වැරදුණු හක්ක පටස් දඩයම


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


සාලියපුර පානියන්කඩවල රොබට් මුතුනායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

වැරදුණ හක්ක පටස් දඩයම   

 


වන සතුන් දඩයම් කිරීමට මිනිසා අතීතයේ සිට විවිධ උපක්‍රම භාවිතා කළ බවට සාධක පවතී.   


කල් යත්ම මිනිසා විසින් වන සතුන් දඩයම් කිරීම සඳහා නව සොයාගැනීම් තමන්ගේ ලෙහෙසියටත් පහසුවටත් කළා මිස පව පින ගැන හෝ එලොව මෙලොව ගැන සිතා සිදු කළ දේවල් ද නොවේ.   


දුන්නෙන් විදීම හෙලෛන් ඇනීම, උගුල් ඇටවීම, බොරු වළවල් කැපීම ආදිය මුල් යුගයේදී කළත්, කල්යත්ම පතරොම් තුවක්කුව සතුන් දඩයම් කිරීම සඳහා තවත් පහසුකම් සැපයීය.   


දැන් දැන් මිනිසා වන සතුන් යන එන මන් අහුරා තුවක්කු බැඳීම, විදුලි රැහැන් ඇදීම මෙන්ම හක්කාපටස් යොදා සතුන් මැරීම තෙක් තමන්ගේ පාප කර්මය වර්ධනය කර ගෙන සිටී.   


මඤ්ඤෝක්කා අලයක් සිදුරු කර හක්කා පටස් ඒ තුළට දමා වල් ඌරන් යන එන මං මාවත් අසල තැබීමෙන් මෙම අලය සැපීම හේතුවෙන් වෙඩිල්ල පුපුරා සතුන් මිය යන අතර මෙය මස් වැද්දන්ට ලේසි පහසු දඩයම් ක්‍රමයක් සේ දැන් ප්‍රිය වී ඇත.   


​ෙමමගින් අලි අතුන් පවා නේක වධ වේදනා විඳ මිය යෑම ඛේදජනකය.   


මෙම මිතුරෝද සිය අඹු දරුවන් ජීවත් කිරීම සඳහාත් තමන්ගේ ජීවනෝපාය සඳහාත් හක්ක පටස් යොදා සතුන් දඩයම් කිරීම රැකියාවක් සේ කිරීමට පුරුදුව සිටියහ.   


උදෑසනින් අවදි වෙන මිතුරෝ පෙර දින රාත්‍රියේ තමන් විසින් වන සතුන් ගැවසෙන මංතලවු වෙත ස්ථාන ගත කළ හක්ක පටස් වෙත ගොස් තම දඩයම ගැන සොයා බලති.   


මෙදිනද මොවුහු වන වැදී තමන්ගේ දඩයම ගැන විමසිලිමත් වන්නට වූහ.   


පෙර දින රාත්‍රියේ වන සතුන් ගොදුරු වෙත නොපැමිණියෙන් ඔවුන් තබා ගිය හක්ක පටස් අඩංගු ඇම එසේම තිබුණ හෙයින් එම හක්ක පටස් ගලවා පසු දින ප්‍රයෝජනය සඳහා ගනු පිණිස සුරක්ෂිතව නිවසට ගෙනවිත් වළං මැස්සේ තිබූ ප්‍රයෝජනයට නොගන්නා හිස් කල ගෙඩියක් තුළට දමා තම තමන්ගේ දෛනික කටයුතු සඳහා නිවසින් බැහැරව ගියේය.   


මේ අතර නිවසේ සිටි කුඩා දරු දැරියන් අසල නිවසක දරු දැරියන් සමග සෙල්ලම් බත් පිසමින් සෙල්ලම් ගෙවල් සාදා කාලය ගත කරමින් සිටි අතර මෙහි සිටි එක් දැරියක් නුදුරින් තිබූ හිස් කලගෙඩිය තුළට අත දමා ඇති අතර වැටහීමකින් තොරව ඒ තුළ තිබූ දෙය මිට මොලවා තම යෙහෙළියන් සෙල්ලම් කරමින් සිටි ස්ථානයට රැගෙන එත්ම හෙන හඬ නන්වමින් පුපුරා යන්නට විය.   


දැරිය ලේ විලක් මත වැතිර කෑ ගසත්ම සෙල්ලම් කරමින් සිටි දැරියෝද විලාප දෙමින් හිස් ලූලූ අත දිවයන්නට වූහ.   


බිහිසුණ පිපුරුම් හඬත් ළමා ළපටින්ගේ අඳෝනාවත් ඇසී අසල් වැසියන් ද සිද්ධිය වූ ස්ථානය වෙත දිව ආ අතර සිදු වී ඇති විපතක කරුණු අවබෝධ කර ගත් ප්‍රදේශවාසීන් තුවාල ලත් දැරිය පදවිය රෝහල වෙතට ගෙන යන ලදී.   


දැරිය පරීක්ෂා කර බැලූ වෛද්‍යවරුන් ගිලන් රථයක් මගින් තුවාල ලත් දැරිය අනුරාධපුර රෝහල වෙතට යවන ලද අතර දින කීපයක ප්‍රතිකාර ලබා දී​ෙමන් පසුව නැවතත් මහනුවර ශික්ෂණ රෝහල කරා එවන ලදී.   


හක්ක පටස් යොදා නේක වධ බන්ධන වලට ලක් කරමින් සතුන් ඝාතනය කරන ලද සත්ව ඝාතකයෙකුගේ ස්වභාවය මෙය යැයි සෙස්සන්ට පෙන්වා දෙමින් සිඟිති මල් කැකුළක් අකාලයේ සිය ජීවිතයෙන් වන්දි ගෙවන ලදී.   

 



අම්බලන්තොට එස්. සෝමසිරි මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

මස් සුනිලාට රුක් දෙවියන් දුන් දඬුවම   


ක්ෂතිජයෙන් හිරු නැඟ විත් ​ෙහා්රාවක් දෙකක් ගත වෙන විට ගිනි කබලක් සේ පොළොව රත් වෙයි. හමන සුළඟ දැඩිය. එය දාහය නිවනවා නොව ගත පුළුස්සයි. ගසක පඳුරක මලක් ගෙඩියක් තබා කොළයක් වත් ඉතිරිව නැත. ගවයෙකු උලා කෑමට නිල් පැහැ තණ පඳුරක් පවා ඉතිරිව නැත. සියල්ල පරඬලා පත් වැනිය. වැව් අමුණු සිඳී ඉරි තලා ගොසිනි. එහි මැරී ඇති තිත්ත පැටව් අල්ලා ගැනීමට කොකුන් පොරකති. වියළි කපාපයට නියඟ සේ කඩා පාත් වූ කළ මිනිසා පමණක් නොව සතා සීපාවා ද මහත් දුෂ්කරතාවන්ට පත් වේ.   


ඒ ආකාරයට මිනිසාට හා සතුන්ට ආහාර ජලය හිඟ වුවද, නියං සමය හැමදාම පවතීවා යි පතනකෙනෙක්ද එම ගමේ විසීය. නියං සමය තරම් ඔහුගේ අත මිට සරු වෙන කාලයක් නැත. මව් පියන් ඔහුට තැබූ නම සුනිල් වුවද ගම්වැසියෝ ඔහුගේ චර්යවන් දෙස බලා සුදුසු නම භාවිත කළහ. ඒ මස් සුනිලා යන්නයි.   


මස් සුනිලාගේ පූර්ණ රැකියාව සතුන් දඩයම් කර මස් විකිණීමයි. සෙසු කාලවලදී තරම් මහන්සියක් සතෙක් එළා ගැනීමට නියං කාලයේ දී ගත යුතු නැත. ඒ නිසා ඔහු සැමදා නියං පවතිවායි පතයි. පිපාසයෙන් පීඩිත අසරණ සත්තු ජලය බිඳක් සොයා නන්නත්තාරව දුව යති. පුරුදු වැව් ආදී තැන් වලට එති. සිඳුණු දිය කඩිත්තක් වේ නම් ඒ වාට රොක් වෙති. මෙබඳු වටපිටාවක් තුළ සතුන්ට බීමට දිය බිඳක් යමෙකු සපයන්නේ නම් හේ කොතරම් ගුණවන්තයෙකු විය හැකිද? මස් සුනිලා මෙසේ විපතටපත් වන සතුනට දිය පොදකින් මුව තෙමා ගැනීමට ඉඩ ප්‍රස්ථා සපයයි.   


සිඳී ගිය වැවේ කුඩා වළක් හාරයි. ඒ මත පොලිතින් කොළයක් එළයි. ඊට ගෙදරින් ගෙන ආ දිය බඳුන හලයි. සුනිලා ඈතට වී වසන් වෙයි. පිපාසය දරා ගත නොහැකි සතා පැමිණ විට පිට බලමින් දිය බඳුන දිව ගායි. පිපාසය සංසිඳුණේ ද නැත. මන්ද සුනිලාගේ අරමුණ සතාගේ සම්පූර්ණ පිපාසය සංසිඳවීම නොවීමයි. වස මිශ්‍ර කළ දිය ස්වල්පය සතාගේ ශරීරය තුළට යවා ප්‍රාණය නිරුද්ධ කිරීමයි. මෙම තුච්ඡ අධම පහත් ක්‍රියාව නොදන්නා සුනිලාට වඩා උසස් තිරිසන් සතා ස්වල්ප මොහොතකින් බිම සිප ගනී. දිය සොයා පැමිණි අසරණයාගේ මස් ටික වැඩි වෙලාවක් යන්නට මත්තෙන් නගරයේ බොජුන් හලේ අධි ශීතරකණයේ තැන්පත් වෙයි.   


අත මිට යහමින් ගැවසෙන හෙයින් මස් සුනිලා වටා තවත් අපතයින් රැලක් ද රොක් වී ඇත. යතුරුපැදිය ගෙන යාමට මස් කඳ ඔසවා යාමට ආදියට සහාය වෙන මෙම ඝෝතයින්ට සුනිලා ගෙන් ලැබෙන්නේ ගංජා මිටියක් අරක්කු කාලක් වැනි දේවල් හැර මිල මුදල් නොවේ. පෝෂ්‍යදායි ආහාර වේලක් නොවේ.   


දිනක් සැඳෑවේ මෙසේ ඈඳෑ ගත් ගෝතයෙක් සමග ඔහු වැව් පිටියට ගියේය. පුරුදු කටයුතු ටික නිමා කොට ඔවුහු ඈතට වී බලා සිටයහ. ගත වූ​යේ මද වේලාවකි. වන රොඳින් එළියට පැමිණි මුව දෙනක් වට පිට බලමින් බියෙන් බියෙන් දිය බඳුන වෙත ඇදුනාය. ඇය ගැබ්බරය. පිපාසයේ දැඩි බව නිසා දෝ එක හුස්මට දිය බඳුන හිස් කළාය. ආපසු හැරුනාය. වැඩි දුරක් නොගිය ඇය බිම ඇද වැටුණාය. සුනිලාගේ මුවට මරු සිනාවක් නැගුණි. සගයා සමග වැටුණු මුව දෙන වෙත සමීප වී දිවි යැද දඟලමින් සිටි මුව දෙනගේ පස්සා ගාත් දෙකෙන් අල්ලා බිම දිගේ ඇද ගෙන අකුල තුළට ගෙන ආවෝය.   


පණ නළ නිරුද්ධ වීමටත් ප්‍රථම ගෙල කපා හිස ඉවත දැමීය. කුස පලා එහි වූ කළලය විසි කළේය. කුර හතරෙන් තුනක් ද කැලයට විසි කළෙ​්ය. ස්ථිර වශයෙන්ම මස් මුවෙකුගේ බව සනාථ කිරීමටය. එක කුරයක් තිබීම ප්‍රමාණවත්ය. මුව හම එම ස්ථානයේම අත හැර දැමූ මෙම පාපතරයෝ පෝර උරයක මස් බහා යතුරුපැදියේ පසු පස තබා බැන්ඳෝය. සගයා යතුරුපැදිය පදවයි. සගයාත්, මස් කඳක් අතරින් සුනිලා යතුරුපැදියට නැගුණි.   
පරිසරය අඳුර විසින් වෙලා ගෙන ඇත. එහෙත් වළා රොදක් පවා නැති අහස පොළොවට එවු ආලෝකය මඟ සොයා ගැනීමට ප්‍රමාණවත්ය. පරණ තැපැල් නයින්ටියෙන් විහිදෙන එළිය හොඳටෝම දුබලය. එහෙත් මොවුන්ගේ ඉලක්කය අඳුරේ හෝ ඉක්මණින් උවමනා තැනට යාමයි. පොලිසිය හෝ වන ජීවී කණ්ඩායම් වලින් විය හැකි අවහිරතා මඟ හැරීමය.   


සුළඟ ගස් කොළං අඹරවා හමයි. හරියට ගස් කොළං වියරුවට පත් කළක් මෙන් ඒ මේ අත නැවෙයි. යතුරුපැදියේ රෝද වැල්ලේ එරෙයි. වේගයෙන් පැදවිය නොහැක. එක වරම ගසක අත්තක් ජරස් ගෑවේය. යතුරුපැදිය එසේ ශබ්ද නැගුණු ගස අසලින් ගමන් කරමින් තිබුණේය. නතර කිරීමට හෝ ආපසු හැරීමට අවස්ථාවක් නොලැබුණි. එකවරම එම අත්ත යතුරුපැදිය මතට වේගයෙන් පතිත විය. සගයාත් මස් පොදියත් අතරින් හිඳ සිටි සුනිලාගේ හිස මතටය අත්ත පතිත වූයේ. යතුරු පැදිය හා මස් පොදිය පෙරළී චප්ප විය. සුනිලා ඉවතට වීසි විය. සගයාට සීරීම් තුවාල පමණක් සිදු විය.   


ඉවතට වීසි වූ සුනිලා ගැබ්බර මුව දෙන කඳුළු සලමින් ජීවිතය ඉල්ලා අයැඳි අයුරින් කීප විටක් ගැස්සී අයා ගත් මුවෙන් අවසන් හුස්ම පොද නිකුත් කළේය. 

 
අවම වශයෙන් පැයට කිලෝමීටර් 40 කටවත් වේගයෙන් යන යතුරුපැදිය මතට පව්කාරයාම එල්ල කොට, ගසක අත්තක් පතිත වීමට හේතුව කුමක්ද? එහි ඇත්තේ අල්ලසට, දූෂණයට, බලයට නැමිය නොහැකි විශ්ව නීතිය හැර අන් යමක් නොවේ. කළ පව් පළ දෙන්නේ එසේය.   

 



අකුරැස්ස පහළ මලිදුව චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවක් මෙසේය.    

විනෝදයට මසුන් මරා දහ දුක් විඳ මිය ගිය මසුන් මරන්නා   


ගුණසෝම මීට කලකට ඉහත ඈත නියම් ගමක ජීවත් වූවෙකි. ගමේ සෑම කෙනෙක් සමගම ඉතා හිතවත් කමක් දැක් වූ ඔහු ඕනෑම කෙනෙකුට උදව් කිරීමට කිසි විටෙකත් මැළි නොවීය. කුලී වැඩ ඔහුගේ ප්‍රධාන රැකියාව විය. බොහෝ වැඩ කටයුතුවලට අති දක්ෂයකු ලෙස ගමේ පමණක් නොව අවට ගම්වල ද ප්‍රචලිතව සිටී. ගුණසෝම වඩාත්ම දක්ෂ වූයේ මාළු බෑමටය. එසේම ගුණසෝමගේ අංක එකේ විනෝදාංශය වූයේ ද මාළු බෑමය. ඔහු මාළු බාන්නට යන කිසි දිනක වැරදුණේ නැත. අත හිත පිරෙන්නට මාළු අසු වීම නොඅඩුව සිදු විණි. මාළුවෙක් බා ගන්න බැරි වුණ දවසට මට නින්ද යන්නේ නෑ යන්න ගුණසෝමගේ මුවින් නිරතුරුව පිට වූ වදනකි. මාළු බෑමට අති දක්ෂයකු වූ නිසා බොහෝ දෙනා ඔහු මාළු ගුණේ යනුවෙන් හඳුන්වන්නට පුරුදු වූහ.   


කුමන වැඩ රාජකාරියකට යන්නට තිබුණත් උදෑසනම පිබිදෙන මාළු ගුණේ ගං ඉවුරට ගොස් පැයක් හමාරක් ගත කර මාළු වැළක් බා ගැනීම ඔහුගේ දින චරියාවේ ප්‍රධාන අංගයක් විය. එසේම හවස් යාමයේ වැඩ ඇරී නිවසට පැමිණි විගස ගං ඉවුරේ වාඩි වී පිත්ත දමා ගෙන සිටින මාළු ගුණේ හැමට සුපුරුදු දසුනකි. ගුණේ දැක්කම මාළු එන්නේ හූ කියාගෙනයි. සමහරු පවසද්දී මොකක්ද ඉතිං පවක මහත තමයි යනුවෙන් සමහරු පවසන්නට වූහ.   
ගමේ ඕනෑම අයෙකුට මිරිදිය මාළු කෑමේ ආසාවක් ඇති වුවහොත් කළ යුත්තේ මාළු ගුණේට දැනුම් දීම පමණි. නොවැරදීම පැය කීපයක් ඇතුළත මාළු වැළක් ලැබෙන්නේ කිරි ගහට ඇන්නාක් මෙනි. ඒ සඳහා කීයක් හෝ අත මිට මෙලවීමට ද ගැමියෝ අමතක නොකරති. මාළු බෑමට යන ගුණේ මාළුවන්ට දෙන කුරිරු වධ හිංසා නම් බලා සිටින්නට නොහැකි තරම්ය. එහෙත් ඔහුට ඒවායේ කිසිඳු ගාණක් නැත. ගුණේ එයින් ලබන්නේ අසීමිත සතුටකි. තම ඇමට අසු වන මාළුවා බිලී කොක්කෙන් ගල වන්නේ උගේ උගුරේ සහ මුකයේ ඇති සියලු කොටස් ගැල වී යන ලෙසිනි. ලේ වගුරුවමින් දැඩි වේදනාවෙන් වලිගය ගසමින් මාළුවා දඟලද්දී මුව පුරා පිරුණු සිනාවෙන් මාළු ගුණේ ඒ දෙස බලා සිටින්නේ ලෝකයම දිනා ගත්තකු ලෙසිනි. පණ පිටින්ම ඉරටුවට අමුණා මාළු වැළ සකසද්දී වැළ පිටින්ම උඩ පනිමින් දඟලන සිත් පිත් ඇත්තකුට නම් බලා සිටීමට නොහැකි තරම්ය. බොහෝ වේලාවට ඔහු බාන මාළු වැළ ගමේ කාට හරි ලබා දී කීයක් හෝ අත මිට මොලවා ගන්නේ විනෝදෙට කරන වැඩේ නේ යි කියමිනි.   


කවුරුන් කෙසේ මොන දේ කිව්වත් ඔහුගේ මේ පව්කාර පුරුද්ද කිසිවෙකුටත් නතර කළ නොහැකි විය. එහෙත් එකවරම මහත් අවාසනාවන්ත කාලයක් උදා විය. මාළු ගුණේට කෑමක් තබා ඇල් වතුර බීමට වත් නොහැකි ලෙස තද බල උගුරේ අමාරුවක් ඇති විය. කොතෙක් බෙහෙත් කළ ද සුවයක් නම් නොවීය. අවසානයේ උගුරට බට දමා දියර වර්ග ලෙස ආහාර ලබා දෙන්නට සිදු විය. බොහෝ කාලයක් දස දුක් විඳිමින් ගත කරන්නට සිදු වූ අතර ඔහු කළ පව්කම් සිහි කරමින් පසු තැවෙන්නට විය. අවසන් කාලය වෙන විට උගුරෙන් පිට වෙන ශබ්ද පවා පැහැදිලි නොවීය. මරණ බයින් නන්දොඩවමින් අවසන් දින කීපයක ගෙවා දැමූ මාළු ගුණේ කළ පව් වලට මෙලොවදීම වන්දි ගෙවා අවසන් හුස්ම හෙළීය.   


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.   

 

 

සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්