ලෝක පොලිස්කාරයාටත් ආර්ථිකය හරස් වේ


2018 ඇමෙරිකා එක්සත් ජනපද අයවැයට සෙනෙට් සභාවේ අනුමැතිය හිමි නොවීමෙන් පසුගිය සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සිට එරට රාජ්‍ය කටයුතු රැසක්ම අකර්මණ්‍ය විය. ට‍්‍රම්ප්ගේ ජනාධිපති ධුරයේ දෙවැනි වසර ආරම්භ වූයේ අර්ධ වශයෙන් ක්‍රියාත්මක රජයක් නිර්මාණය කරමිනි. ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ජනාධිපති මැතිවරණ ප‍්‍රකාශනයේ සඳහන් සංක‍්‍රමණ නීති හා ඇමෙරිකානු හා මෙක්සිකානු මායිමේ ඉදිකිරීමට නියමිත තාප්පය සම්බන්ධයෙන්ද ඩිමොක‍්‍රටික් පාක්ෂිකයන්ගෙන් විරෝධයක් පැන නැගී ඇති අතර අය වැය සඳහා සෙනෙට් සභිකයන්ගේ අනුමැතිය හිමි නොවූයේ ඒ අනුව යැයි පැවසේ.   


ඔබාමා පාලනය යටතේ නිර්මාණය කරන ලද ‘ලේඛන ගත නොවූ තරුණ සංක‍්‍රමණිකයන් පිළිබඳ ක්‍රියාවලිය’ නොහොත් ‘ඩ්‍රීමර්ස්’ නම් ප‍්‍රතිපත්තිය අනුව වසර පහක කාලයක් සඳහා තරුණ සංක‍්‍රමණිකයන්ට ඇමෙරිකාවට ඇතුළුවීමට හා රැකියාවන් කිරීමට අවසරය හිමි වූ අතර එම බලපත‍්‍රය තවත් වසර දෙකකින් දීර්ඝ කර ගැනීමට අවසර දී තිබිණි. 2017 වන විට 800,000කට ආසන්න පිරිසක් මෙම වැඩපිළිවෙළට අනුයුක්ත වී සිටියහ. ට‍්‍රම්ප් පාලනය මගින් මෙම අවසරය අවලංගු කරන ලද හෙයින් එය ලබන මාර්තු මාසයේ අවසන් වීමට නියමිතය. ඒ අනුව දැනට ඇමෙරිකාවේ සිටින ලේඛන ගත නොවූ සංක‍්‍රමණිකයන් පිටුවහල් කළ හැකිය. ඩිමොක‍්‍රටික් පාක්ෂිකයන්ගේ අවශ්‍යතාව වී ඇත්තේ මෙම පිරිස සඳහා නීතිමය ආරක්ෂාවක් ලබාදීමය.   


ඇමෙරිකා එක්සත් ජනපද රජයේ 2018 මුදල් වර්ෂය ආරම්භ වූයේ 2017 ඔක්තෝබර් 1 දිනය. රජයට මූල්‍ය පහසුකම් සැපයීම සඳහා වන නිත්‍ය විසර්ජන පනත සම්මත නොවීම මත කොන්ග‍්‍රස් මණ්ඩලය අරමුදල් සැපයීම සඳහා තාවකාලික විසඳුමක් ලෙස තෙවරක් කෙටුම්පත් සම්මත කර ගත්හ. ‘ලේඛන ගත නොවූ තරුණ සංක‍්‍රමිකයන් පිළිබඳ ක්‍රියාවලිය’ නමැති පනත හේතුවෙන් පැනනැඟුණු මතභේදය හමුවේ කොන්ග‍්‍රසයේ වාර්ෂික විසර්ජන පනත සම්මත කරගත නොහැකි විය. දේශ සීමා ආරක්ෂාව, සංක‍්‍රමණික සංශෝධන සහ හමුදාව සඳහා වැඩි ආයෝජනයක් කිරීම සම්බන්ධයෙන්ද ඩිමොක‍්‍රටික් පාක්ෂිකයන්ගේ විරෝධතාව මතුවිය.   


අයවැය සම්මත නොවීම මත රජයේ සේවකයන් හට වැටුප් ගෙවීම හෝ වෙනත් දීමනා ලබා දීමට හෝ නොහැකි තත්ත්වයක් මතු විය. ඔවුනට නිවෙස්වලට වී සිටින්නට සිදු වූ අතර අත්‍යවශ්‍ය සේවා සහ ආරක්ෂක අංශවල සේවකයන්ට පමණක් රාජකාරියට වාර්තා කරන මෙන් ඉල්ලා සිටින්නට රජයට සිදු විය. එම තත්ත්වය තව දුරටත් පැවතියේ නම් ඔවුනටද වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතවීමට ඉඩ තිබිණි.   


කෙසේ නමුදු පසුගිය අඟහරුවාදා රිපබ්ලිකන් හා ඩිමොක‍්‍රටික් පාක්ෂික මන්ත්‍රීවරුන් විසින් රජයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑම සඳහා තාවකාලික අරමුදල් කෙටුම්පතක් සම්මත කර ගැනීම මත අකර්මණ්‍ය තත්ත්වයට පත් රාජ්‍ය සේවා යළි යථා තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ. මේ අනුව වැටුප් හා දීමනා නොලැබීම මත නිවෙස්වලට වී සිටින්නට වේ යැයි බියපත් රජයේ සේවකයන් ලක්ෂ 7ක පමණ පිරිසකට සහන සැලසී තිබේ.   


සංක‍්‍රමණික ගැටලුව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට රිපබ්ලිකන් පක්ෂය ඩිමොක‍්‍රටික් පක්ෂයට පොරොන්දු වීම හේතුවෙන් පනත් කෙටුම්පතට සහය දැක්වීමට ඩිමොක‍්‍රටික් පාක්ෂිකයන් එකඟ වී තිබේ.   


මින් ඉහත එක්සත් ජනපදයේ මෙවැනි සිදුවීමක් වාර්තා වූයේ 2013 වසරේ ඔබාමා පාලන සමයේදීය. දින 16ක් පුරා පැවැති එම අකර්මණ්‍යතාවෙන් ඩොලර් බිලියන 24ක අලාභයක් සිදු විය. මෙවර පැවැති අකර්මණ්‍යතාව සතියක් පැවතියේ නම් සිදුවිය හැකි අලාභය ඩොලර් බිලියන 6ක් වනු ඇතැයි ආර්ථික විශේෂඥයන්ගේ මතය වී තිබේ.

 

 

 

 

 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා