විදේශ ණයෙන් එද‌ාවේල පිරිමහන කැමරුන් රාජ්‍යය


වළ පල්ලට ගිය රටවල්

කැමරුන් රාජ්‍යයේ දරිද්‍රතාව කැමරා ඇසින්

 

මිනිස් නිදහස තුට්ටු දෙකට දැමූ බඩගෝස්තරවාදී මගෝඩි, පාලකයින් ඉන්න රටවල් කවද‌ාවත් ඉදිරියට යන්නේ නැත. මුග්ධ දේශපාලනයේත්, යල් පැනගිය නිලධාරිවාදයේත් අසාධාරණ නීති පද්ධතියේත් උගුලට කොටු වූ එවැනි රටවල ජනතාව තමන් මෙලොවට බිහිවීම ගැන දුක්වෙති. හඬා වැලපෙති. බොහෝ දේශපාලකයින් සමාජයට පෙන්වන්නේ බොරු සුජාතභාවයකි. 


ඒ දේශයන්හි පුරවැසියන් අවිනිශ්චිත අනාගතයක එළිපත්ත මත දුක් විඳිති. දූෂණයෙහි පත්ලටම කිඳ‌ා බැස ඇති රාජ්‍යයන්හි සිදුවී ඇත්තේ මාරුවෙන් මාරුවට දේශපාලන හොරු මාරු වීමයි. වළපල්ලට ගිය රටවල් රාශියක මා දුටුවේ වැසිකිළියෙන් පවා ජරාව කන දේශපාලකයින්ය. සාගර පත්ලටම ඇද වැටුණ රටවල අසරණ ජනතාවට සැප මෙන් දුක ඉවසා ඉන්න, හිනැහී හිත සනසා ගන්න යයි කීමෙන් පලක් තිබේ ද? 


මෙම තීරුවෙන් අද හඳුන්වා දෙනු ලබන්නේ මධ්‍යම අප්‍රිකාවේ තවත් අසමත් රාජ්‍යයකි. එය කැමරුන් ජනරජයයි. (REPUBLIC OF CAMEROON) මෙයත් විදේශ ණය සහ වි​ෙද්ශ ආධාරවලින් එද‌ා වේල පිරිමසා ගන්නා රටකි. මෙවැනි රටවල අවිචාරවත් දේශපාලකයින්ට ජනතාවගේ දුක, ශෝකය. සංතාපය පිළිබඳ අබමල් රේණුවක දැනුමක්, අවබෝධයක් නැත. 


රැකියාව වෙනුවට වෙඩි උණ්ඩ 


මෙහි රාජ්‍ය මර්දනයට එරෙහිව මහ මඟට බැස උද්ඝෝ්ෂණය කළ තරුණ තරුණියන් 70 දෙනෙකු පොලිසිය මගින් වෙඩි තබා මරා දමන ලද්දේ මීට දින කීපයකට පෙරය. එනම් පෙබරවාරි 9 ද‌ාය. මෙය කැමරුන් රාජ්‍යයේ විරැකියාව උග්‍රවීමේ ප්‍රතිඵලයකි. 


එම රට ගමන් කරන දිශාව පිළිඹිබු කරන හොඳම උද‌ාහරණය මෙයයි. බොහෝ අරාජික රාජ්‍යයන් හි තරුණ අසහනයට පිළියම් යොදන ආකාරය මෙයයි. මෙහි විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව විසිලක්ෂයකට අධිකය. මීට දින කීපයකට පෙර ඔවුන්ට ලැබුණේ රැකියා නොවේ, වෙඩි උණ්ඩය. 


නයිජීරියාව, චැඩ්, ගිනියා, ගැබෝන්, කොංගෝව යන රටවලට මැදිව අත්ලාන්තික් සාගරයට මුහුණලා පිහිටි කැමරුන් රට ප්‍රංශයෙන් නිදහස ලබා ගත්තේ 1960 ජනවාරි 1 ද‌ා ය. ප්‍රංශ භාෂාව මෙන්ම ඉංග්‍රීසි භාෂාව ද මෙහි රාජ්‍ය භාෂාවන්ය. මෙය ලෝකයේ විශාලත්වය අතින් 53 වැනි විශාල රටයි. ව.කි.මී. 4,75,442 ක් හෙවත් ව.සැ. 1,83,569 විශාල මේ රටේ ජනගහණය දෙකෝටි තිස්පන් ලක්ෂයකට මදක් වැඩියි. (2,34,39,189). 


මනහර දූපත්, කඳුයායවල්, කාන්තාර, ඝන වනාන්තරවලින් සමන්විතය. වෝරි ගංගාව රට හරහා ගලාගෙන ගොස් අත්ලාන්තික් සයුරට එක්වන නමුත් ඉන් නිසි ප්‍රයෝජන ලබා ගැනීමට පාලකයින් මෙතෙක් උනන්දු වී නැත. පාලකයින්ට මෙහි කෘෂිකර්මාන්තය නංවා ලීමට මොළයක් නැත. ඔවුන් සිදුකරනුයේ කාසි පස්සේ හඹා යාම පමණකි. 


මේ රටේ මුළු ජනගහණයෙන් සියයට 48 ක් හෙවත් අසූ ලක්ෂයකට වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව සංඛ්‍යා ලේඛන දක්වයි. ළමා ජනගහණයෙන් සියයට 38 ක් කුසට අහරක් නැතිව මන්දපෝෂණයෙන් පෙළෙති. වයස අවු. 15 ට අඩු ළමයින්ගෙන් සියයට 56 ක් පමණ වගා බිම් වල දහඩිය වගුරුවන අයුරු ඛේදජනකය. 


කුඩා දරු දැරියන් 46,000 කට වැඩි පිරිසක් එච්.අයි.වී. හෙවත් ඒඩ්ස් රෝගයට ගොදුරු වී සිටිති. රටපුරා ලිංගාශ්‍රිත රෝග සීඝ්‍රයෙන් පැතිරී යයි. මැලේරියාව මෙන්ම ඩයරියා ඇතුළු රෝග පැතිරී ඇත. සෞඛ්‍ය පහසුකම් නොමැති නිසා මියයන අයගේ සංඛ්‍යාව දෙගුණ තෙගුණ වෙමින් පවතී. 


ජනපති තනතුරට ලෝබ ජනපති 


ජීවත් වන්නට මාර්ගයක් නොමැතිව මෙම රට අතහැර යන්නන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතී. සතියකට දේශ සීමා තරණය කරමින් වෙන රටවල් බලා යන අයගේ සංඛ්‍යාව දෙදහසකට අධිකය. මොවුන්ගෙන් බහුතරය කාන්තාවන් සහ ළමයින්ය. මහ මඟ පයින්ම යන කාන්තාවන් හා ළමයින්ගේ දර්ශන හද කම්පා කරවන සුලු ය. ලිංගික හිංසනයට ලක්වන කාන්තාවන්ගේ සංඛ්‍යාව ද අධික ය. රෝගීන් පන්දහසකට ප්‍රතිකාර ලබා දීමට එක් වෛද්‍යවරයෙකු සිටින මෙවැනි රටක ජීවිතය ගැන කුමන කතා ද? 


අප්‍රිකාවේ බොහෝ රටවල බලයට පත්වන පාලකයින් පාලන බලය අතහැර නොයන බව ප්‍රසිද්ධියේ සඳහන් කළේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඔබාමා ය. කැමරුන් රටේ වත්මන් ජනාධිපති පෝල් බියා ය. (PAUL BIYA) ඔහු එම තනතුරට පත්වුණේ 1982 වර්ෂයේදීය. 


 වසර 37 ක් තිස්සේ ඔහු එම තනතුර හොබවයි. ඔහු ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරගෙන ජීවිතාන්තය තෙක් ජනපති තනතුරේ රැඳී සිටීමට පාර කපාගත් පාලකයෙකි. ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ මෙහි ක්‍රියාත්මක වන්නේ ඉතා දූෂිත මැතිවරණ ක්‍රියාවලියක් බවයි. මෙහිද විටින් විට වෙනස් වන්නේ අගමැති තනතුරයි. දැන් අගමැති ජෝශප් ගුටේය. (JOSEPH NGUTE). 


වැසිකිළියෙනුත් ජරාව කන දේශපාළුවෝ 


‘මාතෘ භූමිය රැකගමු. විදේශ බලවේග විනාශ කරමු, විදේශිකයන් රට සූරා කෑම නවත්වමු, ජාතිය එක්වෙමු’ ආදී සටන් පාඨ පෙරදැරි කොටගෙන දශක හයකට පෙර මෙහි ස්ව​ෙද්ශී යයි කියා ගන්නා බලවේග ඒකරාශි වී රටට නිදහස ලබා ගත් නමුත් කැමරුන් නමැති මේ රාජ්‍යය සෙන්ටි මීටරයකින් වත් ඉදිරියට ගියේ නැත. එද‌ා සිට අද දක්වා ජාත්‍යාලය පෙරදැරි කොටගත් දේශපාලන පක්ෂ රාශියක් අටවා ගත් පිරිස් මේ රට සූරා කෑම ගජරාමයට සිදුකර ඇති අයුරු දක්නට ලැබේ. 


 ලොව බොහෝ රටවලට සිදුවී ඇත්තේ මේ වින්නැහියයි. බලයට පත්වන ​ෙද්ශපාලකයින් මෙන්ම රාජ්‍ය නිලධාරින් ද දූෂණයට මුල් තැන දී අල්ලස් ගැනීම හෙවත් ජරාව කද්දී පොදු ජනතාව හිඟා කෑම මෙවැනි අරාජික රටවල නිරන්තරයෙන් සිදුවන්නකි. මෙහි ද සිටින්නේ​ පොදු වැසිකිළියක් හදන්න දෙන කොන්ත්‍රාත් එකෙන් පවා ජරාව කන දේශපාලුවන්ය. 


රතු මකරා සහ කොටියා 


කැමරුන් රට ද කාලයක් තිස්සේ ජනවාර්ගික අර්බුද පැවැති රටකි. මෙම අර්බුද මැඩ පැවැත්වීමට පාලකයින් නිසි ක්‍රමවේදයක් අනුගමනය කළේ නැත. රතු මකරා සහ කොටියා යන නම් වලින් (RED DRAGON AND TIGERS) හඳුන්වන කල්ලි රට තුළ නොසන්සුන්කාරී පරිසරයක් නිර්මාණය කළහ. 


මින් පීඩාවට පත් වූයේ අසරණ ජනතාවය. බොහෝ රෝහල් ගව ගාල් වගේය. පාසල් පාලුවට ගොස්ය. ගුරුවරු ද ළමයින් ද නැත. තවමත් හොඳට තිබෙන්නේ සුද්ද‌ා හැදූ පාරවල්ය. විදුලිය නැති ගම්මාන සංඛ්‍යාව 300 කට වැඩිය. කැළිකසළ උවදුර උග්‍ර වී ඇත. ලෙඩ රෝග බෝවන්නේ මේ නිසාය. චීන ව්‍යාපෘතිවලින් ගසාකන දේශපාලකයින් රටට කරන හානිය ඉමහත්ය. මේ මෙම ​ෙද්ශයේ ඇතුල් පැත්තෙන් බිඳක් පමණකි. 


