ලෝකයට හොරෙන් තානාපති කාර්යාල ඇතුළේ සිදු​ෙවන ඝාතන


සෞදි මාධ්‍යවේදියකු වූ ජමාල් කශෝගි තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදී අතුරුදන්වීම මේ වනවිට ලොව පුරා ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව තිබේ. 60 හැවිරිදි ජමාල් සෞදියේ ‘අල් ඇරබ්’ ප්‍රවෘත්ති නාළිකාවේ ප්‍රධානියා ලෙසද, ‘අල් වටන්’ පුවත්පතේ කතුවරයා ලෙසද සේවය කළ අයෙකි. ඔසාමා බින් ලාඩන් සමඟ කළ ප්‍රවෘත්ති සාකච්ඡාව හේතුවෙන් ඔහු ලෝක අවධානයට පාත්‍ර විය. 


සෞදි අරාබියේ සල්මාන් රජු සහ ඔටුන්න හිමි කුමාරයා වන මොහොමඩ් බින් සල්මාන්ගේ ක්‍රියා කලාපය ඔහුගේ නිර්දය විවේචනයට ලක්විය. යේමන රාජ්‍යය වෙත සෞදි අතපෙවීමද ඔහු විවේචනය කළේය. එහි ප්‍රතිඵලය වූයේ සෞදි රජය ඔහුගේ ට්විටර් ගිණුම තහනම් කිරීමය. ඉන්පසු රජය විවේචනය කෙරෙන පුවත්පත් ලිපි ලිවීමද ඔහුට තහනම් විය. තමනට පැනවුණු වාරණය හමුවේ තවදුරටත් සෞදි අරාබියේ සිටීම අනතුරුදායක බැව් වටහා ගත් ජමාල් 2017 ජුනි මාසයේ ඇමෙරිකාවට පලා ගියේය. 


එම වසරේ සැප්තැම්බරයේ සිට ඇමෙරිකාවේ ‘වොෂිංටන් පෝස්ට්’ පුවත්පතේ මාධ්‍යවේදියකු වශයෙන් සේවය ආරම්භ කළ ජමාල් නොනවත්වාම සෞදි රජයේ දුර්වලතා විවේචනය කළේය. කටාරයට තහංචි පැනවීමද, ලෙබනනය සමඟ පවතින මතභේදයද, කැනඩාව සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික මතභේදයද, රට තුළ විසම්මුතියට ඉඩක් නොමැති වීම සහ මාධ්‍යයට එල්ල වන තර්ජනද ඔහුගේ විවේචනයට ලක් විය. කාන්තාවන්ට රිය ධාවනයට අවසර දීම වැනි ඔටුන්න හිමි කුමරයා වන මොහොමඩ් බින් සල්මාන්ගේ ඇතැම් ප්‍රතිසංස්කරණ ඔහු අගය කළේය. එහෙත් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක හා අරාබි ලෝකයේ බලවත්ම කාන්තාවන් 100 දෙනා අතර තුන් වැනි ස්ථානය හිමි කාන්තාව වන ලොව්ජේන් අල් හත්ලොවුල් අත්අඩංගුවට ගැනීම ඔහුගේ දැඩි විවේචනයට ලක්විය. 


2018 දී ඔහු ‘අරාබි ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය’ නමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කළේය. එය සෞදියේ ඔටුන්න හිමි කුමාරයා වන මොහොමඩ් බින් සල්මාන්ට එරෙහි දේශපාලන තර්ජනයක් ලෙස පෙනී ගියේය. සෞදි රජය වහාබි සම්ප්‍රදායට තහංචි පැනවීම සම්බන්ධයෙන් 2018 අප්‍රේල් මාසයේ තීරු ලිපියක් මගින් කියා සිටියේ සෞදි රජය යළි 1979ට පෙර පැවැති යුගය වෙත යා යුතු බවය. කාන්තාවට පුරුෂයන් හා සමාන හිමිකම් ලැබිය යුතු බවද එමෙන්ම සියලු සෞදි වැසියන්හට සිරගත කරනු ඇතැයි යන බියෙන් තොරව නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දිය යුතු යැයිද ඔහු කියා සිටියේය. 


ජමාල් අවසන් වරට දුටුවේ 2018 ඔක්තෝබර් 2 දින තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදීය. කලින් විවාහයෙන් දික්කසාද වී සිටි ඔහුට තම තුර්කි ජාතික පෙම්වතිය වන හතිස් සෙන්ගිස් විවාහ කර ගැනීම සඳහා දික්කසාද සහතිකය අවශ්‍ය වී තිබිණි. ඔහු සෞදි කොන්සල් කාර්යාලය වෙත ගියේ එම සහතිකය ලබා ගැනීම සඳහාය. තම පෙම්වතිය කොන්සල් කාර්යාලය ඉදිරිපිට නවතා දහවල් 1.30ට පමණ කොන්සල් කාර්යාලයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු විය. කාර්යාල වේලාව සවස 3.30 දක්වා වුවද සවස 4.00 වන තෙක් ජමාල් නොපැමිණි හෙයින් හතිස් කොන්සල් කාර්යාලයෙන් ඔහු පිළිබඳ විමසා සිටියාය. එවිට කොන්සල් කාර්යාලයේ පිළිතුර වූයේ ජමාල් පසුපස දොරටුවෙන් නික්ම ගිය බවයි. තම පෙම්වතා අතුරුදන් වී ඇති බවට ඇය පොලිසියට පැමිණිලි කළේ ඉන් අනතුරුවය. 


මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ තුර්කි පොලිසිය පසුගිය 5 දින සඳහන් කළේ ජමාල් කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවටය. එය සෞදි බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කෙරිණි. 
සෞදි අරාබියේ ඉහළම මට්ටමේ රාජකීය අධිකරණයක් මගින් ජමාල් ඝාතනය කළ යුතු බවට නියෝග කර ඇති බවද, ඒ අනුව 15 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් තුර්කියට පැමිණ ඔහු ඝාතනය කොට සිරුර කැබලිවලට කපා දමා ඇති බවට වාර්තා වී ඇතැයි ඔක්තෝබර් 10 වැනි තුර්කි බලධාරීහු ප්‍රකාශ කළහ. සිරුරු කොටස් ඉතා රහසිගතව කොන්සල් කාර්යාලයෙන් ඉවත් කර ඇති අතර එම මෙහෙයුම සාර්ථකව ඉටු කළ බවට සාක්ෂි පිණිස මේ සියල්ල විඩියෝ ගත කර එම විඩියෝ පටය සූක්ෂ්ම ලෙස තුර්කියෙන් පිටකර ඇති බවද ඇතැම් පොලිස් ප්‍රකාශ මගින් පැවසිණි. 


ආරක්ෂක කැමරාවල සටහන් වී තිබූ එදින කොන්සල් කාර්යාලය තුළ සිදුවීම් සියල්ල මකා දමා ඇතැයි තුර්කි පොලිසිය සඳහන් කළේය. එහෙත් කොන්සල් කාර්යාලය ඉදිරිපිට තිබූ ආරක්ෂක කැමරාවේ ඔහු එහි පිවිසෙන අයුරු සටහන් ව තිබුණද, ඉන් පිට​ෙවන අයුරු සටහන් වී නොමැත. කොන්සල් කාර්යාලය ඉදිරිපිට ඇති පෙර පාසල් ගොඩනැගිල්ලේ සවි කර ඇති ආරක්ෂක කැමරාවේද ජමාල් කොන්සල් කාර්යාලය තුළට පිවිසෙනු සටහන් වී තිබුණද ඔහු ඉන් පිටතට පැමිණෙනු සටහන් වී නොමැත. ජමාල් එහි පැමිණි දිනයේ සෞදි කොන්සල් කාර්යාලයේ සේවකයන් හට නිවාඩු ලබා දී තිබූ බවද තුර්කි පොලිසිය සඳහන් කරයි. 


ජමාල් කශෝගි තුර්කි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය වී ඇති බවට තමා විශ්වාස කරන්නේ යැයි තුර්කි ජනාධිපතිවරයාගේ උපදේශකයකු වන යසීන් අක්තායි ප්‍රකාශ කර තිබේ. එහෙත් තමා සෞදි රජයට චෝදනා නොකරන බවද ඔහු සඳහන් කර ඇත. 


ජමාල් කශෝගි ඝාතනය කිරීමේ මෙහෙයුම මොහොමඩ් බින් සල්මාන් විසින් ‘අල් මුඛාබරාට් අල් අමාහ්’ නමැති සංවිධානයේ නියෝජ්‍ය නායකයා වන අහ්මඩ් අසිරි වෙත පවරා තිබූ බවට වාර්තා වන්නේ යැයි ‘අල් වක්ත්‘ පුවත්පත සඳහන් කර තිබිණි. ඔහු සමඟ 15 දෙනකුගෙන් යුත් ඝාතක කල්ලියක් ඉස්තාන්බුල්හි සෞදි කොන්සල් කාර්යාලය වෙත පැමිණ ඇතැයි ද පැවසේ. මෙම සිදුවීමෙන් පසු කළු පැහැති වාහනයක් කොන්සල් කාර්යාලයේ සිට කොන්සල්වරයාගේ නිවෙස කරා ගමන් කර තිබේ. 


ජමාල් සෞදි කොන්සල් කාර්යාලයට පැමිණ සුළු මොහොතකින් යළි ඉන් පිටව ගිය බැව් සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරා වන මොහොමඩ් බින් සල්මාන් කියා සිටියේය. ජමාල්ගේ ඝාතනය සම්බන්ධයෙන් පැතිර යන කටකතා සියල්ල අසත්‍ය යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞදි තානාපති කාලිඩ් බින් සල්මාන් කුමාරු ප්‍රකාශ කර තිබේ. 


ජමාල්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු විය. ඇමෙරිකානු වැසියකු වන ජමාල් සෞදි බලධාරීන් විසින් ඝාතනය කර ඇත්නම් සෞදි අරාබියට දැඩි දඬුවම් විඳින්නට සිදු​ෙවන්නේ යැයි ඔහු කියා සිටියේය. ජමාල්ගේ අතුරුදන් වීම හේතුවෙන් බොහෝ යුරෝපා රටවලින්ද සෞදි අරාබියට චෝදනා එල්ල විය. 


ඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපා රටවලින් සෞදියට එල්ල වන චෝදනා සෞදි රජය ප්‍රතික්ෂේප කර තිබේ. ඇමෙරිකාව තමනට සම්බාධක පනවන්නේ නම් එයට එරෙහි ක්‍රියා මාර්ග ගැනීමට තමන් සූදානම් යැයි ඔවුන් ප්‍රකාශ කර තිබේ. ලොව තෙල් නිෂ්පාදකයන් අතර ප්‍රමුඛ ස්ථානයක සිටින සෞදි රජයට සම්බාධක පනවන්නේ නම් ගෝලීය ආර්ථිකයට විශාල බලපැමක් සිදු කිරීමට තමන්ට හැකි යැයි ඔවුන් ප්‍රකාශ කර තිබේ. 
ජමාල් කශෝගි සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා සෞදි සහ තුර්කි නිලධාරීන්ගෙන් සමන්විත හවුල් විමර්ශන කණ්ඩායමක් යොදවන බවට තුර්කි ජනාධිපති එර්ඩොගන් හා සෞදි අරාබියේ සල්මාන් රජු ඔක්තෝබර් 14 දින ප්‍රකාශ කළේය. 


විමර්ශන පවත්වන තුර්කි කණ්ඩායමෙන් ලබාගත් තොරතුරු මත ‘මිඩ්ල් ඊස්ට් අයි’ නමැති පුවත් සේවය ජමාල්ගේ අවසාන මොහොත සිදුවූ ආකාරය වාර්තා කර තිබේ. ඒ අනුව කශෝගි කොන්සල් කාර්යාලයට පැමිණෙන තෙක් බලා සිටි ඝාතක කණ්ඩායම කොන්සල්වරයාගේ කාමරයට යාබද කාමරයකට ඔහු ඇදගෙන ගොස් එහි මේසයක් මත හොවා ජීවත්ව සිටියදීම සිරුර කැබලිවලට කපා ඇතැයි පැවසේ. සිරුර කොටස්වලට කපා ඇත්තේ සෞදි අධිකරණ වෛද්‍යවරයකු වූ සාලා මුහමඩ් අල් ටුබයිගි විසිනි. සිරුර කැබලි කිරීම සඳහා ගතවී ඇත්තේ විනාඩි 7ක පමණ කාලයකි. වෛද්‍යවරයා ජමාල් කැබලි කරන තෙක් අනෙක් ඝාතකයෝ සංගීතයට සවන් දෙමින් සිටි බැව් පැවසේ. සෞදි රජයේ අවසරය මත කොන්සල් කාර්යාලයට තුර්කි බලධාරීන් පැමිණෙන විට මිනීමැරුම පිළිබඳ සියලු සාක්ෂි ඉවත් කර තිබිණැයි ඔවුහු මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.  


ලංකාවේ බුරුම තානාපති කාර්යාල සිද්ධිය 


තානාපති කාර්යාලයක් තුළ සිදු වූ මිනිස් ඝාතනයක් පිළිබඳව 1967 වැනි කාලයේ ශ්‍රී ලංකාවෙන් ද වාර්තා විය. ඒ 1967 ඔක්තෝබර් 15 වැනි දින කොල්ලුපිටියේ ටරට් මාවතේ පිහිටි ශ්‍රී ලංකාවේ බුරුම තානාපති කාර්යාලයේදීය. එවක ශ්‍රී ලංකාවේ බුරුම තානාපතිවරයා වූ සාවෝ බුන්වත් තම බිරිය වූ ෂර්ලි බුන්වත් ඝාතනය කිරීමේ සිදුවීම එකල මහත් ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක් විය. 


කෙළිලොල් දිවියකට හුරු වී සිටි තානාපති බිරිය නිතර සමාජ ශාලාවන්හි විනෝද වූ අතර එක්තරා සමාජශාලාවක පියානෝ වාදකයකු හා අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගියාය. ඒ සම්බන්ධය නැවැත්වීමට තානාපතිවරයා අවස්ථා ගණනකදී උත්සාහ දැරූ අතර දිනක ඇති වූ බහින්බස් වීමකින් පසු ඔහු තම බිරියට වෙඩි පහරක් එල්ල කළේය. ඉන් බිය පත් ඇය කම්පනයෙන් බිම ඇද වැටී මරණයට පත් වූයේ යැයි පැවසිණි. ඇගේ සිරුර කනත්තේ වළ දැමීමට ඔහු පියවර ගත්තේය. මරණ පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා පොලිසිය උත්සාහ කළ අවස්ථාවේ ඔහු තානාපති වරප්‍රසාදවලට මුවා වී එයට අවසර දීම ප්‍රතික්ෂේප කළේය. 


තානාපති වරප්‍රසාද යටතේ ශ්‍රී ලංකාවේදී නඩු විභාගය නොපැවැත්වුණු අතර තානාපතිවරයාට එරෙහි නඩුව විභාග කෙරුණේ බුරුමයේදීය. එහිදී ඔහුට මිනීමැරුම් චෝදනාවක් එල්ල නොවූ අතර එය සාවද්‍ය මිනීමරුමක් ලෙසින් සලකා විභාගයට ගැනිණි. බිරියගේ නොමනා හැසිරීම හේතුවෙන් ඇය බිය වැද්දීම පිණිස පිස්තෝලය එල්ල කළ අවස්ථාවේ එය පත්තු වූ අතර ඉන් බිය වී බිම ඇද වැටීමෙන් ඇගේ මරණය සිදු වූ බවට නිගමනය විය. ඔහුට එල්ල වූ අනෙක් චෝදනාව වූයේ සාපරාධී බිය ගැන්වීමය. 


මිනීමැරුමක් නොවන සාවද්‍ය මිනිස් ඝාතනයක් යන චෝදනාවට වරදකරු වූ තානාපතිවරයාට වසර 6ක සිරදඬුවමක් නියම විය. 


ජමාල් කශෝගි ඝාතන සිදුවීමද තානාපති වරප්‍රසාද මත කුමන මුහුණුවරක් ගනීද යන්න ප්‍රශ්නාර්ථයකි. 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා