විෂකුරු සර්පයන්ටත් බ්ය නැති පාසල් දැරිය


 

උග්‍ර විෂ සහිත සහ නොවන ඔනෑම උරගයෙකු ඇල්ලීමට හැකි වයස අවුරුදු 19 ක පාසල් දියණියක් අපට කෑගල්ල, මොළගොඩ ප්‍රදේශයෙදී හමුවිය. ඇය තම අත්තාගෙන් සිංහල වෙදකමද මනා ලෙස ප්‍රගුණ කොට ඇත. ඇය තමන් ජීවත්වෙන ප්‍රදේශයේ අවට නිවෙස්වලට, වෙළෙඳසල්වලට, ගෙවතුවලට පැමිණෙන විෂ සහිත උරග සතුන් අල්ලා ඔවුන්ගේ ජීවිත වලට කරදරයක් නොවන ලෙසින් කැලයට මුදා හැරීම වසර ගණනාවක් තිස්සේම සිදු කරන්නේ මේ සතුන්ට තිබෙන කරුණාව සහ සත්ව හිසංනයට කුඩා කාලයේ සිටම එතරම් කැමැත්තක් නොදක්වන නිසාය. ඇයගේ මෙම සුවිශේෂි හැකියාව ගැන ඇය හමුවී අප කතා කරමින් මේ සටහන එක් කරන්නේ ඇයගේ සේවය අපේ රටට ඉතා වැදගත් වෙන නිසාත් කාන්තාවක් ලෙස ඇය තුළ පවතින සුවිශේෂි දක්ෂ නිර්භීතකම, නොපසුබස්නා උත්සාහය සමාජයට මෙන්ම සමස්ත කාන්තා පරපුරට ආදර්ශයක් නිසාත්ය.   


ඇය නමින් කේ.පී.ඩබ්ලිව්.එච්.බී. හසන්ති භාග්‍යා හිටිබණ්ඩාරය. 19 හැවිරිදි භාග්‍යා රඹුක්කන පින්නවල ජාතික පාසලේ වානිජ විෂය හදාරන අතර මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටියි. ඇයට එක් සහෝදරයෙක් පමණක් සිටී. අප මේ කතාව ලියන මාර්තු 02 වැනි දින වෙන විට ඇය විසින් අල්ලාගෙන කැලෑවට නිදහස් කර ඇති නයි ගණන පමණක් 70 කි. අල්ලා ඇති උරග සතුන් ගණන 200 කට වැඩිය. සමහර නිවෙස්වලට, වෙළෙඳසල්වලට මෙන්ම, ගෙවතුවලට පැමිණෙන, නිවැසියන්ට කරදරයක් වෙන විෂ සහ උග්‍ර විෂ සහිත උරගයින් අල්ලා ගෙනවිත් එම සතුන්ට කරදරයක් නොවී ජීවත් විය හැකි පරිසර පද්ධතියකට මුදා හැරීම ඇය සිදු කරන්නේ ඉතා කැමැත්තෙන්ය.   


හසන්ති පවසන අන්දමට ඇය මීට වසර තුනකට ඉහතදී මෙම කටයුතු වලට වැඩි වශයෙන්ම නැඹුරු වී ඇත්තේ කුඩා කාලයේ සිට තමන්ගේ මවගේ පියා විසින් පරම්පරාවෙන් පවත්වාගෙන එන හෙළ වෙදකම තුළ තමන්ට ලැබුණු දැනුම උපයෝගි කරගෙනයි. මවගේ පියාණන් වන දැනට 66 වියේ පසුවෙන ඩී.ටී. වීරසිංහ මහතා ප්‍රදේශයේ ප්‍රසිද්ධ සර්ප වෛද්‍යවරයෙකි. සර්ප දෂ්ටන වලට ලක් වෙන සමහර ගම්මුන් එම සතුන් අල්ලාගෙන හෝ එම සතුන් මරාගෙන වෛද්‍යවරයා හමුවට පැමිණ ප්‍රතිකාර ගැනීමට පුරුදු වී සිටින අතර ඔහු විසින් උග්‍ර විෂ සහිත සතුන්ගේ දෂ්ටන වලින් ජීවිත නැතිවීමට ගිය බොහෝ දෙනෙකුට බෙහෙත් ලබා දී සුව කර ඇත. කුඩා කල සිට මෙම වෙදකමට අාසාවක් දක්වන හසන්ති මුලින්ම සමහර මිනිස්සුන් තම අත්තා හමුවට මරා ගෙන එන උරගයින් අත පත ගෑමට පුරුදු වූ අතර එම කටයුතු බයක් හෝ පිළිකුලකින් තොරව සිදු කිරීමට පුරුදු වූවාය. සමහර පණ ඇති උරග සතුන් සර්ප දෂ්ඨනයෙන් පසු එම පුද්ගලයන් විසින් අල්ලාගෙන එන අතර ඔවුන්ද දින කිහිපයක් නිවසේ තබාගෙන සිට කැලෑවට නිදහස් කිරීමට කටයුතු කරන අතර එම කටයුතුද කුඩා කාලයේ සිටම මෙම දියණියට හුරු වී ඇත.   


තමන්ගේ මිනිබිරියට පරම්පරාවෙන් එන හෙළ වෙදකම ලබා දීමට තීරණය කළ හසන්තිගේ මවගේ පියා විසින් එම වෙදකම ක්‍රමයෙන් හසන්තිට හුරු කරන්නටද විය. ඒ අනුව දැනට වසර ගණනාවක් තිස්සේ හසන්ති නිවසට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය බෙහෙත් හේත් ලබා දෙන්නීය. ඇය පාසල් ගිය අවස්ථාවන් වලදී සහ ඇය නිවසේ නොසිටි අවස්ථාවලදී පමණක් හසන්තිගේ අත්තා විසින් රෝගීන්ට බෙහෙත් ලබා දීම සිදු කරන අතර, හසන්ති නිවසේ සිටින විට ඇය සියලුම රෝගීන් පරීක්ෂාවට ලක් කර බෙහෙත් ලබා දීම  සිදු කරන්නීය.   

 

 

අප සමග හසන්ති මෙසේද පැවැසුවාය. 

 
‘මට හෙළ වෙදකම දැන් හොඳට පුළුවන්. ඒ නිසා ඕනෑම විෂ සහිත උග්‍ර විෂ සහිත උරගයෙකු වුණත් අල්ලා අතට ගැනීමට මම බය නැහැ. මීට අවුරුදු කිහිපයකට කලින් මම ඉන්න ප්‍රදේශයේ වෙළෙඳසලකට උරගයෙක් ඇවිල්ලා ඉඳලා ඒ සතා මම නිවසට ගෙන ආවා. බලපුවාම ඒ සතාගේ ඇඟට පොලු පහරක් වැදිලා තිබුණා ඒ වාගේම ඇඟේ කුෂ්ඨ රෝගයක් වගේ එකක් තිබුණා. මම බෙහෙත් කළා. ගෙදර වෙනත් වැඩකට ගෙනාපු ලී පෙටිටයක දාලා නිවසේ ඇතුළෙම තබාගෙන ඒ බෙහෙත් කිරීම් යනආදිය කළා. නමුත් මට මේ කටයුතු වලට වසරකට වැඩි කාලයක් ගියා. මම හිතුවේ මේ උරගයා පිඹුරෙක් කියලා. නමුත් වසරකට වැඩි කාලයක් ගියාම තමයි දැන ගත්තේ මම මෙච්චර කාලයක් ඇති කළේ පොළඟෙක් කියලා.   


මම සමහර උරග සතුන් ඇල්ලුවාට ඒ සතුන්ගේ නම් හරියට දන්නෙත් නැහැ. කොච්චර විෂ සහිත සතෙක්ද කියලාත් මුලින්ම දන්නේ නැහැ. හැබැයි මට කිසිම බයක් දැනෙන්නෙත් නැහැ මේ සත්තු අල්ලන්න. ඒ වාගේම මේ වෙනකම් කිසිම කරදරයක් මට වෙලත් නැහැ. මට සමහර සත්තු හඳුනාගන්න බැරි නිසා මම මුලින්ම අල්ලාගෙන බෙහෙත් කරපු සතාගේ ෆොටෝ එකක් ෆෝන් එකෙන් ගහලා ෆේස් බුක් එකේ ගෲප් එකක් තියනවා සත්තු ගැන, එ්කට දැම්මා එතකොට තමයි මේ සතා හඳුනාගත්තේ පොළඟෙක් කියලා.   
මට සත්තු හඳුනාගැනීමට තිබුණු උනන්දුව නිසා ෆේස්බුක් එකෙන් අයියා (සජිත් කුමාර) කෙනෙක් හඳුනාගත්තා. එයාට අවුරුදු 20 යි. සර්පයන් ගැන හොඳ දැනුමක් තියෙනවා. ඉන්නේ හොරණ. එයාගේ මාර්ගයෙන් උරගයන් අල්ලන විදිහ. අතේ තියාගෙන ඉන්න විදිහ. වාගේම ඔවුන් කැලෑවට මුදා හරින තෙක් සිදු කළ යුතු බොහෝ දෑ මම ඉගෙන ගත්තේ ඒ අයියා සමග අන්තර්ජාලයේ “වට්ස්ඇප්” හරහා. මේ වෙනවිට ඒ අයියා සර්පයන් 500 කට වැඩි ප්‍රමාණයක් අල්ලා ඔවුන්ගේ ජීවිත වලට අවශ්‍ය පරිසර පද්ධතියකට මං වාගේම මුදා හැරලා තිබෙනවා.   


අපි දෙන්නාගේ මේ මිත්‍රකම නිසා ඒ අයියා අපේ ගෙදර ඇවිත් මට උරග සත්තු ඇල්ලීම සම්බන්ධයෙන් ප්‍රායෝගිකව කියාදීම් සිදු කළා. එයා ආපු දවසේම අපේ ගෙවල් අසල ළිඳකට වැටිලා හිටපු නයෙක් අපි බේරා ගත්තා. මට ඔහු විසින් ලබා දුන්න උරගයන් සම්බන්ධ අධ්‍යාපනයට මම ඔහුට ලබා දුන්නේ මාගේ අත්තාගේ පරම්පරා අත්වෙදකම. දැන් ඔහුට ඒ වෙදකම හොඳට පුළුවන්. ඔහුට ඒ වෙදකමත් එම ප්‍රදේශයේ කරගෙන යන්න අවශ්‍ය දැනුම ලබා දුන්නා.   


මුලින් මුලින් මාගේ අම්මා, තාත්තා සර්ප සතුන් ඇල්ලීමට එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. මොනවා හරි කරදරයක් කරගයි කියලා. නමුත් දැන් නම් ඒ අයගෙන් විශාල බලපෑමක් මට නැහැ. මාගේ අම්මා ගෘහණියක්. තාත්තා යුද හමුදාවේ සේවය කරනවා. අපේ ගෙදර අම්මාගේ පියා සහ මවත් අම්මා සහ මල්ලියි මගේ තාත්තා තමයි ඉන්නේ.   


කාන්තාවක් විදිහටත් පාසල් දියණියක් විදිහටත් මේ වාගේ දේවල් කරනවාට සමාජයේ සමහර උදවිය කැමැති නැහැ. විශේෂයෙන්ම මම කාන්තාවක් නිසා ඊට සමහර අයගෙන් ලොකු විරෝධයකුත් තියෙනවා. සමහර පිරිස් මම උරගයින් අල්ලාගෙන ගෙදර තියාගෙන ඉන්නවා කියලා වනජීවී එකට වාගේම සත්ව අහිංසන සංවිධාන වලට දුරකථන පණිවිඩ දීලා තිබුණා. ඔවුන් මගෙන් ඇසුවා. මම කීවා ඇවිත් බලන්න. මම සත්තු ඇති කරන්නේ නැහැ. මැරෙන්න ගිය පොළඟා බෙහෙත් කරලා කැලෑවට දැම්මා. මට කවුරු හරි කතා කරලා නිවසට උරගයෙක් ඇවිත්, අපේ වත්තේ විෂ නයි, පොළඟුන් වැනි සත්තු ඉන්නවා කීවොත් මම ඒ සත්තු අල්ලාගෙන මල්ලකට දාගෙන අපේ ගෙවල් වලට කිලෝමීටර් 04 ක් විතර එපිටින් තියෙන දොඩම්ගොහේ රක්ෂිතයට මුදා හරිනවා කිව්වා.   


මාගේ මාමා අසරණ වෙච්ච සතුන් රක්ෂිතයට මුදා හැරීම් කටයුතු වලදි මට උදව් කරනවා. මාත් එක්ක ත්‍රීවීල් එකේ ඇවිත් රක්ෂිතයට ඒ සත්තු මුදා හරින්න උදව් කරනවා. මම අනාගතයේදි මේ සතුන් පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයට යොමුවීමට ඉතා කැමැතියි. ඒ වාගේම හෙළවෙදකම, පරම්පරික අත්වෙදකම තව තවත් ප්‍රගුණ කරන්නට කැමැතියි.   


මේ සියලු දේ විස්තර කළ ඇයගෙන් අප තවත් කාරණයක් විමසුවා. මේ සතුන් ඇල්ලීමට මන්ත්‍ර ගුරුකම් සහ වෙනත් ක්‍රම උපායක් භාවිතයට ගන්නවාද යන්න ගැන. ඊට හසන්ති පිළිතුරු දෙමින් මෙසේ කීවාය.   
විෂඝෝර සර්පයන් ඇල්ලීමට මම කිසිදු උපකරණයක් භාවිතා කරන්නේ නැහැ. මාගේ අත්දෙකෙන්මයි අල්ලා ගන්නේ. සතාගේ හැසීරීම් මට හොඳින් තේරුම් ගත හැකියි. ඒ නිසා සතා මට මාගේ අත්දෙකේ ඕනෑම වේලාවක් තබා ගැනීමට මට එතරම් අපහසුවක් නොවෙයි. ඒ වාගේම මන්ත්‍ර බලෙන් සත්තු අල්ලනවා කියලා කවුරු හරි කියනවා නම් එ්ක මට නම් පිළිගන්න බැහැ. මම හිතන්නේ එක බොරුවක් කියලායි. නිසි පුහුණුවක් තිබුණොත් එ්ක කරන්න පුළුවන්. බය නැති වෙන්නත් ඕනෑ. ඒ වාගේම ඒ සතුන් ගැන පිළිකුලක් දැනෙන්නත් බැහැ.   


මට මේ සත්තු කැලෑවට නිදහස් කරන්න වනජීවී එකෙන් අවසරයක් ලැබෙනවා නම් ලොකු දෙයක්. ඒ වාගේම සත්තු වෙනුවෙන් මොනවා හරි සංවිධානයක් පටන් ගන්න මම අශාවෙන් ඉන්නේ. ඒ වාගේම මිනිස්සු දැනුවත් කරන්නත් මම හරි කැමැතියි. ඒ වාගේම මම හරි කැමැතියි වනජීවී එකේ රැකියාවක් කරන්න. ඒ සඳහා උදව් කර හැකි කෙනෙක් ඉන්නවා නම් මට උදව් කරන්න යැයිද ඇය අප සමග පැවැසුවාය.   

 

 

ඡායාරූප සහ සටහන - මාවනැල්ල හෙම්මාතගම   
සමන් විජය බණ්ඩාර