ලංකාවේ ව්‍යාපෘතිවල දහඩිය හෙළන චීන ශ්‍රමිකයෝ


විදේශයන්ගෙන් මෙරටට ශ්‍රමිකයන් පැමිණ සේවය කිරීම යටත් විජිත යුගය තෙක් දිවයන්නකි. මෙරට ක්‍රියාත්මක වූ දැවැන්ත සංවර්ධන ක්‍රමවල සේවයට විදේශයන්ගෙන් විද්වත් තාක්ෂණික ශ්‍රමිකයින් මෙන්ම නුපුහුණු ශ්‍රමිකයින් ද යොදා ගනු දක්නට ලැබුණි.   


මෑතකාලීනව මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය මෙන්ම මහාමාර්ග සහ පාලම් ඉදිකිරීම්වලදී ද අපට මෙම ශ්‍රමිකයින් දැක ගත හැකි විය. කොළඹ ඉදි වූ නෙළුම් පොකුණ රඟහල, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ ආදිය ඉදිකිරීමේදී පැහැදිලිව දැක ගත හැකි වූ ශ්‍රම බළකායක් වූයේ චීන ජාතික තාක්ෂණ ශිල්පීන් මෙන්ම ශ්‍රමිකයින්ය.   


මේ චීන ශ්‍රමිකයින් පෙන්වන්නේ මැදි ආදායම් රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙන ශ්‍රම හිඟයේ එක් පැතිකඩක් දැයි දැන් ප්‍රශ්නාර්ථයකි. රටේ දේශීය ශ්‍රම බළකායේ සියයට දහයක් මෙරටින් විදේශයන්ට ඇදී ගොස් ඇත්තේ විදෙස් රැකියා සඳහාය. විදේශීය ආයෝජන මත රටේ ආර්ථිකය ප්‍රාසාරණය වෙනවිට බිහිවන අලුත් කර්මාන්ත, ව්‍යාපාර ව්‍යාපෘතිවලට අවශ්‍ය ශ්‍රම බළකාය හිඟකමින් සම්ප්‍රදායික කර්මාන්ත සහ කෘෂි කර්මාන්තය දැවැන්ත අර්බුදයකට මුහුණ පා සිටී. නැඟෙනහිර පළාතේ කුඹුරු අස්වැද්දීමට වී ගොවිතැනට අවශ්‍ය ගොවීන් නැතිකමින් ඉන්දියාවෙන් ගොවීන් පැමිණ සේවයේ යෙදෙන බව වාර්තා වූයේ නැඟෙනහිර මෙරට පළාත් අතුරින් වැඩිම පිරිසක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති නිසා විය යුතුය.   


මෙරට වැසියන් රැකියා සොයා මැදපෙරදිග, ඉතාලිය, ජපානය, කොරියාව වැනි රටවලට යන්නේ ඒවායේ සමෘද්ධිය ගැන සිතා විය යුතුය. විදේශයන්හි වැඩ කරන්නට ශ්‍රම හිඟයට අපේ ඇත්තන් රට පටවත්දී චීන, කොරියන් මෙන්ම ඉන්දියන් ශ්‍රමිකයින් ද රැකියා සොයා මෙරටට පැමිණ සිටිති.   


අප මෙම ලිපියෙන් විශේෂයෙන් අවධානය යොමු කරන්නේ ලංකා​ෙව් ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතික ශ්‍රමිකයින් ගැනය.   


චීනය ගැන කියන විට ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතා නිල වශයෙන් ආරම්භ වූ අයුරු සඳහන් නොකළහොත් එය බලවත් අඩුපාඩුවකි.   


1956 දී බණ්ඩාරනායක මහතාගේ ජයග්‍රහණයත් සමග අන්තර්ජාතික වශයෙන් ඇති වූයේ විශාල පෙරළියකි. එ​ෙතක් කොමියුනිස්ට් රටවල් ලෙස කොන් කර තිබූ සෝවියට් රුසියාවත්, චීනයත් සමග තානාපති සබඳතා ඇති වෙන්නේ බණ්ඩාරනායක යුගයේදීය. ලංකා ඉතිහාසයේ කොමියුනිස්ට් රටකට යවනු ලැබූ ප්‍රථම තානාපතිවරයා වූයේ විල්මට් ඒ. පෙරේරා මහතාය. මීට වසර හැටකට පෙර 1957 මාර්තු 11 වැනිදා විල්මට් ඇතුළු දූත පිරිස “වික්ටෝරියා” නැවට නැග්ගේ කොළඹ වරායෙනි. පිරිසගේ ගමනාන්තය වූයේ චීනයයි. විල්මට්ගේ තනතුර හැඳින්වූයේ පීකිං නුවර ලංකා තානාපති ධුරයයි. විල්මට් ඒ. පෙරේරාගේ පෞද්ගලික ලේකම්වරයා වූයේ ලයනල් ප්‍රනාන්දුය. තානාපති කාර්යාලයේ ප්‍රවෘත්ති නිලධාරියා ලෙස ගුණදාස ලියනගේ නොහොත් මගේ පියාව විදේශ කටයුතු පිළිබඳව අමාත්‍යාංශයට නිර්දේශ කරන ලද්දේ විල්මට් ඒ. පෙරේරා විසින්මය.   

 

 

ඇමෙරිකාවේ ඇති ශ්‍රම බළකායට සාපේක්ෂව චීනයට ඊට වඩා හය ගුණයක ශ්‍රම බළකායක් ඇති බව දත්තවල සඳහන්ය. චීනය කවදාවත් කාර්මීකකරණය සහ රැකියා වෙළඳපොළ හීනවී යාම ආර්ථික බිඳ වැටීමක් ලෙස නිර්වචනය කළේ නැත. ඔවුන් එය සැලකුවේ දැවැන්ත ආර්ථික සංවර්ධනයක නව අඩිතාලමක් ලෙසය. රටක් සශ්‍රීක වෙනවිට කර්මාන්ත සඳහා අවශ්‍ය වන්නේ ශ්‍රමිකයින් අතලොස්සකි. චීන වැසියා ක්‍රමයෙන් ධනවත් වෙත් දී ඔවුන් සිය ආදායමෙන් වැඩි කොටසක් විවේකය, විනෝද ගමන්, සෞඛ්‍ය හා අධ්‍යාපනයට වැය කරති. ලංකාවේ චීන ආයෝජන තුළ පැහැදිලිව ශ්‍රමිකයින් වෙනුවට යන්ත්‍ර භාවිතය දැක ගත හැකිය. ලංකාව තුළ චීන ශ්‍රමිකයින් කුඩා පිරිසකින් ආයෝජන ව්‍යාපෘති තුළ ප්‍රබල පිරිවැටුමක් ලැබිය හැකි බව චීන අයෝජකයින් දනී. මේ චීන ශ්‍රමිකයින් කම්මැලිකම කියා එකක් දන්නේවත් නැහැ. ඔවුනට කෑම පැයක් නැත. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) ප්‍රමිතීන්ට අනුව වෘත්තියේ අයිතිවාසිකම් ඉල්ලන්නට මේ ‘චීනුන්’ යන්නේ නැත.   


චීන ව්‍යාපෘතියකින් වැඩි වැටුප් ඉල්ලා ‘වර්ජනයක්’ ගැන එදා මෙදාතුර අසන්නට නැත්තේ මේ නිසා විය යුතුය. චීන ආයෝජකයින්ට මේ තම මව් රටේ ශ්‍රමිකයින් වඩාත් ඵලදායීතාවයෙන් යුතු නිපැයුම් ඵලදායීතාව උපරිමයටම ලබා දෙන විශ්වකර්ම යන්ත්‍ර බව කිවහොත් වඩාත් නිවැරදිය. මේ චීන ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වය ප්‍රවේග වෙමින් පවතින්නේ මේ නිසාම විය යුතුය.   


ලංකාවේ චීන ශ්‍රමිකයින් ගැන විමර්ශනය කරන විට පැහැදිලිවම පෙනී යන කරුණක් නම් මාක්ස් සහ එංගල්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයේ දී සඳහන් කරන කම්කරුවා වෙනුවට අද සිටින්නේ හාත්පසින්ම වෙනස් චීන කම්කරුවකු බවය. වැඩ කිරීමේදී අපේ රටේ පිළිගත යුතු මූලික අයිතිවාසිකම් දෙකකි. ඉන් පළමුවැන්න ජීවත් වීමේ අයිතියයි. අනෙක වැඩ කිරීමේ අයිතියයි. නමුත් අපේ රටේ තවමත් මේවා මූලික අයිතිවාසිකම් ලෙස නොසලකා හැර තිබේ. වැඩ කිරීමට ඇති අයිතිය මූලික අයිතියක් විය යුත්තේ එමගින් රැකියා සුරක්ෂිතභාවය සැලසෙන බවට ජගත් කම්කරු සංවිධාන ප්‍රමිතියේ මිනුම් දණ්ඩක් ඇති නිසාය.   


චීන ජාතික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් ගැන විමසත්දී අපේ මතයට එන්නේ ‘කම්කරු ප්‍රඥප්තියයි’. අපේ කම්කරු ප්‍රඥප්තිය ඉදිරියට ආවේම නැත. එයට පැවති ආණ්ඩුවෙන්ම එල්ල වූයේ රැවුම් ගෙරවුම්ය. එහෙත් මේ චීන ශ්‍රමිකයින්ට අපේ ශ්‍රමිකයින්ට වඩා අයිතිවාසිකම් චීන කොමියුනිස්ට් ආණ්ඩුව ලබා දුන්නේ වසර 68කට පෙරදීය. වැඩ කිරීම මූලික අයිතිවාසිකමක් ලෙස 1949 විප්ලවයෙන් පසු චීනය ගත් ඓතිහාසික තීන්දුවක් විය.   


චීනය විසින් ගනු ලැබූ මේ නව පියවර ඇමෙරිකාව හා ජපානය වැනි රටවල විමතියට හේතු විය. මේ නව පියවර මගින් කිසියම් ව්‍යාපාරික අවශ්‍යතාවක් හෝ විනයානුකූල හේතුවක් මත සේවකයකු ඉවත් කරන්නේ නම් එසේ සේවයෙන් ඉවත් කළ දින සිට නැවත රැකියාවක් ලබා ගන්නා දින දක්වා වැටුප් ගෙවීමට අදාළ සමාගමට බැඳීමක් ඇති කරන ලදී. පැහැදිලි ලෙස කිව හැක්කේ මේ ලංකාවේ චීන ශ්‍රමිකයින් ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ (BOI) ශ්‍රමිකයින්ටත් වඩා අයිතිවාසිකම් සඳහා උරුමකම් කියන බවය. ලංකාවේ කම්කරු නීතිය තම නීතිය බවට පත් කර ගන්නට BOI එක කිසිදු වගන්තියකට අත්සන් කොට නැත.   


අා​ෙයා්ජන මණ්ඩලය වෙනමම කම්කරු නීති පද්ධතියක් පනවා ගෙන ඇති අතර ඒවා පොතටම සීමා වී තිබේ. එම නීති භාවිතා වූ බවට හෙළිදරව්වක් ද නැත.  

 
අතීතයේ නම් රටකින් රටකට ශ්‍රමිකයන් ආගමනය වූයේ වහල් සේවයටය. අප්‍රිකාවේ සිට ඇමෙරිකාවට රැගෙන යන ලද වහලුන් වෙළඳපොළේ විකිණී ගියේය. අපේ ගෘහ සේවිකාවෝ තවමත් මැදපෙරදිග රටවල වෙන්දේසි වූ අවස්ථා ගැන වාර්තා වෙමින් පවතී. වහල් සේවය සහ ‘චීන ශ්‍රමිකයින්ගේ’ ලංකා ආගමනය වෙනස් වෙන්නේ මෙන්න මෙතැනදීය. විවිධ ඉදිකිරීම් අංගන කීපයක කරක් ගසා මේ “චීනුන්”ගේ ගති පැවතුම් සොයා බැලීමට අප අමතක කළේ නැත.   


අප මුලින්ම ගියේ පිළියන්දල ප්‍රදේශයේ චීන ජාතිකයින්ගේ නවාතැනකටය. අප එහි කැඳවාගෙන ගියේ ඉදිකිරීම් වැඩබිම්වලට සේවකයින් සපයන මෑන් පවර් සර්විස් එකක් පවත්වාගෙන යන මිතුරකු විසිනි. චීන ජාතිකයින්ගේ නවාතැනට ඇතුළු වන මිදුල පුරා වවා තිබුණේ කංකුංය. එය නිවසට ඇතුළු වීමට නොහැකි තරමේ ‘මුත්‍රා’ ගඳෙන් යුතු විය. මුත්‍රා ගඳට හේතුව චීන ජාතිකයාගෙන් විමසා සිටි විට ‘චීන කැඩුන භාෂාවෙන් කිව්වේ කංකුං සඳහා හොඳ පෝර ‘මිනිස් මුත්‍රා’ බවය. එමෙන්ම එම මුත්‍රාවල ප්‍රෝටීන් බහුල බව ද චීන ජාතිකයින්ගේ අදහස විය.   


මේ චීන ජාතිකයින් බොහොමයක් චීනයේ සිරකරුවන් බව අපට පෙනී ගිය කරුණකි. චීන ශ්‍රමිකයින් සේවය කරන සංවර්ධන ව්‍යාපෘති බොහෝමයක් නිරීක්ෂණයේදී අපට පෙනී ගියේ උපතින් සුදු පැහැති හමකට හිමිකම් කියනා මේ චීන ජාතිකයන්ගේ ලංකාවේ දැඩි අව් රශ්මිය වැටෙත්දී කෙමෙන් රත් පැහැයට හැරෙන බවය. ඔවුන් ඇතැමුන්ට මේ ගිනිකාස්ටක අව්ව නිසා කුඩා කළු පැහැති බිබිලි හට ගෙන තිබුණි. චීනුන් නවාතැන් ගෙන සිටි කිසිම තැනක ඔවුන් ආගමක් අදහන බවට කිසිදු ආගමික සංකේතයක් නොවීම විශේෂ ලක්ෂණයක් විය.   


​ෙම් චීන ජාතිකයින් පැමිණ සිටින්නේ ආගන්තුක රටකටය. මෙරට සංස්කෘතිය, සිරිත් විරිත්, ආහාර පානවලටත් වඩා මෙරට දේශගුණයට මොවුන් අනුගත වූයේ කෙසේ දැයි අපට දැන ගත යුතුවිය. චීන ජාතිකයකු අප සමග කියා සිටියේ මුල් කාලීනව විවිධාකාර ගැටලුවලට තමන් මුහුණ දුන් බවය. වෙනත් සමාජ ක්‍රමයකට අනුගතවෙන්නට ඔවුන් දැඩි වෙහෙසක් ගෙන ඇති බව නම් නොකියා බැරියි. මොවුන් සමග කතාබහට ඇති ප්‍රධාන ප්‍රශ්නය භාෂා ප්‍රශ්නයයි. මීට දෙවසරකට පමණ පෙර හොරණ සිට නාරගල හරහා දිවෙන මාර්ගයේ චීන අයෝජනයක් මත කෙරෙන ව්‍යාපෘතියක් ක්‍රියාත්මකව පැවතිණි.  

 
ලියුම්කරු එහි ගියේ ඝාතනයට ලක් වූ පුවත්පත් කලාවේදියකු වූ කිත්සිරි සමරනායකගේ සොයුරා හමුවීමටය. ව්‍යාපෘතිය නිරීක්ෂණයට ආ චීන ඉංජිනේරුවාට වූ ප්‍රධාන ප්‍රශ්නය මේ ව්‍යාපෘතියට මහජන අදහස් විමසීමට සිංහල භාෂාව නොදැනීමයි. චීනාගේ උදව්වට ආවේ කිත්සිරිගේ සොහොයුරාය. භාෂා කිහිපයක් දත් ඔහු චතුර ලෙස චීන භාෂාවෙන් කතා කොට ප්‍රශ්නය නිරාකරණය කර දුන්නේය. ඔහුගේ චීන භාෂා දැනුමට චීනා අන්දුන් කුන්දුන් වී ගියේය. මෙරට දශක දෙක තුනකට පෙර බොහෝ දෙනා උගැන්මට උත්සුක වූ රුසියන් භාෂාව පරයා දැන් චීන සහ කොරියන් භාෂා පන්ති නැගී එන්නේ මේ භාෂා අවශ්‍යතාවය නිසා විය යුතුය.   


අපගේ නිරීක්ෂණයට ලක් වූ ඉදිකිරීම් වැඩපළවල චීන ජාතිකයින් සඳහා වැසිකිළි පහසුකම් තිබුණේ වෙනමය. ඔවුන්ගේ ආහාර රටාව නිසා අපට ඔරොත්තු නොදෙන දුර්ගන්ධයක් පිටවීම මීට හේතුවයි. උරගයන්, බලු මස් චීන ජාතිකයින්ගේ ජනප්‍රිය ආහාරයකි.   


අප සමග කටයුතු කළ මෑන් පවර් කළමනාකරු පවසා සිටියේ මේ එක් චීන ජාතිකයකු අපගේ ශ්‍රමිකයින් දෙගුණයක පමණ කාය ශක්තියකින් යුතු බවය. දුර රටකින් පැමිණි මොවුන්ගේ රාගාශාවන් ඉතා අධික බව ද ඔහු අපට පැවසුවේය. පොදුවේ ගත් කල මේ චීන ශ්‍රමිකයන් සේවා දායකයාට ඉතා හිතවත්ය. කිසියම් වංචාවක් හෝ හොරකමක් ගැන සිංහලෙන් කතාබහක් ගැන සැක සිතුනොත් ඔවුන් කරන්නේ වහාම එම සංවාද රෙකෝඩ් කර ස්වාමියාට දීමය. ඔවුන් සමග සේවය කරන අනික් සේවකයා මැරී වැටුණත් නොබලන මොවුන් එය සලකන්නේ වෙනත් අයකුගේ රාජකාරියක් ලෙසය.   


මේ චීන ශ්‍රමිකයින් සමහරක් විවාහකය. තවත් අයට තම මව් රටේ මෙන්ම මෙරට ද පෙම්වතියන් සිටී. මේ පෙම්වතියන් බොහෝමයක් චීනයෙන් ලංකාවට ආ සමනලියන්ය.   


ලංකාව ගැන ඔබ සිතන්නේ කුමක්දැයි තරමක් ඉංග්‍රීසි දත් ශ්‍රමිකයකුගෙන් විමසා සිටියෙමි. ඔහු ලංකාව ගැන කරුණු දෙකක් කීය. සිරිලංකා හොලිඩේ කන්ට්‍රි (Holiday Country). ශ්‍රී ලංකා වෙහිකල් කන්ට්‍රි (Vehicle Country).

 

 

 

වජිර ලියනගේ