ලෝකයේ සුපිරිම මෝටර් සයිකලය හදන සමාගමේ කතාව


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි 

  • පළවැනි දෙවැනි ලෝක යුදවලට මෙන්ම මහා ආර්ථික අවපාත හමුවේ ඒවාට මුහුණ දෙමින් නැගී සිටි සමාගමක්
  • හාර්ලි ඩේවිඩ්සන්  ලෝකයේ මිල අධික සහ සුපිරිම මෝටර් සයිකලයයි 

 

 අපේ රටේ නිරන්තරයෙන් රිය අනතුරු ගැන අහන්නට දකින්නට ලැබෙන කාලයකි මේ. එහිදී වැඩි වශයෙන්ම අහන්නට ලැබෙන්නේ මෝටර් සයිකල් හෙවත් යතුරුපැදි අනතුරු ගැනය. අපරීක්ෂාකාරී බව සහ නොහික්මීම නිසා එලෙසින් අනතුරු සිදුවෙන බව කිව හැකිය. එමෙන්ම යතුරුපැදි පදවාගෙන යන්නන් බොහෝ විට නිත්‍ය මාර්ගයක ගමන් නොකිරීම සහ අනෙකුත් රථ සියල්ල පසුකර යාමට ඇබ්බැහිවී සිටීම ඊට හේතුවය.  


ලංකාවේ මෝටර් සයිකල් හෙවත් යතුරුපැදි පදවන්නන් බොහෝ දෙනෙකුගේ හැසිරීම ගැන එසේ සඳහනක් කරන අත​රේ අද අප මේ සූදානම් වෙන්නේ ලෝකයේ සුපිරි මෝටර් සයිකල් නිෂ්‍පාදන සමාගම ගැන කරුණු විස්තර කිරීමටය. මෙම මෝටර් සයිකල් නිෂ්පාදන සමාගමට පසුව යමහා, හොන්ඩා වැනි ආයතන ස්ථාපිත වුවද අද අප කරුණු විස්තර කරන්නට සූදානම් වෙන හාර්ලි ඩේවිඩ්සන් සමාගමට කිට්ටු කිරීමටවත් ඒවාට නොහැකි බව සඳහන් කළ හැකි වේ. ලෝකයේ බහුලව භාවිතා වෙන්නේ යමහා, හොන්ඩා නාමයේ මෝටර් සයිකලයයි. ඊට අමතරව යමහා, ඩුකාටි, කවසාකි, සුසුකි, ඇප්‍රිලියා, බී.එම්.ඩබ්ලිව්., ට්‍රම්ප්, කේ.ටී.එම්., ජාවා වැනි මෝටර් සයිකල් නාමයන් සඳහන් කළ හැකිය. එලෙසින් මොන විදියට යතුරු පැදි නිෂ්පාදනය වුවද මෙම හාර්ලි ඩේවිඩ්සන් සමාගමට කිට්ටු කරන්නට නම් ඒ කිසිදු නිෂ්පාදනයකට නොහැකි බව කිව හැකිවේ. එතරම්ම සුපිරි ලෙස මෝටර් සයිකල් නිෂ්පාදනය කරන ඇමෙරිකාවේ හාර්ලි ඩේවිඩ්සන් ගැන ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙතින් අද අපි විස්තර දැන ගනිමු.  


ලෝක ආර්ථික අවපාතය  


1900 දශකය එළැඹියේ ලෝකය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමිනි. මෙම මහා ආර්ථික අවපාතය හමුවේ මුල්‍යමය වශයෙන් පොහොසත් යැයි කියූ බටහිර රටවල ජනතාව මුහුණ දුන්නේ දැඩි මානසික අවපීඩනයකටය. හාර්ලි ඩේවිඩ්සන්ලා කළ එළි බැස්සේ ලෝකය එලෙසින් තිබූ යුගයකදීය. හරියටම කිව්වොත් 1903 වසරේදීය. හැබැයි ඒ නිකම්ම නොවීය. ඇමෙරිකාවේ එවකට පෙරමුණේ සිටි ඉන්ඩියන් මෝටර් සයිකල් නිෂ්පාදන සමාගම සමග හැප්පෙන්නට ඔවුනට සිදුවිණි. ඉන්ඩියන් සමාගම බිහිව තිබුණේ 1901 වසරේදීය. කෙසේ වෙතත් මහා ලෝක ආර්ථික අර්බුදය හමුවේ වුවද ඉන්ඩියන් සහ හාර්ලි ඩේවිඩ්සන් සමාගම් ද්විත්වය හට ආර්ථික-ස්ථාවරත්වය රඳවා ගැනීමට හැකිවිණි. හාර්ලි ඩේවිඩ්සන් මූලස්ථානය ස්ථාපිත කරවූයේ විස්කොන්සින්හි මිල්වෞකීහිදීය. මෙම සුපිරි යතුරුපැදි නිෂ්‍පාදනය කෙරෙන කර්මාන්තශාලා මිල්වෞකිවලට අමතරව පෙනිසිල්වේනියාවේ යෝක් නගරයේ සහ මිසුරිහි කැන්සාස් නගරයේදී දැකගත හැකිය. වාර්තා උපුටා දක්වන්නේ මිසුරිනි කර්මාන්තශාලාව 2019 දී වසා දැමුණු වගය. ඇමෙරිකාවේදී අමතරව බ්‍රසීලයේ මනාවුස්, ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ බවාල් සහ තායිලන්තයේ නිෂ්පාදන ශාලා ස්ථාපිත කළේ 2018 දී පමණය. වරලත්භාවය යටතේ හාර්ලි ඩේවිඩ්සන්ලාගේ අමතර කොටස් සහ එකලස් කිරීමේ කටයුතු සිදු කිරීම ලොව ස්ථාන කිහිපයකදී සිදුවේ. එමෙන්ම මෙම මෝටර් සයිකල් නාමය ලෝකයේ කොතරම් ජනප්‍රියද යත් කුඩා ආකෘති (මොඩල්) නිෂ්පාදන, සෙල්ලම්බඩු වීඩියෝ ක්‍රීඩා සඳහාද අනුමැතිය ලබාදී තිබේ. පසුකලෙක එලෙසින් අතිශය ජනප්‍රිය වූ හාර්ලි ඩේවිඩ්සන් මෝටර් සයිකලය එදා බිහිවීමට මුල්වූයේ කෙසේද කියා අපි බලමු.  


1901 දී විලියම් එස්. හාර්ලි පසුවූයේ 20 හැවිරිදි වියේය. යාන්ත්‍රික දැනුමින් ​පොහොසත්ව සිටි හාර්ලි කුඩා එංජිමක චිත්‍රයක් ඇන්දේය. ඒ අනුව මූලික සැලසුම නිර්මාණය කර ගැනීමට ඔහුට හැකිවිණි. ප්‍රථම වරට නිෂ්‍පාදනය කළ එම එංජිම ඔහු යොදා ගන්නේ එවකට තිබූ උසස් තත්ත්වයේ පාපැදියක් වෙනුවෙනි. මෙලෙසින් නිර්මාණයට අත ගැසූ හාර්ලි වසර දෙකක් පමණ මෙහි වැඩිදියුණු කිරීම් ගැන සිතමින් කාලය ගෙවමින් සිටියේය. කුඩා කාලයේ ඔහුගේ හොඳම මිතුරා වූ ආතර් ඩේවිඩ්සන් හමුවූයේ මෙකී සමයේදීය. ඔහු හට මෙම අංශය කෙරෙහි තිබී ඇත්තේ ලොකු උන්නදුවකි. බයිසිකලේ නිර්මාණය කිරීමේ කටයුතු ඔවුන් සිදුකළේ මිල්වෞකි නගරයේ සිටි හෙන්රි මෙල්ක් මිතුරාගේ නිවසේ කොටසක සිටය. ඔහුගේ සහාය මෙන්ම ආතර් ඩේවිඩ්සන්ගේ සොහොයුරාව සිටි වෝල්ටර්ගේ සහායද හාර්ලි සහ ආතර් හට නොමදව ලැබිණි. ඔවුන් සියලු දෙනාගේ ශක්තිය අනුව නිර්මාණය වූ මෝටර් සයිකලය කඳුකර පෙදෙස්වල ක්‍රියාකරවීමට උත්සාහ ගත්තද එය පලක් නොවුණි.  


කෙසේ වුවද විලියම් සිල්වෙස්ටර් හාර්ලි ආතර් ඩේවිඩ්සන් සහ ඔහුගේ සහෝදරයින් දෙදෙනාව සිටි විලියම් ඩේවිඩ්සන් සහ වෝල්ටර් ඩේවිඩ්සන් සමග එක්ව නව නිෂ්පාදනයක් සොයා ගැනීම වෙනුවෙන් එක්ව අත්වැල් බැඳ කටයුතු කළහ. ලොවට සුපිරි මෝටර් බයිසිකලයක් බිහිකිරීමට මෙලෙසින් අත්වැල් බැඳගත් විලියම් හාර්ලි සහ ආතර් ඩේවිඩ්සන් මෙන්ම ඩේවිඩ්සන් සහෝදරයින් මොනවගේද කියා අපි බලමු.  

 


විලියම් සිල්වෙස්ටර් හාර්ලි  


ඔබ ඔබගේ ජීවිතය අලලා කතාවක් ලියන්නේ නම් පෑන ඔබ විසින්ම භාවිතා කිරීම සහ අල්ලා ගැනීම මිස වෙන කාටවත් පෑන අල්ලා ගන්නට ඉඩ දෙන්න එපා.  


එලෙසින් දර්ශනයක් තිබූ විලියම් හාර්ලි උපත ලැබුවේ 1880 දෙසැම්බර් 29 දා විස්කොන්සිල්හි මිල්වෞකි නගරයේදීය. එංගලන්තයේ විසූ විලියම් හාර්ලි ජ්‍යෙෂ්ඨ සහ මේරිස්මිත් යුවළ එංගලන්තය හැරදමා අමෙරිකාවේ පදිංචියට පැමිණියේ 1860 දී පමණය. ඉන් විසි වසරකට පසුව පුතු විලියම් හාර්ලි උපත ලැබීය. ඔහුගේ තාත්තා දුම්රිය සේවයේ ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කර තිබේ. මිල්වෞකි නගරයේ උතුරු පළාතේ බර්ලීග් පටුමග යනු ඔහුගේ නිවස පිහිටා තිබූ ස්ථානය වේ. ​ඉගෙනුම ලබන අතරේ වයස අවුරුදු 15 දී පමණ මීසල්බැච් පළාතේ බයිසිකල් වැඩපොළකට ගොස් ඔහු සේවය කළේ අත්දැකීම් ලබා ගැනීම වෙනුවෙනි. ප්‍රථම වතාවට මෝටර් රථ එන්ජිමක් සඳහා ඔහු සැලසුමක් ඇන්දේ එවකට සැලසුම් ශිල්පියෙකු (Draftsman) ලෙස ආධුනිකව පුහුණුව ලබමින් සිටි අවදියේදීය. පසුව ඉහත සඳහන් කළ පරිදි ඔහුගේ කුඩා කල මිතුරාව සිටි ආතර් ඩේවිඩ්සන් සහ ඩේවිඩ්සන් සොහොයුරන් සමග එක්ව මෝටර් බයිසිකල් නිෂ්පාදන ක්‍රියාවලියට පිවිස තිබේ. පසුව ඔලේ එවින්රූඩ් නමැති ව්‍යවසායකයා ඔවුනට බොහෝ සෙයින් උදවු කළ බවද සඳහන් වේ. හාර්ලි 1907 ට පෙර ස්වකීය යාන්ත්‍රික නිර්මාණ ක්‍රියාවලියට පිවිස සිටියද යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය ලැබුවේ 1907 දීය. ඒ විස්කොන්සන්හි මැඩියන් සරසවියෙනි. හාර්ලි ඩේවිඩ්සන් මෝටර් සයිකල් නිෂ්පාදන සමාගම බිහිකළ පසු එහි ප්‍රධාන ඉංජිනේරුවරයා මෙන්ම භාණ්ඩාගාරික ලෙස මියෙන තෙක් ඔහු කටයුතු කර තිබේ. මේ සියල්ල අතරේ එදා සැලසුම් ශිල්පියකු ලෙස ආධුනික පුහුණුව ලබමින් සිටි අවදියේදී මැඩිසන් සැලසුම්ශිල්පී සමාගමේද ආධුනික සේවකයකුට අමතරව අවන්හලක වේටර්වරයකු ලෙසද සේවය කළ බැව් සඳහන් වේ. ලෝකයට සුපිරි නිමාවකින් සහ උසස් යාන්ත්‍රික නිෂ්පාදනයක් ලෙස හාර්ලි ඩේවිඩ්සන් මෝටර් සයිකලය දායාද කරවීමට දායක වූ විලියම් හාර්ලි යුග දිවියට පිවිස සිටියේ 1910 වසරේදීය. ඇනා ජච්චුබර් ඔහුගේ ආදරණීය බිරිඳ වූවාය. පුතුන් දෙදෙනකු සහ දියණියක් මේ යුවළ සතු වූහ. ස්වකීය නිර්මාණාත්මක ක්‍රියාවලියට අමතරව විවේකයේදී ඔහු කළේ සිතුවම් ඇඳීම වනජීවී ඡායාරූපකරණය ආස්වාදය කිරීමය. ගොල්ෆ් ක්‍රීඩාව ගැන උගෙනුමටද හේ ප්‍රිය කළේය. සුපිරි මොළයක් තිබූ මේ මිනිසා වයස අවුරුදු 62 ක්ව සිටියදී මිය ගියේ හෘදයාබාධයකිනි.  

 


ආතර් ඩේවිඩ්සන්  


හාර්ලි ඩේවිඩ්සන් මෝටර් සයිකලය දායාද කිරීමට දායකවූ අනෙක් මහ පුරුක ආතර් ඩේවිඩ්සන්ය. හාර්ලි මෙන්ම ඔහුද උපන්නේ විස්කොන්සන්හි මිල්වෞකි හිදීය. හාර්ලිට වඩා වසරකින් බාල වූ ඔහු උපන්නේ 1881 දීය. ස්කොට්ලන්ත සම්භවයක් ඇති මව්පියන්ට දාව දරුවන් පස්දෙනෙකු සිටි අතර මේ ඩේවිඩ්සන් ඒ පස් දෙනාගෙන් කෙනෙක් වීය. විලියම් ඒ ඩේවිඩ්සන් ඔහුගේ වැඩිමහල් සහෝදරයා වේ. දෙවැන්නා වෝල්ටර් ඩේවිඩ්සන්ය. ඔවුනට නිවසේ එක් තැනක යාන්ත්‍රික වැඩ කිරීම සඳහා තැනක් තිබිණි. 


ඩේවිඩ්සන් සහෝදරයින් හට සිතුසේ තමුනගේ මෝටර් සයිකල් නිෂ්පාදන කටයුතු සිදු කිරීමට එය අපූරු තෝතැන්නක් විය. හාර්ලි සමග ඩේවිඩ්සන් මුලින්ම බයිසිකල් සෑදීමේ කටයුතුවලට පිවිසියේ අඩි 10x15 වැනි කුඩා මඩුවක සිටය. බයිසිකල් පැදීමෙන් වැඩ කරන්න ඩේවිඩ්සන් නිතරම හාර්ලි හට කියූ දෙයක් විය. ආතර් ඩේවිඩ්සන් විවාහ වූයේ ක්ලේරා බයිසිකල් සමගය. දරුවන් තිදෙනෙක් මේ යුවළ සතු වූහ. සර් ආතර් ඩේවිට්සන් ලෙස ගෞරවරණීය නාමයෙන් පිදුම් ලැබූ ආතර් 1950 දෙසැම්බර් 30 මිය ගියේ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකිනි. ඔහුගේ නිවසට කිලෝමීටර් පහක දුරකින් මෙම අනතුර සිදුවිය. මෙම හාර්ලි ඩේවිඩ්සන් සමාගම බිහිකිරීමට පුරෝගාමී වූ මෙම අපූරු මිනිසුන් දෙදෙනාගේ උපත් සහ මරණ සිදුවීම එක්තරා විදිහක දෛවෝපගත සිදුවීමකි. හාර්ලි උපන්නේ දෙසැම්බර් 29 දා දිනකදීය. ඩේවිඩ්සන් මියගියේ දෙසැම්බර් 30 දා දිනකදීය. මෙම මිනිසුන් දෙදෙනා මෙන්ම ඩේවිඩ්සන්ගේ සහෝදරයින් දෙදෙනා යාවජීව ගෞරව සම්මානයෙන් මෙන්ම තත් ගරු නම්බු නාමවලින් පිදුම් ලබා තිබේ.  


හාර්ලි ඩේවිඩ්සන් ලෝක ව්‍යාප්තිය  


හාර්ලි ඩේවිඩ්සන් සමාගම හට පළමු ලෝක යුද සමයේදී ලැබුණේ ලොකු ඉල්ලුමකි. එදා අමෙරිකානු යුද හමුදාවට මෝටර්සයිකල් යතුරු පැදි 20,000 ක් පමණ එදා ඇමෙරිකානු හමුදාව මිලදී ගත් බව සඳහන් වේ. 1920 පමණ වෙන විට මෙම මෝටර් සයිකල් නාමයට මුළු ලෝකයම අල්ලා ගැනීමට හැකිවිණි. විවිධ වර්ගයේ එන්ජින් 28000 ක් පමණ නිෂ්පාදනය කරමින් එවකට ලොව විශාලතම මෝටර් සයිකල් සමාගම බවට පත්ව සිටි හාර්ලි ඩේවිඩ්සන් රටවල් 67 ක තම නිෂ්පාදන අලෙවි කිරීමට සහ බෙදාහැරීමට අලෙවි ආයතන ව්‍යාප්ත කර තිබිණි.  


එදා පුංචිම පුංචි එංජිමක් සහිතව වුවද හාර්ලි ඩේවිඩ්සන්ලා තම මෝටර් සයිකල් නිර්මාණය කිරීමේදී ඉතා සුපිරි සහ ඉස්තරම් නිමාවකින් එය සිදු කළේය. එලෙසින් එදා සිට නිෂ්පාදන කටයුතු සුපිරි වූවා මිසෙක ආපස්සට නම් නොගියේය. අද ඔවුන් ඉලෙක්ට්‍රික් හෙවත් විදුලියෙන් ක්‍රියාත්මක කරවිය හැකි මෝටර් සයිකල් පවා නිෂ්පාදනය කෙරනු ලැබයි. ස්ට්‍රීම් හෙවත් සාමාන්‍ය ධාවනය සඳහා ඊට ටිකක් එහාට ගොස් රට වටේ ධාවනය කරවීමට කෘසර් කාණ්ඩය මෙන්ම ත්‍රාසය ගෙන දෙන සංචාර සඳහා භාවිතා කළ හැකි එනම් කැලයක පවා යා හැකි ඇඩ්වෙන්චර් ටුවරින් සහ කිලෝමීටර් දහස් ගණනක් එක දිගට ධාවනය කළ හැකි වුරින් යන විවිධ කාණ්ඩ යටතේ මෝටර් සයිකල් නිෂ්පාදනය කිරීම සිදු කෙරේ. ෆ්‍රීවීලර් හෙවත් රෝද තුනකින් සමන්විත ඉතා සුපිරි නිමාවකින් යුතු මෝටර් සයිකල් බොහෝ කාන්තාවන් අතර වඩා ප්‍රචලිතය. එය ලංකා මුදලින් බදු රහිතව මිල රුපියල් ලක්ෂ 60 කි. බදු ඇතුළත් වුවහොත් එහි වටිනාකම රුපියල්වලින් මීට වඩා කීප ගුණයකින් වැඩිවේ. මෝටර් සයිකල් මෙන්ම ජැකට්ටුවේ සිට අත්ආවරණ මෙන්ම අනෙකුත් අමතර උපාංග මෙවලම් සියල්ල හාර්ලි ඩේවිඩ්සන් නාමය යටතේ නිෂ්පාදනය කෙරේ.  


හාර්ලි ඩේවිඩ්සන් මෝටර් සයිකල්වලට පෙම් බැඳි ලෝ සුපතල චරිත බොහෝය.  


ඒ අතරින් චාලි හාන්තම් ඔලිවියර් මාටිනස් බෲස් ස්ප්‍රින්ස්ටීන් පොප් ගායිකා පිනික් කිඩ්රොක් ජෝන් ට්‍රැවෝල්ටා, ජස්ටින් බීබර්, හියු ජැක්මන් බිලියනපතියක වන ජෝර්ජ් කුලිනි බ්‍රැඩ් ෆිට්, ආනල්ඩ් ස්වාසෙනගර්, ඇඩම් ලෙවීන්, ජිම් කැරේ නම් කළ හැකිය. ඔවුන් වෙනුවෙන් විශේෂිතව කළ නිෂ්පාදන වන අතර ඒවා ලෝකයටම එකකි. එනිසා මිලද ඉතා ඉහළය. සැබැන්ම මෙම සුපිරි නිමාවකින් යුතු මෝටර් සයිකලයක් පැද යාමට නම් සැතැපුම් දහස් ගණනකට එයා යා හැකි සුපිරි මාර්ග තිබිය යුතුය. මෙවැනි මෝටර් සයිකල් අප රටට එතරම් සුදුසු නොවන්නේ එකී හේතු නිසාය. ඉහත සඳහන් කළ පරිදි ලෝකයටම එකක් ලෙස නිෂ්පාදනය කළ හාර්ලි ඩේවිඩ්සන් මෝටර් සයිකල් මිලදී ගත් අය අද ඒවා වැඩි මිලට ලංසු තබා ඇත. කොස්මික් ස්ටාර්ෂිප් මෝටර් සයිකලය ​ඩොලර් මිලියන 3 කට ලංසු තබා ඇත. බ්‍රචර්ස් බ්ලූ මිලියන 1.9 කට ලංසු තබා ඇත. ඊට වඩා ඇති ලොකුම අරුමය වෙන්නේ අතීතයේදී හාර්ලි ඩේවිඩ්සන්ලා නිෂ්පාදනය කළ දැනට කෞතුක වස්තු මෙන් මිනිසුන් ළඟ තබාගෙන ඇති මෝටර් සයිකල්වලට ඇති ඉල්ලුමය. 998cc V-Twin නමැති මෝටර් සයිකලය ​ඩොලර් මිලියනයකි. මේ සියල්ල මගින් පැහැදිලිවෙන්නේ අනර්ඝ දේ කවදත් අනර්ඝ වෙන අතර ඊට වටිනාකමද එදාට වඩා එක්වන බවය. මොනතරම් නිෂ්‍පාදන ලෝකයට ආවත් හාර්ලි ඩේවිඩ්සන්ලා අංක එකේ පසුවන්නේ ද එනිසාමය.

 

 

පරිවර්තන සටහන : 
සඳුන් ගමගේ