වසර දෙදාහකට කලින් හම්බන්තොට ගිලුණු නැව


මුහුද යට ඇති විශාල බරණියක් මුහුද යට විසිරී ඇති ඇඹරුම්ගල් සහ අනෙකුත් අවශේෂ

 

  • එදා වළවේ ගං මුවදොර තිබූ සුප්‍රකට ගොඩවාය වරායට නුදුරින් මේ නැව ගිලී තිබුණා.   
  • භාවිත නොකළ ඇඹරුම් ගල් නැව තුළ තිබී හමුවුණා. ඒ අනුව මේ නැව භාණ්ඩ ප්‍රවාහන නැවක්.

   
වළවේ ගඟ මිටියාවත ඔස්සේ හමා එන මද නල ගත පුබුදුවාලයි. සුදෝ සුදු චෛත්‍යරාජයාණන් තවමත් විරාජමානව සිටින්නේ දුටුවන්ගේ සිත් මොහොතකට දැහැන්ගත කරමිනි. මහ මුහුද දෙසින් අතොරක් නැතිව නැගෙන ඝෝෂාව අපූරු ලතාවකි. ගොඩවාය රජමහා විහාරයේ සිට බලන විට පසෙකින් ඇත්තේ නිමක් නැති මහ සාගරයයි. තවත් පසෙකින් මහ මුහුද සිපගන්නා වළවේ ගංඟාව මහ ජල කඳක් නිරන්තරවම මුහුදට එක්කරයි. පසෙකින් පාරම්පරික ධීවර ගම්මාන පිහිටා ඇත. 

 
වසර දහස් ගණනක් තිස්සේ මේ පරිසරය විවිධ වූ වෙනස්කම්වලට භාජනය වී ඇත්තේ අපූරු ඉතිහාස කතන්දරයක් මේ මහපොළොව මත මෙන්ම මහ මුහුදේ ද වළලා දමමිනි. ගොඩවාය රජමහා විහාරයේ ගල්තලාවක ඇති අපූරු සෙල්ලිපියකින් කියැවෙන්නේ මේ ස්ථානයේ තිබූ පැරණි වරායෙන් අයකරගත් බදු මුදලින් කොටසක් විහාරයේ දියුණුව සඳහා පූජා කළ යුතු බවයි. මේ පළමුවැනි ගජබා රජුගේ ආඥාවකි. ඒ අනුව පැහැදිලිවන්නේ ගොඩවාය වරායට ක්‍රිස්තු පූර්ව පළමු වැනි සියවසට වඩා ඈතට දිවයන ඉතිහාසයක් ඇති බවයි. එමෙන්ම බදු අයකරගත හැකි වරායක් මේ ස්ථානයේ තිබූ බව ද ඉන් පැහැදිලි වෙයි. ඒ අනුව පැහැදිලි වෙන්නේ මෙය වාණිජ වරායක් මෙන්ම එතැන ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සිදු කෙරෙන්නට ඇති බවයි.   


ජර්මනියේ බොන් විශ්වවිද්‍යාලය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව දකුණු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන සම්බන්ධයෙන් සිදුකෙරුණු කාවා ව්‍යාපෘතියේ දී මේ විහාරස්ථානයේ පුරාවිද්‍යාත්මක ගවේෂණ ආරම්භ කෙරිණි.   


මේ අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය ද තම පර්​ෙ‌ය්ෂණ කටයුතු දියත් කළ අතර එම ප්‍රදේශයේ මුහුදේ තිබී හමුවූ පැරණි ගල් නැංගුරමක් ඔස්සේ තොරතුරු සොයා ගිය පර්​ෙ‌ය්ෂකයන්ට ගොඩවාය පැරණි වරාය හා ඒ අවට මුහුදේ ගිලී ගිය නෞකා පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබිණි. මේ අතරින් වැදගත්ම තොරතුර ලබාදුන්නේ ගොඩවාය රජමහා විහාර පරිශ්‍රයේ කැණීම් කටයුතු භාරව සිටි පුරාවිද්‍යා කැණීම් නිලධාරී සනත් කරුණාරත්න මහතා විසිනි. 2003 වර්ෂයේ දී ගොඩවාය මුහුදේ කිමිදුම් කටයුතු කළ ගම්වැසියන් දෙදෙනකු විසින් මුහුදේ තිබී ගෙනැවිත් තිබූ ගල් බංකුවක් ඔහු විසින් තිස්සමහාරාම පුරාවිද්‍යා කාර්යාලයේ ගබඩාවට භාරදුන් බව කියා තිබිණි.   


මේ හෝඩුවාව ඔස්සේ ගිය මුහුදු පුරාවිද්‍යාඥයෝ ගල් බංකුව පරීක්ෂා කළහ. එහි යම් සලකුණක් දක්නට ලැබුණු අතර පාද හතරක් ද සහිත මිටි බංකුවක් බව ඔවුහු තීරණය කළහ. මේ ගල්බංකුව සොයාගත් පේමින්ද හා සුනිල් යන දෙදෙනා හමුවී සාකච්ඡා කළ විට ඔවුන් ගල් බංකුව තිබූ ස්ථානයේ වළං කටු කැබලි විශාල ලෙස ඇති බව ද පැවසූ බැවින් ඒ ස්ථානයේ ගවේෂණය කිරීමට මුහුදු පුරාවිද්‍යාඥයෝ තීරණය කළහ.   
එම ගවේෂණය පිළිබඳ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථානභාර නිලධාරී ඩබ්ලිව්.එම්.චන්ද්‍රරත්න මහතා මෙසේ කීවේය. 

 ගොඩවාය රජමහා විහාරය මුහුදට පෙනෙන අයුරු   

 


“මේ ස්ථානය ගැන පේමින්ද සහ සුනිල් දෙදෙනා පැවසූ තොරතුරු අනුව ගිලී ගිය නැවක් ඇති ස්ථානයක් විය හැකියැයි අපි විශ්වාස කළා. ඒ අනුව අපි එතැන කිමිදී බලන විට විශාල වශයෙන් වළංකටු කැබලි හමුවෙනවා. ඒවා මීටරයක් පමණ උසැති විශාල බරණි කියා අපට අනුමාන කළ හැකි වුණා. මේ ස්ථානයේ මුහුදු පත්ලේ මීටර 1-2 ක් පමණ විශාල ගොඩැල්ලක් වගේ දක්නට ලැබෙනවා. මූලික පරීක්ෂණවලින් අවබෝධ වුණා මෙතැන පැහැදිලිවම ගිලී ගිය නැවක අවශේෂ ඇති බව. එතැන මීටර 30ක් පමණ ගැඹුරු ස්ථානයක්. ඒ ගොඩැල්ලක් ලෙස ඇති අවශේෂ වටා හිරිගල් සහ මුහුදු පැළෑටි වැවී තිබුණා.”   


ඔවුන් එම ස්ථානයේ පළමු ගවේෂණය සිදුකළේ 2008 වර්ෂයේ ඔක්තෝබර් මස 18 වැනි දා ය. එතැන් පටන් සතියක පමණ කාලයක් දිනපතාම එතැන ගවේෂණය කරමින් මැටි බඳුන්වල අවශේෂ වූ කොටස් කිහිපයක් ගොඩ ගැනීමට ද ඔවුහු සමත්වූහ.   


මුහුදු පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා පවසන්නේ මේ මැටිබඳුන් කාලරක්ත මැටි බඳුන් බවයි.   
“අපි මේ ස්ථානයේ හමුවෙන අවශේෂ කිහිපක් ගොඩට ගත්තා. විශේෂයෙන් ම මැටි භාජනවල කොටස් කිහිපයක් ගෙනාවා. ඒවා අධ්‍යයන කරමින් ඒවා නිෂ්පාදනය කර තිබෙන ආකාරය, හැඩය, විශාලත්වය ආදිය අපිට තීරණය කළ හැකි වුණා. මේවා කාලරක්ත මැටි බඳුන්. ශ්‍රී ලංකාවේත්, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකත් අදින් වසර 2000කට පමණ පෙර මෙවැනි මැටි භාජන භාවිතාකර තිබෙනවා. ඒ පිළිබඳ ඉතාමත් විධිමත් පර්​ෙ‌ය්ෂණ කර තිබුණා. ඒ නිසා අපිට සාපේක්ෂව මේ නැව අදින් වසර 2000කට පමණ පෙරාතුව මුහුදුබත් වූ නෞකාවක් විය හැකියැයි අනුමාන කළ හැකි වුණා. නමුත් එය සාපේක්ෂ කාල නිර්ණයක් මිස විද්‍යාත්මක කාල නිර්ණයක් වුණේ නැහැ.”   

 

ගොඩවාය විහාරස්ථානයේ අයබදු අයකිරීම් සම්බන්ධ සෙල්ලිපිය

 


මුහුදු පුරාවිද්‍යා ඒකකය විසින් මේ සොයා ගැනීම පිළිබඳ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට ජාත්‍යන්තර වශයෙන් අනාවරණය කිරීමත් සමඟ ‍සමස්ත ලෝකයේ ම පුරාවිද්‍යාඥයන්ගේ අවධානය මේ වෙත යොමුවිය. ඔවුන්ගේ සොයා ගැනීම වඩාත් විද්‍යානුකූළව තහවුරු කළ හැකි වුවහොත් එය ලෝක ඉතිහාසයේ ඉතාමත් වැදගත් අනාවරණයක් බව ඔවුහු දැන සිටියහ.   


මේ හේතුවෙන් යළි 2010 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී මෙහි ගවේෂණ කටයුතු ආරම්භ කෙරිණි. එම අවස්ථාවේ ගවේෂණය කළ ඔවුහු නිවැරදි විද්‍යාත්මක කාල නිර්ණය සඳහා අවශ්‍ය නියැදි ලබා ගැනීමට සමත්විය. ඒවායින් කරන ලද කාල නිර්ණය අනුව තහවුරු වූයේ මෙම ස්ථානයේ ගිලී ඇති නෞකාව ක්‍රිස්තු වර්ෂ 02 වැනි සියවසත් ක්‍රිස්තු පූර්ව 02 වැනි සියවසත් අතර කාලයට අයත් බවයි. ඒ අනුව මෙතැන මුහුදු බත්වී ඇත්තේ අතීතයේ මුහුදු ගමන් සඳහා භාවිතා කළ රුවල් නැවක් විය යුතුය. අදින් වසර 2000කට පමණ පෙර එවකට ගොඩවාය වරායට පැමිණි හෝ ගොඩවාය වරායේ සිට පිටත්වීමට තිබූ නැවක් ඒ ආසන්න මුහුදේ ගිලී යන්නට ඇත. 

 
පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ අපූරු සොයාගැනීමක් වූ මේ නෞකාව දැනට ලෝකයේ සොයාගෙන ඇති පැරණි නෞකා අතරින් අප්‍රිකාවේ සිට දකුණු ආසියාව හරහා ඇමෙරිකා මහද්වීපය දක්වා ආසියානු පැසිපික් කලාපයේ ගිලීගොස් තිබිය දී සොයාගත් පැරණිතම යාත්‍රාව බව ලෝකයා විසින් පිළිගෙන තිබේ. ඒ අනුව මෙය අද්විතීය සොයාගැනීමකි.   


2017 සහ 2018 වර්ෂවල දී මෙම නෞකාව සම්බන්ධයෙන් යළි විධිමත් පරීක්ෂණ දියත් කෙරිණි. එහි ඇති වැදගත්කම හේතුවෙන් ම යුනෙස්කෝ ආසියා පැසිෆික් කාර්යාලය, නෙදර්ලන්තය හා ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයත් මේ කාර්යයට එක්ව සිටියහ. ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, මැලේසියාව ආදී රටවල මුහුදු පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ පර්​ෙ‌ය්ෂකයෝ ද මෙහි ගවේෂණ කටයුතු සඳහා එක්වූහ.   


ඒ පිළිබඳ මුහුදු පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා මෙසේ කීවේය. 

 
“මේ ගවේෂණයේ දී අපි අනුමාන කළ ඉතාමත් වැදගත් සොයා ගැනීමක් කරන්න හැකිවුණා. ඒ තමයි අපිට මේ ස්ථානයේ තිබී දැව කොටස් කිහිපයක් හමුවුණා. අදින් වසර 2000කට පෙර නැව් නිපදවූයේ දැව යොදා ගනිමින්. ඉතින් ‍අපට හමුවූ දැව කොටස් ඒ නැවේම කොටස් විය යුතුයි. ඊට අමතරව එතෙක් අපි ගල් බංකුවක් යැයි සිතා සිටි ශෛලමය නිෂ්පාදන එකම ප්‍රමාණයේ එකම විදිහේ ඒවා 10ක් පමණ හමුවුණා. ඒ විතරක් නෙවෙයි ඒවා අසලම තිබිලා අත්ගල් නැතිනම් දූ ගල් කියන ඇඹරීමට යොදාගන්නා කුඩා ගල් හමුවුණා. ඒ අනුව අපිට පැහැදිලියි අපි එතෙක් ගල් බංකු කියා සිතා සිටියත් ඒවා ගල් බංකුවක් නොවන බව. ඒවා ඇඹරුම් ගල්. මෙහි තිබෙන වැදගත්කම තමයි මේ ඇඹරුම් ගල් භාවිතා කළ ඒවා නොවෙයි. ඒ සියල්ල භාවිතා නොකළ අලු‍ත්ම ඒවා. මේ නැවේ ඇඹරුම්ගල් ප්‍රවාහනය කරලා තියෙනවා. මේවා වෙනත් රටක සිට ගොඩවායට ගෙන ආ ඒවා ද නැතිනම් ගොඩවායේ සිට ගෙනයාමට සූදානම් කළ ඒවා ද කියා තේරුම්ගත නොහැකියි. මේ ඇඹරුම් ගල්වල යම් සංකේත කිහිපයක් තිබෙනවා. ඇතැම් විට ඒවා නිෂ්පාදන සමාගමක ලාංඡනයක් විය හැකියි. කෙසේ වෙතත් මේ දේවල් ගැන නිශ්චිත නිගමනයකට එළැඹීමට නම් තවත් ගවේෂණ කළ යුතුයි.”   
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා මෙසේ කීවේය.   
“ගොඩවාය වරාය ආසන්නයේ ගිලී ගොස් තිබී හමුවූ මේ පැරණි නෞකාව අපේ රටේ විතරක් නෙවෙයි ලෝක ඉතිහාසයේ ම ඉතාමත් වැදගත් සොයාගැනීමක්. අදින් වසර 2000 කට පමණ පෙර රටවල් අතර ඉතාමත් විධිමත් ආකාරයෙන් වෙළෙඳ කටයුතු සිදුවූ බවටත් අයබදු අයකිරීම් වැනි නූතන රේගුවට සමාන කටයුතු පවා සිදුවූ බවට මේ වරායෙන් තිබෙන සෙල්ලිපි සාධකවලට මේ නැව විශාල සාක්ෂියක් සපයනවා. මෙහි තවදුරටත් පර්​ෙ‌ය්ෂණ කටයුතු සිදුවිය යුතුයි. එමඟින් මේ නැවේ ගෙනගිය අනිකුත් වෙළෙඳ භාණ්ඩ සහ නැවේ ඉදිකිරීම් තාක්ෂණය පවා සොයාගත හැකිවුවහොත් එය මානව ඉතිහාසයේ වැදගත් අනාවරණයක් වේවි. අපි මේ සම්බන්ධ පර්​ෙ‌ය්ෂණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් මධ්‍යම සංස්කෘතික අරමුදලත් එක්ව කරගෙන යාමට කටයුතු යොදා තිබෙනවා.” 

 

 

 

 

මෙම නෞකාවේ ගවේෂණ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථාන භාර නිලධාරී ඩබ්ලිව්.එම්. චන්ද්‍රරත්න සහ මුහුදු පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ යන මහත්වරු සමඟ රුක්ෂාන් ප්‍රියන්දන, සමීර කරුණාරත්න, අමල්ක විජේසූරිය, පාලිත වීරසිංහ, ඉන්දික හේවගේ, චමල් ගමගේ, මහින්ද කරුණාරත්න සහ දීපාලි ඒකනායක යන පර්​ෙ‌ය්ෂකයෝ සහභාගී වූහ. 

 
ඔවුන් පවසන්නේ යළි ඉතාමත් ඉක්මණින් මෙම නෞකාවේ පර්​ෙ‌ය්ෂණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටින බවයි. එම ක්ෂේත්‍රයේ මිනුම් කටයුතු සහ වාර්තා කිරීම් තවදුරටත් සිදුකරමින් පර්​ෙ‌ය්ෂණ කටයුතු තවත් පුළුල් කිරීම ඔවුන්ගේ අරමුණයි.   


මුහුදු පත්ලේ කුඩා ගොඩැල්ලක් ලෙස තැන්පත්ව ඇති මේ නෞකාවේ අවශේෂ තුළ සැඟවී අපූරු ඉතිහාසයක් ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ විශ්වාසයයි. ඔවුන් පවසන්නේ එය ගවේෂණයෙන් මානව ඉතිහාසයේ අනභිභවනීය තොරතුරු සමුදායක් ඉදිරියේ දී සොයාගත හැකිවන බවයි.   

 

 

 

 

සටහන සජීව විජේවීර   
ඡායාරූප - රසික මුතුකුමාරණ