වියපත් සැමියා මැරූ පාපය ළාබාල බිරිඳට පල දුන් හැටි


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මෙම විශේෂාංගය ඒ වෙනුවෙනි.

 

 

 

මහනුවර ජේ.එල්. ජයසිංහ මහතා ලියා එවු කතාවක් මෙසේය..


ඇය හඳුන්වන්නේ කුමාරි ලෙසය. ඉතා රූමත් වයස අවු 20 ක් පමණ වූ ඇය කොහෙන් ආවා දැයි කවුරුත් නොදනී. ඇගේ සැමියා වූයේ ඉතා දුක් මහන්සියෙන් කුඩා වෙළෙඳාමක් පවත්වාගෙන යමින් කිසියම් සතුටු දායක ආර්ථික තත්ත්වයක් උදා කර ගත් ගැමියෙකි.


මෙම සිදුවීම වුයේ 65 වසරේදීය. එවකට නිවාස මුදලාලි ලෙස හඳුන්වන ඔහුගේ එකම ඇඳුම වුයේ සුදු කොටු සහිත සරමක් සහ සුදු අත් කොට බැනියමකි. ඔහුගේ ව්‍යාපාරය බයිසිකල් රෝද 08 ක් යොදා සකස් කළ ලෑලි හා කම්බි දැල් යෙදූ විශාල කරන්තයකි. එය වෙළෙඳ කුටියක් මෙනි. එහි නැති දෙයක් නැත. ලුණු කැටයේ සිට සහල් පොල්, පරිප්පු මුං ඇට, කඩල විවිධ ලොසින්ජර් වර්ග පාන් බනිස් හා විස්කෝතු වර්ග ද දුම් වැටි ගිනි පෙට්ටි සබන් පවුඩර් වර්ග ද මෙම ජංගම වෙළෙඳ කුටියේ අලෙවි කෙරිණ.
ඔහුට නිවාස මුදලාලි ලෙස ගම්වාසීන් නම යෙදුවේ එවකට පීටර් කෙනමන් මහතා නිවාස ඇමතිව සිටියදි ඉතා අඩු මුදලකට ලැබුණ කුලී නිවස (මසකට 6-22 කි.) එවකට ඔහුගේ ස්ථිර වාසස්ථානය වු නිසාය.


තරුණ බිරිඳ නිවසේ ඉතා ආරක්ෂාකාරීව තබා දිනපතා හිමිදිරියේ නගරයේ ජනාකීර්ණ මාර්ගයක් අයිනේ සිය ජංගම වෙළෙඳ කුටිය පවත්වාගෙන ගිය ඔහු සයිමන් මුදලාලිය. (අන්වර්ථ නමකි.)


පාසල් යන අවස්ථා වල ඔහුගේ ජංගම වෙළෙඳ කුටිය වෙත ළඟා වී නාරන් බික් ලොසින්ජර් හා විස්කෝතු ශථ 25 ක මිලදී ගැනීමේ පුරුද්දක් අපට තිබිණි.


හිමිදිරියේ වෙ​ෙළඳාම ආරම්භ කරන ඔහු දවල්ට රෝස් පාන් කාලක් රතු ලූනු ගෙඩියක් සමග ආහාරයට ගෙන කහට කෝප්පය බොන්නේ අල්ලට සිනී දමාගෙනය. එහෙත් බිරිඳට රාත්‍රියට නගරයේ ජා-මුස්ලිම් වෙළෙඳුන්ගේ හෝටල් වලින් කුකුල් මස් බුරියානි රැගෙන ගොස් කෑමට දීමට ඔහු දිනපතා කටයුතු කළේය.


බිරිඳට අසීමිත ලෙස ආදරය කළ ඔහුට එවකට වයස අවුරුදු 48 ක් පමණ විය. බිරිඳ නිවසින් පිටතට හෝ රැගෙන නොඑන ඔහු රාත්‍රී කාලයට සිය ජංගම වෙළෙඳ සල (රාත්‍රී 7.00 ට වසා දමා නිවසට යන්නේ බිරිඳ ආශා කරන විවිධ රස කැවිලි (බූංදි සහ තලගුළි) රැගෙනය. කාලය කෙමෙන් ගෙවී ගියේය. දිනක් හිමිදිරි අවදිවී අප රංචු ගැසී මිතුරන් සමග පාසලට යාමට මාර්ගයට බැස්ස විට ඉතා දුක් මුසු ආරංචියක් අසන්නට ලැබිණි.


නිවාස මුදලාලි ගෙදර සාලේ කපා කොටා ලේ විලක් මැද මරා දමා ඇති බව එම දුක් මුසු පුවතයි. පාසැල් පොත් ද ගෙන අප සියලු දෙනා මිතුරන් හා දිව ගියේ නිවාස මුදලාලිගේ නිවස කරාය. අපට නිවස ළඟට යන්නට පොලිසිය හා වැඩිහිටියන් ඉඩ දුන්නේ නැත. නිවාස මුදලාලිගේ බිරිඳ හඬමින් සිටිනු දැක ගත හැකි විය. පොලිසිය කට උත්තර ගනු ලැබීය.
නිදා සිටියදී නිවාස මුදලාලිගේ හිසට පපුවට සහ පාද වලට පොරොවකින් කොටා මරා දමා තිබූ අතර අසල පොරාව ද තිබී පොලිසිය සොයා ගෙන තිබිණි.


බිරිඳ පැවසුවේ සොරෙකු ජනේලයෙන් පැනවිත් තම සැමියාට කොටා ජනේලයෙන්ම පැන ගිය බවය. එහෙත් බිරිඳ තනිව කාමරයක නිදා ගෙන සිටි බව පොලිස් විමර්ශන වලදී හෙළි වී තිබිණි.


පොලිසිය පරික්ෂණ කර පොලිස් බල්ලන් ද යෙදවිය. මිනීමරුවා සොයා ගත නොහැකි විය. කලක් ගතවත්ම නිවාස මුදලාලිගේ සොහොයුරා දෙසට ගම්වාසීන්ගේ සැකය යොමු විය. ඔහු හා නිවාස මුදලාලිගේ රූමත් තරුණ බිරිඳ අතර සම්බන්ධයක් තිබෙන බවට ගම පුරා පැතිර ගියේය. සැකරුවෙක් සොයා ගත නොහැකිව පොලිසිය දිගටම පරීක්ෂණ පැවැත්වීය. නඩුව අධිකරණයට ද ගියේය. නිවාස මුදලාලි මරා දැමූ පුද්ගලයා තමන් නොදුටු බවත් ඔහු ගෙයි මැද සාලයේ බිම නිදා සිටි බවත් තමන් කාමරයේ තනිව නිදා සිටි බවත් බිරිඳ පොලිසියට අධිකරණයට පවා ප්‍රකාශකර සිටියාය.


නඩුව දිගු කලක් විභාග වී අවසානයේ මිනී මැරුමට විත්තිකරුවෙකු ද නැතිව ගියේය. කාලය කෙමෙන් ගෙවී ගියේය. නිවාස මුදලාලිගේ සොයුරා සමග නිවාස මුදලාලිගේ තරුණ බිරිඳ රහසේ සබඳතා පැවැත්වීම ඉතා ප්‍රසිද්ධ එකක් බවට පත් විය.


ඔවුන් දෙදෙනා අතර නිතර නිතර ආරවුල් පවා ඇති විය. දෙදෙනා රණ්ඩු සරුවල් වෙද්දී එක්ව කළ අපරාධයේ කතාව ද කනින් කොනින් ගම පුරා පැතිරිණි. එහෙත් ඒවා කිසිවක් ඔප්පු කළ නොහැකි ඒවා විය.


තවත් කලක් යද්දි රූමත් කුමාරි නම් වූ නිවාස මුදලාලිගේ බිරිඳ ගිනි තබාගෙන සිය දිවි නසා ගත් බව ආරංචි විය. සැබැවින්ම ඇය ගිනි තබා ගෙන සිය දිවි නසා ගත් හේතුව ගම පුරා පැතිර ගියේය. අබිරහස් ලෙස අහිංසක මුදලාලි ඝාතනය වන විට විශාල මුදලක් ද නිවසේ තිබු බව අවට ගම්වාසීන්ගෙන්ම දැන ගත හැක විය.


අවසානයේ තම ආදරණීය ස්වාමි පුරුෂයා මරා දැමීමේ චෝදනා ගම්මු විසින්ම කුමාරිට එල්ල කර තිබිණි. එහෙත් ඒ වන විටත් ඇය මෙලොව හැර ගොසිනි. ඇයට තම ජීවිතයේදීම තමන් කළ අපරාදයට දඬුවම් ලැබුණු බව සත්‍ය තෙරතුරු දත් ගම්වාසීහු පැවසූහ.


හරි හම්බ කළ දේ තමන් නොකා නොබී අහිමි කර ගත් මුදලාලිට සිදු වූයේ තමන්ට වඩා වසර ගණනාවක් බාල රූමත් කාන්තාවක් විවාහ කර ගෙන ඇයට සියලු සැප පහසුකම් ලබා දී අවසානයේ තම ජීවිතය ද ඇය අතින්ම කෙළවර කර ගන්නටය.

 



බිංගිරිය කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා ලියා එවු කතාවකි.ම

රා දැමූ සතුන්ගේ හඬින් කෑ ගසමින් මස්වැද්දා මියයයි


බහ තේරෙන වයසේ සිටම මස් මාළුවලට තද බල ලෙස ගිජු කමක් දැක් වු සෝමපාල මිය පරලොව යන තෙක්ම ඔහු අතින් මරු වසභයට පත් වු සතුන් සංඛ්‍යාව ද අති මහත්ය. ගිනි අවියක් ද රැගෙන දිවා රෑ නොබලා සතුන් දඩයමේ යෙදුණේ කිසිම හිතක් පපුවක් නොමැති ලෙසය.


ඔහුගේ ජීවිත කාලය තුළ දී මරණ ලද හාවුන්, මී මින්නන්, වඳුරන්, රිළවුන්, වල් ඌරන්, මුවන්, ගෝනුන්, තලගොයින්, ඉත්තෑවුන් වැනි සතුන් සංඛ්‍යාව ද අති මහත්ය. තුන් වේලටම දඩ මස් බුඳින ඔහුගේ නිවසේ දුම් මැස්සේ වේළන ලද මස් ප්‍රමාණය ද අති මහත් වූ අතර එම මස් පදමට වේළුණු පසු උම්බලකඩ කර වරින් වර ආහාරයට ගනී.


කල්යත්ම ඔහු මැදි වියට පත්වත්ම රෝගාතුර විය. බටහිර හා දේශීය වෛද්‍ය ප්‍රතිකාර කොතෙක් කළ ද දිනෙන් දින රෝගය දරුණු වී උත්සන්න වූ අතර අවසානයේ ඔහු ඇද වැටුණේ ලෙඩ ඇඳටය. කැත කුණු අතර ඇඳෙහි ජීවත් වූ ඔහු රැක බලා ගත් අනෙකුත් නිවැසියන්ට ද හිමි වුයේ මිහිපිට අපායක ජීවත් වීමටය.


මෙසේ වර්ෂ ගණනාවක් මෙසේ ජීවත් වූ ඔහු නිතර නිතරම හාවුන් මීමින්නන් වඳුරන් රිළවුන් වල් ඌරන් මුවන් ගෝනුන් තලගොයින්ගේ හඬින් කෑමොර දීමට පටන් ගත්තේ තමා විසින් මරු මුවට පත් කරන ලද එම සතුන්ගේ හඬ අනුකරණය කරමිනි.


මෙසේ මෙම සියලුම සත්ව හඬින් කෑමොර දුන් ඔහු අවසානයේ මිය පරලොව ගියේ ජීවත් වන්නන්ට ද මේ ජීවිතයේදීම කළකම් පළ දෙන හැටි මනාව පසක් කරලමිනි.

 



අම්බලන්තොට හේමාල් ගමගේ මහතා ලියා එවූ කතාවකි.

පවුල් වැනසූ රූමතිය අයාලේ ගොස් වැනසෙයි


උප්පැන්න සහතිකයේ නම කුමක් වුවද. අසල්වාසීන් ඇය හැඳින් වූයේ වෙනත් නමකිනි. අපි කුමුදුනී යැයි ඇය හඳුන්වමු. ඇය පස් දෙනෙකු ගෙන් යුත් පවුලේ දෙවැනියායි. කුඩා කල සිට ඇය සතු ගති ඇවතුම් පැවතුම් මව්පියන්ගෙන් සහෝදර සහෝදරියන්ගේන් පමණක් නොව පාසලේ ගුරුවරුන්ගේ ද සිත් රිද වීමට කාරණා විය. නොතේරුම්කම යැයි එබඳු ගති පැවතුම් හා චර්යා ගැන වැඩිහිටියෝ උපේක්ෂාවෙන් ඉවසූහ. වරෙක නොව, බොහෝ වාර වල අවවාද කළේය. ඉන් පලක් නොවිණි. බීරි අලින්ට වීණා ගායනාකිරීම බඳු නිෂ්ඵල ක්‍රියාවක් විය. ලොකු මහත් වන විට මේවා මඟ හැරී යතැයි සිතා ඔවුහු සැනසුම් සුසුම් හෙලූහ. එහෙත් සිදු වුයේ තව තවත් ඇය සතු කුරිරු කම් වර්ධනය වීමයි. කුමුදුනීට තිබූ විශේෂ හැකියාවක් වුයේ ඕනෑම අයෙකු තම වසඟයට ගැනීමත් තමාගේ අවශ්‍යතා පරිදි ඔහු හෝ ඇය වෙහෙස කිරීමත්ය. ඒ අනුව මව්පියන් පවා තම සිතැඟි අනුව අල්ලේ නැටවීමට ඇය සමත් වූවාය.


කුමුදුනී කුමුදු මලක් සේ පිවිතුරු හා සුගන්ධවත් නොවුවද පියකරුය. තරුණ වියට එළඹී ඇය තම රූ සපුව ද කුරිරු කම් වලට අගනා ආයුධයක් කර ගත්තාය. ඊට වශී වූ තරුණයන් ගෙන් විවිධ ලාභ ප්‍රයෝජන ගෙන දත් මැදලා ඉවත දමන දැහැටි දඬු සේ ඉවත ලෑවාය. තරුණයෙක් හා තරුණියක් ප්‍රේමණීය සබඳතාවක් පවත්වනවා දැකිම ඇයට ඇසේ කටු අනින්නාක් මෙන් විය. බොරු කේළම් කියා එම සබඳතාව පලුදු වූ විට ඇය ලබන සොම්නස අති මහත්ය. පාසලේ දී එවැනි සබඳතා බොහෝ ගණනක් බිඳ දමා තිබුණි. එපමණකින් සෑහීමට නොපවත් ඇය තම මෙහෙයුම තවත් පුළුල් කළාය. සමගියෙන් සමාදානයෙන් සතුටින් හා සොම්නසින් යුග දිවි ගෙවන අඹු සැමියන් ඇයට වහකඳුරු මෙන් විය. කෙසේ හෝ ඔවුන්ගේ සමගිය බිඳ හෙළීමට මාන බැලුවාය. කුමුදිනිට හොඳට නින්ද යන්නේ එම උපක්‍රම සාර්ථක වී අඹු සැමියන් විරසක වී පවුල් අවුල් වූ විටය.


කාලය ගෙවී ගියේය. සිතේ කොතරම් කුරිරු කම් පිරී තිබුණ ද කායික අවශ්‍යතා ඉන් සම්පූර්ණ නොවෙයි. ඇයගේ කරුමය ද ඔහුගේ කරුමය ද නොතේරෙයි. කොහේ දෝ යන තරුණයෙක් රුවට වශී වී මේ පංචස්කන්ධය තමන්ගේ කර ගත්තේය. විවිධ හැල හැප්පිලි නොගැළපීම් නිසා ඔවුන්ගේ නිවාසය අපායක් කර ගෙන කාලය ගෙවා දැමූහ. ඔහුගේ පව අවසන් වූ නිසා දෝ හිටි අඩියේ මෙලොව හැර ගියේය. කුමුදුනී ඔහුට වස දී ඇති කතාවක් ද පසුව ගමේ පැතිර ගියේය.


දරු දෙදෙනා සමග කුමුදුනී මෙලොව තනි විය. දිවි ගැට ගසා ගැනීමට මව්පියන්ගේ සහාය පැතූ ඇය විවිධ ආයතනවල සුළු සුළු රැකියාවන් ද කළාය. කල් ගත වෙත්ම මව්පියන්ගේ සැලකිලි අඩු විය. රැකියාවකින් ලබන සොච්චම් මුදල දිවි පැවැත්මට ප්‍රමාණවත් නොවීය. ඇය තිරණයකට එළඹියාය. මේ වන විට බලවත්ම නැගී එමින් තිබු කායික අවශ්‍යතා ද ඉන් පිරිමැහෙන බැවිනි. වයස් පරතරයන් ගැන නොසලකා තමාට වඩා බාල තමාට වඩා වැඩිමහල් ඕනැම පිරිමියෙකු සමග යහන්ගත වීම කිසිම හිරිකිතයකින් තොරව සිදු කිරීමට ඇය දක්ෂ වූවාය.


එයත් පෙර කාලයේ සිටි නගර සෝභිනියක් සේ නම්බුකාර ලෙස නොවේ. ගමේ ගොඩේ බාසාවෙන් කියන පරිදි වෙසඟනක් ගණිකාවක ලෙසය. අනුන් හෙළා තළා ඇමතූ ඇයට ජීවිතයේ අවසන එය විපාක දුන්නේ එබඳු අපකීර්තියක් ගෙන දෙමිනි.
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

 

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්