විදේශ ණය කාගෙවත් සාක්කුවලට ගිහින් නැහැ


හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

 

බිලියන 10,000 ක විදේශ ණය ප්‍රමාණයෙන් වාර්තා වී ඇත්තේ බිලියන 1000 ක් පමණක් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රකාශයක් පසුගියදා වාර්තා විය. ඉතිරි බිලියන 9000 ක ප්‍රමාණයකට සිදුවූයේ කුමක්ද? ඒ පිළිබඳව මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් විමසුවෙමි. 


බිලියන 10,000 ක ණය මුදල්වලින් බිලියන 9000 ක් සාක්කුවලට ගිහිල්ල කියල කියන එක මහ මෝඩ කතාවක්. මේ වගේ කතාවලින් හෑල්ලු වෙන්නේ අපේ රට බව මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි. 


 ඒ මහතා මෙසේ ද කීය. 

 


ප්‍රශ්නය:- ජනාධිපතිවරයා කියන ආකාරයට විදේශ ණය සාක්කුවලට ගිහිල්ල තියෙනවද? 


පිළිතුර:- එහෙම කිසිම දෙයක් සිදුවෙලා නැහැ. 


ප්‍රශ්නය:- කොයි තරම් ණය ලබාගත්තද? 


පිළිතුර:- ශ්‍රී ලංකා මහ බැංකුවෙ සඳහන් වෙලත් තියෙනවා 2005 දී සම්පූර්ණ ණය ප්‍රමාණය බිලියන 2222 යි. 2014 අග වෙන විට ඒ ප්‍රමාණය බිලියන 7391 ක්. බිලියන 5200 ක් පමණ වසර 9 ක කාලය තුළ ලබා ගෙන තිබුණා. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ කාලයේදී. විදේශ ණය වශයෙන් මේ මුදල ලබාගෙන තිබුණා. විදේශ ආධාර කියල ලැබෙන්නෙ නැහැ. අපිට ණය ලැබෙන්නෙ. වර්තමාන රජය බාර ගන්නා විට බිලියන 7381 ක ණයක් තිබුණා. දැන් එය 10500 ට වැඩි වී තිබෙනවා. වැඩිපුර තවත් බිලියන 3200 ක් මේ රජය ණය ලබාගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ රජය වසර 9 ක් තුළ බිලියන 5200 ක් ලබාගෙන තිබුණා. මේ රජය වසර 3 ට බිලියන 3200 ක් ලබාගෙන තිබෙනවා. ඒ සමඟම මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදි ලබා ගත් ණය වලින් කළ වැඩ අපි හැමෝම දකිනවා. 


පාරවල් හැදිල තිබෙනවා. අධිවේගි මාර්ග හැදිල තියෙනවා. බලාගාර හැදිල තියෙනවා. වරායවල් හැදිල තියෙනවා. ගුවන් තොටුපොළ හැදිල තියෙනවා. උතුරු නැගෙනහිර පළාත සංවර්ධනය කෙරිල තියෙනවා. ගමේ පාරවල් හැදිල තියෙනවා. ඒ කාලෙ ගත් ණය වලට කරපු වැඩ ඇස් දෙකට පේන්න තිබෙනවා. එහෙම සංසන්දනය කර බලන විට මේ රජය වසර 3 ට බිලියන 3200 ක් ලබාගෙන තිබුණත් මොනවද කරල තියෙන්නේ? මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයයි, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයයි මේ මුදලින් කරපු දෙයක් රටේ ජනතාවට පේන්න නැහැ. අවංකව බලන්න, රටේ ජනතාවට කෙරිල තියෙන සංවර්ධනයක් පේන්න තියෙනවද? ඒ සල්ලිවලට මොනවද කළේ කියල දැන් හොයල බලන්න ඕනෑ. පරණ ඒවට වඩා මේ මුදල්වලට කළ දේවල් හොයල බලන්න කියල මා පළමුව කියන්න ඕනෑ. 


