විසි අට වසරකට පසු මව-පුතු හමු වූ මොහොත


 

මව් සෙනෙහස, දරු සෙනෙහස සහ බුදු වදනක් වූ අත්හැරීම ආදි නෙක ධර්මයන් මෙන්ම දෙවියන් බඳු මිනිසුන් මැද දෝලනය වූ තවත් එක් සංවේදී සිදු වීමක් අසන්නට මෙන්ම දකින්නට පසුගියද‌ා අපට හැකි විය.


මීට වසර විසි අටකට පෙර සිය මව් තුරුලෙන් වියෝ වූ කිසිත් නොදත් ඒ කිරි කැටියා මව් බිමෙන් සැතපුම් දස දහස් ගණනකටත් එහා වූ නෙදර්ලන්තය නම් රටේ සුදු යුවලකගේ සෙවණේ හොඳින් හැදී වැඩුණේ සියලු සැප සම්පත් සමඟිනි.


එවන් කලකට එපිට එසේ රැගෙන ගිය ඒ දරුවා සිය සැබෑ මව සොයා ඉකුත් 11 වැනිදා දිගාමඩුල්ලේ දකුණු වැව්ගම්පත්තුවේ දකුණු කෙළවරට වෙන්නට වූ පන්නල්ගම මරියකන්ද ගම්මානයට පැමිණියේ සිය හදවතේ වූ අසීමිත මව් සෙනෙහස නිසාය. දැනුම් තේරුම් ඇති වයසක කිසිදා නොදුටු සිය මව මුණගැසුණු ඒ අතිසංවේදී මොහොතේ ඔහුට පමණක් නොව ඔහුගේ මවටද ඒ දුටු මරියකන්ද ගම්වාසීන්ටද ඉනුදු නොනැවතුණු අපගේ දෙනෙතටද කඳුළක් එක් කළේය.


එදා පෙරවරුවේ සිය වත්මන් සුදු ජාතික පියා සමඟ සැබෑ මව අභිමුවට පැමිණි කුමාර කෙවින් නම් වූ ඔහු (28) රූරා වැටෙන කඳුළු පිරි දෙනෙතින් යුතුව ඇය තුරුළු කරගෙන හඬන්නට විය. මව තුළින් ගලා ආ දරු සෙනෙහසද ඊට දෙවෙනි වූයේ නැත. ඉපදී තුන් මසක් ඇවෑමෙන් සිය ඇකයෙන් වෙන් වූ සිය දරුවා 28 වසරකට පසුව දැකීමෙන් ඇය ද ඉමහත් ලෙස හැඟුම් බර වුවාය . ඇගේ දෙනෙතින්ද උණු කඳුළු වැටෙන්නට විය. ඉන් පසුව පහතට නැවී ඇගේ දෙපා අල්ලාගෙන නිමේෂයක් සිටි කුමාර කෙවින් නැවත නැඟී සිට හඬමින්ම සිය මවගේ සුව දුක් විචාළේය. ඊට භාෂාව බාධකයක් වුවද කෙවින් සමඟ පැමිණි මේ කටයුත්තේ ප‍්‍රධාන සම්බන්ධීකාරකයා වූ ඇන්ඩෘ සිල්වා මහතා එය පහසුවෙන්ම මඟ හරවා පරිවර්තන කටයුතු සිදු කළේය.


මේ සංවේදී කතාවේ ප‍්‍රධාන චරිතය වූයේ දීපිකාය. ජීවිතයට වද දුන් සියලු දුක්ඛ දෝමනස්සයන් හමුවේ නැගී සිටි ඇය 28 වසරකට පෙර පදිංචිව සිටියේ කළුතර දිස්ත‍්‍රික්කයේ බුලත්සිංහල ප‍්‍රදේශයේය. සිය මවත් පියාත් වැඩිමල් සොයුරියත් සමඟ කාලය ගෙවූ ඇයට සිය 14 වැනි වියේ දී නොසිතූ ඉරණමකට මූණ දෙන්නට සිදු වූවාය. ඇගේ ජීවිතයේ හැරවූම් ලක්‍ෂ්‍යයක් වූ ඒ සිදු වීමේ පටන් සිදු වූ සියල්ල ඇය ඉරිදා ලංකාදීපය හමුවේ අනාවරණය කළේ මෙසේය.


