ලංකාවේ ප්‍රථම වරට කුඩා දරුවකුට සාර්ථක අක්මා බද්ධයක්


ලංකාවේ ප්‍රථමවරට කුඩා දරුවකු වෙනුවෙන් මෙරට සිදුකළ අක්මා බද්ධ කිරීමේ සැත්කම අතිශය සාර්ථකවී ඇත. අවුරුදු නවයක් වයසැති කුඩා දියණියකට ලංකාවේ ප්‍රථමවරට අක්මා බද්ධ කිරීමක් මෙලෙස වාර්තා වෙන්නේ රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලෙනි. ඒ පසුගිය ද‌ාහතරවැනිද‌ාය. මහාචාර්ය රොහාන් සිරිවර්ධන, විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු විශේෂඥ වෛද්‍යවරු, හෙද කණ්ඩායම් උපරිම ඇපකැප වීමෙන් කළ මෙම සැත්කම, කුඩා දරුවකුට සිය මවගේම අක්මාවෙන් කොටසක් සැත්කමක් මගින් ලබා දෙමින් ජීවය දුන් ලංකාවේ ප්‍රථම අවස්ථාව ද මෙයයි.   


අවයව බද්ධ කිරීමේ සැත්කම් ලොව බොහෝ රටවල ආරම්භ වී ඇත්තේ මීට වසර ගණනකට පෙරදීය. එහෙත් ලංකාව තුළ එවැනි සැත්කම් කිරීම සම්බන්ධයෙන් තවමත් තිබෙන්නේ ළදරු අවධියකය. මන්දයත් අවශ්‍ය වූ දැනුම අතින් පරිපූර්ණ වූ වෛද්‍ය වෘත්තිකයින් මෙරට සිටියත් ඊට අවශ්‍යවන පහසුකම් සපුරාගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙරටදී කළ බොහෝ සැත්කම් සාර්ථක නොවූ බව වෛද්‍ය විශේෂඥයන්ගේ මතයයි.   


එහෙත් සාර්ථක වූ සැත්කම් ද නැතුවා ද නොවේ. මීට වසර කිහිපයකට ඉහතදී මහනුවර රෝහලේ සිදුකල ලංකාවේ පළමු හදවත් සැත්කමට බඳුන් වූ තරුණිය අදටත් නිරෝගීව ජීවත්වීම ඊට කදිම සාක්ෂියකි. ඇයට එසේ ජීවත්වීමට අවස්ථාව, වාසනාව, භාග්‍යය උද‌ාවී තිබෙන්නේ අඩුපාඩු මධ්‍යයේ පවා අපේ වෛද්‍ය ඉසිවරු පෑ පෙළහර හේතුවෙනි. මේ රාගම ශික්ෂණ රෝහලෙන් වාර්තා වූ තවත් එවැනිම පෙළහරක් පිළිබඳව රටටම කරුණු අනාවරණය කරන්නකි.   


යාපනය මුලායි ග්‍රාමයේ පදිංචි රසිකා සහ එන්. සාරංගන් මව්පියන් දෙපළගේ ක්‍රිෂානු දියණිය මෙලොව එළිය දකින්නේ 2012 වසරේදීය. සාමාන්‍ය දරුවකුමෙන් ක්‍රියාකාරකම් පෙන්වූ චූටි දියණියට නිරෝගීව ජීවත් වෙන්නට වාසනාව උද‌ාවෙන්නේ අවුරුදු එකහමාරක් පමණී. චූටි දියණියගේ සිදුවූ ශාරීරික වෙනස්වීම්, සෞඛ්‍ය තත්ත්වයන් දුර්වලවීම් මත මව ක්‍රිෂානු දියණියව වහාම රැගෙන යන්නේ යාපනය ශික්ෂණ රෝහලටය. එහිදී කළ පරීක්ෂණයන්ගෙන් දියණියගේ හදවතේ සිදුරක් සහ අක්මාව අකර්මණ්‍ය රෝගයට ගොදුරු වෙමින් පවතින බව ද වෛද්‍ය නිගමනයවී තිබිණි.   