 මෙහි වත්මන් ජනපති පෝල් බියාගේ දැන් වයස අවුරුදු 86 කි. ලොව දැනට දීර්ඝතම කාලයක් රටක ජනපති පදවිය හොබවන මහලුම පුද්ගලයා ඔහුය. ඔහු ජනපති පදවියට පත්වුණේ 1982 දීය. ඊට පෙර 1975 සිට 1982 දක්වා ඔහු රටේ අගමැති ධුරය දැරුවේය. මේ අනුව කැමරුන් ​ෙද්ශයේ පාලනය සියතට ගෙන මේ වන විට අවුරුදු 43 කුත් දින 219 කි. හත්වැනි වරටත් දූෂණයෙන් පිරුණ මැතිවරණයකින් ජයග්‍රහණය කළ ඔහු හත්මුතු පරම්පරාවට හම්බ කරගත් දේශපාලකයෙකි. 


ජනතාවට බය ජනපති බියා 


සිම්බාබ්වේ මුගාබේ, ගිනියාවේ ඔබසෝගෝ, ස්වාසිලන්තයේ මස්වට් ආදීන් මෙන්ම මොහු ද දූෂිත ඒකාධිපති පාලකයකු බව සඳහන් කරන්නේ විදේශ ජනමාධ්‍යයන්ය. ඔහුගේ බිරිඳගේ දූෂිත ක්‍රියා හෙළි කළ මාධ්‍යවේදියෙකුට දසවසරක සිර දඬුවමක් නියම වීම වෙනම කතාන්දරයකි. ලොව මෙතෙක් බිහි වූ ජනාධිපති දූෂිත පාලකයින් 20 දෙනාගේ ලැයිස්තුවට බියාගේ (BIYA) නම ද ඇතුළත් බව කියන්නේ පැරඩ් (PARADE) සඟරාවයි. 


යවුන්ඩේ (YAOUNDE) අගනුවර සිට කි.මී. 220 ක් දුර කැලෑබද ගම්මානයක දිළිඳු පවුලක උපත ලැබූ මොහු ජනතාවගේ කර මතින් බලයට පැමිණ අද අප්‍රිකාවේ අංක එකේ ධනපතියෙකු බවට පත්වී සිටින්නේ දේශපාලනය නමැති රැකියාවට පින්සිදු වන්නටය. 


රටේ අර්බුදයක් හටගත් හැම අවස්ථාවකදීම මේ මහලු පාලකයා විවේක ගැනීමට ලොව පුරා සංචාරයෙහි යෙදීම නොකඩවා සිදු කරන්නකි. ඔහු සාමාන්‍යයෙන් වසරකට විදේශ ගමන් 40 කට වැඩි සංඛ්‍යාවක නිරත වෙයි. පසුගියද‌ා ප්‍රංශයේ සහ ස්විට්සර්ලන්තයේ දින 60 ක නිවාඩුවක් ගත කළේය. 


ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලේය ඔහු සිය පවුල සමඟ දින 60 ක් විවේක ගත්තේය. දිනක කාමර ගාස්තුව ඩොලර් 40,000 කි. රට ආර්ථික අහේනියෙන් ගිනිගෙන දැවෙද්දී, ජනතාව මහමඟ මියයද්දී පාලකයින් සුරසැප විඳින්නේ මෙසේය. විදේශ ජනමාධ්‍යයන් සඳහන් කළේ ජනපති බියා ජනතා උද්ඝෝෂණවලට බියේ පලා ගිය බවයි. 


ලොව මහලුම පාලකයා 


වසරකට වැඩි කාලයක් තිස්සේ ලොව වළපල්ලට ගිය රටවල් රාශියක විස්තර ඉදිරිපත් කළෙමි. එම රටවල් වත්මන් පාලකයින්ගේ පැටිකිරිය ද යථෝක්ත ලිපි වල කෙටියෙන් සඳහන් කළෙමි. කැමරුන් රටේ වත්මන් ජනපති පෝල් බියා පිළිබඳ දීර්ඝ විස්තරයක් මෙහිදී ඉදිරිපත් කරනු ලබන්නේ ඔහු ඉතා නිර්දය ලෙස ජනතාව පීඩනයට පත් කළ ලොව මහලුම පාලකයා වන නිසාය. 


