ශ්‍රී දේවිගේ හදිසි මරණයේ අභිරහස ?



බොලිවුඩයේ සුපිරි නිළියක වූ ශ්‍රී දේවිගේ හදිසි මරණය ලොව පුරා සිනමා රසිකයන් මහත් කම්පාවට පත් කළ සිදුවීමක් විය. බොලිවුඩ්‍ නිළියන් අතර දක්ෂතම නර්තන ශිල්පිනියක වූ ශ්‍රී දේවි මෙරට රසිකයන් අතර ද බෙහෙවින් ජනප්‍රිය වූයේ ඇය රඟපෑ නාගිනී, මිස්ටර් ඉන්ඩියා වැනි චිත‍්‍රපටවලිනි. එහෙයින් ඇයගේ අකල් මරණය ලොව පුරා සිනමා රසිකයන්ගේ නෙතට කඳුළක් ගෙන ආ සිදුවීමක් විය.   


ශ්‍රී දේවි මරණයට පත් වූයේ පසුගිය 24 දින රාත්‍රියේය. මෝ්හිත් මාර්වාහ් නමැති ඥාතියකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වීම සඳහා ඇය සිය සැමියා හා බාල දියණිය සමඟ ඩුබායි බලා පැමිණි අතර ඔවුන් නැවතී සිටියේ ඩුබායිහි ජුමේරියා එමිර්ට්ස් ටවර්ස් හෝටලයේය. ඇය මිය ගියේ එහි හෝටල් කාමරයකදීය.   


54 හැවිරිදි ශ්‍රී දේවිගේ මරණය සම්බන්ධයෙන් විවිධ මත පළ විය. ඇයගේ මරණය හෘදයාබාධයකින් සිදු වූ බවට කලින් ප‍්‍රචාරය වුවද, සිහිසුන් වූ ඇය හෝටල් කාමරයේ නාන බේසමට වැටී දියේ ගිලීමෙන් මරණය සිදුව ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී ඇතැයි ඩුබායි පොලිස් ආරංචි මාර්ග වාර්තා කළේය. ඇය අධික ලෙස මත්පැන් පානය කර තිබූ බවද මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වූ අතර එම තත්ත්වය යටතේ පියවි සිහිය නොමැති වීමෙන් ජලය පිරී තිබූ නාන බේසම තුළට ලිස්සා වැටෙන්නට ඇතැයි එම වාර්තාවෙන් අනුමාන කර තිබුණේ යැයි ‘මුම්බායි මිරර්’ වෙබ් අඩවිය සඳහන් කරයි.   


ශ්‍රී දේවිගේ සැමියා බොලිවුඩ් චිත‍්‍රපට නිෂ්පාදක බොනී කපූර්ය. එදින ඇය සමඟ රාත්‍රී භෝජන සංග‍්‍රහයකට සහභාගී විමට ඔහු සූදානමින් සිටියේය. සවස 5.30ට පමණ ඔවුන් දෙදෙනා විනාඩි 15ක පමණ කාලයක් කිසියම් කතාබහක නිරතව සිටි බැව් පැවසේ. ඉන්පසු ඇය නාන කාමරය වෙත ගොස් තිබේ. තවත් විනාඩි 15කට පමණ පසු ඇය පිටතට නොපැමිණි හෙයින් බොනී නාන කාමරයේ දොරට තට්ටු කොට ඇයට කතා කළද කිසිදු ප‍්‍රතිචාරයක් නොවූ බැවින් ඔහු දොර විවර කර බලන විට ඇය සිහිසුන්ව නාන බේසමේ ගිලී සිටිනු දැක ඇත.


ඇය සිහි ගැන්වීම සඳහා උත්සාහ කළද එය අසාර්ථක වූ හෙයින් තම මිතුරකු ලවා වෛද්‍යවරුන් කැඳවීමට හා පොලිසියට දැනුම් දීමට තමා පියවර ගත් බැව් බොනී කපූර් පවසන ලදැයි පුවත්පත් වාර්තා කර තිබිණි. නාන බේසමේ සිටියදී හෘදයාබාධයක් වැළඳුණු ඇය විනාඩි 15ක පමණ කාලයක් සිහිසුන්ව එහි සිට ඇති බවද තවත් පුවතක දැක්විණි. සවස 6ට පමණ ඇය මෙම සිදුවීමට මුහුණ පා තිබුණද බොනී කපූර් ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී ඇත්තේ රාත‍්‍රි 9ද පසුවීමෙන් පසුව යැයි පැවසේ. සිහිසුන්ව සිටි ඇය රෝහලකට ඇතුළත් නොකර පැය තුනකට ආසන්න කාලයක් හෝටල් කාමරයේ තබා ගැනීම පිළිබඳව මේ වනවිට සැකයක් පැන නැඟී තිබේ. කෙසේ වුවද මරණය සිදු වූයේ කෙසේද යන්නට මෙතෙක් පැහැදිලි පිළිතුරක් ලැබී නොමැත.   


ශ්‍රී දේවිගේ හදිසි මරණය සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය බොනී කපූර්ගෙන් ප‍්‍රශ්න කර තිබේ. මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවීමේ වගකීම ඩුබායි පොලිසිය රජයේ නඩු අධ්‍යක්ෂවරයා වෙත පැවරීය. විමර්ශන අවසන් වීමෙන් පසු පසුගිය 27 දින ඇයගේ සිරුර නිදහස් කිරීමට රජයේ නඩු අධ්‍යක්ෂවරයා පියවර ගත් අතර දේහය අනිල් අම්බානි සතු පෞද්ගලික ජෙට් යානයකින් මුම්බායි වෙත රැගෙන ඒමට බොනී කපූර් සහ ඔහුගේ කලින් විවාහයේ පුත‍්‍රයා වන අර්ජුන කපූර් කටයුතු කළහ.   

 

 

මදුරාසියේ සිවකාසිහිදී 1963 අගෝස්තු 13 දින උපත ලද ශ්‍රී දේවිගේ සැබෑ නම ශ්‍රී අම්මා යන්ගර් අප්පායන් ය. ඇය සිනමාවට එක් වූයේ සිවු හැවිරිදි දැරියක ලෙස ‘කන්නන් කරුණෙයි’ නමැති දෙමළ චිත‍්‍රපටයේ රඟපාමිනි. ඇගේ පියා නීතිඥයකු විය. දෙමළ, තෙලිඟු, කන්නඩ, මලයාලම් හා හින්දි චිත‍්‍රපට 300කට පමණ තම රංගන දායකත්වය ලබා දුන් ඇය ළමා නිළියක ලෙස පළමුවරට සම්මානයට පාත‍්‍ර වූයේ 1971 රඟපෑ ‘පූම්පට්ට’ නමැති චිත‍්‍රපටයෙනි. එහි රංගනය සඳහා ඇය හොඳම ළමා නිළියට හිමි කේරළ ප‍්‍රාන්ත චිත‍්‍රපට සම්මානය දිනා ගත්තාය. ඇය දෙමළ සිනමාවේ ප‍්‍රධාන නිළි චරිතයකට පණ පෙව්වේ ‘මූන්රු මුඩිචු’ චිත‍්‍රපටයෙනි. දෙමළ චිත‍්‍රපට රැසක ඇය කමල් හසන් සහ රජිනි කාන්ත් සමඟ ප‍්‍රධාන චරිතය රඟපෑවාය.   


ශ්‍රී දේවි හින්දි සිනමාවට එක්වූයේ 1979 ප‍්‍රදර්ශනය වූ ‘සෝල්ව සාවන්’ චිත‍්‍රපටයෙනි. 1983 ඇය රඟපෑ ‘හිම්මත්වාලා’ චිත‍්‍රපටයෙන් හින්දි සිනමාවේ ජනප්‍රිය තරුවක් බවට පත් වූ ඇය එහි රඟපෑවේ ජිතේන්ද්‍ර සමඟය. ඔවුන් දෙපොළ යොදාගනිමින් චිත‍්‍රපට 16ක් නිෂ්පාදනය කිරීමට බොලිවුඩ් චිත‍්‍රපට නිෂ්පාදකයන් උනන්දු වූයේ ඔවුන්ගේ රංගන කුසලතාව ප්‍රේක්ෂකයන්ගේ මහත් ආදරයෙන් වැළඳ ගත් බැවිනි.   


අසූව හා අනූව දශකයේ වැඩිම මුදලක් අය කළ නිළිය වූ ශ්‍රී දේවි බොලිවුඩයේ පළමු සුපිරි තාරකාව බවට පත් වූවාය. කලක් බොලිවුඩ් සිනමාවෙන් ඈත්ව සිටි ඇය රූපවාහිනියට එක් වී විවිධ විලාසිතා වැඩසටහන් හා රියැලිටි වැඩසටහන් සඳහා දායකත්වය සැපයූවාය. කාබූම් නමැති රියැලිටි වැඩසටහනේ විනිසුරුවරියක ලෙසද ඇය කටයුතු කළාය. ලිංගික අපයෝජනයට ලක්වන දරුවන් පිළිබඳව ඇය ඉදිරිපත් කළ වැඩසටහන හේතුවෙන් එවැනි ක්‍රියාවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්දීය රජය නව නීති පැනවීමට ද ක්‍රියා කළේය. වසර අටක් පමණ සිනමාවෙන් ඈත්ව සිටි ශ්‍රී දේවි 2012 දී යළි සිනමාවට එක් වූයේ ‘ඉංග්ලිෂ් වින්ග්ලිෂ්‘ නමැති චිත‍්‍රපටයේ රඟපෑමෙනි. 2017 දී ඇය ‘මම්‘ නමැති චිත‍්‍රපටයේ රඟපෑ අතර එය ඇය රඟපෑ 300 වැනි සහ අවසාන චිත‍්‍රපටය විය.   


ශ්‍රී දේවි අට වරක් ෆිල්ම්ෆෙයාර් සම්මානයට නිර්දේශ වූ අතර හය වරක් එම සම්මානය දිනාගැනීමට සමත් වූවාය. ඇය විසින් විවිධ සම්මාන 28ක් පමණ දිනා ගෙන ඇති අතර ඒ අතුරින් විශිෂ්ටතම සම්මානය වූයේ 2013 දිනා ගන්නා ලද පද්ම ශ්‍රී ජාතික සම්මානයයි. එය ඉන්දියානු පුරවැසියකු වෙත පිරිනැමෙන සිවු වැනි උසස් සම්මානයයි. සී.එන්.එන්, අයි.බී.එන් ආයතන මගින් 2013 පවත්වන ලද ඡන්ද විමසීමකදී වසර 100ක කාලයක පහළ වූ විශිෂ්ටතම නිළිය ලෙස ද ඇය තෝරා ගැනිණි.   


ඇය කලෙකට ඉහත ප්ලාස්ටික් ශල්‍යකර්මයකට බඳුන් වූයේ තම තරුණ පෙනුම රැක ගැනීම සඳහාය. සිරුරේ හැඩය පවත්වාගෙන යෑම සඳහා ආහාර පාලනය කළ ඇය නිතර තැම්බූ ගෝවා ආහාරයට ගත් අතර උණුදිය පමණක් පානය කළ බවද පැවසේ.   

   

ශ්‍රී දේවි බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවකු වූ මිතුන් චක‍්‍රබෝතිගේ පෙම්වතිය වූවාය. මේ කාලයේ ඇය පිළිබඳ විවිධ කතාබහ ඉන්දියානු ඕපාදූප සඟරා හා පුවත්පත්වල පළ විය. මිතුන් හා ශ්‍රී දේවි විවාහ වී සිටි බවත් එම විවාහය ප‍්‍රසිද්ධියේ පිළිගැනීමට මිතුන් අකමැති වූ හෙයින් එම සම්බන්ධය බිඳ වැටුණු බවත් පැවසේ. ශ්‍රී දේවි හා විවාහ වුවද මිතුන් ඒ වනවිට ද විවාහකයකු විය. ඔහු තම පවුල අතහැර ශ්‍රී දේවි සමඟ ජීවත් වීමට අකමැති වූ අතර ඔහුට අවශ්‍ය වූයේ ඇය සමඟ රහසිගතව එම සම්බන්ධය පවත්වා ගෙන යෑමටය. ශ්‍රී දේවිට අවශ්‍ය වූයේ ඔහු හා ප‍්‍රසිද්ධියේ එක්ව ජීවත් වීමටය. දෙදෙනා අතර මේ සම්බන්ධයෙන් ගැටුම් ඇති වූ අතර අවසානයේ එය බිඳී ගියේය.   


බොනී කපූර් ශ්‍රී දේවිට පෙම් බැන්දේ ඇයගේ චිත‍්‍රපට දැකීමෙනි. ඔහු ඇය මිස්ටර් ඉන්ඩියා චිත‍්‍රපටයට තෝරා ගත්තේද ඇය පිළිබඳව ඔහුගේ සිතෙහි පැවැති ප්‍රේමය හේතුවෙනි. එවිට බොනී අවිවාහකයෙකි. ශ්‍රී දේවි මිතුන් චක‍්‍රබෝතිගේ පෙම්වතිය වූ හෙයින් තම ප්‍රේමය සඟවා ගත් බොනී යෝජිත විවාහයකින් මෝනා සමඟ විවාහ වීමට තීරණය කළේය.   

 
62 හැවිරිදි බොනී කපූර් සුප‍්‍රකට බොලිවුඩ් නළු අනිල් කපූර්ගේ සොහොයුරාය. බොලිවුඩ් චිත‍්‍රපට නිෂ්පාදකයකු වූ ඔහු සාර්ථක ආදායම් වාර්තා තැබූ මිස්ටර් ඉන්ඩියා, නෝ එන්ටි්‍ර, ජුදායි හා වෝන්ටඩ් වැනි චිත‍්‍රපට 25ක් පමණ නිෂ්පාදනය කළේය. බොනී හා ශ්‍රී දේවි අතර පෙම් සබඳතාවක් ගොඩනැගෙන විට ඔහු දරු දෙදෙනකුගේ පියකු විය. 1980දී පමණ ඔහු මිස්ටර් ඉන්ඩියා නමැති චිත‍්‍රපටය නිෂ්පාදනය කිරීමට සූදානමින් සිටියේය. එහි ප‍්‍රධාන චරිතය සඳහා ශ්‍රී දේවි යොදා ගැනීමට ඔහුට අවශ්‍ය විය. ඒ සඳහා ඇයට ලක්ෂ 10ක මුදලක් ගෙවීමට ඔහු එකඟ විය.   


දිනක් බොනී තවත් මිතුරකු හා ඔහුගේ බිරියත්, ශ්‍රී දේවි සහ ඇයගේ මවත් සමඟ දිවා භෝජන සංග‍්‍රයකට සහභාගී විය. ශ්‍රී දේවි කිසි දිනක තම මව හෝ සොහොයුරිය නොමැතිව කිසිදු ගමනක් තනිව ගියේ නැත. ආහාර ගන්නා අතර ශ්‍රී දේවිගේ මව කිසියම් අසනීපයක් වැළඳී බිම ඇද වැටුණාය. ඇය රෝහල් ගත කිරීමෙන් පසු බොනී ශ්‍රී දේවි ඇයගේ නිවෙසට ඇරලීමට ගියේය. ඒ ඇය ඔහු හා තනි වූ පළමු දිනය විය.   


මිස්ටර් ඉන්ඩියා චිත‍්‍රපටයේ රූගත කිරීම් අතරතුර දෙදෙනා අතර සමීප සබඳතාවක් ගොඩනැඟිණි. බොනී කලක් තිස්සේ තම හදවතේ පැවැති ප්‍රේමය ඇයට හෙළි කළේය. 1993 දී පමණ ශ්‍රී දේවි බොනී කපූර්ගේ නිවෙසේ නවතින්නට ගියාය. ඔවුන්ගේ ප්‍රේමය තවදුරටත් වැඩී ගිය අතර එහි ප‍්‍රතිඵලය වූයේ විවාහයකින් තොරවම ශ්‍රී දේවි ගැබිනියක වීමය. එය පුවත්පත්වලට විශාල ප‍්‍රවෘත්තියක් විය. බොනීගේ බිරිය හා දරුවෝ ඔහු හැර ගියහ. 1996 කෝවිලක පවත්වන ලද චාම් උත්සවයකින් බොනී හා ශ්‍රී දේවි විවාහ වූහ. එවිට ඇය 28 වැනි වියේ පසු වූ අතර බොනීගේ වයස 36ක් විය. බොනී කපූර්ගේ කලින් විවාහය බිඳ දමා ඔහු තමන් සතු කරගත් බවට ශ්‍රී දේවිට විවිධ පාර්ශ්වවලින් දෝෂාරෝපණ එල්ල විණි.   


ශ්‍රී දේවිගේ වැඩිමහලු දියණිය වන ජාන්වි මේ වනවිට බොලිවුඩ් සිනමාවට එක් වී සිටින්නීය. ඇයගේ පළමු රංගනය ඇතුළත් ‘දහ්දක්’ නමැති චිත‍්‍රපටය මෙතෙක් තිරගත වී නොමැත. තම දියණියගේ මංගල රංගනය දැක ගැනීමට මහත් ආසාවෙන් සිටි ශ්‍රී දේවිට එය දැක ගැනීමට නොහැකි වීම දෛවයේ සරදමක් බඳුය.   

 

 

 

 

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා