වාහන රකින සංවේදකය ලංකාවෙදි හදන නීතිඥ රොහාන් පල්ලෙවත්ත


අභියෝග ජයගත් මිනිස්සු

 

සුපිරි මෝටර් රථ සඳහා යොද‌ා ගැනෙන එයාර් බෑග් සිස්ටම් හෙවත් ආරක්‍ෂිත බැලූන පද්ධතිය ක්‍රියාත්මක වන්නේ සෙන්සරයක් (Sensor) හෙවත් සංවේදකයන් මගිනි. ආරක්‍ෂිත බැලූන පද්ධතිය ක්‍රියාත්මක වන්නේ මෙම සංවේදකය තත්පරයට ක්‍රියාත්මක වීම මතය. ඉංග්‍රීසියෙන් මෙය හඳුන්වන්නේ Air bag Impact Sensor නමිනි. දශක තුනකට පමණ පෙරදී, මහනුවර, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයකු හට ශිෂ්‍යත්වයක් ලැබ ජපානයට යාමේ අවස්ථාව හිමිව තිබුණි. වසරක පමණ අධ්‍යයන කාලයක් ඊට​ වෙන්ව තිබූ අතර, දිනෙක ටොයෝටා රථ වාහන සාදන නිෂ්පාදන ආයතනය දැක බලා ගැනීම සඳහා යාමට ඔහුට අවකාශය ලැබිණි. එවිට ඔහුගේ වයස අවුරුදු 16ක් විය. ​ෙටායෝටා සමාගම ඇතුළේ සිදුවන දේ ගැන කුතුහලයෙන් දැක බලා ගන්නා අතරේදී මෙන්ම තවත් විස්තරද දැන ගන්නා අතරේ කෙදිනකදී හෝ මාත් කුමක් හෝ උපාංගයක් සොයා ගනිමි, යන සංකල්පය මේ කොලු ගැටයාගේ මනසට ආවේය.  


පසු කලෙක Airbag Impact Sensor ප්‍රතිනිර්මාණය කරමින් ශ්‍රී ලංකාවට බිලියන ගණනින් විදේශ විනිමය උපයා දීමට ඔහු හට හැකිවිණි. හැබැයි, එය එක් රැයකින් මල්ඵල ගැන් වූ ප්‍රයත්නයක් නොවීය. මෙම සංවේදකය ප්‍රතිනිර්මාණය කොට ජපානයට ලබා දීමට ඔහුට හැකි වූයේ පසු නොබසින වීර්යයෙන් සහ අත් නොහළ ප්‍රයත්නයෙන් යුතුව නිරන්තරයෙන් ක්‍රියාත්මක වූ නිසාවෙනි. ඔහු විසින් එද‌ා ප්‍රතිනිර්මාණය කරන ලද සංවේදකය, ලෝකයේ රටවල් 60ක පමණ ආර්ථිකයට වඩා විශාල ආර්ථිකයකට එද‌ා හිමිකම් කියූ ටොයෝටා සමාගම විසින් ප්‍රතික්‍ෂේප කළේ වරක් දෙවරක් නොවේ, අවස්ථා ගණනාවකදීම ඔහුගේ ඉල්ලීම සහ ඔහු ප්‍රතිනිර්මාණය කොට එරටට යැවූ මෙම උපාංගය (සංවේදකය) කුණු කූඩයට ගියේ, නිරන්තරයෙන් ඔහු කළ ඉල්ලීම මෙම ටොයෝටා සමාගමේ බලධාරීන් හට වධයක් වූ නිසාවෙනි. එහෙත් යෝධ ආර්ථික බලවතකු වූ එම සමාගම මෙන්ම ජපාන මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයට මේ මිනිසාගේ ප්‍රයත්නයේ ඵලය තවත් වසර කීපයකදී ලබා ගත හැකිවිය. ප්‍රතික්‍ෂේප කරන තරමට අත් නොහළ ප්‍රයත්නය තවත් වසර කීපයකදී යථාර්ථයක් බවට පත්කර ගත් නිසා, ආර්ථික අතින් වඩ වඩාත් පොහොසත් වූයේ මේ මහා මිනිසා පමණක් නොවේ. දහස් ගණනකට ඔහු නිසා රැකියා විවර වූ අතර, පවුල් දහස් ගණනක් වෙනුවෙන් ආර්ථික සමෘද්ධියක් ගෙන දීමට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකීය ආර්ථිකයට විදේශ විනිමය ගෙන ඒමේ උල්පතක් මැවීමට හැකිවිණි. ජීවිතයට ආ අභියෝග හමුවේ, ජීවිතය එක් රාමුවකට පමණක් සිරගත නොකොට තමා සොයා ගිය ඒ අපූරු ව්‍යාවසායකයා කවුද?  


‘‘පල්ලෙවත්ත ගමරාළලාගේ රොහාන් පල්ලේවත්ත’’ ඔහුගේ නාමය වෙයි. අද වන විට ඒ නාමය ශ්‍රී ලාංකීය ජනතාවට තවත් ආගන්තුක නාමයක් ලෙස හඳුන්වා දිය යුතු නොවේ. එහෙත් අදහස යථාර්ථයකට පමණක් සීමා නොකොට ඔහු ප්‍රයෝගික කළ කතාව ගැන ඔබ දැන ගත යුතුම යැයි අපි හඟිමු. මේ විස්තර කෙරෙන්නේ නීතීඥ රොහාන් පල්ලේවත්ත නමැති ව්‍යවසායකත්වයේ සලකුණක් වූ ඒ මිනිසාගේ කතාවය.  


‘‘මේ තියෙන්නෙ අපේ මහ ගෙදර, මේ පළාතට කියන්නෙ ගම්පහ, ඔරුතොට. මම උපන්නෙ ගම්පහ මහ රෝහලේදී. තාත්තගෙ නම චන්ද්‍රසිරි පල්ලෙවත්ත, අම්මාගෙ නම රමණී ජයකොඩි. පවුලේ එකම දරුවා මම. තාත්තාට පාරම්පරිකව දේපොල, ඉඩකඩම් එහෙම තිබූ කෙනෙක්. ඒ කාලයේ තාත්තා සේවය කළේ ගුවන් හමුද‌ාවේ රේඩියෝ ඔෆිසර් කෙනෙක් විදියටයි. පසු කාලයකදී වැවිලිකරුවකු ලෙස කටයුතු කළා.’’  


රොහාන් අතීතය ටිකින් ටික ලිහා දමන්නට පටන් ගත්තේ එලෙසිනි. ගම්පහ, ඔරුතොට පාරේ පිහිටි ඔහුගේ පාරම්පරික නිවස වලව්වක හැඩගත් එකකි. ඊට නවීකරණ කටයුතු මුසුකර ඇත්තේ අතීත රසයට හානියක් නොවන අයුරිනි. ඔහු වෙසෙන්නේ ගහ, කොළ පිරි ​හොඳ හැටි සුළං හමන මේ සුන්දර පරිසරයේය.  


කොහොමද අධ්‍යාපනය පටන් ගත්තේ?  


‘‘අපේ තාත්තා වාමාංශික චරිතයක්. ආචාර්ය එන්.එම්. ගෙ අතිශය කිට්ටුවන්ත හිතවතෙක්. ඒ නිසාම එකල යටියන්තොට ගිහින් තියෙනවා. මුලින්ම එහි පෙර පාසලකට මාව බාර කරලා. එම පෙර පාසලේ සිස්ටර් පසුව මාව සමරකෝන් පියතුමාට බාර කළා. මහනුවර-කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට ප්‍රවේශය ලබා ගැනීමට හැකිවුණේ එතුමා නිසයි.  


