විෂඝෝර සර්පයන් අල්ලන පාසල් සිසුවා


විෂඝෝර සර්පයෙක් දුටු විගස ඕනෑම අයකුගේ හිතේ තිගැස්මක් බියක් ඇති ​ෙවන්නේ නිතැතින්මය.  


බොහෝ දෙනෙක් විෂඝෝර සර්පයකු දුටු සැනින් මරා දැමීමට පෙලඹෙන්නේද සර්පයාට තිබෙන බිය නිසාය.  


එහෙත් විෂඝෝර සර්පයන් දුටු විගස කිසිම බයක් තිගැස්මක් හෝ පිළිකුලක් නොමැතිව ළඟටම ගොස් අනාරක්‍ෂිතව සිටින සර්පයින් අල්ලා රක්‍ෂිත වනාන්තරවලට මුදාහැරීමේ නිරතව සිටින 17 හැවිරිදි පාසල් යන සිසුවෙක් පිළිබඳ අපි අද කතා කරමු.  


ඕනෑම විෂඝෝර සර්පයෙක් ළඟට හිමිං සීරුවේ කිට්ටුකර එම සර්පයාට ද හිරිහැරයක් හෝ කරදරයක් නොවන ආකාරයට අල්ලා ගැනීමට මේ සිසුවාට සුවිශේෂ වූ දක්‍ෂතාවක් ඇත්තේය.   


කළණ කාංචන නම් මේ පාසල් සිසුවා පදිංචිව සිටින්නේ කුරුණෑගල දඹුල්ල පාරේ තෝරයාය කියන සුන්දර ගම් පියසේය.  
කාංචන සිසුවා හතර වැනි පන්තියේ ඉගෙන ගන්නා කාලයේ සිට සර්පයන් අල්ලන්නට පුරුදු වී ඇත. මුල් කාලයේ විෂ රහිත සර්පයන් අල්ලා ඇති ඔහු මේ වසරේ ජනවාරි මාසයේ සිට නයි හා පොළගුන් අල්ලන්නට පටන් ගෙන තිබේ.  


ඒ නිසි පුහුණුවීම්වලින් පසුවය.   


මේ අවුරුද්දේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කළණ කාංචන සිසුවා නිවෙස්වලට පැමිණ සිටියදී අල්ලා රක්‍ෂිත වනාන්තරවලට මුදාහැර ඇති නයින්ගේ සංඛ්‍යාව 30කට තරමක් වැඩි අතර පොළඟුන් දෙදෙනෙක් ද මේ අතර වෙයි.  
සර්පයන් ඇල්ලීමට පටන්ගත් කාලයේ සිට පස් වතාවක් සර්ප දෂ්ට කිරීම්වලට ලක්ව ඇති අතර දෂ්ට කළ ඒ සෑම සර්පයෙක්ම විෂ රහිත සර්පයෝ වූහ.  
ඒ නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ඔහුට අවශ්‍යතාවක් පැන නැගී නොමැත.  


විෂඝෝර සර්පයන් ඇල්ලීමේ නිරතව සිටින අය අතරින් වයසින් අඩුම කෙනා ඇතැම් විට කළණ කාංචන විය හැකිය.  
සර්පයින් ඇල්ලීම නතර කරන්නැයි කළ අවවාද නොතකා හැර කටයුතු කිරීම නිසා කළණ කාංචන අම්මාගෙන් හා තාත්තාගෙන් ගුටි කෑ වාර නම් අනන්තය අප්‍රමාණය.  


කළණගේ අම්මා හා තාත්තා එහෙම කළේ වෙන දෙයක් නිසා නොව සර්පයන් ඇල්ලීමට ගොස් උන් දෂ්ටකර පුතාට කිසියම් කරදරයක් හා විපතක් වේ යැයි කියා ඔවුන් තුළ තිබූ බිය නිසාය. කළණ පුතාට තිබූ අසීමිත ආදරය නිසාමය.  


කළණ කාංචනගේ මව චමිලා සුදර්ශනී දිසානායක මහත්මිය වන්නීය. ඔහුගේ පියා පියල් රේණුක මහතාය. ඔවුන්ට තවත් පිරිමි දරුවන්ද සිටී.  
කුරුණෑගල පිහිටි වයඹ විශ්වාලෝක විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ඇති කාංචන සාමාන්‍ය පෙළ හදාරා ඇත්තේ වෙන්නප්පුව ලුණුවිල අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලයෙනි.  


ඒ ඔහු ඇතුළු පවුලේ අය වෙන්නප්පුව, කිරිමැටියාන ගමේ පදිංචිව සිටි කාලයේය.  


කලා අංශයෙන් උසස් පෙළ හැදෑරීම සඳහා කළණ කාංචන මේ මාසයේ 10 වැනිදා ඇතුළත් වූයේ කුරුණෑගල ලක්දාස් මහා විද්‍යාලයටය.  
‘‘සර්පයන් කොච්චර විෂඝෝර වුණත් සර්පයකුට අපෙන් කරදරයක් නොවනතාක් උන්ගෙන් අපටද කරදරයක් වෙන්නේ නෑ’’ යැයි කියමින් කළණ කතා බහට මුල පිරුවේය.  


‘‘මම හතර වැනි පන්තියේ ඉගෙන ගන්නා කාලයේ ඉඳලාම ගැරඬියා හා ඇහැටුල්ලා වැනි විෂ රහිත සර්පයන් ඇල්ලුවා. ඒ වැඩේ දිගටම කරගෙන ආවා. ඒ වගේ සර්පයන් මේ හිසේ කෙස් ගාණට මේ වෙනකොට මම අල්ලා ඇති. අම්මයි තාත්තයි මේ වැඩේට කොහොමටවත් කැමැති වුණේ නැහැ. ඔය වැඩේ නවත්වන්න කියලා අවවාද කරලා බැරිම තැන මට බැන්නා, ගැහැව්වා. ඒත් මම වැඩේ අතහැරියේ නැහැ. ඒගොල්ලන්ට හොරෙන් සර්පයන් අල්ලන එක කළා. හැබැයි අල්ල ගන්නා කිසිම සර්පයෙක් මම කූඩු කරලා තියාගන්නේ නැහැ. අල්ලා කැලෑවට මුදාහැරියා. අදටත් එහෙමයි. කිසිම සර්පයෙක් කූඩු කරගෙන නැහැ.  
සමාජ මාධ්‍යවලින් හඳුනාගත්, විෂඝෝර සර්පයන් ඇල්ලීමට හොඳ හැකියාවක් තිබෙන හබරණ ජෙගන් සර්ගෙන් මම නයි හා පොළොංගු නිරුපද්‍රිතව ඇල්ලීමට ඉගෙන ගත්තා. ඊට පස්සේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ ඉඳලා නයි හා පොළොංගු අල්ලන්න පටන් ගත්තා. ගෙවතු හා නිවාස ඇතුළට රිංගාගෙන ඉන්න නයි, පොළොංගු තමා මම අල්ලන්නේ. එහෙම අල්ලා ගන්නා මේ සර්පයන් මම රක්‍ෂිත වනාන්තරවලට මුදාහරිනවා. ​මේ වෙනකොට නයි 30 දෙනෙක් පමණද පොළොංගු දෙදෙනෙක්ද අල්ලා රක්‍ෂිත වනාන්තරවලට මුදහැර තිබෙනවා.  


කුරුණෑගල හා ඒ අවට ප්‍රදේශවල ඉන්න අය දැනුම්දීමක් කළාම ගිහින් නයි හා පොළොංගු අල්ලනවා. දුර බැහැර ප්‍රදේශවලට යන්න අමාරුයි. මේ සඳහා මම කිසිම මුදලක් අය කරන්නේ නැහැ. කුඩා කාලයේ ඉඳලාම මම සර්පයන්ට විතරක් නොවේ ඕනෑම සතෙකුට ආදරෙයි.  
සතෙකුට පහරක්වත් ගසා නැහැ. සර්පයෙක් දැක්කම මරා දාන්න එපා. ඒ වගේම උන්ගේ ඇඟට භූමිතෙල් ගහන්නත් එපා. ඒ සතුන්ට භූමිතෙල් ගැසීම හරිම වේදනාකාරි දෙයක් බව පැවසිය යුතු’’ යැයි කළණ සිසුවා කීය.  


සතා සීපාවට පමණක් නොව ගහට කොළටද කළණ කාංචන සිසුවා දැඩිසේ ඇලුම් කරන්නේය. ආදරය කරන්නේය.  


‘මම සර්පයන් ගැන හදාරනවා. ඒ හා සම්බන්ධ පොත්පත් ලිපි ලේඛන කියවනවා. සර්පයන් අල්ලන්න කොහොම ආශාවක් ඇති වුණාද කියන්න මම දන්නේ නැහැ.   


‘සර්පයන් දැන හඳුනාගනිමු හා රැකගනිමු’ යනුවෙන් ෆේස්බුක් පිටුවක් තිබෙනවා. ඒ ෆේස්බුක් පිටුව හරහා ඕනෑම කෙනෙකුට සර්පයන් ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවනි. මේ ෆේස් බුක් පිටුවට රට පුරා 65,000ක් විතර සම්බන්ධවෙලා ඉන්නවා. විෂඝෝර සර්පයින් අල්ලන 200 - 300ක් අතර පිරිසක්ද අප හා සම්බන්ධවෙලා සිටිනවා. මේ අය ගැන විස්තර ෆේස්බුක් පිටුවට පිවිසිලා තොරතුරු දැනගෙන ඔවුන්ට කතා කරලා විෂඝෝර සර්පයන් ඔබේ ගෙවත්තට ඇතුල්වෙලා ඉන්නවා නම් අල්ලගන්න එන්න කියන්න පුළුවනි. අනේ ඒ අහිංසකයන් මරා දමන්න නම් එපා’’  


ඒ සතා සීපාවට ආදරය කරන පරිසරවේදී කළණ කාංචන සිසුවාගේ හඬයි.  


කාංචනට 072-1532022 යන දුරකතනයට ඔබටත් කැමතිනම් කතා කිරීමට හැකියාව ඇත.  


හැබැයි පාසල් කාල වේලාව තුළ නම් ඔහුගේ මේ ජංගම දුරකථන අංකයට කතා කිරීමට පුළුවන්කමක් නැත.   


ඔහුගේ ඉදිරි ගමනට ඉරිදා ලංකාදීපයේ අපි ද සුබපැතුම් එක්කරන්නෙමු. 

 

 

සටහන - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය