ව්‍යාපාරිකයා බංකොළොත් කළ ට්‍රෝජන්


නුතන මිනිසාගේ දෛනික දිනචරියාවේ අත්‍යවශ්‍ය මෙවලමක් වන්නේ පරිගණකයයි. එහිදී කාර්යක්ෂම, විශ්වාසදායි, වි​ෙනා්දකාමී, බුද්ධිමත් හිතමිතුරාගේ ස්ථානයට බහුකාර්ය පරිගණක (Multitasking) පත්වී ඇත. මෙම හිතමිතුරාගෙන් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීම සඳහා වින්ඩෝස් (Windows) මැක් ඕ.එස්. (MAC O.S.) ෆෙඩෝරා (Fedora) උබුන්ට්‍ු (Ubuntu) ඩේබියන් (Debian) යනාදී මෙහෙයුම් පද්ධති භාවිත කෙරේ. එහිදී නීත්‍යානුකූල මුදල් ගෙවා ලබාගත හැකි මෙහෙයුම් පද්ධති ​ෙස්ම නොමිලේ අන්තර්ජාලයෙන් බාගත කිරීම් කළ හැකි මෙහෙයුම් පද්ධති ද ඇත්තේය. 


මුදල් ගෙවා ලබාගන්නා මෙහෙයුම් පද්ධතිවල නීත්‍යානුකූල බවක් තිබුණද නොමිලේ බාගත කිරීම් කරණ මෙහෙයුම් පද්ධතිවල නීත්‍යානුකූල බවක් හෝ විශ්වාසදායක බවක් නොමැත. හේතුව කෙටි ලාභයක් උදෙසා නොමිලේ බාගත කිරීම් කරණ මෙහෙයුම් පද්ධති බොහෝ විට දුර්වල ඒවා වීමය. ඉන් පරිගණකයට වෛරස් ඇතුළු වී බොහෝ විනාශයන් කළ හැකිය. එසේම ඇතැම් අවස්ථාවලදී ක්රෝම් මෙහෙයුම් පද්ධති මාර්ගයෙන් එක් පරිගණකයක පිටපත් දත්තයන් තවත් පරිගණක පරිශීලකයකුට ලබාගත හැකිය. ඉන් මූල්‍යමය වංචා හා පෞද්ගලික අනන්‍යතා සොරකම් කිරීම් සිදුවේ. එය සමාජ ප්‍රශ්න රාශියක මූලාරම්භයකි. 


මෙවර ලිපියෙන් නිදසුන් සපයනුයේ ද නොමි​ෙල් බාගත කිරීම් කළ ක්‍රෝම් මෙහෙයුම් පද්ධතියක් මඟින් සිදුකළ මූල්‍යමය වංචාවක් පිළිබඳවය. 


ට්‍රීං.. ට්‍රීං.. ට්‍රීං 


එලාම් එක නොනවත්වාම නාද දෙන්නට විය. රාත්‍රී දොළහත් පසුවී නින්දට ගිය සුගත් එලාම් ශබ්දයට පිබිදුණේය. දහසක් සිතුවිලි හදපුරවාගත් ඔහු සිය කාමරයේ ජනෙල් පියන්පත් හැර දැමුවේය. ඔහුගේ නෙත ගැටුණේ අන්ධකාරය අතරින් සිනාසෙන පහන් තරුවයි. මොහොතක් ඒ දෙස බලා සිටි සුගත් දවසේ කටයුතු සුබවේවායි ප්‍රාර්ථනා කළේය. කොහේදෝ සිට හමා ආ සීතල පවන් රැල්ලක් ඔහුගේ ගත සිපගත්තේය. ප්‍රබෝධමත් සිතුවිලි හද රුවාගත් ඔහු මුළුතැන්ගෙය දෙසට පියනැගුවේය. කිරිබත් සුවඳ මුළු ගෙය පුරා පැතිරී ඇත.

 
‘අම්මා පාන්දරම නැගිටලා’ 


කිරිබත් කපමින් සිටි මව අසලට යමින් සුගත් පැවසුවේය. 


‘ඔව් පුතේ... අද මගේ පුතාට ගොඩක් සතුටු සුබ දවසක් නේ... කිරිබත් කෑල්ලක් කාලම අලුත් කාර්යාලයේ වැඩ පටන්ගත්තොත් හොඳයි​ෙන්’ 


සුගත් සිය මෑණියන්ගේ හිස සිපගත්තේය. ‘මට අම්මගෙ ආශිර්වාදය තියනවනෙ අම්මේ’ යි පවසමින් නව කාර්යාලයට යාම සඳහා සූදානම් වන්නට විය. මොහොතකට ඔහු අතීතයට පියමැන්නේය. 
‘පදික වේදිකාවෙන් ජීවිතය ඇරඹූ යුගය සුගත්ට මතකය.. උගුර ලේ රස වෙනකම් ලාභයි ... ලාභයි කියමින් ඇඳුම් කෑලි විකුණූ යුගය මතකය. අව්වට වේළෙමින්, වැස්සට තෙමෙමින් ජීවිතය සොයා ගිය දුර්ග මාර්ගය මතකය. ඔහුගේ නොපසුබට උත්සාහයේ සාර්ථක ප්‍රතිඵල අද ලැබී ඇත. සුගත් දිගු සුසුමක් ගත්තේය. තමන්ගේම කියා පුංචි නිමි ඇඳුම් හලක් සතුකර ගැනීම ඔහුගේ අභිප්‍රාය වී තිබුණේය. ඇඳුම් මෝස්තර නිර්මාණකරු, ඇඳුම් මසන්නා යන සියලු දෙය සහිත නව ආයතනයක් අද ඔහු සතුව ඇත. 


දහසකුත් සිහින හද රුවාගත් සුගත් මවගේ දෙපා වැඳ නව කාර්යාලයට යාමට පිටත් වූවේය. 


‘මගේ පුතාට ජයම වේවා’ සතුටු කඳුළු පුරවාගත් සුගත්ගේ මව හදවතින්ම ඔහුට සුබ ප්‍රාර්ථනා කළාය. 


සිය නවතම නිමි ඇඳුම් කම්හලට සුගත් යන විටත් ඔහුගේ හොඳම මිතුරා වූ ජගත් පැමිණ සිටියේය. ඔහු සුගත්ගේ නව කාර්යාලයේ දොර විවෘත කර තිබුණේය. සුගත් කාර්යාලයට ඇතුළු විය. 
‘මම හිතුවටත් වඩා ලස්සනට උඹ වැඩේ කරලා’ 


ප්‍රීතිය පිනාගිය හදවතින් යුතුව සුගත් සිය මිතුරා වැලඳ ගත්තේය. 


‘ස්තූතියි මචං. අද ඉඳලා උඹ මගේ යාළුවා විතරක් නෙවේ. මගේ බොසුත් උඹ’ ජගත් නිහතමානීව පැවසුවේය. කුමන දේ කළත් කුමන දේ පැවසුවත් සුගත්ට නොපෙන්වූ කුහකකමක් ජගත්තේ සිතේ තිබුණේය. ඒත් ඒ කුහකකම යටපත් කරගෙන සුගත්ගේ දියුණුවට අතදෙන මිතුරෙකු සේ ඔහු පෙනී සිටියේය. 


සුගත් කිසිවිටෙකත් සිය යහළුවා පිළිබඳව සැක නොසිතුවේය. ඔහුගේ දුක සැප සියලු දේ පවසමින් ළඟම ඥාතියකු සේ ඔහු ඇසුරු කළේය. 


කාලය දින, සති, මාස ගෙවී ගියේය. 


සුගත්ගේ ව්‍යාපාරික කටයුතු ටික ටික දියුණු වූවේය. මූල්‍යමය ගනුදෙනු චෙක්පත්වලින් සිදු කිරීම තෙක් ආර්ථිකය යහපත් විය. 


‘සුගත් දැන් අපි මේ ෆීල්ඩ් එකේ ඉස්සරහින් ඉන්න නිසා කම්පියුටර් ටිකක් එහෙම ගන්න ඕනෑ. වැඩත් ඉක්මන්, පොඩි ගතියකුත් තියෙනවා නේ. 


ජගත් සුගත්ට නව යෝජනාවක් ගෙන ආවේය. 


‘ඔව් මමත් ඒ ගැන හිතුවා. උඹට මම ඒ වැඩේ බාරදෙනවා මචං. හොඳ කම්පියුටර් තුන හතරක් තෝරපන්’ 


ජගත් සුගත්ගේ යෝජනාව සතුටින් බාරගත්තේය. සුගත් සිතුවාටත් වඩා ඉක්මනින් ජගත් පරිගණක තුනක් කාර්යාලයට රැගෙන ආවේය. ඉන් එක් පරිගණකයක් සුගත්ට ද තවෙකක් ජගත්ට ද තබාගෙන ඉතිරි පරිගණකය මුදල් අයකැමි අංශයට බාර දුන්නේය. 


සියලු පරිගණක එකිනෙකට සම්බන්ධවන ලෙස සකස් කර නව මෙහයුම් පද්ධති සහ මෘදුකාංග දැමීමත් ජගත් අතින්ම විය. සිය යහළුවා පිළිබඳ කිසිදු අවිශ්වාසයක් නොතැබූ සුගත් සුපුරුදු පරිදි සිය රාජකාරි කටයුතු සිදුකළේය. 


දින සති මාස ගෙවී ගියේය. සුගත් අන්තර්ජාලය ඔස්සේ බැංකු කටයුතු සිදුකිරීමට කටයුතු කළේය. මූල්‍යමය කටයුතු ඉතා අරපරිස්සමින් සිදු කිරීම ඔහුගේ පුරුද්දක් විය. එහෙත් හදිසියේම ඔහුගේ ක්‍රෙඩිට්කාඩ් බිල් වැඩිවූවේය. ඔහු නොගන්නා ලද, වියදම් නොකළ බිල් ඊට එකතුවී තිබුණි. 


සුගත් මේ පිළිබඳව සිය මිතුරා වූ ජගත්ට සැලකළේය. ඔහුද පැමිණ පරිගණකය පරීක්ෂා කළේය. එහෙත් දවසින් දවස අසාමාන්‍ය බිල් සුගත්ට එකතු වූ අතර ජගත් සැලකිල්ලකින් ඒ පිළිබඳව සොයා නොබලන බව සුගත්ට තේරුම් ගියේය. 


ජගත් පිළිබඳව යම් යම් සැකසංකා පහළ වුවද වසර ගණනාවක සිට එකට සිටි මිතුරා හෙයින් ඔහුව අවිශ්වාස කරන්නට සුගත් පැකිළුණේය. එහෙත් වෙනත් අයෙකු ගෙන්වා පරිගණකය පරීක්ෂා කර ගතයුතු යැයි සුගත් සිතුවේය. 


ඒ සඳහා ජගත් නිවාඩු ගිය දිනයක් සුගත් තෝරා ගත්තේය. පරිගණක සාදන්නාත් සමඟ පැමිණි සුගත් සේවා ස්ථානයේ භාවිතයට ගන්නා පරිගණක පරීක්ෂා කිරීමට ඉඩ ලබා දුන්නේය. ඔහු පරිගණක හොඳින් පරීක්ෂා කළේය. 


‘මහත්තයා මේ පරිගණකය පාවිච්චි කරන්නේ කවුද? පරිගණක සාදන්නා ජගත්ගේ පරිගණකය පරීක්ෂා කරමින් ඇසුවේය. 


‘මේක ම​ෙග් යාළුවා පාවිච්චි කරන්නේ’ සුගත් පිළිතුරු දුන්නේය. 


‘මහත්තයට ඉන්නේ මාර යාළුවෙක්නේ..’ 


‘ඇයි එහෙම කියන්නේ’ 


‘මහත්තයාගේ යාළුවා මහත්තයා කියන කරන හැමදේම දන්නවා. මහත්තයාගේ ක්‍රෙඩිට් කාඩ් අංක, ඒවා පාවිච්චි කරන රහස් අංක, බැංකුවේ තියන මුදල් ප්‍රමාණ......හැම විස්තරයක්ම දන්නවා.

ඒවා පාවිච්චි කරලත් තියනවා. 


සුගත් අන්දමන්ද වූවේය. තමාගේ හොඳම මිතුරා ලෙස සිතූ ජගත් මෙවැනි දෙයක් කරාවිද? ඔහු උභතෝකෝටික ගැටලුවකට පැටලුණේය. 


‘ඇයි මහත්තයා’ 


‘නෑ මම කල්පනා කළේ මම ළඟ විතරක් තිබුණ ​පෞද්ගලික දේවල් කොහොමද ජගත් දැනගත්තේ කියලා’ 


මහත්තයා ඔයාගේ යාළුවා මේ කම්පියුටර්වලට දාලා තියෙන්නේ අන්තර්ජාලයෙන් නොමිලේ ඩවුන්ලෝඩ් (බාගත) කරගත්තු සොෆ්ට්වෙයාර් (මෘදුකාංග) වගයක්. 


‘මම ජගත්ට සල්ලි දුන්නේ හොඳ ඒවා ගන්න’ 


‘යාළුවා ඒ සල්ලි තියාගන්නැති. අනිත් එක එයා ඔයාගේ පරිගණකයේ කරන සියලු දේ දැනගන්න පුළුවන් ට්‍රෝජන් කියන මැල්වෙයාර් එක දාලා තියෙනවා. ඒකෙන් තමයි මහත්තයාගේ ක්‍රෙඩිට් කාඩ් නම්බර් අරගෙන මුදල් වියදම් කරලා තිබෙන්නේ’ 


සුගත්ගේ දෙනෙත් නිලංකාර විය. හදවත ගැහෙන්නට වූවේය. එය දැනගත් වහාම ඔහු සිය ගිණුම් පවත්නා බැංකුවලට කතා කර ගිණුම් විස්තර දැනගත්තේය. ඔහුගේ ගිණුම්වලින් ලක්ෂ ගණන් මුදල් අඩුවී ඇති බව දැනගන්නට ලැබිණි. 


ගැහෙන හදවතින් යුතුව ඔහු ජගත්ගේ ෆෝන් නම්බරයට කතා කළේය. එහෙත් එය ක්‍රියා විරහිත කර තිබුණේය. සිය මෝටර් රථයට නැගුණු සුගත් ජගත්ගේ නිවස වෙත එය ධාවනය කළේය. 
ජගත්... ජගත්... උඹ කොහෙද?’ සුගත් කේන්තියෙන් හඬගෑවේය. නිවසින් එළියට ආවේ මහලු කාන්තාවකි. 


‘ඒ මහත්තයා රට ගියානේ’ 


ඇය වෙව්ලමින් පැවසුවාය’ 


‘එතකොට මේ අය කවුද?’ 


අපිට තමයි මේ ගේ විකුණුවේ. අපි ඊයේ මේ ගෙදර පදිංචියට ආවේ’ 


සුගත්ගේ කෝපය හා වේදනාව දෙගුණ තෙගුණ වූවේය. ජගත්ට ශාපකරනවා හැරුණු කොට කළ යුතු වෙන කිසිවක් නොවීය. ශතෙන් ශතය රුපියලෙන් රුපියල එකතු කළ මුදල් වංචනිකව ලබාගත් ජගත් මේ වනවිටත් වෙනත් රටකට ගොඩබසින්නට ඇත. කම්පා වූ සිතින් යුතුව සුගත් සිය මෝටර් රථය පණගැන්වූයේය. 


සුගත් සේම ඔබද මෙවැනි වංචනිකයන්ට අසුවිය හැකිය. විශේෂයෙන්ම පරිගණකය ආශ්‍රයෙන් මූල්‍යමය ගනුදෙනු සිදුකරන ඔබ එම පරිගණකවලට බාගත කරන වැඩසටහන් හා මෘදුකාංග පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එසේම සිය පරිගණකය වෙනත් අයෙකුට පාවිච්චි කිරීමට දෙනවා නම් ඒ පිළිබඳව ද සැලකිල්ලෙන් සිටිය යුතුය. 


මෙවැනි අහේතුකව සිදුවන පරිගණක ගැටලු නිසාම තමන්ගේ පරිගණකයේ පාලනය වෙනත් අයෙකු සතුවන්නේ කෙසේද?, එවැනි දේට හසු නොවීම සඳහා ඔබ පරිගණකය සකසා ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව කතා කිරීමට ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන පරිගණක ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සම්බන්ධ කර ගත්තෙමු.

 


 

Trojan මැල්වෙයාර් යනු කුමක්ද?

එය පරිගණකයට පැමිණීම වළක්වා ගන්නේ කෙසේද? 

 

Trojan යනු එක්තරා මැල්වෙයාර් වර්ගයකි. (පරිගණකයට අහිතකර මෘදුකාංගයකි) මෙම මෘදුකාංගයෙහි අරමුණ වන්නේ පරිගණක පරිශීලකයාට නොහැඟෙන පරිදි ඔහුගේ රහස්‍ය හා පෞද්ගලික තොරතුරු (උදා: පරිගණක පරිශීලකයා type කරන දෙය ආදී) එම ට්‍රොජන් මැල්වෙයාර් නිපදවූ පුද්ගලයාට හෝ එය අපගේ පරිගණකයට එවන ලද පුද්ගලයාට යැවීමයි. 


නීත්‍යානුකූල ලෙස Windows වැනි මෙහෙයුම් පද්ධති ලබා ගන්නේ නම් මෙවැනි මැල්වේයාර් පැමිණීම අවම කර ගත හැක. එයට හේතුව වන්නේ crack කළ Windows වැනි මෙහෙයුම් පද්ධති තුළට මෙවැනි ට්රොජන්ස්, වෙනත් පිරිසක් මඟින් අැතුළු කිරීමට හැකි නිසයි. තවද ව්‍යාජ මෙහෙයුම් පද්ධති සක්‍රීය කිරීමේදී (activate) activator වැඩසටහනක් ප්‍රතිස්ථාපනය කිරීමෙන් ට්රෝජන් වැඩසටහන් පරිගණකයට ඇතුළු විය හැක. නමුත් මිනිසුන් තමන්ගේ පරිගණක අවශ්‍යතා ඉටු කරගැනීමට (උදා : අන්තර්ජාලයට සම්බන්ධ වීම, වර්ඩ් (Word) පවර් පොයින්ට් (Power point) ආදී Windows වැනි වාණිජ මට්ටමේ මෙහෙයුම් පද්ධති නොව free & Open source මෙහෙයුම් පද්ධති ද ඇති බව පරිගණක භාවිතා කරන්නන්ට අමතක වන කරුණකි. 


Open Source මෙහෙයුම් පද්ධති (උදා Ubuntu, Linux, Debian ආදී) සඳහා License Key (බලපත්‍ර කේතය) මුදල් ගෙවා ලබා ගත යුතු නැති අතර Genuine License Key (නීත්‍යානුකූල බලපත්‍ර කේතය) එම මෙහෙයුම් පද්ධතිය මඟින් ජනනය (Generate) කරයි. මේ නිසා මෙවැනි මෙහෙයුම් පද්ධති පරිගණක පරිශීලකයනට නොමිලේ එම මෙහෙයුම් පද්ධතිය නිපදවූ සමාගමෙන් ලබා ගත හැක. එම නිසා වෙනත් පුද්ගලයන්ට මෙවැනි මෙහෙයුම් පද්ධති තුළට ට්රෝජන් වැනි මැල්වෙයාර් ඇතුළු කිරීමට අවස්ථාවක් නැත. මෙවැනි Open source මෙහෙයුම් පද්ධති මගින්ද තමන්ගේ පරිගණක අවශ්‍යතා (උදා. අන්තර්ජලයට සම්බන්ධ වීම, වර්ඩ් (Word), පවර් පොයින්ට් (Power Point) ඉටු කරගැනීමට පුළුවනි. 


මෙම ට්රෝජන් යම් ආකාරයක සමාජ ඉංජිනේරු (Social Engineering) විද්‍යාවකින් (පරිගණක පරිශීලකයා රැවටීමෙන්) ව්‍යාප්ත වේ. නිදසුනක් වශයෙන් ඊමේල් සමඟ එන ඇමුණුමක් (attachment) එම ඇමුණුම භාගත (Download) කර විවෘත කිරීමේදී මෙය පරිගණකයට පැමිණිය හැක. ඒ වාගේම යම් වැඩසටහනක් අන්තර්ජලය මගින් බාගත කිරීමේදී මෙවැනි වැඩසටහන් පරිගණකයට ඇතුළු විය හැක. (Drive By Download). මේවා පැමිණෙන තවත් එක ආකාරයක් වන්නේ ව්‍යාජ ​ෙලස ලබාගත් (Crack) මෙහෙයුම් පද්ධතියකට මෙය කෙළින්ම ප්‍රතිස්ථාපනය (Install) කර ඇති විට එම මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමේදී ඒ මඟින් පරිශීලකයා​ෙග් රහස්‍ය තොරතුරු එම Trojan නිපදවූ තැනැත්තාගේ හෝ එය අපගේ පරිගණකයට එවන ලද පුද්ගලයාගේ අතට පත්වීමයි. මෙය හැකර්කරුවන්ට ඉතා හොඳ ඔත්තු බලන මෘදුකාංගයකි. අද ලෝකයේ පරිගණක භාවිතා කරන්නේ බොහෝ දෙනෙක් Crack OS හා අනෙකුත් Crack මෘදුකාංග (Crack Software) භාවිතා කිරීම නිසා මෙවැනි ට්රෝජන් වැඩසටහන් පැමිණී​ෙමන් ඔවුන් විශාල අපහසුතාවන්ට පත්වේ. ඒ වගේම ප්‍රති වෛරස් මෘදුකාංග භාවිත කිරීමෙන් ට්රෝජන් මැල්වෙයාර් තම පරිගණකයට පැමිණීම වළක්වා ගත හැක. මෙවැනි ප්‍රති වෛරස් (Anti virus) මෘදුකාංග යාවත්කාලීන කර තබා ගැනීමද ඉතා වැදගත් වේ.

 

 

 

 

 

 

 

සටහන - කුමාරි හේරත්