ලංකාවේ බෞද්ධයන් සිංගප්පූරුවේ හැදූ මුල්ම පන්සල


 

 

සිංගප්පූරුව අප නිරතුරුවම කතාබහට ලක් කරන රටකි. එහි ආර්ථික දියුණුව, සංවර්ධනය පමණක් නොව අපද දැන් වසර ගණනාවක සිටම උත්සාහ කරන්​නේ සිංගප්පූරු තත්ත්වයට ඒමටය.   


එහෙත් කාලයකට ඉහත සිංගප්පූරුව ශ්‍රී ලංකා​වක් වීමට උත්සාහ දැරූ බව ප්‍රකට කතාවකි.   


සිංගප්පූරුවේ ජනගහනයෙන් සියයට තිස්තුනකට කිට්ටු ප්‍රමාණයක් බෞද්ධයෝය. ඒ නිසා සිංගප්පූරුවේ බොහෝ ස්ථානවල බෞද්ධ වෙහෙර විහාර ආයතන දක්නට ලැබෙයි. එහෙත් මේ අතරින් ​ථේරවාදී බුදුදහම හා බැඳුණු විහාරස්ථාන ඇත්තේ කිහිපයකි. අනෙක් බොහෝ විහාර මහායාන, වජ්‍රයාන හා බැඳුණු විහාරය.   
මෙයිනුත් ශ්‍රී ලංකාවේ ථේරවාදී බුදුදහම හා බැඳුණු විහාර අතර මුල් තැන ගන්නේ ශ්‍රී ලංකාරාමය හා මංගල මහා විහාරය ඇතුළු කිහිපයකි. ඒ හැරුණු විට බුරුම විහාර හා තායිලන්ත විහාර කිහිපයකද ථේ‍රවාදී බුදු දහම අනුව කටයුතු කෙරෙයි.   


ඇතැම් තායිලන්ත හා බුරුම බෞද්ධ විහාරයක ථේ‍රවාදී බුදුදහම හා බැඳාුණු වතාවත් කෙරුණද චාරිත්‍ර වාරිත්‍ර ශ්‍රී ලංකාවට වඩා වෙනස්ය.   


ඒවායේ ඒ රටටම අනන්‍ය වූ උත්සව ආදිය වෙයි.   


කරුණාවේ දෙවඟන ඇදහීම වැනි චාරිත්‍රද ආශීර්වාද කිරීමේ වෙනස්කම්ද දැක ගත හැකිය.   

 

 

මේ අතරින් ථේ‍රවාදී බුදු දහම අනුව ශ්‍රී ලාංකික අනන්‍යතාව රැකෙන අයුරින් වත් පිළිවෙත් පූජා විධි කෙරෙන ශ්‍රී ලංකාරා​මයේ සුවිශේෂත්වය වන්නේ එය ශ්‍රී ලංකේය බෞද්ධයන් විසින් සිංගප්පූරුවේ ඉදිකරණ ලද ප්‍රථම විහාරයවීමයි. 

 
අක්කර දෙකක පමණ භූමි භාගයක් පුරා විහිදී ගිය ශ්‍රී ලංකාරාමය පිහිටා ඇත්තේ සිංගප්පූරුවේ ශාන්ත මයිකල් පාරේය. සිංගප්පුරුව නිදහස් රටක් වීමට පෙර සිටම ශ්‍රී ලාංකිකයෝ එහි පදිංචිවී විවිධ ව්‍යාපාරවල නිරතවූහ. ඇතැම්හු වරින් වර සිංගප්පූරුවට යාත්‍රා කරමින් වෙළෙඳ කටයුතු කරගෙන ගියහ. ඇතැමුන් පවසන්නේ බොහෝ විට ස්වර්ණාභරණ කර්මාන්තයට ඈත අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව සිටි බවයි. 

 
එකල මලයාවේ (දැන් මැලේසියාවේ) කොටසක් ලෙස පාලනය වූ සිංගප්පූරුව බ්‍රිතාන්‍යය අණසක යටතේ පැවතිණ. 1941 දෙවැනි ලෝක යුද්ධයේදී ජපනුන්ගේ ඉලක්කයක් වූ සිංගප්පූරුවට බෝම්බ ප්‍රහාරද එල්ල විය. එහිදී බ්‍රිතාන්‍ය පාලකයන් පසුබා ගිය අතර වසර තුනක් පමණ එය ජපන් අණසකට යටත් විය.   
යුද්ධයෙන් මිත්‍ර සන්ධානය දිනූ පසු යළිත් බ්‍රිතාන්‍ය පාලනයට යටත් විය. මේ සියලු හැලහැප්පීම් මැද ශ්‍රී ලාංකිකයෝද තම ව්‍යාපාර කටයුතු කරගෙන ගියහ.   


එහිදී ඔවුන්ට වැඳුම් පිදුම් කරන්නට තැනක් අවශ්‍ය විය. ඒ සඳහා ඔවුහු කාමර කුලියට ගෙන එහි බුදු පිළිමයන් තබා බෞද්ධ වත් පිළිවෙත්වල නිරතවූහ.   


මුලින්ම පිහිටුවා ගනු ලැබුවේ සිංගප්පූරු සිංහල බෞද්ධ සමිතියයි. ඒ සඳහා එකල මූලිකත්වය ගත් ඒ.පී.එම්. ඩැනියෙල් අප්පුහාමි ටී. සයිමන් යන ව්‍යාපාරිකයෝ මුල් පෙළෙ සිටිති. සිංගප්පූරු සිංහල බෞද්ධ සමිතියේ ප්‍රථම සභාපතිවරයා වන්නේ ඩැනියෙල් අප්පුහාමි මහතා බව සඳහන්ය. මෙම ඇතැම් ව්‍යාපාරිකයෝ සිංගප්පූරුවේ ​‘ගෙස්ට් හවුසි’ පන්නයේ නවාතැන් පොළවල හිමිකාරයෝ වූහ.   


ශ්‍රී ලංකාරාමය ගොඩනැගෙන්නේ මේ සිංහල බෞද්ධ සමිතිය මගිනි. එක්දහස් නවසිය තිස් ගණන්වලදී ස්පොට්ස් පාක් හිද විල්කි පාරේද පසුව උට්‍රම් පාරේද වරින් වර මෙම විහාරය පවත්වාගෙන ගියහ.   
ශ්‍රී ලංකාරාමයේ ප්‍රථම විහාරාධිපති ලෙස ඉතිහාසයට එක්වන්නේ මහාවීර නායක ස්වාමින් වහන්සේය.   
1912 දි මාතර මලිඳුවේ උපන් මහාවීර හිමිගේ ගිහිනාමය වෙන්නේ උපසේනද සිල්වා ලියන ගුණවර්ධන. ප්‍රාථමික අධ්‍යාපනය නිමකළ උපසේන වයස අවුරුදු 12 දී මලිඳුවේ මහානාම නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ.   
1929 දී උන්වහන්සේ මලයාවට යාත්‍රා කළහ. මලයාවේ බ්‍රික්ෆීල්ඩ් විහාරයේ සිට ශාසනික කටයුතුවල නිරත වූ උන්වහන්සේ තායිලන්තයට වැඩම කර භාවනා අභ්‍යාස පුහුණු කිරීමට කැමැත්තෙන් සිටියද එකල සිටි බෞද්ධ සැදැහැවතුන්ගේ බලවත් ඉල්ලීම පරිදි ඒ සියල්ල හැර දමා සිංගප්පූරුවේ සිට ශාසනික මෙහෙවරෙහි යෙදුනහ.   


අවුරුදු 21 දි තායිලන්තයට වැඩම කර උපසම්පදාව ලබා ගත් එහිමියෝ 1934 දී මුල්ම විහාරය ආරම්භ කළ බව කියැවෙයි. මේ කුඩා කාමර වැදුම් පිදුම් කිරීමට ඉඩ මදි වීම නිසා උට්‍රම් පාරේ වෙනත් ගොඩනැගිල්ලක් ශ්‍රී ලංකාරාමය ලෙස යොදා ගත්හ. ඒ නිසා මහාවීර නායක හිමි ශ්‍රී ලංකාරාමයේ ප්‍රථම විහාරාධිපති ලෙස ඉතිහාසයට එක්වෙයි. 

 
1942 දී ජපන් ආක්‍රමණයෙන් පසුව බොහෝ ශ්‍රී ලාංකිකයන් සිංගප්පූරුව හැර ගියද මහාවීර හිමි දිගටම මෙහිම රැඳී සිටිමින් ශාසනික කටයුතුවල නිරත වූහ.   


උන්වහන්සේ ඉරිදා දහම් පාසල් පටන් ගැනීමට මූලිකත්වය ගත් බවද සඳහන්ය. දැනට සිංගප්පූරුවේ වැඩිම ජනගහනය වන්නේ චීන ජනයාය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 76 ක් වෙයි.   


මහාවීර හිමි සිංගප්පූරුවට වැඩමකරන කාලයේ ථේ‍රවාදී හෝ මහායාන හෝ කිසිදු බෞද්ධ පිළිවෙතක් අනුගමනය කිරීම දකින්නට නොලැබූ බව කියැවෙයි. අවමංගල්‍ය කටයුතුවලදී පවා බෞද්ධ වත් පිළිවෙත් පිළිපැදීමක් නොවින. ඒ පිළිබඳ එකල සිටි චීන ජනතාවටද උනන්දුවක් නොවීය. එහිදී උන්වහන්සේ අවමංගල්‍ය උත්සවවලට සහභාගි වී එහිදී පිළිපැදිය යුතු වත් පිළිවෙත් කියා දුන් බව සඳහන් වන්නේ මංගල විහාරයේ ලේඛන වලිනි.   


ඉන්පසුව සිංගප්පූරුවේ බොහෝ බෞද්ධ විහාරවල බෞද්ධ සිරිත් විරිත් පිළිපැදීම සිදු වූ බව කියැවේ.   
උට්‍රම් පාරේ ශ්‍රී ලංකාරාම විහාරයේ වැඩ සිටිය උන්වහන්සේ බෞද්ධ සජ්ඣායන ක්‍රම ආදිය හඳුන්වාදුන් අතර ඒ පිළිබඳව පොතක්ද චීන භාෂාවෙන් පළකළ බව තොරතුරුවල සඳහන්වෙයි. ඒ පොත කණ්ඩායමකට සජ්ඣායන ක්‍රම ආදී විවිධ වතාවන් පිළිබඳ අධ්‍යයනය කරන්නට හැකි අයුරින් ලියා තිබේ.   
චීන අලුත් අවුරුද්ද බෞද්ධ සම්ප්‍රදාය අනුව සැමරීමට, අටසිල් සමාදන් වීමට, පොහොය දිනවල විහාරයට යෑම ආදියද උන්වහන්සේ සිංගප්පූරු බෞද්ධයන්ට පුරුදු කළහ. 

 
එකල වෙසක් දිනය නිවාඩු දිනයක් නොවීය. විවිධ බෞද්ධ නායකයන් සමග එක්වී වෙසක් පොහෝය නිවාඩු දිනයක් බවට පත් කිරීමටද උන්වහන්සේ ඇප කැප වූහ.   
එමෙන්ම වෙසක් පෝයට සිල් සමාදන්වීම සඳහා සිංගප්පූරුවේ පිරිස පෙළඹවීමද උන්වහන්සේගේ ශාසනික සේවාවකි.   


මේ අයුරින් සිංගප්පූරුවේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කළ උන්වහන්සේ 1965 දී සිංගප්පූරුවේම මංගල මහා විහාරය ආරම්භ කළහ. දෙවැනි ලෝක යුද්ධය සමයේ ශ්‍රී ලංකාවෙන් සිංගප්පූරුවට පැමිණ සෙබළුන් විශාල පිරිසක්ද ශ්‍රී ලංකාරාමය ගොඩනැගීමට දායක වූහ.   
ඒ සෙබළ පිරිස 15,000 ක් පමණ වෙතැයි කියැවේ.   


ඔවුන්ගේ පඩියෙන් මසකට සත පනහක මුදලක් විහාරයේ දියුණුව සඳහා බාරකළ බව පවසන්නේ සිංගප්පූරු සිංහල බෞද්ධ සමිතියේ හිටපු සභාපති බෙනට් මනකුලරත්න මහතාය.   
ශ්‍රී ලංකාවේ නාරද ස්වාමින් වහන්සේද ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් ශ්‍රී ලංකාවෙන් වැඩම කර රෝපණය කර ඇත. ශ්‍රී ලංකාවේ සිට පැමිණ සිටි කපිතාන් අබේසිංහ, කපිතාන් සෙනෙවිරත්න ද ජය ශ්‍රී මහා ශාඛාවක් වැඩමවා මෙහි රෝපණය කළ බව කියැවෙයි.   


