ලෝකයටම පාපැදි බෙදන තායිවාන සමාගම


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • ජයන්ට් (GIANT) සමාගම බිහිකළ කිංග් ලියු (King liu) පසුව පාපැදි ධාවකයෙක් විය
  • වයස අවුරුදු 75 දී ඔහු චීනයේ බීජිං නුවර සිට ෂැංහායි දක්වා පාපැදියෙන් ගිඅයා 
  • වයස අවුරුදු 80 දී නැවත වතාවක් පාපැදියෙන් තායිවානය වටේම ගියා  


‘‘බයිසිකලේ, බයිසිකලේ...  
දුප්පත් අපගේ බයිසිකලේ
අව්වෙහි වැස්සෙහි වෙනසක් නොතකා
මහ මග පැද යන බයිසිකලේ   
දුප්පත් පොහොසත් භේදය නොතකා  
සැමට පිහිට වෙයි සියලු කලේ.’’   


නැසීගිය වින්සන්ට් ද පෝල් පීරිස් ගායනා ශිල්පියා ‘‘බයිසිකලේ’’ ගැන එම ගීතය ගැයුවේ මීට අඩසිය වසකට පමණ පෙරදීය. එම ගීතයට අදාළව ‘‘දුප්පත් පොහොසත් භේදය නොතකා සැමට පිහිට වෙයි සියලු කලේ’’ යනුවෙන් වූ ප්‍රකාශය සැබැවින්ම අදට මෙන්ම හෙටටද යථාර්ථයක් වන්නකි.   


ඇත්තෙන්ම බයිසිකලය යනු සියලු කල්හි සියල්ලන්ට ප්‍රයෝජනවත් වූවකි. අප සූදානම් වන්නේ ඒ ගීතය ගැන කීමට නම් නොවේ. ලොව පැරණිතම රථය ලෙස හඳුන්වාදිය හැකි පාපැදිය හෙවත් ‘‘බයිසිකලය’’ ගැන මෙන්ම වත්මනෙහි ලොව පාපැදි නිෂ්පාදනයෙහි අංක එකේ සමාගම ගැන විස්තර කිරීමටය. 

 
ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙනුවෙන් අද අපි ඒ විස්තර කියවමු.   


පාපැදි ඉතිහාසයෙන්   


වත්මනෙහි ලොව පාපැදි නිෂ්පාදනයෙහි ප්‍රමුඛයා වන්නේ තායිවානයේ ‘‘ජයන්ට්’’ (Giant) සමාගමය. එහි විස්තර ගැන දැන ගැනීමට පෙර පා පැදියෙහි ඉතිහාසය දෙස මොහොතක් අපි විපරම් කර බලමු. පාපැදියෙහි ඉතිහාසය සොයා යද්දී එහි උපත සිදුවී ඇත්තේ 19 වැනි ශතවර්ෂයේදී යැයි සඳහන් වේ. 

 
කෙසේ වෙතත් ඊටත් ශත වර්ෂ දෙක තුනකට පමණ පෙරදී බයිසිකලයේ උපත සිදුවූ බව සමහරුන්ගේ මතය වේ.  
කෙසේ වෙතත් මිනිසා හට පහසුවෙන් පැදගෙන යා හැකි බයිසිකලයක් නිර්මාණාත්මකව මුලින්ම නිපදවූ මිනිසා ලෙස හැඳින්වෙන්නේ ජර්මනියේ විසූ කාල් ෆ්‍රයිහර් වොන් ඩ්‍රේස් ය. 1785 දී උපත ලබා සිටි ඔහු වන සංරක්ෂණ නිලධාරියකු විය. පසු කාලීනව නවෝත්පාදක අංශයේ ව්‍යවසායකයකු ලෙස කරළියට ආ ඔහු නූතන පාපැදිය ලොවට හඳුන්වා දීමට පුරෝගාමි වූ චරිතය ලෙස හැඳින්වේ.   


පසුකාලීනව පාපැදියට සහ යතුරුපැදියට ද්වීරෝද (රෝද දෙකේ) සංකල්පය ඇති වූයේ මෙම කාල් ෆ්‍රයිහර් නිසා යැයි කිව හැකිය.   


පාපැදි නිර්මාණය සඳහා මුලින්ම මුදල් ආයෝජනය කළ චරිතය වන්නේ මෙම කාල් වන අතර 1817 දී පමණ නිෂ්පාදනය වූ රෝද දෙකේ පාපැදිය. (එනම් ප්‍රවාහන ක්ෂේත්‍රයේ රෝද දෙකේ විප්ලවය) පැදගිය මුල්ම පුද්ගලයාද විය. කිලෝමීටර හතක පමණ දුරක් ඔහු පාපැදිය පැදගෙන ගිය අතර ඒ සඳහා පැයක කාලයක් ගතවිණි. රාත්තල් 48 ක් පමණ බර වූ එම පාපැදිය මුළුමනින්ම පාහේ නිමවා තිබුණේ ලීයෙනි. කෙසේ වෙතත් මෙම පාපැදිය නිසා අනතුරු බහුල වීම නිසා බලධාරින් එයට තහනමක් පැනවිය.   

 

  • ‘‘ලියු යනු සෑම විටම කාලයට පෙර සිතන අයෙක්’’ තායිවානයට උසස් තත්ත්වයේ පාපැදි නිෂ්පාදන ගොන්නක් ලෝකයට දායාද කරවූ ඔහුගේ පුරෝගාමී උත්සාහය අපි සැවොම අගය කළයුතු වෙමු’’ වරෙක තායිවානයේ ස්ථාපිත තවත් ලොව විශාලතම බයිසිකල් නිෂ්පාදන ආයතනයක් වන KMC හි සභාපතිවරයා ලියු ගැන පවසා තිබුණේ එලෙසිනි. 


පසුව බ්‍රිතාන්‍යයේ ඩෙනිස් ජොන්සන් තරමක් දියුණු වූ සංකල්පයක් හඳුන්වා දුන්නේය. පාපැදියට හෙවත් රෝද දෙකට නව අරුතක් දෙමින් නවෝත්පාදක අංශයේ ව්‍යවසායකයින් සහ නිර්මාණකරුවන් එලෙසින් පාපැදි කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කළ බව සඳහන් කළ හැකි වේ.   


ඔබට මතකද රැලේ (Raleigh), හම්බර් (Humber) වැනි නාමයන්? මේවා එකල ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ පාපැදි නාමයන් විය. හැබැයි ඒ 19 වැනි සියවසේදි නම් නොවේ. 20 වැනි සියවස ආරම්භයේ සිටය.   


මෙම හම්බර් පාපැදි නිපදවූ සමාගම ස්ථාපිත වූයේ 1868 දී පමණ එංගලන්තයේදීය. එමෙන්ම රැලේ (Raleigh) පාපැදි සමාගමද ස්ථාපිත වූයේ 1885 දී එංගලන්තයේදීම වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාව එවකට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයට අසුව තිබූ බැවින් මෙරට අරක්ගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයින් ඔවුනගේ මෙම පාපැදි නිෂ්පාදන එදා මෙරටට ගෙන්වීමට කටයුතු යොදා තිබිණි. රෝද හතරේ මෝටර් රථය ලෝකයේ විප්ලවීය ගමනාගමනයකට මුල පිරීමට පටන් ගත්තේ යාන්ත්‍රික ක්‍රියාකාරිත්වයකින් වුවද එදා ඊට පෙර ලෝකය ජයගත් පාපැදිය ‘‘වින්සන්ට් ද පෝල්’’ ගායකයා කියූ පරිදි දුප්පතුන්ගේ වාහනයක් නම් නොවීය. එදා පොහොසත් පවුලකට යුරෝපයේ කෙසේ වෙතත් ලංකාවේදී සතුවූ ඉස්තරම්ම වාහනය විය. එදා ශ්‍රී ලංකාවේදී වඩා ප්‍රකට වූ හම්බර් Humber නාමය පසු කලෙක කෞතුක භාණ්ඩයක් මෙන් වුවද රැලේ (Raleigh) නාමය අදටද නොනැවතී ගමනක් යමින් සිටී. හැබැයි ඒ නිකම්ම නිකම් පාපැදියක් ලෙස නොවේ. ඉලෙක්ට්‍රික් බයික් පවා අද රැලේ සමාගම නිපදවන අතර රැලේ නාමය බයිසිකල් නිෂ්පාදන ක්ෂේත්‍රයේ අනර්ග නාමයක් වේ. ඒ හැරත් එකී නාමයේ පාපැදි මිලද ඉතා ඉහළය.   


යුරෝපයෙන් පාපැදිය එදා එලෙසින් ලෝකය ආක්‍රමණය කළද වත්මනෙහි ලෝකය පාපැදි වෙ​ෙළඳාමෙන් අණසකට නතුකරගෙන සිටින්නේ තායිවානයේ ජයන්ට් (GIANT) සමාගමය. ජයන්ට් යන්නෙහි තේරුම වන්නේ යෝධයා, දැවැන්තයා යන්නය. එනයින් මේ නාමය අරුත්බර කරවමින් ලෝකය අල්ලාගෙන සිටින තායිවානයේ මේ යෝධයා කවුද?   


ලොව පාපැදි නිපදවන විශාලතම සමාගම GIANT (ජයන්ට්)   


මහා චීනයේ පාපැදි නිෂ්පාදන කර්මාන්තය මෙන්ම යාන්ත්‍රික නිෂ්පාදනයට ශූරයන් වන ජපානයේ බයිසිකල් සමාගම්ද අභිබවා ගිය තායිවානයේ මේ යෝධයා හෙවත් ජයන්ට් බයිසිකල් සමාගම ස්ථාපිත වූයේ 1972 දී මධ්‍යම තායිවානයේ, දජියා තායිචන් නගරයේදීය. ජයන්ට් බයිසිකල් සමාගමේ හැඩ වැඩ ගැන කීමට පෙර මෙම ආයතනය ලොවට හඳුන්වා දුන් චරිතය කවුද කියා බලමු.   


කිංග් ලියූ යනු ජයන්ට් නාමයේ පාපැදි ලොවට හඳුන්වාදුන් පාපැදි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආසියානු කලාපයේ රජාය. එසේ නම් කවුද මේ කිංග් ලියු හෙවත් බයිසිකල් රජා? කිංග් ලියු උපත ලැබුවේ 1934 ජූලි 2 වැනිදා තායිචු පරිපාලන දිස්ත්‍රික්කයේදීය.   


තායිවානය එවකට පැවතියේ ජපානයේ අණසකට යටත්ව බැවින් එවකට හැඳින්වූයේ ‘‘ජැපනීස් තායිවාන්’’ යන නාමයෙනි. බයිසිකල් නිෂ්පාදන අංශයේ ව්‍යවසායකයකු වීමට පෙර කිංග් ලියු කටයුතු කර ඇත්තේ ගොවියකු ලෙසය. ඔහු අයත් වූයේ ගොවි පවුලකට වූ අතර ඔවුනගේ ගොවිතැන මහා සුළි කුණාටුවකට අසුවී සම්පූර්ණයෙන්ම විනාශයට පත්විණි.   
එහෙත් කිංග් තමාගේ නාමය සැබෑ ලෙස අරුත්බර කරවමින් රජකු ලෙසම නැගීසිටීමට ප්‍රයත්න දැරීය. එහි අග්‍රඵලය වූයේ 1972 දී ජයන්ට් බයිසිකල් නිෂ්පාදන සමාගම ස්ථාපිත කිරීමට හැකි වීමය.   


1972 දී බයිසිකල් නිෂ්පාදනයට පිවිසී සිටියද ඔවුනගේ නිෂ්පාදන එතරම් අනගි නිමාවකින් කරළියට ගෙනඒමට නොහැකි විණි. විශේෂයෙන්ම නිමාව සුමට නොවී රළු බවක් ගත්තේය. ලියු මීට ගත යුතු ක්‍රියාමාර්ග ගැන දිගින් දිගටම කල්පනා කළ අතර අවසන ජයගත්තේ ජාත්‍යන්තරව පිළිගත් තත්ත්ව ප්‍රමිතීන්ට අදාළව නිෂ්පාදන කිරීමට තම සමාගමට පෙළඹවීම් කළේය. සරලව කිවහොත් තායිවානයේ පාපැදි නිෂ්පාදන කර්මාන්තය නැවත පිළිවෙළකට ව්‍යුහගත කිරීමට ඔහුට හැකිවිණි.  


ඉනික්බිතිව ජයන්ට් නාමය දිනෙන් දින ලෝකය ආක්‍රමණය කිරීමට පටන් ගත්තේ යෝධයකු ලෙසිනි. තම සමාගම බිහිකළ මුල් වසර කීපයේදීම ඔහුට ඔහුගේ ව්‍යාපාරික සහකරුවා සොයා ගත හැකිවීම ලියූ හට ගෙන දුන්නේ මහත් ශක්තියකි. සංකල්පීය දැණුම කිංග් ලියු සතු වුවද ඉංග්‍රීසි බස හැසිරවීමට ඔහු අදක්ෂයකු විය. ඔහුගේ ව්‍යාපාරික සහකරුවා වූ ‘ලෝ’ සරසවි අධ්‍යාපනය ලබා සිටි අයෙකු වූ අතර ඔහුගේ ප්‍රථම රැකියාව වූයේ තායිවානයේ පාපැදි අංශය පිළිබඳව සමීක්ෂණය කිරීමේ කටයුත්තකි.   
එහිදී චතුර ලෙස ඉංග්‍රීසි බස හැසිරවීමේ හැකියාව ලෝ හට පිහිටා තිබුණි. මෙම ‘‘ලෝ’’ ලියුට වඩා වසර 15 කින් පමණ ලාබාල විය. එහෙත් ජයන්ට් නිෂ්පාදන ලෝකය හමුවේ ගෙන යාමට ‘‘ලෝ’’ ගෙනි.  


හැරවුම් ලක්ෂ්‍යය   


නිෂ්පාදන කටයුතු කරගෙන යන අතර වාරයේදී ඇමරිකාවේ ෂුවින් (Schwinn) ආයතනයේ පාපැදි නිපදවීම සඳහා ඇණවුම් හිමිවීමත් සමග ජයන්ට් සමාගමේ නිෂ්පාදන 75% කින් වර්ධනය වූවේය. එහෙත් කොන්ත්‍රාත් පදනම මත පමණක් සාදාකාලිකව යැපීම කළ නොහැකි බව ලියු දැන සිටියේය. මේ අතරවාරයේදී ෂුවින් තමන්ගේ ඇණවුම් චීන සමාගමකට ලබාදීමත් සමග ජයන්ට්ලා මුහුණ පෑවේ දැඩි අර්බුදයකටය. ඒ හමුවේ නොසැලී ඔවුනට නැගී සිටීමට හැකි වූයේ තමන්ගේම සන්නාමය යටතේ පාපැදි නිෂ්පාදනයට පෙළඹීමත් සමගය. ඒ දක්වා ඔවුන් නිෂ්පාදන සිදුකර තිබුණේ ඇණවුම් සඳහා වෙනත් ආයතන වෙතය. එයින් බැහැරවී GIANT නාමය යටතේ ලෝකය ජය ගැනීමට ලියු ඇතුළු කණ්ඩායමට හැකිවිය.   


1980 දශකය වන විට නව ගමනක්   


1980 දශකය වන විට තමුන්ගේම ගමනක් යමින් සිටි ජයන්ට් සාම්ප්‍රදායික වානේවලට වඩා බයිසිකල් නිපදවීමේදී සැහැල්ලු කාබන් ෆයිබර් රාමු හඳුන්වාදීම සිදු කළේය. මෙය දැවැන්ත පිම්මක ආරම්භය වූ බව කිව හැකිය. 1986 වන විට විදේශීයව නෙදර්ලන්තයේදී තම ප්‍රථම උපනිෂ්පාදන කර්මාන්තශාලාව ස්ථාපිත කළ ජයන්ට් එතැන් සිට රට - රට තොටින් - තොට ශාඛා මූලස්ථාන ස්ථාපිත කරමින් නැගීසිටියේ සැබෑ ලෙසම යෝධයකු මෙනි. ඇමරිකාව, ජර්මනිය, බ්‍රිතාන්‍ය පමණක් නොව චීනයේද ඔවුනගේ කර්මාන්තශාලා පිහිටුවීම මගින් පෙන්නුම් කළේ ඔවුනගේ පාපැදි නිෂ්පාදන නාමයේ විශිෂ්ටත්වයයි.   


‘‘ලියු යනු සෑම විටම කාලයට පෙර සිතන අයෙක්’’ තායිවානයට උසස් තත්ත්වයේ පාපැදි නිෂ්පාදන ගොන්නක් ලෝකයට දායාද කරවූ ඔහුගේ පුරෝගාමී උත්සාහය අපි සැවොම අගය කළයුතු වෙමු’’   


වරෙක තායිවානයේ ස්ථාපිත තවත් ලොව විශාලතම බයිසිකල් නිෂ්පාදන ආයතනයක් වන KMC හි සභාපතිවරයා ලියු ගැන පවසා තිබුණේ එලෙසිනි.   


සෑම කෙනෙකුටම මසුන් ඇල්ලීමට අවශ්‍ය නමුත් කිසිවෙකු මසුන් පෝෂණය කිරීමට අකැමති නම් මාළු ඉක්මණින් මිය යනු ඇත.   


ලියු ගේ ව්‍යාපාරික දර්ශනය එලෙසින් අරුත් සැපයුවේ තම ප්‍රතිවාදීන් මෙන්ම පාපැදි නිෂ්පාදන අංශයේ සමස්ත සමූහය තමාගේ ආකර්ෂණයට නතුකර ගනිමිනි. එය අවංකත්වය මත පදනම් වූවක්ම විය.   

 

 

  • ලොව පාපැදි නිෂ්පාදන ක්ෂේත්‍රයේ කිරුළු පළන් අග රජු වන ලියු විටෙක විශ්මිත මිනිසෙකි. වයස අවුරුදු 73 දී ස්වකීය ජීවිතයේ ප්‍රථම වතාවට තායිවානය වටා කිලෝ මීටර් 966 ක් පාපැදියෙන් ගිය ඔහු වයස 75 දී කිලෝමීටර් 1668 ක් බීජං සිට ෂැංහායි දක්වා පාපැදියෙන් ගියේය. හැබැයි තනිවම නොවේ. කණ්ඩායමක් සමගය.  


ලෝකය අල්ලා ගැනීමෙන් අනතුරුව කිංග් ලියු සමාගමේ මුල් පුටුවෙන් ඉවත්වීම


ලොව විශාලතම පාපැදි සන්නාමය බවට GIANT නාමය පත්කරවීමෙන් පසුව රටවල් 80 ක පමණ වෙ​ෙළඳ බෙදාහැරීම් ආයතන ස්ථාපිත කළ ජයන්ට් යටතේ ලොව පුරා දොළොස් දහසකට අධික විකුණුම්කරුවන්ගෙන් සමන්විත ජාලයක් පවතී.  


‘‘දැන් මට සමාගමේ වගකීම්වලින් ඉවත්වීමට කාලය ඇවිත්. තරුණ පරම්පරාව ඔවුනගේම තීරණ ගැනීමට සහ සමාගම පවත්වාගෙන යාමට ඉඩ දිය යුතු කාලය එළැඹ තිබේ. මම වසර 44 ක් සමාගම පවත්වාගෙන ගියෙමි. සියලුම සේවකයින් මාගේ උපදෙස් පිළිපදින අතර ඒ අනුව කටයුතු කරයි. හැබැයි එය අවසානයේදී ඔවුනගේ නිර්මාණශීලීත්වයට බාධාවක් විය හැකිය.   


ඒ වගේම නව අත්හදාබැලීම් කිරීමට ඔවුන් මැලිවේවි. එනිසා ඔවුනට නිදහසේ ගමනක් යාමට ඉඩදීම වැදගත්’’   


67 වැනි වි​යේදී එසේ කියූ ලියු හෙවත් බයිසිකල් රජු සමාගමේ මුල් පුටුවෙන් ඉවත්වී ඔහුගේ ලේළිය වූ බොනිටා හට මුල් පුටුව බාර කළේය. ඔහුගේ එකම පුතු වන යංග් ලියු හට සමාගමේ ප්‍රධාන විධායක මූල්‍ය පාලකවරයා ලෙස වගකීම් පැවරීය.  


ගතින් විශාල නොවුවද සිතින් හයිය වූ කිංග් ලියු විශ්‍රාමික දිවියෙන් පසුව පාපැදියෙන් ලෝකය වටේ යාම   

 


ලොව පාපැදි නිෂ්පාදන ක්ෂේත්‍රයේ කිරුළු පළන් අග රජු වන ලියු විටෙක විශ්මිත මිනිසෙකි. වයස අවුරුදු 73 දී ස්වකීය ජීවිතයේ ප්‍රථම වතාවට තායිවානය වටා කිලෝ මීටර් 966 ක් පාපැදියෙන් ගිය ඔහු වයස 75 දී කිලෝමීටර් 1668 ක් බීජං සිට ෂැංහායි දක්වා පාපැදියෙන් ගියේය. හැබැයි තනිවම නොවේ. කණ්ඩායමක් සමගය. 

 
ඒ කණ්ඩායමේ නියමුවා වූයේ ඔහුය. තවත් අවස්ථාවක බටහිර ජපානයේ සෙතෝ (Seto) අභ්‍යන්තර මුහුදු කලාපය වටා කීලෝමීටර් 264 ක් පාපැදියෙන් ගියේය. ස්වකීය 80 වැනි උපන්දිනය සැමරුවේ ලියූ නැවතත් දින 12 ක් තායිවානය වටා පාපැදියෙන් ගමන් කරමිනි. එය සැබැවින්ම විශ්මිත දෙයක් නොවන්නේද? එසේ කළ හැකිවන්නේ ගතට වඩා හිත හයිය මිනිසකු හටම පමණකි. ඔහුගේ විශිෂ්ටත්වය වන්නේ නව පරපුර වෙත නායකයින් වීමට මග පෙන්වීමයි.   


අප රටේ බොහෝ දෙනාට ලියුගෙන් ගත හැකි ආදර්ශය වන්නේ එය නොවේද? විශේෂයෙන්ම අප රටේ දේශපාලකයින්ට මෙම පාපැදි නිෂ්පාදකයාගේ ජීවිත දර්ශනය වෙතින් ගත හැකි දේ අපමණය. එහෙත් මයික්‍රෆෝන හමුවේ හඬනගන, හඬ මිස වැඩ නැති දේශපාලකයින් හා මේ ඵලදායි මිනිසා අතර ඇත්තේ අසීමත දුරස්ථ බවකි.   


‘‘මගේ අවසාන බලාපොරොත්තුව ජයන්ට් යනු ශතවර්ෂ ගණනාවක් පවතින සමාගමක් බවට මෙය පත්වනු දැකීමයි.   


පා පැදි නිෂ්පාදන ක්ෂේත්‍රයේ අග රජු ලෙස හැඳින්වෙන කිංග් ලියු පවසා ඇත්තේ එලෙසිනි.  


ඇමරිකාව මෙන්ම චීනයට පාපැදි නිෂ්පාදනය කරුනු ලබන ප්‍රමුඛයා වන්නේ මෙම ජයන්ට් සමාගමය. පාපැදි අංශයේ සියලුම අංශ සඳහා වසරකට මිලියන ගණනාවක් නිෂ්පාදනය කිරීම් කරනු ලබයි.

 

 

පරිවර්තන සටහන :
සඳුන් ගමගේ