ලන්ඩන් නගර සභාවක නගරාධිපතිනියවූ ලාංකික කාන්තාව


අභියෝග ජයගත් මිනිස්සු  

කරීමා මරික්කාර්

 

මම පවුලේ බාලයා. ගමේ විදිහට කිව්වොත් බඩපිස්සි. අක්කලා පහයි, අයියලා දෙන්නයි. ලොකු පවුලක්. මහනුවරදී මම උපන්නෙ. තාත්තා කළේ ව්‍යාපාර. තාත්තාගෙ අයියා ඒ කාලෙ බණ්ඩාරනායක මහත්තයගෙ ආණ්ඩුවේ තැපැල් හා විදුලි සංදේශ ඇමතිව හිටියා. එයාට කිව්වෙ සිංහල මරික්කාර් කියලයි.  

එතකොට අපේ අම්මා ගැන කිව්වොත්, අම්මගෙ පවුලත් ව්‍යාපාරික පවුලක්. එම්.කේ.එම්. මුතාලිෆ් ව්‍යාපාරය නමින් රෙදිපිළි වෙළෙඳාම කළේ. අදත් මහනුවර කොළඹ වීදියෙ එය දැකගන්න පුළුවනි. අපේ සීයාට බස් තිබුණා. එය හැඳින්වුණේ සිංහ බස් කම්පැනි කියලයි.  


මම ඉගෙන ගත්තෙ මහනුවර උසස් බාලිකාවෙන්. උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තෙ එකම පාසලකින්. ඉගෙනීමට වගේම ක්‍රීඩාවටත් දක්ෂතා පෙන්වූවා. අපි මරක්කල වුණාට, ගෙදර කතා කළේ ලොකු අයියා, ලොකු අක්කා, පුංචි අක්කා, ලොකු මල්ලි, නංගි කියලයි.  


මෙලෙසින් තමා ගැන හැඳින්වීමක් කළ ඇය කරීමා මරික්කාර්ය. ලන්ඩනයේ බටහිර හැරෝහි නව නගරාධිපතිනිය වන්නේ ඇයයි. ශ්‍රී ලාංකීය කාන්තා චරිතයක් ලන්ඩනයේ නගර සභා ආයතනයක නගරාධිපතිනියක වූ ප්‍රථම අවස්ථාව මෙය වන්නේය.  


මෙලෙසින් රටක් තරමට සුවිශාල වූ ලන්ඩනයේ නගර සභාවකට තරග කොට එහි නගරාධිපතිනිය වූ මේ කරීමා මරික්කාර් යනු එක්තරා විදියකට යකඩ ගැහැනියකි. අතීතයේදී විටෙක ඉහළටම නැගි ඇයගේ ජීවිතය, තවත් නිමේෂයක දී බිංදුවට බැස්සේය. එකී ස්වභාවයේදී ඇය වැටි වැටී නැගිට්ටාය.  


කාන්තාවක ලෙස වැටි වැටී නැගී සිටි ඇයගේ ජීවිතය ගැන වූ කතාව කියවීම බොහෝ කාන්තාවනට මෙන්ම සමාජයට ආදර්ශයක් වේ යැයි අපි හඟිමු. මේ දිගහැරෙන්නේ අභියෝග ජයගත් ඇයගේ කතාවයි.  
එංගලන්තයට ගිහාම මාස දෙක තුනක් යාමට මත්තෙන් සමහරුන්ට සිංහලකම කෙසේ වෙතත් සිංහල භාෂාව අමතක වේ යැයි එහි වෙසෙන්නාවූ සමහරු කියන කතාවකි. නමුත් සිංහලකම උපතින්ම උරුමකර නොගත් ඇයට සිංහලකම උරුමයෙන් ගෙන ආ දෙයක් මෙනි. එංගලන්තයට ගොස් දශක තුනකට සමීප වුවද සිංහලකම සහ සිංහල බස ඇයගෙන් ඈත්ව නැතැයි සඳහන් කිරීම වටී.  