අනිත් කරුණ නම් බිලියන 10,000 ක් ණය අරගෙන තියෙනවලු. ඒ ගණන් කොහෙන් හොයාගත්ත ද කියලා මම නම් දන්නේ නැහැ. ඒ බිලියන 10,000 න් බිලියන 1000 ක් පොත්වල ලියවිල තියෙනවලු. අනිත් බිලියන 9000 ආගිය අතක් නැතිලු. නිකම් හිතල බලන්න. ගමේ පොලී මුදලාලි රුපියල් 100 ක් කාට හරි ණයට දුන්නත්, ඒකත් කොහේ හරි ලියල තියා ගන්නවනේ. නිකම්ම දෙන්නෙ නැහැ. පොලියක් හරි දෙන මුදලට ආරක්ෂාවක් හරි තියා ගන්නවා. මේ බිලියන ගණනක විදේශ ණය නිකම්ම අපට දේවිද? සාමාන්‍ය බුද්ධියක් හෝ තියෙනව නම් හිතල බලන්න. මේ තරම් විශාල මුදලක් නිකම්ම දීල දාවිද? 


අගමැති කිව්වත්, ජනාධිපති කිව්වත් මේවා මහා මෝඩ කතා, සමහර අය කියනවා පිස්සු කතාවක් කියල. මම එහෙම කියන්න කැමැති නැහැ. හරිම මෝඩ කතාවක් කියල තියෙන්නෙ. 


මේවගේ කතාවලින් විදේශ ආයෝජකයන් කැලඹෙනවා. මේ රටේ මූල්‍ය විනයක් නැහැ කියල ඔවුන් විශ්වාස කරන්න ගන්නවා. මේ රටේ හැමෝම හොරකම් කරනවා කියල හිතනවා. එහෙම ආකල්පයක් ඇති වුණාම නැවත ණයක් දෙන්න මැළිවෙනවා. 


සැමියයි බිරිඳයි ණයක් ගැනීමට බැංකුවට ගිහිල්ල, මගේ බිරිඳ හොරකම් කරනව කියල සැමියා කිව්වොත් බැංකුව ණය දේවිද? බැංකුවට ඒ ජෝඩුව ගැන විශ්වාසය කැඩෙනවා. දේශපාලන වාසි ලබාගැනීමට මේ වගේ කතා කිව්වම, රටට විශාල පාඩුවක්, හානියක් සිදුවෙනවා. මේ කරගෙන යන්නේ ඒකයි. මේ වගේ කතා දේශපාලන වාසියට රට තුළදි කිරීමෙන් සිදුවෙන්නේ ඒවා ලෝකයට ගියාම අපේ රට ගැන ඇති විශ්වාසය නැතිව යාමයි. අපේ රට හෑල්ලු වෙනවා. රට බිංදුවට බහිනවා. 


බිලියන 10,000 කින් රුපියල් බිලියන 9000 ක් නැතිලු. ඒ කියන්​ෙන සියයට 90 ක්. මේක විශ්වාස කරන්න පුළුවන් කතාවක්ද? පිළිගන්න බැහැ. මේ වගේ කතා ඇහෙන කොට හරිම කනගාටුයි. ආර්ථිකය හසුරුවද්දි විශ්වාසය හරිම වැදගත්. මම මට සම්බන්ධ අයට කියල තියෙන්නේ ඒ කතාව විශ්වාස කරන්න එපා. ලංකාවෙ ආයෝජනයට බයවෙන්න එපා කියලයි. මම මේ රට විනාශ වෙනවට කැමැති නැහැ. මේ රටට ආදරෙයි. ආර්ථික අංශය ගැන දන්න කෙනෙක් හැටියට මම ජනාධිපතිතුමාට පොඩි අවවාදයක් කරන්න කැමැතියි. මේ වගේ කතාවල් කියන්න එපා. මේ කතාවලින් රටට විශාල හානියක් වෙනවා. රටටයි, ආර්ථිකයටයි විශාල හානිකර වෙන විදියට දේශපාලන වාසිය පිණිස කියන මේ කතා රට​ට බොහොම බරපතළයි. දේශපාලන වාසි ලැබෙන වෙන ක්‍රමවලට යන්න. ඒත් රටේ ආර්ථිකය එක්ක සෙල්ලම් කතා කරන්න එපා කියල මම එතුමට කියනවා. 