ඔහුගේ හිටපු බිරිඳ ජින් ය. වත්මන් බිරිඳ චැන්ටල්ය. ඔහුගේ පුතා වන ෆ්‍රෑන්ක්, දුවලා වන එවෙන්ගා සහ මාරි, සහෝදරියන් වන බියංගා සහ රෙජිනා, සහෝදරයෙකු වන අසාම් සහ තවත් සහෝදරයෙකු වන බෙනෝට් ඇතුළු මුළු පවුලම හවුල් කරගෙන ඔහු කැමරුන් රටේ ගෙන යන්නේ පවුල් පාලනයකි. 


ඔහුට ද හසුරුවා ගත නොහැකි ඔහුගේ ඥාතීන් සිදුකරනුයේ රට විනාශ කිරීමයි. මේ ජනපති ඩොලර් මිලියන 200 ක් විදේශ බැංකුවල තැන්පත් කර ඇති බව හෙළිකළේ විදේශ මාධ්‍යයන් පමණකි. හය හතර නොදන්නා කුඩා දැරියන් වැඩිමහලු අය විසින් දූෂණය කිරීම මේ රටේ සිදුවන සාමාන්‍ය ක්‍රියාවකි. ජනතා දුක නොහඳුනන මෙම පාලකයා සිය පවුලට මහජන මුදල් අවභාවිතා කිරීමට ඉඩදී ඇස් පියාගෙන සිටීම කොතරම් ඛේදවාචකයක්ද? 


මා ඉහතින් සඳහන් කළේ මේ රටේ වත්මන් ජනාධිපතිවරයාගේ පැටිකිරියෙන් බිඳක් පමණකි. ඔහුට එරෙහිව එල්ල වී ඇති මූල්‍ය වංචා, බලය අයුතු ලෙස යෙදවීම, ජනතාවගේ මානුෂික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම, විරුද්ධවාදීන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ආදී චෝදනා රැසක් කාලයාගේ වැලිතලාවෙන් වැසී ගොස් තිබේ. රට අරාජික වීමට තවත් බල පෑ ප්‍රබල සාධකයක් වන්නේ ඔහුගේම ගෝලයෙකු වූ හිටපු අගමැති ඉප්රාහිම් ඉනෝනිගේ (EPHRAIM INONI) දූෂිත ක්‍රියාවන්ය. 


වසර 20 ක් හිරේට ගිය අගමැති 


2004 සිට 2009 දක්වා මෙහි අගමැති පදවිය හෙබවූයේ ඉනෝනිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සැපයූ අරමුදලෙන් ඩොලර් මිලියන 140 ක් අවභාවිතා කිරීම ඔහුට එල්ල වූ දූෂණ චෝදනා රාශියෙන් එකකි. ඔහු ඇමැතිවරුන් 12 දෙනෙකු සමඟ එක් වී මුදල් විශුද්ධිකරණයෙහි නිරත වී ඇති බව හෙළිවිය. 


ඔහු ඇතුළු ඇමැතිවරුන් කීප දෙනෙකුම තනතුරුවලින් පහකරනු ලැබූහ. ඔහු සිදුකළ මූල්‍ය වංචා සනාථවීම නිසා 2013 වර්ෂයේදී ඔහුට අවුරුදු 20 ක සිරදඬුවමක් දෙනු ලැබීය. හිටපු අගමැතිවරයා සිරභාරයෙන් නිදහස් වන්නේ 2033 වර්ෂයේදීය. 


ජනපති හා අගමැතිවරයා තරගයට හොරා කන රටක් දියුණු වන්නේ කෙසේද? හොඳම උද‌ාහරණය කැමරුන් රාජ්‍යයයි. කෙසෙල්, කොකෝවා, උක්, රබර් තේ, කෝපි, දුම්කොළ, වී ආදිය ඉතා සරුවට වැවෙන රටක් අද හිඟාකන තත්ත්වයට පත්වී තිබෙන්නේ මේ පාලකයින්ගේ අමනෝඥ, අවිචාරවත් ක්‍රියා නිසා නොවේද. 

 

 

සිරි හීන්පැල්ල
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි