වඳුරාගේ කොන්ද කැඩූ මුදලාලිටත් වැඩ වරදී...


ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මඟ පෙන්වීමක් අවැසිය, මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

 

 

දම්මුල්ල, බෙලිඅත්ත, ජේ. කණ්ඩම්බි මහතා ලියා එවූ කතාවකි.   

පෝයදාත් මසුන් මැරූ නන්දෝරිස්ට පව් පලදෙයි...   


දුෂ්කර ගම්පියසක උපත ලද නන්දෝරිස් ගොඩමඩ ඉඩම් ගණනාවක හිමිකරුවෙකු ද විය. යාබඳ ගම්පියසෙන් කැන්දන් ආ එතනහාමිට ද ඉඩකඩම් හිමිවූ බැවින් මොවුහු ධනවතුන් වූහ. දියණියන් දෙදෙනෙකුට පියෙකු වූ මොහුට බත බුලතින්ද කිසිදු අඩුවක් නොවීය. දෑතේ සවියෙන් එළවළු භෝග ද වවාගත් කොස්, දෙල්, අඹ, දොඩම් ආදී පලතුරු ද සමඟ මී ගවයින්ගෙන් කිරි සම්පත ද උදාවිය. මුදල් ගෙවා කඩමණ්ඩියෙන් ලූණු, දුරු, කොත්තමල්ලි පමණක් මිලට ගති. පොල්, කිතුල් මල් මැද රා, පැණි, හකුරු ද ලබාගත් අතර ගංජා වවා ආහාර රසවත් කර ගැනීමෙන් ලෙඩ​ රෝගවලින් ද තොරවිය. ගම්මැද වැව් කොමලිය ලබාදුන් මිරිදිය මසුන් බත රසවත් කළ අතරම ග්‍රාමීය ස්වයංපෝෂිත ආර්ථිකය ශක්තිමත් කිරීමට රුකුල් විය.   


පෙරවරුවේ මසුන් ඇල්ලීම මොහුගේ දින චර්යාවේ කොටසක් විය. පසළොස්වක මාසේ පෝයදා කියා මොහුට වෙනසක් වූයේ ද නැත. ගමේ වැඩිහිටියන් සතර පෝයටම සිල්ගත්ත ද මොහු පෝයටවත් පන්සල් නොගියේය. උගුරේ හිරවුණු මාළු කටුවකට ජීවම් තෙල් ලබාගැනීමට පන්සල් යාමෙන් එහි හතර මායිම් පමණක් මොහුට හුරුවිය. 

 
‘අද පසළොස්වක නොවේදැයි’ වැඩිහිටියෙකු ඇසූවිට ඔහු පවසන්නේ පෝයදා මාළුන්ට ඉර හඳ පෙන්වා පිං කරන බවකි. ‘නිවන් දකින්න මේ කුසල හොඳටම මදැයි’ කියමින් ඔච්චම් සිනාපාමින් ඉපිල්ල දිහා බලනුයේ මාළුවකු ඇම ගිලීමට වෙරදරනු දැකීමෙනි.   


බිලී කොක්කට හසුවූ මාළුවකු ගොඩගත් විලස මුවගට තදකර ඌ අඩපණ කරනුයේ මුව රැඳි බුලත් විටද දියබට මුදාහරිමිනි. බාගත් මාළුන් හදපිරි සතුටින් පිළිවැස්සට දමාගෙන ගෙදර ගොස් අළු දමනුයේ සෙවල මකාලනු පිණිසය. පණ ගැහෙන මාළුන් කපන නන්දෝරිස්ගේ හදපත්ලේවත් තෙතමනයක් නැත.   


පසුදිනක මඩාරකු යයි සිතා කලබලයෙන් හුංගකු මුවගට තද කරන විට මොහුගේ උගුරකට දැඩි සේ තුවාල විය. දින කිහිපයකින් විදුරුමස පැසවා සැරව ගලන්නට ද විය. බුලත් විට සපා කෙළ ගසන විට මදකට සහනයක් ලැබුණ ද තුවාලය සුව නොවීය. හාමුදුරුවන් ලබාදුන් ජීවම් තෙලට ද තුවාලය සුව නොවූ බැවින් කිරි ආහාරවලට පමණක් උදරය සීමාවිය. ඥාතියකු ලබාදෙන රාවලින් පදමට වෙරි වූ පසු නින්ද ගියේ මඳ වේලාවකට පමණි.   


රන්වන් පැහැති තරබාරු සිරුර ද වැහැරී යනවිට තල්ල පසාරු වී සැරව පිටතට ගලන්නට විය. ප්‍රමාද වී රජයේ රෝහලේ පිහිට පැතුවද පලක් නොවීය. බුලත් විට හැපීමෙන් හෝ මුව තුවාල වීමෙන් හකු පිළිකාව වැළඳී ඇති බවත් මුලදී රෝහලට යොමුකළා නම් සුවකළ හැකි බව වෛද්‍යවරු පැවසූහ. එවිට දියණියන් දෙදෙනා මරලතෝනි දෙන ලද්දේ මුළු රෝහලම දෙදරවමිනි. එම හඬින් සංවේදී වූ රෝගීන්ගේ ද නෙතු කඳුළින් බර විය.   


හාර වසරකින් පමණ නන්දෝරිස් මෙලොවට සමුදුන්නේ විඳි අපාදුක් නිමාකරමිනි.  

 



අම්පාර මිහිඳුපුර අයි.ජී. ගුණපාල මහතා ලියා එවූ කතාවකි.   

වඳුරාගේ කොන්ද කැඩූ මුදලාලිටත් වැඩ වරදී...   


දහඅට වසරකට පෙර නැගෙනහිර පළාතේ ගමක මෙය සිදුවිය. ගම මැදින් වැටී ඇති කරත්ත පාර අසළ සුරබියෙල් විසීය.   


ඔහු නිවෙස ඉදිරිපිට පාර අයිනේ සිල්ලර බඩු කඩයක් පවත්වාගෙන ගියේය. කඩයට නුදුරින් විශාල කොස් ගසක් විය. පාරේ අනෙක් පැත්තේ පොල්ගස් හත අටක් තිබූ අතර කාලයක සිට වරින්වර එන හැල වඳුරෙක් මේ ගස්වල කලටි කාදැමීමට පුරුදුව සිටියේය.   


කලටි කෑමේ රුචියෙන් මේ හැල වඳුරා පාර අසල පොල් ගසේ අතු දිගේ පැමිණ සුරබියෙල්ගේ කඩය ළඟ තිබූ කොස් ගසේ කුඩා අත්තකට පැන ගස මුදුනට ගොස් කඩේ වහලයට පැනීම නිසා වහලයේ ඇස්බැස්ටස් ෂීට් කිහිපයක් ද කැඩී තිබුණේය. මේ නිසා කෝපයට පත් සුරබියෙල් වඳුරාගේ පැමිණීම නතර කිරීමට හැකි ක්‍රමයක් කල්පනා කළේය. හිතට ආ අදහසක් අනුව ඔහු කුඩා නයිලෝන් ලණු කැරැල්ලක් ගෙන ඉණිමගක් තබා කොස් ගසට නැග ලීයක්ද උපයෝගී කරගෙන හැල වඳුරා පනින කුඩා කොස් අත්තේ අග්ගිස්සට ලණුවේ කෙළවරක් ගැටගැසුවේය. ඉන්පසු ගසෙන් බැස ලණු කැරැල්ල දිගහැර අනෙක් කෙළවර කඩයට ඇද ගැටගසා තැබුවේය.   


​මේ උපාය ඇටවූ සුරබියෙල් මුදලාලි හැල වඳුරා එන මොහොත ගැන විමසිල්ලෙන් සිටියේය. දින දෙක තුනක් ගතවිය. වඳුරා ආවේ නැත. සිව්වන දිනයේ හැල වඳුරා පොල් ගස්වල ඒ මේ අතට පනින ශබ්දය ඇසී ඒ දෙස විපරම්කර බැලුවේය. වඳුරා පැමිණ පොල්ගස්වල සිටිනු දුටුවේය.   


මේ වෙලාවේ කඩයට පැමිණි ගැමියන් දෙදෙනාම තමා කරන්නට යන දෙය සුරබියෙල් කීවේය. කඩේ ගැටගසා තිබුණ ලණුවේ කෙළවර ලිහා අල්ලාගෙන, කොස් අත්තට පැනීමට වඳුරා එන පොල්ගස දෙස විමසිල්ලෙන් බලාසිටියේය. සුළු මොහොතකින් එම පොල් ගසට හැල වඳුරා පැන ගෙන ආවේය. මොහොතක් එහි රැඳී සිටි හැල වඳුරා පොල් අත්ත දිගේවිත් කොස් අත්තට පැන්නේය. ඔහු පොල් අත්තෙන් පනිනවාත් සමඟම සුරබියෙල් මුදලාලි එකපාරටම ලණු පොට ඇද්දේය.   


කොස්අත්ත කඩය පැත්තට ඇදී ආ අතර වඳුරාගේ ඉලක්කය වැරදුණේය. බඹ විස්සක් පමණ ඉහළ සිට පැන්න හැල වඳුරා පාර අයිනේ තිබූ ගල් ගොඩ මතට වැටුණේය.   
කොක්හඬ නඟා සිනාසූ සුරබියෙල් මුදලාලිත් කඩයට පැමිණ සිටි ගැමියන් දෙන්නාත් එතැනට දුව ගියහ. පසුපස කොටස ඔසවා නැගිටීමට නොහැකිව වඳුරා ඉදිරි පාද දෙකෙන් ඇදී ඇදී යාමට උත්සාහ දරමින් සිටියේය. ලණුවක් ගෙන ආ සුරබියෙල් මුදලාලි අනෙක් දෙදෙනාත් සමඟ කෝටුවක ආදරයෙන් ලණුව වඳුරාගේ බඩ මැදින් දමා බැඳ ඇදගෙන ගොස් පොල් වත්ත කෙළවරට දමා පැමිණියේය. ඒ එන ගමන් ‘උගේ කොන්ද කැඩිලා තියෙන්නේ’යි පුරාජේරුද කීය.   


මේ සිද්ධිය ආරංචි වූ ගමේ බොහෝ දෙනෙක් කඩයට පැමිණි අවස්ථාවල මුදලාලි කළේ හොඳ වැඩේ. ඔය වඳුරා ගහක ගෙඩියක් දල්ලක් කොළයක් තියෙන්නේ නැතුව මහා විනාශයක් නේ කළේයි කීවේ ප්‍රශංසා මුඛයෙනි. එවැනි අවස්ථාවලදී ඒක තමයි මට වහලෙට ෂීට් දාන්න විතරක් රුපියල් හත් අට දාහක් විතර යනවායි සුරබියෙල් මුදලාලි කියන්නේ කෝපයෙනි.   


වඳුරු කරදරය නිම විය. මාස දෙක තුනක් ගත විය. සුරබියෙල් මුදලාලි ඇස්බැස්ටස් ෂීට් තුනක් ගෙනාවේය. ගමේ වඩු බාස් කෙනෙකු සමඟ කතා කරගෙන දිනක් කඩය වසා වහලයට අලුත් ෂීට් වැසීම ඇරඹීය. ඔවුහු කැඩී තිබුණ ෂීට් ගලවා ඉවත් කොට අලුත් ෂීට් එකක් වහලය උඩට ගැනීමට යාමේදී පය ලිස්සා සුරබියෙල් මුදලාලි බිමට ඇඳ වැටුණේය. ඒ වැටීමෙන් මුදලාලිගේ කොන්ද කැඩී දකුණු අතට ද බරපතළ හානි සිදු විය. කාලයක් තිස්සේ කරන ලද ප්‍රතිකාරවලින් ඔහුගේ අත සුව වූවත් කොන්ද සුව කිරීම අපහසු විය. කලක් ඔත්පලව සිටි සුරබියෙල් මුදලාලි අනන්ත දුක් විඳ මිය ගියේය. සුරබියෙල් මුදලාලිට මේ ආකාරයට මියයාමට සිදුවූයේ වඳුරාගේ කොන්ද කැඩීමේ පල විපාක මේ ආත්මයේදීම ඔහුටත් පලදීම යැයි ගැමියෝ කීහ.

 



නිකඳළුපොත කරුණාදාස සපුතන්ත්‍රී මහතා ලියා එවූ කතාවකි.   

නිදන් හොරුන්ට මේ භවයේදීම පව් පඩිසන් දුන්හැටි


ගෙවල් බිඳීම, මංකොල්ල කැම සහ පොකට් ගැසීම ආදියට පුරුදු වූ චූටියා වෙහෙස වී වැඩ කිරීමට මැළි විය. මත්වතුර විකිණීමෙන් හම්බකරගත් ඔහු පුරාණ විහාරස්ථානවල නිදන් කැඩීමටද යොමු විය. ​මේ වැඩේ ලේසි පහසු වැඩක් නොවෙන නිසා ළඟම හිතවතෙකු වූ මාටින් ද හවුල් කර ගත්තේය.   


මුල් වතාවේ පැරණි පන්සලක නිදන් හැරීමට ගොස් විහාරාධිපති හිමියන්ගේ අතටම අසු වී සමාව ගෙන නිදහස් විය. වැඩේ වැරදුණත් අදහස අත්හැරියේ නැත. නිතරම සිතුවේ නිදානයක් ගෙන එයින් පොහොසත් වන ආකාරයයි. එදා සඳ පායා එන රැයක දෙදෙනා පිටත් වූයේ නිදන් ඇතැයි සැලකෙන පන්සලක් කරාය. එහි තුරුවදුලින් වැසී ගිය පුරාණ බුදු පිළිමයක් වෙත ළඟා වූයේ යකඩ ඉනි යවුල් මිටි ආදිය රැගෙනය.   


මෙය එතරම් ලේසි, හදිසිය තිබුණාට කිරීමට ද නොහැකි කාරියක්ය. තණ්හාව සමඟ බිය සැකය ශරීරය පුරාම ගමන් කරයි. පිළිමය බිඳින දෙදෙනාගේ ගත දහදියෙන් නැහැ වී උගුර කටද වියළී කතා කරන්නටවත් නොහැකි ලෙසය. වෙර දමා පිළිමය බිඳින අතරතුර මාටින් කෑ ගසන්නට වූයේ මොකෙක්ද මගේ කකුල කෑවෝ යයි කියාය. එවිටම චූටියා ද කෑ ගසන්නට වූයේ බොල මාටියෝ මගේ කකුලක් ඉවරයි කියමිනි. මේ හඬ ඇසී විහාරාධිපතිහිමි එහි ආවතේවකරුවා ද සමඟ පැමිණියේ විපතක ලකුණු දැන ගෙනය.   


විදුලි පන්දම දල්වා ගෙන සිටි නිසා උන්වහන්සේ වන වඳුල තුළින් ඇදී යන නාගයෙකු දුටුවේය. අනේ හාමුදුරුවනේ මොකෙක්ද සතෙක් අපි දෙන්නවම කෑවා. අපිට සමාවෙන්න අපේ හාමුදුරුවනේ. ඉමහත් වේදනාවකින් ලේගලන දෙපා පෙන්වමින් චූටියා මහ හඬ නැගීය.   


වැඩේ බරපතළකම දැනගත් උන්වහන්සේ දෙදෙනාවම කෙසේ හෝ විහාරස්ථානයට රැගෙන ගොස් එතැනින් රෝහල් ගත කළත් ජීවිත බේරා ගැනීමට නොහැකි විය.   


මේවා හාස්කම්, අපේ ආගමට පිටින් වැඩකරන කොට මෙහෙව වෙනම තමයි. මේ පිළිමවල ජීවයක් නැති වුණත් මේවා අපි ලබපු සම්පත් ඒ හා සමානයි. දිට්ඨ ධම්මවේදනීය කර්මය පළ දුන් හැටි කාට කාටත් පේනවනෙ. විහාරාධිපතිහිමි එහි රැස් වූ පිරිස අමතා වදාළ සේක.  

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න. 

 

 

 

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්