ලොව උසම ගොඩනැගිල්ලේ අයිතිකාරයා


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

කාන්තාරයට මහා ආලෝකයක් ගෙනා  එමාර් (EMAAR)  සමූහ සමාගමේ  කතාව

එක්සත් අරාබි එමීර් රාජ්‍යය දේපොළ සංවර්ධනයෙන් ඒකාලෝක කළ මහා චරිතය මොහමද් අලි අල්අබාර්

මේ දක්වා මිනිස් දෑතින් නිර්මාණය වූ ලොව විශාලතම හෙවත් උසම ගොඩනැගිල්ල වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි “බර්ජ් කලීෆා” (Burj khalifa) ගොඩනැගිල්ලය. වලාකුළු වියන සිපගත් මෙම බර්ජ් කලීෆා ගොඩනැගිල්ල යනු මිනිසා විසින් නිර්මාණය කරන ලද විශ්මිත ගොඩැනැගිලි නිර්මාණයක් ලෙස හැඳින්විය හැකිය. මෙහි උස අඩි 2722 කි. එනම් සැතපුම් භාගයකට ටිකක් වැඩිය. එනයින් මෙය කෙතරම් නම් දැවැන්ත නිර්මාණයක් ද යන්න ඔබට මැනගත හැකිය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයට ආලෝකයක් මෙන්ම සලකුණක් වෙමින් නිර්මාණය වූ මෙම මහා පුදුම සුවිසල් ගොඩනැගිල්ල නිර්මාණය කළේ එමාර් (Emaar) දේපොළ සංවර්ධන හා ගොඩනැගිලි නිර්මාණ සමාගමය. ප්‍රකට සමාගම් ලොව දිනූ විශේෂාංගය වෙතින් අද අප විස්තර කිරීමට සූදානම් වෙන්නේ ලෝ ප්‍රකට මේ බර්ජ් කලීෆා නිර්මාණය කළ එමාර් (ඉංග්‍රීසි උච්ඡාරණයට අනුව එමාර් වන අතර අරාබි උච්චාරණය අනුව ඊමාර් ලෙස ශබ්ද වේ) සමාගම ගැන සහ බර්ජ් කලීෆා ගොඩනැගිල්ල මෙන්ම එමාර් සමාගම් ජාලයේ නිර්මාතෘවරයා ගැනය.   


බැලූ බැල්මට එමාර් (Emaar) 

 
දේපොළ වෙළෙඳාම් සමාගමක් ලෙස එමාර් ස්ථාපිත වූයේ 1997 දී පමණය. එලෙසින් නිර්මාණය වූ එමාර් කෙටි කාලයක් ඇතුළත දී නතර වූයේ සමාගම් රැසකින් යුතු බහු විධ සමාගම් ජාලයක් ලෙසය. ගොඩනැගිලි නිර්මාණ අංශය, මහා පරිමාණ සුපිරි වෙළෙඳ සංකීර්ණ, තරු හෝටල, මුල්‍ය තාක්ෂණික ඇතුළු විවිධ අංශ පහළොවකින් පමණ සහ ඊට අනුබද්ධ ආයතන 60 කින් පමණ යුතු මහා පරිමාණ සමාගම් ජාලයක් ඊට අයත් වේ. අති සුපිරි තාක්ෂණයෙන් යුතු සුපිරි මහල් නිවාස මෙන්ම වාණිජ ගොඩනැගිලි බොහොමයක් ඩුබායි නගරය අලංකාර කරනු දකින්නට ලැබේ. එම ගොඩනැගිලි බොහොමයක සාඩම්බර නිර්මාණකරුවා වෙන්නේ මෙම එමාර් දේපොළ සංවර්ධන හා ඉදිකිරීම් සමාගමය.   


‘ඩුබායි මෝල්’ හෙවත් ඩුබායි සුපිරි වෙළෙඳ සංකීර්ණය සාදා නිමවූයේ 2008 වසරේ දීය. එය මෙතෙක් ඉදිවී ඇති ලොව විශාලතම සාප්පු සංකීර්ණ සහිත සුපිරි ගොඩනැගිල්ල වේ. ලොව නන් දෙසින් ඩුබායි වෙත පැමිණෙන මිලියන ගණනාවක ජනතාව මෙම ඩුබායි මෝල් වෙත යාමට නම් අමතක නොකරති. 2019 වසරේ දී පමණක් ඩුබායි මෝල් වෙත පැමිණි සංචාරකයින් ගණන ලෙස සඳහන් වූයේ මිලියන 84 කි. එනම් කෝටි අටහමාරකට ආසන්න මහා ජන ගංගාවක් පැමිණ තිබේ. ඩුබායි​ මෝල්හි විශාලත්වය වර්ග අඩිවලින් සඳහන් කළහොත් මිලියන 13 ක් පමණ ප්‍රමාණයකි. සාප්පු 1200 කින් සමන්විත එහි රථ ගාලේ එක්වර වාහන 14,000 ක් පමණ නවතා තැබිය හැකි වේ.   


‘එමාර්’ සමූහය ගැන කතා කිරීමේ දී මෙම සුපිරි වෙළෙඳ සංකීර්ණය අමතක කළ හැකි නොවන්නේ එය ලෝකයේ විශාලතම සුපිරි සාප්පු සංකීර්ණය වන බැවිනි. ඒ හැරත් මීට දශකයකට පෙරදී ලෝකයේ වැඩිම පිරිසක් ආගිය ස්ථානය ලෙස සඳහන් වූයේ මෙම ඩුබායි මෝල්ය. එමාර් සමූහයේ මෙලෙසින් වූ තවත් රජ වැඩ අතර පෘථිවියේ සලකුණක් වූ බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ගැනත් අපි මොහොතකට විපරම් කර බලමු.   


‘එමාර්’ හැදූ ලොව උසම ගොඩනැගිල්ල බර්ජ් කලීෆා (Burj khakifa)   


ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා හි සාඩම්බර හිමිකරුවා වෙන ‘එමාර්’ සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු බාර කළේ සැම්සුන් කන්ස්ට්‍රක්ෂන් සමාගම වෙතය. 2004 දී ඉදිකිරීම් ඇරඹි අතර සාදා නිම කරනු ලැබුවේ 2009 ඔක්තෝබර් 1 වැනිදාය. ඩොලර් බිලියන 1.5 ක් පමණ වැය කොට තැනූ බර්ජ් කලීෆා ගොඩනැගිලි යෝධයා ජනතාව වෙනුවෙන් විවර වූයේ 2010 ජනවාරි 4 වැනිදාය. මහල් 163 කින් කලීෆා ගොඩනැගිල්ල සමන්විත වේ. මෙම ගොඩනැගිල්ල නිර්මාණය කිරීමේ දී ප්‍රධාන වශයෙන් භාවිතා කර ඇත්තේ සවි ගැන්වූ (වැර ගැන්වූ) කොන්ක්‍රීට් ඇලුමිනියම් සහ වානේය. වානේ සහ ඇලුමිනියම් ටොන් 39,000 ක් පමණ යොදා ගැනුණ බව සඳහන් වේ. මේ ජීවිත කාලයට පමණක් නොවේ ආත්ම ගණනකට සල්ලි ඇති මහා ධන කුවේරයින්ගේ අරමුණ වෙන්නේ ඇති පදමට ජීවිතය වඩාත් සුව පහසුවට ගත කිරීමය. එවැනි මහා පොහොසතුන් වෙනුවෙන් අධි සුඛෝපභෝගී නිවාස 900 ක් බර්ජ් කලීෆා මහල් මන්දිරය සතුය. තනි කාමරයක් සහිත මුහුදු තීරයට මුහුණලා ඇති මෙහි නිවසක මිල දිරාම් 2,000,000 පමණ වේ. එතැනින් පටන් ගත් මිල කාමර 2 හා 3 සහ ඊටත් එහා ගිය සුපිරි නිමාවකින් යුතු මහල් මන්දිර ලෙස අලෙවි ​වෙන්නේ දිරාම් 1,650,000 සහ 1,199,888, 6,800,000 වැනි විවිධ මිල ගණන් යටතේය. වත්මනෙහි දිරාම් 1 ක මිල රුපියල් 51 ක් පමණ වේ. ඒ අනුව ඉහත සඳහන් කළ දිරාම් රුපියල්වලට ඔබට හරවා ගත හැකිය. වර්ග අඩි 1888 කින් සමන්විත එක් නාන කාමරයක් සහිත බර්ජ් කලීෆා සතු නිවසක් බද්දට දීමේ දී මාසික කුලිය ලෙස සඳහන්ව ඇත්තේ දිරාම් 2,20,000 ක මුදලකි. එය ලංකා මුදලින් නම් එක්කෝටි විසි එක් ලක්ෂයක් පමණ වේ. මෙලෙසින් මිල ගණන් සඳහන් කළේ බර්ජ් කලීෆාහි නිවාස හිමිකරුවන් විසින් අන්තර්ජාලයේ පළ කළ දැන්වීම්වලට අදාළවය.   


සුපිරි මහල් නිවෙස්වලට අමතරව මෙම විශ්මිත ගොඩනැගිල්ලෙහි ඇති සුපිරි හෝටල ගණන 3004 කි. ලෝකයේ නන් දෙසින් පැමිණෙන සල්ලිකාර පවුල්වල උදවිය මෙහි ඇති හෝටලවල නවාතැන් ගැනීමට මෙන්ම ආහාර පාන ලබා ගැනීමට රිසි බව කිව හැකිය. ලොව ප්‍රකට සමාගම්වල කාර්යාල සහ ආයතනික ශාඛා හෙවත් සේවා ස්ථාන සඳහා බර්ජ් කලීෆා හි මහල් 35 ක් වෙන්කර තිබේ. මෙහි වාසය කරන සහ යන එන පිරිස වෙත දිනක දී භාවිතයට ගැනෙන වතුර ප්‍රමාණය ගැලුම් 2,50,000 කි. බර්ජ් කලීෆා සතු විදුලි සෝපාන ප්‍රමාණය 54 ක් පමණ වේ. මෙම සෝපාන මෙම ගොඩනැගිල්ල සඳහා පමණක් විශේෂිතව නිෂ්‍පාදනය කළ ඒවාය. විදුලි සෝපානයක වේගය පැයට සැතපුම් 40 කින් ක්‍රියාත්මක වීම විශේෂත්වයකි. බර්ජ් කලීෆාහි බිම් මහලේ කාලගුණික තත්ත්වයට වඩා මුදුනත නැරඹුම් මැදිරිය ඇති ස්ථානයෙහි උෂ්ණත්වය වෙනස්ය. මෙය කෙතරම් නම් විශ්මිත නිර්මාණයක් ද යන්න තවත් ඔබට විස්තර කළ යුතු නොවේ. එසේ නම් මේ අරුමැසි ක්‍රියාදාමයයෙහි නියමුවා කවුද නැතහොත් EMAAR (එමාර් PROPERTIES හි හිමිකරුවා කවුද? එසේත් නැත්නම් එමාර් සමූහයේ හිමිකරු කවුරුන්ද?   


මොහොමඩ් අල් අබාර් (Mohamed Alabbar) (මොහොමද් අල්අැබාර්)   


මොහොමඩ් අල් ආබාර් යනු එමාර් සමාගමේ නිර්මාතෘවරයාය. ලෝකයට විශ්මිත ගොඩනැගිලි නිර්මාණ රැසක් නිර්මාණය කර දීමට ව්‍යවසායකත්වයේ නායකත්වය ලබාදුන් මේ අපූරු මිනිසාගේ සම්පූර්ණ නාමය වන්නේ “මොහොමද් අලි රෂෙද් ඇලබාර්” ය. ඔහු උපත ලබා ඇත්තේ 1956 නොවැම්බර් 8 වෙනිදා ඩුබායි හිදීය. තෙලෙහි බලය හෙවත් ඉන්ධන විප්ලවය වෙතින් අරාබිය ලෝකය ජය ගැනීමට පෙර වූ කාලයක දී ඔහු උපත ලැබූ බව සඳහන් කළ හැකිය. 

 
එදා මහල් දහයකින් යුතු ගොඩනැගිල්ලක් තිබුණේ නම් එය මහ පුදුමයකි. ‘අල් අබාර්’ උපත ලැබුවේ එමීර් රාජ්‍යය කාන්තාරයක්ව තිබූ සමයක දීය. එදා ඩුබායි නගරයේ ඡායාරූපයක් දෙස බැලූ විට ඔබට අද ඩුබායි ලබා ඇති ගෘහ නිර්මාණශීලීත්වයේ විශ්මය කෙසේද යැයි දැක බලා ගත හැකිය. එවිට ඔබට එය ඇදැහිය නොහැකි තරමේ විශ්මයක් ගෙන දේවි. මෙලෙසින් අද ඩුබායි අහස මෙන්ම අබුද‌ාබි අහස සිපගත් අති නවීන ගෘහ නිර්මාණශිල්පීය ක්‍රමවේදයන්ට අනුව භූමිය වසාගත් නිර්මාණ රැසක් බිහිකිරීමට උරදුන් මහා ව්‍යවසායකයා මේ අල් අබාර් නමැති චරිතය වේ. දොළොස් දෙනෙකුගෙන් යුතු දරුවන් ඇති පවුලකට අයත්ව අල් අබාර් උපත ලැබුවේ ඒ පවුලේ වැඩිමහල් දරුවා ලෙසය. ඔහුගේ පියා සාම්ප්‍රදායික අරාබි බෝට්ටු (රුවල් යාත්‍රා වැනි) වල කපිතාන්වරයෙකු ලෙස එවකට සේවය කළේය. ඔහුගේ පවුලේ මේ අල් අබාර් ඇතුළු දූ දරුවන් හැදී වැඩුණේ ඩුබායිහි රෂිදියා ප්‍රදේශයේ දීය. අල් අබාර්   


ඉගෙනුමට දක්ෂ වූවෙකු වූ අතර හැත්තෑව දශකයේ දී පාසල් ශිෂ්‍යත්වයක් ලැබ වොෂිංටනයේ සියැටල් (Seattle) සරසවියේ ඉගෙනුමට අවස්ථාව හිමිකර ගත්තේය. එහි සිට මූල්‍ය හා ව්‍යාපාර පරිපාලනය පිළිබඳව උගත් ඔහු උපාධිය ලබා ගත්තේ ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙනි. 1981 දී උපාධිය සමග නැවත මව් රටට ආ අල්අබාර් නිතරම අලුත් ලෝකයක් ගැන සිතා කටයුතු කළ අයෙක් විය.   


සරසවි ජීවිතය නිමවා ආ ඔහුගේ ප්‍රථම රැකියාව වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෙන්ට්‍රල් බෑන්ක් හි (Central Bank of UAE) කළමනාකාර තනතුරකි. ඉනික්බිතිව සිංගප්පූරුව බලා ගිය ඔහු අල් කලීජ් ඉන්වෙස්ට්මන්ට් ආයතනය හා එක්වී එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කළේය. එම අල්කලිජ් සමාගම එමීර් රජය සතුවූවක් වූ අතර සිංගප්පූරුවේ සිට දේපොළ වෙළෙඳාම පිළිබඳව ව්‍යාපාර කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයූ ආයතනයක් විය. 1992 දී මොහොමද් අල්අබාර් නමැති දැක්මක් තිබූ මිනිසා නැවත මව් රටට ආයේය. එමීර් රජය විසින් ස්ථාපිත කරන ලද ආර්ථික සංවර්ධන දෙපාර්තමේන්තුවේ ආරම්භක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එතැන් සිට කටයුතු කරන්නට පටන් ගත් ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු බොහොමයක් සිදු කිරීමට නායකත්වය ලබාදුන් උපසභාපති මෙන්ම අග්‍රාමාත්‍යවරයා සහ ඩුබායි හි පාලකයා වන මොහමද් බින් රෂිද් අල් මක්ටුම් එමීර්වරයා සමග මිත්‍රත්වයක් ඇති කරගෙන සිටියේය. පසුව අල් මක්ටුම් පාලකවරයාගේ ප්‍රධාන ආර්ථික උපදේශකවරයා ලෙස අල් අබාර් හට කටයුතු කිරීමේ අවස්ථාව ලැබිණි. මේ අපූරු චරිත ද්විත්වයේ සංකලනය නිසා ඩුබායි ලොව සංචාරක පාරාදීසයක් මෙන්ම වඩාත් වැදගත් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට හැකිවූ බව කිව හැකිය.   


යුරෝපයට ගොස් උපාධිධරයකු ලෙස පැමිණ සිටි අල් අබාර් වඩාත් ප්‍රායෝගික මිනිසකු වූ බව සඳහන් කළ යුතු වේ. 1996 දී ඔහු ඩුබායි ඒකාලෝක කරවූයේ ඩුබායි ෂොපින් ෆෙස්ටිවල් හෙවත් ඩුබායිහි සාප්පු සැණකෙළිය සංවිධානය කිරීමෙනි. ඒ හරහා ලොව නන් දෙසින් මිලියනයකට එහා ගිය මහා ජනකායක් ගෙන්වා ගැනීමට ඩුබායි රාජ්‍යයට හැකිවිය. අල් අබාර්ගේ අලෙවි කරණයේ උපායශීලිත්වය සහ නිර්මාණශීලිත්වය උදෙසා එම වසරේ දීම එමිරේට්ස්හි ජාත්‍යන්තර අලෙවි කරන අංශයේ සුපිරි තරුව ලෙස සම්මානයට පාත්‍ර වුණි.   


ඉනික්බිතිව අල් අබාර් නමැති සංවර්ධනයේ අපූරු මොළයක් ඇති මහා මිනිසා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තමාගේ ව්‍යවසායකත්වයේ මහා ගමනට අවතීර්ණ වුණි. එම ගමනේ ස්වර්ණමය අස්වැන්න වූයේ 1997 දී ලෝකයේ ප්‍රමුඛතම දේපොළ සංවර්ධන සමාගමක් ලෙස එමාර් (EMAAR) ආයතනය ස්ථාපිත කරවීමට හැකිවීමය. එමාර් ව්‍යාපාරය විවිධ පැතිකඩ ඔස්සේ මහා රුකක් සේ විහිදී - පැතිරී ලෝකය වෙලා ගත්තේ එක්සත් අරාබියට පමණක් නොව මුළුමහත් ලෝකයටම ආලෝකයක් ගෙන දෙමිනි. දේපොළ සංවර්ධන කටයුතුවලට අමතරව සාප්පු සංකීර්ණ, සුපිරි හෝටල ඇතුළු විවිධ අංශ විවරවීම නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යය දිනෙන් දින ලස්සන වූවේය. ඒ ලස්සන කිරීමේ පුරෝගාමී චරිතයක් ලෙස මෙම ව්‍යවසායකයා නම් කළ යුතුමය. එදා සිට අල් අබාර් සතු ‘එමාර්’ සමූහය තවදුරටත් වර්ධනය කරා පියමනින අතර ඩුබායිහි එමාර් මෝල් ලැයිස්තුගත වූයේ සිල්ලර වෙළෙඳාම අතර ඩුබායි මුල්‍ය වෙළෙඳ පොළේ ලැයිස්තු ගතවූ කලාපයේ විශාලතම කොටස් නිකුතුවට හිමිකම් ලබමිනි. මැද පෙරදිග කලාපයට පමණක් නොව මුළු මහත් ආසියාවට මෙන්ම ලෝකයට ව්‍යවසායකත්වයේ තරුවක් වූ අල් අබාර් නමැති මහා මිනිසා 2007 දී පමණ පුද්ගලික ජෙට් යානයකින් උතුරු කොරියාවට ද ඉන්පසුව දකුණු කොරියාවට මෙන්ම චීනයට ද චාරිකාවක් ගියේ රාජ්‍ය තාන්ත්‍රිකයකු තරමටය. එකී ගමන් වෙතින් ඔහු රටට ආර්ථික අස්වැන්න නෙලා දීමට කටයුතු කළේය. ඒ එකක්වත් හිස් ගමනාන්ත නොවුණි.   


ඔහුගේ ව්‍යවසායික ගමනාන්තය වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පමණක් නොවීය. එම කලාපයේ සෙසු රටවල් කීපයක මෙන්ම අප්‍රිකානු කලාපයේ රටවල් කීපයක දී ද එමාර් නාමයේ සහ අල් අබාර් නාමයේ ව්‍යවසායක සලකුණු සනිටුහන් කිරීමට ඔහුට හැකිවිණි.   


මෙම මොහමද් අලි අල්අබාර් චරිතය ගැන කීමට සහ ලිවීමට ඇති දේ නම් බොහෝය. ඔහුගේ නිර්මාණශීලී දායකත්වය උදෙසා ජීවිතය වෙත ලැබුණු නම්බු නාම සම්මාන ගෞරව ප්‍රසංසා බොහෝය. මැද පෙරදිග ඒකාලෝක කළ මේ මහා නිර්මාණශීලී මිනිසාගේ පුද්ගලික ජීවිතය මොන වගේද කියා මීළඟට අපි විපරම් කර බලමු.   


අල්අබාර් මහතාගේ ජීවිතය වඩාත් සක්‍රිය වූයේ ක්‍රීඩාශීලිත්වයට ඇති උනන්දුව නිසා යැයි සඳහන් කළ හැකිය.​ ගොල්ෆ් සහ මලල ක්‍රීඩාවේ විවිධ අංශ සඳහා උනන්දු වූවෙකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගොල්ෆ් සංගමයේ සභාපති ලෙස ද ඔහු කටයුතු කර තිබේ. එපමණක් නොව ලොව ගොල්ෆ් ක්‍රීඩා කරන බලවත්ම ක්‍රීඩකයින් දස දෙනා අතරට ඔහුගේ නාමය ඇතුළත් වුණි. තුරග තරග ධාවන ඉසව් සඳහා ද බලවත් ප්‍රියතාවයක් දක්වන චරිතයකි. අල්අබාර්ගේ පුතු වන රෂීද් අල්අබාර්ගේ මංගල උත්සවය පැවැතියේ 2017 වසරේ දීය. එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහා මංගල්‍යයක් ලෙස නම් කිරීමට පුළුවන. එමීර්හි පාලකයා, උප සභාපති, අගමැති, ඔටුන්න හිමි කුමරු ඇතුළු රාජ පරම්පරාවේ බොහෝ ප්‍රභූ චරිත මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ, ආරක්ෂක අංශයේ ප්‍රධානීන් මෙන්ම, එමීර් රාජ්‍යයේ සමස්ත පාලක ප්‍රභූ පැලැන්තිය ඊට ඇරයුම් ලැබ සිටියහ. එපමණක් ද නොවී විවිධ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙන්ම ප්‍රභූන් බොහෝමයක් ඊට සහභාගි වූහ.   


‘එමාර්’ සමූහයේ සාඩම්බර හිමිකාරිත්වයන්   


මැද පෙරදිග කලාපය විවිධ අංශ වෙතින් ඒකාලෝක කළ ‘එමාර්’ සමාගම් සමූහය සහ එහි නිර්මාතෘ අල්අබාර්ගේ නායකත්වය යටතේ ලෝකයට සලකුණු වූයේ බර්ජ් කලීෆා ඩුබායි මෝල් පමණක්ම නොවේ. ලොව වඩාත් සුපිරි නිමාවකින් යුතු නිවාස සංකීර්ණ සහ එමාර් නාමයට පමණක් සීමා වූ නිමැවුම් තවත් නම් බොහෝමය. බර්ජ් කලීෆා මෙතෙක් ලොව ඉදිවූ උස් ගොඩනැගිල්ල වෙන අතර එය ද අභිබවා ගොස් තවත් නිර්මාණයක් කිරීමට එමාර් ප්‍රොපටීස් මුල්ගල් තැබුවේ 2017 වසරේ දීය. එය හැඳින්වෙන්නේ ඩුබායි ක්‍රීක් ටවර් (Dubai creek Tower) ලෙසය. 2021 දී නිම කිරීමට නියමිත එය ලොව උස්ම කුලුන ලෙස ඩුබායි රාජ්‍යයට පමණක් නොව මුළු මහත් මැද පෙරදිග කාලපයට ආලෝකයක් ගෙන දෙමින් විවර වීමට නියමිතය.   


ඒ වෙනුවෙන් වැයකර ඇති මුදල ලෙස සඳහන් වෙන්නේ දිරාම් බිලියන 3.67 ක අති විශාල මුදල් කන්දරාවකි. මෙම කුලුන දිගින් ඩුබායි නගරය මෙන් තුන් ගුණයකින් විශාල යැයි සඳහන් වේ. මුළු පෘථිවි තලයේ මහා ජන ගංගාවක් ගලා එමින් ​ඩොලර් සාගරයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට​ ලබා දෙන ගමනාන්තය එය වෙනු ඇත. සාමාන්‍ය මිනිස් චරිතයකට එහා ගිය දැක්මක් ඇති මිනිසකු හට මොන තරම් නම් දේ කළ හැකිද? මොහමද් අලි අල්අබාර් යනු සැබැවින්ම මහා චරිතයක් නොවේද? ඊටත් එහා ගිය අපරිමාණ ධාරිතාවයක් ඇති මිනිස් මොළයකි. 

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