ලෝකයේ කසළ වෙළෙඳාම


 

2018 සැප්තැම්බර් 20 දින නිකුත් කරන ලද ලෝක බැංකු වාර්තාවක සඳහන් වූයේ කඩිනම් විසඳුම් මාර්ගයක් නොගතහොත් 2050 වෙන විට ගෝලීය කසළ නිපැයුම 70% කින් වර්ධනය විය හැකි බවය. 2018 සැප්තැම්බර් මස 25 වැනි දින රොයිටර් පුවත්පත් සේවය වාර්තා කළේ ගෝලීය කසළ නිෂ්පාදනයෙන් 1/3 ක් බිහිවෙන්නේ ඉහළ ආදායම් ලබන සංවර්ධිත රටවලින් බවය.   


ලෝකයේ කසළ උත්පාදනය කරන රටවල් අතුරින් ප්‍රධාන තැනක් ගන්නේ ඇමෙරිකාවයි. ඇමෙරිකාව වාර්ෂීකව ටොන් 26,800,000 ක්, ආහාර අපද්‍රව්‍ය ටොන් 8,550,000 ක්, ගෘහභාණ්ඩ ඇතුළු ගෘහ උපකරණද ටොන් 6,330,000 ක්, ඇඳුම් හා පාවහන්ද ඉවත දමයි. වර්තමානයේ සියලුම දේ ඇතුළුව වාර්ෂිකව බැහැර කෙරෙන නාගරික සහ අපද්‍රව්‍ය (MSW) ප්‍රමාණය ටොන් මිලියන 236 ක් බව වාර්තා වේ. ඇමෙරිකාව වාර්ෂිකව ඉවත දමන කසළවලින් (ඇඳුම්) 84% ක් පමණ උඳුන් මගින් දහනය කිරීමටත් භූමිය ගොඩ කිරීමටත් යොදාගෙන ඇත. ලොව දෙවැනි විශාලතම කසළ නිපදවන රට වනුයේ රුසියාවයි. රුසියාව වාර්ෂිකව නිපදවන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන 200 කි. එහෙත් රුසියාව කසළ අපනයනය කරන බව මෙතෙක් වාර්තා වී නැත. ජපානය වාර්ෂිකව ඝන අපද්‍රව්‍ය ටොන් මිලියන 52.36 ක් නිපදවුවත් ඉන් වැඩි ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොදා ගනී. ජර්මනිය වාර්ෂිකව ඝන අපද්‍රව්‍ය ටොන් මිලියන 48.84 ක්ද මහා බ්‍රිතාන්‍යය ටොන් මිලියන 34.85 ක්ද, ප්‍රංශය ටොන් මිලියන 32.17 ක්ද, ඉතාලිය ටොන් මිලියන 29.74 ක්ද, ස්පාඤ්ඤය ටොන් මිලියන 26.34 ක්ද, වාර්ෂිකව උත්පාදනය කරන බව වාර්තා වී ඇත. නාගරීකරණය හා සීඝ්‍ර ලෙස වැඩිවෙන ජනගහනය නිසා ගෝලීය වශයෙන් ඉවත ලන අපද්‍රව්‍ය ප්‍රමාණයද වැඩිවෙමින් පවතී. 


වර්තාමනයේ ලෝකය පුරා නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් බිලින 2.01 ක් වාර්ෂිකව උත්පාදනය වෙන බැව් වාර්තා වේ. ලෝකයේ සිටින සෑම පුද්ගලයකුම දිනකට බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 0.74 ක් බවද පැවසේ. ඉවත දමන ආහාර ද්‍රව්‍ය වැඩිම රට ලෙස ඕස්ට්‍රේලියාව සැලකුවද ප්‍රතිචක්‍රීයකරණය මනා ලෙස කිරීමත් කසළ කළමනාකරණය කිරීමත් නිසා එහි ජනතාවට හෝ පරිසරයට දැඩි බලපෑමක් එල්ලවී නැත. 


මහා බ්‍රිතාන්‍යය අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා උඳුන්වලින් පිලිස්සීමත්, භූමියේ තැන්පත් කිරීමත් ස්වභාවිකව දිරාපත්වීමට සැලැස්වීමත් යන ක්‍රියාමාර්ග අනුගමනය කරයි. සමහර අපද්‍රව්‍ය ගෝලීය කසළ වෙළෙඳාම හරහා බැහැර කරන බැව් වාර්තා වේ. 


ගෝලීය කසළ වෙළෙඳාම යනු ප්‍රතිචක්‍රීයකරණය සඳහාත්, නැවත සකස් කිරීම සඳහාත් ආර්ථීක ලාභ ලබාගැනීම සඳහාත් කරනු ලබන කසළ අපනයන ක්‍රියාවලියයි. ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව හා යුරෝපීය රටවල් කසළ උත්පාදනය වෙන කසළ ආසියානු අප්‍රිකානු වැනි දියුණු වෙමින් පවතින රටවලට බැහැර කිරීම මෙමගින් සිදුවේ. ගෝලීය කසළ වෙළෙඳාමට සහාය දක්වන්නන් ප්‍රකාශ කරනුයේ කසළ ආනයනය යනු ආර්ථික ගනුදෙනුවක් බවය. ඉස්තරම් වර්ගයේ භාණ්ඩ නිෂ්පාදන ශක්තිය නොමැති රටවල් තම රටවලට කසළ ආනයනය මගින් එම රටවල ආර්ථීකයට උත්තේජනයක් දිය හැකි බවත් ඔව්හු වැඩිදුරටත් පවසති. විවිධ වෙළෙඳ ගිවිසුම් හරහා නිරතුරුවම විෂ සහිත වූත් අනතුරුදායක වූත් අපද්‍රව්‍ය සංවර්ධනය වෙමින් පවතින රටවලට බැහැර කිරීමට ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපීය රටවල් ක්‍රියා කරමින් සිටී. මෙම කසළවල අඩංගු විෂද්‍රව්‍ය නිසා ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමෙරිකානු රටවල ජීවත්වෙන මිනිස් ප්‍රජාවට මෙන්ම පරිසරයටද මහත් විනාශයක් සිදුවේ. 


1980 ගණන්වල ඇතිවූ නව නිදහස් ආර්ථීක ප්‍රතිපත්තිය, නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තියට පරිවර්තනය වීම ගෝලීය කසළ වෙළෙඳාම වර්ධනය වීමට හේතු වූ බව වාර්තා වේ. නව ලිබරල් වාදයට පාදක වූ නිදහස් වෙළෙඳ ගිවිසුම් තුළින් ජාත්‍යන්තර වෙළෙඳ පොළට ඇතුළු වීමට මෙයට හැකිවිය. ඕනෑම රටක ආර්ථික වර්ධනය උදෙසා නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තිය සකස් කළද මෙයින් ඇතිවුන අතුරු ප්‍රතිඵල නිසා ආසියානු, අප්‍රිකානු රටවලට මහත් විනාශයක් සිදුවූ බව සමහර විචාරකයෝ සඳහන් කරති. විශේෂයෙන් ආසියානු, අප්‍රිකානු රටවලට, බටහිර රටවලට වහල්වීම තුළින් ආර්ථික විනාශය ළඟා කරගන්නා බවත් තවදුරටත් සඳහන් කර ඇත. මෑත දශකවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සඳහා ලබාදුන් දායකත්වයද අසමාන විය. 


පවත්නා නීතිරීතිවල ඇති දුර්වලකම් හා අනාර්ථික ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපීය රටවල උත්පාදනය වෙන විෂ සහිත අපද්‍රව්‍ය ආසියානු හා අප්‍රිකානු රටවල භූමියන්ට බැහැර කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබී ඇති බව ගෝලීය කසළ වෙළෙඳාම විවේචනය කරන්නෝ පවසති. අන්තරාකාරී කසළ සංවර්ධනය වෙමින් පවතින රටවලට අපනයනය කිරීමෙන් එම රටවල ජීවත්වෙන ජනතාවට විවිධ ආබාධවලට ලක්වීමට සිදුවී ඇත. විශේෂයෙන් මෙම ආබාධවලට මුහුණ දීමට සිදුව ඇත්තේ අන්තරාකාරී හා විෂ සහිත අපද්‍රව්‍ය නිපදවන්නේ නැති රටවලටය. අප්‍රිකානු රටවල් කිහිප අවස්ථාවකදීම ගෝලීය කසළ වෙළෙඳාම ගැන සිය කලකිරීම හා අප්‍රසාදය පළකර ඇත. බොලිවියාවේ ජනාධිපති “ඉවෝ මොරාල්ස්” පැවසුවේ වර්තමාන ආර්ථික ප්‍රතිපත්ති හා ගිවිසුම් වලින් තම රටත්, ජනතාවත් සූරාකෑමට ලක් වී ඇති බවය. අයිවර් කෝස්ට් රාජ්‍යයට, බටහිර රටවලින් බැහැර කෙරෙන විෂ සහිත කසළ නිසා ජනතාව ජීවත්වනුයේ මැරි මැරී බව එම රටේ කසළ අංගණයක් ආසන්නයේ ජීවත්වෙන Jean Francois Kouadio සිය අත්දැකීම් ලෙස ප්‍රකාශ කර ඇත. 


සංවර්ධිත රටවලින් සංවර්ධනය වෙන රටවලට අපනයනය කරන අසාධාරණ කසළ වෙළෙඳාමට කියෑන් සී (Khian sea) වෙළෙඳ නැවේ කාර්යය පෙන්වා දිය හැක. ඇමෙරිකාවේ පිලඩෙල්පියාවේදී උඳුන් මගින් දහනය කළ කසළ ටොන් 14,000 ක් රැගත් “කියාන් සී” වෙළෙඳ නෞකාවේ තිබූ අපද්‍රව්‍ය භාර ගැනීම ඩොමිනිකන් රාජ්‍යය පැනමා, හොන්ඩ්‍යුරාස්, බර්මුඩා හා ගිනිබිසව් රාජ්‍යයන් ප්‍රතික්ෂේප කිරීම නිසා එම රටවලට බැහැර කිරීමට නොහැකි විය. එම නැවේ ලියාපදිංචි නාමය දෙවරක් වෙනස් කොට තම නියම ලියාපදිංචි නාමය සැඟවූ නමුත් එම අපද්‍රව්‍ය භාර ගැනීමට කිසිම රාජ්‍යයක් ඉදිරිපත් නොවීය. අවසානයේ එම නැවේ අඩංගුව ඇත්තේ “මතුපිට පාංශු පොහොර”  බව සඳහන් කරමින් ටොන් 4,000 ක් හයිටි රාජ්‍යයට බැහැර කළ බවත් ඉතිරි අපද්‍රව්‍ය අත්ලන්තික් හා ඉන්දියන් සාගරවලට මුදාහළ බවත් පසුව වාර්තා විය. 


ලෝකයේ කසළ ආනයනය කරන රටවල්ද තිබේ. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ ස්වීඩනයයි. සෑම වසරකම කැලි කසළ ටොන් මිලියන 1.3 ක් බ්‍රිතාන්‍යය හා නෝර්වේ රටින් ආනයනය කරන බැව් වාර්තා වේ. මෙම ප්‍රමාණයෙන් 99% ක්ම ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොදා ගන්නා අතර එයින් ලබා ගන්නා බල ශක්තියෙන් නිවාස උණුසුම් කිරීම සඳහාද භාවිත කෙරේ. කසළ අානයනය කරන අනෙක් රටවල් වෙන්නේ බෙල්ජියම, ඩෙන්මාර්කය, ජර්මනිය හා නෙදර්ලන්තයයි. 


ඇමෙරිකාව හා මහා බ්‍රිතාන්‍යයෙන් බැහැර කෙරෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හා විෂ සහිත අපද්‍රව්‍ය අප්‍රිකානු රාජ්‍යවලටත් වියට්නාමය, පකිස්ථානය, බංග්ලාදේශය හා පිලිපීනයටත් අපනයනය කෙරේ. යුරෝපීය රාජ්‍යවලින් බැහැර කෙරෙන යකඩ හා වානේ සුන්බුන් ඉන්දියාවටත්, ඉන්දුනීසියාවටත් අපනයනය කෙරේ. බංග්ලාදේශයට අපනයනය කරන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කැබලි කිරීමේ සේවයේ යෙදී සිටින ළමා ශ්‍රමිකයන්ගෙන් 83% ක් ඒවායින් නිකුත්වෙන විෂ වායුවට ගොදුරුවෙන බවත් ඉන් 15% ක පමණ පිරිසක් විවිධ ආබාධයන්ට ලක්ව මිය යන බවත් පාරිසරික හා සමාජ සංවර්ධන ආයතනය සඳහන් කර තිබේ. ඉවත ලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මිනිස් සිරුරට අහිතකර ඊයම්, කැඩ්මියම්, බෙරිලියම් හා රසදිය අඩංගු වේ. 


අන්තර් මහාද්වීපික අන්තරායකාරී කසළ වෙළෙඳාම පාලනය කිරීමට ඇතිකරගත් සම්මුතියක් ලෙස 1989 ඇතිකරගත් බැසල් ප්‍රඥප්තිය (Basel Convention) සඳහන් කළ හැක. මෙය ගෝලීය කසළ වෙළෙඳාම පාලනය කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන ජාත්‍යන්තර ගිවිසුම් සංවිධානයක් විය. විශේෂයෙන් ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපීය රටවලින් බැහැර කෙරෙන අන්තරායකාරී කසළ ආසියානු අප්‍රිකානු රටවලට අපනයනය කිරීම නැවැත්වීම සඳහා කටයුතු කරන සංවිධානයක් විය. බැසල් ප්‍රඥප්තියට අත්සන් තැබීම 1989 මාර්තු 22 ලෝක ප්‍රජාවට විවෘත වුවද එය බලාත්මක වූයේ 1992 මැයි 5 වැනි දිනය. 2014 වන විට විවිධ රටවල් 180 ක් හා යුරෝපීය සංගමයද මෙයට සම්බන්ධ විය. හයිටි රාජ්‍යය හා ඇමෙරිකාව මෙයට අත්සන් තබා ඇතත් එය ස්ථීර කර නොමැත. 


නීති විරෝධී කසළ වෙළෙඳාම විධිමත් ලෙස නියාමනය කිරීමටත්, එකඟත්වයක් තුළින් උපරිම ඵලදායිතාව ලබාගැනීම සඳහා වූ පාරිසරික ජාලය (Enforce The Environmental Network For Optimizing Regulatory Compliance on Illegal Traffic) බැසල් ප්‍රඥප්තිය සමග කටයුතු කිරීමට බිහි වූ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් ජාත්‍යන්තර සංවිධානයක් විය. එන්ෆෝස් සංවිධානය බැසල් ප්‍රඥප්තියේ කාර්යයන් වඩාත් සාර්ථක ලෙස වර්ධනය කිරීමට කටයුතු කළ සංවිධානයකි. මෙම ප්‍රඥප්තියට අයත් පංච මහා බලවතුන්ගේ රටවලින් එක් නියෝජිතයකු බැගින්ද බැසල් ප්‍රඥප්තියේ ප්‍රාදේශීය හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලින් එක් නියෝජිතයකු බැගින් පස් දෙනකුද සමානුපාතික නියෝජිතයකු බැගින් පත් කෙරුණි. එක්සත් ජාතීන්ගේ පාරිසරක වැඩසටහනද (UNEP) අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පොලිසියද (INTERPOL) රාජ්‍ය නොවන සංවිධානද නීති විරෝධී කසළ වෙළෙඳාම නැවැත්වීම සඳහා “එන්ෆෝස්” ජාලය සමග කටයුතු කිරීමට සුදුසුකම් ලැබීය. 


1999 බැසල් ප්‍රඥප්තිය වගකීම් හා හානිපූරණ වන්දි මුදල් ගෙවීම පිළිබඳ කෙටුම්පතක් සකස් කළේය. (Protocol on Liability and Compensation) 


කසළ වෙළෙඳාම පිළිබඳ පැහැදිලි නිර්වචනයක් හෝ සමානුරූපී විග්‍රහයක් නොතිබීම නිසා ගෝලීය කසළ වෙළෙඳාම පාලනය කිරීමේදී ජාත්‍යන්තර ගිවිසුම්වලින් නොයෙකුත් ගැටලු ඇතිවිය. මෙම කෙටුම්පතින් ගෝලීය කසළ වෙළෙඳාමේදී මානව ප්‍රජාවට හා පරිසරයට සිදුවෙන විනාශයන් පිළිබඳ වගකීම සඳහා යෝග්‍ය වූ වගකීම් පැවරීමේ ක්‍රියාපටිපාටියක් අනුගමනය කළේය. මෙම වන්දි ගෙවීම් කරනුයේ දැනුම්වත් කිරීම, ප්‍රවාහනය හා බැහැර කිරීමේ ක්‍රමවේදනය ප්‍රඥාප්තියේ නීතිවලට අනුකූලව කර ඇත්නම් පමණි. මෙයින් බලාපොරොත්තු වූයේ එක් එක් රටවල් හා සංස්ථාවන් බැසල් ප්‍රඥාප්තිය නීති රීතිවලට අනුගත කිරීමය. එහෙත් මෙම කෙටුම්පතට බොහෝ රටවල් අත්සන් නොතැබීමේ හේතුවෙන් අපේක්‍ෂා කළ අන්දමින් සාර්ථකත්වයක් ලබාගත නොහැකි විය. 


අප්‍රිකානු කැරිබියන් හා පැසිෆික් රාජ්‍යයන් (ACP) අසාධාරණ කසළ වෙළෙඳාමෙන් ආරක්‍ෂාවීම සඳහා “ලෝම් IV ප්‍රඥාප්තිය” (Lome iv Convention) බැසල් ප්‍රඥප්තියට අතිරේකව ඇතිකරගත්හ. යුරෝපීය රටවලින් කෙරෙන කසළ අපනයනය තහනම් කිරීමට මෙම ප්‍රඥප්තියෙන් අපේක්‍ෂා කළේය. එහෙත් මෙම ප්‍රඥප්තිය 2000 දී අවසන් වූ නිසා අපේක්‍ෂා කළ පරිදි සාර්ථකත්වයක් ලබාගත නොහැකි විය. එම නිසා මෙම රාජ්‍යයන් යුරෝපීය සංගමය සමග එකතුව කොටෝනොව් ගිවිසුම (Cotonou Agreement) ඇතිකරගත්හ. අප්‍රිකානු රාජ්‍යයන් තුළට අන්තරාකාරී කසළ නැව්ගත කිරීමෙන් ආරක්‍ෂාවීම මෙමගින් අපේක්‍ෂා කෙරුණි. 


ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්වල ඇති සමහර ගැටලු නිසාත් කොන්දේසිවල ඇති අපැහැදිලි අදහස් නිසාත් නීති විරෝධී නැව්ගත කිරීම් සිදුවෙන බවද ඇය සඳහන් කර ඇත. අන්තරාකාරී කසළ බොහෝ විට ව්‍යාජ බලපත්‍ර, නියමිත ලෙස සකස් නොවූ ලේබල හා අල්ලස් දීම මගින් හෝ “ප්‍රතිචක්‍රීයකරණය සඳහා” යනුවෙන් සඳහන් කර අපනයනය කරන බවද ඇය සඳහන් කර ඇත. යුරෝපීය සමාගම් නිරතුරුවම පාහේ නීති විරෝධී ජාවාරම් මගින් කසළ අපනයනය කරන බවද ඇය තවදුරටත් සඳහන් කර ඇත. 
කසළ වෙළෙඳාම නිර්වචනය කිරීම පිළිබඳ පැහැදිලි සමානුරූපී විග්‍රහයක් නොතිබීම හේතුවෙන් කසළ වෙළෙඳාම පාලනය සඳහා ජාත්‍යන්තර ගිවිසුම්වලදී නොයෙකුත් ගැටලු ඇතිවී තිබේ. විශේෂයෙන් මෙම ප්‍රඥප්තිවල කසළ හා නිෂ්පාදන යන වචනවල අපැහැදිලි නිර්ණායකයන් තිබීම නිසා ගෝලීය කසළ වෙළෙඳාම නොනැවතීම සිදුවේ. මෙම කසළ බොහෝ විට “වාණිජ භාණ්ඩ” හෝ “අමුද්‍රව්‍ය” යන ලේබලය යටතේ බටහිර රටවල් විසින් ආසියානු, අප්‍රිකානු රටවලට අපනයනය කරන බව වාර්තා වේ. 

 

 

ශාස්ත්‍රවේදී පී. ඩබ්ලිව්.ගුණතිලක
(තැපැල් දෙපාර්තමේන්තුවේ 
විශ්‍රාමික අධීක්‍ෂණ නිලධාරි)
(ඡායාරූපය - අන්තර්ජාලයෙනි)