ලෝප්‍රකට බෝයිං සමාගමේ කතාව


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

 

  • විලියම් ඊ. බෝයිං මුලින්ම පවත්වාගෙන ගියේ දැව නිර්මාණ අංශයේ කර්මාන්තශාලාවක්

 

ගුවන් ගමන් මෙන්ම ගුවන් යානා ගැන කතා කිරීමේදී ලොව බෙහෝ දෙනා අතර වඩා ප්‍රකටව ඇත්තේ ‘බෝයිං’ යන නාමයයි.   


මෙම බෝයිං සමාගම ලොව වඩාත් ප්‍රකටව ඇත්තේ ගුවන්යානා නිෂ්පාදනය කිරීම පමණක් නිසා නොවේ. ගුවන්යානා නිෂ්පාදනයට අමතරව රොකට්, චන්ද්‍රිකා මෙන්ම ධන කුවේරයන් සඳහා වූ පුද්ගලික යානා, විදුලි සංදේශ උපකරණ, සහ මිසයිල නිෂ්පාදනය ද මෙම සමාගම මගින් සිදුකෙරේ.   


 ඩොලර් වටිනාකම අනුව ඇමරිකාවේ විශාලතම අපනයනකරුවා ලෙස හැඳින්වෙන්නේ මෙම සමාගමය. යුදමය ආරක්ෂක සේවා සඳහා නිෂ්පාදන කොන්ත්‍රාත් ඇණවුම් ලබා ගන්නා ලොව දෙවන විශාලතම සමාගම ලෙස හැඳින්වෙන්නේ ද බෝයිං සමාගමය. මිනිසා නැසීමට තනන උපකරණ හෝ මිසයිල ගැන කතා නොකර ලෝ ප්‍රකට බෝයිං සමාගම විසින් නිපදවනු ලබන ගුවන්යානා ගැන අපි කතා කරමු.   


 ලොව හොඳම සමාගම් 500 අතරට මෙම බෝයිං සමාගම අයත්වන අතර එහිදී 2018 වන විට බෝයිං සමාගම පසුවූයේ 64 වන ස්ථානයේය. එසේ වර්ගීකරණය වූ මෙම බෝයිං සමාගම ආරම්භ වූයේ එවකට පළමු ලෝක යුද්ධය පැවැති සමයේදීය.   


1916 දී පැසිපික් ගුවන් නිෂ්පාදන සමාගම ලෙස ස්ථාපිත වූ බෝයිං සමාගම 1917 සිට 1961 දක්වා විකාශය වූයේ බෝයිං ගුවන්යානා සමාගම ලෙසය. බෝයිං (Boeing) යන නාමය මෙම සමාගමට ලැබුණෙත් එය බිහිකළ මිනිසාගේ නමින්ම වීම විශේෂත්වයකි. එනම් එද‌ා 1916 ජූලි 15 වැනිදා ඇමරිකාවේ වොෂිංටනයේ සියැටල්හිදී මෙම සමාගම ලෝකයට විවර කර දුන්නේ ‘විලියම් ඊ බෝයිං’ නමැති මිනිසා විසිනි.   


ප්‍රකට සමාගම් ලොව දිනූ විශේෂාංගය වෙතින් අද අපි මෙම බෝයිං සමාගම ආ ගමන සහ විලියම් ඊ බෝයිං ගේ විස්තර දැන ගනිමු.   


බෝයිං හැදූ බෝයිං කවුද?   


විලියම් එඩ්වඩ් බෝයිං උපන්නේ 1881 ඔක්තෝබර් 1 වැනිද‌ා මිචිගන්හි ඩිට්රොයිට් හිදීය. බෝයිංගේ මව වූ මාරි ඕට්මන් ඔස්ට්‍රියාවේ වියානාවේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වී සිටියාය. පියා වූ විල්හෙම් බෝයිං, ජර්මනියේ හෝන්ලිම්බර්ග් සිට ඇමෙරිකාවට සංක්‍රමණය වී සිටියේය. ඒ අනුව බලන කළ මේ එඩ්වඩ් බෝයිං උපත ලැබුවේ ජර්මානු පියෙකුට ද‌ාව ඔස්ට්‍රියානි මවකට බව පෙනී යයි.   


මෙලෙසින් රටවල් කීපයක ජාන සංකලනයෙන් බිහි වූ නිසා මේ ‘බෝයිං’ අපරිමාන දක්ෂතා ඇති චරිතයක් වන්නට ඇතැයි බොහෝ විට අනුමාන කළ හැකිය.   
1868 දී ඇමරිකාවට සංක්‍රමණය වී සිටි බෝයිංගෙ තාත්තා වූ එනම් විල්හෙම් බෝයිං මුලින්ම කම්කරුවකු ලෙස රැකියාව කළ බැව් සඳහන් වේ. ඉන්පසුව ටිකෙන් ටික ජීවිතය ගොඩනගා ගැනීමට බෝයිංගෙ තාත්තා කටයුතු කළ අතර නෝර්ත් වුඩ්ස් දැව භූමියේ සිට ජීවිකාව සරුකර ගැනීමට සමත්විණි.   


 යපස්, ඛණිජ ද්‍රව්‍යවලට ද එහි සිට හිමිකම් දැරුවේය. බෝයිං පවුල ආර්ථිකව ශක්තිමත් වූයේ එකී ව්‍යාපාරයන් නිසාය. කෙසේ වෙතත් විලියම් බෝයිං පුතු හට වයස අවුරුදු 8 වෙද්දී ආදරණීය පියා වූ විල්හෙම් බෝයිං ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගයට ගොදුරු වී ජීවිතක්ෂයට පත්විය. ඉන්පසුව තරුණ වියේ පසු වූ මව ඉක්මනටම වෙනත් විවාහයක් කරගත්තාය. නැවතත් යුරෝපයේ විසූ තම ඥ‌ාති වර්ගයා වෙත ගොස් සිටි බෝයිං ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරීමට පෙළැඹියේ ස්විට්සර්ලන්තයේ සිටය. එහි සිටියදී ඔහු වසරකට වතාවක් මව විසූ ඇමෙරිකාවට ආයේය. කෙසේ හෝ කාලයාගේ ඇවෑමෙන් නැවතත්, ඇමරිකාවට ආ තරුණ බෝයිං සුප්‍රකට ‘යේල්’ සරසවියෙන් උසස් අධ්‍යාපනය ලැබීමට පෙළැඹ සිටියේය.   
 උපාධි ප්‍රද‌ානෝත්සවයට ඔන්න මෙන්න කියා තිබියදී සරසවිය හැර ගිය ‘බෝයිං’ තම පියා විසින් අරඹා තිබූ දැව කර්මාන්තය සහ ඛණිජ සම්පත් අංශයේ කර්මාන්තය කරගෙන යාමට උත්සුක වුණි. පසුව වොෂිංටනයේ ග්‍රේස් වරාය කලාපය අවට ඉඩමක් මිලදී ගෙන දැව (ලී දඬු) කර්මාන්ත ශාලාව ස්ථාපිත කළේය. ඔහුගේ මෙම ලී දඬු විකිණීමේ කර්මාන්තය ඉතා සාර්ථක විණි. එයින් උපයාගත් මුදල් වෙනත් අංශයක් වෙත ආයෝජනය කිරීමට උපායමාර්ගිකව කටයුතු කළ බෝයිං ග්‍රීන් වුඩ් ටිම්බර් නම් වූ තම සමාගමේ සභාපතිව සිටියේය.   


 දැව ආශ්‍රිත කර්මාන්තයක යෙදී සිටි නිසා බෝට්ටු නිපදවීම සඳහා වූ සැලසුම් කෙරෙහි උනන්දු වී කටයුතු කළ ඔහුගේ අභිප්‍රාය වූයේ අලුත් අලුත් දේ නිර්මාණය කිරීමටය. 1909 දිනෙක ඔහු ඇලස්කාහි පැවැත්වූ යාන්ත්‍රික ප්‍රදර්ශනයක් නැරඹීමට යමින් සිටියේය. මිනිසුන් සහිත පියාසර යානයක් දුටු ඔහු හට ඒ ගැන තදින්ම හිත ඇදී ගියේ ඒ අවස්ථාවේදීය.   
 ගුවන්යානා පැදවීමට ඉමහත් ආසාවක් ඇතිකර ගත් බෝයිං, ග්ලෙන් එල්මාටින්, පියාසර පාසලින් පුහුණුව ලැබීමට උත්සුක විණි. ඒ වෙනුවෙන් ලොස් ඇන්ජලිස් වෙත ගොස් සිටි අතර මාටින් සතු වූ ගුවන් යානයක් මිලදී ගත්තේය. ජේම්ස් ෆ්ලොයිඩ් නමැති ගුවන්යානා අංශයේ බොහෝ දැණුමක් තිබූ ගුවන් නියමුවා සමග එම යානයෙන් නැවතත් සියැටල් වෙත යාමට බෝයිං තීරණය කළේ ස්වකීය ගමන් මග වෙනස්කර ගැනීම වෙනුවෙනි.   


 ඉහත කී පියාසර පාසලින් ගුවන්යානා පැදවීම තවදුරටත් ප්‍රගුණ කරමින් සිටි අතර ජේම්ස් ෆ්ලොයිඩ් හා එක්ව ගුවන්යානයක් එකළස් කිරීමට පටන් ගත්තේය. පසුව එය පදවාගෙන යෑමට බෝයිං කටයුතු කළ අතර, එම ගමන නිමාවූයේ ගුවන්යානය හානියට පත් කරවමිනි. ඉන්පසුව එය පිළිසකර කිරීමට මාටින් පියාසර පාසලට මසකට වඩා කාලයක් ගත වූයේ අමතර කොටස් ගෙන්වීමට කල්ගත වූ නිසාවෙනි.   


‘මේ වැඩේ මෙහෙම හරි යන්නෙ නැහැ.’   


එසේ සිතූ බෝයිං ඔහුගේ මිතුරකුව සිටි ඇමෙරිකානු නාවික හමුද‌ාවේ කොමාන්ඩර්වරයකු වූ කොන්රඩ් වෙස්ටර්වෙල්ට් වහාම හමුවීමට ගියේය.   
‘අපි වඩා ඵලද‌ායි ගුවන්යානයක් තනමු. එය අපට භාවිතයට ගත හැකියි.’ 

 
‘ෂාහ් මරු අදහසනෙ.’ වෙස්ටර්වෙල්ට් ප්‍රීතියෙන් කෑ ගැසීය.   


මේ සුසංයෝගයේ ඵලදැරීමක් ලෙස ‘බෝයිං සහ වෙස්ටර්වෙල්ට්’ නමින් එනම් 'B & W' නමින් සී ප්ලේන් යානය මුල්වරට නිපදවූයේ එලෙසිනි.   


1916 ‘බෝයිං’ ගුවන්යානා නිෂ්පාදනයට පිවිසීම   


‘සී-ප්ලේන්’ දකුණු ආසියානුවන්ට තරමක් අලුත් දෙයකි. සී ප්ලේන් යනු ගුවනෙහි පියාසර කළ හැකි සේම, දියෙහි ගොඩබෑමට හැකි සැහැල්ලු ගුවන්යානාය. එද‌ා වසර සියයකට කලින් ‘බෝයිං’ සී ප්ලේන් යානයකින් ගුවන්යානා නිෂ්පාදන ගමන ඇරඹීම විටෙක අදහාගත නොහැකි දෙයක් නොවේද? එලෙසින් ගමන් ඇරඹි ‘බෝයිං’ සමාගම එද‌ා නිපදවූ සී ප්ලේන් එක තනි එංජිමකින් යුතුවිය. පසුව එය නවසීලන්තයේ ගුවන් පුහුණු පාසලට අලෙවි කිරීම කර ඇත. බෝයිං සමාගමේ අතිශය ප්‍රථම ජාත්‍යන්තර ගුවන්යානා වෙ​ෙළඳ‌ාම එය බව සඳහන් කළ හැකි වේ.   


 එවකට පළමු ලෝක යුද්ධය ඇරඹී තිබිණි. 1917 දී ‘බෝයිං එයාර් ප්ලේන් කම්පැනි’ ලෙස සමාගම නම මාරු කර තිබුණු අතර ඇමරිකානු නාවික හමුද‌ාවට ගුවන් යානා 50 ක් නිෂ්පාදනය කර දීමේ ඇණවුම බෝයිං සමාගමට ලැබිණි.   


පළමු ලෝක යුද සංග්‍රාමයෙන් පසුව ‘බෝයිං’ සමාගම මගී ගුවන්යානා නිෂ්පාදනය කෙරෙහි උනන්දු විය. ගුවනින් යැවූ ලිපි, ප්‍රවාහනය කිරීම සඳහා ඇණවුම් ලබාගත් අතර එවකට ඇමෙරිකාවේ ස්ථාපිතව තිබූ යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගම වෙතින් මගී ප්‍රවාහන ගුවන්යානා නිපදවීමට ඇණවුම් ලබා ගත්තේය.  


‘බෝයිං’ ගේ අපූරු විවාහය  


1921 දී විලියම් එඩ්වඩ් බෝයිං විවාහ වූයේ බර්තා මාරි පොටර් සමගය. ඇය කලින් විවාහ වී සිටි තැනැත්තියක වූවාය. එම විවාහයේ පිරිමි දරු දෙදෙනෙක් ඇය සතු වූ අතර බෝයිං සමග විවාහ වූ පසු බෝයිංට දාව තවත් පිරිමි දරුවකු ඇය බිහි කළාය. මේ පුතුන් තිදෙනාම බෝයිං යුවළගේ ව්‍යාපාර මෙන්ම ගුවන්යානා අංශයේ සහ ඊට සම්බන්ධ ව්‍යාපාරයන්හි නිරත වී ඇත.  


 බර්තා මාරි පොටර් යනු නිකම්ම නිකම් සාමාන්‍ය පවුලකට අයත් තැනැත්තියක නොවූ අතර වත්පොහොසත්කම් මෙන්ම කර්මාන්තශාලා ක්ෂේත්‍රයේ නිරත වූ පවුලකින් පැවැත ආ තැනැත්තියක වූවාය.


‘බෝයිං’ ගේ චරිතය


බෝයිංගේ 75 වැනි උපන් දිනය සැමරීමට බෝයිං පවුලේ සියල්ලෝ සූද‌ානම් වෙමින් සිටියහ. ඒ වෙනුවෙන් එළැඹ තිබුණේ තවත් දින තුනක් පමණෙකි. බෝයිං ජීවිතය ගත කරමින් සිටියේ තමා වඩා ප්‍රිය කළ සියැටල්හි ඔරු යාත්‍රා සමාජයේ සම්භාව්‍ය සාමාජිකයෙකු ලෙසය.  


1956 සැප්තැම්බර් 28 වැනිද‌ා සුපුරුදු පරිදි ඔහු සතු වූ මෝටර් බෝට්ටුවෙන් බ්‍රිටිෂ් කොළම්බියා තීරයේ පාව යාමට ආවේය.  


සියැටල් තොටුපළින් නැඟී හේ තම බෝට්ටුවේ සිටියදී එක්වරම සිහිසුන්ව ඇද වැටිණි. හෘදයාබාධයක් නිසා ඔහු මියගිය පුවත ඇසූ මුළු ඇමෙරිකාවම මොහොතකට සසළ විය.  
ගුවන් සේවාව උදෙසා කරන ලද මෙහෙවර උදෙසා මේ මහා මිනිසා හට ගුවන් සේවාව සඳහා වූ ඉහළම සම්මානය පුදකරනු ලැබීය. වොෂිංටනයේ සියැටල් පියාසර කෞතුකාගාරයේ ‘බෝයිං’ ගේ සැමරුම් බොහෝමයක් ප්‍රදර්ශනයට සලස්වා ඇත. 


ලෝකයේ ලොකුම ගොඩනැගිල්ල


ලොව ලොකුම කර්මාන්තශාලා ගොඩනැගිල්ල ලෙස සඳහන් වන්නේ වොෂිංටනයේ එවරෙට්හි ඉදිකරන ලද මෙම ‘එවරෙට්’ නම් බෝයිං ෆැක්ටරිය වේ. මෙය සෑදීම සඳහා අත්තිවාරම වැටුණේ 1966 දී පමණ ‘පැනෑම්’ හෙවත් පෑන් ඇමරිකානු ගුවන් සේවය වෙතින් එවකට ඇමෙකානු ඩොලර් මිලියන 525 ක ප්‍රද‌ානයක් ලැබුණු බැවිනි.  
 එසේ අතිවිශාල මුදලක් ප්‍රදානය වූයේ බෝයිං වර්ගයේ 747 යානා නිපදවීම වෙනුවෙනි. දෙවැනි ලෝක යුද්ධයේදී ඇමෙරිකානු හමුද‌ාව එවකට මෙම භූමිය භාවිතයට ගෙන ඇති බැව් සඳහන් වේ. බෝයිං නිෂ්පාදනාගාරය සඳහා එද‌ා මිලදී ගෙන ඇත්තේ එම භූමියෙහි කොටසකි. ගිනස් වාර්තාවලට අනුව මෙම භූමිය අක්කර සියයකින් සමන්විතය. හෙක්ටයාර වලින් ගතහොත් හතළිස්දහසකට ආසන්නය. කියුබික් අඩිවලින් මෙහි ප්‍රමාණය මැනගත හොත් ‘472,370,319’ යන ප්‍රමාණයක වූ විශාල භූමියකි. 747,767,777,787 යන බෝයිං සුපිරි ගුවන් යානා එකළස් කරන ස්ථානය වන්නේ මෙතැනය.  


ගුවන්යානා නිෂ්පාදනය කළ පසු ඒවා නියමිත ස්ථානවලට ගෙනැවිත් තැබීමට මෙන්ම ඇදගෙන යාමට විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වේ. 1967 දී මෙහි ඉදිකිරීම නිමවා ඇති අතර 1968 දී ‘747’ වර්ගයේ යානා නිෂ්පාදනය කෙරුණු අයුරු දැක බලා ගැනීමේ අවස්ථාව සංචාරකයින් හට ලැබිණි. එද‌ා සිට සෑම වසරකදීම දෙලක්ෂයකට ආසන්න පිරිසක් මෙහි සංචාරය කරන බැව් සඳහන් වේ.  

 


30,000 කට එහා වූ පිරිසක් බෝයිං ෆැක්ටරියේ පමණක් සේවය කරති.  


මෙම බෝයිං හත්සියයේ එහා කාණ්ඩයේ යානා නිපදවන එවරෙට් කර්මාන්තශාලා අංගණයේ සේවයට යොදවා ඇති පිරිස 30,000 කි. (තිස්දහසකට වඩා වැඩිය) මෙය හරියට පුංචි නගරයක් මෙනි. අත්‍යවශ්‍ය දේ ගැනීම වෙනුවෙන් ආපනශාලා කිහිපයකින් මෙන්ම පුංචි සාප්පු කිහිපයක් ඇතුළත්ය. දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, ගිනි නිවන සේවය, ආරක්ෂක සේවා, ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන ඇතුළු ස්ථාන ද අයත් වේ. මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළ පසු මගී ප්‍රවාහනය සඳහා පුළුල් පරාසයක් සහිත බඳකින් යුතුව නිෂ්පාදනය කළ ප්‍රථම යානය ලෙස සඳහන් වන්නේ බෝයිං ‘747’ යානයයි.  


බෝයිං 747 නියමු කුටියේ ස්විචයන් ගණන  


බෝයිං 747 ගුවන්යානා වර්ගයෙහි යානයෙහි ගුවන් නියමු කුටිය හෙවත් ‘කොක්ෆිට් හි’ ස්විචයන් 365 ක් ඇති බව සඳහන් වේ. අද තාක්ෂණයේ දියුණු වී ස්වයංධාවන පද්ධති ක්‍රියාත්මක වුව ද, මෙලෙසින් විශාල ප්‍රමාණයක් ස්විචයන් තිබීම ගැන නියමුවන් හට ඒ එකක් නෑර දැනගෙන සිටිය යුතුය. ඔටෝපයිලට් හෙවත් ස්වයංක්‍රීයව පාලනය කළ හැකි තරමට ගුවන් සේවය දියුණු වී ඇතත්, මෙවැනි දේ නියමු කුටියෙහි ඇති වග ඔබ දැනගත යුතු නොවන්නේද?  


බෝයිං 787 ඩ්‍රීම් ලයිනර් හෙවත් ‘සිහින රේඛාව’ යානයෙහි නිර්මාණ කොටස් එකතුව ගැනත් ඔබ දැනගත යුතුමයැයි අපි හඟිමු. එම යානය නිමවා ඇත්තේ එක් එක් කොටස් හෙවත් Parts මිලියන 2.3 ක එකතුවකිනි. එය ඔබ විශ්මයට පත්කරවිය හැකිය. එහෙත් එය සැබෑවකි. බෝයිං 737 යානය සාද‌ා ඇත්තේ කොටස් 400,000 (ලක්ෂ හතරක) එකතුවකිනි.  


හිරෝෂිමා - නාගසාකි වෙත බෝම්බ හෙළුෑ බෝයිං B 29 යානය  


ඇමෙරිකානු හමුද‌ාව විසින් එද‌ා දෙවැනි ලෝක යුද සමයේදී හිරෝෂිමා සහ නාගසාකි වෙත පරමාණු බෝම්බ මුද‌ාහැරියේ බෝයිං ‘B-29' නමැති ප්‍රහාරක ගුවන් යානයෙනි. එය ඒ සඳහාම බෝයිං සමාගම විශේෂිතව නිපදවූවක් විය. ගුවන් නියමුවාට තම ආසනය අංශක 360 දිශාවට හැරවිය හැකි මෙන්ම එම දිශාන්තයේ සිට ධාවනය කළ හැකි විදියට එය නිම කළ බැව් සඳහන්ය. දුරස්ථ පාලකය මගින් සියල්ල ක්‍රියාත්මක කළ හැකි විදියට නිමවා තිබිණි. එම සමස්ත ගුවන් ව්‍යාපෘතිය වෙනුවෙන් එනම් හිරෝෂිමා - නාගසාකි වෙත බෝම්බ හෙළුෑ ගුවන් යානය නිම කිරීමට ඩොලර් බිලියන 1.7 ක් වැය වූ බව සඳහන්ය.  


 එද‌ා එලෙසින් මහා විනාශයක් සිදුකළ ‘බෝයිං’ නාමය වත්මනෙහි ලොවට නැතුවම බැරි නිෂ්පාදන ක්‍රියාවලියක් බවට පත්ව තිබේ. බෝයිං ‘777’ යනු ලොව වඩාත් ප්‍රකට මගී සංචාරක ගුවන් යානාය.  


 අද නාගසාකි, හිරෝෂිමා ඇතුළු ජපානයේ බොහෝ නගරවල ගුවන සිසාරා ‘බෝයිං’ නාමය මිනිසුන් ප්‍රවාහනයට යොද‌ා ගැනීම එකතකට අපූරු දෙයක් නොවන්නේ ද? ලෝකය වෙනස් වන හැටි හරි පුදුමයි නේද? වෛරයෙන් වෛරයට වඩා ජපානය අනුගමනය කළ මිත්‍රත්වය ලොවට කියා දෙන්නේ හරි අපූරු පාඩමකි.

 

 

සටහන : සඳුන් ගමගේ