ප්‍රශ්නය:- ඔබ මහබැංකු අධිපති වී සිටියදී ලැබුණ මුදල් හරියාකාරව මෙහෙය වුණාද? 


පිළිතුර:- ඔව්. මේවට රටේ ඉහළ නිලධාරින් ඉන්නවා. ඒ නිලධාරීන්ට කටයුතු කළ යුතු රෙගුලාසි නියම වී තිබෙනවා. ඒ රෙගුලාසිවලින් බැහැරව කටයුතු කරන්න බැහැ. යම් වැරැද්දක් සිදුවී තිබෙනවා නම් ඒවා පසු විපරම් කිරීමට පරික්ෂා කිරීමට නීති රීති තියෙනවා. ලංකාව කියන්නෙ කැලෑ නීතියක් තිබෙන රටක් නෙවෙයි. ඒ සේරම දේට නීත්‍යනුකූල ක්‍රමවේද තියෙනවා. වසර ගණනාවක් තිස්සේ රට ඉදිරියට ආවෙ ඒ නීත්‍යනුකූල ක්‍රමවේදයටයි. තවම ඒ ක්‍රමවේදය පිළිගන්නවා. රාජ්‍ය නිලධාරින් බොහොම මහන්සියෙන් රටේ ආර්ථිකය ගොඩ නැංවීමට කටයුතු කරල තියෙනවා. ඒ අවංක නිලධාරීන්ට මේ වගේ ප්‍රකාශවලින් සිදුවෙන්නේ බරපතළ උපහාසයක්. 


ප්‍රශ්නය:- විදේශ ආධාර හෝ ණය ලබා දීමේදී කොමිෂන් ලැබෙන බව කියන කතාවෙ ඇත්තක් තියෙනවද? 


පිළිතුර:- කොමිෂන් ගන්න අයට දඬුවම් දෙන්න අවශ්‍යයි. එහෙම එකක් නැහැ. බොරු ප්‍රකාශ කරන එක වැරදියි. කට තිබුණට වැරදි චෝදනා කරන්න හොඳ නැහැ. වගකීමෙන් කතා කරන්න ඕනෑ. 


ප්‍රශ්නය:- ඔබ සිටිය කාලෙ ඒ ගසා කෑම් ගැන පැමිණිලි තිබුණද? 


පිළිතුර:- එහෙම පැමිණිලි තිබුණෙ නැහැ. පැමිණිලි කිරීමට අදාළ ක්ෂේත්‍ර තියෙනවා. විගණකාධිපතිවරයෙක් ඉන්නවා. වැරැද්දක් වෙලා නම් ඒ ගැන සොයා බැලීමට රටේ ක්‍රමවේදයක් තියෙනවා. ඒක අදටත් තියෙනවා. චෝදනාවක් කරන්න තියෙනව නම් ඒකට ක්‍රම තිබෙනවා. 


ප්‍රශ්නය:- ඔබේ කාලෙ මූල්‍ය මෙහෙයවීම හරියාකාරව සිදුවුණා කියල හිතෙනවද? 


පිළිතුර:- මූල්‍ය කටයුතු හරියාකාරව කෙරුණා. කාට හරි චෝදනා කරන්න අවශ්‍ය නම් ඒ චෝදනාව මේකයි කියල කියන්න ඕනෑ. එහෙම චෝදනා තිබුණා නම් ඒ සඳහා අදාළ ක්ෂේත්‍ර තියෙනවා. වැරැද්දක් වෙලා නම් ඒක මහ බැංකු අධිපතිවරයාට කිව්වත් වැඩක් නැහැ. ඒවා කිවයුතු තැන් තියෙනවා. පොලිසිය තියෙනවා. ඒ ඒ අංශ තියෙනවා. මුදල් අමාත්‍යාශයවත් මහ බැංකුවවත් ඒවට කටයුතු කරන්නෙ නැහැ. 


ප්‍රශ්නය:- ඔබේ කාලෙ ලැබුණ මුදල් නිසි ලෙස මෙහෙයවුණේ නැති බවට චෝදනා ආවද? 


පිළිතුර:- මට කිසිම පැමිණිල්ලක් ලැබිල තිබුණෙත් නැහැ. එයින් පෙන්නුම් කරන්නේ හරියාකාරව කටයුතු කෙරුන බවයි. අපිට පැමිණිල්ලක් ආව නම් අදාළ තැන්වලට යොමු කරනවා. අපේ කාර්ය භාරය හොඳින්, හරියාකාරව ඉටු වුණා. අපිට දක්ෂ නිලධාරින් ඉන්නවා. මේ චෝදනා කට තියෙන පළියට කරන ඒවා. චෝදනා තිබෙනවා නම් ඒ වගකීම් බාර අයට යොමු කළ යුතුයි. මහ බැංකුවෙ වැඩේ අල්ලස් නීතිය මෙහෙයවන එක නෙවෙයි. 


චෝදනාවක් තියෙනවා නම් ඒ ඒ තැන්වලට යොමු කරලා ප්‍රශ්නය විසඳගන්න ඕනෑ. ප්‍රකාශයක් කළ යුත්​ෙත් එවැනි සොයා බැලීමකින් පසුවයි. එසේ නොමැතිව කරන ප්‍රකාශ රටට විනාශයක්. 


ප්‍රශ්නය:- ලැබුණු ණය ආධාර මෙහෙයවපු ආකාරය පිළිබඳව ඔප්පු කළ හැකි කරුණු ඇති නේද? 


පිළිතුර:- අනිවාර්යයෙන්ම ඔව්. ඒ ඒ අමාත්‍යාංශවලට ලැබුණු ණය ආධාර යොමු කරනවා. මෛත්‍රිපාල සිරිසේන මහත්තයත් ඒ කාලෙ ඇමැති කෙනෙක්. ඒ අමාත්‍යාංශයටත් ණය මුදල් යොමුවෙන්න ඇති. ඒ ලැබුණ මුදල් හරියාකාරව මෙහෙයවනව ද කියල බලන එක අමාත්‍යාංශයෙ වගකීම. මහ බැංකුව ගිහිල්ල ඒක හොයන්නෙ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් ගියා නම් ඒ අමාත්‍යාශයෙන් ඒ වැඩකටයුතු හොයල බලලා කරන්න අවශ්‍යයි. අමාත්‍යාංශවලට පැවරී ඇති වගකීම ඔවුන් ඉටුකළ යුතුයි. 


ප්‍රශ්නය:- ණය ආධාර දුන්නම ඒ දෙන ණය ගැන සොයා බලනවද? 


පිළිතුර:- ඔව්. මුදල් අමාත්‍යාංශයෙ වෙනම දෙපාර්තමේන්තුවක් මගින් ඒ ගැන සොයනවා. 


ප්‍රශ්නය:- අතරමැදදි කඩා වැටෙන තැන් තියෙනවද? 


ප්‍රශ්නය:- සමහර අවස්ථා තියෙනවා යම් යම් භෞතික හේතු නිසා ඉදිරියට කරගෙන යාමට නොහැකි අවස්ථා තියෙනවා. මුදල් යටිමඩි ගහන්න බැහැ. ඒවා ලිඛිතව තියෙනවා. අමාත්‍යාංශවල බලධාරින් ඒවට වගකියන්න ඕනෑ. මුදල් හරියට ලැබුණද? වියදම් වුණාද කියල බලන්න ඕනෑ. මහ බැංකුවට ඒව බලන්න අයිතියක් නැහැ. අමාත්‍යාංශයක දූෂණයක් වෙලා නම් ඒවා ගැන බලන්න වෙනම අංශ තියෙනවා. පිටරටින් මුදල් ගැනීමට වෙනම නීතියක් තියෙනවා. මුදල් මණ්ඩලයෙ අනුමැතිය ගන්න ඕනෑ. ණය ගැනීම නිශ්චිත නීතිවලට අනුව සිදුවෙන්නක්. 


ප්‍රශ්නය:- මහ බැංකුවට අවශ්‍ය පරිදි ණය ආධාර ලබාගන්න පුළුවන්ද? 


පිළිතුර:- විදේශ ණය පනතට අනුව කටයුතු කළ යුතුයි. ඒ පනතේ අඩංගු ක්‍රමවේදයට අනුව කටයුතු කළ යුතුයි. ඒ වගේම ණය ආධාර දෙන රටවලත් නීති රීති තියෙනවා. ඒ නීති රීතිවලට යටත්ව තමයි ඔවුන් ණය ලබාදෙන්නේ. නිකම්ම දෙන්නේ නැහැ. 


ප්‍රශ්නය:- ණය ආධාර දෙන පුද්ගලයා ණය වියදම් කිරීම ගැන අවධානයෙන් ඉන්නවද? 


පිළිතුර:- ඔව්. මුදල් හරියට යොමු වෙනවද? අවශ්‍ය ප්‍රතිඵල ලැබෙනවද? ණය ආපසු අයකර ගැනීම කෙහොමද? ඒ සියල්ල බලනවා. ණය ගන්නව කියන එක සරල දෙයක් නෙවෙයි. ඒ ලැබෙන ණය මුදල තනි පුද්ගලයෙකුට මෙහෙයවන්න බැහැ. යටිමඩි ගහන්න බැහැ. මේ ජනාධිපතිතුමා කළ ප්‍රකාශය බොහොම හිස් ​ෙදයක්, ඉහළ තනතුරක සිටින කෙනෙක් කරන ප්‍රකාශයෙ යම් බලපෑමක් සිදුවෙනවා. ඒ බලපෑම අහිතකර වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් රටේ ජනාධිපති කරන ප්‍රකාශය රටට බෙහෙවින් බලපෑම් කරනවා. ඒ කාලෙ රජය ගත්ත ණය එක්සත් ජාතික පක්ෂය බලයට ආවම ගෙවන්නෙ නැහැ කියල ප්‍රකාශයක් තිබුණා. එදා විපක්ෂයෙ සිටියදී එහෙම කිව්වා. අපි කියන්නේ මේ කතාව විශ්වාස කරන්න එපා කියලයි. රටට හානිකර වෙන විදියට අපි කටයුතු කරන්නෙ නැහැ. මේ වගේ කතාවල් රජයේ බොහෝ දෙනෙක් කරල තියෙනවා. ඒක ඇත්තටම බොහොම වැරදි කතාවක්. මෙහෙම කීමෙන් රට තුළින් දේශපාලන වාසියක් ලබාගන්න පුළුවන් කියල හිතනවා ඇති. නමුත් එයින් රටට කරගන්න හානිය ගැන හිතන්නෙ නැහැ. වගකීමක් දරන අය එහෙම කීමෙන් වෙනත් රටවලින් ආයෝජනය කිරීම අඩුවෙනවා. ඒ අය ණය ආධාර දීමට කැමැති වන්නේ නැහැ. දැන් කරගෙන යන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ කාලෙ කරගෙන ආ වැඩවල අවසාන කොටස්. මේ රජයට අලුතෙන් ආයෝජකයන් ඇවිත් නැහැ. අලුතෙන් හදපු ව්‍යාපෘති කොහේද තියෙන්නේ. තියනව නම් කියන්න බලන්න. මිනිස්සුන්ගේ අතේ සල්ලි ගැවසෙන්නෙ නැහැ. රැකියා දීල නැහැ. ආර්ථික වශයෙන් රට පිරිහීමට ලක්වෙලා. දැන් රටේ සැබෑ තත්ත්වයට පිළියම් යොදා ගතයුතු වෙනවා. 


කටට ආවට, ඇත්ත නැත්ත නොසොයා නොබලා රටට මත ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම රටට යහපතක් වෙනවා. 


තවත් විශේෂ දෙයක් සඳහන් කළ යුතුයි. ඕනෑම ආණ්ඩුවක් රඳා පවතින්නේ ව්‍යාපාරික හා සමාජ විශ්වාසය මතයි. රටේ බලධාරින් එම විශ්වාසය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැම විටම ක්‍රියා කළ යුතුයි. 

 

 

 

 

දයාසීලි ලියනගේ