මානුකුලරත්න මහතා පවසන්නේ 1949 පෙබරවාරි 24 වැනිදා මෙම බෝධි ශාඛා දෙකම ශ්‍රී ලංකාරාමයේ රෝපණය කළ බවය. අද ද අපට ශ්‍රී ලංකාරාමයට ගියවිට දැක ගත හැකි සුවිසල් බෝධීන් වහන්සේ එයයි.   
වර්තමානයේ ශාන්ත මයිකල් පාරේ ගොඩනැගුණු ශ්‍රී ලංකාරාමයේ භූමිය එකල අයත්ව තිබී ඇත්තේ චීන ජාතික බෞද්ධයකුටය.   


“ඒ කාලේ දැන්වගේ ජනාකිර්ණ නෑ. පාළු ප්‍රදේශයක්” මනුකුලරත්න මහතා පවසයි.   
ශ්‍රී ලංකාරාමයේ විහාරයට මුල්ගල තබන ලද්දේද 1949 පෙබරවාරි 24 දාමය. ඒ සිංගප්පූරු ආණ්ඩුකාර සර් ග්‍රැන්ක්ලීන් ගිබ්සන්ගේ මහතා ප්‍රධානත්වයෙනි.   


වර්තමානයේ ශ්‍රී ලංකාරාමය සිංගප්පූරුවේ ​ථේරවාදී බෞද්ධ වත් පිළිවෙත් එලෙසම සුරකිමින්, බෞද්ධ සංස්කෘතිය හා බැඳුණු උත්සව පවත්වන මධ්‍යස්ථානයකි.   
විහාරගෙය, සංඝාවාසය, ධර්මශාලාව, බෝධි වෘක්ෂය ආදී අංගවලින් සමන්විත ශ්‍රී ලංකාරාමයේ මෑතදී ඉදිකරන ලද අඩි 50ක් පමණ දිගැති සැතපෙන බුදු පිළිම වහන්සේ සුවිශේෂය. වර්තමානයේ විහාරාධිපතිධුරය හොබවන්නේ කරපුටුගල රතනානන්ද ස්වාමින් වහන්සේය.   


“අපි ශ්‍රී ලංකාරාමයේදී සෑම පෝ දිනකම ධර්ම සාකච්ඡා, ධර්ම වැඩසටහන් පවත්වනවා. ඒ හැරුණුවිට ඉරිදා දහම් පාසල් ඉංග්‍රිසියෙන් පවත්වනවා. මේ සඳහා විවිධ ජාතීන් සහභාගි වෙනවා.”    
“විහාරයෙන් සිංහල අලුත් අවුරුද්දට සංස්කෘතික උත්සවයක් පවත්වන්නේ විවිධ ජාතිකයන්ගේ සහභාගිත්වයෙන් දිනපතා පූජා ආදිය පැවැත්වෙනවා. වෙසක් පොසොන් උත්සවවලට විශේෂ ධර්ම වැඩ සටහන් පැවැත්වෙනවා.   


ඒ හැර පෝ දිනට ශීල ව්‍යාපාර පැවැත්වෙනවා.   


චීන අවුරුද්ද වෙනුවෙන් සම්ප්‍රදායානුකූලව පැයක පිරිත් සජ්ඣායනයක් චීන ජාතිකයන් වෙනුවෙන් පැවැත්වීම විශේෂයි. එහිදී එය චීන සම්ප්‍රදායට අනුව ඊට සහභාගිවන බැතිමතුන්ට කුඩා තෑගි මල්ලක් ලබා දෙනවා.   
බෞද්ධ කටයුතු හැරුණු විට සිංගප්පූරුවේ සේවය කරන පිරිසට ඉංග්‍රීසි පන්ති පැවැත්වීමත් විශේෂයි.”   
විහාරවාසී හිමියෝ පවසති.   

 

 

රොඩ්නි විදානපතිරන
ඡායාරූප - මොහාන් සමරනායක