විජේවීර පාවාදුන්නේ ඩී.එම්. ආනන්දද ?


ජවිපෙ 2වැනි කැරැල්ලෙන්

25 වැනි කොටස 

 

වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරලි සමයට පාදක වන මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න මෙයට ප්‍රථම ජවිපෙ 2 වැනි කැරැල්ල - ප්‍රථම කාණ්ඩය මැයින් පිටු 880ක ග්‍රන්ථයක්ද එළිදක්වා තිබිණි. ඉදිරියේ දී නිකුත්වන ඔහුගේ දෙවන කාණ්ඩයේ ග්‍රන්ථයට අදාළ මෙම ලිපි මාලාව මෙතක් කිසිදු පුවත්පතක හෝ ග්‍රන්ථයක පළ වී නැති අතර එය කොටස් වශයෙන් පාඨක ඔබ වෙත මෙසේ ගෙන එනු ලබයි. මෙවර පළවන්නේ ජවිපෙ 2වැනි කැරැල්ලට නායකත්වය දුන් දේශපාලන මණ්ඩල සභික ඩී. එම්. ආනන්ද පිළිබඳවය.  


දිසානායක මුදියන්සේලාගේ නන්දසේන හෙවත් ඩී. එම් ආනන්ද, වාරියපොල මිනුවන්ගැටේ දී උපන්නේ 1957 පෙබරවාරි 02 වැනිදාය. ඔහුගේ පියා හේන් ගොවියෙකි. සොයුරු සොහොයුරියන් දෙදෙනෙකි. කුඩා කාලයේදීම දෙමාපියන් ගේ වෙන්වීම නිසා ඔහු හැදී වැඩුණේ මිත්තණිය ළඟය. පසුව ද්‍රරිද්‍රතාවය නිසා රිදීබැඳඇල්ල පන්සලේ මහණ කරන ලදී. පිරිවෙන් අධ්‍යාපනය ලැබූ ආනන්ද සරසවි ප්‍ර​වේශයෙන් සමත්ව පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨයට උපාධිය හැදෑරීම සඳහා ඇතුළු වූයේ 1977 ඔක්තෝබර් 17දාය. ඒ වාරියපොළ නාරද පියනන්ද හිමි නමිනි. 


නාරද හිමියෝ පේරාදෙණිය සරසවියට ඇතුල්වන විට එහි ශිෂ්‍ය සභාවේ සභාපති වූයේ අනුරාධපුර මහවිලච්චියේ කේ. එච්. චන්ද්‍රපාලය. ලේකම් කෝට්ටේ පදිංචි ශාන්ත බණ්ඩාරය. භාණ්ඩාගාරික පසු කලෙක දකුණු පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රීවරයෙකු වූ ජයන්ත පතිරණය. පේරාදෙණිය සරසවියේ 1977දී ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සභාපති වූයේ මාතලේ කුඹියන්ගොඩ ලලිත් සේනාරත්නය. 


සරසවියට පැමිණීමේදී ජවිපෙ සබඳතාවක් නොතිබුණු නාරද හිමියන් ජවිපෙට බඳවා ගනු ලබන්නේ ශාන්ත බණ්ඩාරය. ප්‍රථමවරට ආනන්ද ජවිපෙ පන්තිවලට සහභාගි වන්නේ 1978 මාර්තු මස පේරාදෙණි සරසවි සංඝාරාමයේදීය. එයට ආනන්ද ඇතුළු සරසවි පැවිදි සිසුන් 8ක් සහභාගි වූහ. සම්බන්ධීකරණය කළේ පේරාදෙණිය සරසවිය භාරව සිටි ජවිපෙ සංවිධායකවරයා සහ ජවිපෙ නුවර දිසා ලේකම්වරයෙකු වූ ගම්පොල පුස්සැල්ලාවේ පදිංචි පුංචි බණ්ඩා (පී. බී) දිසානායකය. කෙහෙල්පන්විල භික්ෂු නේවාසිකාගාරයේ නාරද හිමි නැවතී සිටි අතර ඔහු සමඟ සිටි අනෙකුත් පැවිදි සිසුන් වූයේ මැදවච්චිය මංගල හිමි (පසුව උපැවිදි විය. 2018 වනවිට මැදවච්චියේ වී මෝල් හිමියෙකි), පුන්‍යානන්ද හිමි, හොරණ සෝමරත්න හිමි (2018 වනවිට උපැවිදි ගුරුවරයෙකි), අනුරාධපුර විජිතවංශ හිමි (උපැවිදි වී නුගේගොඩ පදිංචි දිසානායක විය), ගුණරුපාන විපුල හිමි(පසුව උපැවිදි වූ විපුල ප්‍රේමතිලක 2018 වන විට විශ්‍රාමික ගුරුවරයෙකි) ඇතුළු කිහිපදෙනෙකි. එවකට පේරාදෙණියේ ජවිපෙ භික්ෂූන් සම්බන්ධීකරණය කළ නායකයා වූයේ මහර දළුපිටියේ පාළුකඩවල ප්‍රේමානන්ද හිමිය. නාරද හිමි (ඩී. එම්. ආනන්ද) වඩා වසර 2කින් ජ්‍යෙෂ්ඨයෙකු වූ ප්‍රේමානන්ද හිමි පසුව උපැවිදි වී දිසානායක වශයෙන් වත්තේගම පාසලක විදුහල්පතිවරයකු විය. වසර 1971 අප්‍රේල් කැරැල්ලට එක්වූ මිනිපේ සෝභිත හිමිද නාරද හිමි හමුවීමට ආගිය අයෙකි. මිනිපේ සෝභිත හිමි ඒ වනවිට උපැවිදි වී මහියංගනයේ බතලයායේ වගා නිලධාරියෙකු වශයෙන් සේවය කළේය. 


ජවිපෙ දෙසතියක ජාතික අධ්‍යාපනික කඳවුරක් 1978 ජුනි මස හාරිස්පත්තුවේදී පැවති අතර නාරද හිමි එයට එක් වේ. එම කඳවුර සඳහා දේශන කළ අය අතර ශාන්ත බණ්ඩාර, වාස් තිලකරත්න, දයා වන්නිආරච්චි ඇතුළු කිහිපදෙනෙක් වූ අතර අවසාන දින දේශනයට පැමිණියේ රෝහණ විජේවීරය. සරසවියේ ප්‍රථම වසර සමත්වීමෙන් පසු ජවිපෙට වඩාත් ක්‍රියාකාරි මෙහෙයක් ඉටුකිරීම සඳහා ජවිපෙ ඉල්ලීම මත වාරියපොළ නාරද හිමියෝ උපැවිදිවී ඩී. එම්. නන්දසේන බවට පත්වේ. ජවිපෙ ඔහු නම් කරන්නේ ඩී. එම් ආනන්ද නමිනි. පසුව ඔහු හැඳින්වූ වෙනත් නම් වූයේ අරුණ හෙවත් අමල් හෙවත් අලහකෝන් හෙවත් අධිකාරිය. 


පේරාදෙණිය සරසවියේ ඩී. එම් ආනන්දගේ සමකාලීනයන් වූ ශාස්ත්‍ර පීඨයේ එම්. ඒ ධර්මවර්ධන හෙවත් ධර්මවර්ධන මුණසිංහ, අරුක්ගොඩ විතානගේ සෝමාවතී, පී ආරියසේන, දිසානායක රාළලාගේ සීතා මැණිකේ ඇතුළු කණ්ඩායමක් පළමු වසරේදීම ආනන්ද සමගින් ජවිපෙට ක්‍රියාකාරීව එක්ව සිටියහ. ශිෂ්‍ය ව්‍යාපාරය ගොඩනැගීම සඳහා 1978 සිට අභියෝගවලට මුහුණ දෙමින් ඔවුහු ඇතුළු පිරිසක් කටයුතු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය සභාවේ බලය මුළුමනින්ම වාගේ ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයට 1979/80දී සතුවිය. ධර්මවර්ධන මුණසිංහ එහි සභාපතිවරයා වන අතර ඩී. එම් ආනන්ද එහි ලේකම්වරයාය. මෙම වකවානුවේ ආනන්ද ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පේරාදෙණියේ සභාපතිය. 


