ව්‍යාජ ලෙස හැදූ වාහන විසිහතක් විකිණූ මිනිහෙක්


 

ඔබට ඔබේ වාහනය නීත්‍යනුකූලව ලියාපදිංචි කළ නීත්‍යනුකූලව මෙරටට ගෙන්වන ලද වාහනයක් බවට සහතික විය හැකිද? සමහර විට ඔබේ වාහනය ව්‍යාජ ලෙස එකලස් කර ව්‍යාජ ලෙස ලියකියවිලි සකස් කළ වාහනයක් විය හැකිය. සමහර විට ඔබ සතුව තිබෙන්නේ කල්බදු ගෙවීම පැහැර හැර අදාළ සමාගම් විසින් රැගෙන විත් ගාල් කර තිබෙන වාහනයක අංකයක් විය හැකිය. ඔබ වාහනය මිලදී ගන්නේ දෙවන ගැනුම්කරු ලෙස නම් ඇතැම් විට ඔබේ වාහනයේ මුල් හිමිකරු මෙලොව කිසි දිනක ඉපදී නැති කෙනෙක් වන්නටද හැකිය. ඔබේ වාහනය වෙනුවෙන් කිසිදු දවසක කල්බදු ලබාගෙන නොතිබියදී ඔබේ වාහනය කල්බදු ලබාගෙන ගෙවීම පැහැර හැර ඇතැයි දැනගන්නට ලැබුණහොත් ඔබට එය විශ්වාස කළ හැකිද? 


ඔබ විශ්වාස කළත් නොකළත් එවැන්නක් සිදුවිය හැකිය. ඒ බව අපට සහතික කර පෙන්වා දෙන්නට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයට පසුගියදා හැකි විය. 


නීත්‍යනුකූලව වාහන කොටස් ගෙන්වා නීති විරෝධීව එකලස් කර අලෙවි කිරීමේ ජාවාරමක් පිටුපස ලුහුබැඳ යාමෙන් පැරණි වාහනවල අංකවලට කූඨ ලේඛන සකස් කරමින් අලුත් වාහන හා ප්‍රශ්නගත වාහන අලෙවි කරන මහාපරිමාණ ජාවාරම්කරුවකු ඇතුළු සිව් දෙනෙක් හා ව්‍යාජ ලෙස සකස් කළ වාහන විසිහතක් සොයාගන්නට ඔවුන්ට හැකි විය. 
කූඨ ලේඛන සකස් කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහයද ලැබී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. 


සැකකරු කුරුණෑගල කටුපොත පදිංචි අතර ඔහුට උඩුගම්පොළ නිවසක් හා මිනුවන්ගොඩ නයිවල පාරේ රහසිගතව පවත්වාගෙන යන නිවසක් ද තිබේ. වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාට ලැබුණ තොරතුරක් අනුව පොලිස් සැරයන් (428) ජයලාල් මහතා සැකකරු ජීවත්වන බවට සැකකරනු ලැබූ ප්‍රදේශ වෙත ගොස් ආවේක්ෂණ රාජකාරියේ නිරත වූයේය. 


සැකකරු පිළිබඳ තොරතුරු සනාථ වූ පසු වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් වාහන දෙකකින් ගොස් වේයන්ගොඩ පදිංචි කූඨ ලේඛන සකස් කරනු ලබන සැකකරු අත්අඩංගුවට ගනු ලැබිණ. ඒ ඔහු ප්‍රධාන සැකකරු හමුවීමට යතුරුපැදියකින් යමින් සිටියදීය. තාක්ෂණික උපක්‍රම භාවිත කරමින් ඔහු යන එන තැන් සොයා බැලූ පොලිස් කණ්ඩායමට මේ සැකකරු හඳුනාගැනීම අපහසු නොවිණ. 


අත්අඩංගුවට පත් සැකකරුගෙන් හෙළිකර ගත් තොරතුරු අනුව ප්‍රධාන සැකකරුගේ නිවසට ගිය පොලිස් කණ්ඩායමට ඔහු සමග තවත් දෙදෙනකු අල්ලා ගැනීමට හැකි විය. නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද ආදායම් බලපත්‍ර දෙකක් සොයාගැනීමට ද පොලිසියට හැකි විය. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මිනුවන්ගොඩ නයිවල පාරේ පිහිටි නිවස ගැන තොරතුරු හෙළිකරගත හැකි විය. ඒ අනුව එම නිවස පරීක්ෂා කළ පොලිස් කණ්ඩායමට කූඨ ලෙස සකස් කළ වාහන බලපත්‍ර ඇතුළු ලේඛන රැසක් සහිත ලී කබඩ් එකක් සොයාගත හැකි විය. එහි මෝටර් රථ දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතු මූලික ලිපිගොනු කීපයක් ද සොයාගැනීමට පොලිසියට හැකි වී තිබේ. 


මෙම ජාවාරම සිදුකෙරෙන්නේ මෙසේය. වාහන කොටස් තොග වශයෙන් ගෙන්වා, ඒවා නීත්‍යනුකූලව එකලස් කරනවා වෙනුවට නීති විරෝධීව එකලස් කර විකිණීම මොවුන්ගේ ජාවාරම වී ඇත. එසේ එකලස් කරන ලද වාහනවලට නීත්‍යනුකූලව ලේඛන සකස් කළ නොහැකිය. මන්ද එවිට රේගු ලේඛන පවා ඉදිරිපත් කිරීමට සිදුවන නිසාය. එවැනි වාහනවලට ව්‍යාජ ලේඛන සකස් කිරීම ප්‍රධාන සැකකරු ඇතුළු අත්අඩංගුවට පත් සිව්දෙනා විසින් සිදුකරනු ලැබ තිබිණි. එසේම මෙම සැකකරුවන් සොරාගත් වාහනවලට ද අලුත් අංකයක් ලබාදී ලියාපදිංචි කර විකුණන්නේ කිසිම සැකයක් ඇති නොවන පරිදිය. අවශ්‍ය වුවහොත් ඉදිරිපත් කිරීමට ව්‍යාජ ලෙස සකස් කරන ලද රේගු ලේඛන ද ඔවුන් සතුව ඇත. 
ප්‍රධාන සැකකරු වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ගේ කණ්ඩායමට අපූරු යෝජනාවක් ද කළේය. 


‘සර් මං මේ පොත් හදලා තියෙන්නේ ගොඩක් මහන්සි වෙලා’ 


‘හරි, ඔහේ හොඳටම සහතික වෙනවාද මේ සේරම ව්‍යාජ ඒවා කියලා.’ 


‘ඔව් මහත්තයා මේ සේරම බොරු ඒවා තමයි. දැන් මේ ටික සර්ලා අරන් උසාවි දැම්මොත් මට පාඩුයි. සර්ලටත් හම්බවෙන දෙයක් නැහැනේ.’ 


‘ඔව් ඒක ඇත්ත.’ 


‘සර් මං කියන්නද? මම සර්ලට ලක්ෂ පහක් දෙන්නම්. මේක අතඇරලා දාන්න. සර් කල්පනා කරන්නකෝ මේ ටික අරන් ගිහින් දැම්මා කියලා සර්ලට ලැබෙන දෙයක් නැහැනේ.’
එහෙත් වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඒ අල්ලස්වලට තමන්ගේ රාජකාරි වගකීම පාවා දුන්නේ නැත. 


මේ සැකකරුවන් ව්‍යාජ ලේඛන සකස් කරන්නේ මෙසේය.  


කල්බදු සමාගම්වලින් ණය ලබාගෙන ගෙවීම පැහැර හැර අදාළ සමාගම්වලින් ගෙන යනු ලැබූ වාහන, විවිධ හේතු නිසා අධිකරණයට ඉදිරිපත් කර නඩු භාණ්ඩ ලෙස පවතින වාහන, නැත්නම් දන්නා කියන පුද්ගලයෙකුට අයත් වාහන, අනතුරුවලට ලක්වීම නිසා භාවිතයෙන් ඉවත් කරන ලද වාහනවල එංජින් හා චැසි අංකවලට අලුත් හිමිකරුවකුට අලුත් වාහනයකට පොතක් සකස් කිරීම එක් පියවරකි. 


ඇතැම් අවස්ථාවල අලුත් හිමිකරු කිසිද‌ා මෙලොව උපන් අයෙක් නොවේ. ඔහුගේ සියලු ලේඛන ද අලුතෙන්ම සකස් කර පොත සකස් කර වෙනත් අයෙකුට අයිතිය බාරදීමේ ට්‍රාන්සර් පේපර්ස්වලට අත්සන් කර තබාගැනීම තවත් පියවරක් වේ. වාහනයක් ලියාපදිංචි කිරීමට පැමිණි පසු එම වාහනය මෙලෙස ට්‍රාන්සර් කර අලුත්ම පොතක් සහිතව අලුත් ගනුදෙනුකරුට ලබාදීම හෝ කෙළින්ම අලුත් පොත අලුත් වාහනයේ තොරතුරු ඇතුළත් කර සකස් කිරීම තෙවන පියවර වේ. 


මෙහිදී සත්‍ය ලෙස ලියාපදිංචි කළ ඇතැම් වාහනවල මූලික ලිපිගොනු සම්පූර්ණයෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරගෙන ඒ වෙනුවට අලුත්ම ලිපි ගොනු ඇතුළත් කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. අත්අඩංගුවට පත් කිසිදු සැකකරුවෙක් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවය කරන්නන් හෝ කලින් සේවය කළ අය හෝ නොවේ. 


මෙහි ව්‍යාජ ලේඛන සකස් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් තැනැත්තා නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ආසන්නයේම ස්ථානයක නිතර කාලය ගත කරමින් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවය ලබාගැනීමට පැමිණෙන අයට අතරමැදියෙකු ලෙස උදව් කිරීමට ඉදිරිපත් වන්නෙකු බවට ද අනාවරණය වී තිබේ. 
මෝටර් රථ දෙපාර්තමේන්තුව සතු ලිපි ලේඛන ඉන් පිටමං කර ගැනීමටත් ඒ වෙනුවට වෙනත් ලිපිගොනු ඇතුළත් කිරීමටත්, දැනට පවතින වාහනයක අංකයට වෙනත් වාහනයක තොරතුරු ඇතුළත් කර අලුත් ලිපිගොනුවක් මෝටර් රථ දෙපාර්තමේන්තුවට ඇතුළත් කිරීමටත් මෙම සැකකරුවන් හතර දෙනාට කළ හැකි නොවේ. එය කිරීමට නම් අනිවාර්යයෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවය කරන කිසියම් අයෙකු හෝ කීප දෙනකු සහයෝගය ලබාදිය යුතුමය. ව්‍යාජ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පවසා ඇති පරිදි කූඨ ලෙස සකස් කරන ලද එක් පොතක් වෙනුවෙන් ප්‍රධාන සැකකරු ඔහුට රුපියල් දහදාහක් ගෙවා ඇත. 


විකිණීමට ඇති පැරණි වාහනවලින් 5%ක්වත් මෙලෙස ව්‍යාජ ලේඛන සකස් කරන හොර වාහන බව ද පාතාල කටයුතු සඳහා වැඩි වශයෙන්ම භාවිත කරන්නේ එවැනි වාහන බව ද වලාන දූෂණ මර්දන ඒකකය පෙන්වා දෙති. 


මෙලෙස ව්‍යාජ ලේඛන සකස් කර අලෙවි කිරීමට සූදානම් කළ හා අලෙවි කළ වාහන 27ක් පොලිසිය සොයා ගත් අතර ඒ අතර කෝටි හතරක් වටිනා අලුත්ම වාහනයක් ද තිබූ බව ද පොලිසිය පවසයි. බණ්ඩාරගමින් සොයාගත් එක වාහනයක් පානදුර අධිකරණයේ නඩුභාණ්ඩ අතර පවතින වාහනයක අංකයක් සහිත එකකි. මේ වාහන පොලිසියට වුවත් ලේඛන පරීක්ෂා කිරීමෙන් ව්‍යාජ ලෙස සකස් කළ බව එකවර සොයා ගැනීම අපහසු වන තරමට සියුම්ව හා කූඨ ලෙස සකස් කිරීමට සැකකරු තම කණ්ඩායම මෙහෙයවාගෙන ඇත. 


සැකකරුවන් ගම්පහ පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර වලාන දූෂණ මර්දන ඒකකය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ. 


වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතා, වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, උපපොලිස් පරීක්ෂකවරුන් වන ධර්මසිරි, තිලකරත්න, පොලිස් සැරයන්වරුන් වන (22413) ලාල්, (15054) ප්‍රේමසිරි, (428) ජයලාල්, පොලිස් කොස්තාපල්වරුන් වන (2921) පත්මසිරි, (48886) විජේකෝන්, (72646) අරුණශාන්ත, (84609) කුලතුංග, (83790) විමුක්ති, (77981) ප්‍රබුද්ධ, (82452) ප්‍රියංකර, (85150) මධුශංක, පොලිස් සැරයන් රියැදුරු (11919) අජිත් යන නිලධාරීන් මෙම වැටලීම සිදුකරන ලදී. 


මුදිතා දයානන්ද