ලාවුළු


හෙළ ඔසු
 
 
 
 
ශරීරයට හිතකර විටමින්, ඛනිජ ලවණ ඇතුළු පෝෂණ සංඝටකයන් රාශියකින් ඇති රසයෙන් හා ගුණයෙන් යුතු ඉතා වටිනා දේශීය පලතුරකි ලාවුළු.  
 
විශේෂයෙන්ම ශරීර ශක්තිය වඩවන පලතුරක් ලෙසට අතීතයේ සිට භාවිත කර ඇති ලාවුළු ප්‍රෝටීන්, මේදය, තන්තුමය කොටස් හා කාබෝහයිඩ්‍රේට වැනි මූලික පෝෂක සංඝටක ඉහළ සංයුතියකින් අඩංගුය. කොහොල්ලා ලාවුළු රට ලාවුළු ලෙස ලාවුළු ප්‍රභේද දෙකකි. කුඩා දෙහි ගෙඩියක ප්‍රමාණයේ කොහොල්ලා ලාවුළු ද ඇතුළත ලාටු වැනි ඇලෙන සුළු ගතියක් ඇති අතර එය ඉතා මිහිරි රසයෙන් යුක්ත වේ.  
 
රට ලාවුළු තරමක් ලොකුය. තැඹිලිවන් කහ පැහැයෙන් යුක්තය. අමු බිත්තර කහ මදයක ස්වරූපය ගන්නා අතර මෙම ලාවුළුවල ඉතා විශාල පෝෂ්‍ය පදාර්ථ රාශියක් අන්තර්ගත වේ.  
 
ආයුර්වේදීය ඉගැන්වීම් අනුව ලාවුළු මධුර හා කෂාය රසයෙන් යුතු අතර ගුරු ගුණයෙන් යුක්තය. පිත් හා වාත දෝෂ සමනය කිරීමේ ගුණයෙන් යුතුය.  
 
සිරුර පෘෂ්ඨිමත් කරලීමේ ගුණයක් ඇති හෙයින් කෙසඟ සිරුරක් ඇති අයට ලාවුළු හිතකරය. දේශ ප්‍රතිශක්තිකරණය වඩවා ලෙඩ ​රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතු ලාවුළුවල ඉහළ යකඩ සංයුතියක් ඇති බැවින් හිමොග්ලොබින් මට්ටම අඩු අයට ද නීරක්තිය හා පාණ්ඩු වැනි ​රෝගවලින් පෙළෙන්නන්ට ද ඉතා ගුණදායක පලතුරක් වේ.  
 
ආහාරමය තන්තු බහුලව අන්තර්ගත වන ලාවුළු මළ බද්ධයෙන් පෙළෙනා රෝගීන්ට ද ඉතාම හිතකර පලතුරු විශේෂයකි. ආහාර මාර්ගය ආශ්‍රිත තුවාල ඇතිවීම වළක්වාලීමේ ගුණයෙන් යුතු ලාවුළු අර්ශස් හා ගුද විවරයේ ඇතිවන පැලීම් වැනි රෝග තත්ත්වවලින් පෙළෙනා රෝගීන්ට ද ලාවුළු ගුණදායකය. ඉහළ විටමින් සී සංයුතියකින් යුතු ලාවුළු බෝවන රෝගවලින් මිදීමට ශරීරයට අවශ්‍ය ආරක්ෂාව සලසන විශේෂිත දේශීය පලතුරක් ද වේ.  
 
ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළින්ම ඇති පලතුරක් වන ලාවුළු දේහයේ සෛල අනවශ්‍ය ලෙස බිඳ වැටීමත් සෛල වයස්ගත වීමත් පාලනය කරනු ලබයි.  
මානව දේහයේ ස්නායු සෛල මියගොස් නැවත සෛල චක්‍රය හරහා ගොස් විභේදනය වීමේ හැකියාවක් නොමැත. එහෙයින් එවැනි වැදගත් සෛල බිඳ වැටීම පාලනය කිරීමට ලාවුළු සතු හැකියාව නිසා බොහෝ ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා ලාවුළු ඔසුවකි.  
 
මොළයේ ස්නායු සෛල ආරක්ෂා කිරීමේ ගුණයෙන් යුතු ලාවුළු ඇල්සයිමර් ඩිමෙන්ෂියාව වැනි මතකය අඩු රෝගීන්ට ඉතාම ගුණදායක පලතුරක් වේ.  
තව ද මානසික ආතතිය, කාංසාව, හිස් බව වැනි බොහෝ මානසික ගැටලුවලට හිතකර පලතුරක් ලෙසට ද ලාවුළු දැක්වීමට පුළුවන.  
නින්ද නොයනා රෝගීන්ට ද ලාවුළු හිතකරය. ලාවුළු සතුව ප්‍රදාහ නාශක ගුණ ද පවතින බව සොයාගෙන ඇත. එහෙයින් සන්ධි ආශ්‍රිත වේදනාවෙන් පෙළෙන්නන්ට ද දත් කැක්කුම්වලින් පෙළෙනා විට ද සිරුරේ තුවාල හටගෙන ඇති විට ද ලාවුළු ආහාරයට දීම සුදුසුය.  
 
ලාවුළුවල ඉහළ කැරටිනොයිඩ් ප්‍රමාණයක් අඩංගු වන අතර ඒවා ශරීරය තුළ වූ විටමින් ඒ බවට පරිවර්තනය වේ. එහෙයින් අක්ෂි රෝගවලින් පෙළෙන්නන්ට ද පෙනීම අඩුවීම හතළිස් ඇඳිරිය ඇසේ සුද වැනි රෝගවලින් පෙළෙන්නන්ට ද ලාවුළු ඉතාම ගුණ දේ. කැල්සියම් හා පොස්පරස් සංයුතියකින් යුතු ලාවුළු අස්ථි පද්ධතියට ද ඉතාම හිතකරය.  
එහෙයින් අස්ථි දිරාපත් වීම වැනි රෝගයන්ගෙන් පෙළෙන්නන්ට ලාවුළු වඩාත් යෝග්‍ය පලතුරු විශේෂයකි.  
 
පිළිකා නාශක ගුණයකින් යුතු ලාවුළු පිළිකා සෛල හටගැනීම වළක්වාලීමේ ගුණයකින් යුක්ත වන බව නූතන පර්‌යේෂණවලින් පවා සනාථ කොට ඇත.  
ඉහළ නියැසින් සංයුතියකින් යුතු ලාවුළු සිරුරේ නැසීගිය ධාතු වඩවාලන ගුණයෙන් යුක්තය. එම නිසාම දියවැඩියා රෝගීන්ට ද ලාවුළු ආහාරයට දීම සුදුසුය.  
 
අඩු සෝඩියම් ප්‍රමාණයක් හා ඉහළ පොටෑසියම් සංයුතියක් සහිත ලාවුළු රුධිර පීඩනය වළකා හදවත නිරෝගීව තබා ගැනීමට ද උපකාරී වේ. එම නිසා අධිරුධිර පීඩනයෙන් පෙළෙන්නන්ට හා හෘද රෝගවලින් පෙළෙන්නන්ට ද ලාවුළු ගුණදායකය. ශරීරයේ අනවශ්‍ය තරල එක්රැස් වීම මැඩලා ඉදිමුම් වළක්වාලීමට ලාවුළු සතු ඖෂධීය ගුණය උපකාරී වේ. සෛල වයස්ගත වීම පාලනය කිරීමේ ගුණයෙන් යුතු ලාවුළු සම අව පැහැ වීම සම රැලි වැටීම ආදිය වළකා පැහැපත් නිරෝගී සමක් අැති කරදීමට ද උපකාරී වේ.  
නිරෝගී කෙස් කලබක් හිමි කරගැනීමට ද ලාවුළු කදිම පලතුරකි.  
 
රුධිරගත අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩුකරලීමේ ගුණයක් ද ලාවුළු සතුය. වා පිත් සමනය කිරීමේ ගුණයෙන් යුතු ලාවුළු සිරුරේ දාහය, දැවිල්ල, ගිනියම මෙන්ම බොහෝ සමේ රෝගවලට ඉතාම ගුණදායකය. ලාවුළු ඇට පෙතිවලට කපා රාත්‍රියේ වතුරේ තිබෙන්නට හැර උදයේ සීනි දමා පානය කිරීමෙන් ශුක්‍ර වර්ධනය වන බවත් ශරීර ශක්තිය වඩවාලන බවත් පොතපතේ සඳහන්ය. එබැවින් පුරුෂ බීජ නිෂ්පාදනය මඳවීමෙහිලා මඳසරු බවින් පෙළෙන අයට ද ලාවුළු ගුණදායකය. ශ්වේතප්‍රදරය හෙවත් සුදයාම වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙනා රෝගීන්ට ද ලාවුළු ඉතාම යෝග්‍ය පලතුරක් බව ආයුර්වේදයේ සඳහන්ය.  
 
කුඩා දරුවන් වටපණු රෝගවලින් පෙළෙන විට පණුවන් හැලීම සඳහා ද ලාවුළු ඖෂධයක් ලෙස අතීතයේදී දී ඇත. මේසා විශාල ගුණ සමුදායක් තිබුණ ද ඉහළ පොටෑසියම් සංයුතියකින් යුතු ලාවුළු වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ට දීම සුදුසු නැත.  
 
ලාවුළු ග්‍රෑම් 100ක අඩංගු පෝෂණ සංඝටකයන්  
 
ශක්තිය (කිලෝ කැලරි) 138.8  
කාබෝහයිඩ්‍රේට (ග්‍රෑම්) 37  
ආහාරමය තන්තු (ග්‍රෑම්) 10  
මේදය (ග්‍රෑම්) 13  
ප්‍රෝටීන (ග්‍රෑම්) 2.5  
තයමින් (B1) (මිලිග්‍රෑම්) 0.17  
රයිබොෆ්ලේවින් (B2) (මිලිග්‍රෑම්) 0.01  
නියැසින් (B3) (මිලිග්‍රෑම්) 3.7  
විටමින් C (මිලිග්‍රෑම්) 43  
කැල්සියම් (මිලිග්‍රෑම්) 26.5  
යකඩ (මිලිග්‍රෑම්) 0.92  
පොස්පරස් (මිලිග්‍රෑම්) 37.3

 

 

 

සටහන : අසුන්තා එදිරිසූරිය