පේරාදෙණිය සරසවියේ ආනන්දගේ සමකාලීනයන් වූ ජවිපෙ ක්‍රියාකාරිකයන් වන ධර්මවර්ධන මුණසිංහ පසුව ජවිපෙ 2වැනි කැරලි සමයේදී අජන්ත නමින් මධ්‍යම කාරක සභිකයෙකු ලෙස ද කලක් ගම්පහ සහ ගාල්ලේ දිසා ලේකම්ද විය. හම්බන්තොට වලස්මුල්ල වරාපිටිය විදුහලෙන් 1972දී අපොස සාමාන්‍ය පෙළ සමත්වූ ධර්මවර්ධන මුණසිංහ බද්දේගම රතනසාර පිරිවෙනෙන් සහ වරාපිටිය විදුහලෙන් උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසු පේරාදෙණිය සරසවියට ඇතුල් වූහ. අලව්ව හුංබුලූවේ සෝමාවතී පසුව ගුරුවරියක් වූ අතර ජවිපෙ ක්‍රියාකාරියෙකු වූ ජයරත්න සමඟ විවාහ විය. එක්දරු මවක්වූ ඇය 2013දී පෞද්ගලික ප්‍රශ්නයක් මත සියදිවි නසා ගත්තාය. සිතා මැණිකේ විවාහ වූයේ මාතලේ ලලිත් සේනාරත්න සමඟය. එම දෙපල 2018 වනවිට දූ දරුවන් සමඟ නවසීලන්තයේ ජීවත් වේ. 

 

ජවිපෙ 2වැනි කැරැල්ල බෞතිස්ම කළ 1987 ජුලි 28 කොටුව බෝගහ අසළදී ඇරඹූ අරගලයේදී ප්‍රථමයෙන් එම ස්ථානයේදීම මියගිය මොරටු ඉංජිනේරු සිසු ක්ලිෆඩ්ගේ දේහයට ඔහුගේ නිවසේදී අවසන් ගෞරවය දක්වන සරසවි සිසු නායකයින් වූ තිරප්පනේසේන මච්චාගම, හෙට්ටිපොල නිමල් බාලසූරිය, තංගල්ලේ ඩී.ජී.පී කරුණාරත්න හෙවත් ලෝකරු ඇතුළු පිරිසක් මෙහි වෙති. 20,000කට ආසන්න පිරිසක් සහභාගි වූ මෙම විරෝධතා ව්‍යාපාරයේ අදිසි නායකයා වූයේද ඩී. එම් ආනන්දය. 

 

 කොටුව බෝගහ අසළදී 1987 ජුලි 28 ඇරඹූ විරෝධතා ව්‍යාපාරයට පොලිස් කඳුළු ගෑස් සහ ප්‍රහාර හමුවේ විසිර ගිය 20,000 සෙනඟ අතරින් නොසැලී සිටි එකම තැනැත්තා-කෑගල්ලේ විමල සාමනේර හිමියෝ. 

 

 

 


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙසද 1981දී පත්වූ ආනන්ද එජාප ආණ්ඩුව ගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව දැවැන්ත අරගලයක් කර එය පරාජය කිරීමට අන්තරේට නායකත්වය දුන්නෙකි. පැරණි පාර්ලිමේන්තු භූමිය වටකරමින් 1981 ජනවාරි 20 ගාලූ මුවදොර පැවැති දැවැන්ත උද්ඝෝෂණය ඒ අතරින් මුල් තැනක් ගනී. එම උද්ඝෝෂණයට පසු ජවිපෙ විසින් මෙහෙයවන ලද රැස්වීමක් 1981 පෙබරවාරි 26 හයිඩ් පිටියේදී පැවැත්විණි. ජවිපෙ නායක රෝහණ විජේවීර ඇමතූ එම රැස්වීමේ දී ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ පේරාදෙණිය මණ්ඩපය වෙනුවෙන් කථා කළේ ඩී. එම්. ආනන්දය. විශ්ව විද්‍යාලයට පැමිණ සිසු බලය ඇත්තේ කවරෙකු සතුවදැයි බලන ලෙසට ඩී. එම්. ආනන්ද සාම්ප්‍රදායික වමේ පක්ෂවලට එහිදී අභියෝග කළේය. ශාන්ත බණ්ඩාරද එම රැස්වීම ඇමතීය. පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨයේ අවසාන විභාගයට 1981 අගෝස්තු පෙනී සිටි ආනන්ද ඉන් සමත්ව ආර්ථික විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වූවද ඔහු තෝරාගත්තේ ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයයි. 


ඩී. එම්. ආනන්ද අතිධාවනකාරි ක්‍රියාමාර්ග ගන්නා අයෙකු ලෙස ජවිපෙට 1983දී කරුණු කියා සිටියේ ජවිපෙ නුවර දිසා සංවිධානය මගිනි. එයට හේතු වූයේ 1983 පේරාදෙණිය සරසවි සිසුන් මාරාන්තික උපවාසයක් කළ අවස්ථාවේදී පස්වන දින වැඩබලන උපකුලපති මහාචාර්ය ඩයස් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස පත්කර ගනිමින් ඉල්ලීම් ඉදිරිපත් කිරීමය. ජවිපෙ තීරණය වූයේ ශිෂ්‍ය උපවාසය අවට ගම්වල සහායද ලබාගනිමින් පුළුල් විරෝධතාවක් ලෙස ඉදිරියට ගෙනයෑමය. එහෙත් එම එකඟතාවයන් කඩ කරමින් පේරාදෙණිය සමාජවාදී ශිෂ්‍ය සංගමයේ හිටපු නායකයෙකු වූ ආනන්ද ගේ අදිසි නායකත්වයෙන් මහාචාර්ය ඩයස් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස පත්විය. එකල පේරාදෙණිය සරසවියේ සිටි ජවිපෙ ක්‍රියාකාරි සිසුන් සංඛ්‍යාව 24කි. ඉන් 8ක් පූර්ණකාලීනයන්ය. උප කුලපති ප්‍රාණ ඇපකරුවෙකු බවට පත්කිරීමේ තීරණය ජවිපෙ නුවර දිසා කමිටුව අනුමත නොකළ අතර ආනන්දට හිතුවක්කාරි වැඩ නොකරන මෙන් තරයේ අවවාද කළේය. ජවිපෙ මධ්‍යම කාරක සභාවට ආනන්දගේ නම 1983 මුලදී යෝජනා කළ අවස්ථාවේ දී නුවර දිසා කමිටුව එය ඒකමතිකව ප්‍රතික්ෂේප කර තිබිණි. 


ජවිපෙ තහනමින් පසු මධ්‍යම කාරක සභාවට 1983 අවසානයේදී පත්වූ ආනන්ද 1984 අගභාගයේදී දේශපාලන මණ්ඩලයට එක්විය. දක්ෂ කථිකයෙකි. ජවිපෙ තහනමින් පසු මාතර, කළුතර සහ කොළඹ දිසා සංවිධායකයෙකු වශයෙන්ද මුල් කාලයේ කටයුතු කරන ලදී. ජවිපෙ 2 වැනි කැරැල්ලේදී එහි පෙරමුණු සංවිධාන වූ ශිෂ්‍ය, භික්ෂූ, කාන්තා අංශයේ නායකයා සහ බස්නාහිර සබරගමු කලාපයේ යුද නායකයා වූයේද ඔහුය. එමෙන්ම බෝම්බ සහ බිම් බෝම්බ නිෂ්පාදනය කළ තාක්ෂණික අංශයේ නායකත්වයද ඔහුට පැවරී තිබිණි. ජවිපෙ මෙහෙයවූ රණහඬ ගුවන් විදුලිය ඇතුළු සංස්කෘතික අංශයේ කටයුතුවලට උර දුන්නේද ආනන්දය. ජවිපෙ 2වැනි කැරැල්ලේ නිල නොවන තෙවැනි නායකයා වූයේද ඔහුය. 


 ජවිපෙ 2වැනි කැරැල්ලට සරසවි සිසුන් ගෙන් ලැබුණු පිටුබලය අතිමහත්ය. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාදාමයන්, ද්‍රවිඩ බෙදුම්වාදීන් ගෙන් මතුව එන තර්ජනයන්, නිදහස් අධ්‍යාපන කප්පාදුව ඇතුළු ගැටලු රැසක් පිළිබඳව සරසවි සිසුන් තුළ ඇතිකරනු ලැබූ මනෝභාවය ශිෂ්‍ය කොටස් අතර ජවිපෙට තහවුරුවීමට මහඟු ආධාරයක් වූ අතර ඒ සඳහා උපක්‍රමශීලීව නායකත්වය ලබාදෙනු ලැබුවේ ආනන්දය. ජවිපෙ 2වැනි කැරැල්ලේදී වේගවත්ම සහ ජවසම්පන්න ලෙස ක්‍රියාකිරීමේ කේන්ද්‍රීය බලවේගය වූයේ සරසවි සිසුන්ය. 


වසර 1989 ජූනි 12 සිට ජූලි 13 දක්වා බලහත්කාරයෙන් ලංගම ඒකාබද්ධ සටන් පෙරමුණ මගින් පවත්වන ලද මහා බස් වැඩ වර්ජනය විසඳීම සඳහා ජවිපෙ වෙනුවෙන් ජනාධිපති ආර්. ප්‍රේමදාස සමඟ සුචරිතයට ගොස් සාකච්ඡා මෙහෙය වූයේද ආනන්දය. හෙතෙම ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලයේ නිල සහ නිල නොවන නිලධාරීන් වූ ගුරුජිත් සිං සහ හර්දීප් පූරි ආදීන් සමඟද සබඳතාවක් පවත්වා ගෙන ගියේය. 


කොළඹ දිස්ත්‍රික්කය ජවිපෙ විසින් කලාප 4 කට කඩා තිබූ අතර ඩී 1 කලාපයට කොළඹ නගරය සහ ඒ අවටද පෑලියගොඩ පාලමේ සිට වැල්ලවත්ත දක්වාද නම් කෙරිණි. ඩී 2 කලාපය මරදාන, බොරැල්ල, නාරහේන්පිට සහ මිරිහාන කොට්ඨාස අයත් විය. ඩී 3 කලාපයට මොරටුවේ සිට වැල්ලවත්ත දක්වා අයත් වූ අතර ඩී 4 කලාපයට කඩුවෙල, මහරගම, හෝමාගම, පාදුක්ක, හංවැල්ල, අතුරුගිරිය, මාලඹේ වැනි ප්‍රදේශ අයත් විය. ඩී 4 කලාපයේ කලක් සන්නද්ධ ලේකම් වූයේ කොළඹගේ ආරච්චිගේ පර්සි රණසිංහ හෙවත් හේමන්තය. එහි ප්‍රචාරක ලේකම්වරයා කොලොන්නේ උපන් නෙවිල්ය. කොළඹ තවත් කලාප සන්නද්ධ ලේකම්වරුන් දෙදෙනෙක් වූයේ මාලන් සහ කැමිලස්ය. මාතර ශිෂ්‍ය අංශයේ දෙණියායේ ආසනයේ කලක් සංවිධායකයා වූ මාලන් ඉදිරිපෙළ කැරලිකරුවෙකි. තංගල්ලේ උපන් කැමිලස් 1989 සැප්තැම්බර් 21 බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අවි පැහැරගැනීමේ ප්‍රහාරයට එක්වීමේදී ඝාතනයට පත්විය. ඔහුගේ සිරුර කැරලිකරුවන් විසින් අත්තිඩියේදී භූමදානය කරන ලදී. 


රත්නපුර ශාවියා මාවතේ මිල්සන් පට්ටලේ වැඩකළ ලියවන පට්ටල් ක්‍රියාකරුවෙකු වූයේ කොට ගාමිණීය. ඔහු 1980දී ජවිපෙට එක්වූ අතර ජවිපෙ තහනමින් පසුව දිගටම ක්‍රියාකාරිකයෙකු විය. කැරලිකරුවන් ගේ ගල්කටස් වර්ගයේ තුවක්කු නිෂ්පාදන ස්ථානයක් ලෙස රහසිගතව එම ස්ථානය යොදා ගැනිණි. ටී.56 තුවක්කුවේ බැරලය පවා එහි නිෂ්පාදනය කළේය. යකඩ කොටස සෑදුවේ ඇඹිලිපිටියේය. ආනන්ද ගේ මෝටර් රථය අලුත්වැඩියා කරන්නේ රත්නපුර මිල්සන් පට්ටලේ වැඩ කළ ගාමිණීය. 


මෙම පට්ටලයට පණිවිඩ නිරතුරුව ගෙන ආ ජවිපෙ කැරලිකරුවෙකු වූ රත්නපුරේ වැලිමළුවේ පදිංචි උපැවිදි අයෙකු වූ ජයරත්න අත්අඩංගුවට පත්වීමෙන් පසු ඩී. එම්. ආනන්ද ගේ සම්බන්ධය හෙළිදරව් කරන ලදී. ආනන්ද ගේ සමීපතමයෙකු වූ කඳුරුපොකුණ රත්මලානේ ස්ථානයකට යන එන බවද ආරක්ෂක අංශවලට පවසන ලද්දේ ජයරත්න විසිනි. 
ජවිපෙ කොළඹ දිස්ත්‍රික් ඩී 3 කලාපයේ දේශපාලන නායක වූ යට්ටපාත සුමනේ හෙවත් කඳුරුපොකුණ හෙවත් වීරසිංහ 1989 ඔක්තෝබර් 20 රත්මලාන අත්තිඩියේදී ගුවන් හමුදා මාර්ග සෝදිසි බාධකයකදී අත්අඩංගුවට ගන්නේ ජයරත්න ගේ හෙළිදරව් කිරීම මගිනි. එහිදී බිල්ලෙකු ලෙස වෙස්වළාගත් ජයරත්න විසින් කඳුරුපොකුණ පැමිණෙන විට පෙන්වන ලදී. එය ජවිපෙට එරෙහිව ආරක්ෂක අංශ ගෙනගිය ප්‍රහාරයේ වැදගත් සංධිස්ථානයක් විය. තංගල්ලේ උපන් හිනිදුම නෙළුව හැදී වැඩුණු කඳුරපොකුණ ගේ නිවස පිහිටියේ හොරණය. කලක් වෘත්තීය අංශයේ වැඩකළ කඳුරුපොකුණ වරක් අත්අඩංගුවේ සිටියදී නිදහස් වූයේ ප්‍රේමදාස ජනපති වූවායින් පසු 1989 ජනවාරි 12 රටපුරා කැරලිකරුවන් 1,800ක් නිදහස් කරන ලද අවස්ථාවේදීය. එසේ නිදහස් වනවිට කඳුරුපොකුණ, ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ තිබූ හමුදා කඳවුරෙන් නිදහස ලැබූ සැකකරුවන් 99 අතර විය. 
කඳුරුපොකුණ ගෙන් ලත් තොරතුරු අනුව ආනන්ද ගේ රියදුරන් වූ අමරතුංග ප්‍රථමයෙන්ද දෙවනුව වැලිගම උපන් එක්දරු පියෙකු වූ අනුර ප්‍රියංකර හෙවත් බන්දුලාල් අත්අඩංගුවට ගන්නා ලදී. වධබන්ධන වලට ලක්වීමෙන් පසුව ඔවුහුද තොරතුරු අනාවරණය කළේ තෙදිනකට පසු ආනන්දට පලායෑමට ඉඩ තබමිනි. එහෙත් ඩී. එම්. ආනන්දට එය සන්නිවේදනය නොවූ අතර තමාගේ රත්නපුර නවාතැන් ස්ථානයකට තවත් අයෙකු පදවන ලද යතුරු පැදියකින් යෑමේදී රත්නපුරයට නුදුරු හමුදා මුරපොළකදී අත්අඩංගුවට ගනු ලැබීය. ඒ 1989 ඔක්තෝබර් 28 වැනි දාය. කැරැල්ලේ ජවිපෙ පරාජයෙන් මාස කිහිපයකට පසු රජය කඳුරුපොකුණ නිදහස්කර විදේශ රැකියාවකට යොමු කිරීමට පහසුකම් සලසනු ලැබීය.

 

 

 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සභාවේ 1979/80 සඳහා තේරිපත් වූ ශිෂ්‍ය සභා නියෝජිතයින් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව. රවුමකින් ලකුණුකර සිටින්නේ පේරාදෙණිය ශිෂ්‍ය සභාවේ ලේකම් ඩී. එම්. නන්දසේන හෙවත් ඩී.එම්. ආනන්දය. ඉදිරිපෙළ වාඩිවී සිටින්නේ වමේ සිට එච්. ඒ ප්‍රේමවතී, ඒ. ඩබ්ලිව් සෝමවතී, උප සභාපති ඒ.එ. සහබන්දු (විද්‍යා පීඨය), ධම්මික හිමි, ලේකම් ඩී.එම්. නන්දසේන නොහොත් ඩී. එම්. ආනන්ද (කලා පීඨය), ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ආචාර්ය රංජිත් අමරසිංහ, උපකුලපති මහාචාර්ය බී. එල් පණ්ඩිතරත්න, සභාපති එම්. ඒ ධර්මවර්ධන (කලා පීඨය), එම්. ප්‍රඥාමෝලි හිමි, කනිෂ්ඨ භාණ්ඩාගාරික එම්.එම් රතනපාල (ඉංජිනේරු පීඨය), සීතා මැණිකේ සහ එස් ජයසිංහය. 

 

 සරසවි සිසුන්ගේ සහභාගිත්වයෙන් පැවති උද්ඝෝෂණයක්.

 ඩී. එම් ආනන්දගේ සමීපතම සටන් සගයන් වූ පේරාදෙණිය ශිෂ්‍ය සභාවේ 1979/80 සභාපති එම්. ඒ ධර්මවර්ධන හෙවත් ධර්මවර්ධන මුණසිංහ (ජවිපෙ 2වැනි කැරලි සමයේදී මධ්‍යම කාරක සභිකයෙකි) සහ පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය සභාවේ නායකයෙකු වූ 2018 වනවිට ජවිපෙ දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ, ඩී.එම් ගේ සරසවි සමකාලිනයෙකුව සිට 1989 ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වශයෙන් සිටියදී ඝාතනයට ලක්වූ ගුරුවරයෙකු වන තලාවේ නන්දසේන වික්‍රමආරච්චි, ඩී. එම්. සමඟ අසූව දශකය මුල් භාගයේදී එකට කටයුතු කළ 1959 ජූලි 26 උපන් ජයවර්ධනපුර සරසවියේ සිසු නායක සහ 2018දී කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකයා වන එජාපයේ මහින්ද පුෂ්පකුමාර, 2වැනි කැරැල්ලේදී ඩී. එම් යටතේ තිබූ ජවිපෙ සංස්කෘතික අංශයේ කටයුතු කළ හලාවත කොක්කාවිලදී 1952 ජනවාරි 3 උපන් මීගමුවේ පදිංචි දින ඇදුරුගේ සේනාරත්න ද සිල්වා මෙහි වමේ සිටය. 

 

 

 


එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ අංක 2 කොට්ඨාසයේ සන්නද්ධ නායකයා වූ ජයන්ත හෙවත් රාජා 1989 ඔක්තෝබර් මස අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු හිටපු හමුදා සෙබළෙකි. මාතලේ උකුවෙල පදිංචිකරුවෙකු වූ ජයන්ත ගේ බිරිඳ කමලාය. කලක් ශ්‍රී පාදයේ කැරලිකරුවන්ට අවි පුහුණුව ලබාදුන් තැනැත්තෙකි. ඒ සඳහා ආරක්ෂක අංශයට ඔත්තුව ලබා දෙන ලද්දේ ප්‍රා සංවිධානය විසිනි. ජවිපෙ සන්නද්ධ අංශයේ නායක සමන් පියසිරි ගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ කල්ප ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ජයන්ත ගෙන් ලබාගත් තොරතුරු අනුවය. ජයන්ත ගෙන් ලබාගත් තොරතුරු අනුවද ඩී. එම් ආනන්ද සොයා ගැනීමේ මෙහෙයුම්ද ඇරඹිණි. ඩී2 කලාපයේ දේශපාලන අංශයේ නායකයා වූයේ රඹුක්වැල්ලය. වයස 50කට ආසන්න වියේ පසුවූ ඔහු ඩී. එම්. ආනන්ද ගේ හැඩරුව සහිත අයෙකි. තවද දේශපාලන මණ්ඩල සභික ගුණරත්න වනසිංහද 1989 නොවැම්බර් 5 දෙමටගොඩදී අත්අඩංගුවට ගෙන තිබිණි. 


අත්අඩංගුවට ගත් ඩී. එම්. ආනන්ද මත්තේගොඩ කඳවුරට ගෙන ආ අතර පසුව යටාරෝ කැෆටේරියා කඳවුර වෙත ගෙන එන ලදී. ඒ සෑම කඳවුරකම වධ බන්ධනයට ලක්වූ ආනන්ද රඳවා තැබුවේ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පවත්වාගෙන ගිය වධකාගාරයේය. එය ආරක්ෂක අංශ පාලන යටතේ පැවති අතර එය භාරව සිටි නිලධාරින් ලෙස පසු කලෙක චෝදනා ලැබුවේ ලූතිනන් මුතාලිෆ්, ලූතිනන් මනතුංග, ලූතිනන් සොයිසා, මේජර් ගාමිණී හෙට්ටිආරච්චිටය. යටාරෝ කැෆටේරියා කඳවුර පාලනය වූයේ මේජර් ජනරාල් ලකී අල්ගමගේ අධීක්ෂණය මත මේජර් තෝරදෙණිය ගේ මෙහෙයවීම යටතේය. 


කොළඹ නීති පීඨ කඳවුරේදි අත්දිග කමිසයකින් සහ සරමකින් සැරසී සිටි වධබන්ධනයට ලක්වූ ඩී. එම්. ආනන්දට වෙනත් සැකකරුවන්ට වඩා පහසුකම් සලසන ලදී. ලුතිනන් මඩවල සහ කපිතාන් සිරිශාන්ත විසින් ආනන්දව මානසිකව දිනා ගැනීම සඳහා මාක්ස්වාදී නැඹුරුවක් ඇති පරිවර්තන කෘතිද පරිශීලනයට ලබාදෙන ලදී. අත්අඩංගුවේදී තමාට ලබාදුන් බියර් පානය කිරීම ප්‍රතික්ෂේප කළ ආනන්ද දුම්පානය පමණක් එහිදී ඉඳහිට සිදු කළේය. 


අත්අඩංගුවට ගත්නා ලද ඩී. එම්. ආනන්ද නිදහස් කරන මෙන් ජවිපෙ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් එච්. බී. හේරත් 1989 නොවැම්බර් 08 ඇමති සෞම්‍යමුර්ති තොන්ඩමන් හමුවී ඔහු මගින් ජනාධිපති ප්‍රේමදාස ගෙන් ඉල්ලීමක්ද කර තිබිණි. එහෙත් ඒ සඳහා ජනාධිපතිවරයා ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි. ඩී. එම්. ආනන්ද ඝාතනයට පත්වූයේ විජේවීර ඝාතනයෙන් පසු 1989 නොවැම්බර් 15 මත්තේගොඩදීය. 


එමෙන්ම අවිවාහකයෙකු වූ ආනන්ද සමීපතම හිතවතියන් කිහිපදෙනෙකු ද ඇසුරු කළේය. ඔවුහු ගම්පහ, කුරුණෑගල සහ රත්නපුර නිවෙස්වල වාසය කළහ. එමෙන්ම කොළඹ පැමිණි විට ආනන්දට නවාතැන් ගැනීම සඳහා අතුරුගිරිය පෝරඹේ නිවසක්ද කුලියට ගෙන තිබිණි. අතුරුගිරිය මුල්ලේගම පදිංචි චන්ද්‍රරේ ගේ නැගණියට අයත් එම නිවසට 1989 පෙබරවාරි සිට අත්අඩංගුවට ගන්නා තෙක් මසකට රුපියල් 6,000ක කුලියක් ලබාදෙන ලදී. මෙම සෑම නිවසක්ම පිටතට සැකයක් නොවන පරිදි පවුල් ඒකකයක් ලෙස ජවිපෙට ආවේනික ලෙස ගොඩනැගී තිබිණි. ඒ අනුව කැරල්ලේදී ඝාතනයට පත්වූ කැරලිකරුවකු ගේ බිරිඳ හෝ පෙම්වතිය ද, දරුවන් ඇත්නම් ඔවුන්ද නිවාස අලභහානි වීමෙන් අසරණභාවයට පත්වූ කැරැලිකරුවෙකුගේම මාපිය යුවලක්ද එහි නේවාසිකව සිටියහ. 


ආනන්ද කොළඹ පැමිණි විට මෝටර් රථයෙන් ඔහු සමඟ ගමන් කිරීමට එක් තරුණියක්ද වූවාය. පියා ව්‍යාපාරිකයෙකි. ඇය කොළඹට ආසන්න ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක අධ්‍යාපනය හදාරමින් සිටිය දී කොට්ටාවේ සෝමසිරි මගින් ජවිපෙට පූර්ණකාලීනව 1989 මුල් භාගයේදී එක්විය. වසර 2018 වන විට ඇය කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාකාරිනියකි. 


රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීම සිදු වූයේ ඩී. එම්. ආනන්ද විසින් කරන ලද හෙළිදරව්වකින් බවට ප්‍රචලිත මතයකි. එය විදේශ ඔත්තු සේවාවල උපදෙස් අනුව ආරක්ෂක බුද්ධි අංශ විසින් ජනගත කරන ලද මතයකි. එහෙත් සිදුවූයේ වෙනත් ක්‍රියාදාමයකි. ඒ පිළිබඳව සියලු කරුණු කතුවරයා විසින් ඉදිරියේ දී නිකුත් කරන විජේවීර ඝාතන අභිරහස නම් ග්‍රන්ථයේ සඳහන්ය. (ජවිපෙ 2 වැනි කැරලි සමය වූ 1986 සිට 1990 දක් වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්තර දුරකථන 011-5234384 ලබාගත හැකිය)