ලෝකයේ අනාගතයට චීනයෙන් තවත් සමුළුවක්


දකුණු දිග චීනයේ ඉතා අලංකාර ප‍්‍රදේශයක් වන හයිනාන් ප‍්‍රාන්තය කෙරෙහි ගෙවී ගිය දින කීපයේදී ලෝක ජනමාධ්‍යයෙහි විශේෂ අවධානයක් යොමුවී තිබෙන ආකාරයක් දැකගන්නට ලැබිණි. ඊට බලපෑ ප‍්‍රධානම හේතුව නම් බෝආඕ ආසියා සමුළුවෙහි (BOAO Forum for Asia) සමාරම්භක උත්සවය පසුගිය 10 වැනි දින හයිනාන් හි බෝආඕ නගරයේදී ආරම්භ වුණු නිසාය. මෙවර සමුළුවෙහි නිල තේමාව වූයේ “විවෘත හා නිර්මාණාත්මක ආසියාව, සමෘද්ධිමත් හා වර්ධනීය ලෝකය” යන්නයි. 


ශ්‍රී ලංකාවද ඇතුළු ආසියා කලාපීය රටවල් සම්බන්ධයෙන් සාකච්ජා කෙරෙන ඉතා වැදගත් සමුළුවක් හැටියට මෙය සැලකෙන අතර මෙවර පැවති සමුළුවෙහි සමාරම්භක උත්සවයට චීන ජනාධිපතිවරයාද සහභාගී වූ අතර ඊට අමතරව විදෙස් රාජ්‍ය නායකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ. ඒ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේට්ස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපති ක්‍රිස්ටීන් ලගාර්​ෙඩ් යන අයද වූහ. මෙම බෝආඕ සමුළුව සැලකෙන්නේ ආසියානු කලාපීය රටවල් අතර ආර්ථික හුවමාරු ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම කලාපීය අන්තර් ක්‍රියාකාරීත්වය හා සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කෙරෙන වැදගත් සාකච්ඡා සභාවක් හැටියටය.   


මෙම බෝආඕ ආසියා සමුළුව රාජ්‍ය නොවන අන්තර්ජාතික සංවිධානයක් වන අතර එය ආසියානු කලාපයේ රටවල් අතර වන පොදු සංවර්ධන අභිලාෂ මුදුන් පමුණුවා ගැනීම පිළිබඳව මෙන්ම කලාපීය ආර්ථිකය සම්බන්ධ කිරීම ගැනත් එක් එක් රටවල කාර්මීකකරණ, ව්‍යාපාර, ශාස්ත්‍රීය ආදී ක්ෂේත‍්‍රවලට අද‌ාළ පොදු පද්ධතිවල ක්‍රියාකාරීත්වය ගැනත් අවධානය යොමු කරයි.   


පිලිපීනයේ හිටපු ජනාධිපති ෆිදෙල් වී. රාමෝස්, ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති බොබ් හොව්ක්, ජපානයේ හිටපු අගමැති මොරිහිරෝ හොසොකාවා යන නායකයන් 1998 වසරේදී මෙවැනි සමුළුවක් නිර්මාණය කිරීමේ වැදගත්කම පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව මේ සමුළුව 2001 වසරේ පෙබරවාරි මස 27 වැනි දින චීනයේ හයිනාන් පළාතේ බෝආඕ නගරයේදී නිල වශයෙන් ආරම්භ විය.   


මේ වසරට අද‌ාළ සමුළුව චීනයේ හයිනාන් පළාතේ බෝආඕ නගරයේදී පසුගිය 10 වැනිදා ආරම්භ වූ අතර එය 11 වැනි දින තෙක් පැවැත්විණි. මෙම සමුළුවෙහි සමාරම්භක උත්සවය පැවැත්වීමට පෙර දින ආසියානු මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ සමුළුව හයිනාන් පළාතේ සන්යා නගරයේදී ඉකුත් 09 වැනි දින පැවැත්වුණු අතර එයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන මහතා එක්ව සිටියේය.   
ආසියානු මාධ්‍ය ආයතන 148ක ප‍්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම උත්සවය අවසානයේ රටවල් 12ක් නියෝජනය කරමින් පැමිණ සිටි මාධ්‍ය ආයතන 19ක ප‍්‍රධානීහු ගිවිසුම් නවයකට අස්සන් තැබීමද සිදුවිය. ආසියානු කලාපීය මාධ්‍ය භාවිතය ප‍්‍රවර්ධනය කිරීමට අද‌ාළ ගිවිසුම්ද ඒ අතර විය.   


“බෝආඕ සමුළුවට සමාන්තරව පැවැත්වෙන ආසියා මාධ්‍ය ප‍්‍රධානීන්ගේ සමුළුවට මම සහභාගි වුණා. මෙහිදී චීනයේ මාධ්‍ය ආයතන එක්ක තියෙන සම්බන්ධතාව වැඩි කර ගැනීම ගැනත් ලංකාවේ මාධ්‍ය සඳහා තාක්ෂණික සහාය චීනයෙන් ලබාගන්න එක ගැනත් සාකච්ඡා වුණා. මම හිතන්නෙ මේ වගේ සමුළුවකට අපේ රටටත් සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙන එක ඉතාමත් වැදගත්. මොකද අද ලංකාවේ සංචාරක කර්මාන්තය ගත්තොත් දෙවනියට වැඩිම සංචාරකයෝ ප‍්‍රමාණයක් ලංකාවට පැමිණෙන්නෙ චීනයෙන්. ඒකෙදි රටේ සංවර්ධනය සම්බන්ධයෙන් මේ වගේ රටවල් එක්ක ගනුදෙනු කිරීම ගැන අපේ රටේ මාධ්‍යයට ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා මම හිතනවා මේක ඉතා වැදගත් සමුළුවක්” මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ සමුළුවෙන් අනතුරුව රවී ජයවර්ධන මහතා ඉරිද‌ා ලංකාදීපය සමඟ අදහස් දක්වමින් එසේ පැවැසීය.   


ඊට පසු දින එනම් 10 වැනි දින බෝආඕ සමුළුවෙහි සමාරම්භක උත්සවය ආරම්භ වුණු අතර සමුළුව අමතා චීන ජනාධිපති ෂී ජින් පින් මහතා කළ කතාව සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍යවල විශාල අවධානයක් යොමුව තිබෙනු දැකගන්නට ලැබිණි. මේ වසරට චීනය ප‍්‍රතිසංස්කරණවලට හා විවෘත භාවයට යොමු වී වසර 40ක් සම්පූර්ණ වන අතර එයද මේ සමුළුවෙහි වැදගත්කම ඉස්මතු කළ කාරණයක් විය. චීන ජනාධිපතිවරයා සිය කතාවේදී ගෙවුණු වසර හතළිහක කාලයේදී ප‍්‍රතිසංස්කරණ හා විවෘතභාව ප‍්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා චීනයට ආර්ථික අංශයෙන් විශාල ප‍්‍රගතියක් ලබාගත හැකි වූ බව පැවසූ අතර ඒ මගින් චීන ජනතාවට පමණක් නොව ලෝකවාසීන්ටද සංවර්ධන අභිවෘද්ධිය උද‌ා කර ඇතැයිද පැවැසීය.   

 


හයිනාන්   


මෙම බෝආඕ සමුළුවත් සමඟ හයිනාන් ප‍්‍රාන්තය කෙරෙහිද දෙස් විදෙස් මාධ්‍යවල විශේෂ අවධානයක් යොමුව තිබෙනු දැකගන්නට ලැබිණි. චීන ආසියා පැසිෆික් මාධ්‍ය මධ්‍යස්ථානය නියෝජනය කරමින් මේ සමුළුව ආවරණය කිරීමට අපටද අවස්ථාවක් උදා වූ අතර එහිදී හයිනාන් හි සංචාරය කිරීමටද හැකි විය.   


විශේෂයෙන්ම මෙම සමුළුවට සමාන්තරව පැවැත්වූ ආසියා මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ සමුළුව පැවැති සන්යා නගරයත් බෝආඕ සමුළුවෙහි සමාරම්භක උත්සවය පැවැත්වූ බෝආඕ නගරයත් ඒ අතර විය. එයින්ද සන්යා ප‍්‍රදේශය විශේෂ වන්නේ එහි ඇති අලංකාර පරිසරය නිසාය. සමස්තයක් ලෙස ගත් විට ඉතා දර්ශනීය භූ ලක්ෂණවලින් හා ශ්‍රී ලංකාවට සමාන දේශගුණයකින් යුත් දකුණු දිග චීනයේ හයිනාන් ප‍්‍රාන්තය සැලකෙන්නේ සංචාරක පාරාදීසයක් හැටියටය.   


මනරම් මුහුදු තීරයකින් සමන්විත හයිනාන් චීනයේ උෂ්ණාධික දේශගුණයකින් සමන්විත එකම ප‍්‍රාන්තය ද වෙයි. එම නිසා දේශීය හා විදේශීය සංචාරකයන් විශාල වශයෙන් මෙහි සංචාරය කරනු දැකිය හැකිය. උතුරින් ගුවන්ගඩොංග් (Guangdong province) ප‍්‍රාන්තයෙන් ද දකුණින් වියට්නාමයෙන්ද නැගෙනහිරින් බෙයිදු බොක්කෙන් (Beidu Gulf) හා තායිවානයෙන්ද දකුණු දිග චීනයේ අලංකාර මුහුදු තීරය වටවී ඇති අතර පිලිපීනය බෲනායි හා මලයාසියාව යන රටවලින් මෙහි දකුණු හා ගිනිකොනදිග සීමා සලකුණු වී තිබේ. හයිනාන් ප‍්‍රාන්තයෙහි භූමියෙහි විශාලත්වය හෙක්ටයාර් මිලියන 3.5354 කි. එය චීනයේ මුළු නිවර්තන භූමි ප‍්‍රමාණයෙන් සියයට 42.5 කි.   


පෙර සඳහන් කළ පරිදි මේ ප‍්‍රාන්තය කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ එහි දේශගුණය නිසාය. උෂ්ණාධික දේශගුණයක් මෙහි නිරන්තරයෙන් දැකිය හැකි අතර එය වසරේ සෑම කාලයකම දක්නට ලැබෙන්නකි. එමෙන්ම දිගු ඉතිහාසයක් මේ ප‍්‍රාන්තය සතුව පැවති බවට ඓතිහාසික ලේඛනවලින් සනාථ වී ඇති අතර අදින් වසර 6000 කට පෙර කාලයේ පටන් මෙහි දියුණු මානව ක‍්‍රියාකාරකම් පැවති බවටද ඉතිහාසඥයන් කරුණු අනාවරණය කර ගෙන තිබේ.   


කුයින් Qin අධිරාජයාගේ කාලයේ මෙහි දියුණු පරිපාලන ක‍්‍රමයක් ආරම්භ කර ඇති බවටද තොරතුරු සොයාගෙන ඇත. මේ නිසාම අද වන විට මෙහි දියුණු සංස්කෘතියක් ද නිර්මාණය වී ඇති ආකාරයක් දැකිය හැකි අතර මේ ප‍්‍රාන්තය ඇතුළත භාෂා 10ක් පමණ භාවිත වේ. හයිනාන් (Hainan), ලී (Li), ලින්ගා ඕ (Lin'gao), ඩැන්සු (Danzhou), ජන් (Jun), මිආඕ (Miao) ආදිය ද ඒ අතර වෙයි. එමෙන්ම චීනයේ ඇති බොහොමයක් ජන කණ්ඩායම්වල මහගෙදර හැටියට සැලකෙන්නේද හයිනාන් ය. චීනයේ ජීවත් වන සමස්ත ජන වර්ග ප‍්‍රමාණය 56ක් වන අතර එයින් ප‍්‍රධාන ජන වර්ගය වන්නේ හන් Han ජන වර්ගයයි. චීනයේ මුළු ජනගහනයෙන් සියයට 95ක පමණ පිරිසක් මෙම ජන වර්ගයට අයත් වෙති. එයද ඇතුළුව ලි Li මිආඕ Miao හුයි Hui යන ජන කණ්ඩායම්වලට අයත් ජනයා මෙහි වෙසෙති. එයින් ලී ජන වර්ගය සැලකෙන්නේ මෙහි ආදිතම පදිංචිකරුවන් හැටියටය.  


හයිනාන් ප‍්‍රාන්තයෙහි දේශගුණය ශ්‍රී ලංකාවට බොහෝ සෙයින් සමාන වන්නා සේම දියුණු කෘෂි කර්මාන්තයක්ද මෙහි දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ මෙන් සහල් වගාව හයිනාන් හි විශාල වශයෙන් දක්නට ලැබේ. ධීවර කර්මාන්තයද මෙහි ප‍්‍රධාන ජීවන කර්මාන්තයකි. පුවක්, ගම්මිරිස්, අල, මඤ්ඤොක්කා, ගහල, බඩ ඉරිඟු, චීන ඉදල්, ඉරිඟු, මෙනේරි, බෝංචි, රටකජු, කංසා, තල ආදී තවත් විවිධ බෝග වර්ග මෙහි වගා කෙරෙයි. සශ්‍රීක පලතුරු වගාවක්ද හයිනාන් ප‍්‍රාන්තයෙහි දැකිය හැකි අතර අන්නාසි වගාව ඒ අතර ප‍්‍රධාන වෙයි. දොඩම්, අඹ, කොමඩු, වරකා ආදී තවත් බොහොමයක් පලතුරු මෙහි වෙයි. 120 කට ආසන්න එළවළු වර්ග ප‍්‍රමාණයක් මෙහි වගා කෙරෙයි. ඉහළ ආර්ථික භෝග වගාවන් හැටියට රබර්, පොල්, බුලත්, කෝපි, තෙල්, ගම්මිරිස්, හණ කෙඳි, කජු කොකෝවා ආදිය පෙරමුණෙහි පසුවෙයි.   


හයිනාන්වල දැකිය හැකි තවත් විශේෂත්වයක් නම් චීනයේ ලුණු නිෂ්පාදනයෙන් පෙරමුණ ගන්නා ප‍්‍රාන්තයක් වීමය. අනෙක් අතට මේ ප‍්‍රාන්තය සතුව විශාල ඛනිජ සම්පත් ප‍්‍රමාණයක්ද ඇති අතර දැනට මෙහි ඛනිජ වර්ග 88ක් සොයා ගෙන තිබේ. ඒ අතර තෙල්, ස්වාභාවික ගෑස්, ලෝහ මිශ‍්‍ර පාෂාණ, තාපය අධික ඛනිජ වර්ග ආදියද වෙයි. ස්වාභාවික ගෑස් හා රසායනික කර්මාන්ත හයිනාන්හි ප‍්‍රධාන කර්මාන්ත වෙයි. මෙහි ප‍්‍රධාන ආද‌ායම් මාර්ග අතර සංචාරක කර්මාන්තයද ඉදිරියෙන් පසුවන අතර 2014 වසරේදී පමණක් මෙහි පැමිණ ඇති දෙස් විදෙස් මුළු සංචාරකයන් ප‍්‍රමාණය මිලියන 47.8908 කි. එම වසරේ සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති සමස්ත ආද‌ායම යුආන් බිලියන 50.653 කි.   

 

 

 

 

උපුල් වික‍්‍රමසිංහ   
චීනයේ හයිනාන් හි සිට