ලෝකයේ ලොකුම රූපලාවණ්‍ය සමාගම


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි....  

 

රූපලාවන්‍ය නිෂ්පාදන ගැන කතා කිරීමේදී, ප්‍රංශයේ ලෝරියල් යනු ලොව බොහෝ දෙනා අතර ප්‍රකට වූ සමාගමකි. වෙසෙසින්ම කේශාලංකරණය සඳහා අවශ්‍යවන බොහෝ ද්‍රව්‍ය සහ උපකරණ මෙම සමාගම මගින් නිෂ්පාදනය කෙරේ. රූපලාවණ්‍ය නිෂ්පාදන අංශයේ ලොව අංක එකේ සමාගම ලෙස ලොව ප්‍රකට ෆෝබ්ස් සඟරාව සඳහන් කරන්නේ මෙම ලෝරියල් සමාගමය. ප්‍රංශ උච්චාරණයට අනුව මෙම නාමය ශබ්ද වන්නේ ‘ලුහියාල’ යනුවෙනි. ප්‍රංශ බසට අනුව මෙහි අරුත දෙස බැලුවොත්, ‘ලෝරියල්’ යනු මධ්‍යතන යුගයේ සිට භාවිතා කෙරෙන වචනයක් වන අතර, එහි අරුත වන්නේ, රන්වන් පැහැය, රන්වන්, ලස්සන, අලංකාර, විස්මයජනක, විශිෂ්ට යන තේරුම්ය. මේ අනුව බලන කල ලෝරියල් යනු ලෝකයට රන්වන් හැඩයක් ලබා දුන් රූපලාවන්‍ය සමාගමකි. 

එම අංශයෙන් ලෝකයම අල්ලාගෙන සිටින ලෝරියල් වගේම ලෝකයේ ධනවත්ම කාන්තාව ලෙස ව්‍යාපාරික වාර්තා පෙන්වාදෙන්නේ ‘ප්‍රන්ෂුවාස් බෙටන්කෝට් මයර්’ගේ නාමයයි. වත්මනෙහි ඇය මෙහි හිමිකාරිණිය වන්නීය. එමෙන්ම විධායක නොවන සභාපතිනියද වන්නීය. ප්‍රකට සමාගම් ලොව දිනූ විශේෂාංගය අද ලස්සන කෙරෙන්නේ මෙම ලෝරියල් සහ ලෝකයේ ධනවත් කාන්තාව ගැන වූ කතාව වෙතිනි. 


ලෝරියල් ආරම්භය 


 අද වනවිට ලෝරියල් සමාගම වාර්ෂිකව උපයන මුදල ඇමරිකානු ​ඩොලර් බිලියන 30කට වඩා ඉහළයැයි සඳහන් වේ. අද මෙලෙසින් ලෝකයේ ලොකුම රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනය ලෙස නම් දරා සිටින මෙම සමාගම ඇරඹියේ 1909දී පමණය. ජර්මානු සම්භවයකින් පැවත ආ ඉයුජින් පෝල් ලුයිස් ෂුලර් යන රසායනවේදී තරුණ විද්‍යාඥයා විසින් එවකට කරන ලද පර්‌යේෂණ රැසක ඵලදායකත්වයෙන් පසු, කොණ්‍ඩා සඳහා යොදා ගන්නා එනම්, කේශාලංකරණ ගැල්වීම වෙනුවෙන්, වර්ණ නිෂ්පාදනයක් ප්‍රථම වරට නිෂ්පාදනය කළේය. එය නම් කෙරුණේ උරෙයිලේ නමිනි. 


මෙම නාමය යටතේ නිපදවූ නිෂ්පාදන එදා පැරිසියේ ප්‍රකට කොණ්ඩා මෝස්තර ශිල්පීන් වෙත අලෙවි කිරීම සිදුකර තිබේ. 1919 දී පමණ ඔහු එය සමාගමක් ලෙස ලියාපදිංචි කළේය. ප්‍රථමයෙන් මෙම සමාගම අරඹනවිට සේවය සඳහා යොදවා ගෙන ඇත්තේ රසායනවේදීන් තිදෙනෙකු පමණකි. 


1950 දක්වා සමාගම ගමන් කළේ හෙමින් ගමනකි. ජීවිතයට කෙටි මාර්ග නොමැති වග ෂුලර් දැන සිටියේය. ඔවුනගේ ගමනෙහි මූලධර්මයන් වූයේ රූපලාවන්‍ය ක්ෂේත්‍රය උදෙසා විවිධ පර්‌යේෂණ සහ නවෝත්පාදන බිහිකිරීම උදෙසා පෙරමුණ ගැනීමය. එදා රසායනවේදීන් තිදෙනෙකුගෙන් ඇරඹි ලෝරියල් 50 දශකය අරඹන විට සියයක පමණ සේවක පිරිසකගෙන් සමන්විත වුණි. 


1984 වන විට සිටියේ දහසකට සමීප වූ පිරිසක් පමණකි. ඒ අනුව පෙනී යන්නේ ඔවුනගේ ගමන හෙමින් වුවද සැලසුම් සහගතව පැමිණි ගමනක් බවය. 
වත්මනෙහි ලෝරියල් සමාගම සතු සේවක සංඛ්‍යාව අනූදහසකට ආසන්නය. කොමියුනිස්ට්වාදී මත සහ අදහස් දැරූ ෂුලර් වතාවක ඔහුගේ මෙම සමාගම සතු මූලස්ථානය සමාජවාදී ක්‍රියාකාරින්ගේ රැස්වීම් පැවැත්වීම සඳහා ලබාදුණි. දෙවැනි ලෝක යුද්ධය පැවැති සමයේදී පවා සක්‍රීයව සිටි ෂුලර් ඉනික්බිතිව ශාඛා ව්‍යාප්ත කිරීමට සැලසුම් දියත් කළේය. මොහොතකට අපි මේ ෂුලර් කවුද කියා බලමු. 

 


ඉයුජින් පෝල් ලුයිස් ෂුලර් උපන්නේ 1881 දී ප්‍රංශයේ පැරස් නුවරදීය. විලාසිතා හා රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ හැඩකාර තෝතැන්නක් වූ ‘පැරිස්’ නුවර සිට හැදී වැඩී 1904 වනවිට උපාධිය ලබාගත්තේ රසායනවේදියකු ලෙසය. විප්ලවවාදී ව්‍යාපාර සමඟ ඍජු සබඳතා පැවැත්වූ ෂුලර් නාසි හා යුදෙව්වන් සමඟ කටයුතු කරමින්, දේශපාලනික ක්‍රියාකාරකම් සමඟ බැඳී සිටි අයෙක් විය. 1957දී ෂුලර් මියගියේ නාසි කඳවුරක සිටියදීය. 


ලෝරියල් නිෂ්පාදන සමඟ ලස්සන ගමනක් එමින් සිටියදී වයස අවුරුදු 76දී පමණ ෂූලර් මියගිය පසු සමාගමේ මුල් පුටුවට පත්වූයේ ඔහුගේ බිරිඳ නොවේ. එකම දියණිය වූ ලිලියන් බෙටන්කෝට්ය. ෂුලර්ගේ බිරිඳ වූයේ ලුවිස් ඩොන්ෂේය. ලිලියන් හට මව අහිමිවූයේ වයස අවුරුදු 5දී පමණය. 


තාත්තාගේ හෙවණේ හැදී වැඩුණු ලිලියන් ආධුනිකයකු ලෙස තාත්තාගේ සමාගමට එක්වන විට වයස අවුරුදු 15 ක දැරිවියක වූවාය. ආලේපන මිශ්‍ර කිරීම සහ ෂැම්පු බෝතල්වලට පිරවීම ඇයට එවකට පැවරී තිබුණු රාජකාරියයි. පියාගේ මරණින් පසු පියාගේ වත්කම් සියල්ලෙහි උරුමය හිමිවූයේ මේ එකම දියණිය වෙතය. 1957දී පියා මියයාමට පෙර ලිලියන් 1950දී විවාහ වූයේ ප්‍රංශ දේශපාලනයෙහි ප්‍රකට චරිතයක්ව සිටි ඔන්ඩ්‍රේ බෙටන්කෝට් සමඟය. 


1963දී පමණ ලෝරියල් සමාගම මහජන කොටස් නිකුතුවෙන් යුතු සමාගමක් බවට පරිවර්තනය කිරීමට ලිලියන් හට හැකිවිණි. කෙසේ වෙතත් 2012 දක්වාම ලෝරියල්හි වැඩිම කොටස් හිමි වූයේ ලිලියන් බෙටන්කෝට් හටය. ඊට අමතරව නෙස්ලේ සමාගමේ සියයට 3ක් පමණ කොටස්ද ඇය සතුවිණි. ලිලියන් හට සිටින්නේද එකම දියණියක පමණකි. 


වත්මනෙහි ලොව ධනවත්ම කාන්තාව ලෙස හැඳින්​වෙන්නේ ඇයයි. ඒතාක් ඊට පෙර ලොව ධනවත්ම කාන්තාව වූයේ ලිලියන් බෙටන්කෝට්ය. පියාගෙ උරුමය දියණියට ලැබුණු පසු එ් පියාද දියණියද මියගිය පසු ලෝරියල්හි උරුමක්කාරිය වූයේ ලිලියන්ගේ එකම දියණිය වන ප්‍රංශුවාස් බෙටන්කෝට් මයර්ය. වත්මනෙහි ලොව ධනවත්ම කාන්තාව වන මේ ප්‍රංශුවාස් මයර් ගැන මීළඟට අපි කතා කරමු. 

 

සීයාගේ උරුමය ලද දියණිය ප්‍රංශුවාස් බෙටන්කෝට් මයර්. 


ඇය නම් සැබැවින්ම මහා වාසනාවන්තියකි. ලෝරියල් පවුලේ උරුමයට ඇය හිමිකම් කීවේ කිසිදු බාහිර බලපෑමකින් අවහිරතාවකින් තොරවය. ප්‍රංශුවාස් බෙටන්කෝට්, තම මව ජීවත්ව සිටියදීම සමාජ සේවයට එක්ව සිටි අතර, තම මව විසින් පිහිට වූ ‘බෙටන්කෝට් ෂූලර්’ පදනම හරහා ​බොහෝ සමාජ සත්කාරයන් සිදුකර තිබේ. සංස්කෘතික, සෞඛ්‍ය සහ මානුෂීය ආධාර සඳහා ප්‍රමුඛව කටයුතු කරන අතර, එකී පදනම සතු වත්කම පමණක් ඩොලර් මිලියන එකසිය පනහකට වඩා වැඩිය. 


එසේ වුවද බෙටන්කෝට් පවුල 2010දී පමණ දේශපාලන වශයෙන් අපකීර්තියට පත්වූයේ විශාල මුදල් ප්‍රමාණයක් හිමි ගිණුම් ස්විස් බැංකුවල තිබේ යැයි මාධ්‍යයේ හෙළිවීමත් සමඟය. හිටපු අය-වැය ඇමතිවරයා සමඟ ඇය සතු මිත්‍රත්වය නිසා මිලියන ගණනින් බදු සහන ලබා දුන්නේ යැයිද කියා මුදල් අමාත්‍යවරයාට මෙන්ම බෙටන්කෝට් පවුල හට චෝදනා එල්ල වුණි. 


එසේ වුවද ප්‍රංශුවාස් බෙටන්කෝට් යනු සමාජ සේවය උදෙසා අතදිග හැර වියදම් කරන මහා ධනවන්තියකි. වරෙක නොත්‍රිදාමයේ දේවස්ථානයෙහි ඇති වූ ගින්නක් නිසා එය නැවත පිළිසකර කිරීම වනුවෙන් ලෝරියල් සමාගම ඩොලර් මිලියන 226ක මුදල් පරිත්‍යාග කර තිබේ. 


බැලූ බැල්මට ලෝරියල්... 


ලෝරියල් සමාගමෙහි මූලස්ථානය පිහිටා ඇත්තේ පැරිස් නගරයට වයඹින් ඇති ක්ලීෂි නගරයේය. ප්‍රකට නෙස්ලේ සමාගමේ කොටස්වලින් 23%ක පමණ කොටස් ප්‍රමාණයක් වසර 40ක් තිස්සේ ලිලියන් බෙටන්කෝට්ගේ නාමයට හිමිව තිබීම විශේෂ දෙයක් විය. 


සත්ත්ව හිමිකම් සුරකින ආයතන සහ ක්‍රියාකාරිකයින් විසින් ලෝරියල් සමාගම පර්යේෂණ සඳහා සත්ත්වයින් විශාල ලෙස යොදා ගන්නේ යැයි කියා චෝදනා එල්ල කර තිබිණ. 


එසේ තිබියදී, ලෝරියල් සමාගම මිලියන ගණනින් කොණ්ඩා නිෂ්පාදන සහ ඒ වෙනුවෙන් වූ පර්‌යේෂණ සඳහා වැයකිරීම නිරන්තරයෙන් සිදුවන්නකි. 
ලොව ලොකුම රූපලාවණ්‍යාගාරය ඇත්තේ කොහේද කියා විමසුවහොත් ඒ වෙන තැනෙක නොවේ, මෙම ලෝරියල් මූලස්ථානය පිහිටි ක්ලීෂි ගොඩනැගිල්ලෙහිය. කොණ්ඩා විලාසිතා ශිල්පීන් සියයකට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන මෙම මහා රූපලාවණ්‍යාගාරයේදී දිනකට විශාල පිරිසකට සේවය ලබාදීම සිදුකෙරේ. එහිදී වැඩිහරියක්ම වෙන්නේ අලුත්-අලුත් නිෂ්පාදන හඳුන්වාදීම මෙන්ම අත්හදා බැලීම සිදු කිරීමය. 
පැරණි සම ඉවත්කොට අලුත් සමක් ලබාදීම මෙන්ම ඇස් යට කළු පැහැගැන්වීම නැති කිරීම සහ රැලිගැන්වීම අවම කිරීම උදෙසා රූපලාවණ්‍ය සැත්කම් සිදුකිරීමේ නවීනතම අංශයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක් යෙදවීම සිදුකර තිබේ. 


එමෙන්ම ඒ සඳහා නිරන්තර පර්යේෂණ සිදුකෙරෙන පර්‌යේෂණාගාරයක්ද ඔවුන් සතුය. ඉහත කී විදියට සේවය ලබාදෙන කේශාලංකරණ හා රූපලාවණ්‍ය ශිල්පීන් යනු ආධුනික අය නම් නොවේ. ඔවුන් බොහෝමයක් උපාධි ලද සහ එම අංශයේ දැනුමින් පොහොසත් විශේෂඥයින්ය. පැරිසියේ සිටින හොඳම කේශාලංකරණ ශිල්පීන් යැයි සඳහන් කළ හැකිය. 

 


‘ලෝරියල්’හි සේවය කරන ලක්ෂයකට ආසන්න පිරිසක් අතරින් සියයට 60%ක් පමණ බහුතරය කාන්තාවන් හා තරුණ පිරිස වීම විශේෂත්වයකි. 
එලෙසින් තාරුණ්‍ය සමඟ අත්වැල් බැඳ ලෝකය අල්ලාගෙන සිටින, ලෝරියල් සතු ලෝක​ වෙළඳපොළ ආක්‍රමණය 40%කට වැඩි වැඩිය. 
ලෝරියල්හි අලෙවි පාඨය තෙවරක්ම වෙනස් කිරීම සිදුකර තිබේ. 


එහෙයින් මම අගනේය, 
ඔබ නිසා එය අගනේය, 
ඔබ හේතුකොට අපි වටිනේය. 
මෙලෙසින් කියැවෙන්නේ ලෝරියල් නිෂ්පාදන ගැනය. 


සමාගමක සභාපතිවරයෙකු විශ්‍රාම යනවිට යමෙකුට තැන්පත් මෙන්ම පාරිතෝෂික මුදලක් ලැබෙන බව සැබෑය. එහෙත් මෙම ලෝරියල් සමාගමේ සේවය කොට විශ්‍රාම ගිය හිටපු සභාපතිවරයා හට ලැබුණේ පාරිතෝෂික මුදලකට වඩා ලක්ෂ ගණනක ලොතරැයි දිනුමකට එහා ගිය සුවිශාල මුදලකි. එනම් ඩොලර් මිලියන 110ක මුදල් හිටපු සභාපතිවරයා හට ලෝරියල් සමාගම විසින් ලබාදීම සිදු කර තිබේ. 


ලෝරියල්හි පර්‌යේෂණාගාර ගැන කතා කළොත්, ඒවා ස්ථාපිත කර ඇත්තේ ප්‍රංශයේ පමණක් නොවේ. ප්‍රංශයේ ස්ථාන දෙකක හැර ඇමෙරිකාවේ නිව්ජර්සි සහ ක්ලාක් යන නගරවලද, ජපානයේ කනගාවා හිදීද, චීනයේ ෂැංහයි මෙන්ම අසල්වැසි ඉන්දියාවේද ලෝරියල් පර්‌යේෂණාගාර ස්ථාපිත කර තිබේ. 
සාමාන්‍යයෙන් චීන සමාගම් වෙනත් රටක සමාගම් විසින් මිලදී ගැනීම සිදුවන්නේ කලාතුරකිනි. එහෙත් 2014දී පමණ චීනයේ ප්‍රකට හා ප්‍රධාන රූපලාවණ්‍ය සන්නාමයක් වන මැජික් හෝල්ඩින්ග්ස් සමූහය, ඩොලර් මිලියන 840ක පමණ මුදලකට අත්පත් කර ගැනීම සිදුවිය. 


 ලෝ ප්‍රකට කෑන්ස් සිනමා උළෙලේ නිල අනුග්‍රාහකයකු ලෙසද ලෝරියල් කටයුතු කරයි. ලෝරියල්හි වෙ​ෙළඳනාම තානාපතිවරු ලෙස කටයුතු කරන ප්‍රකට හොලිවුඩ් තරු බොහෝය. ජුලියන් මුවර්, සුසාන් සැරන්ඩන්, ඇන්ඩර්සන් හෙවත් ඇන්ඩි මැක්ඩොවල්, ඊවා ලොන්ගෝරියා කොරියානු සහ ඇමරිකානු සුපිරි නිරූපිකාවක වන සූ ජූ පාක්, ක්‍රිස්ටිනා බසාන් ප්‍රකට නිළි වියෝලා ඩේවිස් මෙන්ම ඉන්දීය ලෝක රූ රැජිනක වන අයිෂ්වර්යා රායි යන ලෝ ප්‍රකට තරු ලෝරියල් නාමය ප්‍රචලිත කිරීමේ ගෝලීය ප්‍රකාශිකාවන් ලෙස සඳහන් කළ හැකිය.

 

 

සඳුන් ගම​ගේ