කරීමා මරික්කාර් ලන්ඩනයේ බටහිර හැරෝ ප්‍රදේශයේ නගරාධිපතිනිය ලෙස දිවුරුම් දුන් දිනයේදී චාරිත්‍රානුකූල උත්සවය පැවැත්වීම සිදුවුණේ මඟුල් බෙර වැයුම් පොල්තෙල් පහන් දැල්වීම උඩරට නැටුම යන අංග සහිතවය. එය ඇයගේ කැමැත්තටම සිදුවූවකි.  


මම මරක්කල තමයි, හැබැයි මම සිංහලකමට හරි ලැදියි. කුඩා කල සිට මම ආස්වාදය කළේ අපේ රටේ අපේ දේ.  


ඇය උජාරුවෙන් ඒ ගැන කියන්නීය. එදා ඇය හට තිබූ අරමුණු ගැන සහ පවුලේ අතීතය ගැන වූ මතක සේයා කරීමා මරික්කාර් වත්මනට මුසු කළේ මෙසේය.  


පොඩි කාලයේ ඉඳලාම මට තිබුණෙ ඉදිරියට යාමේ ආසාව සහ අරමුණයි. ජීවිතය සොයා යාමේ කුතුහලය නිතර මනසේ තිබූ දෙයක්. ගෙදර අම්මා තාත්තාගෙන් ලැබුණු ආභාශය සහ උපදෙස් අනුව තමයි මොන දේ කළත් අපි කළේ. තමුන්ට සැප සම්පත් තියෙන විට ජීවිතය ගත කළ යුතු විදිහ ගැන වගේම නැති අවස්ථාවලදීත් ජීවිතය ගත කළ යුතු විදිහ ගැන අම්මා තාත්තා අපට කියාදී තිබුණා. උපේක්ෂාවෙන් ජීවිතයේ සියල්ල විඳ දරා ගැනීමේ වැටහීම ගැන කරුණු කියලා දුන්නා. අපි ජීවත්වුණේ ඒ විදියටයි. මම තාත්තාට කිව්වෙ අප්පච්චි කියලා. අප්පච්චි වගේම අම්මත් පවුලේ අනෙක් හැමෝමත් මට ගොඩාක් ආදරය කළා. හැබැයි සැප වගේම අම්මා අප්පච්චි අපට දුකත් දුන්නා. ගෙදර සේවකයින් සිටියත්, එයාලගෙන් සියලු වැඩ ගත්තෙ නැහැ. ගෙදර පිටි කොටන වැඩ, කුස්සියේ වැඩ මටත් අක්කලාටත් කරන්න පවරලා තිබුණා.  


ඇත්ත වශයෙන්ම අම්මා තාත්තාගෙන් අපට ලැබුණු පරමාදර්ශ බොහෝමයි. මම මරක්කල මුස්ලිම් කියලා උජාරුවෙන් කියන්න කැමතියි. හැබැයි ඊටත් වඩා උජාරුවෙන් මම මගේ ශ්‍රී ලංකාවේ, සිංහල, හිංදු, බර්ගර් ආදී ඔය ඔක්කෝමලාට ගරු කරනවා. ඒ නිසා මට කවදාවත් ජාති භේද ආගම් භේද ප්‍රශ්න තිබුණෙ නැහැ. කවදාවත් කිසිම ආගමකට මම අගෞරව කරලා නැහැ. සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂා තුනම මට කතා කරන්නත් පුළුවනි.  
චතුර ලෙස කරීමා එලෙසින් සිංහල බස හසුරවන්නීය. ඇයගේ පියා නොඑසේ නම් ඇය අමතන විදියට අප්පච්චි සහ ඇයගෙ මහප්පා (ලොකු අප්පච්චි) ඉගෙන ගෙන ඇත්තේ පිරිවෙනකදීය. මහනුවර උසස් බාලිකාවේ ඉගෙනුම ලැබූ කරීමා, ඉගෙනීමට දක්ෂතා දැක්වූ අතරේ පාසල් හොකී කණ්ඩායමද නියෝජනය කළාය. පසු කලෙක ඇය ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම නියෝජනය කළ අතර, එහි දැල රකින්නිය වූයේ ඇයයි. එනිසා මේ කරීමා යනු හොකී ක්‍රීඩාවට ලැදි බොහෝදෙනාට අමුත්තියක නොවන්නීය. පාසල් කාලයේදී තරමක විසේකාර වැඩ කළ ඇය එක්තරා අවස්ථාවක කොළඹ විශාඛා විද්‍යාලයේ නවාතැන් ගෙන සිටියේ, හොකී තරගාවලියකට සහභාගීවීම සඳහා කොළඹ පැමිණි නිසාවෙනි. එදා තිබූ විසේකාරකමට ඇය තාප්පයක් උඩ නැග තිබේ. අනෙක් ක්‍රීඩිකාවෝද ඇය අනුගමනය කළෝය. මේ සිදුවීම එවකට උසස් බාලිකාවේ විදුහල්පතිනියව සිට ඒකනායක මහත්මියගේ කන වැකුණි. එදා මේ වෙනුවෙන් විනය පරික්ෂණය සිදුකෙරෙද්දී අනෙක් හැමෝම තාප්පය උඩ නැග්ගේ නැති බව කීවද කරීමා ඇත්ත කීවාය.  


ඇත්ත කියන දේ මගේ ජීවිතයේ මුල්තැන් ගත් දෙයක්.  


ඇය අද සපථ වන්නීය. ලොකු අප්පච්චි, අම්මා, අප්පච්චි දේශපාලනයට සමීප සිටි නිසාවෙන්, ඒ ආභාසය කුඩා කල සිට ලද නිසා ඇයගේ සිහිනය වී ඇත්තේද දේශපාලනයට පැමිණීමටය. නමුත් එය ආභාශයට මිසෙක වැඩිදුර සිතා නොවීය. උසස් පෙළ සමත් වූ පසු අම්මා මේ දියණියගෙන් පැනයක් ඇසුවාය.  


‘දුව ඔයා ගණන්වලට දක්ෂ නිසා ඒ අංශයෙන් උසස් අධ්‍යාපනය කරනවාද? නැත්නම් කේටරින් සහ හොටෙල් මැනේජ්මන්ට්ද?’  

 

 

කරීමා වහා කීවේ කේටරින් සහ හොටෙල් මැනේජ්මන්ට් කියාය.  


‘බලන්න, අපි අලුත් ඉසව් සොයා යා යුතුයි, එදා මට ඒ දැක්ම තිබුණා. මම ගණිතයට දක්ෂ හොඳ ගණන්කාරියක වුණත්, මොකටද නිකං අනාගන්නෙ කියලා හිතුවා, අනාගතය ගැන හිතලයි අපි තීරණ ගන්න ඕනෑ. ඉදිරියේදී හෝටල් ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇතිවග මට දැනුණ හැඟුණ දෙයක්. ඒ නිසා එදා මම ඒ තීරණය ගත්තා. කොච්චර උපාධිධාරීන් වුණත් කාන්තාවන් බොහොමයකට දරුවන් සහ පවුල වෙනුවෙන් වැඩිකාලයක් කුස්සියෙ ගත කරන්න සිද්ධ වෙනවා.  


එලෙසින් හෝටල සහ භෝජනාගාර සේවයේ උසස් අධ්‍යාපනය ලද ඇයට පසු කලෙක ශිෂ්‍යත්වයක්ද ලබාගැනීමට හැකිවුණි. පසුව සංචාරක ​ෙහා්ටල කීපයකම සේවය කළ අතර වතාවක් මහනුවර ප්‍රකට ඉපැරණි සංචාරක හෝටලයක් වන රැජිණ හෝටලයේ (ක්වීන්ස්) ආහාරපාන අංශයේ කළමනාකාරවරිය ලෙසද ඇය සේවය ලබාදී තිබේ. එලෙසින් සේවය කර රැකියාවේ සහ ඇය සතු හැකියාවේ ඵල නෙළාදී රැකියාවෙන් සමුගන්නේ, විවාහයට සූදානම් වීම වෙනුවෙනි.  


1979 වසරේදී ආදරණීය අප්පච්චිගේ වියෝව ඇයට දරාගත නොහැකිවූ බවද ඇය සිහිපත් කළාය. රැකියාවෙන්ද ඉවත්වී ඊළඟට ඇය විවාහයට සූදානම් වූයේ පෙම් සබඳතාවයක් නිසාද? කරීමාගෙන් අපි විමසීමු.  
‘මොන ලව් එකක්ද? එකක් කියන්නම්, මම හරි ශීලාචාරව ජීවිතය ගත කළේ. අම්මා සහ අප්පච්චි ජීවිතයට උඩින් ඉරක් ගහලා තිබුණේ නම්? මම ඒ සීමාව පැනගෙන ගියේ නැහැ. ඒ නිසාම දෙයියෝ මට හොඳ දීලා තියෙනවා’  

 

අද ඇයගෙ ජීවිතය එසේ හොඳ වුවද, විවාහ ජීවිතය ඇයට ගෙනදී ඇත්තේ අතිශය කටුක මෙන්ම රුදුරු බවකි. මේ නිසාම දරු තිදෙනෙකුගේ මවක වූ ඇය විවාහ ජීවිතයට සමුදුන්නේ, දරු තිදෙනාගේ භාරකාරත්වයද ලබමිනි.  


විවාහ ජීවිතයේ දරුවෝ ලැබුණ නිසා, දරුවන් වෙනුවෙන් මම සියල්ල ඉවසා දරාගෙන හිටියා. ඒත් විවාහ ජීවිතය මට ගෙන දුන්නේ හරිම කටුක සහ වේදනාකාරී බවක්. මම ගුටිකෑවා, වෙලාවක මගේ අතක අස්ථි පවා බිඳී ගියා. බැරිම තැන තමයි මම වෙන්වුණේ. විවාහයෙන් පසුව තමයි මම එංගලන්තයෙ පදිංචියට ආවෙ. ඉතින් වැටුණ ළිඳෙන්ම ගොඩඑන්නත් එපායැ. ඒ නිසා සියලු දුක් දරාගෙන ජීවිතයට මුහුණ දුන්නා.  


විවාහයේ සුන්දරත්වය ආස්වාදය කරමින් එදා අැය එංගලන්තයට ගියේ එහි සිට යුගදිවිය ගත කිරීමටය. නමුත් දෛවය ඇයට උරුම කර දුන්නේ කටුක විවාහ දිවියකි. ඇය ඒ සියල්ල ඉවසා දරා සිටියේ ඒ මඟුල අම්මා සොයා දුන් එකක් වීම නිසාය. දරු තිදෙනාගේ වගකීමද දරාගෙන හිරු නොබසින මහා අධිරාජ්‍යයක සිට ඇයට ඇයගේ ජීවිත අධිරාජ්‍යය ගොඩනැගීමට අතිශය​ ධෛර්යසම්පන්නව කටයුතු කිරීමට ඇයට සිදු විණි.  


‘එදා ඇත්තටම මම රැවටිල්ලකටයි අසු​වුණේ. විවාහ ජීවිතේ සැප විඳින්න ගියත්, අනෙක් පාර්ශ්වයෙන් ගෙදරට ආර්ථික ශක්තියක් වුණේ නැහැ. ඒක හරියට ක්ලීන්සූට් එම්ටි ​පොකැට් වගේ. ඉතින් කීයක් හරි හම්බ කරන්න මාත් මුල් වුණා. පාසලක පිරිසිදු කරන්නියක ලෙසත් මම කටයුතු කරලා තියෙනවා. ඒ ගැන කියන්න මට ලැජ්ජා නැහැ. මොකද දරුවෝ තුන්දෙනා එක්ක ජීවිතය ගොඩනගා ගන්නයි මට ඕනෑ වුණේ. ඒ හැර වෙනත් විවාහයක් ගැන හිතුවෙ නැහැ. එහෙම කළොත්? දරුවනට සිදුවන ඉරණම ගැන මට බියක් තිබුණෙ. ඒ හැරත් මම මවක්. ආයේ විවාහයක් කියන්නෙ මහ විහිළුවක්. මවක් එසේ නොකළ යුතුමයි යන්න මගේ පුද්ගලික මතයයි.  


කරීමා එංගලන්තයේ සිට ජීවිතය හැඩකරගත් විදිය හරිම අපූරුය. අඩු ආදායම්ලාභීන් ලෙස ඇයට රජයෙන් සහන ලැබිණි. දියණිය පවුලේ වැඩිමලා වූ අතර පුතුන් දෙදෙනෙකු ඇය සතුය. එක් පුතෙකු ඉපදී ඇත්තේ අඩු වයසිනි. එනිසා එ් දරුවා හදා වඩා ගැනීමට ඇය කළ මහන්සිය දිරිය අපරිමිතය.  


මට ඉන්නෙ රත්තරන් දුවෙක්. එයා කරීමා කියලා සිංහලෙන් මගේ නම එයාගෙ අතේ කොටාගෙන. ඒ රත්තරං දුව වගේම පුතාලා දෙන්නත් හරිම හොඳයි’  


කරීමා අද එලෙසින් දරුවන් ගැන සැනසුම් සුසුම් හෙළුවද, ඒ දරුවන් මෙන්ම ඇයගේ ජීවන රාජධානිය ගොඩනගා ගැනීම වෙනුවෙන් දෙන දේ කාලා වෙන දේ දිහා බලා නොසිටියාය. අහස පොළව යා වෙන තරමට හිමවරුසා පතිත වෙද්දි, ඒ දරාගත නොහැකි ශීතාධික කාලගුණයට මුහුණදෙමින් එක්සත් රාජධානියේ සිට කරීමාගේ ලෝකය ගොඩ නගා ගැනීමට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කළාය. ඒ නිසා රැකියා කීපයක්ම වරින් වර කිරීමට ඇයට සිදුවිණි. වෙස්මිනිස්ටර්හි පාර්ලිමේන්තුවේ සූපවේදිනියක ලෙස විටෙක කටයුතු කළ ඇය, ප්‍රධාන වැඩිහිටි නිවාසයක, ප්‍රධාන සූපවේදිනිය ලෙසද කටයුතු කළාය.  


‘දෙවැනි පුතා අඩු වයසින් ලැබුණු නිසා එයා හදාවඩාගන්න ඕනෑ නිසා හෙදියක ලෙස මම පුහුණු වුණා. ඒ කියන්නෙ හෙදකමත් ඉගෙන ගත්තා’  


ඒ අනුව ඇය වරෙක හෙද රස්සාවේ නිරත වූවාය. කැපකිරීම ජීවිතයට උරුම දෙයක් මෙන්ම පැමිණි දුක් පැණි රසයෙන්ම වින්දනය කළ අැය හැරෝ පෙදෙසේ සුපර් මාකට් එකේ එවකට සේවය කරමින් සිටියාය. ඒ අැයට බාරව තිබුණේ සේවාදායකයින්ට සහාය වීමේ අංශයයි. වතාවක මේ පළාතේ එංගලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇමති මෙතැනට පැමිණියේය. ඒ සුහදකම අනුව ඇයගේ ජීවිතයේ කතාව ආ ගිය තොරතුරු දැනගත් ඇමති ඔහුගේ මහජන හමුව පවතින දින පැමිණ හමුවෙන ලෙස කියා සිටියේය. ඇයගේ දේශපාලන ගමනේ මූලාරම්භයට මග පෑදුණේ ඉන් අනතුරුවය.

  
ඇත්තටම ඇමති කෙනෙක් කිව්වාම එයා දුරස්ථ චරිතයක් නෙවෙයි. ලංකාවේ වගේ ආරක්ෂක රැකවලුන් සිය ගණනක් පිරිවරාගෙන ආරක්ෂක පෙර ගමන් රථ පිරිවරාගෙන එන අය නෙවෙයි. ඒ ඇමතිගෙ දැන හඳුනාගැනීමෙන් පසුව ලේබර් පක්ෂයට බැඳෙන්න කියලා කිව්වා. ඒක අහලා මම අසරණ වුණා. හැබැයි ඒ මිනිස්සුන්ගේ තියෙන නිහතමානීත්වය එක්ක මම මුලින්ම ලේබර් පක්ෂයට, නැත්නම් සිංහලෙන් කිව්වොත් කම්කරු පක්ෂයට බැඳී ස්වේච්ඡාවෙන්ම සේවය කරන්න පටන් ගත්තා. ඉන් පසුව තමයි එහි සාමාජිකත්වය ගත්තෙ. මම මරක්කල වූ නිසා පළාතේ වෙසෙන ඉරාන ජාතිකයිනට වගේම මුස්ලිම් අයට කතාකරන භාෂාවත්, සිංහල සහ ඉංග්‍රීසීත් දැන සිටීම නිසා ඒ කටයුතු මට වඩා පහසුවක් ගෙන දුන්නෙ.  


මොන දේශයක සිට මොන විදියට හෝ දේශපාලනය කළත්, දේශපාලන මගට ආ කෙනාට සිදුවෙන්නේ, ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටීමටය. කම්කරු පක්ෂයේ සාමාජිකත්වයද රැගෙන එලෙසින් දේශපාලනයට ආ කරීමා එයින් මදකට ඈත්ව සිටියද හිතවාදීන් ඇයට කිව්වෙ සභිකයකු ලෙස ඊළඟ ඡන්දයේදී තරග වදින්න යැයි කියාය.  


මෙහේ දේශපාලනය කියන්නෙ අසරණයින් නගා සිටුවීමට පිහිටවීමයි. බිම් මට්ටමින් මම ගෙයින් ගෙට ගොස් වැඩ කළා. 2003 දී තමයි මුලින්ම එදා ලේබර් පක්ෂයට බැඳුණේ.  


කරීමා එංගලන්තයේ දේශපාලන ස්වභාවය සහ ඇයගේ දේශපාලන ගමනේ අතීතය ගැන සිහිපත් කළේ එලෙසිනි. ප්‍රථම වතාවේදී ඇය සභික ධූරයකට ඉල්ලද්දී ඇයට විවිධ පාර්ශ්ව වෙතින් අභියෝග මෙන්ම විවිධ කෙණෙහිළිකම්වලටද මුහුණදීමට සිදුවිණි.  


තමන්ගේම අය තමයි වළ කපන්නෙ. අපේම කෙනෙක් ලංකාවේ අපේ පුංචිට එදා මේ ගැන කියලා තිබුණා. මම හරියට මහා ලොකු වරදක් කරන්න යනවා වගේ. පස්සෙ මම දිනුවාම ගිහිල්ලා එයා හමුවුණා. ඔයා කියලා තිබුණෙ මම දිනන්නෙ නැහැ කියලා. ඔන්න මම දිනලා පෙන්නුවා.  

 


කවදත් හරි කෙළින් කතා කළ කරීමා ඥාතියාට ප්‍රතිචාර දැක්වූයේ එලෙසිනි. එනයින් නොසැලී ආ ගමනේදී දෙවැනි වතාවටද හැරෝහි නගර සභික වූ ඇය පසුව උප නගරාධිපතිනිය ලෙස පත්වූවාය.  


පළාතේ ජනතාවට ප්‍රායෝගිකවම කටයුතු කරමින් ආ ගමන 2018 වෙන විට නතර වූයේ ඇය බටහිර හැරෝ පළාතේ නගරාධිපතිනිය බවට පත් කරවමිනි. එංගලන්තයට ගිය ශ්‍රී ලාංකීය කාන්තාවක් එලෙසින් එංගලන්තයේ නගර සභාවක නගරාධිපතිනිය වූ ප්‍රථම අවස්ථාව ලෙස එය සනිටුහන් කළ හැකිය. නගරාධිපතිනිය ලෙස වැඩසටහන් හයසීයයකට පමණ දායකවෙමින් ඇයගේ කාර්යභාරය ඉටු කිරීමට දැන් ඇයට සිදුව තිබේ. එය ඇය අකුරටම කරන්නේ යැයි පවසන්නේ ඒ පළාතේ මිනිස්සුය.  


‘නගරාධිපතිනිය වූ නිසා ඔබට හොඳ වැටුපක් එහෙමත් ලැබෙනවා ඇති නේද?’ අපි විමසීමු.  


ඒක දීමනාවක්. ඒවා අපට අයිති නැහැ. ඒවා තියෙන්නෙ මිනිස්සුන්ට උදව් කරන්න. එහෙම නැතුව අපට ජොලි කරන්න නෙවෙයි. ඕනෑ නම් ටොෆියක් චොකලට් එකක් කන්න පුළුවනි. එකම දේ අද මේ නිසා හෙදියක ලෙස කටයුතු කිරීමේ කාලය මට අල්ප වෙලා. මම ජීවත් වන්නෙ මම කරන හෙද රස්සාවෙන්.  


කරීමා මරික්කාර් නමැති අභියෝග ජයගත් දිරිය ගැහැනියගේ සැබෑ කතාවේ හැඩතල එලෙසින් දිගහැරී අප අවසන ඇයගෙන් විමසුවේ ‘අද ඔබට මොකද හිතෙන්නෙ’ යනුවෙනි?  


‘පුදුමයි, ඇත්තටම පුදුමයි. හැබැයි මේ කිසිවක් නිසා මට ආඩම්බර වෙන්න දෙයක් නැහැ. මේ විදියට නගරාධිපතිනියකවීම මට අරුමයකුත් නෙවෙයි. මම හොඳ මා පිය යුවළකට ​ෙහාඳ මානවවාදී පවුලකට අයත් කෙනෙක්.  


ජීවිතයේ එන දේට මුහුණ දුන්නා. මහන්සිවුණා. වෙහෙස නොබලා කටයුතු කළා. කැපවුණා. අවංක වුණා. සත්‍යගරුකව සහ විනයගරුකව කටයුතු කළා. මගේ දරුවෝ තුන්දෙනාගෙ ගුණයහපත්කම මේ ඔක්කෝටම වඩා මට වටිනවා. මම එයාලට කියලා දුන්නෙත් අපේකම සහ ගුණවත් බවයි. සහතිකෙන්ම සමාජ සේවයට අමතරව මම වඩා සතුටුවෙන්නේ වඩා ගුණයහපත් දරු තිදෙනෙකුගේ මවක නිසයි’  


කරීමා වඩා හැඟුම්බරව ජයග්‍රාහී මවක ලෙස එලෙස පවසන්නීය.  


ඉතින් ඇයට ඒ සතුට හැර ජීවිතයේ තව වෙනත් මොනවද අවශ්‍ය?  

 

 

 

 

සටහන සඳුන් ගමගේ