වැව් බැඳි රටත් අද හාමතේ


බ්‍රවුන්රිග් වනගත කළ රජරට ශිෂ්ඨාචාරය යළි පණ ගන්වමු

ඉතිහාසයේ කවරදාකවත් නොසිදු වූ අන්දමට සිංහල වාපි ශිල්පයේ මුල්ම වැව බසවක්කුලම වූ අනුරාධපුර අභය වැව සිඳී ගොස් ඇති අයුරු.

 

  • රජරටට වතුර නැති කළේ වගා ළිංද ?

පසුගිය අප්‍රේල්වලින් පසුව පණ ඇති වැහි පොදක් වැව් බැඳි රටට වැටුණේ නැත. මෙයින් දෙසතියකට පමණ පෙර පුරුදු අක්වැස්ස වැටුණ නමුත් එය ගො​වි බිමකට ප්‍රමාණවත් නැත. වෙනත් අවුරුදුවලට වඩා මෙදා හිරු වඩාත් සැඩ පරුෂ වී ඇත. දෙනෝදාහක් බැතිමතුන්ගෙන් වෙසක් පෝදාට, පොසොන් පෝදාට අපිරිසිදු වෙන අනුරපුර පිංබිමේ කැළි කසළ අපද්‍රව්‍ය සේදී යන්නට මෙන් එම දිනවලින් පසු මහ වැහි දෙකක් වහී. මෙදා පාර ඒ වැහි දෙකත් නැත. අනුරපුර පිංබිම සහ අවට මිහිකත හිරු රැසින් කරකුට්ටම් වී ඇත. වාරි මාර්ගයට අනුව වැව් බැඳි රටේ ගොඩරළුවේ පිහිටි පුංචි වැව් 1913ක් මේ වන විට වතුර පොදක් නැති තරමට වේලී ඇත. වාරිමාර්ග තොරතුරු අනුව ගොඩරළුවේ කුඩාම වැව් 12ක් වතුර පොදක් නැතිව සිඳී ගොස් ඇත. තවත් වැව් 976ක යන්තම් වගාවට නොව ජනතාවගේ පරිභෝජනයට පිරිමහින්නට වතුර ඩිංගිත්තක් ඉතිරි වී තිබේ.

 

යල මහ ගොවිතැනට දියවර ගත හැකි වැව් බැඳි රටේ මහ වැව් අතර කලා වැව, රාජාංගණය, පදවිය යන වැව් තුනේ පිරිමහගත හැකි වතුර ටිකක් තිබේ. වැව් ශිල්පයේ පියා වූ අභය වැවේ දැනට වතුර ඇත්තේ අක්කර අඩි 96 කි. ඉපැරණි නිසා වැවේ අක්කර අඩි 5375 කි. අනෙක් සියලු මහා පරිමාණයේ වැව් එනම් හුරුළුවැව, නාච්චදුව, තුරුවිල, වාහල්කඩ, මහකනදරාව, මහවිලච්චිය, අංගමුව, මානන්කට්ටිය යන හැම වැවකම පාහේ ජනතා පරිභෝජනයටත් මදිවන තරමට වතුර සිඳෙමින් පවතී. තවමත් වැහි කඳුළක් නැත.   


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු අනුව අනුරාධපුරය, පොළොන්නරුව, වවුනියාව, කිළිනොච්චිය, මන්නාරම, මුලතිව්, කුරුණෑගල, අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට මෙම නියඟය දැඩි ලෙස බලපා ඇති අතර එයින් අනුරාධපුරයේ පවුල් 15,344කට අයත් පුද්ගලයන් 52,264ක් දැඩි පීඩාවට පත්ව ආහාර පාන අසහනයෙන් පෙළෙති. ගොඩරළුවේ වැව් සිඳී ගිය ගම් බිම්වල ජනතාවට වැව්වලට පැන නෙළුම් අල, ඕලු අල, කෙකටිය අල හාරන අතර සමහර පවුල්වල දරුවන්ගේ බඩගින්දරට කුරුම්බා, කෙසෙල් අල ආදිය ද පාවිච්චියට ගනිති. දෙනෝදාහක් මැති ඇමැතිවරුන්ට, රජයේ කළමනාකරුවන්ට ලැබෙන මුදල් මදි වී තව තවත් රුපියල් ලක්ෂ ගණන් ලබා ගැනීමට කුරුමානම් අල්ලති. ජනතාව මෙහෙව් පීඩාවකට පත්ව සිටියදී එක් මැති ඇමැතිවරයකු හෝ තමන්ගේ මාසික දීමනාව හෝ එයින් කොටසක් හෝ ජනතා කුසගින්දරට පූජා කරන්නට සූදානම් වී නැත. නමුත් මොවුන් ජනතා නියෝජිතයෝය. 


පෙර හෙළ රජ දරුවන් රජරට පුරා වැව් බැන්දේ රජරටට වැස්ස හිඟ බව දැන දැනමය. 


අවුරුද්දේ මාස නවයක් රජරට මහ පොළොව කරකුට්ටම් වී යන තුරු තදින් පායයි. මේ කාලය තුළ පොළව පිච්චී හොඳින් පදම් වෙයි. ඊළඟට අක්වැස්සෙන් පටන් ගෙන වප් මහේ සිට දිගමට මාස තුනක් පමණ පොළොව දිය බත් වී උතුරා යන්නට වැසි වසියි. මෙසේ උතුරා යන ජලය එකතු කර ගන්නට ඒ වනවිට වැව සූදානම් ව පවතී. වැව සිඳී ගිය කාලයේ විශේෂයෙන් නිකිණි මාසයේ දී වැව යටතේ ගොවිතැන් කරන හැමෝම එකතු වී වැවේ අඩුපාඩු හදා ගනිනි. රොන් මඩ පිරී ඇත්නම් කට්ටි කපා වැව් බැම්මේ කඩ​ෙතාළු මකා දමති. පෙරමුණේ සහ පහමුණේ වනාත කොටා ශුද්ධ කරති. හරකා බානාගේ හෝ තොටුපළේ සිට සියලු තොටුපළවල් සංස්කරණය කරති. විශේෂයෙන් වැව් තාවුල්​ලේ ද රක්ෂිතයේ ද දියමං පාදන අතර පෝටා වැටිය ද හොඳින් ආවරණය කරති. මේ අන්දමට අලුත ගෙනා මනාලියක් මෙන් වැවේ සියලු අංග බක්මහට කලින් ප්‍රතිසංස්කරණය කරති. 


එයින් පසු වැස්ස පටන් ගනී. ඉඩකඩම්වල සියලු වැහි වතුර ගලා එන්නේ වැවටය. වැහි හත අටක් යද්දී වැව් බඩ පිරී යයි. උහුලන්නට බැරි තරම් දිය බරක් අයියනා මූණයට එකතු වේ. වැවේ ගැබ්බර උහුලා ගන්නට බැරි තැන පූජා වෙඩි ආදිය පවත්වා වැවේ කඩවල හැදෙන්නට නොදී පිට වානෙන් බැරි තැන ඇතුළු වානෙන් ද වැව් දිය පිටතට මුදා හරී. 


ගොවිතැනින් බත් කන හැමෝම වැවට ආදරේය. වැව් ගම්මානයේ කවුරුත් එකතු වී අවුරුදු පතාම වැව් සංස්කරණය කරමින් වැව රැක බලා ගනී. 


වැව් දිය පාලනයට ද ගමෙන්ම පත් වූ ස්වේච්ඡා නායකයන්, වෙල් විදානේ, ගමරාළ ආදීන් නිතර වැව ගැන සෝදිසියෙන් සිට වැව් දිය පාලනය කරති. ඔවුන් කරන සේවයට වෑබැම්මේ මුලම කුඹුරු අක්කරයක් දෙකක් නිල වශයෙන්ම වෙන් වන අතර වැව් දිය හිඟ කාලයට පෙරලුම් බෙත්ම, තාවලු බෙත්ම, සම බෙත්ම ආදී වශයෙන් කුඹුරු පංගු බෙදාගෙන කොයි කාටත් බිත්තර වී ටිකවත් ලබා ගැනීමට හැකි වන සේ කුඹුරු උරුමය නොතකා පෙත් මඟ දිගේ යාය බෙදාගෙන කවුරුත් ටික ටික හෝ ගොවිතැන් කර ගනිති. 


කුඹුරෙන් ලැබෙන වී ටික මුදල් කළේ නැත. ඒවා රන් අස්වනු මෙන් අටු කොටු පුරවාගෙන වසර පුරාවට පිරිමහින රටාවෙන් ප්‍රයෝජනයට ගනිති. මීට අමතරව හේනේ වැවෙන කුරහන්, මෙනේරි, උඳු, මුං, කව්පි, තල, බඩ ඉරිඟු ආදිය ද වේළුෑ කැකිරි සහ වේළුෑ වට්ටක්කා ද ආහාරයට ගන්නා අතර වැව් සිඳී ගිය දිනවල ගලවා ගත් නෙළුම් අල, කෙකටිය අල, වැල් අල, කොඩොල්, බතල ආදිය ද ආහාරයට පිළිවෙළ කර ගනිති. වැව් බැඳි රටේ පැවති මෙම ආහාර රටාව නිසා වැව් බැඳි රට කෑම අහේනියක් ඇති වූයේ නැත. 


ගමේ වැවත් සමග වැව් ගම්මානයේ ආහාර රටාව බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් හෙම්බත් කරනු ලැබීය. වැව් මැදින් පාරවල් දමා සමහර වැව් වනබත් වෙන්නට හැර වැව් ගම්මානයේ මිනිසුන්ට වැවට අඩිය තැබීමත් තහනම් කරනු ලැබීය. ඔහුගේ කෲර අණසකට වැව් බැඳි රාජ්‍යය වනබත් වී ගිය අතර වැව් ගම්මානවල ජීවත් වූ ආඩම්බරකාර ගොවි ජනතාව පාන්, පිටි රොඩ්ඩට අතපාන නිවට පිරිසක් බවට පත් කළහ. 


අපේ අයියලා රට බාර ගැනීමෙන් පසු කළ යුතුව තිබූ ප්‍රථම කාර්යය වන්නේ බ්‍රවුන්රිග් විසින් වනගත කළ වැව් බැඳි රාජ්‍ය යළි නැගිටුවාලීමටය. ගමේ වැවෙන් උපන් ඔවුන්ට ගමේ වැව අමතක විය. කොළඹ ජේත්තුවට ඇඳ පැළඳගෙන හැඩ වී කොඩිගහ යට උපන් අය සේ වැව් බැඳි රාජ්‍යයත් වැව් ගම්මාන ජීවිතයත් අමතක කර දැම්මේය. අද රජරටට වැහි පොදක් නැතිව වැව් දිය බිඳක් නැතිව මේ ශාපය විඳින්නට සිදුව ඇත්තේ ඔවුන්ගේ අාරෝව නිසාය. 


අපේ හෙළ රජ දරුවන් ගමක් පාසා වැව් බැන්දේ පිස්සුවට නොවේ. වැව් බැඳි රටේ දේශගුණික රටාව තේරුම් ගෙන වැහි දියෙන් ලැබෙන වතුර ටික ඇළ දොළ ගංගාවලට යා නොදී වැවට එකතු කරගෙන රජරට මිනිසා ජීවත් කර වීමේ ප්‍රධාන සාධකය වැව බවට පත් කිරීමෙනි. රටේ පාලනය බෙදා ගැනීමට පැනගෙන යන අපේ අයියලාට රජරට පැවති වැව් බැඳි රාජ්‍යයේ ස්වභාවයවත් තේරුම් ගැනීමට නොහැකි වී ඇත. ගමේ අය අදටත් කියන්නේ වැව් දෙයියෝ යන උතුම් උපහාර වචනයෙනි. වර්තමාන පාලක දෙවිවරු වැව් දෙවියන්ට කළේ මොනවාද? තමන්ගේ අතවැසි ගෝල බාලයන්ට අවුරුදු පතා වැව් අලුත් කිරීමට බාර දීමය. ඔවුන් වැව් ගැන දන්නා අටං ගෙඩියක් නැත. වැවෙන් උඩින් පල්ලෙන් පස් ටික අවුස්සා වැවේ කොන්ත්‍රාත් ගතමනාව බෙදා හදා ගැනීමය. 


එක් අවස්ථාවක ත්‍රස්තයන් විසින් විනාශ කළ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ වැව් 12ක් හැදීමට රජයෙන් දුන් රුපියල් කෝටි 12ක මුදල වැව්වල පස් පිඩැල්ලක් වත් නොකපා අද වනතුරුත් ආගිය අතක් නැත. මෙසේ කරන ලද බොරුව, වංචාව, කපටිකම රජරටට අරක්ගත් වැව් භාර දෙවියන්ට පෙනී ගොස් අද රජරටට වැහි පොදක් දෙන්නේ නැත. අද පාලකයන් කරන ලද පාපකර්මවලට රජරට වැසියෝ කුසගින්දරෙන් දැවෙමින් දුහ දුක් විඳිති. 
රජරට වැව් රාජ්‍යය විනාශ කිරීම සඳහා සුද්දන් විසින් වැව්වලට බෝකළ ජපන් ජබර ශාකයෙන් බොහෝ වැව් ගිලගෙන ඇත. සිංහලයන් පළවා හැර කළු සුද්දන් මේ රටට බෝ කළාක් මෙන් වැව්වල පැවති දේශීය ජලජ පැළෑටි වූ නෙළුම්, මානෙල්, ඕලු, කෙකටිය වඳ කර දමා කළු සුද්දන් ර​ටේ රජ වී ඇත. 

 

අභයවැවේ පතුල මුළුමණින් ඉරිතලා ගොස් ඇති අයුරු.

 


වගා ළිං සන්නිය නිසා රජරටම වේලේ


මහ පොළොවේ වගා ළිං කපා වගාවට ජලය ලබා ගැනීමත්, අතු කපා මොර කෑමත් යන දෙකම එක සමාන විනාශකාරී ක්‍රියාවන්ය. 


වගා විෂයට අනුබද්ධව සිටින ඉහළ කළමනාකරණයේ නිලධාරීන් මේ රටේ මිරිස් වගාව ව්‍යාප්ත කිරීම සඳහා රුපියල් ලක්ෂයක සහනාධාර යටතේ වගා ළිං 750ක් ලබාදෙන ලදී. ඊට අමතරව පළාත්බද කෘෂි අංශ මගින් ගොවීන්ට සහනාධාර ලබා දෙන විෂයයක් වශයෙන් අවුරුදු පතාම කිසියම් වගා ළිං ප්‍රමාණයක් තෝරා ගත් ගොවීන්ට ලබා දෙනු ලැබේ. මේ සියලු දෙයින් සිදු වෙන්නේ පොළවේ තෙතමනය සිඳී ගොස් වේලීමය. 
අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ දැනටමත් අපි විශාල ප්‍රමාණයක් වගා ළිං කපා ඇති නිසා භූගත ජලය අඩු වීමේ සහ පොළොවේ සැඟවී ඇති ලවණ වර්ග මතුපිට පසට එක් වී පස නිසරු වී යාමේ අවදානමක් ඇති වී තිබෙන බව උතුරු මැද පළාත් නි​ෙයා්ජ්‍ය කෘෂි අධ්‍යක්ෂ (ව්‍යාපෘති) අවධාරණය කරයි. අසීමිත ලෙස වගා ළිං කැපීම නිසා පොළවේ ස්වභාවික ක්‍රියාකාරීත්වයන් වෙනස් වී විජලනය මගින් පොළව වියළී යන බව භූගත ජල විද්‍යාඥ ආචාර්ය ධර්මසේන මහතා සඳහන් කරයි.

 
වගා ළිං සන්නිය මෙරටට ගොඩ වැදුණේ මෑතකදීය. එය පැමිණියේ බහුජාතික සමාගම් හරහාය. බහුජාතික සමාගම් මගින් හැටේ දශකයේ දී මෙරටට බෝ කළ හරිත විප්ලවය මගින් මේ රටේ පැවති පාරම්පරික වී ගොවිතැන විනාශ කර දමා ඔවුන්ගේ කෘෂි රසායන මෙරට පැළපදියන් කළාක් මෙන් වගා ළිං සන්නිය ද එබඳු රටට ජාතියට වින කටින තවත් එක් උප්පරවැට්ටියක් වී තිබේ. 


වියළි ප්‍රදේශවල නොකඩවා ගොවිතැන් කරගෙන යාමට වගා ළිං ක්‍රමය මහෝපකාරී වෙන බව ගොවි ජනතාවට පෙන්වා දීමට සහ සහනාධාර ලබා දීමට පුරෝගාමී වෙන්නේ අපේ රටේම ඉහළ කළමනාකරණයේ සිටින ඇතැම් කලවැද්දන්ය. බල්ලන් මරා හෝ සල්ලි, අප්පා ගස් බැඳ අම්මා දී හෝ සල්ලි හොයන විදියේ රට ජාතිය ගැන කිසිදු කැක්කුමක් නැති අක්මුල් සිඳී ගිය මිනිසුන් තීරණ තීන්දු ගන්නා ඉහළ තනතුරුවලට ගිය විට බහුජාතික සමාගම්වලට රටත් ගොවි ජනතාවත් පාවා දී බහුජාතික සමාගම්වලින් යස ඉසුරු සම්පත් කඩා ගනී. මේ කථාව සනාථ කෙරෙන සිද්ධි බොහෝය. 


කිරි හරකුන්ගේ බුරුල්ල කිරිවලින් පුරවන්නට ගිණි නම් වූ තණ කොළ විශේෂය අති විශිෂ්ට යයි අපේම ඉහළ කෘෂි නිලධාරියකු නිර්දේශ කොට මෙරටට ගෙන්වනු ලැබීය. අද වෙන විට සිදු වී ඇත්තේ කුමක්ද? කිරි හරකුන්ගේ කිරි බුරුල්ල පෙර පරිදිමය. රට පුරා වඳ නොකළ හැකි සේ ගිණි තණ පඳුරු බෝවී පොළවේ සාරය උරා බී පස නීරස කර දමනු ලබයි. 


හරිත විප්ලවයෙන් මේ රට කිරියෙන් පැණියෙන් ඉතිර විය හැකි යයි ඉහළ කෘෂි රසායන නිලධාරීන් පෙන්වා දී බහුජාතික සමාගම් කෘෂි රසායන සමග ගෙන එන ලද හරිත විප්ලවය වැළඳ ගත්තේය. අද වෙනවිට සිදු වී ඇත්තේ කුමක්ද? දේශීය ගොවිතැන හා දේශීය වී වර්ග වඳ වී ගොස් වකුගඩු පිළිකා රෝග බෝ කරන දෙබිඩි වී වර්ග රට පුරා පැතිරී ඇත. 


තේක්ක ගස් දැවමය වශයෙන් රන් කඳක් යයි හඳුන්වා දෙමින් දේශීය මිල්ල, නැඳුන්, හුරීමාරා, බුරුත, පලු ආදී ගස් පෙරළා දමා රජරට පුරාවට රජයේ ඉඩම්වල තේක්ක වගා කරනු ලැබීය. අද වෙනවිට සිදු වී ඇත්තේ කුමක්ද? රජරට සරුසාර පොළවේ තෙතමනය මුළුමනින්ම උරාගෙන පොළව වේළා දැමීමට තේක්ක ගස සමත් වී ඇත. 


රත්තරං තරමට වටින්නේ යයි හඳුන්වා දෙමින් කෘෂිකර්මයේ හිටි ලොක්කෙකු සිය බල වපසරිය තුළ ඉපිල් ඇට බෙදා හැරියේය. ඉපිල් ශාකය අසුරු සැණින් රට පුරා බෝ විය. අද වෙනවිට සිදු වී ඇත්තේ කුමක්ද? ඉපිල් ගස ජන්ම භූමිය කර ගත් කෘමියෙකු කෝටි ගණනින් බෝ වී මේ රටේ පොල් ඵලදාව විනාශ කර දමයි. ඒ සමගම රටට පොල් කිරි පිටරටින් ගලා එයි. 


​ෙම් සියලු සිදුවීම් තුළ රුපියල් කෝටි ගණන් වියදම් කරමින් පසුබිමින් සිටින්නේ බහුජාතික සමාගම්ය. කැලේ නසන්නේ කැලේම ගසක් යයි කීවාත් මෙන් බහුජාතික සමාගම් හරහා අපේ රටට ගලා එන දේ රට තුළ පැළපදියන් කරමින් අපත් අපේ රටත් විනාශ කරන්නේ කෘෂිකර්මයේ මුල් පුටුවලට බරව සිටි අපේම ඇතැම් චපලයෝය. 


වගා ළිං සන්නිය ද ඔවුන් විසින්ම රටට බෝ කළ තවත් විනාශකාරී ක්‍රියාවකි. බැලූ බැල්මට අපට පෙනී යන්නේ වියළි ඉඩම්වල නොකඩවා වගා කරගෙන යාමට වගා ළිං කප්රුකක් ලෙසය. නමුත් ළිඳ කපා ගත් තරමට වගාවට ජලය ලබා ගැනීමට නුපුළුවන. ඒ සඳහා වතුර මෝටරයක් අවශ්‍යයි. වතුර බට සහ තවත් උපාංග අවශ්‍යයි. මේවා බොහෝ විට සපයන්නේ විදේශීය බහුජාතික සමාගම් මගිනි. වගා ළිං නිසා වෙළෙඳාම සරු වී ඇත්තේ කාටද? රටට හෙණ හැගී ගියත් ඔවුන් බලන්නේ ඔවුන්ගේ මල්ල පුරවා ගැනීමටය. 


වගා ළිඳක් කැපූ විට ඒ අවට භූ ගර්භයේ පවත්නා සියලු ජලය වගා ළිඳට උරා ගනී. උදාහරණයක් ලෙස මහවැලි එච් කලාපයට දියවර ගෙන යාමට කලා වැවේ සිට කපා ඇති ජය ගඟ දැක්විය හැකිය. ජය ගඟ එක එල්ලේ කපාගෙන යාමේදී සමහර තැනක අඩි 50 - 60 ගැඹුරට කපා ඇත. එවැනි තැන්වල ඇළ දෑලේ ගම්මානවල පැවති ළිං සිඳී ගොස් ගහකොළ ද වියැළී පොළොව කරකුට්ටන් වී කාන්තාර ස්වරූපයක් දකින්නට ලැබේ. වගා ළිං කැපීමෙන් ද හාත්පස භූගත ජලය වගා ළිඳට උරා ගැනී​ෙමන් ඒ පරිසරය වියළී යයි. වගා ළිං කැපීම වෙනුවට පෙර රජ දරුවන් කරන ලද්දේ වැසි ජලය එක්රැස් කර ගැනීමට වැව් බැදීමය. එදා රජරට කොතැනකවත් වගා ළිං තිබුණේ​ නැත. හැම තැනකම පැතිර තිබුණේ වැව්ය. වැව්වලින් වගාවට දියවර ගත්තා පමණක් නොව මිනිසුන්ගේ වෙනත් ජල අවශ්‍යතාවලට හා සතා සීපාවාට වැව් දිය ​ෙයාදා ගත්හ. සිංහලකමෙත් සුද්දන්ගේකමෙත් ඇති වෙනස මෙයයි. 


හරි හමන් ආවරණයක් නැති වගා ළිංවලින් පරිසරය වේළීමට පත් කරනවා පමණක් නොව සතා සීපාවට ද බොහෝ සේ අනතුරුදායකය. වනයේ හැසිරෙන වල් අලින් නිතර නිතර වනය අසබඩ පවත්නා වගා ළිංවලට වැටී අත පය කඩාගෙන ගොඩට ඒමට නොහැකිව දුක් විඳින අවස්ථා නිතර දැක ගන්නට තිබේ. වගා ළිඳ පොළොවට, පරිසරයට පමණක් නොව සතා සීපාවට ද හානිකරය. 


මේ වෙන විටත් පරගැති නිලධාරීන්ගේ සහ අමන දේශපාලකයන්ගේ තීන්දු තීරණවලින් බොල් වී ඇති රජරට මහ පොළොව පෙරදා හෙළ රජ දරුවන් කළාත් මෙන් වැව් දිය පුරවා සුවපත් කිරීමට කටයුතු කිරීම යුගයේ බරපතළ අවශ්‍යතාවකි. එදාට පමණක් නොව මතු පරපුරට ද රජරට මහ පොළොව තුළ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරමින් රජරට මහ පොළොව සුවපත් කිරීම දේශපාලකයන්ගේ ද නිලධාරීන්ගේ ද වගකීමය.

 

 

 

 

එප්පාවල රත්න බී. ඒකනායක