 කාලය ඉක්මනින් ගතවිණි. කෙසේ හෝ මුදල් සපයාගෙන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී හදවත් සැත්කමට භාජනයවෙන කුඩා දියණියට ඉන්පසු මුහුණ දෙන්නට සිදුවෙන්නේ අක්මාව අකර්මණ්‍ය රෝගයටය. වෛද්‍ය නිගමනයන් අනුව අක්මාවක් බද්ධ කිරීමක් හැර ඉන් එහාට කිසිදු ප්‍රතිකාරයක් නොමැති විය. ක්‍රිෂාණු දියණිවත් කැටුව මාසකට දෙතුන් වතාවක් මහ රාත්‍රියේම බස්රථයට ගොඩවෙන රසිකා සහ සාරංගන් යාපනයේ සිට කොළමට එන්නේ මොනයම් හෝ ක්‍රමයකින් දරු පැටියාගේ ජීවිතය බේරා ගැනීමේ දැඩි සටනකට උරදෙමිනි.   


චූටි දියණියගේ ශරීරය ඉදිමීමට ලක්වෙද්දී, උදරය වතුරෙන් පිරී ඉදිරියට නෙරා එද්දී දවසින් දවස ශරීරය දුර්වලවීගෙන එද්දී දරුපැටියාගේ වේදනාවේ කඳුළු හදවතේ තද කරගෙන රසිකාත් රාසංගනුත් නිසොල්මනේ බලාගත් අත බලා සිටියේ වෙන කළ හැකි දෙයක් නොමැති නිසාවෙනි. නමුත් වෛද්‍යවරු ක්‍රිෂානු චූටි දියණියට ජීවිත බලාපොරොත්තුවක් ඇති කිරීම සඳහා ගත් උත්සාහය අත්හැර නොතිබිණි.   


වසර ගණනාවක සිට උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් වැඩිහිටි පුද්ගලයින්ගේ අක්මා බද්ධ කිරීමේ සැත්කම් සාර්ථකව කළ ද කුඩා දරුවකුට අක්මා බද්ධ කිරීමේ සැත්කමක් සිදුකිරීමේ සිහිනය මඳක් ප්‍රමාදවී තිබුණේ ඊට විදෙස්ගතව අවශ්‍ය දැනුම පුහුණුවලත් වෛද්‍යවරුන් නැවත සිය මවු රටට පැමිණෙන තෙක්ය.   


එම සිහිනය සැබෑ කරමින් පසුගියද‌ා පැය විසිහතරක කාලයක් ඇතුළත ක්‍රිෂානු පුංචි දියණියට සිය මවගේ අක්මාවෙන් ලබාගත් කොටසක් බද්ධ කිරීමට පියවර ගත්හ. දෙමාපියන් ඇයගේ ජීවිත බලාපොරොත්තු අත් හරිමින් සිටිය ද ක්‍රිෂානු පුංචි දියණිය මේ වෙනවිට සියලු අසනීප තත්ත්වයන්ගෙන් මිදී තවත් නොබෝ දිනකින් නිවෙස බලා යාමට සූද‌ානමින් සිටියි.   

 

ක්‍රිෂානු දියණිය සැත්කමට භාජනය කිරීමෙන් පසු   

 

 


අක්මා බද්ධයට ලක්වූ ක්‍රිෂානු දියණියගේ මව රසිකා මහත්මිය ඉරිද‌ා ලංකාදීප අපට කරුණු දැක්වූයේ මෙසේය.   


‘අප ජීවත්වෙන්නේ යාපනයේ මුලායි කියන ප්‍රදේශයේ. මගේ වයස අවුරුදු 38 යි. මම රැකියාවක් කරන්නේ නැහැ. මම ගෘහණියක්. මගේ සැමියා එන්. සාරංගන්. එයාට වයස අවුරුදු 39 යි. ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙක්. ක්‍රිෂානු දුවට වැඩිමල් අවුරුදු ද‌ාහතරක තව පුතෙක් ඉන්නවා. එයා සුවේරින්. මේ අවාසනාවන්ත රෝගයන්ට දුව මූණ දෙන්නේ ඉපදිලා අවුරුදු 1 1/2 කට පස්සේ. හොඳට නිරෝගීව හිටපු දරුවා එකපාරටම එන්න එන්න බ​ර අඩුවුණා. කෙට්ටු වුණා. ඒ නිසා මුලදී යාපනය ශික්ෂණ රෝහලට අරගෙන ගිහින් පෙන්නුවා. එහිදී රුධිර පරීක්ෂණ, ස්කෑන් පරීක්ෂණ ගොඩක් කළා. ඒ පරීක්ෂණවලින් පස්සේ තමයි දුවට හදවතේ සිදුරක් සහ අක්මාවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා වෛද්‍යවරු සොයා ගත්තා.   


මාස දහයක් විතර ගියාට පස්සේ යාපනය රෝහලෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරුකරලා එව්වා. එතනදී කොළඹ ආවේ දුවයි මමයි විතරයි. කොළඹ ආවට පස්සේ තමයි දුව​ගේ අක්මාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි දැනගත්තේ. ඒ වෙලාවේ අපි ගොඩක් අසරණ වුණා. දුවගේ තාත්තාට රැකියාවෙන් දවසට ලැබෙන්නේ රුපියල් 1500 ක මුදලක්. ඒ මුදලෙන් ප්‍රතිකාර කරන්න අමාරුයි. අවශ්‍ය බෙහෙත් ගන්න විදිහක් නැතුව ගොඩක් දවස්වලට අපි අන්ත අසරණ වුණා. ඊට පස්සේ රිජ්වේ රෝහලෙන් හදවත් සිදුරට ශල්‍යකර්මයක් කරන්න වෙනවා කියලා කිව්වා. ඒ ලොකු මුදල අපිට හොයාගන්නවා කියන්නේ හීනයක්. අපි ජනාධිපති අරමුදලට ලියුමක් ලිව්වා. ඒකෙන් එක්ලක්ෂ විසිපන්දහසක් ලැබුණා. කොහොම හරි සල්ලි හොයාගෙන රෑ බස් එකේ දුවවත් අරගෙන අපි කොළඹ සායනවලට ආවා. සායනවලට ඇවිල්ලා රෑ බස් එකේම ආයෙම යාපනේට ගියා.   


ඒ විදිහට මාස 6 ක් විතර කොළඹ ආවා. මුලින්ම හදවත් සැත්කම කරපු දවසෙත් රෑ බස් එකේම දුවව අරගෙන යාපනේ ගියා.   


හදවත් සැත්කම 2015 දී කළා. එතකොට දුවට අවුරුදු 5 යි. සැත්කමෙන් පස්සේ දුව සාමාන්‍ය විදිහට පාසල් වැඩකටයුතු කරගෙන ගියා. ඊට පස්සේ 2019 ඔක්තෝබර් මාසේ දුවට ඩෙංගු උණ හැදුණා. නැවත යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළා. එතනදී පරීක්ෂණ කරලා අක්මාව අකර්මණ්‍යවීම ගොඩක්ම වැඩිවෙලා කියලා කිව්වා. යාපනය රෝහලේ සායනවලට නොකඩවා ගියා. ඒ යන අතරේ 2020 පෙබරවාරිවල දුවට ආයෙම උණ හැදුණා. ඒ වෙලාවේ දුවගේ ඇස් ගොඩක් කහපාට වුණා. යාපනයෙන් නැවත රිජ්වේ ආර්යා රෝහලට කොළඹට එව්වා. එතනදී පරීක්ෂණ කරලා අවසානයේ දුවට අක්මාවක් බද්ධ කරන්නම වෙනවා කියලා වෛද්‍යවරු කිව්වා.   


ලංකාවේ මේ සඳහා දැනට පහසුකම් නැතිනිසා අක්මා බද්ධ කිරීම කරන්න ඉන්දියාවට ගෙනියන්න වෙනවා කියලා දැනගන්න ලැබුණා. ඒ සඳහා ඉන්දියානු රුපියල් කෝටියක මුදලක් වැයවෙන බව අපට කිව්වා. එච්චර ලොකු මුදලක් කොහෙන් හොයන්න ද? මේ දරුවව දවසක් හරි ජීවත් කරවන්න අපේ කුසට ආහාර නොගෙන හැමදේම කළේ. සල්ලි හොයාගන්න අමාරු වුණ නිසා අපේ සියලු බලාපොරොත්තු නැතිවුණා. දරුවගේ ජීවිතේ බලාපොරොත්තුව පවා නැතිවෙලා ගියා.   


බලා ඉන්න බැරිම තැන යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කුෂ්යන්තන් සහ වෛද්‍ය අරුල්මෝලි වෛද්‍යවරුන් මුණ ගැහුණා. ඒ වෙලාවේදී රාගම රෝහලේ මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතාව සහ විශේෂඥ වෛද්‍ය මෙරන්ති මහත්මියව සම්බන්ධ කර දුන්නා. ඒ දවස්වල කොරෝනා නිසා වෛද්‍යවරු එක්ක අපි සම්බන්ධතා පැවැත්වූයේ දුරකථනවලින්. රාගම රෝහලේ අක්මා බද්ධ කිරීම් සිදුකිරීමේ සුදුසුකම්ලත් වෛද්‍යවරු කණ්ඩායමක් ඉන්නවා කියලා අපි දැනගත්තේ යාපනය රෝහලෙන්.
 

ඒ වෙලාවේ දුවට මගේ අක්මාවක් දෙන්න කැමැති ද කියලා වෛද්‍යවරු ඇහුව්වම මම උඩින්ම කැමැති වුණා. මට අද ගොඩක් සන්තෝෂයි. බලාපොරොත්තු අතහැරලා හිටපු මගේ දුව අද සනීපෙන් ආරක්ෂිත කාමරයක ජීවත් වෙනවා. මගේ දරු පැටියට නැවත ජීවය ලබා දුන්නට රාගම රෝහලේ මේ වෛද්‍යවරුන්ට ජාති ජාතිත් පිං. රාගම රෝහලේ ඉන්නේ වෛද්‍යවරු නෙමෙයි දෙවිවිරු. තාමත් අපි දෙන්නව ආදරයෙන් බලාගන්නේ මේ වෛද්‍ය හෙද කණ්ඩායම.   
ළමුන්ගේ අක්මා ආශ්‍රිත රෝග සහ අක්මා බද්ධ කිරීම සම්බන්ධයෙන් විශේෂිත පුහුණුවක් ලද රාගම රෝහලේ ළමා රෝග විශේෂඥ රාගම වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය මෙරන්ති ප්‍රනාන්දු මහත්මිය ද අප වෙත මෙලෙස අදහස් දැක්වූවාය.   


පසුගිය අවරුදු දෙකක කාලයක් මම වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගිය අවස්ථාවේ එහිදී මට පොඩි දරුවන්ගේ අක්මා බද්ධ කිරීම කියන ක්ෂේත්‍රය පිළිබඳව දැනුම පුහුණුව ලබා ගන්න මට හැකියාව ලැබුණා.   


 ඒ ලබාගත් දැනුමෙන් ලංකාවට ඇවිත් ද‌ායකත්වය සහ මාලත් දැනුම ලබා දුන් පළමු සැත්කම තමයි මේ අක්මා බද්ධ කිරීම.   


ලංකාවේ මේ වෙනකොට ලොකු අයගේ අක්මා බද්ධ කිරීම් කරලා තිබුණට කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ සැත්කම් සාර්ථකවෙලා තිබුණේ නැහැ. මේ තමයි කුඩා දරුවකුගේ ශල්‍යකර්මයක් කරලා සාර්ථකවුණු පළමු අවස්ථාව.   


මුලින්ම ක්‍රිෂානු දුවට ඉතාම ඉක්මනින් අක්මා බද්ධ කිරීමක් කළ යුතුව තිබෙන බව අපට වැටහුණා. ඒ අනුව අපට යන්න තියෙන්නේ ප්‍රධාන ක්‍රමවේද දෙකයි. මියගිය අයකුගේ අක්මා කොටසක් ලබා ගැනීම හෝ දරුවාගේ ඥ‌ාතිවන පුද්ගලයකුගෙන් අක්මා කොටසක් ලබා ගැනීම. ඒ පිළිබඳව අපි ඒ දෙමාපියන් දැනුම්වත් කළා. ඉන්පසුව දියණියගේ මව ඉතාම ඉහළින් ඊට කැමැති බව අපට කිව්වා. ඒ අනුව අපි දරුවාව සහ මව හොඳින් පරික්ෂා කළා.   
අම්මාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාම හොඳ තත්ත්වයක වගේම මව හොඳ සෞඛ්‍ය තත්ත්වයක හිටියා. මවගේ හැමදේම නිසි ආකාරයට දියණියට ගැලපුණා වගේම ක්‍රිෂානු දියණියත් අක්මා බද්ධ කිරීම සුදුසු තත්ත්වයේ හිටියා. ඒ අනුව අපිට සාර්ථකව ශල්‍යකර්මයට මුහුණ දීමේ හැකියාව ලැබුණා. මේ වෙනවිට දියණිය සහ මව ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයක ඉන්නවා. තව සති දෙකක් ඔවුන්ව අපට රෝහලේම රඳවා ගන්න වෙනවා. මොකද අවශ්‍ය බෙහෙත් දෙන විදිහ පුරුදු කරලා තමයි ගෙදර යවන්නේ.   


ඇත්තටම මේක රාගම රෝහලේ කුඩා දරුවකුට අක්මා බද්ධ කිරීමක් කළ පළමු අවස්ථාව නිසා අපිට විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වුණා. අපේ කණ්ඩායමේ ඉන්නේ විවිධ රටවල වැඩ කරලා මේ සම්බන්ධව පළපුරුද්ද තියෙන අය. අපි මුලින්ම කළේ දෙමාපියන්ගේ හිතේ තියෙන බය දුරුකරලා මේ පිළිබඳ එයාල අවබෝධ කරපු එක.   


ඇත්තටම මේ ශල්‍යකර්මය අපි කළේ අවම පහසුකම්වලින්. මේකට අවශ්‍ය උපකරණ, ඖෂධ, අපිට මදි. දරුවකුගේ ශල්‍යකර්මයක් කළාට පස්සේ එයාව තියන්න විශේෂිත විෂබීජ නොයන කාමරයක් ඕනෑ. මේ දරුවා දැනට තියලා තියෙන්නේ තැලසීමියා දරුවෝ ඉන්න වාට්ටුවක විශේෂිත වූ කාමරයක. විෂබීජ නොයන විශේෂිත වූ වාට්ටුවක් රාගම ශික්ෂණ රෝහලට තියෙනව නම් ඉතාම හොඳයි වගේම ඒක අපට දැඩි අවශ්‍යතාවක්. අඩුපාඩු එක්ක විශාල අවද‌ානමක් අරගෙන තමයි අපි මේක කළේ. දැන් ශල්‍යකර්ම කරන්න විශාල මුදල් වියදම් කරගෙන පිටරට යන්න ඕන නැහැ. ලංකාවේ රාගම රෝහලේ ඊට සුදුසුකම්ලත් වෛද්‍යවරු කණ්ඩායමක් ඉන්නවා කියලා අපට ඉතාම සතුටෙන් කියන්න පුළුවන්.   

 

 


අක්මා බද්ධ කිරීමේ සැත්කමේ වෛද්‍ය කණ්ඩායමේ නියමුවා වන මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා-   


“ඇත්තටම මේ අක්මා බද්ධ කිරීම අපේ වෛද්‍ය කණ්ඩායමට විශාල අභියෝගයක් වුණා. අවම පහසුකම් යටතේ වුණත් අපි ඒ අභියෝගය භාරගන්නේ ලොකු අධිෂ්ඨානයකින්. මවගේ රුධිර සාම්පල සහ අනෙකුත් පරීක්ෂණ හැමදේම දියණියට ගැලපුණත් හදිසි අවශ්‍යතාවයකට මුහුණ දෙනන වුණොත් කියල අපි අම්මාගේ සහෝදරියකවත් මේ සඳහා ලෑස්ති කළා. සැත්කමට දවස් දෙකකට කලින් අපි ශල්‍යාගාරයම සකස් කළා. ශල්‍යකර්මය කරන දවසේ අපි පටන් ගත්තේ උදෑසන 5 ට. මම ඇතුළු මගේ සහායට හිටපු වෛද්‍ය කණ්ඩායම මුලින්ම අම්මාගේ අක්මාව එළියට ගන්න ශල්‍යකර්මය ආරම්භ කළා. අම්මාගේ අක්මාවෙන් 30% ක් ඉතා පරිස්සමට සියුම් ලෙස අරගෙන 70% අම්මාට ඉතිරි කළා. අම්මගේ ශල්‍යකර්මය සඳහා පැය 6 ක් ගතවුණා. අම්මාගේ අක්මා කොටස අරගෙන දියණියට විනාඩි 40 ඇතුළත අක්මාව අපි බද්ධ කළා. මුළු ශල්‍යකර්මයටම පැය 12 ක කාලයක් ගතවුණා. රාගම රෝහලේ පමණක් නෙමෙයි කරාපිටිය, ලේඩිරිජ්වේ, මහනුවර, හලාවත, සැම තැනකින්ම වෛද්‍යවරු අපේ කණ්ඩායමට එක්වුණ නිසා තමයි මේක මේ තරම් සාර්ථක වුණේ කියලයි මම හිතන්නේ.   


 දැනට රාගම රෝහලේ 2017 ඉඳලා 2020 දක්වා මියගිය අයගේ අවයව අරගෙන කරලා තියෙන සැත්කම් 30 කට වැඩිය සාර්ථකවෙලා තියෙනවා. දැන් අපට හොඳ දැනුමකින් පරිපූර්ණ කණ්ඩායමක් ඉන්නවා. අවශ්‍ය ශල්‍යාගාර ඖෂධ පහසුකම් සපයන්න අද‌ාළ බලධාරීන්ගේ අවධානය යොමු වෙනවනම් ඒක අපේ රටට විශාල සේවයක්.   


ආමාශ ආන්ත්‍රික ශෛල්‍ය වෛද්‍ය   
සුචින්ත තිලකරත්න මහතා-   


‘මෙම සැත්කමේ එක් කොටසකට ද‌ායක වෙන්න මට අවස්ථාව ලැබුණා. මේ සැත්කමේ විශේෂම හේතුව තමයි ශල්‍යකර්මයන් දෙකම සිද්ධ වුණේ එකම වෙලාවකදී වීම. මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා තවත් වෛද්‍යවරුන් කිහිප දෙනෙකු සමග අම්මාගේ අක්මාව එළියට ගනිද්දී ඊට එහා පැත්තෙම දරුවාගේ උදරය විවර කරන්න මම ඇතුළු අපේ වෛද්‍ය කණ්ඩායම ආරම්භ කළා. බබාගේ අක්මාව විවෘත කරද්දීත් ගොඩක් රුධිරය යන්නේ නැති වෙන්න බොහොම පරිස්සමට කරන්න ඕනෑ. රුධිරය ගියොත් හෝ බඩවැලකට හානියක් වුණොත් දරුවාට ඒක දරාගන්න අමාරුයි.   


ඊට පස්සේ අම්මාගේ ගත්ත අක්මා කොටස අක්මාවට හානියක් නොවන තරලයකට ද‌ාලා මහාචාර්යවරයා ඇතුළු අපේ වෛද්‍ය කණ්ඩායම සැත්කමේ අවසාන කොටසට ආවා. මවගෙන් ලබාගත් අක්මා කොටස දරුවාට විනාඩි ගණනක් ඇතුළත අපි බද්ධ කිරීම සිදු කළා. ඉන් පසුව දරුවාගේ පිත්ත නාළ කොටස අලුත් අක්මාවේ පිත්ත නාළ කොටසට සම්බන්ධ කළා. ඒ එක්කම අක්මාව හරහා ලේ ගමන් කරන වෙලාවේදී බබාට ටිකක් අමාරු තත්ත්වයකට ආවා. ශල්‍යකර්මය කරපු දවසෙම රාත්‍රියේ දියණියගේ රුධිර පීඩනයේ ගැටලු ඇතිවුණා. රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට ගේන්න ගොඩක් බෙහෙත් දෙන්න සිදුවුණා. ඒත් අපි බලාපොරොත්තු අතහැරියෙ නෑ. ඉතාම ඉක්මණින් ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබාදුන්නා. අක්මා බද්ධයෙන් පස්සේ අපි රුධිර පරික්ෂාවක් කරලා අක්මාවේ ක්‍රියාකාරිත්වය බැලුවා. ඒ හැමදේම සාමාන්‍ය වුණාම තමයි අපි ටිකක් හුස්ම ගත්තේ. ඊට පස්​සේ අපි වහාම දරුවාව හේමාස් පෞද්ගලික රෝහලේ දැඩිසත්කාර ඒකකයට යැව්වා. අම්මාව අපි රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයටම ඇතුල් කළා.   

 

 


ඇයි දියණියව හේමාස් රෝහලට යැව්වේ?   


සැත්කමට සතියකට විතර පෙර ශල්‍යාගාරය තුළ විෂබීජයක් පැතිර යාම හේතුවෙන් ඉන් නියුමෝනියා තත්ත්වයක් ඇතිවීමේ අවද‌ානමක් තිබුණා. ඒ නිසා අපි මෙම දියණියව හේමාස් රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත යවන්න කටයුතු සම්පාදනය කරගෙන තිබුණා. විශේෂයෙන් කියන්න ඕන හේමාස් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 7ක කාලයක් ක්‍රිෂානු දියණිය ප්‍රතිකාර ලැබුවා. ඊට අවශ්‍ය පරීක්ෂණ ඖෂධ, හෙද හෙදියන්ගේ සහාය මේ කිසිවකට එයාලා මුදල් ගත්තේ නැහැ. ඒ පිළිබඳව අපේ ස්තූති පූර්වක ගෞරවය හේමාස් රෝහලට පිරිනමනවා. ඒ වගේම මේ සැත්කම සඳහා අපට සහයෝගය ලබාදුන් රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු රෝහලේ සියලුම දෙනාට ස්තූතිය පුද කරන අතර මේ ශල්‍යකර්මය සාර්ථකර ගැනීමට සිය දැනුම, ශ්‍රමය ලබාදුන් සියලුම වෛද්‍යවරු, හෙද හෙදියන්ගේ කැපවීම අප්‍රමාණයි. මේ සැත්කම අවසන්වුණාට පස්සෙ අපේ වෛද්‍ය කණ්ඩායමේ වෛද්‍ය මෙරන්ති මහත්මිය ඒ දරුවා ළඟ දින කීපයක්ම එක දිගට රැඳී සිටිමින් ඒ දරුවා වෙනුවෙන් කැපවෙලා හිටියා. තවමත් මව සහ දියණිය වෙනුවෙන් වෛද්‍යවරු හා හෙද හෙදියන් විශාල කැපකිරීමක් කරනවා. ඒ සියලු දෙනාද ගෞරවයෙන් සිහිපත් කරනවා. 


