වසර 152කට පෙර අරඹා ලෝකයම හෙල්ලූ ඉන්දියාවේ “ටාටා” සමාගමේ කතාව


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

 

ඉන්දියානු කර්මාන්ත ක්ෂේත්‍රයේ අග රජු ලෙස හැඳින්වෙන ‘‘ජම්සෙට්ජි ටාටා’’ හෙවත් ‘‘ටාටා’’ සමාගමේ කතාව.  ජිම්සෙත්ජි හෙවත් ජම්සෙජී නොහොත් සිංහල අපට හුරු උච්චාරණයට අනුව ජම්සෙට්ජි ටාටා උපන්නේ 1839 මාර්තු 3 වැනිදා ඉන්දියාවේ ගුජරාටි හිදීය. වයස අවුරුදු 30 සපිරීමට පෙර ඔහු සේවය කළේ පියාට අයත් සමාගමේය. ඒත් මේ කියන ජම්සෙට්ජි ටාටාගේ පරපුර පැවැත එන්නේ ඉන්දියාවෙන් නම් නොවෙයි.  

එකල ඉරානයේ සිට ඉන්දියාවට සංක්‍රමණය වූ පර්සියානුවන් හෙවත් පාර්සි ජාතික සුළුතර කණ්ඩායමකට මේ පරපුර අයත් වූහ. ගෞරවනීය පැළැන්තියකට අයත්ව ජම්සෙට්ජි ඉන්දියාවේදී උපන්නද ඔහුගේ පියා හැර පරපුරේ අනෙකුත් අය අයත් වූයේ ධනවත් පවුල් සංස්ථාවකට නොවීය. පාර්සි ජාතික පූජකවරුන්ට අයත්ව ඔවුනගේ පිරිමි පාර්ශ්වය කටයුතු කර තිබේ. මේ අයගේ සුල මුල සොයා යාමේදී පෙනී යන්නේ ඒ සම්ප්‍රදාය බිඳ දමමින්, ව්‍යාපාරික ක්ෂේත්‍රයට පිවිසියේ ජම්සෙට්ජි ටාටා​ ගේ පියා වූ නුසෙර්වන්ජි බවය.   
එකල ඔහු බොම්බේ හිදී (වත්මනෙහි මුම්බායි) අපනයන අංශයේ වෙළඳ සමාගමක් පවත්වාගෙන ගියේය. ජම්සෙට්ජි කුඩා කල සිට විධිමත් අධ්‍යාපනයක් ලැබීමට භාග්‍ය උදාකර ගත්තේය. අංක ගණිතයට ජම්සෙට්ජි දක්‍ෂ බව ඔහුගේ මව්පියන් විසින් හඳුනාගෙන තිබිණි. ඒ අනුව හොඳ අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් ඔහුව බොම්බෙ වෙත යැවීමට ඔව්හු තීරණය කළෝය. බොම්බෙ හෙවත් මුම්බායිහි එල්ෆින්ස්ටන් විදුහලට ඇතුළත් වන විට ඔහුගේ වයස අවුරුදු 14ක් විය. උපාධිය සඳහා හොඳින් අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටි ජම්සෙට්ජි ටාටා, උපාධිය ලබා පිට වූයේ විවාහයක්ද සිදු කර ගනිමිනි. කෙටියෙන්ම කිව්වොත් රස්සාවට කලින් පරස්ථාවක් කර ගෙන සිටියේය. හිරාබායි ද‌ාබු ඔහුගේ බිරිඳ වූවාය.   
ස්වකීය තාරුණ්‍යයේදී පිටස්තර තැනෙක රස්සාවක් නොකොට, තම පියාගේ ආයතනයේම රැකියාවක් ඔහුට ලැබී තිබිණි. පියා එතරම් දුරට උසස් අධ්‍යාපනයක් ​නොලබා සිටියත් දැනුම ප්‍රායෝගික කළ චරිතයක් විය. පුතු හට යමක් කළ හැකිය යන්න ඔහු නිතර විශ්වාස කළ දෙයක් විය. ජම්සෙට්ජි විවාහයකුත් කර ගෙන සිටි නිසා, ඔහුගේ මනස සෑදී තිබුණේද ව්‍යාපාරික කටයුතු ගැන සිතීමටම පමණකි.   


අප මේ කතා කරන්නේ ‘‘ටාටා’’ සමාගම් ජාලය ගැනය. මේ සමාගම් ජාලය මැවූ අරුම-පුදුම ඉන්ද්‍රජාලිකයා ජම්සෙට්ජිගේ පියා වුවද, ඉන්දියාවේ පමණක් නොවී, මුළු ලෝකයේම තියෙන ධනවත්ම ආර්ථිකයකට හිමිකම් කියන සමාගමක් ලෙස මෙම ‘‘ටාටා’’ සමාගම් ජාලය ලොව පුරා ව්‍යාප්ත කළ මහා චරිතය වන්නේ මේ කියන ජම්සෙට්ජි ටාටා ය. ‘‘ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි’’ විශේෂාංගය අද රස ගැන්වෙන්නේ ‘‘ටාටා’’ සමාගම් ජාලයේ කතාව වෙනුවෙනි.   


‘‘ටාටා’’ වයස අවුරුදු 20 දී ලෝකය වටේ ගමනක්


අවුරුදු 20 වෙද්දී උපාධියක්ද ලබා, විවාහයකුත් කරගෙන සිටි ජම්සෙට්ජි හට ලෝකය වටේ යාමේ අපූරු අවස්ථාවක් උදා වුණි. තම පියාගේ ව්‍යාපාරයේ අපනයන වෙළෙඳ කටයුතු වෙනුවෙන් ජපානය, යුරෝපය, ඇමරිකාව සහ චීනය ඇතුළු ප්‍රබල රටවල සංචාරය කරමින් බොහෝ අත්දැකීම් ලද්දේය. එම රටවලදී තම පියාගේ සමාගමේ ශාඛා පිහිටුවීමටද ඔහු පුරෝගාමී වූවේය. මෙහිදී ජම්සෙට්ජි වඩා ප්‍රිය කළේ චීනයේ සංචාරය කිරීමට යැයි සඳහන් වේ. 

 
ඊට හේතුව වූයේ අබිං වෙළෙඳාම කෙරෙහි විස්තර දැන ගැනීමට උත්සුක වූ නිසාය. චීනයට ගියේ එකී කටයුත්ත උදෙසා වුවද, රෙදිපිළි නිෂ්පාදනය (කපු) පිළිබඳව ඔහුට වඩා ඇල්මක් ඇතිවූයේ එයින් විශාල ලෙස ලාභ ඉපයීමට හැකි බව සිතූණු නිසාය. අත් හළ නොහැකි වූ පුරුද්දකට ‘‘අබිං’’ කෑවා වගේ යැයි කියමනක් තිබේ. අන්තිමට ‘‘අබිං’’ ගැන දැන ගැනීමේ පිපාසයෙන් චීනයට ගිය ජම්සෙට්ජි ටාටා, හට අත් නොහැර සිටීමේ දෙයක් ඇතිවිණි. එනම් ‘‘කපු’’ රෙදි නිෂ්පාදන - ක්‍රියාවලිය කෙරෙහි තදින්ම ‘‘සිත’’ බැඳී තිබීමය. මෙය කෙතරම් දුරට බැඳී තිබුණේද යත් ඔහු, ඔහුගේ ව්‍යාපාර ජාලයේදී වඩාත් ආයෝජනය කර ඇත්තේ පෙහෙකම්හල් (කපු මෝල්) ඇරඹීම වෙනුවෙනි. 

 
සාමාන්‍ය වෙළෙඳ ආයතනයකින් පටන් ගෙන වයස 29දී ටාටා සමූහයට අවතීර්ණ වීම


පියාගේ ව්‍යාපාර අංශයේ කටයුතු කරමින් සිටි ‘‘ටාටා’’ වයස අවුරුදු 29දී, එනම් 1868 දී (අදින් වසර 152කට පමණ පෙරදී) ‘‘ටාටා’’ සමාගම ස්ථාපිත කර වූයේ විවිධ ව්‍යාපාර වලට අයත් සමාගමක් ලෙසිනි. ව්‍යාපාර එකක්වත් කර ගැනීමට තරම් ධෛර්යයක් නොමැතිවූ මිනිසුන් අතරේ ‘‘ජම්සෙට්ජි ටාටා’’ ඒ ගමන ඇරඹියේ සාමාන්‍ය වෙ​ෙළඳ සමාගමක් ලෙසය. පසුව එය සමූහයක් කිරීම විශේෂිත වූ දෙයකි.   


එදා ඔහු ඒ ගමනට මුලපුරා ඇත්තේ, පවුම් 21,000ක පමණ ප්‍රාග් ධනයකිනි. එය අදට සසඳා බැලුවොත්, වටිනාකම (අද) මිලියන 54ක් පමණ වේ. 1869 දී බංකොළොත් වූ තෙල් කම්හලක් මිලදී ගත් ‘‘ටාටා’’ එය ඔහු වඩාත් ප්‍රිය කළ කපු රෙදි මෝලක් බවට පරිවර්තනය කිරීමට සමත් විණි. ඔහු එය නම් කළේ ඇලෙක්සැන්ඩ්‍රා මිල්ස් නමිනි.   
කෙසේ වෙතත් ලාභ ලබා ගැනීමේ අරමුණ ඇතිව ඔහු දෙවසරකට පසු එම කම්හල විකුණා දැමීය. නිතර නිතර අලුත් දේ කෙරෙහි අනුගතවීමේ පිපාසාවෙන් පෙළුණ ඔහු නාග්පූර්හිදි ඇඟලුම් නිෂ්පාදිත ආයතනයක් ස්ථාපිත කළේය. එමෙන්ම අභියෝග ජයගන්නා හැටිද ඔහු හොඳින් දැන සිටියේය. එසේ විණිද, ‘‘බොම්බෙට ඇවිත් මේ මනුස්සයා බොම්බෙට ගැළපෙන දේ නොකර මේ මොනවද කරන්නේ’’ යැයි කියා ඔහු වටා සිටි සමහරුන් ඔහුට බැණ වැදුණි. තම දරුවන් ගැන හොඳින් හඳුනන්නේ මව්පියන් මෙන්, තම ව්‍යාපාරය සහ කරන්නේ මොකක්ද යන්න දැන සිටි නිසා ජම්සෙට්ජි ඒ කිසිවකින් සසල වූයේ නැත.   


තවත් සමාගමක් පිහිටුවීමට ඒ වන විට නොදියුණු නගරයක්ව තිබූ නාග්පූර් වෙත ඔහු ගියේ ඇයිද? යන්න ජනතාවට ප්‍රශ්නයක් වුවද, ‘‘ටාටා’’ හට එය ප්‍රශ්නයක් නොවුණි. ඔහු නාග්පූර් වෙත ගොස් ව්‍යාපාරයක් දියත් කිරීම වඩාත් සාර්ථක විණි. 1877 වෙද්දී එම්ප්‍රෙස් මිල්ස් නමින් තවත් විශාල කම්හලක් ඇරඹීම ඒ සමගම සිදුවිය. මෙලෙසින් කටයුතු කරමින් ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ ඵල සහිත ගමනක එමින් සිටි ‘‘ටාටා’’ හට ඉලක්ක 4ක් තිබිණි.   


ඉලක්ක සතර සපුරා ගැනීමට කටයුතු කිරීම


එම අභිප්‍රායයන් වූයේ යකඩ හා වානේ සමාගමක් ඇරඹීම, ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන ආයතනයක් ඇරඹීම, ඉතා විශිෂ්ට නිමාවකින් යුතු සංචාරක හෝටලයක් ඇරඹීම, සහ ජල විදුලි බලාගාරයක් පිහිටු වීමය. මෙලෙසින් ගමනක් යමින් සිටි මේ මිනිසා ගැන භාරතයේ ජවහර්ලාල් නේරු තුමාගේ සිට බොහෝ විද්වතුන් මෙන්ම ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ හසළ අත්දැකීම් තිබූ මිනිස්සු මහත් වර්ණනාවෙන් කතා බහ කරන්නට පටන් ගත්හ.   


බ්‍රිතාන්‍ය කිරීටයට නතුව තිබූ යුගයක ටාටාගේ ව්‍යවසායකත්ව ගමන හැඳින්වූයේ වහල්භාවයේ දම්වැල් වලින් මිදී-ලිහී, නිදහස උදා කර ගැනීම වෙනුවෙන් යන වේගවත් ගමනක් ලෙසය. අනෙක් බොහෝ දෙනා ජීවත් වූයේ ශක්තිමත් නොවූ ජීවිතය ශක්තිමත් කර ගැනීම උදෙසා වුවද, ජම්සෙට්ජි ටාටාගේ දර්ශනය එය නොවීය. එවකට දරිද්‍රතාවයෙන් වෙළී සිටි කාන්තාවන් බොහෝමයකට ඔහුගේ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය සඳහා අවස්ථා විවර කර දුන්නේය. ඒ හැර අනෙකුත් කර්මාන්තශාලා සියල්ලෙහි සේවය කළ සේවක සේවිකාවන් වෙනුවෙන් අර්ථසාධක අරමුදල් මෙන්ම, නොමිලේ වෛද්‍ය පහසුකම් ආදි සියල්ල ලබා දීමට කටයුතු කළේය. එවකට එවැනි දේ ඉන්දියානු කර්මාන්තශාලා ක්ෂේත්‍රයටද අලුත් දේ විය.   


අනාගතය ගැන කෙතරම් නම් යහපත් දැක්මකින් ඔහු කටයුතු කළේද යත්, වත්මනෙහි අප අත් විඳින රක්‍ෂණාවරණ ආදි දේ පවා එදා ඔහු සේවක පිරිස් වෙත, එනම් හදිසි අනතුරකදී, ලබාදිය යුතු මුදල් පවා වෙන්කර තිබිණි. මේ ජම්සෙට්ජි ටාටා යනු තනිවම ව්‍යාපාර ක්ෂේත්‍රයේ නැගී ආ චරිතයක් නොවීය. ඔහුගේ දර්ශනය වී තිබුණේ සමස්ත ඉන්දියානු සමාජය සමග නැගී සිටීමටය. ඔහු දුටු චතුර්විධ චින්තන දහරාවේ සුවිශේෂී ඵලය ලෙස 1909 දී පිහිටුවීමට හැකි වූ අධ්‍යාපන ආයතනය සඳහන් කළ හැකිය. විශ්වසනීය නායකත්වය යන සංකල්පය නිසා ටාටා සමාගම් සමූහය වටා බැඳි සේවය කළ පිරිස අප්‍රතිහත ධෛර්යෙන් යුතුව කටයුතු කළ නිසා, එයින් ලැබුණේ වඩාත් ඵලදායිතාවකි.   
කෙසේ වුවද සමහර ව්‍යාපාරික ව්‍යාපෘති දියත් කිරීමේදී ‘‘ටාටා’’ අසාර්ථක නොවූවාද නොවේ. වැසීගෙන යන කර්මාන්තශාලා ඉතාම සාධාරණ ලෙස මිලදී ගෙන ඒවා නගා සිටවූයේ ඒවායෙහි සේවය කළ පිරිස් සමගය.   


ස්වදේශිකවාදයේ ප්‍රබල චරිතයක් වී ඊට නායකත්වය දුන් ‘‘ටාටා’’ ස්වදේශීයව කර්මාන්තශාලා පිහිටුවීමට නායකත්වය දුන් චරිතය ලෙසට හැඳින්වීම යෝග්‍යය. ආනයනික භාණ්ඩ වර්ජනය කිරීම වෙනුවෙන් විටෙක ස්වදේශීය චින්තනය පදනම් වූ දේශපාලන ව්‍යාපෘතියටද සක්‍රීයව දායකත්වය ලබා දුන්නේ භාරත මාතාවට අන් සියල්ල පරදා නැගී සිටිය හැකිය යන වග සනාථ කිරීම වෙනුවෙනි.   


ඉන්දියාවේදී ‘‘කපු’’ වගාව මෙන්ම එකී කර්මාන්තය වටා බැඳී තිබුණු දාමය නගා සිටුවීමට මෙන්ම වැඩි දියුණු කිරීමට ඔහු ගනු ලැබුවේ පුරෝගාමී වූ නායතක්වයකි. හිරාබායි ද‌ාබු සමග විවාහ වී සිටි ජම්සෙට්ජි ටාටා, හට පුතුන් දෙදෙනෙකි. දොරා බ්ජි ටාටා සහ රතන්ජි ටාටා යනු ඔහුගේ පුතණුවෝ වෙති.   


‘‘ටාටා’’ වානේ සමාගම (ආසියාවේ පළමු වානේ සමාගම)  


සතරවිධ ඉලක්කයක් ඔස්සේ ගමන් කරමින් සිටි ‘‘ටාටා’’ හට ඉන්දියාවේ විශාලතම මෙන්ම ආසියාවේ පළමු වානේ කර්මාන්තශාලාව ස්ථාපිත කිරීමට මෙයින් වසර 113කට පෙරදි ජම්සෙට්ජි හට හැකිවිය. බටහිර බෙංගාලයේ මෙය ආරම්භ කිරීමට හැකිවීමත් සමග කල්කටාවට ගෙන දුන්නේ විශාල ගෞරවයකි.   


රටවල් විසි ගණනක ටාටා වානේ ව්‍යාප්ත වී ඇති අතර ලක්‍ෂයට ආසන්න සේවක සංඛ්‍යාවකගෙන් සමන්විතය. පසුව එය ටාටා වානේ එක්සත් රාජධානියේ සමාගම වූ කෝරස් සමූහය සතු විණි.   


ටජ් මහලට නොදෙවෙනි වූ ටජ් මහල් පැලස් තරු හෝටලය


මහාරාශ්ට්‍ර ප්‍රාන්තයට අයත් බොම්බෙ හෙවත් මුම්බායි හිදී 1903 දී මෙම අපූරු හෝටලය නිර්මාණය කරවීමට ජම්සෙට්ජි ටාටා නායකත්වය දුන්නේය. ලොව ප්‍රකට ටජ් මහල ගැන කාටවත් අමුතුවෙන් විස්තර කළයුතු නොවේ. සහතික වශයෙන්ම මෙම ටජ් මහල් මන්දිරය යනු ටජ් මහල් ප්‍රාසාදය තරමටම විශිෂ්ටවූ නිර්මාණයකි. ඉන්දියාවේ සංචාරක ක්ෂේත්‍රයට දායාද වූ මහාර්ඝ වස්තුවක් ලෙස මෙය නම් කළ හැකිය. ඉන්දියාවේ සංචාරක හෝටල ක්ෂේත්‍රයට නව ඉරක් උදාකළ ඇරඹුම මෙයම බව කිව හැකි වේ. 2008 දී සිදුවූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය ඔබට මතක ඇති?   


එසේ මතක නම්? එදා ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූයේ මෙම අගනා සුපිරි හෝටල මන්දිරයයි. ‘‘ටජ්’’ ලෙස කෙටියෙන් හඳුන්වන මෙම හෝටලය වඩා ප්‍රකටව ඇත්තේ ගෘහනිර්මාණ ශිල්පයේ පෙරාගත් පෞරාණික රසය සහ රිද්මය මෙන්ම ගාම්භීරත්වය ඇතිව නිර්මාණය කර තිබීම නිසාය. විශ්වාස කරන්න, මෙය සුපිරි කාමර 550කින් සමන්විත වන අතර, රාජකීය සහ ප්‍රභූ අමුත්තන් සඳහා කාමර 45ක් පමණ වෙන්ව තිබේ. එදා සිට මෙම හෝටලයට ආ ගිය පිරිස එසේ-මෙසේ අය නම් නොවීය.   


පාකිස්ථානය නිර්මාණය කළ නිර්මාතෘවරයා වන මොහොමඩ් අලි ජින්නා මෙන්ම දේශපාලන - සිනමා සහ වෙනත් ක්ෂේත්‍රවල ලෝ ප්‍රකට චරිත ඒ අතර වූහ. එකල මොහොමඩ් අලි ජින්නාගේ දෙවැනි බිරිඳ වූ රාතන්බායි පෙටී ජීවත්ව සිටියේ මෙම හෝටලයේ බව සඳහන් වෙයි. වයස අවුරුදු 29 දී පිළිකාවකට ගොදුරු වී ඇය මියගිය අතර, මියයන තෙක් මෙහි වාසය කළාය. තවත් අය උපත ලබා ඇත්තේ මේ හෝටල් පරිශ්‍රයේදීය. පළමු ලෝක යුද සමයේදී නම් මෙය හමුදාවට වෙන්ව තිබූ අතර, හමුදාවේ 600 දෙනා හට නවාතැන් පහසුකම් සපයා දී තිබේ. වත්මනෙහි මෙම සංචාරක හෝටලය යනු මුම්බායිහි සලකුණකට එහා ගිය උරුමයකි.   


මෙලෙසින් ජම්සෙට්ජි ටාටා ගෙවා ඇත්තේ අරුත්බර මෙන්ම හැඩකාර ජීවන රිද්මයකි. 1904 වසරේදී මුළු මහත් ඉන්දියාව කම්පාවට පත් කරවමින්, විශේෂයෙන්ම ඉන්දියානු සමස්ත ව්‍යාපාරික ප්‍රජාව කම්පාවට පත් කරවමින් පුරාවෘත්තයක් වූ ජම්සෙට්ජි ටාටා ස්වකීය ජීවිත ගමනට සඳහටම සමු දුන්නේය. හැබැයි ඒ භාරත දේශයේදී නම් නොවුණි. ව්‍යාපාරික කටයුත්තක් සඳහා ජර්මනියේ සංචාරයක යෙදෙමින් සිටියදීය. එහිදි දැඩි ලෙස රෝගී තත්ත්වයට පත්වූයේ 1900 වසරේදීය. ඉදින් වසර 4ක් ජර්මනියේ රැඳී සිටි අතර බෑඩ් නවහයිම් නගරයේදී සදහටම නෙත් පියා ගත්තේය. පර්සියානු සම්භවයකින් පැවත එමින්, මහා භාරතයේ නොමැකෙන සලකුණක් වූ ජම්සෙට්ජි මියගියේ ජර්මනියේදී වුවද මිහිදන් වූයේ එංගලන්තයේදීය. ව්‍යවසායකයකුට එහා ගිය විශ්ව ගවේෂකයකු ලෙස ජම්සෙට්ජි ටාටා ගේ නාමය හැඳින්වීම වඩා උචිතය. ඔහුගේ ජීවිතයෙන් භාරතයට පමණක් නොව, ලෝක ව්‍යවසායක ප්‍රජාවට ගත හැකි දේ නම් බොහෝය.   

 

 


තාත්තාගේ සංකල්ප පුතුන් දෙදෙනා විසින් වඩාත් අරුත්බර කිරීම


දොරාබ්ජි ටාටා යනු ජම්සෙට්ජිගේ වැඩිමහල් පුත්‍රයාය. රතන්ජි ටාටා දෙවැන්නාය. මේ පුතුන් දෙදෙනා ‘‘ටාටා’’ සමූහයේ කටයුතු වලට සක්‍රීයව එළැඹෙන්නට පෙර ජම්සෙට්ජිගේ පළමු ඥාති සහෝදරයා වූ රතන්ජි ඩාඩාබෝයි, ‘‘ටාටා’’ සමූහ සමාගමක් ලෙස ගොඩනැංවීම සඳහා කර ඇත්තේ සුවිශාල කාර්යබාරයකි.   


ජම්සෙට්ජිගේ වැඩිමහල් පුතු වූ දොරාබ්ජි ටාටා යනු පියාගේ සංකල්පය තවත් අරුත්බර කළ චරිතයක් විය. වෙසෙසින්ම බ්‍රිතාන්‍යය හා ඉන්දියාව අතර ව්‍යාපාරික පාලමක් තැනීමට මුල්වූ චරිතයක් විය. 1859දී උපන් දොරාබ්ජි මුම්බායි (බොම්බෙ) සරසවියේ සහ කේම්බ්‍රිජ් සරසවියේ උපාධිධරයෙකි. හොඳ උගතෙකු ලෙස නම් කිරීම වඩා සුදුසුය. පියා විසින් අරඹන ලද වානේ කර්මාන්තය සහ ජල විදුලි කර්මාන්තය මෙන්ම සුවිශාල රක්‍ෂණ සමාගමක් පිහිටුවීමට මෙන්ම ‘‘ටාටා’’ සමූහයේ දියුණුව උදෙසා ඔහු කළ දේ බොහෝය.   
ව්‍යාපාර කළද ඔහුගේ සිත තදින්ම ඇලී තිබුණේ ක්‍රීඩා අංශය වෙතය. ඉන්දියාවේ ක්‍රීඩාව නගා සිටුවීමට පුරෝගාමී වූ චරිතයක් ලෙස නම් කළ හැකිය. ඉන්දියාවේ ප්‍රමුඛතම විද්‍යා හා ඉංජිනේරු පර්​යේෂණ ආයතනයක් වන බැංගලෝරයේ ඉන්දීය විද්‍යා ආයතනය ස්ථාපිත කිරීමට මුදල් පරිත්‍යාග කර ඇත්තේ ඔහු විසිනි. මෙහෙර්බායි සමග විවාහ වී සිටි අතර ඇය ලියුකේමියා රෝගී තත්ත්වය නිසා අකලට මිය පරලොව ගියාය. ඇයට අසීමිතව ආදරය කළ දොරාබ්ජි ටාටා බිරිඳ මියගොස් දිනක් යාමට මත්තෙන් අනුස්මරණ අරමුදලක් පිහිටුවීය.   


විවිධ ආබාධවලට ලක්වූ රෝගීන්ගේ හිත සුව පිණිස ඔහු එය දියත් කළේය. ටාටා සමූහය ගොඩ නැංගවීමට බුද්ධිමත් බල කණුවක් වූ දොරාබ්ජි ටාටා හට 7 වැනි එඩ්වඩ් රජු විසින් ශ්‍රීමත් නම්බුනාමය ලබාදීමට කටයුතු කළේ දොරාබ්ජි - ඉන්දියාවට මෙන්ම සමාජයට සහ ක්‍රීඩාවට කළ මෙහෙවර උදෙසාය. ශ්‍රීමත් දොරාබ්ජි ටාටා මියගියේද තම පියා මෙන් ජර්මනියේදීය. ඒ බෑඩ්කිසිඟන්හිදිය.   


ඔහු​ගේ අන්තිම කැමැත්ත පරිදි දේහය භූමදානය කරනු ලැබුවේ බිරිඳගේ දේහය මිහිදන් කළ එංගලන්තයේ බෲක්වුඩ් සුසාන භූමියේදීය. දොරාබ්ජි ඉන්දියාවේදී උපත ලබා, ජර්මනියේදී අවසන් සුසුම් පොද හෙළා, මිහිදන් වූයේ, එංගලන්තයේදී වීමද තවත් විශේෂිත වූ දෙයක් නොවේද?  


රතන්ජි ටාටා   


ජම්සෙට්ජිගේ දෙවැනි පුතු වන ‘‘රතන්ජි ටාටා’’ යනු තම පියා සහ අයියාට එහා ගිය මහා පරාර්ථකාමී චරිතයක් විය. ‘‘ටාටා’’ සමූහ ව්‍යාපාරය යනු මහා භාරතය තරමට සුවිශාල වූ විවිධ ක්ෂේත්‍ර වලට අයත් ව්‍යාපාර ජාලයකි. ලොව එවැනි ව්‍යාපාර ජාලයක් දැක ගත හැකි වන්නේ අල්ප වශයෙනි. එහෙව් වූ ‘‘ටාටා’’ නාමය තව දුරටත් අරුත්බර කළ චරිතය මේ රතන්ජි ටාටාම වෙයි. ඔහු ඉතා හොඳ කලා රසකාමියකු විය. විටෙක එංගලන්තය මහගෙදර කරගෙන එහි ජීවත් වුවද ඔහුගේ අාධ්‍යාත්මය රැඳී තිබුණේ ඉන්දියාවේය. එසේ වීද, ඉන්දියාවේ මෙන්ම එංගලන්තයේ විවිධ අධ්‍යාපනික කටයුතු සංවර්ධන වැඩ සටහන් සඳහා සක්‍රියව දායකත්වය ලබා දුන් චරිතයක් විය.   


1916 දී ඔහු හට ද නයිට් පදවිය හෙවත් ශ්‍රීමත් නාමය ලැබුණේ ජීවත් වූ කෙටි කාලයේදී සමාජයට කළ මහා මෙහෙවර උදෙසාය. වයස අවුරුදු 57 දී රතන්ජි මිය ගිය අතර, මිහිදන් වූයේ තම පියාගේ සොහොන යාබදවය. එනම් එංගලන්තයේ බෲක්වුඩ් සුසාන භූමියේදීය. තම අයියාට මෙන් ඔහුටද දරු සම්පත අහිමිව තිබිණි. ‘‘නාවල් ටාටා’’ යනු ඔහු සහ බිරිඳ විසින් හදා වඩා ගත් දරුවා වෙයි.   


අපි නාවල් ගැන කතා නොකර ‘‘ටාටා’’ පරම්පරාවෙන් පැවැත එන රතන් ටාටා ගැන කතා කරමු. මක්නිසාද යත්, වත්මනෙහි වයස අවුරුදු 82 ඉක්මවා සිටින ‘‘රතන් ටාටා’’ ද ටාටා සමාගම් සමූහය ලොව බැබළවීමට කළ සේවය අති විශාල වූවක් වන බැවිනි. ‘‘ටාටා’’ සමාගම් සමූහය වඩ-වඩාත් ලාභ ලබා ඇත්තේ මේ රතන් ටාටා සභාපතිව සිටියදී බව සඳහන් වේ. ගෘහ නිර්මාණ ශිල්පයේ උපාධිධරයකු වන අතර, ඉටුකළ සමාජ මෙහෙවර උදෙසා මෙන්ම පුණ්‍ය කටයුතු උදෙසා, රතන් ටාටා භාරතයේ සිවිල් පුරවැසියකු හට ලබාදෙන ඉහළම ගෞරව සම්මාන ද්විත්වයකට උරුමකම් දරයි.   


පත්ම විභූෂණ සහ පත්ම භූෂණ එම ඉහළම ගරු නම්බු නාමයන් වේ. 

 
‘‘ටාටා’’ සමූහය බැලූ බැල්මට


ඔබ විශ්වාස කළා හෝ නොකරනු විය හැකිය. එහෙත් පිළිගත යුතු දෙයක් තිබේ. මෙම ටාටා සමාගම යනු මෝටර් රථ නිෂ්පාදන අංශයේදී, අධි සුඛෝපභෝගී බස්රථ යුරෝපය වෙනුවෙන් නිෂ්පාදනය කළ සමාගමකි. ‘‘ටාටා’’ කී විගස අප රටේ බොහෝ දෙනා සිතන්නේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ලෙස පමණක් විය හැකිය. එහෙත්, ටාටා යනු පෙර සඳහන් කළ පරිදි එක් අංශයකට සීමාවූ සමාගම් ජාලයක් නොවේ.   


අධ්‍යාපන, පර්​යේෂණ, තාක්‍ෂණ, රෝහල්, බලශක්ති සම්පත්, ඉංජිනේරු, ඉදිකිරීම්, සංචාරක, ගුවන් ආදි දසත විහිදී-පැතිරි ගිය සමාගම් ජාලයකි. මෙහි නිර්මාතෘවරයා වූ ජම්සෙට්ජි ටාටා වෙනුවෙන්, 1965 වසරේදී සමරු මුද්දරයක් සහ කාසියක් පවා නිකුත් කර තිබේ. ටාටා හෙවත් ‘‘ටා-ටා’’ යනුවෙන් ඉංග්‍රීසි ජාතිකයින් බොහෝ විට දනවන්නේ ‘‘ගුඩ්බායි හෙවත් සුබ සමුගැනීමක්’’ යන අදහසය.   


ඒ අරුත කෙසේ වෙතත් මේ ‘‘ටාටා’’ පවුල තම නාමයට වඩා ජීවන දර්ශනයක් තිබූ පවුලක් නොවේද?

 

 

 

 

සටහන - සඳුන් ගමගේ