ලක්ෂ 77 කොල්ලයේ සැකකරුවන් අල්ලයි


 

 

වත්තල ප්‍ර​ෙද්ශයේ ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් වෙළඳසලකට අයත් රුපියල් හැත්තෑහත් ලක්ෂ අසූ දහසක (77,80,000) පමණ මුදලක් එම වෙළෙඳසලේ කඩවත ශාඛාව වෙත වෑන් රථයකින් ගෙන යද්දී කොල්ලකෑ කල්ලියේ පස් දෙනාම මේ වනවිට පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමකගේ අත්අඩංගුවට පත් වී හමාරය.  


කොල්ලය සඳහා ඔත්තුව කොල්ල කල්ලියට ලැබී ඇත්තේ වෙන කාගෙන්වත් නොව නිමි ඇඳුම් වෙළෙදසලේ වසර කිහිපයක් සේවයකර මීට මාස පහකට හයකට කලින් සේවයෙන් නෙරපා හැරි සේවකයකුගෙන්ය.   


විසි දෙහැවිරිදි වියේ පසුවන වත්තල මාබෝලේ පදිංචි හර්ෂ නමැත්තාද මුදල් කොල්ලයට අල්ලාගත් පස් දෙනාට අයත්ය.  


රෙදි සාප්පුවේ සේවකයෙක් එක්ක ඇති වෙච්ච ආරවුලකට මාව අස්කළා. මගේ තාත්තා දරුණු රෝගයකින් පීඩා විඳිනවා. (රෝගයේ නම කියයි) ඉන්ජෙක්ෂන් ගහන්න තියනවා. ඒ ඉන්ජෙක්ෂන්වලට මාසයකට රුපියල් ලක්ෂයක් යනවා. මගේ ජොබ් එක නැතිව ගියාට පස්සේ මාව තවත් අමාරුවේ වැටුණා. තාත්තාට විදින්න ඉන්ජෙක්ෂන් ගන්න සල්ලි හොයාගන්න එක මට තවත් අමාරු වුණා. ඒකයි මම මේ වැඩේට බැස්සේ. ඒත් මට හම්බවුණේ ලක්ෂ පහයි. අනිත් එවුන් හතර දෙනා ඉතිරි සල්ලි ටික වැඩියෙන් බෙද‌ාගත්තා.  


ඒ සුපිරි නිමි ඇඳුම් සාප්පුවේ හිටපු සේවකයා පොලිසියට කර ඇතැයි කියන ප්‍රකාශයයි.  


මුදල් කොල්ලයට අල්ලාගත් තවමත් හමුද‌ාවේ රාජකාරි කරන ලාන්ස් කෝප්‍රල්වරයා පොලිසියට පවසා ඇතැයි කියන්නේ තමන් අඩක් නිමකර තිබෙන නිවසේ ඉතිරි වැඩටික කර ගැනීමට මුදල් නොමැති නිසා එ් සඳහා මුදල් සොයා ගැනීමට මෙම කොල්ලයට ගියා යැයි කියාය.   


යුද හමුදාවේ සාමාන්‍ය සෙබ​ෙළක් ලෙස පුහුණුවීම ලබමින් සිටියදී අල්ලාගත් කෙනා පොලිසියට කියා ඇතැයි කියන්නේ හරි හමන් රස්සාවක් නොකරන නිසා මුදල් සොයා ගැනීමට මෙවැන්නක් කිරීමට ගියා යැයි කියාය. අනෙක් දෙදෙනාද නැති බැරිකම් නිසා මුදල් කොල්ලයට සම්බන්ධ වූ බව ​ෙපාලිසියට කියා ඇති බව දැන ගැනීමට ඇත.  


අපි මේ සැකකරුවන් පොලිසියට කර ඇතැයි කියන මේ පාපෝච්චාරණය ගැන ලිව්වේ ලක්ෂ 77 මුදල් කොල්ලය සාධාරණීකරණය කර කොල්ලකරුවන් කෙරෙහි සමාජයේ අනුකම්පාව දිනාදීමට නොවන බව නම් මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුමය.  


තාත්තාට වැලඳී ඇති රෝගයට බෙහෙත් කරන්න සල්ලි සොයා ගැනීමට හෝ නැති බැරිකම් නිසා හෝ ගිනිඅවි එල්ලකර ගින්දරක් දී අනුන්ගේ දේ කඩාවඩාගෙන පලායාම කිසිසේත් අනුමත කිරීමට නොහැකිය.   


පොලිස් විශේෂ කාර්යාංශයේ පෑලියගොඩ එ්කකයේ නිලධාරින්ට මෙම කොල්ලයට සම්බන්ධ සැක කටයුතු අයෙක් ගැන ලැබුණු ඔත්තුවක් මත ඔහු ගැන රහසිගතව සොයා බැලීමට පටන්ගෙන ඇත.  


මේ කියන පුද්ගලයා රාගම ප්‍රදේශයේ පදිංචි සූදු අන්තුවෙක් බවටද පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින්ට වැඩිදුරටත් දැනගැනීමට ලැබී ඇත.  


මොහු මළ ගෙවල්වල මුදල් ඔට්ටුවට බූරුවා ගැසීමට අනිවාර්යයෙන්ම පැමිණෙන අයෙක් බවටද ලැබුණු ඔත්තුවෙන් කියවුණ නිසා විශේෂ කාර්යාංශයේ නිලධාරින් මුදල් ඔට්ටුවට බූරුවා සූදුව පැවැත්වෙන සමහර ගෙවල්වලට ගොස් සෝදිසියෙන් සිට ඇත්තේ එකී පුද්ගලයා පැමිණෙන්නේද කියා සොයා බැලීමටය.  


රාගම ප්‍රදේශයේ පැවති අවමගුල් ගෙදරක පැවති සූදු පොළකට පැමිණි සැකකටයුතු පුද්ගලයෙක් දාහේ කොළ පවා ඔට්ටු අල්ලමින් සූදු කෙළීමේ නිරතව සිටින අන්දම ඒ අවමගුල් ගෙදර වෙස්වළාගෙන සිටි විශේෂ කාර්යාංශයේ නිලධාරින් දෙදෙනෙකුට දැක ගැනීමට ලැබී ඇත.  


මේ වෙන කිසිවෙක් නොව වත්තල සුපිරි වෙළඳසළේ මුදල් කොල්ලයට සැක කෙරෙන පුද්ගලයා බව මළ ගෙදර වෙස්වළාගෙන සිටි නිලධාරින් දෙදෙනාට තේරුම් ගැනීමට ඒ තරම් වේලාවක් ගතවූයේ නැත. අන්තිමේදී එකී පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ඔහුට කිසිවක් සිතා ගැනීමටවත් බැරි වේලාවකය.  


මොහු ජගත් නමැත්තෙකි.  
සුපිරි නිමි ඇඳුම් වෙළඳසලේ හිටපු සේවකයා හර්ෂ, හිටපු හමුදා සෙබළා රන්නේ පුෂ්පේ, මාදුරුඔය ප්‍රදේශයේ හමුදා කඳවුරක දැනටත් රාජකාරි කරන ලාන්ස් කෝප්‍රල්වරයෙක් වූ ලොකු ඉන්දික හා තණමල්විල පොඩි ඉන්දික නමැත්තෝ වෙති. පොඩි ඉන්දික නමැත්තා ජාවාරම්කාරයෙක් බව ද පොලිසියට දැන ගැනීමට ලැබී ඇත.  


සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.එල්. රවින්ද්‍ර, පොලිස් විශේෂ කාර්යංශයේ පෑලියගොඩ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගුණරත්න යන මහත්වරුන් ප්‍රධාන එම ඒකක​ දෙකේ පොලිස් කණ්ඩායම් විසිනි.  


වත්තල නිමි ඇඳුම් වෙළඳසලේ සේවයෙන් ඉවත්කළ 22 හැවිරිදි තරුණයා මීට සති දෙකක පමණ කාලයකට පෙර මාබෝලේ ප්‍රදේශයේ පැවති මුදල් ඔට්ටුවට සූදු කෙළින ස්ථානයකට ගිය අවස්ථාවේ ජගත් නමැති ඔහුගේ හිතවතෙකු මුණගැසී ඇත.  


තමා කාලයක් සේවය කළ නිමි ඇඳුම් වෙළඳසලේ සෙනසුරාදා සහ ඉරිද‌ා යන දින දෙකේ ඇඳුම් අළෙවිකර එකතුවන මුදල් ලක්ෂ ගණනක් සඳුදා දිනයේ වෑන් රථයකින් හෝ ත්‍රිරෝද රථයකින් කිසිම ආරක්ෂාවක් නොමැතිව කඩවතට රැගෙන යන බව හර්ෂ නමැති ඔහුගේ හිතවතාට දැනුම්දී එම මුදල් කොල්ලකෑමට යෝජනාකර තිබේ.   


මිතුරා ගෙනා යෝජනාවට එකඟ වූ ජගත් ඔහුගේ තවත් මිතුරන් තිදෙනකුට දුරකථනයෙන් කතාකර මේ ගැන දැනුම් දී ඔවුන්ද මේ සඳහා කැමතිකරවාගෙන ඇත.  


මාතර ප්‍රදේශයේ හෝටලයක අයිතිකරුවකු වන ජගත් නමැත්තාගේ මිතුරෙකු සොයාගෙන ගොස් තිබේ.  


මිතුරන් පිරිසක් කැටිව ඇමතිවරයකු මුණගැසීමට ගොස් එම මිතුරන්ට රැකියා සොයා ගැනීමට යාමට කුලී පදනම මත කාර් රථයක් සොයාදෙන ලෙස ජගත් නමැත්තා හෝටල් අයිතිකරුගෙන් ඉල්ලීමක් කර ඇතැයි පැවසේ.  

 


​හෝටල් අයිතිකරු ඒ අනුව කුලී පදනම මත වාහන සපයන ආයතනයකින් කාර් රථයක් ලබාගෙන එය ජගත් නමැත්තාගේ අතට පත්කිරීමෙන් පසු ඔහු එම මෝටර් රථයෙන් තණමල්විලට ගොස් ඔහුගේ මිතුරන්වන පුෂ්පේ, පොඩි ඉන්දික, ලොකු ඉන්දික නමැත්තන් ද එම කාර් රථයෙන් තලවතුගොඩ ප්‍රදේශයට ඉකුත් 26 වැනිද‌ා අලුයම් කාලයේ පැමිණ ඇත්තේ ටී-56 අවි දෙකක්ද රැගෙන බව පොලිස් පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය විණි.  


තලවතුගොඩ ප්‍රදේශයේ ගරාජයකට හොර රහසේ ඇතුළු වී එම ගරාජයේ ගාල්කර තිබූ වෑන් රථයක සවිකර තිබූ අංක තහඩු දෙක ගලවාගෙන කඩුවෙල ප්‍රදේශයේ පොල් වත්තකට පැමිණ එහිදී කුලි පදනම මත ඉල්ලාගෙන ආ කාර් රථයේ අංක තහඩු දෙක ගලවා ඒ වෙනුවට වෑන් රථයෙන් ගලවාගෙන ආ අංක තහඩු දෙක සවිකරගෙන වත්තල ප්‍රදේශයට පැමිණ හර්ෂ නමැත්තා ද කාර් රථයට ගොඩකර ගෙන ඇත.  


පසුව පස් දෙනාම වත්තල පිහිටි ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් වෙළඳසලට නුදුරින් කාර් රථය නවතාගෙන එහි මුදල් රැගෙන යන වාහනය එනතෙක් රැඳී සිට තිබේ.  


මුදල් රැගෙන වෑන් රථය වෙළඳසලෙන් පිටතට පැමිණි පසු සැකකරුවන් පස්දෙනා එම වෑන් රථය පසුපස ගොස් රාගම - කඩවත පාරේ බැසිලිකා විදුහලට නුදුරේදී මුදල් කොල්ලකාගෙන පලාගොස් තිබිණි යැයි පොලිසිය පවසයි.


කඩුවෙල ප්‍රදේශයේ පොල්වත්තට යළිත් ගිය කොල්ල කල්ලියේ පස්දෙනා එහිදී මුදල් බෙද‌ාගෙන ඇති අතර ඔත්තුව ලබාදීම වෙනුවෙන් හර්ෂ නමැත්තාට ලක්ෂ 05 ක පමණ මුදලක් ලබා දී ඇත.   


සෙසු සැකකරුවන් තිදෙනකුට ලක්ෂ 14 බැගින් ලබාදී සැකකාර ලාන්ස් කොප්‍රල්වරයා ඔහුට කොල්ලයට හවුල්වීම වෙනුවෙන් ලැබුණු ලක්ෂ 14 මුදලට අමතරව තවත් ලක්ෂ 14 ක මුදලක් ලබාගෙන අැතැයි කියති.  


කොල්ලයට යාමට ටී-56 ස්වයංක්‍රීය ගිනිඅවි දෙක සැපයීම වෙනුවෙන් එම ලක්ෂ 14 ලාන්ස් කෝප්‍රල්වරයා ලබාගෙන තිබේ.  


මුදල් කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනාගෙන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී මෙම තොරතුරු සියල්ල අනාවරණයකර ගත් බවද පොලිසිය කියයි.  


පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් මත බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර සහ කැලණිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරි උපාලි ජයසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීම යට​ෙත් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.එල්. රවීන්ද්‍ර, පොලිස් විශේෂ කාර්යංශයේ පෑලියගොඩ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් කරුණාරත්න, පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකකයේ උපපොලිස් පරීක්ෂකවරුන් වන මනෝජ් සංජය සහ සමීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන් ධර්මසිරි (33560) යන මහත්වරුන් ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සැකකරුවන් රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.  


පොලිස් කොස්තාපල්වරුන් වන සෝමසිරි (14668), බණ්ඩාර (53253), ජයසිංහ (67698), දේදුනු (73099) සහ රොෂාන් (80519) යන මහත්වරුන්ද මෙම පරීක්ෂණවලට හවුල්වී ඇත.  


කොල්ලයට යාමට යොද‌ාගත් වෑන්රථය මුදල් කොල්ලකෑමට ගෙනගිය ටී-56 ස්වයංක්‍රීය ගිනිඅවි දෙක සහ කොල්ලකෑ මුදල්වලින් 41,50,000 ක පමණ මුදලක්ද පොලිසිය සොයාගෙන තිබිණි.  


ඉතිරි මුදල් සොයා ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.  


මුදල් කොල්ලයට ගෙනගිය ටී-56 අවි දෙක සොයාගෙන පැමිණ ඇත්තේ සැකකාර ලාන්ස් කෝප්‍රල්වරයා විසින් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත.  


ඔහුට ටී-56 අවි දෙක ලබාදුන් හිටපු හමුදා සෙබළෙකු අල්ලා ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.  


නින්ජා ක්‍රමයට ඇඳුම් හැඳගෙන පැමිණි කණ්ඩායමක් මුදල් ගෙන යමින් තිබූ වෑන් රථයේ රෝදවලට වෙඩිතබා මුදල් කොල්ලකාගෙන පලා ගොස් තිබුණේ ඉකුත් 26 වැනිදා මහ දහවල් රාගම - කඩවත පාරේ බැසිලිකා විදුහලට නුදුරේදීය.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය