වැරැද්දක් නැතිව ජපනා උඩින් පහරදුන් හැටි


 

1942 අප්‍රේල් 5වැනිදා ජපන් ගුවන් හමුදාව කොළඹට බරපතළ ප්‍රහාරයක් එල්ල කළේය. ලංකා ජනතාව ජපානයට කිසිදු වරදක් කර නොතිබුණත් මෙම ප්‍රහාරය එල්ල වූයේ කොළඹ නගරයටය. එවකට මෙර!ට පාලනය කළ බි්‍රතාන්‍ය රජයේ ආරක්ෂක මර්මස්ථාන ජපන් ප්‍රහාරයට හේතු වුවද ඔවුන්ගේ ඉලක්ක වැරදී මියගියේ අහිංසක ජනතාවය.
මේ එම ප්‍රහාරය සම්බන්ධයෙන් ලියැවෙන ලිපියකි.

 

 

අග්නිදිග ආසියාවේ ගුවන් හා නාවික හමුදා සහායක අණ දෙන නිලධාරී තනතුරට පත්ව සිටියේ අද්මිරාල් සර් ජේම්ස් සොමාවිල්ය. ඔහු කටයුතු කළේ ලංකාවේ සිටය. ආසියානු ගුවන් හා නාවික කලාප ආශ්‍රිතව කලක් කටයුතු කර ඇති ඔහු, සියලු නාවික හා ගුවන් හමුදා ප්‍රධානීන් කැඳවා ප්‍රහාරයට පෙර දිනයේ ඔවුන් අමතා දැඩි ලෙස ප්‍රකාශ කොට සිටියේ ජපන් ආක්‍රමණික ප්‍රහාර කිනම් මොහොතක හෝ සිදුවිය හැකි බවත්, ආක්‍රමණික සතුරාට මුහුණ දී සටන් කොට පලවා හැරීමට සියලු දෙනාම දැඩි ලෙස අධිෂ්ඨානයෙන් පසුවිය යුතු බවත්ය.


හතුරු ජපන් ප්‍රහාරක ගුවන් බළඇණියේ අණ දෙන නිලධාරී වශයෙන් කටයුතු කළේ උප අද්මිරාල් චුයිචි නගුමෝ වූ අතර, මලයා බලඇණියේ අණදෙන නිලධාරියා වූයේ උප අද්මිරාල් ජිසබුරා ඩසෝඩා ය. එවකටත් මොවුහු පර්ල් වරායට පහර දීමේදී සහ මලයා මුහුද ආක්‍රමණික ප්‍රහාරයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කොට මහත් පළපුරුදු ලත් නාවික හා ගුවන් හමුදා ප්‍රධානියෝ වූහ. ප්‍රහාරය කොයි මොහොතේ එල්ලවේද, කිනම් ස්ථානයකට එල්ල වේද යනුවෙන් සිතමින් මිත්‍ර හමුදාද සීරුවෙන් බලා සිටියදී අප්‍රේල් මස 05 වන දින උදාවිය. එය ක්‍රිස්ත්‍රියානු ලබ්ධිකයන්ට ආගමික වශයෙන් ඉතා වැදගත් වූ ඉරිදා පාස්කු දිනයක් විය. හතුරු ප්‍රහාරකයන් ළඟ ළඟම ඒවාද යන්න පිළිබඳව ස්ථිරව නොදත්තේය. එබැවින් කොළඹ ජනයාට උදාවිය හැකි කිසිදු අනතුරුදායක තත්ත්වයක් පිළිබඳ දැන්වීමක් කොට නොතිබුණි. එබැවින් කොළඹ ජනයාගේ හැසිරීම සම්බන්ධයෙන් සාමාන්‍ය වශයෙන් මිස සැලකිය යුතු වෙනසක් නොවීය.


රත්මලාන ගුවන් තොටුපළේ ගුවන් නියමුවෝ මෙන්ම ගුවන් යානා සම්බන්ධිත වෙනත් භටයෝද උදෑසන 4ට පමණ අවදිවී ඕනෑම අවස්ථාවක ප්‍රතිප්‍රහාර සඳහා ගුවන් ගතවීමට යුහුසුලුව පසුවූහ. සාමාන්‍යයෙන් උදෑසන ගුවන් යානා දෙක තුනක් ගුවන් ගතකොට එහා මෙහා පියාසර කරනවා දකිනවා මිස වෙනත් අමතර කිසිවක් අහසේ දැකීමට නොතිබුණ බැවින් සාමාන්‍ය ජනයාගේ හැසිරීමේ රටාවේ වෙනසක්ද දක්නට නොවීය. උදෑසන 6.00ට පමණ වන තෙක් අහස වලාකුළුවලින් බරව පැවැතුණි. මිත්‍ර ගුවන් හමුදා ප්‍රහාරක යානා ඉතා සුළු වේලාවකින් ක්‍රියාත්මක වීමට සූදානම්ව සිටි අතර කෙසේ නමුත් එවකට වලාකුළු පහව ගොස් අහස පැහැපත් වනවාත් සමඟ ප්‍රහාරක සතුරු යානා කිනම් මොහොතක දැක ගැනීමට හැකිවේය යන්න ගුවන් නියමුවන් හා භටයන්ගේ බලාපොරොත්තුව විය.


රත්මලාන ගුවන් කඳවුර සහ ආශ්‍රිත කඳවුරුවල ගුවන් නියමු හා ගුවන් භට නිවහන මෙසේ ක්‍රියාශීලීව පසුවුන අතර, තුරඟ තරග පිටියේ පිහිටි අනිත් ගුවන්තොටුපළද ක්‍රමයෙන් ක්‍රියාශීලී විය. මේ ගුවන් තොටුපළ පිළිබඳව ජපන් ගුවන් නියමුවන්ට එතරම් පැහැදිලි අවබෝධයක් නොවීය. එය මෑත කාලීනව යුද කටයුතු සඳහාම සකස් කරන ලද්දක් වීම එයට හේතුව විය. එසේ වුවද රත්මලාන ගුවන් තොටුපළ යුද කටයුතු සඳහා යොදා ගැනීමට ප්‍රථමයෙන් ලංකාව සතුව තිබූ එකම ගුවන් තොටුපළ වූ හේතුවෙන්ද එය සංචාරකයන්ට ලංකාවට පැමිණීමට යොදා ගත් එකක් වූ හෙයින්ද එසේම වානිජ කටයුතු සඳහා යොදා ගත් එකක් වූහෙයින්ද එකී රත්මලානේ ගුවන් තොටුපළ ලෝකයා අතර ඉතා ප්‍රසිද්ධව පැවැතියේය. එබැවින් එය තුරඟ තරග පිටියේ ගුවන් කඳවුරට සාපේක්ෂව රත්මලාන ගුවන් කඳවුර වඩා ප්‍රසිද්ධ වූ හේතුවෙන් එය සතුරු ගුවන් ප්‍රහාරයකට ලක්වීමේ අවදානම වැඩි විය.


කරුණු මෙසේ සිදුවෙමින් තිබියදී හදිසියේම අද්මිරාල් සොමාවිල්ට සංඥා පණිවුඩයක් ලැබුණි. එහි සඳහන් වූයේ දිවයිනට දකුණු දිසාවේ වෙරළේ සිට සැතැපුම් 200 ක් පමණ ඈත මුහුදේ සිට යානාවලට ගුවන් ගතවීමට ප්‍රමාණවත් දුර ප්‍රමාණයකට ළඟාවෙමින් ජපන් ගුවන් යාත්‍රා රැගෙන ගුවන් යානා ප්‍රවාහන යුද නැවක් ගමන් කරමින් සිටින බවය. මේ යුද නෞකාවේ ප්‍රවාහනය වෙමින් තිබුණේ පර්ල් වරායට කරනු ලැබූ ප්‍රහාරයේ විශේෂ දස්කම් දක්වා කටයුතු කළ ලුතිනන් කොමදෝරු මිට්සුවෝ පුෂිඩා යටතේ පවත්නා ගුවන් යානා බළඇණියක් විසින් බව පසුව හෙළි විය. මේ ගුවන්යානා බළඇණිය රැගත් යුද නෞකාව ක්‍රමයෙන් ගොඩබිම ආසන්නයට ගෙන ආවේ රහසිගතව ගොඩබිම කරා යානාවලට පියාසර කිරීමේ අවශ්‍යතාව සඳහාය. මෙසේ ගොඩබිම ආසන්නයට මේ යුද නෞකාව ගමන් කිරීමේ ආරංචිය මිත්‍ර හමුදාවට රහසිගතව සිදුකිරීමට අවශ්‍යව තිබුණත් මේ පණිවුඩ හේතුවෙන් එය වැළැක්වුණි. එසේ නොමැතිනම් පර්ල් වරායට පහර දුන් ආකාරයට ඉතා රහසිගතව ලංකාවටද පහරදීමට පුෂිඩාට තදින්ම අවශ්‍යව තිබුණි. ගුවන් හමුදා බළඇණිය මෙහෙයවූ ඩයිඞ් නගුමෝ සහ නාවික හමුදාව මෙහෙයවූ ඔසෝවා සමඟ එක්ව මේ රහසිගත මෙහෙයුම සංවිධානය කරමින් ලංකාවට ප්‍රහාරයක් ආරම්භ කිරීමට ඔවුහු උත්සාහ දැරුවෝය. කෙසේ වෙතත් ජපන් ගුවන් ප්‍රහාරය පිළිබඳව ලංකාවට තොරතුරු ලැබී ඇති බව ජපන් ප්‍රහාරක හමුදාවලට තදින්ම අවබෝධව පැවැතුණි. පසුවදා මෙසේ ඔත්තු දුන් තැනැත්තා වශයෙන් බලගණ නායක බර්ෂෝල් බව ජපන් ගුවන් හා නාවික හමුදා නායකයෝ තදින්ම විශ්වාස කළෝය. බර්ෂෝල් තවත් ගුවන් භටයන් පස්දෙනකු සමඟ ගුවන් යානයකින් ගමන් කරමින් සිටියදී ජපාන ගුවන් භටයන් විසින් එයට වෙඩි තබා මුහුදට හෙළනු ලැබීය. එහිදී බර්ෂෝල් ඔවුන් අතට පත්වූ අතර බර්ෂෝල්ට ඔවුන් විසින් නොසෑහෙන සේ වධ දෙන ලදී.


මෙසේ ගුවන් ගතවූ ගුවන් යානා විශාල සංඛ්‍යාවකි. එකී ගුවන් යානා බෝම්බ හෙළන මෙන්ම වෙඩි ප්‍රහාර සිදුකරන යානා විය. එකී යානා සමුද්‍ර වෙරළ පසුකර රට තුළට පැමිණීමේදී වෙරළේ සිට ඔබ්බට පියාසර කළේය. පොල්ගස් වැටියට උඩින් එකී යාත්‍රා කොළඹ දෙසට පියාසර කළේය. එකී යානා ගුවන්ගත වීමේදී ක්‍රමවත්ව පේළිවලට සෑදී පියාසර කරනු බොහෝ දෙනාට දැක ගැනීමට හැකි විය. මුහුදු වෙරළේ සිට සැතැපුම් දහයක් පමණ රට තුළට වැදුණු ගුවන් යානා ක්‍රමවත්ව පෙළ ගැසී කොළඹ දෙසට පියාසර කරන අයුරු එවකට අප පදිංචිව සිටි නිවහනේ මිදුලටද පෙනුණි. ගෙවල් තුළින් පිටතට පැන අපි පොළොව මත උඩුබැලිව දිගාවී එකී ගුවන් යානා අපි නිසොල්මන්ව නැරඹුවෙමු. අදත් එය අපට අමතක නොවන බියකරු මෙන්ම පියකරු දර්ශනයක් විය. මේ ගුවන් ප්‍රහාරයට පසුව තිරිකුණාමල ප්‍රහාරයට ලුතිනන් කොමදෝරු මිට්සුවෝ පුෂිඩා සහභාගි වූ අතර පහතට සීඝ්‍රයෙන් ගමන් කොට බෝම්බ හෙළන ගුවන් යානා තිස්හයකින්ද වෙඩිතබා පහර දෙන යාත්‍රා පනස් තුනකින්ද සීරෝ යානා ගණනාවකින්ද සමන්විත විය. එකී ගුවන් යානා ගුවනේ තරමක් උඩින් පියාසර කොට ක්‍රමයෙන් පහතට ගමන් කොට පළාතම නාද කරමින් මුහුදු වෙරළ මඟ හරිමින් රට තුළට වෙමින් දකුණු දෙස සිට උතුරු දෙසට ඉහත කී අයුරු පියාසර කළේ විනාශයක ආරම්භය සලකුණු කරමින්ය. මෙයට අමතරව තවත් ගුවන් යානාද ගුවන් ගතව තිබුණි.


මේ අතර රත්මලාන කොළඹ යන ප්‍රදේශවල රැඳී සිටි ගුවන් නාවික සහ පාබළ හමුදා කඳවුරුවලට සවිකොට තිබූ රේඩාර් පද්ධතිවල දෝෂ සහිත බවක් හටගෙන තිබුණු හෙයින්, ජපන් ආක්‍රමණිකයන්ගේ පැහැදිලි ගමන් මග නිගමනය කිරීමට ඔවුන්ට නොහැකි විය. කෙසේ වුවද වෙනත් ංඥා මගින් එය පැහැදිලි ලෙස දැක ගත හැකි විය. කෙසේ වෙතත් ගුවන් යානා විශාල සංඛ්‍යාවකින් සමන්විත වූ මේ ප්‍රහාරක ගුවන් යානා බළඇණිය ගාලු ප්‍රදේශය පසුකරමින් පියාසර කරන විට උදේ 7.15ට පමණ විය. එවකට එය භූමියේ සිට අඩි 8000 ක් පමණ උඩින් ගමන් කරමින් සිටියේය. කෙසේ වෙතත් එකී බළඇණිය ගාල්ල ප්‍රදේශය පසුකර යෑමට පැය භාගයක පමණ කාලයක් ගතවූ බව එය දුටු බොහෝ දෙනකුගේ අදහස විය.


මේ අතරතුර කොළඹ දෙසට ඇදී එන මේ ගුවන් යානා පිළිබඳ විස්තර කිසිවක් නිසි අයුරු දැන ගැනීමට කොළඹ හමුදා කඳවුරුවලට නොහැකි විය. එය රේඩාර් පද්ධතියේ අකර්මණ්‍යතාව නිසාය. එසේ වීමට හේතු වූ කරුණු කුමක්දැයි දැන ගැනීමට නොහැකි විය. එය බොහෝ විට කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි බොහෝ දුරට සැක පහළ විය. මේ අවස්ථාවේදී මිත්‍ර හමුදාවන්ට අයත් ගුවන් යානා හයක් උදෑසන සංචාරක පියාසර ගමනක යෙදී සිට ආපසු කොළඹ පැමිණෙමින් සිටියදී බෙන්තොට හා කොළඹට අතර ගුවන් යානා සමූහයක් කොළඹ දෙසට ගමන් කරනු ඒවායේ නියමුවන්ට දැකගැනීමට හැකිව තිබේ. එහෙත් එකී යානා කවර පාර්ශ්වයකට අයත් ගුවන් යානාද යන්න හඳුනාගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් ඒ සම්බන්ධයෙන් වැඩි යමක් නොකොට මගහැර ඇත. ඒ අවස්ථාවේ එකී යානා ජපන් යානා බවට හඳුනාගැනීමට හැකිවූවා නම් එකී යාත්‍රාවලට පහසුවෙන් පහරදීමට තිබුණ බව පසුව අවබෝධ විය.


මීට ඉහත දැක්වූ පරිදි ජපන් ගුවන් නැවියෝ රත්මලාන ගුවන්තොටුපළ ගැන දැන සිටියහ. මිත්‍ර හමුදා සතු බෝම්බ රැගත් හරිකේන් යානා ගුවන ්තොටුපළේ තිබෙනු ජපන් ගුවන් යානාවලට දැක ගැනීමට හැකි විය. එහෙත් ගුවන් තොටුපළ දෙසට ගමන් කරන ජපන් සීරෝ ගුවන් යානා දුටු මිත්‍ර හමුදා ගුවන් නැවියෝ එකී හරිකේන් යාත්‍රා ක්‍රමයෙන් ගුවන්ගත කිරීම ආරම්භ කළහ. හරිකේන් වර්ගයේ ගුවන් යානා ගණනක් නවතා තිබුණේ රත්මලාන ගුවන්තොටුපළේය. එහි ගුවන් නැවියන් අදහස් කොට සිටියේ ජපන් ප්‍රහාරය උදෑසන හිරු නැගීමට ප්‍රථම සිදුවේය යනුවෙනි. එබැවින් නාවික භටයෝ උදෑසන හතරට පමණ අවදිව සූදානම්වී ගුවන් යානාවලට සමීපවී සිටියහ. හිරු පායා අහසේ වලාකුළු ඉවත්වී ගගන තලය ඉතා පැහැදිලිව දිස්විය. එවකට සමහරු උදෑසන තේ පානයට ගොස් තිබූ අතර, අනික් අය ගුවන් යානා අසලට වී සිටියහ. සයිරන් නලා නාදයෙන් කලබල වූ ගුවන් නැවියෝ වහා දුවවිත් හරිකේන් යානා වහා කඩිමුඩියේ ගුවන් ගත කළහ. ගුවන්පථය ඉතා කඩිසර අන්දමින් ගුවන් යානා ගුවන් ගත කිරීමට උපයෝගී කරගත් අතර ගුවන් පථයෙන් ඉහළට නැගුණු හරිකේන් ගුවන් යානා තව තවත් අහසට නන්වමින් සතුරු යානා ආසන්නයට පැමිණෙමින් තිබුණි. ජපන් යානාවලට පහතට ගමන් කොට ගුවන් යානා සහ ඒවා තුළවූ බෝම්බ ආදිය විනාශ කිරීමට වේලාවක් ගතවන බැවින් භූමියේ නවතා තිබූ ගුවන් යානා පරිස්සම් විය. ඉහළ නැගුණු හරිකේන් යානා සතුරු යානා සොයමින් සටනට වැදුණි. ටික වේලාවක් ගත වීමේදී අහස පුරාම මිශ්‍රිතව පියාසර කරමින් දෙපාර්ශ්වයේම ගුවන් යානා අහසේ දිස් විය. මේ අනුව දෙපාර්ශ්වයේ සටන් ඉහළ අහසේ ගුවන් යානා අතර මෙන්ම අහසේ සිට පහළින් වූ අවශ්‍ය ස්ථානවලට ගුවන් යානා මගින් බෝම්බ හෙළීමත් ආදියට සීමා විය.


ජපන් ගුවන් භටයන්ව විනාශ කිරීම පිණිස අවශ්‍ය වැදගත් ස්ථාන කිහිපයක් විය. ඒ අතරින් පළමුවෙන් කොළඹ වරාය බෝම්බ දමා එහි තුළ නවතා තිබූ සිවිල් හා යුද නැව් ආදිය විනාශ කිරීමට අවශ්‍ය විය. එය එතරම් පහසු කාර්යයක් නොවීය. පර්ල් වරායට ජපන් ගුවන් භටයන් ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ ප්‍රතිපාර්ශවයට කිසිදු තොරතුරක් දැන ගැනීමට ඉඩ නොතබිමිනි. එහෙත් ජපන් ආක්‍රමණිකයන්ට කොළඹ වරායට බෝම්බ හෙළා පහරදීම ඉතා අවශ්‍ය බව තේරුම් ගත් මිත්‍ර හමුදා කොළඹ වරාය ආරක්ෂා කිරීම පිණිස පොළවෙහි විවිධ උපක්‍රම යොදා තිබුණි. ඒ අතුරෙන් ප්‍රධාන වශයෙන් සතුරාට සහ සතුරු යානාවලට පහරදීම පිණිස කාල තුවක්කු ස්ථානගත කොට තිබුණි.


දෙවනුව ඔවුන්ගේ ඉලක්කය වූයේ කෙසේ හෝ කොළොන්නාවේ පිහිටි ඉන්ධන ගබඩා විනාශ කර දැමීමය. තෙවැනි අරමුණ වූයේ රත්මලානේ පිහිටි දුම්රිය වැඩපළ විනාශ කිරීමය.


කොළඹට ගෙන එනු ලබන සියලු භාණ්ඩ යුද්ධෝපකරණ සහ කෑම ආදිය නැව් මගින් ගෙනැවිත් ගබඩා කොට තබනුයේ කොළඹ වරාය තුළය. කොළඹට පමණක් නොව කොළඹ හරහා වෙනත් රටවලටත් ගෙන යනු ලබන එවන් බඩු ආදිය පැටවූ නැව් නවතා තබන්නේද වරාය තුළය. කෙටියෙන් පවසතොත් ලංකාවට යුදමය අවශ්‍යතා වන බඩු බාහිරාදිය මෙන්ම කෑම බීම බිමට බාගන්නා තෙක් රඳවා තබනුයේ මෙහිය. එසේම සිවිල් හා යුද නෞකාවන්ද බොහෝ සෙයින් නවතා තබනුයේ මේ වරාය තුළ වන බැවින් පළමුවෙන් කොළඹ වරාය විනාශ කිරීමෙන් මිත්‍ර හමුදාවලට ඉමහත් පාඩුවක් මෙන්ම බලවත් හානියක් සිදුකළ හැකි බව ජපන් හමුදාවෝ කල්පනා කළහ. මේ හේතුව පෙරටුකොට ගනිමින් ජපන් හමුදාවෝ මහත් සේ වෙහෙස වී කොළඹ වරායට පහරදීමට එළඹුණහ.


ඉතිරි කොටස ලබන සතියට...