විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන මෙහෙණින් වහන්සේ


ප්‍රතිකාර ගැනීමට රෝගීන් සිය ගණනක් පෝලිමේ  

 

නාවලපිටිය - ගිනිගත්හේන මාර්ගයේ හුලන්ගස්හින්න ප්‍රදේශය දුටුවන් මන බඳින පෙදෙසකි. සතර අත කඳු පන්තියෙන් වටවූ හුලන්ගස්හින්න ගම්මානයට යාබදව ඇති කබරගල කන්ද හුලන්ගස්හින්න ගම්මානය රකින මහා පවුරක් බඳුය.   


”‍ගිනිගත්හේන පාරේ මෙහෙනි ආරාමයක් තියෙනවා ඒ ආරාමේ වැඩ ඉන්න මෙහෙනින්නාන්සේ නමක් සුව කිරීමට නොහැකි බොහෝ අසනීප විශ්ව ශක්තියෙන් සුව කරනවා. එවන් දෙයක් කණ වැකුණු පසු එහි නිරවද්‍යතාව සෙවීමට උත්සුක වූයේ එහි යම් සත්‍ය අසත්‍යතාවයක් ඇති බවට වූ කුකුස නිසාවෙන්. නාවලපිටිය නගරයේ සිට ගිනිගත්හේන මාර්ගයේ කිලෝමීටර් දෙකක පමණ දුරක් පැමිණි පසු දකුණු දෙසින් වන අරණකට යාව ඉදිකර ඇති අපූරු වෙහෙර වහන්සේ පිහිටි භූමිය විසිරුණු සිත් එක්තැන් කරන්නට හැකි පරිසරයක් බව එහි යන ඕනෑම අයෙකුට තේරුම් ගැනීමට එතරම් කාලයක් ගත වන්නේ නැත.”‍ උත්පලවන්නා මෙහෙනි ආරාමය ”‍ට ගොඩවැදුණු සැණින් කුඩා කුඩා මෙහෙනින්නාන්සේලා දිව එන්නේ අපේ ළමා විය යළිත් මතකයට ගෙන එමින්ය.

   
දකුණු අත ඉදිරියට දිගුකර නිසොල්මනේ විහාර භූමියේ වැඩ හිඳින සමාධි පිළිම වහන්සේ දෙස බලා සිටින දහසකුත් බැතිමතුන් අතර ලොකු, කුඩා, බාල, මහළු සියලු‍ දෙනා සිටින්නේ තම ශරීර පංචස්කන්ධයට වැළඳී ඇති නානාවිධ රෝගාබාධ දුරු කරගැනීමේ පරම අටියෙන් ය. රෝගීන් එලෙස සිටින විට එම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ බුදු හාමුදුරුවන් දෙසූ නිර්මල දහම දේශනා කරන අයුරු අපට දැකගත හැකිය.   


ලක්දිව පමණක් නොව විදේශ රටවල පවා මහත් ප්‍රසිද්ධියක් උසුලා ඇත්තේ ශ්‍රී ලංකාවේ නාවලපිටිය නගරයට යාබදව බුදුගුණ බලෙන් ලෙඩ සුව කරන මෙහෙනින් වහන්සේ නමක් වැඩ සිටින බවය. එවන් පතළ ප්‍රවෘත්තියක ඇත්ත නැත්ත සොයා සිය අසනීප තත්ත්වයන්ට පිළිසරණක් සොයා පැමිණි රෝගීන් එම විහාරස්ථානයේ භූමිය පිරෙන්නට සිටින්නේ බිඳකුදු අවිශ්වාසයක් සිත් හී දරා නම් නොවේ. උත්පලවන්නා මෙහෙනි ආරාමයට ගොඩවැදුණු පසු එහි සිටි රෝගී පුද්ගලයන් අතරින් පළමුව කතා කළේ පූගොඩ ප්‍රදේශයේ සිට පැමිණි කාන්තාවකටය. මේ ඇය සිය අත්දැකීම විස්තර කළ අයුරුයි. 

 

 


 ‘‘මගේ නම චන්ද්‍ර හපුආරච්චි. වයස අවුරුදු 62යි. අපි ආවේ ගම්පහ, පූගොඩ ඉඳලයි. කොරෝනා වයිරසයට ලබා දුන් එන්නත අසාත්මිකතාවෙන් මම අසනීප වුණා. මගේ දකුණු අතයි, දකුණු කකුලයි පණනැති වුණා. අංශභාගය රෝගය මට වැළඳුනා. ඉන් පස්සේ රජයේ ඉස්පිරිතාල කිහිපයක ප්‍රතිකාර ගත්තා. ඉන් පස්සේ මම ආයුර්වේද ප්‍රතිකාර කළා. ඒත් සුවයක් දැනුනේ නැහැ. පස්සේ ආරංචියක් ආවා නාවලපිටිය ගිණිගත්හේන පාරේ මෙහෙනි ආරාමයක මෙහෙනින් වහන්සේ නමක් මේ වගේ දරුණු රෝගීන්ට ප්‍රතිකාර කරනවා බුදුගුණෙන් කියලා. ඉතින් මේ ලෝකේ අපිට වටිනාම දේ බුදු දහම නිසා අපි ලොකූ විශ්වාසයකින් මෙතැනට ආවා. මෙහෙනින් වහන්සේ මට ප්‍රතිකාර කළා. ඇවිදගන්න බැරිව හිටිය මම දැන් ඇවිදිනවා. මේ මෑණියන් වහන්සේටත් බුදුරජාණන්වහන්සේටත් බොහෝම පින් කියලා තමයි කියන්න තියෙන්නේ ඇය කීවාය.   
 ගාල්ල, ඉමදූව, දික්කුඹුර ප්‍රදේශයේ පදිංචි පුෂ්පා මාලනී මහත්මිය කාලාන්තරයක් තිස්සේ සිය පාදයේ පැවති අසනීප තත්ත්වය සුව කර ගැනීමේ අටියෙන් නාවලපිටිය උත්පලවන්නා මෙහෙනි ආරාමයට පැමිණ සිටියාය. සිය අසනීප තත්ත්වය පිළිබඳව කරුණු කියන්නට පුෂ්පා මාලනී මහත්මිය අමතක නොකළාය.   
 මම වසර හය හතක් දණහිස් අමාරුවකින් දුක් වින්දා. මට සමහරක් වෙලාවට සාමාන්‍ය කෙනෙක් විදිහට ඇවිදලාවත් යන්න හැකියාවක් තිබ්බේ නැහැ. ගාල්ල ප්‍රදේශයේ තිබ්බ හැම ඉස්පිරිතාලෙකින්ම බෙහෙත් ගත්තා . ඒත් ඒ කිසිම ප්‍රතිකාරයකට මගේ ලෙඩේ හොඳ වුණේ නැහැ. අවසානේ තමයි මම මේ මෙහෙනින් වහන්සේ මුණගැහෙන්න ආවේ. ආපු පළවෙනි දවසෙම මගේ ලෙඩේ හොඳ වුණා කිව්වොත් නිවැරැදියි. ඒ ප්‍රතිකාර ගත්ත දවසට පස්සේ දවසේ අපි අම්බුලු‍වාව කන්ද පවා නැග්ගා. ඉතින් මට කියන්න පුළුවන් මට සුවය ලැබුණේ මේ මෙහෙනින් වහන්සේගේ ධර්ම උපදේශනය නිසා කියන එක කියන්න කැමතියි.   
 නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිණී ඊ.එම්. ශ්‍රියාණි මහත්මිය මුණගැසෙන්නට මා අනතුරුව කටයුතු කළෙමි.   


 නාවලපිටිය ගිණිගත්හේන මාර්ගයේ 2 කණුව හුලන්ගස්හින්න ප්‍රදේශයේ පිහිටි උත්පලවන්නා මෙහෙනි ආරාමයේ වැඩ සිටින සුසිලා සෝභනී මෙහෙනින් වහන්සේගේ විශ්ව ශක්ති ප්‍රතිකාර පිළිබඳව වැඩි අවධානයක් හා වැඩි සැලකිල්ලක් දක්වන සුවිශේෂී කාන්තාවක වූ ශ්‍රියාණි මහත්මිය බටහිර වෛද්‍ය විද්‍යාව හා උරෙනුර ගැටෙන කෙනෙක් වීමත්, ඇහැට දක්නට නොමැති වුවත් විශ්වයේ ඇති යම් අදෘශ්‍යමාන බලයක් පිළිබඳව ඇය තබා ඇති නොබිඳුණු විශ්වාසයත් යන කරුණු කෙරෙහි මා අවධානය යොමු කළෙමි. මේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිණී ඊ.එම්. ශ්‍රියානි මහත්මිය සිය විශ්වාසය වචන බවට පරිවර්තනය කළේ මෙලෙසිනි. 

 
 මගේ වෘත්තීය ජීවිතයේ රෝගී ජීවිත දහස් ගණනකගේ අත්දැකීම් මට තියෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවට යම් යම් රෝගී ජීවිත බේරා ගන්න බැරි අවස්ථා මම ඕන තරම් දැකලා තියෙනවා .ඒ අතර අපේ රෝහලේ දිසානායක කියලා මහත්තයෙක් මාර්ගයෙන් මට නාවලපිටිය ”‍ උත්පලවන්නා මෙහෙනි ආරාමයේ ”‍ ලොකු මෙහෙනින්වහන්සේ අඳුන ගන්න හැකියාව ලැබුණා. උන්වහන්සේ බුදුගුණ බලයෙන් රෝගීන් සුවපත් කරන බව මම අත්දැකීමෙන් දන්නවා. එක් උදාහරණයක්, උදාහරණ දෙකක් නෙවෙයි මට ඊට වඩා උදාහරණ කියන්න පුළුවන්. එක දවසක් මහනුවර මහ රෝහලෙන් අපේ දැඩි සත්කාර ඒකකයට රෝගියෙක් මාරු කර එව්වා. ඒ රෝගී පුද්ගලයාට වයස තිස් එකක් වෙනවා. ඔහුගේ නම ධම්මික. හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. යතුරුපැදිය අනතුරකට ලක් වෙලා ඔහුගේ හිසට බරපතළ හානි වෙලා තිබුණා. ඒ රෝගියා ගේනවිට නහයෙන් සහ ඇස් දෙකෙන් ලේ ගලනවා. විශේෂඥ වෛද්‍ය නිර්දේශය වුණේ රෝගියා ජීවත් කරවීමට නොහැකි බවයි.   


 කොළඹ පෞද්ගලික රෝහලක සැත්කමක් කිරීමට රුපියල් ලක්ෂ පනහකට වැඩි මුදලක් අවශ්‍ය බව සඳහන් කර තිබුණා. ඒ අතර ඒ රෝගියාගේ පවුලේ ඥාතීන් එකතුවෙලා ඒ රෝගියා එලෙස පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යාමටත් කටයුතු කර තිබුණා. ඔය අතර අපි මතු කී උත්පලවන්නා මෙහෙනි ආරාමයේ සුසිලා සෝභනී සිල් මාතාවට මේ රෝගියා ගැන මතක් කළා. උන්වහන්සේ දුරකතනයෙන් රෝගියාට බුද්ධ ධර්මය දේශනා කරන්න අරගෙන අවසානෙට මෙහෙම කිව්වා. ඔය රෝගියා හොල්ලන්නවත් එපා. ඔය රෝගියා හෙට හවස 2.30 වෙද්දී ඇස් අරිනවා. එක අතක් උස්සන්න ගන්නවා කියලා. අනේ අපිත් ඒ කී දේ විශ්වාස කළා. පහුවෙනිදා හවස දෙක වෙනකොට ඒ සිල් මෑණි කිව්ව විදිහටම රෝගියා සුව වෙන්න ගත්තා. පසුව රෝගීයා පරීක්ෂණ කිහිපයකට ලක් කළා. එවිට රෝගී පුද්ගලයාගේ තත්ත්වය එන්න එන්නම සුව වෙන්න ගත්තා. අවසානයේ ජීවත් නොවන බව කිව්ව රෝගියා අද වෙනකොට සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක් විදිහට ජීවත් වෙනවා කියලා කියන්නෙත් පුදුමාකාර සතුටකින් බව කිවයුතුමයි. ඒ එක් උදාහරණයක් පමණයි. තව අපේ රෝහලේම කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් දරුණු ලෙස රෝගී වෙලා අවසානයේ ඒ වෛද්‍යවරයාද මේ සිල් මෑණිගේ ඇති විශ්වශක්තියේ බලයෙන් සුව වුනා කියලා කියන්න කැමතියි. මෙහිදී මට කියන්න උවමනා එක දෙයයි. ඒ තමයි අපි බුදුදහම සම්පූර්ණයෙන් විශ්වාස කරනවා. ඉතින් බුදු දහම දේශනා කරන මේ සිල් මෑණිගේ මේ වටිනා ක්‍රියාවත් අපිට විශ්වාසයි කියන දේ කිව යුතුමයි.   


 නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිණී ඊ.එම් ශ්‍රියාණි මහත්මිය විසින් අනාවරණය කළ හෙම්මාතගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ ධම්මික නමැති පුද්ගලයාගේ තොරතුරු සොයා ගැනීමට උත්සාහ කළේ මේ කියූ සිද්ධිදාමයේ කරුණු එකිනෙක ගලපා ගැනීමේ අටියෙන්ය. අනතුරුව ධම්මික මහතාව සම්බන්ධ කර ගැනීමට මා හට හැකි විය.   


 2017 වර්ෂයේ පෙබරවාරි මස 04 වැනි දින යතුරුපැදි අනතුරකට ලක්වූ ධම්මික මහතා සිය අමිහිරි අත්දැකීම විස්තර කරන්නට යෙදුනේ මේ අන්දමින්ය.   


 මගේ යතුරුපැදිය අනතුරට ලක් වුණා. මගේ හිසට තමයි ලොකුවට අනතුරු වෙලා තිබුණේ. ඉන් පස්සේ මම ගම්පොළ ඉස්පිරිතාලෙට ගෙනැල්ලා මාව නුවර ඉස්පිරිතාලෙට මාරුකරලා යැව්වා. නුවර දැඩි සත්කාර ඒකකයේ ඉඩ නොතිබ්බ නිසා මාව නාවලපිටිය දැඩි සත්කාර ඒකකයට මාරුකරලා එව්වා. මාව පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍ය මතය වෙලා තියෙන්නේ මගේ හිසට සිදුවෙච්ච අනතුර හින්දා මගේ මොලේ ලේ කැටියක් හිරවෙලා තියෙනවා කියලා. මට සිහිය ආවත් මා සාමාන්‍ය පුද්ගලයෙක්ගේ මට්ටමට ගන්න බැරිබවත් සැත්කම් කිහිපයකින් පසු මගේ ජීවිතය පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් මට කියා තිබුණා. ඉන් අනතුරුව අපේ පවුලේ අය කොළඹ සිටින ස්නායු විශේෂඥ වෛද්‍යවරයකුට මාගේ අසනීප තත්ත්වය පිළිබඳව කරුණු කී පසු සැත්කමක් කිරීමට රුපියල් ලක්ෂ පනහක පමණ මුදලක් අවශ්‍ය බව සඳහන් කර තිබුණා. ඒත් මගේ ජීවිතය ගැන සෑහීමකට පත්වීමට හැකි වාතාවරණයක් නොමැති බවත් හෙතෙම පවසා තිබුණා. ඔය අතර තමයි මේ මෙහෙණින් වහන්සේ ගැන අපිට ආරංචිය ආවේ. ඉතින් මෙහෙනින් වහන්සේ මට ධර්මය දේශනා කරලා පසුවදා හවස 2.30 වෙද්දින් මම යම් සුවයක් ලබන බව පවසා තිබුණා. ඇත්තටම පුදුමේ කියන්නේ උන්වහන්සේ කිව්ව විදිහටම මට පහුවෙනිදා ප්‍රකෘති සිහිය ඇවිත් මගේ අවයව ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන. පස්සේ මගේ පරීක්ෂණ කරලා බලනකොට අර කිව්ව මොළේ ලේ කැටිය දිය වෙලා කියලා දැන ගත්තා. මම නාවලපිටිය රෝහලේ දවස් විසි එකක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා. අනතුරුව මම පේරාදෙණිය රෝහලට ආවා. ඒ ආවේ මගේ හකු ඇටයට හානිවෙලා තිබ්බා. ඒකට ප්‍රතිකාර කළාට පස්සේ මම ගෙදර ආවා. මම අද හොඳින් ජීවත් වෙනවා. දැනට මම රියැදුරෙක් විදිහට සේවය කරනවා. ඉතින් මගේ හෘදයාංගම කෘතවේදීත්වය මෙහෙනින් වහන්සේ ට පුදකරන්න කැමතියි.   


 රෝගී පුද්ගලයන් දහසකුත් දෙනා සුව පත්කළ බව කියන මේ කාලයේ ඉසිවරයෙකු බඳු වූ ගිණිගත්හේන සුසිලා සෝභනී මෙහෙනින් වහන්සේගේ සුවිශේෂී හැකියාව පිළිබඳව කරුණු කී උන්වහන්සේ වැඩිදුරටත් මෙලෙස පැවසුවාය.   


 මා 1972 වර්ෂයේ පැවිදි ජීවිතයට ඇතුළත් වුණා. ඉන් අනතුරුව මා ගාල්ල පරප්පන් දූපතේ මෙහෙනි ආරාමයක කල් ගත කරන කාලයේ ඇමරිකානු ජාතික කාන්තාවක ඉන්දියාවේ ඇල්ලෝරා කියන ප්‍රදේශයේ නිවන සොයා යන ගමනක නිරත වී සිටියා. ඒ ඇමරිකානු ජාතික කාන්තාව ආතරයිටිස් කියන රෝගයෙන් පෙළුණු කාන්තාවක බවත් කියන්න ඕන. ඉන්දියාවේ ඇල්ලෝරාවල හිටිය මේ කාන්තාව සෙව්ව විමුක්ති මග හඳුනා ගැනීමට ඇයට නොහැකි වී තිබූ කාලයක ඇය ලංකාවට පැමිණ මා කී ගාල්ල පරප්පන් දූපතේ නන්සයිලන්ට් කියන දූපතට ඇවිත් අපේ මෙහෙනි ආරාමයේ භාවනා කටයුතු කරන කොට ඇයට අවශ්‍ය භාවනා ශිල්පීය ක්‍රම පුරුදු පුහුණු කළේ මම. ඇයගේ අසනීප තත්ත්වය පිළිබඳවත් වැඩි අවබෝධයෙන් කටයුතු කළ මම ඇයට අවශ්‍ය ධර්ම ශාස්ත්‍රිය කරුණු උගන්වන විට ඇය එක දවසක කිව්වා ‘‘ධම්ම දැක්කා ”‍ කියලා. ඒ පිළිබඳව කරුණු සොයන විට ඇය කියනවා ආපෝ, තේජෝ, වායෝ පඨවි කියන සතර තුළින් තමයි මේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ ආතරයිටිස් කියන්නේ පඨවි ධාතුව වර්ධනය වීම. ඉතින් නිවැරැදි ප්‍රතිකාර තුළින් මේ රෝගී තත්ත්වයන් සුවපත් කිරීමට හැකි වූයේ සුසිලා සෝභනී සිල් මාතාවගේ සුවිශේෂී ධර්ම මාර්ගය පෙන්වීම බවත් ඇය පැවසුවා ඇය කීවාය.   


 අනතුරුව සිය විහාරස්ථානයේ වැඩසිටින සමාධි බුදු පිළිමවහන්සේ පිළිබඳව කරුණු කී සුසිලා සෝභනී මෙහෙනින් වහන්සේ මෙවන් දෙයක් පැවසුවාය.   


 මේ පිළිම වහන්සේ 2004 වර්ෂය වෙනකොට වැඩහිටියේ ගාල්ල කොස්ගොඩ ප්‍රදේශයේ. සුනාමිය ගලනකොට මේ පිළිම වහන්සේත් ඒ සුනාමි රළ පහරට අසුවෙලා මහ මුහුදට ගහගෙන ගිහින් තියෙනවා. නමුත් බුදු රජාණන්වහන්සේගේ නිර්මල බුදු දහම කෙරෙහි අපි තබා තිබූ අචල විශ්වාසය තවත් ඔප්පු වෙච්ච කරුණ තමයි මේ සුනාමි රළට හසු වෙච්ච මේ පිළිම වහන්සේ යළිත් වැඩ සිටිය ස්ථානයේම දක්නට ලැබිලා තියෙනවා. ඉතින් මේක තමයි මේ පිළිම වහන්සේගේ වටිනාකම. ඉන් පස්සේ අපි ලොකූ පෙරහැරකින් මේ පිළිම වහන්සේ නාවලපිටිය මේ විහාරස්ථානයට වැඩමවා එතැන් පටන් එයට පුද පූජා පවත්වන්නට කටයුතු කළා.   
 සිය අසනීප තත්ත්වයන් පිළිබඳව කිවයුතු වෛද්‍යවරුන්ට කියා, පෙන්විය යුතු හැම වෛද්‍යවරයෙකුටම පෙන්වා නිසි සුවයක් නොලබා පීඩා විඳින දහසකුත් රෝගීන් යා යුත්තේ කොතැනටද, කිවයුත්තේ කාටදැයි නිසි අවබෝධයක් නොමැතිව හැල්මේ දුවන මුව පොව්වන් මෙනි. එහෙත් නාවලපිටිය උත්පලවන්නා මෙහෙනි ආරාමයට පැමිණි ලොකු කුඩා බාල මහලු රෝගීන් බුදුන් දෙසූ ධර්ම කරුණු ශ්‍රවණය කර, සුසිලා සෝභනී සිල් මාතාවගේ විශ්ව ශක්ති බලයෙන් මුදාහරින ධර්ම කරුණු ශ්‍රවණය කර හා ඇයගේ උපදෙස් අනුව කටයුතු කර ඉන් පිහිට ලබා එතැනින් පිටත්ව යන අයුරු අපට දැකගත හැකි විය.   

 

 

සටහන - ඡායාරූප 
නාවලපිටිය සිසිර ලලිත් කුමාර