වසංගත රෝග නිසා අතුරුදන් වූ ගමක්


ජයන්ති වැවේ වැව්බැම්ම අසලින් දකුනු පස දිය යට තිබෙන්නේ යෝද ඇලේ නටබුන්ය

 

අතීතයේ දී වසංගත රෝග නිසා මෙරට දස දහස් ගණනින් මිනිසුන් මියගියේය. එලෙස මිනිසුන් මියයන්නට ප්‍රධානම හේතුව ලෙඩට බෙහෙත් නැතිකමයි. දිගාමඩුල්ලේ දකුණු වැව්ගම්පත්තුවේ (දමන) තිබූ යෝද ඇළ ගම්මානයද එවන් ඉරණමකට ලක් ව අතුරුදන් වූ ගම්මානයකි. මීට දශක හතකට පමණ පෙර එය පවුල් 06 ක් සිටි ගම්මානයකි. එකල එහි ජනගහනය 22 කි. තැනින් තැන හුදෙකලාව ගම් රැසක් තිබුණු කලෙක මේ ජනගහනය සැලකිය යුතු ජනගහනයකි. ගමේ මිනිසුන්ට බෝ වූ වසංගත රෝග තත්ත්වයක් නිසා ගමේ මිනිසුන් වරින්වර මිය යන්නට පටන් ගැනීමත් සමග ගම අතුරුදන් වීමට මග පෑදුණේය .   

යෝද ඇළ ගම්මානය තිබූ තැන අද දකින්නට ලැබෙන්නේ වඩිනාගලට යාබද වූ පල්ලන් ඔය ජයන්ති වැවේ වතුර සිඳුණු කලට පමණි. ගල්ඔය සංවර්ධන මණ්ඩලය මගින් පල්ලන්ඔය ජයන්ති වැවේ වැඩ 1958 නිම කිරීමත් සමග යෝද ඇළ දිය යට රාජධානියක් විය. සෑම වසරකම සැප්තැම්බර් මාසය වෙන විට ජයන්ති වැවේ ජලය හිඟ වෙන්නේ පහළ කුඹුරුවලට ජලය නිකුත් කිරීමත් දැඩි නියඟයත් නිසාය. එවිට යෝද ඇළ පන්සලේ නටබුන් මතු වෙන්නේය.   


 

යෝධ ඇළ ගමට එම නම පට බැඳී තිබෙන්නේ ඒ අසලින් ගලා ගිය යෝද ඇළක් නිසාවෙනි. එය පළලින් අඩි 20 ක් සහ ගැඹුරින් අඩි 08 ක් පමණය. එය එකල ගම්වැසියන්ට යෝද ඇළකි. යෝද ඇළ ගම්මානයට එකල තිබූ එකම සමාජයීය සංස්කෘතික ආයතනය යෝධ ඇළ පන්සලයි. එය පුරාණ පන්සලකි. ඌව නැගෙනහිර සීමාසන්නයේ නැගෙනහිරට අයත්ව තිබූ මෙම ප්‍රදේශයට පහළින් කිව්ලේගම නම් ඉපැරණි ගමකි. වැව්ගම්පත්තුවට අයත් ඉපැරණි ගම්මාන සියල්ලෙහිම පදිංචි කරුවෝ වර්ෂ 1818 ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයෙන් පසුව පසුබැස ආවෝ වෙති.   


යෝද ඇළ ගම්මානය අතුරුදන් වීමට මග පෑදුණු අයුරෙහි ඇත්තේ විමතියක්, අනුකම්පාවක්, ළඟ පාත රෝහලක් නොමැති කම, ලෙඩට බෙහෙත් නැතිකම, ඉක්මන් කෝපය සහ නූගත් කම ඇතුළු කරුණු කාරණා රැසකි. ගමේ මිනිසුන් සරල දිවි පෙවතක් ගෙවූහ. තමන් විසින් වගා කර ගන්නා ලද බව භෝගවලින් එක් රැස් කර ගත් ඵලයෙන් ඔවුහු දිවි සරි කර ගත්හ. ගම අක්කර 25 ක පමණ වපසරියකින් යුතු විය. තැනිතලා බිමක් වූ මෙහි භෝග සාරවත්ව වැවුණි. හේන් ගොවි තැන ඔවුනගේ ප්‍රධානම ජීවන මග විය.   


ගම් බිමෙහි කෙසෙල් සහ දොඩම් සාරවත්ව වැඩුණි. පහළ ඌවට නෑකම් කියන නිසා දොඩම් වගාවට සරු පසක් එහි විය. තම දිවියේ සංකීර්ණ බලාපොරොත්තු ඔවුන් තුළ නොවිණි. ඊට සැතපුම් තුනක් පමණ ඈතින් වූ වඩිනාගල කන්දත් ඊට වම් පසින් තවත් ඈතින් පෙනෙන ගොවිඳු හෙළත් (වෙස්ට් මිනිස්ටර් ඇබේ.) අවට කඳු වැටිත් යෝද ඇළ ගම වටා විය. යෝද ඇළට නුදුරින් එදා තිබූ උණු වතුර බුබුළ වර්තමානයේ දී දක්නට ලැබෙන්නේ ඊට මඳක් ඈතිනි. පැරැන්නන් පවසන්නේ පල්ලන්ඔය ජයන්ති වැව සෑදීමේදී හටගත් භූමි වෙනස්කම් සමග උණුවතුර බුබුළද වෙනත් තැනකින් මතු වුණ බවයි.   


මෙසේ කාලය ගෙවෙන විට යෝද ඇළ ගමට නරක කල දසාවක් උදා විය. ගමේ පන්සලේ සිටියේ වඩිනාගල හාමුදුරුවන් ලෙස හඳුන්වනු ලබන ස්වාමීන් වහන්සේ නමකි. උන්වහන්සේ පන්සල දියුණු කරගෙන බව භෝග වගා කරගෙන සිය කටයුතු කරගෙන ගියහ.  


එහෙත් එක් දිනක් හාමුදුරුවන් සමග කිසියම් ආරවුලක් ඇති කරගත් පුද්ගලයෙකු හාමුදුරුවන්ට කැත්තෙන් කෙටුවේය. එහෙත් පහර දරුණු නොවූවද හාමුදුරුවන්ගේ හිසට තදින් තුවාල විය. හාමුදුරුවන්ට කැත්තෙන් කොටන්නට පෙර හාමුදුරුවන් විසින් යට කී පුද්ගලයාගේ දිගු රැවුලෙන් ඇද්දේය. නොඉවසිලිවත්කමින් සිදු වූ දේ නිසා තුවාල ලැබූ හාමුදුරුවන්ව මැස්සක් සාදා එහි දිගා කර ප්‍රතිකාර සඳහා ගෙන ගියේ ගම්වැසියන් විසිනි.   

 

වසංගත රෝග නිසා ජනශූන්‍ය වීමෙන් පසු අම්පාරේ යෝධඇළ ගම්මානය අතහැර දමා තිබී ජලාශයකට යටව ගියා.   

 


හාමුදුරුවන්ට එල්ල කළ කැති පහරත් සමග යට කී පරිදි ගමේ විනාසය ආරම්භ විය. කැති පහර එල්ල කල පුද්ගලයාට සෙතක් සිදු වූයේ නැත. ඔහු හිටි හැටියේ මියගියේ හාමුදුරුවන්ට කැති පහර එල්ල කර ටික දිනක් ගත වීමත් සමගිනි. පැරැන්නෝ පවසන පරිදි ගමේ මිනිසුන්ට උණ පාචනය ඇතුළු නොයෙකුත් ලෙඩ රෝග ඇති විණි. ගම පාළුවට යෑමේ මුල්ම මරණය කැති පහර ගැසූ මිනිසාගේය. ඊළඟට තවත් මරණයකි. ඔහු ද ගමේ යහපත් චරිතයකට හිමිකම් කී අයෙකු නොවේ. හොරකම බොරුව වංචාව ඔහුගේ චරිතයයි. හෙතෙම හදිසියේ අසනීප විය. කිසිවක් කන්නට බොන්නට නොහැකිව නැවත තරමක් සුව වී විකාර දේ කරමින් සිට මිය ගියේය. මේ මරණ සමග ගමම තැති ගත්තේය. ආගමික විශ්වාසයන් නිසා ගම්මුන් බොහෝ දෙනෙකු කිසියම් භීතියකට පත් වූහ. ඔහුගේ මිය යෑමෙන් දින හයකට පසුව ඔහුගේ බිරිඳගේ සොහොයුරිය අවසන් ගමන් ගියේය. ඉන් පසුව දින කීපයක් ඇතුළතදී ගමේ තවත් දෙදෙනෙක් මියගියහ.   


එදා මෙදා තුර ගම් වැසියෝ අවට වනාන්තරයේ කෙටූ හේන් සහ ඒවායේ වූ බව භෝගත් ඔවුනට මන්දිර බඳු වූ ගෙපැල් සියල්ලත් අත්හැර යන්නට කාලය එළැඹියේය. දිගින් දිගටම සිදු වූ මරණවලට හේතුව ගමේ අයෙකු විසින් හාමුදුරුවන්ට කැත්තෙන් කෙටීමත් ඒ තුළ ඇති වූ දේව කෝපයත් බව ගම් වැසියන්ගේ තදබල විශ්වාසය විය.   


ඇතැමෙකුගේ අදහස වූයේ හාමුදුරුවන් විසින් ගමට හදි හූනියම් කිරීම නිසා ගමට මේ විපත්තිය සිදු වූ බවකි. මෙවන් ඇදහිලි සහ විශ්වාස නිසා ගම්මු බිය වූහ. තව දුරටත් ගමේ වාසය කිරීම මරණයට අත වැනීමක් බව ඔවුහු තේරුම් ගත්හ. අවසානයේ දී සියලු දෙනා ගම අත් හැර පිටව ගියහ. ඔවුනට යන්නට සිදු වූයේ අසල වඩිනාගලට හෝ වෙනත් ගමකටය. එහි ගිය ඔවුනට තම දිවිය සරි කර ගන්නට අලුතින් හේන් කොටන්නට සිදු විය. අලුත් ගෙපැල් අටව ගන්නට සිදු විය.   


එකල වයස අවුරුදු 13 ක් පමණ වූ කිව්ලේගම පදිංචිව සිටි කෝණාර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ මහත්මිය මේ ලියුම්කරුගේ ද ඥාතිවරියකි. ඇය හාමුදුරුවන්ට සහ ගමට සිදු වූ දේ මේ ලියුම්කරුට පැවසුවේ ඇය මියයන්නට කලකට පෙරය. ඇය වයස අවුරුදු අනූවකට ආසන්න කාලයක් ජීවත්ව සිට ඉකුත් දා දිවි ගමන නිමා කළාය. මේ ඈ කියූ කතාවයි.   


“යෝද ඇළේ පන්සලේ හාමුදුරුවෝ තරමක් උස මහතයි. මොකෙක්දෝ එකෙක් හාමුදුරුවන්ට කැත්තෙන් කොටලා තිබුණා . මට එතකොට වයස අවුරුදු 13 ක් විතර ඇති. මට මතකයි අපේ තාත්තලයි තවත් කට්ටියකුයි මේ හාමුදුරුවන්ව මැස්සක දාගෙන කොහේට දෝ ඇන්න ගියා. ඒ කාලේ මෙව්වගේ ඉස්පිරිතාල තිබුණේ නෑ. ඉස්පිරිතාලයක් තිබුණේ අක්කරපත්තුවේ. මෙහේ ඉඳලා අක්කරපත්තුවට හැතැම්ම විස්සක් විසි පහක් විතර තියෙනවා. යනවනම් ඉතින් මහ කැලේ මැදින් ගොන් කරත්තෙක තමා ඇන්න යන්න ඕන. හාමුදුරුවන්ගේ ඔළුවෙන් ලේ බේරෙනවා මම දැක්කා. ඔළුව වටේට පටියකුත් ගැට ගහලා තිබුණේ. සමහර විට ගම්වල ඒ කාලේ හිටපු වෙද මහත්තයෙක් ළඟට එක්ක ගියාද දන්නේ නෑ.  


උන්නාන්සෙව අපේ ගෙවල් පැත්තට ඇන්න එනකොට කළුවර වැටිලා තිබුණේ. අපිට ඒ කාලේ ඒවා ගැන හොයන්න එච්චර උනන්දුවක් තිබුණේ නෑ. අහපු දැකපු දේ තමයි මතක. කොහොම වුණත් මේ සිද්ධියට පස්සේ දවස් කීපයක්ම යෝධ ඇළ ගම ගැන අපේ තාත්තලත් කතා වෙනවා අපි අහගෙන හිටියා.   
ඒ ගමේ උන්ඩ (උන්ට) උණයි තවත් මොනදෝ වසංගත ලෙඩ වගේකුයි හැදිලා මැරෙන්න ගත්තා කියල තමයි කතා වුණේ. ඒ කාලේ මේ ගම්වල හරියට හදි හූනියම් තිබුණා. කැති පාර වැදුණු හාමුදුරුවෝ ගමට හූනියම් කෙව්වා කියලත් තවත් සමහරෙක් දේව කෝපයක් කියලත් කතා වුණා. මේ කතා දෙකම ගමේ කතා වුණාට මිනිස්සු වැඩියෙන්ම විස්වාස කළේ දේව කෝපය සහ හදි හූනියම් කතාව.   


පස්සේ ගම පාළුවට ගියා. මිනිස්සු වඩිනාගල පැත්තට ගියා කියලා තමයි අපේ ගමේ කතා වුණේ. ඒ ගමට ගියාට පස්සෙත් මේ මිනිස්සු මැරුණද කියලනම් ආරංචියක් නෑ. ඒ කාළේ මේ ගම් තිබුණේ මහ ගන කැලෑවල් මැද්දේ. අද වගේ විස්තර දැනගන්න ක්‍රම තිබුණේ නෑ. ඒ කාලේ ගමක් තිබුණේ හැතැම්ම තුන හතරක් හෝ ඊටත් වඩා ඈතින්. ඊට පස්සෙ ඔයි ගමේ පන්සලට තවත් හාමුදුරුවරු වඩම්මවල පිරිත් කියවව්වා. ඒකෙන්වත් ගමේ දෝස යයි කියලා තමයි තාත්තලා කතා වුණේ.   


ඒත් එහෙම වුණේ නෑ. ගම පාළුවටම ඇරුණා. ඒ හාමුදුරුවෝ ඊට පස්සේ මම දැක්කෙ නෑ. තාත්තලා කිව්වේ, හාමුදුරුවෝ කීප සැරයක්ම පන්සලට ඇවිත් ගියා ගියාමයි ආයෙ දැක්කෙ නෑ කියලා.”   
“ඒ වුණාට අද වගේ බෙහෙත් තිබුණා නම් ඔයි මිනිස්සු බේර ගන්න තිබුණා. ”   
ඒ බණ්ඩාර මැණිකේ මහත්මිය මා හට අවසන් වරට පැවසූ වදන් කීපයයි.   


දකුණු වැව් ගම්පත්තුවේ බොහෝ ගම්මානවලට මෙවැනි වසංගත රෝග තත්ත්වයන් ඇති වී තිබුණු බව ඉතිහාසයේ කියැවෙයි. පැරැන්නන්ගේ ඒ කතා මුල මැද අග නිසි ලෙස ගලපා විමර්ශනය කර විශ්ලේෂණය කර බලන විට පැහැදිලිවම පෙනෙන්නේ වසංගත රෝග සඳහා නිසි බෙහෙත් නොමැතිකමින් මිනිසුන් ඕනෑ තරම් අකාලයේ මිය ගිය බවයි.   


1930 වැනි දශකවල පටන් ලංකාවේ පැතිර ගිය මැලේරියා රෝග වසංගතය නිසා මිනිස්සු දස දහස් ගණනින් මිය ගියේය. එය දිගාමඩුල්ලේ ගල්ඔය නිම්නයේත් වැව් ගම්පත්තුවේත් පැතිර තිබූ බව පැරැන්නෝ කියති. 1948 දී ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය අරඹන විට එවක වමේ ව්‍යාපාරයේ බොහෝ දෙනෙක් ඩී.එස්. සේනානායක අගමැතිවරයාට විරුද්ධව අවි අමෝරා ගත්තේ කැලෑ ජෝන්ටත් පිස්සු යැයි කියමිනි. කපුටන් තරම් වූ මදුරුවන් ගල්ඔය ඇති බවත් මැලේරියාවෙන් මිනිසුන් මියෙන බවත් ඒ නිසා ගල්ඔය යන්නට එපා යැයි ඔවූහු ප්‍රචාර ගෙන ගියහ. එහෙත් ව්‍යාපාරය ඉදිරියටම ගියේය. ලෙඩේට නිසි බෙහෙත් සොයා ගත් කල සියල්ල අවසන් විය.   
යෝධ ඇළේ කතාවේ ද ඇත්තේ එවැනි කතාවකි. දේව කෝපයක් හෝ හදි හූනියමක් නිසා යෝධ ඇළ වැනසුණේද යන්න තීරණය කිරීම බුද්ධිමත් ඔබට බාරය. දශක ගණනාවක් දිවි ගමනේ සැරූ කෝණාර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ මා හට අවසන් වරට පැවසු වදන්වලට අනුව නම් වසංගත ලෙඩේට බෙහෙත් තිබුණේ නම් මිනිසුන් මිය යන්නේ නැත. ඇයට එය දැනුණේ 1930 දශකයෙන් පසුව ඇයට ඇති අත්දැකීම් අනුව විය යුතුය. යෝද ඇළේ කතාව විද්‍යාවත් අවිද්‍යාවත් අතර කතාවෙකි. තෝරා බේරා ගැනීම ඔබ සතු කටයුත්තෙකි.   

 

වැව් බැම්මේ සිට බලන කල ඈතින් පෙනෙන ගොවිදු හෙල

 


කෙසේ නමුත් යෝද ඇළ ගමේ පන්සලත් ගමත් ගම් වැසියන්ගේ බව භෝගත් සියල්ල වනය විසින් ගිල ගත්තේය. ගම පාළුවටම ගියේය. ඉඳ හිට එහි යන එන්නෝ අලි කොටි වග වලසුන් පමණක් වූහ. ඊට ඔබ්බෙන් කඩින් ආර සහ වඩිනාගල නම් ගම් දෙකක් විය. කාලය මෙසේ ගෙවෙද්දි ගල්ඔය සංවර්ධන මණ්ඩලය සිය වැඩ ඇරඹුවේය. ඒ අනුව යෝධ ඇළ අසලින් ගලා ගිය පල්ලන්ඔය හරස් කර මහා ජලාශයක් නිර්මාණය විය. වඩිනාගල සහ කඩින් ආර ගම් වැසියන්ද ඉවත් කෙරිණ. ඒ පල්ලන්ඔය ජයන්ති වැව පිරෙන විට එගම් දෙකද දියට යට වෙන බැවිණි.   


ඔවුන් අලුත් තැනක පදිංචි කළේ සියලු පහසුකම් සමගිනි. එය අද වඩිනාගල ලෙසින්ම හැඳින්වේ. යෝධ ඇළ ගමේ මිනිසුන් යට කී සිද්ධිය නිසා කල් වේලා ඇතුවම ඉවත්ව ගොසිනි. වැව් බැම්ම බැඳුණේ යෝද ඇළේ පන්සල ආසන්නයෙනි.   

 

වැවි බැම්මේ සිට බලන කල පෙනෙන වඩිනාගල කන්ද

 

විමතියට කරුණ වන්නේ එදා සිටි වාරි නිලධාරින් ආසන්නයේම පැවති පන්සලේ නටබුන්වලට කිසිම හානියක් නොවෙන සේ බැම්මේ කටයුතු සිදු කිරීමයි. වැඩ අවසන් වූ වැවේ ජලය පිරෙන්නට විය. පන්සලේ නටබුන් එලෙසම දියට යට විය. සෑම වසරකම නොවූවත් නියඟය තදින්ම බලපාන කාලවලදි වැව් දිය අඩු වෙන විට සැප්තැම්බරයේදි පමණ පොළොවෙන් ඉහළට එසැවුණු ගල් කණු ඇතුළු නටබුන් ඒ අතීත කතාවේ සාක්ෂ්‍ය දරමින් සිටින්නේ සියල්ල අනිත්‍ය බව මෙනෙහි කරන්නා සේය.  

 

සටහන සහ සේයා රූ
දිගාමඩුල්ලේ සමන් දිසානායක