හැබැයි අධ්‍යාපනය ලැබුවේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ ඉඳලා. එද‌ා ශාන්ත අන්​තෝනියට මාව ඇතුළත් කරන්න හේතු වුණේ විශේෂ දෙයක් නිසයි. පුංචි කාලයේදී මම හරිම දඟයි. දවසක් ගලකින් ගහලා ළමයකුගේ ඔළුව පැළුණා. මේ නිසා මව්පියන්ට පොලිසි යන්නත් වුණා. එකා යකා නොකර මගේ විනය හදන්න ඕනෑ නිසා තමයි මාව ශාන්ත අන්තෝනියට දැම්මෙ. ඒත් පුංචි මට ඒක වාවන්නෙ නැතුව ගියා. අම්මා-තාත්තා මාව බලන්න ආවා. එක දවසක් මම අම්මගෙ ලේන්සුව හොරෙන් අරගත්තා. අරගෙන මගේ කොට්ටෙ යට තියාගෙන අම්මාගෙ සුවඳ තියෙන ඒ ලේන්සුව ඉඹලා ඇඬුවා. අම්මත් මාව බලලා ගියේ කඳුළු පුරෝගෙන. මේ විදියට පාසලේදී බොහෝම නිශ්ශබ්ද චරිතයක් ලෙස සිටි මම ආත්මාරක්‍ෂක සටන් ක්‍රමය ප්‍රගුණ කරන්න පටන් ගත්තා. බිය නැතිවී මගේ පෞරුෂය වර්ධනය වුණේ ඒවා ප්‍රගුණ කළ නිසයි.’’  


රොහාන්, පාසල් වියේදී ගෙවූ ජීවිතයේ මතකයන් එලෙස හරි අපූරුවට ගෙන හැර පායි. අපි එක සීරුවට ඒ කතාව අසා සිටියෙමු. ‘‘ආ මට එකක් අමතක වුණානෙ?’’ ඔහු එක්වර කීය.  


‘‘ඒ මොකක්ද?’’   


එද‌ා මට අට වැනි (8) ලෝක බාලදක්‍ෂ ජම්බෝරියට යෑමට ලැබුණා. එය පැවැත්වුණේ ඉන්දියාවේ, චෙන්නායිවල. තලෙයිමන්නාරමට ගිහින් නැවෙන් ගියේ. එතකොට මගේ වයස අවුරුදු 12යි. අද ඒ ගැන හිතද්දී මට පුදුමත් හිතෙනවා. පවුලේ එකම දරුවා වුණත්, අවද‌ානමට මුහුණ දීම සහ ඒ මගින් ජීවිතය සොයා යන්න තාත්තා මාව හුරු කළා. අද කාලයේදී නම්, එක් දරුවකු සිටින පවුලක වැඩිහිටි උදවිය ඒ දරුවාට දෙන්නේ පුදුම ආරක්‍ෂාවක්. ඒක වරදක් කියලා මම කියන්නෙ නැහැ. ඒත් දරුවකුට අද අත්දැකීම් ලබාගන්න තියෙන ඉඩකඩ ඇහිරිලා තියෙන්නෙ. එද‌ා මට මතකයි, මම පුංචිම කාලයේදී යටියන්තොට සිටියදී, තාත්තා මාව නාවන්න කැලණි ගඟට එක්ක ගෙන ගියා. ගිහින් ගඟ මැදදි මාව අත්හැරියා. ආරක්‍ෂාවට තාත්තා ළඟම හිටියෙ. ඒ වුණත් එයා එහෙම කළේ, මට අත්දැකීම් ලබා දෙන්නයි.  


තමා නායකයත්වය වෙනුවෙන් පුරුදු පුහුණු වූයේ එලෙසින් කුඩා කාලයේදීම බව රොහාන්ගේ අදහස වේ. එකල දිනෙක ඔහු අම්මා, තාත්තා එක්ක විවාහ මංගල උත්සවයකට සහභාගි වන්නට ගියේය.  


‘‘එහිදී එතැන සිටි සමහර අයට ලැබුණෙ විශේෂ සැලකිලි’’   


එසේ පවසන රොහාන්ට අවශ්‍ය වූවේ ද ඒ සමාජයේ කෙදිනකදී හෝ එවැනි පුද්ගලයකු වීමට බව සඳහන් කරයි. තවත් දිනෙක ඔහු මව්පියන් සමඟ ‘‘වීර පුරන්අප්පු’’ චිත්‍රපටය නරඹන්නට ගියේය.  


‘‘වීර පුරන්අප්පු නරඹලා  
ඉවර වෙලා මටත් එහෙම  
වෙන්න ඇත්නම් කියලා එද‌ා  
පුංචි මම හිතුවා’’  


එනයින් රොහාන් කුඩා කාලයේදී ලද අත්දැකීම් සම්භාරය ගැන වෙනම පරිච්ඡේදයක් වුවද ලිවිය හැකිය. ඒ අතරින් එක්තරා සිදුවීමක් ගැන සඳහන් කළ යුතුම වේ. එනම් විටෙක පංති තහනමකට ඔහු ලක්වීමය.   


‘‘එද‌ා නේවාසිකාගාර සිසුන් අතර, නාට්‍ය තරගාවලියක් පැවැත්වුණා. අප මව්පියන්, ගුරුවරු ඉදිරියේ රඟ දක්වන නාට්‍යය ඊට පෙර ගුරුමඬුල්ල වෙත පෙන්වා අවසර ගත යුතුයි. කොහොමහරි එද‌ා ගුරුවරු ඉදිරියේ පෙන්වූ නාට්‍යය නෙවෙයි අපි දර්ශනය වෙලාවේදී රඟ දැක්වූවේ.  


‘‘ඉතිං මොකද, එ්ක කන්නත් බෑ, කටේ තියන්න බෑ, ඒක මං බල්ලට දැම්මා.’’  


ඒ නාට්‍යයේ දෙබසක්. ඒක ටිකක් අරගලයක තේමාව රැගත් එකක්. එය මව්පියන් සහ නැරඹූ පිරිස අතර හරි ජනප්‍රිය වුණා. පසුව විදුහල්පතිතුමා මට එන්න කියලා,  
‘‘මොකක්ද මිනිහෝ ඔය කරපු වැඩේ.’’ කියලා මට අවවාද කරලා නිකම් හිටියෙ නැහැ, පංති තහනමකට පවා පත් කළා. එහෙම කළේ ‘‘විනය’’ තදින්ම අපේ පාසලේ තිබුණු නිසයි.  
එද‌ා රොහාන් එවැනි සිද්ධියකට මුහුණ දුන්නද, ඔහු පාසලෙන් ඉවත් වන විට ප්‍රධාන ශිෂ්‍ය නායකයකුව සිටි බව සඳහන් කරයි.  


‘‘එද‌ා මා ප්‍රධාන ශිෂ්‍ය නායකයාව සිටි අවදිය ගැන අද ද බොහෝ දෙනා කතා කරන්නෙ, දැඩි විනයක් පවත්වා ගෙන ගිය නිසයි’’  


එද‌ා රොහාන් පංති තහනමට ලක්වන විට සාමාන්‍ය පෙළ සඳහා තිබුණේ මාස තුනක් පමණි. පංති තහනම තිබුණ ද, විභාගයට පෙනී සිටීමේ තහනමක් නොතිබිණි. සා.පෙළ සමත් වී ඊළඟට ඔහු උසස් පෙළ සඳහා තේරී පත් වූ විටද දිගටම පංති තහනම තිබූ බව සඳහන් කරයි.  


‘‘උසස් පෙළ පටන් අරගෙන ටික කාලයකින් පංති තහනම ඉවත් කළා. ඒ අතරේ මා නතර වී සිටියේ රජීව ජයවික්‍රම කියන මගේ යාළුවාගේ ගෙදර. අැමරිකානු ක්ෂේත්‍ර සංවිධානය පිරිනමන ශිෂ්‍යත්වය සඳහා මුලින්ම අයැදුම්පත රැගෙන ආවේ ඔහු. ඒත් ගෙදරින් එයාට අවසර දුන්නේ නැහැ. එක් දිනක් රාත්‍රී 12ට විතර මට කතා කරලා, මචං මේකට මම ඇප්ලයි කළාට වැඩක් නැහැ. මට ගෙදරින් යන්න දෙන්නෙ නැහැ. උඹ මේකට ද‌ාපං කියලා රජීව මට කිව්වා. ඒ හැරත් ඒ සඳහා තෝරා ගැනීමේ පරීක්‍ෂණය හරිම තරගකාරියි. ඒ වගේම ඊට දේශපාලන පසුබිමකුත් තිබිය යුතු වුණා. කො​ෙහාම වුණත් මේ වැඩේට මම අයැදුම් කරලා කොළඹ යාමට පෙර තාත්තා මාව හඟුරන්කෙතට එක්ක ගෙන ගියා. අපේ තාත්තාට හඳහන ගැන තිබුණේ ලොකු විශ්වාසයක්. හඟුරන්කෙත කුලතුංග මහත්තයා හමු වී මෙන්න මේ මගේ දරුවගෙ කේන්දරය බලලා දෙන්න කීවා. 

 
‘‘මේ කේන්දරයේ හැටියට මාර්තු මාසයෙන් පසුව මෙයා මෙහෙ නෑ’’ කියලා කුලතුංග මහත්තයා කිව්වා.  


මෙයා මෙහෙ නෑ? කිව්වාම තාත්තා හොඳටම බය වුණා. ඒ කියන්නෙ මට ජීවත් වෙන්න වාසනාව නැහැ කියලද මේ කියන්නෙ කියලා? ඒත් කුලතුංග මහත්තයා කිව්වෙ අනිවාර්යයෙන්ම මම විදේශ ගත වනවා කියලයි. ඒ කිව්වා වගේම මාව ජපානයට යන ශිෂ්‍යත්වයෙන් එද‌ා තේරී තිබුණා. ජපානය වගේ රටකට යාමට එද‌ා අපි හැමෝටම තිබුණෙ ලොකු සිහිනයක්. එද‌ා ජපානයට යාමට ලැබුණු ඒ අවස්ථාව තරම් සතුටට පත් වූ දවසක් මගේ ජීවිතයේ තවත් නැති තරම්. පංති තහනමකටත් ලක්වෙලා හිටපු මට එය ගෙන දුන්නේ ​ෙලාකු ගැම්මක්.  


‘‘එද‌ා ශිෂ්‍යත්වයක් ලැබ එලෙසින් ජපානයට ගිය රොහාන් හට වසරක පමණ කාලයක සිට එහි රැඳී සිටිමින් අධ්‍යාපනය හැදෑරීමට සිදුවිය. එකී වසර තුළදී ජපාන භාෂාව ඉතා හොඳින් ප්‍රගුණ කළ ඔහු එය ස්වකීය ආත්මයෙන්ම ගෙනා දෙයක් මෙන් ඉතා හොඳින් ඒ භාෂාව උගත්තේය. රොහාන් තමාගේ ජීවිතයේ ලොකුම හැරවුම ලෙස සලකන්නේ එද‌ා තම මිත්‍රයා ජපාන ශිෂ්‍යත්වයට අයැදුම් නොකර තමා වෙත ඒ අවස්ථාව සඳහා පාර කියාදීම යැයි අවංක හදින් සඳහන් කරයි.’’  


‘‘ඇත්තෙන්ම එද‌ා ජපානයට ගිය ඒ ගමන නිසා තමයි අද මා කරන මේ ව්‍යවසායකත්වයේ ගමනට වස්තුබීජය වුණේ. එද‌ා අපි ටොයෝටා කම්පැණිය බලන්න ගියා. ඊට අමතරව හොන්ඩා, මිට්සුබිෂි වගේ ආයතන බලන්න යාමටත් තිබුණා. මට මුල්ම අදහස ආවේ ඒ අවස්ථාවේදීයි.’’  


කෙසේ වෙතත් ඒ සිහිනය හිත ඇතුළේ රඳවා ගත් රොහාන් වසරක ශිෂ්‍යත්ව නිමාවෙන් පසුව නැවත ලංකාවට ඇවිත් උසස් පෙළ අධ්‍යාපනයේ නිරත විය. විභාගයට ලියා සිටි ඔහු ජපානයට තිබූ ආදරය නිසාම තාත්තාට කියා නැවත අතේ වියදමින් ජපානයට ගියේය.’’  


‘‘එද‌ා රිටර්න් ටිකට් එක රුපියල් 26,000යි. එහෙම ගිය මම NHK ආයතනය මෙහෙය වූ විදේශිකයින් සහභාගි වන කථික තරගයකට ඉදිරිපත් වුණා. ‘‘මානසික සුවය සහ ආගම’’ යන මාතෘකාව යටතේ එද‌ා මම මගේ කථික අවස්ථාවේදී ඉදිරිපත් කළා. මීට ලැබුණෙ ඉතා හොඳ ප්‍රතිචාර. ඉන්පසුව එහි රැඳී සිටි කාලයේදී NHK ආයතනයට සම්බන්ධ වී ජපාන-ඉංග්‍රීසි පරිවර්තනය කිරීමේ පරිවර්තකයකු ලෙස සේවය ලබා දුන්නා. දවසේ හැන්දෑ වරුවේදී සංචාරක හෝටලයක ගිටාර වාදනය කරමින් වාද්‍ය හා ගායන ශිල්පියකු ලෙසත් කටයුතු කළා. පෝල් සයිමන් සහ ගාර්ෆුන්කල්ගෙ ගීත ගායනා කළේ.’’  


රොහාන් ගිටාරය පුරුදු වීමද අහම්බයකි. ඔහු එය උගත්තේ බෙවිස් මනතුංග නමැති ශිල්පියාගෙනි. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමනට එහා එය අරුතක් දුන් රොහාන් යනු ලැබුණු ජීවිතයට නිරන්තරයෙන් අරුතක් ගෙන දීමට සමත් වූ චරිතයකි. ඔහු අභියෝග ජයගෙන ජීවිතය ගොඩ නගා ගත් කතාවේ දිග පළල පිටු සිය දහස් ගණනකින් යුතු පොතක් නම්? අප මේ සටහන් කරන්නේ ඒ පොතේ අතරින් පතර පිටු කීපයකින් උකහා ගත් සාරාංශය පමණකි. එද‌ා නැවත ජපානයට ගිය ඔහු එහි සිටියදී තාත්තාගෙන් ලැබුණේ ඇඟ සීතල වන පණිවුඩයකි. ‘‘ඔයා උසස් පෙළ ෆේල් වෙලා’’ තාත්තා කී ඒ දෙයින් තමාගේ සර්වාංගයම වෙව්ලා ගිය බව ඔහු කියයි.  


‘‘කියන්නත් ලැජ්ජයි මුල් වතාවෙ සිංහලවලට මට තිබුණෙ එෆ් (F) එකක්. ඒත් හිතට හයිය අරගෙන උසස් පෙළ දෙවන වරට මුහුණ දීමට කටයුතු කළා. සිංහල, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ තර්ක ශාස්ත්‍රය මම තෝරා ගෙන තිබුණෙ. පසුව දෙවැනි වතාවෙදි ජපාන භාෂාව තෝරා ගන්න පුළුවන්ද කියලා විදුහලේ පියතුමාගෙන් ඇහුවා. එතුමා ජපානෙ තානාපති කාර්යාලයෙන් විමසා මාව එතැනට යැව්වා. කොහොම හරි ජපාන භාෂාව එද%ා මට උසස් පෙළ සඳහා ලිවීමට හැකි වුණා. ඊට ‘ඒ’ සාමාර්ථයක් අරගෙන අනෙක් විෂයයන්ට සාමාර්ථ අරගෙන කැලණි සරසවියට ඇතුළත් වුණා. භාෂා අංශයෙන් හැදෑරු වේ. පසුව නීති ප්‍රවේශයට ගියාම ජපාන භාෂාව (විෂය) ගැන ප්‍රශ්නයක් ආවා. අධ්‍යක්‍ෂතුමාගේ අවසර ඇතිව ඊට මුහුණ දී ලංකාවෙන්ම 6 වැනියා ලෙස තේරී සමත් වී නීති විද්‍යාලයට ඇතුළත් වුණා.’’  


රොහාන් මේ වන විටත් මෝටර් රථ සඳහා වූ සෙන්සරය (සංවේදකය) නිපදවීමේ කාර්යයට අතගසා නොතිබිණි. එහෙත් එද‌ා ජපානයට ගොස් මෝටර් රථ කර්මාන්තශාලා වෙත සංචාරය කළ අවස්ථාවේදී මේ සංවේදක කොටස් ඔහු ඉල්ලාගෙන මෙහි ගෙනැවිත් තිබූ බව කියයි.  


‘‘ඒක සිද්ධ වුණේ මෙහෙමයි, එද‌ා අපට අයිචි ප්‍රාන්තයට යාමට අවස්ථාව උද‌ා වුණා. ටොයෝටා මෝටර් රථ සාදන ඒ කම්පැණිය හරිම විශාලයි. එය නරඹමින් යන අතරවාරයේදී පිරිසක් ඉතා උද්​ෙ‌යා්ගයෙන් මෝටර් රථයේ කොටසක් සවි කරනවා දුටුවා. මේ මොකක්ද කරන්නෙ? කියලා මම අපි රැගෙන ගිය ප්‍රධානියාගෙන් විමසුවා.  


‘‘ආරක්‍ෂක මෙවලමක්’’ කියා ඔහු කීවා. මෙය ශ්‍රම මූලික දෙයක්. ඒ නිසා මේ වගේ දෙයක් අපේ රටේ නොකරන්නේ ඇයිද යන සිතිවිල්ල ගැන එද‌ා මා ගැඹුරින් නොසිතුවද, වස්තු බීජය මගේ හිතේ කිඳ‌ා බැස තිබුණේ. එද‌ා චාරිකාව අතරතුරේදී මම මේ සෙන්සර් එකේ සාම්පල් එකක් ඉල්ලා සිටියා. වයස 16 ශිෂ්‍යයකු වූ නිසා එයාලා මට හාර්නස් තුනක් ලබා දුන්නා. මේ හාර්නස් තුන මම ගෙදර ගෙනැල්ලා සුරක්‍ෂිතව තබා තිබුණා.’’  


දිනෙක රොහාන් මේ එකක් ගලවා ඔහුගේ දැනුම අනුව ප්‍රතිනිර්මාණය කළේය. මේ තාක්‍ෂණික දැනුම ඔහුට ලැබුණේ කොහොමද? එය විස්මිත දෙයක් නොවන්නේද? අපි ඒ ගැන ඔහුගෙන් විමසීමු.   


ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්, එද‌ා මම නීති විද්‍යාලයෙන් පිටවුණේ නීතීඥවරයකු ලෙස වෘත්තීයට එක් වෙමින්. කළු කෝට් එක, ටයි එක ඒක ලොකු ආභරණයක්. ඒ හැරත් නීතිය කියන්නේ සිවිල් සමාජයේ පද‌ාර්ථයයි. අපි නීතීඥවරයකු හැර ගණකාධිකාරිවරයකු ගනිමු. මේ ඔක්කෝමලා එක්තරා කාලසීමාවකට යටත්ව තමයි සේවය ලබා දෙන්නෙ. ඒ හැරත් යමෙක් මේ විදියට සුදුසුකම් ලැබීම යනු ජීවිතයට එය සීමාවක් ද‌ාගැනීමක් නොවෙයි. එය ජීවිතයට සුදුසුකමක් කර ගත යුතුයි. මේ නිසා, අපි අපේ සුදුසුකම්වලට වහල් වෙනවද? නැත්නම් සුදුසුකම් අපේ වහලුන් බවට පත් කර ගන්නවද? මගේ සිතිවිලි ගලා ගියේ ඒ අයුරින්. මට තාක්‍ෂණය ගැන අවබෝධය ආවේ අපේ තාත්තා නිසයි. තාත්තාට ඕනෑම දෙයක් නිර්මාණය කිරීමේ අපූරු හැකියාවක් තිබුණෙ. මම හිතන්නෙ මටත් එය පිහිටවන්නට ඇති. තාක්‍ෂණය ගැන කතා කළොත්, කොච්චර තාක්‍ෂණය අලුත් වුණත්, නව්‍යකරණය වුණත්, සිද්ධාන්ත සහ මූලධර්ම කියන්නෙ එකක්.   


ඒ දැකීම සහ ඒ හැඟීම ඇතිව ස්වකීය නිෂ්පාදන ක්‍රියාවලියට අවතීර්ණ වූ රොහාන් තමා විසින් නැවත ප්‍රතිනිර්මාණය කරන ලද මේ සංවේදකය ජපානයට යවා නිෂ්පාදනය ලබා දීම උදෙසා ක්‍රියාත්මක වුවද, වසර ගණනාවක් යන තෙක් ඒ සඳහා ඔහුට සුබවාදී පිළිතුරක් ​ෙනාලැබිණි. ඒ හැරත් Air bag impact sensor යනු මෝටර් රථයක ඉතා අගනාම කොටසකි. එහෙත් නිෂ්පාදන ක්‍රියාවලියේදී ඇති මූල්‍ය වාසිය සහ ශ්‍රම වෙළඳපොළ ගැන සසඳද්දී ජපානයට එය ප්‍රතිනිර්මාණය සඳහා වෙනත් රටකට ලබාදීම සුදුසු බව රොහාන් පල්ලේවත්ත ඉඳුරාම දැන සිටියේය. එ් නිසා වසර ගණනාවක් තිස්සේ අභිප්‍රාය අත් නොහැරීය. ජීවිතය යනු තමා විසින් තමා සොයා යාමක්ය යන්න ඔහු අවබෝධ කරගත් දෙයකි. වසර ගණනාවකට පසුව අත්නොහළ අභිප්‍රාය යථාර්ථයක් වූ පසු, ඔහු හෝමාගම සිරි සමරක්කොඩි මහතා සතු SJ (එස්.ජේ.) ඉලෙක්ට්‍රොනික් ආයතනය හා සම්බන්ධ වී මෙය මෙරටදී නිෂ්පාදනය කළේය.  


‘‘සිරි සමරක්කොඩි මහත්මයා ඇත්තටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්.’’   


කළගුණ දත්, රොහාන් පල්ලේවත්ත අද එලෙසින් පවසයි. පසු කලෙක ඔහු නැගී සිටියේ සුවිශාල ආයෝජන ව්‍යාපෘතියක් මෙරටට හඳුන්වාදී ඉතෝස්ප්‍රින්ග් ආයතනය සමගය. ඉහළ ගුණාංගයක් සහිතව බියගම ස්ථාපිත කළ ලංකා හාර්නස් සමාගම වෙතින් ලෝකයට ශ්‍රී ලංකාව එම අංශයෙන් ගෙන ගිය පුරෝගාමී චරිතය ඔහුම වන්නේය. අද ඔහු ජීවිතයේ වඩාත් සතුටු වන්නේ තමා නොවී, තමාගේ රටට, ජනතාවට හැකි උපරිමයෙන් ජීවිත ගොඩනගා ගැනීම උදෙසා මාර්ගයක් නිර්මාණය කර දීමට හැකි වූ නිසාවෙනි. සමස්ත රටක් දියුණු කරවීමට නම්? ඔබගේ ක්‍රමවේදය කුමක්ද? දැනුමට වඩා ප්‍රායෝගිකත්වය අතින් වඩා සාර්ථක වූ ඔහුගෙන් අවසන අපි විමසීමු. 


‘‘ක්‍රමවේදයට කලින් ඉලක්කය සකසා ගැනීම මගේ ක්‍රමයයි. ඉලක්කය සකසා ගත්තාම ක්‍රමවේදයට යන්න පුළුවනි. එද‌ා ඇමරිකානු ජනපතිව සිටි ජෝන් එෆ් කෙනඩි මහතා කිව්වෙ ‘‘මම සඳ මතට මිනිසෙක් පතිත කරවනවා කියලයි’’ බලන්න ඒ කියමන කියද්දී එද‌ා තාක්‍ෂණයවත් තිබුණේ නැහැ. රොකට් යවලා තිබුණෙත් නැහැ. හැබැයි පසු කාලෙක ඔහු කී දේ මිනිසුන් යථාර්ථයක් බවට පත් කළා. රටක් දියුණු කිරීමට වඩා වැදගත් වන්නේ අරමුණ හෙවත් ඉලක්කයක් නිර්මාණය කිරීමෙන් පමණයි. ඒක තමයි විශේෂයෙන් අපේ සමාජයට වැදගත්ම දේ’’

 

 

 

සටහන - සඳුන් ගමගේ