ලෝකයේ ලොකුම කෝපි කඩේ


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • මුල්ම අවන්හල පිහිට වූයේ සියැටල්හි ජනාකීර්ණ නොවූ කුඩා වීදියක ඉතාම කුඩා ස්ථානයකය
  • රටවල් 79 ක පමණ ඇති ස්ටාර්බක්ස් අවන්හල් සංඛ්‍යාව 33,000 ක්

 

ව්‍යාපාරික වාර්තා සඳහන් කරන පරිදි ලොව දසත විහිදී පැතිරී ගිය අවන්හල් ජාලය වන්නේ ස්ටාර්බක්ස් ය. කෝපි කෝප්පයෙන් ව්‍යාපාරික ගමන අරඹා විවිධ ක්‍රමවේදයන් යටතේ සහ විවිධ රසයෙන් කෝපි පානය කිරීමට ලෝක ජනතාවට පුරුදු කළ ස්ටාර්බක්ස් යනු අද වන විට කෝපි කෝප්පයට පමණක් සීමා වූ අවන්හල් ජාලයක් නම් නොවේ. උණුසුම් ​කෝපි පානයෙන් මෙන්ම, ශීත කළ කෝපි පාන වර්ග, අයිස් තේ, වෙනත් රසයෙන් යුතු ශීත කළ බීම, බටහිර ක්‍රමයට අයත් බර්ගර් වැනි උදෑසන ආහාර, බේකරි ආහාර, ඕට්ස් සහ යෝගට්, සැන්ඩ්විච්, රසකැවිලි සහ සම්පූර්ණ කෝපි ඇට යොදාගෙන සාදන ඉස්තරම් කෝපි පාන ඇතුළු දේ මෙන්ම විවිධ බිම වර්ග සඳහා භාවිතා කළ හැකි ​කෝප්ප නිෂ්පාදනය, වතුර බෝතල, කෙටි ආහාර වර්ග (ස්නැක්ස්) සහ වෙනත් විදියට භාවිතා කළ හැකි බෑග් වර්ග නිෂ්පාදනය පවා ස්ටාර්බක්ස් සමාගම විසින් සිදුකරනු ලබයි.   


‘‘අපි දිනපතා සේවයට යන්නෙමු. එහිදී අප කටයුතු කරන්නේ බලාපොරොත්තු ද්විත්වයක් සමගය. මිතුරන් සමග එකතු වී, ඉතා අනර්ඝ කෝපි පානයක රසය බෙදා ගන්නා අතරේ, ලෝකයට පුංචි හෝ හරවත් දෙයක් කිරීමට ප්‍රයත්න ගන්නෙමු.’’ අපගේ ජීවන රටාවේ ස්වභාවය එලෙසමයි.   


1971 දී, එනම් මීට වසර 50 කට පෙර දී ලෝකයට ආ ස්ටාර් බක්ස් තේමාව කර ගත්තේ එයයි. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය අද අප රස ගන්වන්නේ, 1971 දිනෙක වොෂිංටනයේ සියැටෙල් නුවර දී කුඩා වීදියක, ඉතාම කුඩා අවන්හලක් ලෙස පටන් ගෙන පසුව මුළු ලෝකයම අල්ලාගෙන ලෝකයට කෝපි පොවන ස්ටාර් බක්ස් සමාගමේ රසවත් ​කෝපි අවන්හල් ජාලයේ කතාව වෙතිනි.   


එදා.   


1971 කියූ විගස ඉතිහාසයේ, සිදුවීම් සහ කරුණු සොයා යන ශ්‍රී ලාංකීය බොහෝ දෙනාගේ මතකයට එන්නේ 1971 දී ඇති වූ කැරැල්ල ගැනය. එය සිදුව තිබුණේ 1971 අප්‍රේල් මාසයේ දීය. 1971 වසරේ මාර්තුව යනු ඇමරිකානුවන්ගේ වසන්ත සමයේ තවත් එක් කාල සමයක් විය. අපේ රටේ කැරැල්ලකට මුල පුරමින් බොහෝ දෙනෙක් තේ හෝ කෝපි පානය කරන්නට ඇත. 1971 මාර්තුවේ දී ඇමරිකාවේ අග නගරය වන වොෂිංටනයේ ප්‍රදේශයක් වන සියැටල්හි ජනාකීර්ණ නොවී තිබූ එක්තරා පුංචිම පුංචි වීදියක, ප්‍රමාණයෙන් ඉතාම කුඩා ස්ථානයක අවන්හලක් ඇරඹිණි. වසන්තයේ අග නිමාවට පෙර ජනතාවට උණුසුම් කෝපි පානය කිරීමට සැලැස්වීම මෙම අවන්හලේ ප්‍රධාන අරමුණ විය. 1971 මාර්තු 30 වැනිදා ආරම්භ වූ මෙය හැඳින්වූයේ ස්ටාර්බක්ස් නමිනි.   

 


ඉතා කුඩාවට වුවද, මෙම අවන්හල ඇරඹියේ ​ලොකු දර්ශනයක් ඇතිව මිතුරන් තිදෙනෙකුගේ දායකත්වයෙනි. ඔවුහු සැන්ෆ්‍රැන්සිස්කෝ සරසවියේ ඉගෙනුම ලබමින් සිටිය දී හඳුනාගෙන සිටි මිතුරෝ වූහ. එලෙසින් හඳුනාගෙන සිටි මේ තිදෙනා ඒ වන විට කටයුතු කරමින් සිටියේ ඉංග්‍රීසි උගැන්වූ ගුරුවරයකු, ඉතිහාසය උගැන්වූ ගුරුවරයකු සහ ලේඛකයකු හැටියටය. පිළිවෙළින් ඔවුන්ගේ නම් මෙසේය. ජෙරී බෝල්ඩ්වින් (ඉංග්‍රීසි ගුරුවරයා) ෂෙව් සීගල් (ඉතිහාස ගුරුවරයා) ගෝඩන් බෝකර් (ලේඛකයා) මේ තිදෙනා හා මෙලෙසින් කෝපි අවන්හලක් ඇරඹීමේ උනන්දුව ඇති වූයේ, නොඑසේ නම් ඔවුන් ඊට පෙළැඹියේ. ඇල්ෆ්‍රඩ් පීට් නමැති ‘පීට්ස්’ අවන්හල් ජාලයේ ව්‍යවසායකයා නිසාය.  


‘‘ඔයාලා දන්නවද? මම කෝපි ජනතාවට පානය කිරීමට සලස්වන විදිය? හරි මම ඔයාලට කියා දෙන්නම්කෝ.’’   


එදා ඇල්ෆ්‍රඩ් පීඩ්, ජෙරී, ෂෙව් සහ ගෝඩන් වෙත කිය සිටියේ එලෙසිනි. තමා කෝපි අවන්හල් ජාලයක් පවත්වාගෙන ගියද, තවකෙකු කරළියට ඒම ප්‍රශ්නයක් කර නොගත්, පීඩ් (Peed) කෝපි සහ කෝපිවලින් කළ හැකි බොහෝ දේ ගැන මේ තිදෙනා හට කියා සිටියේය. කෝපි ඇට බැදලා (Roast) කර ගත හැකි ‘කෝපි විප්ලවය’ ගැනත් ඒ විප්ලවය ජය ගෙන රටට සල්ලි මල්ලක් උපයා ගත හැකි ක්‍රමවේදයක් ගැන කී ඔහු, අලෙවිකරණයේ නැතුවම බැරි ප්‍රචාරණය ගැන ද කියා සිටියේය. පීඩ් හට දැන්වීම් ආයතනයක් තිබූ අතර ST යන අකුරු යොදා පවත්වා ගෙන යන ව්‍යාපාර දියුණු වන බවට මතයක් ඇමෙරිකානු ව්‍යාපාරික ප්‍රජාවේ ඇති බව ද ඔවුනට හෙළි කර තිබිණි.   


1851 දී හර්මන් මෙල්විල් නවකතාකරුවා විසින් රචිත මොබි-ඩික් නමැති නව කතාවේ රුවල් ඔරුව පදවාගෙන ගිය නියමුවා හඳුන්වා ඇත්තේ ස්ටාර්බක් යනුවෙනි. මිතුරන් තිදෙනාගෙන් බෝකර් (ලේඛකයා) හට එය එක්වර සිහිගැන්විණි. ඒ නිසා ඒ මොහොතේ ඔහු එය මතක් කර සිටියේය. නමුත් එය අහම්බයකින් සිදු වූ දෙයක්ම විය. පීඩ් ST ගැන කී විගස බෝකර් හට එකවර ආ සිහිගැන්වීමක් පමණකි. කෙසේ වෙතත් ස්ටාර්බක්ස් නාමය නිර්මාණය වූයේ එලෙසින් යැයි සඳහන් වේ. 

 
නිමාවක් නොවූ ඇරඹුම   


1971 සිට 76 දක්වා කාලයේ දී සියැටල්හි 2000 බටහිර වීදියෙහි ස්ටාර්බක්ස් පවත්වාගෙන ගිය අතර එකී කාලයේ දී සිදු වූයේ, ‘පීට්ස් කොෆි ඇන්ඩ් ටී’ ආයතනයේ අමු කෝපි ඇට (කොළ ඇට) බෙදා හැරීමේ කටයුත්තය. එනම් ස්ටාර්බක්ස් පළමුව සිදු කළේ කෝපි ඇට අලෙවි කිරීම මිස, කෝපි පානය විකිණීම නොවේය. මුලදි පීට්ස් (Peet's) වෙතින් කෝපි ඇට ලබා ගෙන අලෙවි කළ ඔවුන් පසුව කෙළින්ම වගාකරුවන්ගෙන් කෝපි මිල දී ගැනීම සිදු කළේය. මෙලෙසින් ආ ගමන නතර වූයේ 1984 පමණ වන විට සියැටල්හි පමණක්, අවන්හල් හයක් පමණ ක්‍රියාත්මක කරවීමට හැකි වීමය. ඒ දක්වා ස්ටාර්බක්ස් නියමුවා ලෙස කටයුතු කළේ, ජෙරී බෝල්ඩ්වින්ය. 

 
ඔවුන් කෙතරම් ශූර වීද යත් පීට්ස් කෝපි අවන් හල පවා මිල දී ගැනීමට සමත් විණි. කෝපි පානය ජනතාවට ඔවුන් පුරුදු කළේ මුලින්ම ඉතාලියානු ක්‍රමයට කෝපි සාදා ගන්නා ‘එක්ස්ෆ්‍රෙසෝ’ පානය වෙතිනි. එලෙසින් ආ ගමනේ දී, 1987 වන විට ස්ටාර්බක්ස්හි ආරම්භකයින් තිදෙනා විසිනි. ඔවුන්ගේ කළමනාකරු ලෙස ක්‍රියා කළ “හාවඩ් ෂුල්ට්ස්” හට ස්ටාර්බක්ස් අවන්හල් ජාලය විකුණා දැමීම සිදු කරන ලදැයි සඳහන් වේ. ඉනික්බිතිව හාවඩ් ෂුල්ට්ස්, ස්ටාර්බක්ස් වෙත කළ ජාත්‍යන්තර ක්‍රියාදාමය ගැන කීමට පෙර, ​ලෝකයට කෝපි පෙවීමට පෙළැඹි මිතුරන් තිදෙනා ගැන සැකෙවින් කියවමු. 

 
ජෙරී බෝල්ඩ්වින් (JERRY BALDWIN)   


ජෙරී උපත ලබා ඇත්තේ 1942 වසරේ දීය. ඇමරිකාවේ කෝපි අලෙවි කරන්නන්ගේ සංගමය ඔහු හඳුන්වන්නේ කෝපි මිනිහා (කොෆි මෑන්) යනුවෙනි. ස්ටාර්බක්ස් පිහිටුවීමට සම දායකත්වය සැපයූ ජෙරී පසුව පීට්ස් කොෆි ඇන්ඩ් ටී ඉන්කෝපරේෂන්හි සභාපති විය. එහි ප්‍රධාන විධායක ලෙස ද කටයුතු කළ ජෙරී, අවසන එහි සභාපති විය. අප්‍රිකානු, ලතින් ඇමරිකානු, ආර්ජන්ටිනාව, කේන්ද්‍ර ගත වූ මෙම අංශයේ සමාගම්හි සාමාජිකයකු වූ ඔහු, වයින් සහ තවත් අවන්හල් ජාලයන්හි සභාපතිවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ. ජෙරීගේ බිරිඳ ඡායාරූප ශිල්පිනියකි. ජේන් බෝල්ඩ්වින් ඇයගේ නාමය වන අතර මේ යුවළට දරුවන් තිදෙනෙකි. “J Baldwin” නමැති වයින් නිෂ්පාදන සමාගම මේ දෙදෙනා සතුය.   


ඔවුනගේ දළ වත්කම ලෙස මීට වසර දෙකකට පමණ පෙරදි සඳහන් වූයේ ඩොලර් මිලියන 2.4 ක් වශයෙනි.   


ෂෙව් සීගල් (Zev Siegl)   


1942 දෙසැම්බර් 28 දා උපත ලද ෂෙව් යුදෙව් ජාතික පවුලකට අයත්ව පැවැත එන්නෙකි. පාසලේ ඉතිහාසය උගන්වමින් ගුරුවරයකු ලෙස කටයුතු කරමින් සිටි ෂෙව් හොඳ කථිකයෙකි. ව්‍යවසායකත්ව සහ ඉතිහාස විෂයේ දී ඇමරිකාවෙන් බිහි වූ හොඳ කථිකයකු ලෙස ඔහු සඳහන් කළ හැකිය. ඔහුගේ පියා සියැටල්හි ඔපෙරා වෘන්දයේ ප්‍රධානියා වූ අතර විසි හය වසරක් එහි නියමුවා විය. වොෂිංටනයේ කර්ක්ලෑන්ඩ්හි ලිට්ල් ස්කූල් පාසල පිහිටුවනු ලැබුවේ ෂෙව්ගේ මවය. එලිනෝ ෂපිරෝ නම් වූ ඇය අධ්‍යාපන ක්ෂේත්‍රයේ චරිතයක් වූවාය. මිතුරන් දෙදෙනකු සමග එක්ව සාර්ථක ව්‍යාපාරයක් බිහි කිරීමට පුරෝගාමී වූ ෂෙව් සීගල් ස්ටාර්බක්ස් සමාගමෙන් ඉවත් වූ පසුව Gourmet Coffee නමින් තමුන්ගේ තනි ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. එය තොග වෙළඳාම් කරන ආයතනයකි. සියැටල් අවට ස්ථාන හයක දී එහි ශාඛා ස්ථාපිත කරවූවේය. ඊටත් අමතරව තව තවත් මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සමග බැඳී සිටින චරිතයකි. වොෂිංටනයේ සුළු පරිමාණ ව්‍යාපාර සංවර්ධන කවුන්සලයේ උපදේශකවරයෙකු මෙන්ම විශේෂ දේශකයකු ද වෙයි. ව්‍යාපාර කළමනාකරණය හා පරිපාලනය පිළිබඳව සරසවි ද්විත්වයකින් උපාධි ලද අයෙකි. චිත්‍ර ශිල්පිනියක වන රොබින් ඔහුගේ බිරිඳය. සියැටල් වරායෙහි බෝට්ටු පින්තාරු කිරීම ඇයගේ වෘත්තිය විය.   


​ගෝඩන් බෝකර්   


දෙවැනි ලෝක යුද්ධයේ දී ගෝඩන් බෝකර්ගේ පියා මිය ගියේය. බෝකර්ව උගන්වමින් හදා වඩා ගත්තේ ඔහුගේ මවය. සියැටල්හි ඕඩියා උසස් පාසලෙන් උපාධිය ලබා සැන්ෆ්‍රැන්සිස්කෝ සරසවියට ඇතුළත් විය. සරසවියේ නේවාසික කාමරයේ මිතුරා වූයේ බෝල්ඩ්වින්ය. සිනමා තිර පිටපතක් ලියමින් ලේඛන කලාවට ආ බෝකර් දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් හිමි හෙක්ලර්ගේ හඳුනා ගැනීම මත “සියැටල් වීක්ලි” සඟරාවේ ලේඛකයකු ලෙස කටයුතු කළේය. අවන්හල් සහ සත්කාරක ක්ෂේත්‍රය පිළිබඳ ලිපි ලේඛන කලාවේ නිරතව සිටියේ, ලාස් හෙන්රි රින්සෙත් යන අන්වර්ථ නාමයෙනි. බෝල්ඩ්වින් හා සීගල් සමග එක්ව ස්ටාර්බක්ස් අවන්හල් ජාලය පිහිටු වීමට ඔහුට හැකි වූයේ සරසවියේ දී ඔවුන් සමග තිබූ මිත්‍රත්වය පමණක් නිසා නොවීය. අවන්හල් සහ සත්කාරක ක්ෂේත්‍රය පිළිබඳව ලබා තිබූ දැනුම ද ඔහු සතු වූ බැවිනි.   


ස්ටාර් බක්ස් (Starbucks) ජාත්‍යන්තරයට ගෙන ගිය මිනිසා හාවඩ් ෂුල්ට්ස්   


මිතුරන් තිදෙනෙකු විසින් දායාද කළ කෝපි අවන්හල් ජාලය පසුව මිල දී ගෙන ජාත්‍යන්තරයට එය ගෙන ගිය චරිතය වන්නේ හාවර්ඩ් ෂුල්ට්ස්ය. ඉතාලියානු අවන්හලක් ලෙස ඉල් ජියෝනෙල් නමින්, අවන්හල් ජාලයක් පවත්වා ගෙන යමින් සිටි ඔහු ස්ටාර්බක්ස් ජාලයෙහි කළමනාකාර ලෙස කටයුතු කළ අයෙකි. පසුව ස්ටාර්බක්ස් තමා යටතට ගැනීමෙන් අනතුරුව ඔහු සතු වූ ඉල් ජියෝනෙල් අවන්හල්වලට ද ස්ටාර්බක්ස් නාමය ලබා දීමට කටයුතු කළේය. එයින් නොනැවතුණු හේ ස්ටාර්බක්ස් ​ලෝකයට ගෙන ගියේ අසල්වැසි කැනඩාවේ ස්ථාන කීපයක දී අවන්හල් ජාලයේ ශාඛා ස්ථාපිත කරවමිනි. ඊට සමගාමීව සමස්ත එක්සත් ජනපදයේ ස්ටාර්බක්ස් ශාඛා ජාලය දියත් කළ ඔහු ලාබ පිට ලාබ උපයීමට පටන් ගත්තේය. 1989 වන විට ස්ටාර්බක්ස් ශාඛා 50 කට අාසන්න සංඛ්‍යාවක් ඇමරිකාවේ අවට කලාපයේ ව්‍යාප්තව තිබිණි. වසරක දී එම අවන්හල් භාවිතා කළ කෝපි ප්‍රමාණය රාත්තල් 2,000,000 ක් පමණ වූ බව සඳහන් වේ. කි​ලෝග්‍රෑම් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් ලෙස එය සඳහන් කළ හැකිය. කෝපි බීමට මිනිසුන් කොතරම් නම් ලොල් වී ද යන්න එයින් මැනගත හැකිය.   


කිරි වෙනුවට විකල්ප කිරි   


ස්ටාර්බක්ස්ලා ​කෝපි පානය කිරීම ජනතාවට ඇබ්බැහි කළේ සෝයා කිරි, ආමන්ඩ් කිරි, ඕට්ස් කිරි, පොල් කිරි ආදිය සමග විවිධ පාන වර්ග කෝපි සමග හඳුන්වා දීම වෙතිනි.   


කෝපි මදිවට තේ   


විවිධ රසයේ ​කෝපිවලට පමණක් සීමා නොවී ස්ටාර්බක්ස් තේවලට බැස්සේ 1999 දී පමණය. තේ නිෂ්පාදන සඳහා එක්සත් ජනපදයේ විශිෂ්ට නාමයක් දිනා සිටි, ටාෂෝ (Tazo) වෙළඳ නාමය අත්පත් කරගෙන ස්ටාර්බක්ස් තේ කලාවට ඇතුළත් වූයේ ටීවානා (Teavana) නමිනි. ටීවානා මිල දී ගැනීමට Tazo වෙත ඩොලර් මිලියන 620 ක් ගෙවීමට ස්ටාර්බක්ස් හට සිදු විණි. පසුව තම ​ලොව පුරා ඇති සෑම අවන්හල් ජලායකදීම ටීවානා ​කෝපි පාන වර්ගවලට අමතරව පිළිගැන්වුව ද 2018 දී ටීවානා හෙවත් තේවානා අංශය වසා දැමීමට තීරණය කළේය.   


වැඩි වැඩියෙන් ස්ටාර්බක්ස් කෝපි බොන්නෝ   


අප්‍රිකානු කලාපයේ ඊජිප්තුවේ ස්ථාන 32ක පමණ ස්ටාර්බක්ස් අවන්හල් ස්ථාපිතයි. ආසියානු කලාපයේ චීනයේ ඇති ස්ටාර්බක්ස් අවන්හල් සංඛ්‍යාව 3600 කට වඩා වැඩිය. දකුණු කොරියාවේ 1080 කි. එංගලන්තයේ 900 කට ආසන්න ප්‍රමාණයකි. කැනඩාවේ 2500 කට ආසන්නය. ජපානයේ 1500 කට ආසන්නය. මේ සඳහන් කළේ ස්ටාර්බක්ස්ලාගේ කෝපි වැඩියෙන් බොන්නන් සිටින රටවල්ය. ඒවාට අමතරව ලෝකයේ සෑම කලාපයක්ම වසාගෙන 2020 වන විට රටවල් 79 ක ස්ටාර්බක්ස් අවන්හල් 33,000ක් පමණ ඇතැයි වාර්තාවල සඳහන් වේ.   


ඊට අමතරව ලොව පුරා ඇති සුපර් මාකට් සහ වෙනත් සාප්පු සංකීර්ණයන්හි වරලත් භාවය

(බලපත්‍රලාභීත්වය) යටතේ ස්ටාර්බක්ස් ක්‍රියාත්මක වේ. ස්ටාර්බක්ස් වෙළෙඳ ලාංඡනය අනුකරණය කරමින් අවන්හල් පවත්වාගෙන යාමට තවත් බොහෝ දෙනා උත්සාහ ගන්නා අතර ඒ වෙනුවෙන් නිරන්තරයෙන් නඩු කීමට ද ස්ටාර්බක්ස් හට සිදුව තිබේ. බොහෝ දෙනෙක් ඇබ්බැහි වී ඇති නිසා පරිසරයට මුදාහැරෙන හිස් ​කෝප්ප, බඳුන් සහ බෝතල ප්‍රමාණ ද අති විශාල ප්‍රමාණයකි. මේ නිසා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි පරිදි කෝප්ප (Cups) නිෂ්පාදනය කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.   


කෝපිවලට අමතරව සංගීතය.   


ස්ටාර්බක්ස් සීමා වූවේ කෝපි ඇතුළු ඉහත සඳහන් කළ සියල්ලට පමණක් නොවේ. 1990 දී හියර් (Hear) මියුසික් නමින්, සමාගමක් ද ස්ථාපිත කරවීමට ස්ටාර්බක්ස් පියවර ගත්තේය. සැන්ෆ්‍රැන්සිස්කෝ කලාපයේ ස්ථාපිත කරවූ එම අංශය මගින් ඔපෙරා සංගීත ඇල්බම නිෂ්පාදනය මෙන්ම ලෝ ප්‍රකට සංගීතඥයන්ගේ නිර්මාණ එළි දැක්වීම ද සිදු වේ.   


ලෝ ප්‍රකට ලුචියා​නෝපවරාට්ගේ පෝල් මැකර්ට්නි ස්ටාර්බක්ස් සමග එනම් හියර් මියුසික් සමාගම සමග ගිවිසුම් ගත සංගීතඥයන්ය. Akeela and the Bee (අකීලා සහ මී මැස්සා) චිත්‍රපටය මෙම සමාගමේ නිෂ්පාදනයකි. විවිධ රසයෙන් යුතු කෝපි පානය කරන අතරේ, සංගීතයට සවන් දීම, චිත්‍රපටයක් නැරඹීම යන දේ නරකම නැහැ නේද? ස්ටාර්බක්ස් ලා එම සංස්කෘතිය නොවේද ලෝකයට හඳුන්වා දී ඇත්තේ?   

 


ආපසු 1971 ට හැරෙමු


1971 දී තරුණයින් තිදෙනෙකුගේ මූලිකත්වයෙන් ස්ටාර්බක්ස් කෝපි බීම ලෝකයට පුරුදු කරවමින් මහා ධනස්කන්ධයක් එක්සත් ජනපදයට ගෙන ආයේය. බොහෝ දෙනා පවසන්නේ 1971 ශ්‍රී ලංකාවේ බිහි වූ තරුණ ප්‍රජාවේ බොහෝ දෙනා අතිශය නිර්මාණශීලී චරිත වූ බවය. රටේ හෝ ප්‍රජාවේ අවාසනාවකට ඒ නිර්මාණශීලී තාරුණ්‍යය මේ පොළවේ වැළලී ගියේ, කිසිදු අරුතක් ජනිත කරවමින් නොවේය. ඉස්තරම්ම තේ ඉස්තරම්ම කෝපි ඇති අප රටේ අපට මොනවද කරන්න බැරි? ඇමරිකාවේ තරුණයන් තිදෙනෙකු 1971 දී කළේ සැබෑම විප්ලවයක් යැයි අපට කිව හැකි නොවේද? ඉතිහාසය පිළිබඳ ගුරුවරයෙක් ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුවරයෙක් සහ ලේඛකයකු එක්ව අත්තිවාරම දැමූ කෝපි බීමේ විප්ලවය අද ලෝකයම වෙලාගෙන ඇත. එතකොට එය අරුත් බර වූ විප්ලවයකැයි සඳහන් කළ හැකිය.

 

 

පරිවර්තන සටහන : 
සඳුන් ගමගේ