වසර 33කට පෙර රට කැලඹූ “ඇලන් යුවළ” පැහැරගෙන යාම


 

යාපනය අර්ධද්වීපයේ පානීය ජල ව්‍යාපෘතියක සේවය කළ ඇමෙරිකානු ජාතික යුවළක් පැහැරගෙන යාම 1984 දී රට හෙල්ලූ සිද්ධියක් විය. ප්‍රයිෂර් ඇලන් නමැති ඇමෙරිකානු ජාතිකයාත් ඔහුගේ බිරිඳත් පැහැරගෙන යනු ලැබුවේ ඒ වනවිට උතුරේ ක්‍රියාත්මකව තිබූ දමිළ ත්‍රස්තවාදී කල්ලියක් විසිනි. ඇමෙරිකානු යුවළ සොයා පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායමේ සිටි එවකට පොලිස් පරීක්ෂකවරයකු වූ සේනක කුමාරසිංහ මහතාගේ මතකය ඇසුරින් මෙම ලිපිය ලියැවෙයි. සේනක කුමාරසිංහ මහතා පසුකාලීනව රාජකාරියෙන් විශ්‍රාම ලැබුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු වශයෙනි.


මෙයට වසර 33කට පමණ පෙර යාපනය අර්ධද්වීපයේ පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වූයේ ඇමෙරිකන් ආධාර ක්‍රමයක් යටතේය.


ඇමෙරිකන් සමාගමක් මෙම ජල ව්‍යාපෘතිය භාරව සිටි අතර ප්‍රයිෂර් ඇලන් මහතා එම සමාගමේ සේවය කරන ඉංජිනේරුවරයෙකි.
ප්‍රයිෂර් ඇලන් මහතා මෙරටට පැමිණියේ එම ජල ව්‍යාපෘතිය භාර ප්‍රධාන ඉංජිනේරුවරයා වශයෙනි. 


ඇලන් මහතා සමග ඔහුගේ බිරිඳ වන මේරි එලිසබෙත් ඇලන් මහත්මියද පැමිණියාය.


ඒ වනවිටත් ඔවුන් යුග දිවිගමන් අරඹා වසරකට වඩා ගතව තිබුණේද නැත. 


ඇලන් මහතා ඔහුගේ විවාහක බිරිඳ වූ එලිසබෙත් ද සමග යාපනය ගුරුනගර් ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටියේය.


ඇලන් යුවළගේ නිවසේ වැඩපල කිරීමට සේවකයෙක්ද සිට ඇත.


ඔහු පෙරුමාල් මානික්කම් නමැති වයෝවෘද්ධ අයෙකි.


ඇලන් මහතා ජල ව්‍යපෘතියේ වැඩ කටයුතු අධීක්ෂණය කිරීමට ගිය පසු නිවසේ සිටින්නේ ඇලන්ගේ බිරිඳ එළිසබෙත් සහ මානික්කම් නමැති සේවකයා පමණි.


දිනය-1984 මැයි මාසයේ 10 වැනිදාය.


වේලාව රාත්‍රි 9.00ට පමණය. 


අවි ආයුධවලින් සන්නද්ධ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ඇලන් යුවළ පදිංචිව සිටි ගුරුනගර් ප්‍රදේශයේ පිහිටි නිවසට කඩා වැදුණේ ඔවුන් රූපවාහිනිය නරඹා අවසන්වී නිදා ගැනීමට කාමරයට ගිය අවස්ථාවේය.


ඔවුන්ගේ සේවකයා වූ මානික්කම් ද ගෙදර සිටියේය.


අවි ගත් ත්‍රස්තවාදීන් කණ්ඩායම ඇලන් යුවළ පැහැරගෙන ගියේ ඔවුන්ටම අයත් කාර් රථයේ දමාගෙනය. ඇලන් මහතාගේ රූමත් බිරිඳ ඒවනවිට ඇඳ සිටිය් රාත්‍රී ඇඳුමකි.


ඇමෙරිකන් ජාතික ඉංජිනේරුවරයා සහ ඔහුගේ බිරිඳ ත්‍රස්තවාදී කණ්ඩායමක් පැහැරගෙන ගිය බවට මැයි මාසයේ 12 වැනිදා මෙරට පමණක් නොව විදෙස් මාධ්‍යවලින්ද ලොකු ප්‍රචාරයක් ලබාදීම නිසා එය ලොව කලඹන සිද්ධියක් බවට පත්වී තිබිණි.


මුළු ලෝකයේම අවධානය මේ සිද්ධිය පාදක කරගෙන ශ්‍රී ලංකාව කෙරෙහි යොමුවිය. 


ලෝකයේ මහ බලවතාව සිටි ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනකු ත්‍රස්තවාදීන් කණ්ඩායමක් විසින් පැහැරගෙන යාම නිසා එවකට පැවැති රජය බලවත් අසීරුතාවට පත්ව සිටියේය.


ඒ වනවිට රටේ ජනාධිපතිවරයාව සිටියේ ජේ. ආර්. ජයවර්ධන මහතාය.


ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස එවකට කටයුතු කළේ ජෝන් එස්. රීඞ් මහතාය.


එවකට ජනාධිපතිවරයාව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා ඇමෙරිකන් ජනාධිපති රොනල්ඞ් රේගන් මහතාට සිද්ධිය සම්බන්ධයෙන් බලවත් කනගාටුව ප්‍රකාශ කරමින් විශේෂ පණිවිඩයක් යවමින් සඳහන් කළේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඇලන් යුවළ නිරුපද්‍රිතව මුදා ගැනිමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා යැයි කියාය. 


යාපනය ගුරුනගර් ප්‍රදේශයේ රහස් පොලිසියේ විශේෂ ඒකකයක්ද ඒ කාලයේ ස්ථාපිත කර තිබූ අතර එම ඒකකයේ පොලිස් කණ්ඩායමක්ද මෙම පරීක්ෂණවලට සම්බන්ධවිය.


ඇලන් යුවළ පැහැරගෙන යාමේ පරීක්ෂණ සඳහා යොදවා තිබූ විශේෂ පොලිස් කණ්ඩායම පෙරුමාල් මානික්කම් නමැති සේවකයාගෙන්ද දීර්ඝ ලෙස සිද්ධියට අදාළව ප්‍රශ්න කිරීමේදී ඔහු මෙසේ ප්‍රකාශ කළේය.


“ඔය සිද්ධිය වෙච්ච දවසේ රෑ අටට විතර මුලින්ම තරුණ ගැටව් දෙන්නෙක් ඇලන් මහත්තයා හම්බවෙන්න ගෙදරට ආවා. ඔවුන් දෙන්නා ළඟ අවි ආයුධ තිබුණ මා දැක්කේ නැහැ. ඒ කොල්ලෝ දෙන්නා ඇලන් මහත්තයාගෙන් සල්ලි ඉල්ලනවා මට ඇසුණා. ඇලන් මහත්තයා මගේ ළඟ සල්ලි නැහැ කිව්වාම ඔවුන් යන්න ගියා. ඊට පස්සේ ටී. වී. බලලා ඉවර වෙලා මහත්තයයි නෝනයි නිදාගන්න ඒ ගොල්ලන්ගේ කාමරයට ගිහින් දොර වසා ගත්තා. මාත් නිදා ගන්න මට වෙන් කරල තියන කාමරයට ගියා. 
ඇලන් යුවළ පැහැරගත් දිනට පසුදින එනම් මැයි මස 11 වැනිදා යාපනය දිසාපති කාර්යාලයට පැමිණි අයෙක් එහි නිලධාරියකු ගේ අතට ලියුමක් පත්කර එක්වරම අතුරුදන්ව ඇත.


ඒ ලියුම යොමුකර තිබුණේ යාපනය දිසාපතිවරයාගේ නමටය.


ලියුම ලියා තිබුණේ එන්කල් විඩු තලෙයි පඩෙයි යනුවෙන් සඳහන් සංවිධානයක් විසිනි.


මෙහි සිංහල තේරුම් මහජන විමුක්ති හමුදාව යන්නය.


පැහැරගත් ඇලන් යුවළ බෝට්ටුවකින් මුහුදු මාර්ග ඔස්සේ තමිල්නාඩු ප්‍රාන්තයට රැගෙන ගොස් එහි තිබෙන කඳවුරක රඳවා තබා ඇති බවත් ඔවුන් දෙපොළ මුදා හැරීමට නම් රිමාන්ඞ් භාරයේ පසුවන සිංහරායර් පූජකවරයා සහ නිර්මලා නිත්‍යානන්දන් නමැත්තියද මඩකළපුව එරාවුර් කැලෑවක සෝදිසි මෙහෙයුමක් සිදුකර අල්ලාගෙන රිමාන්ඞ් භාරයට පත්කර සිටි ත්‍රස්තවාදින් 18 දෙනාත් මුදාහැරිය යුතු බවට දිසාපතිවරයා මගින් රජයට භාරදී තිබූ එම ලිපියේ සඳහන්ව තිබිණි.


ඊට අමතරව රුපියල් කෝටි පහක් වටිනා රත්තරන් තොගයක් කප්පම් වශයෙන් තම සංවිධානයට ලබාදිය යුතු බවත් එම රත්තරන් තොගය තමිල්නාඩු ප්‍රාන්තයේදී ඔවුන්ගේ සංවිධානයේ නියෝජිතයකුට භාරදීමට රජය පියවර ගත යුතු බවත් ඒ ලිපියේ සඳහන්කර තිබී ඇත.


රත්තරන් තොගය කප්පම් වශයෙන් ලබාදීමෙන් පසු විදේශයකදී ඇලන් යුවළ මුදාහරින බවත් ලිපිය ලැබී පැය 72ක් ඇතුළත ත්‍රස්තවාදී සැකකරුවන් මුදාහැර රත්තරන් තොගය කප්පම් වශයෙන් ලබාදිමට කටයුතු නොකළහොත් ඇලන් යුවළ වෙඩි තබා ඝාතනය කරන බවට එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි. 


ආණ්ඩුව වඩාත් තිගැස්සුණේ පැහැරගෙන ගොස් ප්‍රාණ ඇපයට තබාගෙන සිටින ඇලන් යුවළ ඝාතනය කරන බවට එම ලිපිය මගින් තර්ජනය කිරීම නිසාය.


එවකට පොලිස්පතිවරයාව සිටි රුද්‍රා රාජසිංහම් මහතා රහස් පොලිස් කණ්ඩායමක් සහ බුද්ධි අංශ නිලධාරින් කණ්ඩායම් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් පහක් පමණ සමග ගුවන් මගින් යාපනයට පැමිණියේ පැහැරගත් ඇලන් යුවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා කඩිනමින් ඔවුන් සොයා ගැනීමේ අරමුණින්ය.


පැහැරගත් ඇලන් යුවළ සෙවීමේ මෙහෙයුම් සඳහා කොළඹ සිට ගුවනින් යාපනය ගුරුනගර් හමුදා කඳවුර වෙත යුද හමුදා කමාන්ඩෝ බළකායේ අණදෙන නිලධාරි වරයෙක්ව සිටි සුනිල් පීරිස් මහතාගේ නායකත්වයෙන් යුතු භට කණ්ඩායමක්ද පැමිණ තිබිණි.


උතුරේ එවකට අණදෙන නිලධාරිවරයාව සිටියේ බි්‍රගේඩියර් නලින් සෙනවිරත්න මහතාය. 


නිදාගෙන ඉද්දි ශබ්ද වගයක් ඇසී මා අවදිවී ඒ ගැන විපරම් කර බැලුවා. එතකොට දැක්කා කොල්ලෝ හත් අට දෙනෙක් ගේට්ටුව උඩින් පැනලා ගෙවත්තට ඇතුළු වෙනවා. ඔවුන් සියලුදෙනාගේම අතේ අවි ආයුධ තිබුණා. ඔවුන් ගෙදර දොර කඩාගෙන ඇතුල් වෙන්න උත්සාහ කළත් ඒක බැරිව ගියා. ඊට පස්සේ හතර දෙනෙක් තාප්පයට ගොඩවෙනවා දුටුවා. ඒ හතර දෙනා වහලයට ගොඩවෙලා පස්සේ ගේ ඇතුළට පැන ගත්තා. ඔවුන් හතර දෙනා මහත්තයයි නෝනයි නිදාගෙන හිටිය කාමරයේ දොරට පයින් ගසන්නට පටන් ගත්තා. දොරට පයින් ගසා කඩාගෙන කාමරයට ඇතුළුවුණා.


දොර කඩා කාමරයට ඇතුළුවූ හතර දෙනා ඇලන් මහත්තයාව එළියට අරගෙන ආවා. ඇලන් මහත්තයා තුවායක් ඇඳගෙන හිටියා. නෝනාත් මහත්තයා පස්සෙන් එළියට ආවා. නෝනා නයිටියක් ඇඳගෙන හිටියේ. එක් කොල්ලෙක් ඇලන් මහත්තයා ගේ කන ළඟට පිස්තෝලයක් තියලා කෑගහන්න එපා කියා කිව්වා. එතකොට තව කොල්ලෙක් ඇලන් මහත්තයාගේ කට ප්ලාස්ටර්වලින් ඇලෙව්වා. මම හොඳටම බයවුණා අපි තුන් දෙනා මරා දමයි කියා.


නෝනත් හොඳටම බයවෙලා හිටියේ. මගේ මහත්තයාට කරදරයක් කරන්න එපා කියා ඇය බැගෑපත් වුණා. කෑගහන්න එපා කියා එක් කොල්ලෙක් නෝනාටත් තර්ජනය කළා. ඇලන් මහත්තයාව ගේ ඉස්සරහට අරගෙන ගියා. මහත්තයාට එයාගේම කාර් එකට නගින්න කියා ඔවුන් අණ කළා. මහත්තයා ඒ අණට කීකරු වෙමින් කාර් එකට නැග්ගා. නෝනත් පස්සෙන් ආවා. නෝනාත් ඒ කාර් එකට ගොඩවුණා. මට එළිවෙනකම් ගෙයින් එළියට බහින්න එපා කියා තර්ජනය කරලා ඒ කට්ටිය මහත්තයයි නෝනයි අරගෙන යන්න ගියා. මම උන් ආයෙත් ඇවිත් මාව මරා දමාවි කියා බයට ගේ ඇතුළට වෙලා එළිවෙනකම් හිටියා.


මම උදේම ඇලන් මහත්තයාගේ යහළුවෙක් මුණ ගැහෙන්න ගිහින් සිද්ධිය ඒ මහත්තයාට කිව්වා. ඇලන් මහත්තයයි නෝනයි පැහැර ගෙන ගිය කට්ටියව මා හඳුන්නේ නැහැ. ඔවුන් දිග කලිසම් හා කමිස හැඳගෙන තොප්පි දමාගෙන සිටියා. ඔවුන් සියලු දෙනා උඩු රැවුල වවා තිබුණ තරුණයින් බව මම දැක්කා. 


වසර 32ක පමණ කාලයක් රහස් පොලිසියේ රාජකාරිකර මේ වනවිට විශ්‍රාම ලබා සිටින සහකාර පොලිස් අධිකාරි සේනක කුමාරසිංහ මහතා වසර ගණනාවක්ම රහස් පොලිසියේ ත්‍රස්තවාදී විමර්ශන ඒකකය බාරවද ක්‍රියාකර ඇති අත්දැකීම් බහුල දක්ෂ නිලධාරියෙකි.


ඇලන් යුවළ ත්‍රස්තවාදි කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ප්‍රාණ ඇපයට තබාගෙන ඔවුන් දෙන්නා මුදා හැරීමට රත්තරන් කප්පමට අමතරව ත්‍රස්තවාදි සැකකරුවන් පිරිසක් මුදාහැරිය යුතු බවට රජයට දැනුම්දී තිබුණා. මඩකළපුව ප්‍රදේශයේ කැලෑවකින් ත්‍රස්තවාදින් 18 දෙනෙක් අල්ලා රිමාන්ඞ් භාරයට පත්කර තිබුණ. ඒ ත්‍රස්තවාදින් 18 දෙනා අල්ලාගෙන තිබුණේ ඒ පළාතේ පොලිසියකින්. සිංගරායර් කියන පියතුමෙකු හා නිර්මලා නිත්‍යානන්දන් කියන කාන්තාවක් රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබුණා. ඇලන් යුවළ මුදා හැරීමට මේ දෙන්නාත් නිදහස් කළ යුතු බවට ත්‍රස්තවාදින් ඉල්ලීමක් කර තිබුණා. 


1982 වසරේදී චාවකච්චේරිය පොලිසියට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර පොලිසියේ කිහිප දෙනෙක්ම ඝාතනය කළා. මේ ප්‍රහාරය එල්ල කිරීමට ශීලන් කියා ත්‍රස්තනායකයෙක් ඇතුළු කණ්ඩායමක් පැමිණියා. ප්‍රහාරයෙන් දිවි ගලවාගත් එක් පොලිස් කොස්තාපල්වරයෙක් වැසිකිළියේ හැංඟිලා ඉඳලා ත්‍රස්තනායක ශීලන්ට වෙඩි තිබ්බා. මේ වෙඩි ප්‍රහාරයෙන් ශීලන්ට බරපතළ තුවාල සිදුවුණා. තුවාල වෙච්ච ශීලන් පොලිසියට ප්‍රහාරයක් එල්ල කරන්න ආපු ත්‍රස්තවාදින් කණ්ඩායම අරගෙන ගිහින් භාරදී තිබුණේ සිංහරායර් හා නිර්මලා නිත්‍යානන්දන් කියන යුවළටයි. ඒ දෙන්නා රහසිගතව ශීලන්ව සඟවා තබාගෙන දොස්තර කෙනෙක් වන ජයකුලරාජා ගෙන්වාගෙන ප්‍රතිකාර කර තිබෙනවා.


ඒ වගේම 1983 වසරේ දී ත්‍රස්තවාදින් කණ්ඩායමක් යාපනය නීර්වේලි බැංකුව කොල්ලකා ලක්ෂ 18ක මුදලක් පැහැර ගෙන ගියා. බැංකුව කොල්ලකෑ මුදලින් කොටසක් පියතුමා හා නිර්මලා පරිහරණය කර තිබෙන බවත් අප කළ පරීක්ෂණවලින් හෙළිවුණා. ඒ කාලයේ මම උප පොලිස් පරීක්ෂකවරයෙක්. රාජකාරි කළේ රහස් පොලිසියෙ යාපනය ගුරුනගර් ඒකකයේ.


මෙන්න මේ කියන සිද්ධින් දෙක සම්බන්ධයෙන් රහස් පොලිසියෙන් සිංහරායර් පියතුමා සහ නිර්මලා නිත්‍යානන්දන් නමැත්තියත් අත්අඩංගුවට ගත්තා. මේ දෙන්නාම මුදා ගැනීමටත් ත්‍රස්තවාදින්ට ලොකු වුවමනාවක් තිබුණා යැයි විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයා පවසයි.


ඇලන් යුවළ පැහැරගෙන යාමට යොදාගත් ඔවුන්ටම අයත් කාර් රථය රහස් පොලිසිය සොයාගෙන තිබුණේ යාපනය කීරමලේ මුහුදු වෙරළේ අතහැර දමාගොස් තිබියදීය. 


එහෙත් බුද්ධි අංශ නිලධාරින් ප්‍රකාශ කර තිබුණේ ඇලන් යුවළ බෝට්ටුවක පටවාගෙන තමිල්නාඩුවට ගෙන ගිය බවට හඟවා පරීක්ෂණ කටයුතු නොමග යැවීමට ත්‍රස්තවාදීන් යෙදූ උපක්‍රමයක් බව යැයි කියාය.


ඒ නිසා ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඇලන් යුවළ සොයා දිගටම මෙහෙයුම් කරගෙන ගියා. යාපනය අර්ධද්වීපයේ පිහිටි නයිනතිව්, කයිට්ස්, ඩෙල්ෆ්ට්, මණ්ඩතිව්, ඉරණතිව්, පුන්කගුඩුතිව්, අනලතිව් හා කාරතිව් වගේ දූපත් 13ක් සෝදිසි කළා. නමුත් ඇලන් යුවළ ඒ දූපත්වල ඉඳලා සොයා ගැනීමට නොහැකිවූ බව විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි සේනක කුමාරසිංහ මහතා කීය. 


කෙසේ වෙතත් අවසානයේ පැහැරගෙන ගොස් තිබූ ඇලන් යුවළ යාපනය ගුරුනගර් ප්‍රදේශයේදීම මුදාහැර තිබුණේ ඔවුන් පැහැර ගෙන ගිය කල්ලිය විසින්මය.


ඇමෙරිකාව ඇතුළු බලගතු රටවලින් දිගින් දිගටම එල්ලවූ දැඩි බලඵෑම් හමුවේ ඇලන් යුවළ නිදහස් කිරීමට බලපා ඇති බව පසුව දැන ගැනීමට ලැබී ඇත. 


විදේශීය යුවළක් කප්පම් ලබා ගැනීමේ අරමුණින් පැහැර ගෙනගොස් ප්‍රාණ ඇපයට තබා ගැනීමේ පළමු සිද්ධිය වශයෙන් මෙය මෙරට ඉතිහාසයට එක්වූ බවද විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි කුමාරසිංහ මහතා පෙන්වා දෙයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය