වත්මන් සමාජය ව්‍යාධි මාරයාට ගොදුරු වෙන හැටි


වෛද්‍ය විද්‍යාව ඇතුළු සියලු විද්‍යාවෙන් හිනි පෙත්තටම දියුණු යැයි කියන සමාජයක ජීවත්​ෙවන අපට අද අතීතයේ නොවූ විරූ ලෙස බරපතළ සෞඛ්‍ය ගැට‍ලු රාශියකට මුහුණ පෑමට සිදුව ඇත. මේ තත්ත්වය හමුවේ එම රෝග ව්‍යසනයේ නිවැරදි තත්ත්වය හා ඒ සඳහා හේතු​ ෙවන සැබෑ කාරණා කුමක් ද යන්න පිළිබඳ පාඨක ඔබ දැනුවත් කිරීම අප සතු පරම යුතුකමකි. එපමණකින් නොනැවතී එම රෝග ව්‍යසනය ජය ගැනීම සඳහා වූ විසඳුම සෛද්ධාන්තිකවත්, ප්‍රායෝගිකවත් ක්‍රියාත්මක කරමින් අත්දකින “හෙළ සුවය” නම් වූ වැඩ සටහනේ අපි, ඔබව දැනුම්වත් කරන්නෙමු. විද්‍යාත්මක දත්ත මත පදනම් වූ තහවුරුවක් ද සමගින් එම තොරතුරු සංක්ෂිප්තවත්, සරලවත් ඔබ වෙත අප ගෙන එන්නේ ඔබ සියලු දෙනාට ඒවා මැනවින් ග්‍රහණය කර ගැනීම පිණිසයි.
 
මේ ලිපියෙන් අප අදහස් කරන්නේ වත්මන් සමාජය ව්‍යාධි මාරයාට ගොදුරු වී ඇති ආකාරය ඔබ හට අවබෝධ කරවීමටයි.
 
ගම් දනව් සිසාරා පැතිරෙන දියවැඩියාව
 
“මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ” යනුවෙන් ගීතයට නැඟුණු එදා ග්‍රාමීය ජීවිතයේ තිබූ සැපත අද අපට තිබේ ද? එය සිහිනයක් බවට පත් වී හමාර ය. සිදු කරන ලද රෝග සමීක්ෂණ ප්‍රතිඵල අධ්‍යයනයේ දී අපට වැටහෙන්නේ 1993 සිට 2004 දක්වා වසර 10 කට ආසන්න කාල පරිච්ඡේදය තුළ ග්‍රාමීය ප්‍රජාව තුළ දියවැඩියා රෝගීන් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි වූ බවයි. නාගරික ජන සමාජය තුළ පවතින විෂම ආහාර හා පාරිසරික බලපෑම් නිසා ඇති ​ෙව​​නවා යයි කියන මෙවන් රෝග තත්ත්ව ග්‍රාමීය ප්‍රජාව තුළත් දැන් දැන් උත්සන්න වෙමින් පවතින්නේ ඇයි ද යන්න ඉදිරියේ දී සලකා බලමු. දීර්ඝ කාලීන ඖෂධ භාවිතය මත යැපීමට සිදු​ෙවන මෙම රෝගී තත්ත්වය අවසානයේ දී අපට උරුම කරන්නේ හෘදය රෝග, ස්නායු රෝග, විෂ බීජ ආසාදන නිසා සිදු​ෙවන අකල් මරණයි. පිළිකා රෝග වැලඳීමේ අවදානම ද මෙයින් වැඩි කරයි. දියවැඩියා රෝගයේ සංකූලතාවන් වන ඇස් අන්ධභාවය, අතපය අහිමි වීම වැනි තත්ත්වයන් හමුවේ සදාකාලිකව එක්තැන් ​ෙවන පිරිස ද එන්න එන්නම වැඩි වෙයි.
අවුරුදු 12 ක් තුළ පිළිකා රෝග දෙගුණ වේ
 
අපි කවුරුත් දන්නා දරුණුතම බෝ නොවන රෝගය වන පිළිකා රෝග මාරයාට ගොදුරු වූ පිරිස වසර 2000 සිට 2012 දක්වා කාල පරාසය තුළ දෙගුණ වී ඇති බව ජාතික පිළිකා ආයතනයේ ලියාපදිංචි ​ෙවන රෝගී සංඛ්‍යාව අනුව පෙනේ. දැන් දැන් කුඩා දරුවන් ද ඉතා කණගාටුදායක ලෙස මෙම රෝගී තත්ත්වයට ගොදුරු වෙමින් පවතී. බටහිර රටවල බහුලව පැතිරෙන මෙම රෝගය දැන් අප රට ද වෙලා ගනිමින් පවතී. මෙම රෝග අතර බහුලතම ​ෙවන්නේ පියයුරු, තයිරොයිඩ් ග්‍රන්තිය, මොළය, පුරස්ථ ග්‍රන්ථිය, ආහාර මාර්ගය වැනි ඉන්ද්‍රිය ආශ්‍රිතව එන පිළිකාය. ඉදිරියේදී ගෙයක් ගෙයක් පාසා මේ තත්ත්වය වර්ධනය නො වන්නේ යැයි කාට කෙසේ කිව හැකි ද?
 
 
 
 
 
 
තරබාරු අයට හැදෙන බෝ නොවන රෝග සාමාන්‍ය අය අතරත් වැඩි වෙමින්
 
බටහිර වෙදකමට අනුව, සියලු බෝ නොවන රෝග සඳහා අවදානම් සාධකයක් වන ඇඟ මහත් වී බර වැඩි වීම හෙවත් අධි බර තත්ත්වය හා ස්ථුලභාවය කොළඹ ප්‍රදේශයේ වැඩිහිටියන් තුල පසුගිය වසර 15 ක කාල පරිච්ඡේදය තුළ තුන් ගුණයකින් වැඩි වී ඇත. එහෙත් වර්තමානයේ බර සාමාන්‍ය යයි කියන පිරිස අතරත් බෝ නොවන රෝග වැඩිවෙමින් පවතින බව ඔබ දන්නවාද?
 
බෝ නොවන රෝග දරු පරපුරත් ගිලගනිමින් සිටී
 
අද අපගේ දරුවන් ගැන නිතර අසන්නට ලැබෙන දේ ද සුළුවට තැකිය නොහැකිය. එනම් පාසලේ ක්‍රීඩා කරද්දී, අවුරුදු උළෙලේ ගම හරහා දුවද්දී දරුවන් මැරී වැටුණු අවස්ථා ගණනක් අසන්නට ලැබිණි. ඒ නිසා වර්තමානයේ දී පාසල් ක්‍රීඩා උත්සව පවත්වන්නට ආසන්න වන විට කුඩා දරුවන්ගේ පවා ECG පරීක්ෂණ කරවා ගෙන එන ලෙස ගුරුවරුන් දෙමාපියන්ට දැනුම් දෙනු ලැබේ. එතෙකින් නොනැවතී, ගෙතුළ සෙල්ලම් කරමින් සිටි දරුවා මැරී වැටී සිටි බවට හද සසල කරවන සිද්ධි අසන්නට තරම් අපි අවාසනාවන්ත වී සිටිමු. දැන් දැන් දරුවන් අතර ද හෘද දියවැඩියාව, අධිකොලස්ටරෝල් තත්ත්ව, හෘද රෝග, පිළිකා වැනි බෝ නොවන රෝග උත්සන්න වෙමින් පවතී. අද කොළඹ, මහනුවර වැනි ප්‍රධාන දිස්ත්‍රික්ක ආශ්‍රිත රෝහල් වල පාසල් දරුවන් සඳහා වෙනම සතිඅන්ත බෝ නොවන රෝග සායන පැවැත් වේ. දරුවන්ට කෙලි සෙල්ලමෙන් හා මාපියන් සමඟ සතුටින් ගත කිරීමට ඇති සති අන්තය ද මේ අනුව ඔවුනට අහිමි වෙමින් පවතී. මේ සෝචනීය තත්ත්වය හා මීට පෙර බෝ නොවන රෝග පිළිබඳව අප දැනගෙන සිටි කාරණා හා අසන්නට ලැබුණු දේ අතර ඇත්තේ ලොකු පරස්පරයකි. කුමක්ද ඒ?? මීට වසර කිහිපයකට පෙර බෝ නොවන රෝග ගැන වෛද්‍යවරු වන අපට උගන්වා තිබුණේ ඒවා වයසට යාමත් සමඟ සෑදෙන රෝග (Age Related Diseases) ලෙසයි. ඒ නිසාම සාමාන්‍යයෙන් සෞඛ්‍ය අංශ විසින් දියත් කරනු ලබන බෝ නොවන රෝගීන් හඳුනා ගැනීමේ සායන වලදී ඒ සඳහා සහභාගි කර ගන්නේ වයස අවුරුදු 35 ට වැඩි පිරිසයි. වැඩිහිටියන් ගේ යැයි කිවූ රෝග දරුවන්ට සෑදෙන්නේ කෙසේ ද යන්න අපි කවුරුත් දැනගත යුතුමය. ඉදිරියේ දී ඒ පිළිබඳ සාකච්ඡා කරමු.
බටහිර ඖෂධ නොමැති අක්මා රෝග වේගයෙන් පැතිරේ
 
දරුවන්ගේ මේ තත්ත්වයට හේතු පාදක වන මූලික රෝගී තත්ත්වය ගැන ඔබ දන්නවා ද? ගම්පහ රෝහලින් අපට දැන ගන්නට ලැබෙන පරිදි පහත වගුවේ දත්ත අනුව අද අක්මාවේ මේද තැන්පත් වීම (Fatty Liver) යන රෝගය දරුවන් අතර බහුලව දක්නට ලැබේ. අධිබර දරුවන්ට කෙසේ වෙතත් දැන් දැන් කෙට්ටු දරුවන් අතරත් මෙම තත්ත්වය වැඩි වන බව රෝගී දත්ත අනුව තහවුරු වේ. Fatty Liver තත්ත්වය හඳුනා ගැනීමට නම් බෝ නොවන රෝග සායන වල දී සාමාන්‍යයෙන් අප සිදුකරන බාහිර හා රුධිර පරීක්ෂාවෙන් ඔබ්බට යන රුධිර හා ස්කෑන් පරීක්ෂා සිදු කළ යුතු වේ. ඒ නිසා සාමාන්‍ය සායන වලදී Fatty Liver තත්ත්වය බොහෝ විට හමු නොවේ.
 
 
  අධි බර ළමුන් 44කගෙන්  රෝගී ළමුන් ගණන
Fatty Liver   40
අක්මාව ඉදිමීම    24
අක්මා ප්‍රදාහය
(අක්මා එන්සයිම වැඩි)    
29
 
මාතර දිස්ත්‍රික්කයේ වැවිලි ආර්ථිකය මත පදනම් වූ එක්තරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයක ගම් දෙකක් තෝරාගෙන “හෙළ සුවය” වැඩසටහන යටතේ වෛද්‍යවරුන් එකතු වී කළ සමීක්ෂණයක දී සොයා ගැනුණේ අවුරුදු 18ට වැඩි ජනගහනයෙන් 38% ක් හා 29% ක් Fatty Liver රෝග තත්ත්වයෙන් පෙළෙන බවයි. එදා මධ්‍යසාර පානය කරන්නන් අතර විශේෂයෙන් බහුල වූ මෙම අක්මාවේ තෙල් තැන්පත් වීම හා ඉදිමීම වර්තමානයේ මධ්‍යසාර පානය නොකරන දරුවන් හා කාන්තාවන් ඇතුළු පිරිස අතර වැඩි ​වන්නේ ඇයි ද යන්න අප ඉදිරියේ දී විග්‍රහ කර ගනිමු. හම්බන්තොට හා ගාල්ල දිස්ත්‍රික්ක වල ප්‍රධානතම රෝහල් දෙකක ස්කෑන් පරීක්ෂණ සඳහා යොමු වන රෝගීන් අතුරින් Fatty Liver රෝගය ඇති රෝගීන් ප්‍රතිශතය පිළිවෙළින් 52% ක් හා 45% ක් වේ. මේ අනුව අන් සියලුම රෝග අභිබවමින් අප අතර වැඩියෙන්ම පවතින රෝගී තත්ත්වය ​ෙවන්නේ Fatty Liver තත්ත්වයයි. මෙම තත්ත්වය යථා තත්ත්වයට පත් නොවුණ හොත් ඉක්මනින් මරණය ගෙන දෙන අක්මාවේ සිරෝසිස් හෝ පිළිකා තත්ත්ව දක්වා වර්ධනය වීමට හැකි ය. කාලික අක්මා රෝග බටහිර වෙදකමට අනුව නැවත යථා තත්ත්වයට පත්කළ නොහැකි බවත්, Fatty Liver රෝගය සුව කිරීම සඳහා බටහිර ඖෂධ නොමැති බවත් ඔබ සිත්හි ධාරණය කර ගත යුතු වේ. අප ශරීරයේ තිබෙන බරම අවයවය වන, ශරීරයේ විෂ ඉවත් කරමින්, පෝෂණ හා හෝමෝන සමතුලිතතාව ඇති කරමින්, ශරීරගත ප්‍රතිශක්තිය ඇතිකරන මෙම අවයවය හානි වීම මනුෂ්‍ය ශරීරයේ සියලුම ක්‍රියා අඩපණ වීමට හේතු වේ. කුඩා දරුවන් ඇතුළු ඒ අක්මා රෝග සහිත පිරිස දැනටමත් මෙතරම් ඉහළ ප්‍රතිශතයක් සිටී නම් අනාගතයේ දී අපට සිදුවන්නේ මහත් අන්තරායකි.
 
ඉහත මාතර දිස්ත්‍රික්කයේ ගම් දෙකේ Fatty Liver තත්ත්වය, දියවැඩියාව, අධිරුධිර පීඩනය හා අධි කොලස්ටරෝල් තත්ත්ව සලකා බැලූ කල එම රෝග තත්ත්වයන්ගෙන් එකක් හෝ පවතින පිරිස 58% සිට 72% දක්වා ඉහළය. මෙම විශේෂිත සායනයේ දී අප ව්‍යාපෘතියේ ඉල්ලීම මත වයස අවුරුදු 18 ත් 35 ත් අතර පිරිස ද 10 දෙනෙක් සහභාගි වූ අතර එම 10 දෙනා අතරින් 06 දෙනෙකුම ඉහත සඳහන් රෝග අතුරින් එකක් හෝ ඇති රෝගීන් වීම විශේෂිතය. ඒ අනුව සාමාන්‍ය රෝගීන් හඳුනා ගැනීමේ දී සායන වලදී රෝගී වූ තරුණ ප්‍රජාව කොතරම් මඟහැරෙනවා ද යන්න ඉතා පැහැදිලි වේ. එසේ නම් අප හමුවේ ඇති සාමාන්‍ය බෝ නොවන රෝග දත්ත හා සැබෑ බෝ නොවන රෝග දත්ත අතර කොතරම් පරතරයක් ඇති ද යන්න විශේෂයෙන් සලකා බැලිය යුතු වේ.
 
 
ලබන සතියට...
 
 
වෛද්‍ය කුමුදු දහනායක
 (MBBS, DLM, MD)