”අපේ අම්මා, තාත්තා රබර් වතුවල වැඩ කරලා තමයි අපිව ජීවත් කළේ. මට අක්කා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි හිටියා. අපි හරිම දුප්පත් පවුලක්. ඔහොම ඉන්නකොට 1989 අවුරුද්දේදී අපේ ගෙදරට ආව ගිය තරුණයෙක් නිසා මට මේ ප‍්‍රශ්නයට මූණ දෙන්න සිද්ධ වුණා. නොදන්නා කමටයි ඒ දේවල් සිද්ධ වුණේ. ටික දවසක් අපිත් එක්ක හිටපු එයා ආගිය අතක් නැතිව ගියා. අපි කොච්චර මහන්සි වෙලා හෙව්වත් එයාව හොයා ගන්න බැරි වුණා. ඔය අතරේ මේ දරුවා ලැබෙන්න ආවා. අපේ මුළු පවුලම අසරණ වුණා. මම තවත් අසරණ වුණා. අවසානයේ දී දරුවාව සුදු ජාතික ජෝඩුවකට දෙන්න තීරණය කළා. ඒකට කීප දෙනෙක් මැදිහත් වුණා.


ඇත්තෙන්ම එදා මම ඒ දේ කළේ අකමැත්තෙන්. ඒත් එදා මම හිතුවා මා ළඟ ඉඳලා දුක් විඳිනවට වඩා දරුවා හොඳින් හැදිලා වැඩිලා හොඳ තැනකට එයි කියලා. ඒ වගේම මම හිතුවා කවදා හරි එයා මගේ ළඟට එයි කියලා. නමුත් මම බලාපොරොත්තු තියා ගත්තේ නෑ. එත් නොහිතපු මොහොතක මගේ සිතුවිල්ලට අනුව වැඩ සිද්ධ වුණා.

 

 

මම දරුවා දීලා මුල් කාලයේ දී ගොඩක් දුක් වුණා. ආගමට දහමට නැඹුරු වෙනකොට ඒවා මඟ ඇරුණා. පස්සේ කාලයක මම මේ පන්නල්ගමට කසාඳ බැන්දා. එයාගේ අම්මගේ අම්මා හිටියේ බුලත්සිංහල. ඒ ආව ගිය කාලෙක තමා අපි අතර සම්බන්ධයක් ඇති වෙලා කසාඳ බැන්දේ. එයාගේ තාත්තා අපට මේ පැත්තෙන් ඉඩමක් දුන්නා. මීට අවුරුදු 13 කට කලින් අපි මෙහේට ආවා. එයාගෙන් මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ලොකු දුව කොළඹ පුද්ගලික අංශයේ රස්සාවක් කරනවා. ලොකු පුතා උසස් පෙළ කරනවා. පොඩි පුතාත් ඉස්කෝලේ යනවා. දෙන්නම ඉගෙනීමට දක්‍ෂයි. එත් මගේ මහත්තයා දැනට මාස හය හතකට කලින් පිළිකා රෝගයක් නිසා මිය ගියා. මහත්තයා බේර ගන්න මම නොවිඳිනා දුක් වින්ද‌ා. නෑදෑයොත් වටේ පිටේ අයත් උදව් කළා. ඒත් බේරා ගන්න බැරි වුණා. මේ ළමයි දෙන්නට කොහොම හරි උගන්වන එක තමයි මගේ එකම උත්සාහය. මට ස්ථීර රස්සාවක් නෑ. මම නගරයේ කඩයක කෑම උයන්න යනවා. මම එදා ගත්ත තීරණය ගැන එදා පසුතැවුණෙත් නෑ. අද පසුතැවෙන්නෙත් නෑ . එදා ගත්ත තීරණය නිවැරදියි කියලා මට අද තේරෙනවා. කවුරු කොහොම මොනවා කිව්වත් බුදු දහමට අනුව මම ගත්ත තීරණයත් හරි. මට අද හරිම සතුටුයි. මගේ පුතා අද හොඳ තැනක ඉන්නවා. ඒ වගේම එයත් සතුටින් ඉන්නවා. ඒ සතුට මගෙත් සතුටයි. අද අපේ මුළු පවුලටම අලූත් ඉරක් පෑව්වා වගේ. පවුලම සතුටෙන් ඉන්නේ. මට එකම දුකක් තියෙන්නේ මගේ මිය ගිය මහත්තයා මේ වෙලාවේ නැති එකයි. එයා මාව කසාඳ බැන්දේ මේ සියලූම තොරතුරු දැනගෙන. එයා කවදාවත් මට වෙනසක් කළේ නෑ. එයා මැරෙන්න කලිනුත් කීප සැරයක් ඇහුවා මේ අය කවද්ද එන්නේ කියලා. කවදා හරි ඔයාගේ පුතා ඔයාව හොයාගෙන එයි කියලා එයා මුල් කාලයේදිත් කිව්වා. ඒ වගේම මගේ දරුවාව අරන් ගිහිල්ලා හොඳින් හදා වඩාගෙන මාව බලන්න එවපු සුදු අම්මටයි තාත්තටයි මම ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා වගේම පින් දෙනවා. පුතාට අපිව හොයාගන්න උදව් කරපු ඇන්ඩෘ මහත්තයාටත් පින් දෙනවා.
කුමාර කෙවින්ට සිය සැබෑ මව සොයා ගැනීම සඳහා වෙහෙස වූයේ ඇන්ඩෘ සිල්වා මහතාය. ඔහු සංචාරක මඟ පෙන්වන්නෙකු මෙන්ම සංචාරක වාහන හිමිකරුවෙකු ද වේ. මීගමුවේ පදිංචි ඔහු එහි පැමිණෙන සංචාරකයින්ව රටපුරා රැගෙන යයි.


මේ කතාවේ තවත් එක් විශේෂ චරිතයකට පණ පෙවූ ඔහු ඉරිදා ලංකාදීපය වෙනුවෙන් මෙහි අග මුල ගැලපුවේ මෙසේය.


”ඇත්තෙන්ම මටත් මේ කතාව ගොඩක්ම සංවේදී වුණේ අනිත් හමු වීම් සහ මේ කතාවේ තියෙන වෙනස්කම් නිසා. මීට අවුරුදු තිහකට හතළිහකට කලින් නෙදර්ලන්තයෙන් ආව සුදු ජාතිකයෙක් ලංකාවේ දුප්පත් පවුල් ගණනාවකට උදව් කරලා තියෙනවා. ඔහොම උදව් කරගෙන ඉන්නකොට ඔහුගෙන් උදව් ලබපු මේ රටේ දුප්පත් කාන්තාවක්ව විවාහ කරගෙන තියෙනවා. ඇගේ පළමු සැමියා මිය ගිහිල්ලා. දෙවෙනි කසාදේ අසාර්ථක වෙලා තියෙනවා. ඉතින් මේ දෙන්නා නෙදර්ලන්තයට ගිහිල්ලා ඉන්නකොට දවසක් කිසියම් ස්ථානයකදී අහම්බයකින් සිංහල හැඩරුව ඇති තරුණියක් දැකලා තියෙනවා. ඇය සමග අර කලින් කිව්ව සිංහල කාන්තාව කතා කරලා තියෙනවා. ඒ වෙලාවේ ඒ තරුණිය කියලා තියෙනවා මගේ අම්මා තාත්තා ඉන්නේ ලංකාවේ. මාව පොඩි කාලෙදි හදා ගන්න දීලා තියෙනවා. ඒ අයව හොයලා දෙන්න කියලා. ඉතින් මේ යුවළ ආයෙත් ලංකාවට ආව වෙලාවකදී මට හම්බ වුණා. එතනත් අහම්බයක් තියෙනවා. මේ නෙදර්ලන්ත ජාතිකයාගේ මල්ලී කාලයක් සිට මා සමඟ හිතවත්. මොකද මාත් එක්ක ලංකාවේ සංචාරයේ ගිහිල්ලා තියෙනවා. ඉතින් එයා තමයි අයියාව මට අඳුන්වලා දීලා තිබුණේ. ඉතින් මේ ජෝඩුව මට විස්තරේ කිව්වා. උප්පැන්න ඇතුළු සැබෑ ලියකියවිලි මට ලැබුණ නිසා වැඬේ තරමක් ලේසි වුණා. ඇයගේ අම්මා තාත්තා දෙන්නම රත්නපුරේ. සියලු සත්‍ය තොරතුරු සොයා ගත්තාම මේ තරුණියට පණිඩුඩය යැව්වා. ඇය බොහොම ප‍්‍රීතියෙන් නෙදර්ලන්තයේ ඉන්න වර්තමාන අම්මත් තාත්තත් එක්ක රත්නපුරේට ඇවිත් අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ නෑදෑයෝ හම්බ වුණා. හැමෝටම හරිම සතුටුයි. ඉතින් මේ තරුණියගේ මල්ලි තමයි කුමාර කෙවින්. මේ ළමයි දෙන්නම වරින් වර ලංකාවෙන් අරන් ගිහින් තියෙන්නේ එකම නෙදර්ලන්ත ජාතික ජෝඩුවක්. ඒ අයට දරුවෝ නෑ. ඒ නිසා දරුවන්ට හරිම ආදරෙයි. කෙවින්ගේ අක්කගේ දෙමව්පියෝ හොයා ගත්තට පස්සේ කෙවින්ගේ ඉල්ලීම පරිදි අම්මා තාත්තා සෙවීමේ මෙහෙයුම පටන් ගත්තා. කෙවින්ව ලබා ගත්ත බුලත්සිංහල තොරතුරු අනුව එතනට ගියාම කෙවින්ගේ අම්මගේ අක්කා තමා එහේ හිටියේ. එයා කිව්වා එයා දැන් ඉන්නේ අම්පාරේ පන්නල්ගම කියලා. මම තනියම අම්පාරේ ඇවිත් එයාගේ ඩී.එන්.ඒ. සාම්පල අරගෙන කෙවින්ට යැව්වා. එයාගේ ඒවත් එක්ක සියයට සියයම ගැලපුණා. ඉතින් ඒ අනුව තමා මේ ගමන ආවේ. ඉතින් මේ කෙවින්ගේ අක්කා දැන් කේ.එල්.එම්. ගුවන් සේවයේ ගුවන් සේවිකාවක්. මේ දවස් වලත් ඇය ඇගේ ආයතනයේ ගුවන් යානයක් ලංකාවට ආව නිසා ඇවිල්ලා ඉන්නවා. දැන් මේ දෙපැත්තෙම අය ජාති ආගම් භේදයකින් තොරව සතුටින් ඉන්නවා.

 

 

විදේශීය සංචාරකයින් රටපුරා සංචාරක ස්ථාන කරා රැගෙන යාමට අමතරව මගේ ප‍්‍රධානම කටයුත්ත තමා යුරෝපීය රටවලට ගෙන ගිය අපේ රටේ දූදරුවන්ගේ ඉල්ලීම මත ඔවුන්ගේ දෙමව්පියන් සොයා දීම. මේක දැන් මගේ ජීවිතයේ එක්තරා කොටසක්. මම මේ වෙන විට යුරෝපීය රටවලට දරුකමට ගෙන ගිය දරුවන් 77 දෙනෙකුට තම පියවරුන්, මව්වරුන් සොයා දී තිබෙනවා. තව සිය ගණනක් මව්වරු සොයන දරුවන්ගේ විස්තර මා ළග තියෙනවා. අද මේක සමහරුන්ගේ වංචනික ව්‍යාපාරයක් වෙලා තියෙනවා. සමහර කාන්තාවන් ඇත්ත අම්මා ලෙස රගපාලා දරුවන් රවටලා තෑගි බෝග ගන්නවා. එහෙම අය කීප දෙනෙක්ම මට හමු වුණා. ඒ නිසා තමයි අපි ඩී.එන්.ඒ. පරීක්‍ෂණයක් කරන්නේ.


කෙවින් සිය මව සහ පාසල් ඇරී නිවසට පැමිණි සිය මල්ලිලා සමග එදින දවසම ගත කළේ ඉමහත් සතුටිනි. එදා මරියකන්ද ගමේ බොහෝ දෙනෙකු මේ සොඳුරු මොහොතට එක් වූහ. කෙවින් ඇතුළු පිරිසට දිවා ආහාරය සහ සවස තේ පැන් සංග‍්‍රහයක් ද සූදානම් කර තිබුණි. සිය මවගේ අතින් කෙවින්ට බත් කැවිණ. ඔහුට බත් හුරු පුරුදු දෙයක් වූයේ ඔහු විවාහ වී සිටින ඉන්දිය සම්භවයක් සහිත සිය බිරිඳ නිසාය. ඇය සුරිනාම් රටේ කාන්තවකි. ඇයටද දරුවෙක් සිටී. ඇය නිතරම බත් උයන බව කෙවින් පැවසීය. නැවත ඉතා ඉක්මනින්ම ලංකාවට පැමිණෙන විට ඇයත් දරුවත් නෙදර්ලන්තයේ සිටින තමන් හදා වඩා ගත් මවත් සමඟ පැමිණෙන බව ඔහු පැවසීය.


කෙවින් ඉරිදා ලංකාදීපයට තවදුරටත් කරුණු දැක්වූයේ මෙසේය.


මට අද වගේ සතුටක් කවමද‌ාවත් දැනිලා නෑ. මගේ අම්මාව දකින්න මම නොඉවසිල්ලෙන් හිටියේ. මීට පස්සේ හැම අවුරුද්දකටම සැරයක් අම්මලා මල්ලිලා බලන්න එනවා. අම්මලා අමාරුවෙන් ජීවත් වෙන බව මට පේනවා. මම අම්මලාට උදව් කරනවා. මේ ගේ හොඳට හදලා දෙනවා. මාව මේ ලෝකෙට බිහි කරපු අම්මාට වගේම මගේ වර්තමාන දෙමව්පියන්ටත් ස්තූතිවන්ත වෙනවා. මල්ලිලා දෙන්නට ඉගෙන ගන්න උදව් කරනවා. ඇත්තෙන්ම මේ රට ලස්සනයි. මේ ගමත් ලස්සනයි. මේ රටේ ගොඩාක් මිනිස්සු හොඳයි. අාචාරශීලියි.


කෙවින් පළමු දවසේ සිය මවගේ නිවසට ගියේ බරට බරේ තෑගි බෝග ද සමගිනි. දෙවෙනි දවසේ ද තුන්වැනි දවසේ ද මුළු දිවා කාලයම ඔවුන් සමඟ ගත කළේය. දෙවැනි දවසේ ද මල්ලිලාට තෑගි ගොඩක් රැගෙන ගියේ අසීමිත දයාවෙනි. පළමු දවසේ සිය මව හමු වී නගරයේ හෝටලයට ගිය කෙවින් රාත්‍රියේ දී සිය නෙදර්ලන්ත මවටත් සිය බිරිඳටත් ඇමතුම් ගනිමින් කඳුළු සැලූ බව කෙවින්ගේ වත්මන් සුදු ජාතික පියා අප සමඟ පැවසීය. එපමණක් නොව රාත‍්‍රිය පුරා ඔහු හැඬූ බව ද තවදුරටත් සඳහන් කළේය. සිය මව තමන්ව මෙලෙස වෙනත් රටක යුවළකට දුන්නේ ඇයිදැයි කෙවින් පළමු දවසේම මවගෙන් ඇසූ අතර මව ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ එදා ඇති වූ තත්ත්වය සහ දෙමව්පිය බලපෑමත් පුතාගේ අනාගතයත් වෙනුවෙන් තමන්ට වෙන කළ හැකි කිසිවක් නොවූ බවයි. පුතාගේ අනාගතය වෙනුවෙන් එදා තමන් ගත් තීරණය නිවැරදි බව සනාථ වී ඇති බවද ඇය කී අතර කෙවින්ද එය එකහෙළාම අනුමත කළේය.


මේ කතාවේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ දරුවන් දරුකමට හදා ගන්නා ලංකාවේ ඇතැම් දෙමව්පියන් ඒ දරුවන්ගේ අතීතය මකා දැමීම පිළිබඳව කතාවයි. එය මොන තරම් අකෘතඥ දැයි වරෙක සිතිය යුතුය. නමුත් මේ යුරෝපීය දෙමව්පියන් එසේ කළේ නැත. මුල සිටම සියලු තොරතුරු එක් රැස් කර දැනුම් තේරුම් වූ විට ඒ සියල්ල දරුවන්ට ලබා දීමට ඔවුන් කෘතඥ වී ඇත. එපමණක් නොව ඒ දරුවන්ට සැබෑ දෙමව්පියන් සොයා ගැනීමටද ඔවුහු උදව් කරති. ඔවුන්ගේ සතුට වත්මනේ හද‌ා වඩා ගත් දෙමව්පියන්ගේ ද සතුටයි. කෙවින්ගේ වත්මන් දෙමව්පියන් පෙන්වූයේද ඒ ආදර්ශයයි.

 

 

 

 

 

 

 

 

දිගාමඩුල්ලේ සමන් දිසානායක