලයේ සිය ජීවිතයෙන් සමුදීමට සිදුවීම නිසා ඔහුගේ තරුණ බිරිඳ ජීවිත කතරේ සදහටම අතරමං වූයේ ඇයට සදාකාලික කඳුළක්ද උරුම කර දෙමිනි.


අවුරුදු 1 1/2 ක් පමණ වයසැති සිඟිත්තෙකුටද පිය සෙනෙහස හා රැකවරණය සදහටම අහිමිවී ගොස් ඇත.


ඕගන් වාදන ශිල්පියාට සිය ජීවිතයෙන් අකාලයේ සමුදීමට සිදුවීම පසුපස ඇත්තේ එක්තරා ශෝචනීය හද සසලකරවන තරමේ අනුවේදනීය කතාවකි.


සංගීත ක්ෂේත්‍රයේ ඕගන් වාදකයෙක් ලෙස නමක් තබා තිබූ මොහු නමින් සුජීව සම්පත් වේරහැරය.


සම්පත් වේරහැර පදිංචිව සිටියේ නාරම්මල කිවුල්ගල්ල ප්‍රදේශයේය.


සම්පත්ගේ බිරිඳ ධම්මිකා සුජානි මහත්මිය කියන ආකාරයට සිය සැමියාට අකාලයේ ජීවිතයෙන් සමුදීමට සිදුවී ඇත්තේ තවත් ශිල්පියකුගේ ක්‍රියාකලාපයක් මත තදබල සිත් වේදනාවෙන් පසුවීම නිසා රෝගාතුර වීම හේතුවෙනි.


සම්පත්ට අයිති ඕගනය සහ ඔහුට අයත් බීට් (තාල) විශාල ප්‍රමාණයක් මෙන්ම සිය ජීවිතයේ සුවිශේෂී අවස්ථා කුළුඳුළේ උපත ලැබූ සිඟිත්තාගේ ඡායාරූප සමූහයක් අඩංගු ලැප්ටොප් පරිගණකය යම්කිසිවකු බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබූ නිසා මෙය පොලිසියට යාම දක්වා දුරදිග ගොස් තිබිණි.


පෙරකී ශිල්පියාට සම්පත්ට අයත් ඕගන් එක ආපසු බාරදීමට සිදුවී තිබුණේ පොලිසියේ මැදිහත්වීම නිසාය.


එහෙත් සංගීත ශිල්පියා සම්පත්ට අයත් ලැප්ටොප් පරිගණකය තමා ගත්තේ නැතැයි කියා පොලිසියේදී ඔහු පවසා සිටියේය.


ලැප්ටොප් 10 ක් අරගෙන දෙන්නම් මගේ ජීවිතය වගේ තියන ලැප්ටොප් එක දෙන්න, ඇයි බොරු කියන්නේ යැයි කියමින් සම්පත් පෙරකී ශිල්පියා ඉදිරියේ කොතරම් බැගෑපත් වුවත් එයින් කිසිම වැඩක් වූයේ නැත.


අවසානයේ සම්පත්ට අයිති ලැප්ටොප් එක හමුවිය. ඒත් ඒ වනවිටත් සම්පත් ජීවිතයෙන් පමණක් නොව සිය ආදරණීය බිරිඳ සුජානිගෙන් හා සිඟිති පුතාගෙන් සදහටම සමුගෙන ගොස් හමාරය.


ලැප්ටොප් එක හමුවූ ආකාරයද හරිම පුදුමාකාරය.


සම්පත්ගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබූ දවසට කලින් දවසේ රාත්‍රී කාලයේ බණ මඩුවක ලැප්ටොප් එක තිබෙන බව සුජානිට කථා කර කියා ඇත්තේ විදෙස්ගතව සිටින කාන්තාවකි.


විදෙස්ගතව සිටින නොහඳුනන කාන්තාවකගෙන් ලැබුණු දුරකථන ඇමතුම අනුව සුජානි ඇතුළු කිහිපදෙනෙක් බණ මඩුවට ගොස් විපරම් කර බැලීමේදී කිව්වා වාගේම ලැප්ටොප් එක හමුවී ඇත.


සම්පත් පණමෙන් සුරැකි ලැප්ටොප් පරිගණකය අවසානයේ ඔහු අවසන් ගමන් යන්නට සැතපී සිටි මිනී පෙට්ටිය මත සුජානි සුරතින් තබා ඇත්තේ දෙනෙතින් ගලාගිය කඳුළැලි අතරිනි.


සම්පත්ගේ ආදරණීය බිරිඳ සුජානි තම දයාබර සැමියාට අත්වූ ශෝචනීය ඉරණම ගැන කතාබහ කළේ ඔහුගේ හත් දවසේ බණ යෙදී තිබුණ ඉකුත් 20 වැනිදාය.


මෙතැන් සිට දිග හැරෙන්නේ ධම්මිකා සුජානි කී ඒ වේදනාබර කතාවයි.


“මගේ සැමියා දක්ෂ ඕගන් වාදන ශිල්පියෙක්. සංගීත ලෝකයේ ඔහුව නොදන්නා කෙනෙක් නැහැ. අපි දෙන්නා විවාහ වුණේ ප්‍රොපෝසල් එකකින්. සැමියාට ඉතාම සංවේදී හදවතක් තිබුණ කෙනෙක්. සම්පත් සංගීත කණ්ඩායමක ඕගන් වාදන ශිල්පියෙක් විදිහට වැඩ කළා. ඕගන් එක ඔහුට අයිතිව තිබුණා. ඕගන් එක බාහිර කෙනෙක් ළඟයි තිබුණේ. නිතර ගේන්න ගෙනියන්න බැරි නිසයි ඔහු ළඟ තිබ්බේ.


පහුගිය මාර්තු 14 වැනිදා එයා සංගීතයට සම්බන්ධ බාහිර තැනැත්තා ළඟ තිබුණ ඕගන් එක ඉල්ලා සිටියා. පෙරකී ශිල්පියා සම්පත්ට කියා තිබුණා. කිහිප වතාවක්ම ඉල්ලා ඇතත් ඔහු ඒවා සම්පත්ට දීලා නැහැ. සම්පත් මේ බව මට ඇවිත් කිව්වා.


සම්පත් එක්ක මම බස්නාහිර උතුරු දිසාව බාරව ඉන්න නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ පෞද්ගලික සහකාර පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහත්තයා හමුවෙන්න ගියා. සුදසිංහ මහත්තයා එක්ක අපේ මහත්තයා එයාට වෙලා තිබුණ අසාධාරණය ගැන කිව්වාට පස්සේ ඒ මහත්තයාගේ උදව් ඇතිව මේ ගැන කටාන පොලිසියට ගිහින් පැමිණිලි කළා.


පොලිසියෙන් අපේ පැමිණිල්ල ලියාගෙන පසුව සංගීත කණ්ඩායමේ නායකයාට පොලිසියට එන්න කියා දැනුම් දුන්නා. අවස්ථා තුනකම පොලිසියට එන්නම් කියමින් අපිව රස්තියාදු කළා. අන්තිමේදී ඔහු පොලිසියට ආවා. පොලිසියත් එක්ක ගිහින් ඕගන් එක සම්පත්ට බාරදුන්නා. ලැප්ටොප් එක ඉල්ලුවත් ඒක මගේ ළඟ නැහැ කියා දුන්නේම නැහැ.


ඔය ලැප්ටොප් එකේ තමා සම්පත්ගේ සේරම බීට් තිබුණේ. ඒ විතරක් නෙමේ එයාගේ ජීවිතයේ විශේෂ අවස්ථා හැම එකකම ඡායාරූප තිබුණේ. අපිට කුළුඳුළේ හම්බවුන දරුපැටියාගේ ඡායාරූප ගොඩක්ද ඒ ලැප්ටොප් එකේ ඇතුළත්ව තිබුණා. කොච්චර ඉල්ලුවත් ඒ ලැප්ටොප් එක දුන්නේ නැහැ. මේ නිසා සැමියා හරිම වේදනාවෙන් නිතරම වාගේ කල්පනා කර කර හිටියා. එයාගේ යහළුවන්ගේ මාර්ගයෙන් කතා කරලා ඉල්ලුවත් ලැප්ටොප් එක දුන්නේ නැහැ. හරියට කෑමක් බීමක් ගත්තෙත් නැහැ.


සම්පත් හදිසියේ දැඩි ලෙස රෝගාතුර වූයේ මේ ගැන දවස් ගාණක් තිස්සේ කල්පනා කරමින් සිටිය අතරවාරයේය.


ඒ දුක්බර කතාව ගැන හෙළිකරමින් සුජානි මහත්මිය මෙසේ කීවාය.


මහත්තයා ගෙදර ඉද්දි හදිසියේම අසනීපවෙලා මුලින්ම දඹදෙණිය රෝහලට අරගෙන ගියා. දොස්තර මහත්වරු පරික්ෂා කර බලා කිව්වා මහත්තයාට හෘදයාබාධයක් හැදිලා කියා. අසාධ්‍ය තත්ත්වයේ සිටි නිසා සම්පත්ව කොළඹ ජාතික රෝහලට අරගෙන ගියා. රෝහලේදී ඔපරේෂන් එකක්ද කළා. ඒත් වැඩක් වුනේ නැහැ මහත්තයා සදහටම මාවයි චූටි පුතාවයි අතහැරලා යන්නට ගියා යැයි ඇය ඉකි බිඳ හඬමින් කීවාය.


මහත්තයා ලෙඩ වෙලා රෝහලේ ඉද්දීත් කිව්වේ අනේ මගේ ලැප්ටොප් එක අරයට ගෙනත් දෙන්න කියන එකයි. මගේ අවසාන ඉල්ලීමත් ඒකයි කියා සම්පත් දෙනෙතේ කඳුළු පුරෝගෙන කිව්වා. මම කොච්චර හිත හදන්න උත්සාහ කළාද? මටයි පුංචි පුතාටයි වාගේම එයා ලැප්ටොප් එකටත් ආදරය කළා.


කොළඹ රෝහලේ වෛද්‍යවරුන් කිව්වේ මහත්තයාට හෘදයාබාධයක් වැළඳීම නිසා මියගියා කියායි. මහත්තයාට මීට කලින් කිසිම රෝගයක් තිබුණේ නැහැ. ලැප්ටොප් එක ගැනම කල්පනා කර කර ඉන්න ගිහින් තමා හාර්ට් ඇටෑක් එකක් හැදිලා මිය ගියේ.”
දෙකොපුල් ඔස්සේ ගලා ගිය කඳුළු අතරින් සුජානි කීවාය.


“අනේ මහත්තයා ඉල්ලා සිටිය ලැප්ටොප් එක එදා දුන්නානම් මගේ මහත්තයා අදටත් ජීවත්වෙනවා. එහෙම වුණානම් මමයි දරු පැටියයි මේ ලෝකයේ අසරණ වෙන්නේ නැහැ යැයිද ඇය කීවාය.


පුතාගේ වයස තවම අවුරුද්දයි මාස පහයි. දරුවා මිනී පෙට්ටිය ළඟට ගිහින් මහත්තයාගේ ඔලුව අතගෑවා. මිනිය ගෙදර තියනකම් වරින් වර ගිහින් මහත්තයාගේ ඔලුව ඇඟ අත පත ගෑවා, හැඬුවා. දරුවා අසනීප වුණා ෆිට් එක හැදුණා. කොළඹ මහ රෝහලේ දවස් ගාණක් ප්‍රතිකාර ගත්තා. අද (20) තමා ගෙදර එක්කගෙන ආවේ යැයි සුජානි මහත්මිය පැවසුවේ දරු පැටියා සිප වැළඳගෙන තුරුළු කරගන්නා අතරවාරයේය.


සුජීව සම්පත් වේරහැර කියන ඕගන්වාදකයා මිය යනවිට 44 වැනි වියේ පසුවිය.


සටහන:- 
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය