වඳුරන්ගේ කූඩු හැදීමට සමාන රත්නපුරේ ආපදා සැලසුම


 

වසර දාහතරකට පසු රත්නපුර දිස්ත්‍රික්කය මහා ව්‍යසනයකින් වෙළා ගත්තේ පසුගිය 26 වන සිකුරාදාය. එදින රත්නපුර දිස්ත්‍රික්කයට පහන් වූයේ වෙනදා මෙන් සාමාන්‍ය අන්දමිනි. පෙර දින එනම් 25 දින සමනළ කඳුකරයට වැසි ඇදහැළීම නිසා කළු, කුරු, බඹරබොටු ගංගාවල ජල මට්ටම වෙනදාට වඩා වැඩිවිය. ඒ එක්කම හංගමු, දෙනවක් ගංගාවල ද ජල මට්ටම පිටාරය. රාත්‍රියේ පටන්ගත් වැස්ස නොනැවතී වහින්නට විය.


සතියේ දිනයක් වුවත් පාසල් දරුවෝ ගුලි ගැහී නිදන්නට වන්හ. මව්පියෝ ද ඔවුන් අවදි කරවන්නට උත්සාහ නොදැරූහ. ආණ්ඩුවේ කාර්යාල සේවකයන්ට ද වැස්ස සිය රාජකාරි ගමන් ප්‍රමාද කළේය. එහෙත් දුර බැහැර ප්‍රදේශවල සිට නගරයට එන පෞද්ගලික අංශ සේවක සේවිකාවන් මහවැස්ස නොතකා පාන්දරින් ගෙවල්වලින් පිටවූයේ නියමිත වෙලාවට සේවා ස්ථානයන්ට යන බලාපොරොත්තුවෙනි.

එහෙත් රත්නපුර - කොළඹ පාරේ ඇහැලියගොඩ ප්‍රදේශයත්, අවිස්සාවේල්ල පුවක්පිටියත් ජලයෙන් යටවී ඇති නිසා රත්නපුරෙන් ආ බස් අතරමගදී ආපසු හරවා යන්නට විය. 


පාන්දර හය වෙද්දී කළු ගඟ පිටාර දමන්නට වූ අතර එය සාමාන්‍ය තත්ත්වයක් සේ සෑම කෙනෙක්ම සලකන්නට වූහ. පහත්බිම් යටවෙද්දී ගංවතුරක් ඒවියැයි කිසිවකුත් නොසිතා ඔහේ බලාගෙන සිටියහ. අන්තිමේ දී පැය තුනක් වැනි කෙටි වෙලාවක් තුළ කළු ගඟේ ජල මට්ටම මීටර් 11.35 (අඩි 36.89) දක්වා ඉහළ නැග්ගේ ගේදොර බඩු මුට්ටු වතුරින් යට කරවමිනි. මෙය මහා ගංවතුර තත්ත්වයකි.


රත්නපුර මුවගම පාලම යට ඇති කළු ගඟේ ජල මාපකයේ මීටර් 7.5 (අඩි 24.37) යනු සුළු ගංවතුර මට්ටමයි. මීටර් 9.5 (අඩි 30.87) යනු මහ ගංවතුර තත්ත්වයකි. මීටර් 5.8 හෙවත් අඩි 19 පිටාර මට්ටමයි. කළු ගඟේ ජල මට්ටම ඉහළ නැංගේ පැය විසිහතරක දී මිලිමීටර් 197ක වර්ෂාපතනයක් නිසාවෙනි.


මෙතරම් අඩු වර්ෂාපතනයක් තුළ මෙවැනි ගංවතුරක් එනු ඇතැයි රත්නපුරේ වැසියෝ කිසිවකුත් බලාපොරොත්තු නොවූහ. මීට පෙර මෙවැනි මහා ගංවතුරක් ආවේ 2003 වසරේ මැයි 17 දින දී ය. නිරිතදිග මෝසම සක්‍රීයවීමත් සමගම රත්නපුරේට වහින බව සැබෑය. එමෙන්ම නිරිතදිග මෝසම අවසන් වී ඊසානදිග මෝසම ආරම්භ වීමට පෙර එළැඹෙන අන්තර් මෝසම් සමය වූ සැප්තැම්බර් අග සහ ඔක්තොබර් මැද දක්වා ද මහ වැහි ඇද හැලෙයි.


සිංහල අලුත් අවුරුද්ද ගෙවී දින 45ක් ගිය තැන ගංවතුරක් එන බවට සබරගමුවේ, විශේෂයෙන් රත්නපුරේ ජනතාවගේ විශ්වාසයක් පවතී. ජනතාව ඊට සූදානම් වීම සිරිතකි. ඒ නිසා අතීතයේ ගංවතුර යනු රත්නපුරේ ජනතාවගේ ජීවිතවලම කොටසකි. 2003 මහා ගංවතුරට වඩා අඩි පහක් අඩුවෙන් මේ සැරේ ගංවතුරේ මට්ටම විය. එහෙත් විනාශය ඊට වැඩිය.


ගංවතුරත් සමග රත්නපුරේ නායයාම් ද සමගාමීව සිදු වෙයි. මෙවර එය දරුණු ලෙස සිදුව තිබේ. අඟහරුවාදා වනවිට මරණ සංඛ්‍යාව 84ක් වූ අතර අතුරුදන් ගණන 28ක් විය. රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, කලවාන, නිවිතිගල, පැල්මඩුල්ල, ගොඩකවෙල, කහවත්ත, කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාමෙන් මෙන්ම ගංවතුරින් ද දැඩි හානි සිදු විය.

 

 


සිකුරාදා (26) එළිය වැටී පැයකින් ඇරඹුණු නායයාම් දින කිහිපයක් පුරාවට වරින් වර සිදු විය. මේ මරණ ගණනත් අතුරුදන්වූවන් ගණනත් ඉන් වාර්තා වෙයි. නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිබත්ගල කන්දෙන් කොටසක් 27 වැනිදා පෙරවරුවේ නායයාමකින් “කුරහන” ගම වැළලී ගියේ දොළොස් දෙනෙක් මරණයට පත් කරමින් තවත් දහ නව දෙනකු අතුරුදන් කරවිමිනි.
ඇහැලියගොඩ රම්බඩකන්ද, කලාවිටියකන්ද, බෝපැත්ත ආදී ප්‍රදේශවලින් ද ජීවිත බිලිගත් නායයාම් වාර්තා විය. පැය තුනක් ඇතුළත අඩි හතක් උසට ගංවතුර ගැලූ නිසා අයගම සහ කලවාන නගරවලට ගොඩබිමින් ළඟාවීමට නොහැකි විය. කලවානට යන පාරේ පෑබොටුව, වේවැල්කඳුර ආදී ප්‍රදේශවල ද නායගියේ ජීවිත බිලි ගනිමිනි. කලවානේ සිට වැද්දාගල, පනාපොල, පොතුපිටිය, රඹුක, කජුගස්වත්ත හරහා රක්වානට එන පාරේ පස්කඳු කඩා වැටීම් ගණන් කළ නොහැකි තරමටය. 


පැය විසිහතරක් තුළ සිදුවූ මේ මහා ව්‍යසනයෙන් ලක්‍ෂයකට අධික පිරිසක් අවතැන් වූහ. ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් අවතැන් කඳවුරුවලය. තවත් පිරිසක් ඥාති හිතවතුන්ගේ ගෙවල්වලය. බදාදා වනවිටත් විදුලිය නොමැති නිවාස ගණන පනස් දහස ඉක්මවීය. ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් සැපයෙන නළ ජලය, ග්‍රාමීයව ක්‍රියාත්මක වන පානීය ජල යෝජනා ක්‍රමවලින් සැපයෙන නළ ජලය මෙන්ම කුඩා නගර ජල යෝජනා ක්‍රමවලින් සහ පළාත් පාලන ආයතනවලින් ක්‍රියාත්මක නළ ජල යෝජනා ක්‍රමවලින් සැපයෙන නළ ජලය දින ගණනක් යනතුරු නෙලැබී ගියේය.


පහත්බිම් ආශ්‍රිතව තිබූ ළිංවලින් ජලය ලබාගත් සියලු දෙනාට පානීය ජලය පමණක් නොව වැසිකිළියකට කැසිකිළියකට ගෙන යන්න ජලය නැති විය. නමුත් ගෙවල් වටකොට අපිරිසුදු ගංවතුරය. 


මේ ගංවතුර නිසා සිදුවූ හානියට ඇතැමුන් දොස් තබන්නේ ආණ්ඩුවටය. තව සමහරු පළාත් සභාවටය. තවත් පිරිස් ග්‍රාම නිලධාරීවරයාගේ පටන් දිස්ත්‍රික් ලේකම්වරිය දක්වා වූ රාජ්‍ය නිලධාරීන්ට දොස් තබති. එහෙත් කාට දොස් තියන්නටත් පෙර අඩු වැස්සක දී මෙවන් ගංවතුරක් ආවොත් ඊට සූදානම් වෙන්න ගංවතුර අවදානම් ප්‍රදේශවල ජනතාව සූදානමින් සිටියා ද? යන්න විමසිය යුතුය. පිළිතුර සැබැවින්ම නැත යන්න යි. පහත්බිම් ජලයෙන් යටවෙද්දී, මිදුලට වතුර එද්දී, එළිපත්තට වතුර එද්දී ඒ දෙස බලා සිටියා විනා ගෙවල් අස්පස් කරන්නට, වෙළෙඳසලේ බඩුමුට්ටු අස් කරන්නට කටයුතු කළා නම් ඒ අතළොස්සකි.


අඩුම තරමින් සිංහල අලුත් අවුරුද්ද පසුවී දින හතළිස් පහකින් එන ගංවතුරකටවත් සමහරු සූදානම් නොවූහ. එහෙත් මෙදා ගංවතුර ආවේය. පැය තුනකින් රත්නපුර ගංවතුරින් යටවිය. හැමදෙනාම ආරක්‍ෂාකාරී තැන්වලට ගොනු වූහ.


දහවල් දොළහ පමණ වනවිට ගංවතුර වැඩිවන්නට වූයේ නොසිතූ වේගයෙන්ය. සවස් වනවිට ගංවතුර එකම මට්ටමක විය. වැස්සේ අඩුවක් පැවතුනත් ගංවතුර බැසයන බවක් දැනගන්නට නොහැකි විය. ඒ වනවිට බොහෝ තැන්වල විදුලිය විසන්ධි කරනු ලැබුවේ ජනතාවගේ ආරක්‍ෂාවටමය.


රත්නපුර නගරය ගංවතුරින් ආරක්‍ෂා කළේ වෙරලුප වෙල්යායයි. අද එහි කොටසක් වූ ගොඩවෙල ගොඩකර හමාරය. ඒවායේ සුවිසල් මන්දිර තැනෙමින් එයි. තවත් තැනක දැවැන්ත පිටි ය. මේවා පිරෙව්වේ අද ඊයේ නොවේ. ආරම්භය යුද්ධය නිමවීමෙන් පසු එළැඹි යුගයේය. එදා ඒවා හෙළිදරව් කළ මාධ්‍යවේදීන්ට නොයෙකුත් කෙනෙහිලිකම් ය. පරිසරය විනාශ කරමින් ගංවතුර නිම්නය ගොඩ කරන්නට අවසර ලැබුණේ කොළඹින් ය. 


අනෙක් පැත්තෙන් පහත් බිම්වල තිබූ කුඹුරුවලින් වැඩි හරියක් බැකෝ දමා මැණික් හොයන්නට කැපූ පතල්වලින් ගොඩකළ පස් කඳුය. ජල බැස යන ඇළදොළ ගංගාවල රක්‍ෂිත හරස් කර අනවසර ඉදිකිරීම් ය. ඒ නිසා හතරවටින් ගලා ආ ජලය බැසයන ජල පාරවල් පටුය. හරියට පුනීල කටවල් වැනිය. ඒ නිසා බොහෝ තැන්වල ජලය බැස යන්නට වූයේ සෙමින් සෙමින් ය. 


වැලි ගොඩ දැමීමෙන් ගැඹුරු වූ ගංගා දෙපස පිරුණු ජලය ඉහත බාධක නිසා අඩුවන්නේ සෙමින් සෙමින් ය. මේ ව්‍යසනයට වගකිව යුත්තේ කවුද? දැන් කෙනෙක් නැත. වගුරු ගොඩකරන්නට අවසර දුන්නෝද නැත. අවසර නොදී ගොඩකළ අය ද නැත. බැකෝ දමා පතල් කපා පස්කඳු ගැසූවෝ ද නැත. ඊට බලපත්‍ර දුන්නෝ ද නැත. බලපත්‍ර ගෙන කොන්දේසි කඩකරමින් බැකෝවලින් පතල් කපන බවට හෙළිකරද්දී නොඇසුන කන් ඇතිව සිටි සමහරුන් ද අද ගංවතුරේ ය. මේ මහා ව්‍යසනයට පාර කපා මිලියන ගණනින් මුදල් සෙවූ මුදලාලිලා පාන් රාත්තල් ටිකක් අවතැන් වූවන්ට එවන්නේ හිත යටින් සිනාසෙමිනි. රක්‍ෂිත හරස් කර අනවසර ඉදිකිරීම් කරන්න උඩගෙඩි දුන් දේශපාලනඥයෝ වගේම ඊට අනුමැතිය දුන් නිලධාරී පැලැන්තිය ද ඇටි කෙහෙල් කෑ උගුඩුවන් ලෙසය.


මේ නොමනා වැඩවලින් දින ගණන් වතුර බැස නොයන මහා ගංවතුර ව්‍යසනයක් ඇති වෙතැයි දැන දැන ඒවා ආරම්භයේදීම වළක්වා ගන්නට කටයුතු නොකළ සියලුම දෙනාත් නීති විරෝධී ඉදිකිරීම්, ගොඩකිරීම් කළ සියලු දෙනාත් මේ ව්‍යසනයට වගකිව යුතුය. 


ඒ හැර නිසි වෙලාවට සහනාධාර නොදුන් බවට, විදුලිය, වතුර නොදුන් බවට දොස් කීමෙන් ඵලක් නැත. සාමාන්‍ය පුද්ගලයෙක් නිවසක් තනන්නට පළාත් පාලන ආයතනවලින් වීථි රේඛා අනුමත කරගන්නට සපුරාලිය යුතු කොන්දේසි අපමණය. ඒත් ජල බැස යන කානු අවහිර කරමින් රක්‍ෂිතවල කෙරෙන ඉදිකිරීම් සිදුවන්නේ අවසර ඇතිව බව දැනෙන්නේ ඒ ඉදිකිරීම් එකකටවත් විරුද්ධව නීතියක් ක්‍රියාත්මක නොවූ නිසා ය.  


ඒ ගංවතුර පැත්තය. නායයාම් ද ඒ හා සමානය. නායයාම් වැඩියෙන් සිදුව ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් කළ ප්‍රදේශවලය. ගම්මානවලට ඉහළින් තිබූ රක්‍ෂිත එළි පෙහෙළි කර තේ වගාකළ ඉඩම් අක්කර දහය පහළොව පෙරළාගෙන ආවේ ජීවිත රැසක් අහිමි කරමිනි. ඒ නාය ආ සෑම භූමියක්ම මිනිස් ක්‍රියාකාරකම් සිදුකළ ඉඩම් ය. ඇතැම් තැන් තේ වගා කළ ඒවා ය. තවත්  තැනක රබර් වගාවන් ය. තවත් තැනක කිසියම් වගාවකට එළි කළ බිමක් ය. නායගිය බොහෝ තැන් රජයේ රක්‍ෂිත හෝ රජය සතු ඉඩම් ය.


පස් කඳු කඩා වැටී තිබුණේ අංශක හැටක් අනූවක් වැනි ආනතියට කැපූ තැන් ය. පාරවල්වල ඉවුරු ය. ගෙපල් ය. නායගිය සමහර ස්ථාන නායයන බවට ගොඩනැගිලි හා පර්යේෂණායතනය විසින් හඳුනා නොගත් තැන් ය. ඒ කියන්නේ නායයාමේ මූලික ලක්‍ෂණ නොපෙන්වූ තැන් ය. තවත් සමහර තැන් එවැනි හඳුනාගත් තැන් ය. හඳුනාගත් තැන්වල ජනතාව පදිංචිව සිටියේ ඇයි? ඔවුන්ට විකල්ප ඉඩම් ලබා දී තිබුණේ ද?


ජනතාවගේ පැත්තෙන් වගේම පරිපාලන පැත්තේ ද යම් අඩුපාඩු තිබූ බව පිළිගත යුතුය. අවදානම් සහිත තැන් වෙනුවට ඉඩම් ලබාදුන් අය විකල්ප ඉඩම් සහ නිවාසවල ටික කලක් පදිංචිව සිට විකුණා දමලා ය. නැත්නම් ඒවා කුලියට දී යළි මුල් තැන්වල පදිංචියට ඇවිත් ය. ඒ නිසා නැවතත් හානි සිදුව ඇත්තේ වන්දි ලැබූ ඉඩකඩම් ද? රාජ්‍ය නිලධාරීන්ට දැන් වගකීමක් තිබේ. විකල්ප ඉඩම් දුන් පසු ඒ තැන් නිදහස්ව නොතිබුණේ කාගේ වරදින් ද? ඒවා මිනිස් ක්‍රියාකාරකම්වලින් තොර කලාප කළේ නම් මිනිස් ක්‍රියාකාරකම් සිදු නොවන්නට ඉඩ තිබුණි. ඒ වගේම මීට පෙර විපතට පත්ව විකල්ප ඉඩම් ලැබී නැති බොහෝ දෙනෙක් තවමත් සිටිති. 


රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර සහ නායයාම් නිසා දින ගණනක් ළඟා විය නොහැකි ගම්මාන මීට වසර පහළොවකදී තිබුණ අතර අදටත් එය වෙනස්ව නොමැත. ඒ නිසා පෙනෙන්නේ එතෙක් මෙතෙක් පාලකයන්ට සැලැස්මක් නැති බවය. 


සිංහලගොඩ කම්බි පාලම කැඩීයාමෙන් ගම කොටුවෙලා ය. කලවාන, අයගම දින තුන හතර හුදකලා ය. මේ තත්ත්වය වෙනස් කරන්න දීර්ඝ කාලීන සැලසුමක් හදන්නට කටයුතු නොකිරීම ගැන වගකීම පාලකයන් මෙන්ම නිලධාරීන් ද වගකිව යුතුය. මේ දෙපාර්ශ්වය ම නඩත්තු කරන්නේ මහජනයා විසිනි. මේ වනවිට එක් ග්‍රාම නිලධාරී වසමකට රජයේ නිලධාරීහූ හතර පස් දෙනෙක් සිටිති. ඒ නිලධාරින්ට වගකීම් නිසි ලෙස පවරා තිබේ ද යන්න විමසිය යුතුය. 


විපත් අවස්ථාවේ මුලින්ම විපතට පත්වූවන් බේරාගෙන කන්න බොන්න දී ආරක්‍ෂා කර ගත්තේ අසල්වැසි ජනතාව ය. යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලීසිය ආවේ දෙවැනියටය. ඔවුන්ගේ කැපවීම මිල කළ නොහැක.


දැන් ගංවතුර බැස යමින් පවතින අතර අවතැන් වූ ජනතාවට ආණ්ඩුවෙන් මෙන්ම විවිධ සංවිධානවලින් පරිත්‍යාග ලැබෙමින් පවතී. ආණ්ඩුව ආධාර දෙන්නේ කිසියම් යාන්ත්‍රණයකට ය. වසමේ ග්‍රාම නිලධාරී සහ සමෘද්ධි සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ සහකාර, සංවර්ධන ආදී නිලධාරීන්ගේ අධීක්‍ෂණ මතය. නමුත් පිටතින් පැමිණෙන ආධාර කණ්ඩායම් ඒවා බෙදන්නේ මග තොටේ සිටින අයට ය. ඒ නිසා සැබැවින් ම විපතට පත්වූවන්ට එවැනි ආධාර ලැබෙන්නේ 10% වැනි ප්‍රමාණයකි. ගංවතුරක් නායයාමක් අහලකවත් නැති පිරිස් අතරමග රැක සිට ඒ ආධාර බොරු කියා කඩා ගනිති. මේ වනවිට එවැනි ආධාර ලොරි බලහත්කාරයෙන් කොල්ල කන්නට පටන්ගෙන තිබේ. 2003 ගංවතුර මෙවැනි පුද්ගලයන්ට පිංවතුරක් විය. ඔවුන්ට මෙවර ද එවැනිම පිංවතුරක් වන ලකුණු පහළ වෙමින් පවතී. එවැනි පිරිස් කියන්නේ ම ‘අනේ අපට මොකුත් ලැබුණේ නෑ’ කියා ය. එය මුසාවකි.


මේ වැසි ආරම්භ වුණා පමණි. වෙසක් පොසොන් වගේම ඇසළ මාසයත් රත්නපුරේට මහවැසි ඇදහැනෙ මාසය. තව දින කිහිපයකින් තවත් මෙවැනි ව්‍යසනයක් නොඒවියැයි කිව හැක්කේ කාටද? එවැන්නක් එතැයි යන පූර්ව නිගමනයෙන් කටයුතු කළොත් හානි අවම කරගත හැකි වනු ඇත.

අජිත්ලාල් ශාන්තඋදය