අත්තටම මේ දියණියගේ දෙමාපියන්ට කවද‌ාවත් පිටරටකට ගිහින් මේ ශල්‍යකර්මය කරගන්න වත්කමක් නැහැ. අපි අවද‌ානමක් අරගෙන මේ සැත්කම කළේ නැත්නම් තව මාස කිහිපයකින් දරුවාගේ ජීවිතය නැතිවෙන්න පවා තිබුණා.   


විශේෂයෙන් මේ මවට පියාට කොළඹ ඇවිල්ලා ප්‍රතිකාර කරන අතරතුර නතර වෙන්න, අවශ්‍ය කෑම බීම පහසුකම් සියල්ලම ලබාදීමට ඉදිරිපත් වුණු වෛද්‍ය තාබිනා ෆූල්, වෛද්‍ය අරුනාත්, වෛද්‍ය පෝල් බ්‍රයිඩ් යන අය කළ උපකාරවලට අපි ස්තූති කරනවා


අක්මා රෝගයට ගොදුරු වූ බොහෝ දෙනාට අක්මාවක් බද්ධ කිරීම හැර​ වෙන කිසිදු  ප්‍රතිකාරයක් නැහැ. මේ සඳහා විදේශ රටකදී නම් කෝටි ගණනක් වැය වෙනවා. මුදල්  කෙසේ හෝ හොයාගෙන අපේ මිනිස්සු සතියකට දෙතුන් දෙනෙක්වත් අපේ රටින් සැත්කම්  සඳහා විදේශ රටවලට යොමු වෙනවා. අපට දැනුම තිබුණත් සම්පත් අඩුකම නිසා විශාල  ලෙස මුදල් විදේශ රටවලට ඇදෙනවා. දැන් එයට රාගම රෝහලේ අපට අවස්ථාව තිබෙනවා.  වෛද්‍යවරුන් විදිහට අපි රට ගැන සහ රටේ ජනතාවට කළ හැකි සේවය උපරිමයෙන්ම ඉටු  කරන්නට බලාපොරොත්තු වෙනවා.


රාගම රෝහලේ ඉතාම දක්ෂ මෙම වෛද්‍ය කණ්ඩායම රෝගීන් වෙනුවෙන් ඔවුනට කළ හැකි උපරිමයෙන් ප්‍රතිකාර කිරීමට ඔවුන් කිසිවිටකත් පසුබට වෙන්නේ නැත. ඉදිරියටත් ඔවුන් රටේ මිනිසුන් වෙනුවෙන් ඇපකැප වීමට සැදීපැහැදී සිටියි.  මෙම අක්මා බද්ධය කිරීමේ සැත්කම සඳහා මහාචාර්ය රොහාන් සිරිවර්ධන, ශල්‍ය වෛද්‍යවරුන් වන සුචින්ත තිලකරත්න, වෛද්‍ය අරුණ වීරසූරිය, වෛද්‍ය රුවන් දිසානායක, වෛද්‍ය ප්‍රභාත් කුමාරසිංහ. වෛද්‍ය බුද්ධික දිසානායක, වෛද්‍ය බුද්ධික ඌරගොඩ, වෛද්‍ය චානක ඒකනායක යන වෛද්‍යවරුන් වගේම නිර්වින්දන වෛද්‍යවරුන් විකිරණ ශිල්පීන් ඇතුළු හෙද හෙදියන් වෛද්‍යවරුන් 35 දෙනකුට අධික ප්‍රමාණයක් මෙම සුවිශේෂ වූ අක්මා බද්ධ කිරීමේ සැත්කමට සහභාගිවී ඇත.

 

 

නදීශා අතුකෝරළ   
ඡායාරූප - අමිල ගමගේ