ලංකාවේ ක්‍රිකට් හදන්න මේ දෙගොල්ල විතරද ඉන්නේ?


ලෝක පූජිත ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්

‘ලංකාවේ ක්‍රිකට් හරි මගට ගන්න මග’ වෙනුවෙන් ඉරිදා ලංකාදීප ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයන් සමග ගෙන එක සාකච්ඡා මාලාව සඳහා මෙවර එක්වෙන්නේ ලෝක පූජිත ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම කඩුළු ලාභියාගේ වාර්තාව දරමින් ශ්‍රී ලාංකීය අභිමානය ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ මුදුනත රැඳවූ මුත්තයියා මුරලිදරන් මාධ්‍ය සාකච්ඡා සඳහා එක් වන්නේ ඉතාමත් කලාතුරකිනි. ශ්‍රී ලාංකීය ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ ප්‍රබලතම කණ්ඩායම බවට පත් කිරීම සඳහා ලංකාවේ ක්‍රිකට් හරි මගට ගන්න මග’ ගැන අදහස් විමසීමට මුරලි යනු අතිශයින්ම අත්‍යාවශ්‍ය චරිතයකි. ඊට සාපේක්ෂව මුරලි තමුන්ට දැනෙන හැඟෙන දේ අප සාකච්ඡාව වෙනුවෙන් මුදා හලේ මෙලෙසිනි. 

 


මුරලි මේ දිනවල ඔබගේ දවස ගෙවෙන්නේ මොන විදියටද?

 

ක්‍රිකට් ක්‍රීඩා කළ කාලයේදී වගේ නොවෙයි දැන් වැඩි කාලයක් නිවසේ රැඳී කටයුතු කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අතරේ ව්‍යාපාර කටයුතු ගැනත් සොයා බලනවා. ඊටත් අමතරව ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස මගේ සේවය ලබා දෙනවා. 

 

පුහුණුකරුවකු ලෙස ඔබගේ සේවය ලබා දෙන්නේ? 


දඟ පන්දු යැවීමේ අංශයේ උපදේශක ප්‍රධානියා ලෙස බෙන්ගාලි ක්‍රිකට් සංගමය හා ගිවිසුම් ගතව ඒ සේවය ලබා දෙනවා. 


♦අපි කෙළින්ම මාතෘකාවට එමු. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මොනවද වෙලා තියෙන්​ෙන්? 


ඔබ ඒ ප්‍රශ්නය ඇසිය යුත්තේ මගෙන් නොවෙයි. මොකද මම එළියෙනෙ සිටින්නේ. ක්‍රිකට් බාර අරගෙන එය කරගෙන යන පාලකයින්ගෙන් තමයි ඒ ගැන ඔබ විමසිය යුත්තේ. 


එළියෙ සිටින මුරලිට ක්‍රිකට් පරිපාලනය සඳහා ඇතුළට එන්න ඇරයුම් ලැබුණෙ නැද්ද? මොකද ඔබ ලෝකයක් වටිනා ක්‍රීඩකයෙක්? 


ඒ ගැන මම හිතන්නෙ නැහැ. දැන් ඒ වෙනුවෙන් කමිටුවක් සිටිනවනෙ. පරිපාලනයක් තියෙනවනෙ. වසර දෙක තුනකට වතාවක් ඒ පරිපාලනය පත්වෙන්නේ ඡන්දයකින්නේ. 


අපේ ක්‍රිකට් හදන්න මුරලිත් අවශ්‍යයි. මිනිස්සු කියන්නේ එහෙම නම්? 


එහෙම කියන්නේ මිනිස්සුනෙ. ඒත් මම එහෙම හිතන්නේ නැහැ. එහෙම මාව ඕනෑම නම් ඒක මුලදි සිද්ධ වෙන්න තිබුණෙ. නමුත් දැන් කමිටුවක් පත්වී ඒ ඒ රාජකාරී ඒ ඒ කෙනාට පැවරිලා එය කරගෙන යනවනේ. එයාලා තමුන්ට පැවරිලා තියෙන වගකීම හඳුනාගෙන ඊට සාධාරණය කිරීම එයාලගෙ යුතුකමක්? 


දඟ පන්දු අංශයෙන් විස්මිත උපදෙස් ලබා දෙන්න එන්නම කියා ජනතාව ඔබගෙන් ඉල්ලීමක් කළොත්? 


ජනතාව ඉල්ලන විදියට නෙවෙයිනෙ ඒක සිද්ධ වෙන්නෙ. ක්‍රීඩා සමාජ හරහා තමයි නිලධාරීන් පත්වෙන්නෙ. ඒ ක්‍රීඩා සමාජ තමයි එයාලව පත් කරවන්නෙ. අප ජනතාවගෙ ආදරය දිනා ගත්තා කියලා ඒක ඊට අදාළ වන්නෙ නැහැ. ඇත්තටම ඒ නිලවරණ මගින් අපි වගේ අයට එන්න අමාරුයි. 


පසුගිය කාලයේ ලංකාවට තරග රැසක අමිහිරි පරාජය අත්විඳින්නට සිදුවුණා. ඇත්තටම මොකක් නිසාද එහෙම වුණේ? ඔබට හැඟිච්ච දේ කුමක්ද? 


ඇත්තටම ඒ ගැන නම් අහන්න ඕනෑ අපෙන් නෙවෙයි. එළියෙ ඉඳන් මට කිසිවක් කියන්න බැහැ. ඒ වගේ දේකට උත්තර දෙන්න ඕනෑ ක්‍රීඩාව බාර ප්‍රධානියා සහ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියයි. එළියෙ ඉඳන් අපට හිතෙන හිතෙන දේ ප්‍රකාශ කිරීම විනය ගරුක නැහැ. සත්‍යගරුකත් නැහැ. ඇතුළෙ වෙන්නේ මොනවද එයාලගෙ සැලසුම් මොනවද ඒ කිසි දෙයක් ගැන අප නොදැන ප්‍රකාශ නිකුත් කිරීම වැරදියි. 


මේ රටේ ක්‍රිකට් නැංවීමට ඔබ වැනි ප්‍රවීණයන්ගේ සේවය අත්‍යවශ්‍ය නම්? 


​ෙම් නිලවරණ පැවැත්වෙන ක්‍රමයේ වෙනසක් විය යුතුයි කිව්වොත්? 


ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථාවකට අනුව ක්‍රීඩා සමාජ හරහා ඡන්දයක් පවත්වලා තමයි ක්‍රිකට් පරිපාලනයට පිරිසක් බඳවා ගන්නේ. ඒ වෙනුවෙන්ම පිරිසක් සැදී පැහැදී සිටින බවත් අප ඉතිහාසයේ සිට දැකලා තියෙනවා. 


ඒ කියන්නේ ක්‍රිකට් පරිපාලනය සඳහා නිලධාරීන් පත්කර ගන්නා මේ ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි කියන එකද? 


අපි නිරන්තරයෙන් හොඳ දෙයක් ගැන තමයි බැලිය යුත්තේ. මේ ව්‍යවස්ථාව කොච්චර අපට හොදඳ? නරකද? කොච්චර පැරණිද ආදී වශයෙන් සසඳා බැලීම වැදගත්. අපි පුංචි රටක් වෙලත් ක්‍රිකට් ක්‍රීඩා සමාජ 160ක් විතර තිබෙනවා. (සමස්තයම) නමුත් ප්‍රකෝටි ජනතාවක් සිටින ඉන්දියාවේ තියෙන්නේ ප්‍රධාන ක්‍රීඩා සමාජ 29ක් විතර ප්‍රමාණයක්. ඒක එක් හේතුවක් විතරයි. තවත් හේතු බොහෝමයක් තිබෙන්න පුළුවන්. අපට හොඳ වෙන්නත් නරකට හිටින්නෙ මොනවා නිසාද යන්න ගැනත් හේතු සොයා බැලීම වැදගත්. අපි පරදිනවා නම් පරදින එකට වඩා ඇයි අපි පරදින්නේ මොනවද එහෙම නම් ඊළඟට කළ යුත්තේ? ඒකට පිට ඉඳන් කාටවත් උත්තර දෙන්න බැහැ. මේ නිලවරණ සඳහා වූ ඡන්ද ක්‍රමයේනම් වැරැද්දක් තිබෙනවා. මීට වඩා ගුණාත්මක වෙන්න මෙය මේ ප්‍රමාණයට වඩා අඩු වුණොත් හොඳයි. 


♦ පසුගිය ඉන්දීය සංචාරයේදී අපේ පන්දු යවන්නන්ට ගැලපෙන විදියට, එයාලා ඉල්ලූ විදියට විකට්ටු නිර්මාණය වුණෙත් නැහැ කියලා විවිධ කතා ජ්‍යෙෂ්ඨයින්ම කියා තිබුණු බවට විවිධ පුවත් අහන්න දකින්න ලැබුණා. ඔබ එවැනි දෙයක් දුටුවද? 


එවැනි දෙයක් කවුද කීවේ කියා මා දන්නෙ නැහැ. මතුපිටින් බලලා ප්‍රශ්න වෙනවාය කියලා ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් කියන්න පුළුවනි. නමුත් ඒ කිසිවක් ගැන නොදැන කරුණු ප්‍රකාශ කිරීම හොඳ දෙයක් නම් නෙවෙයි. 


මුරලිට ඉන්දියාව හොඳට සලකනවද? ඔබගෙ සේවයට? 


වසර කීපයක කොන්ත්‍රාත් ගිවිස ගැනීමක්නෙ. අයිපීඑල් තරග සඳහා බෙන්ගාලි වෙනුවෙන් මගේ සේවය ලබාදීමට තවත් වසර තුනක ගිවිසුමක් තිබෙනවා. 


ඒ කියන්නේ ලංකාවට ඕනෑ වුණත් මුරලිගේ සේවය අපට ලබා ගන්න බැහැ කියන එකද? 


අපි එක පාරටම ආවා කියමුකො. එතකොට දැන් ඒ තනතුරුවලට පත්ව සිටින පුහුණුකරුවන්ට මොකද වෙන්නෙ. අපි දැන් බලන්න ඕනෑ ටීම් එක හදන්නයි. මොනවද තියෙන අඩුපාඩු කියලා සොයාගෙන ඊට අවශ්‍ය දේ ලබාදීමයි. එදා මගෙත් අඩුපාඩු තිබුණා. ඒවා පෙන්වද්දී මම ඒ අඩුපාඩු හදාගෙන නැවත පන්දු යවලා පෙන්නුවා. ඒක හිතන තරම් ලෙහෙසි නැහැ. පුහුණුකරුවන්ට ලොකු වගකීමක් තියෙන්නේ. 


අපේ ටීම් එක මෙන්ටලි (මානසිකව) වැටිලා කියලත් තරග පරාජයේදී බොහෝ දෙනා කිව්වා? 


එහෙම දෙයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් පත් කරලා තියෙන පුහුණුකරුවන් සහ ප්‍රධානීන් ඒ ගැන සොයා බලා අවශ්‍ය දේ කිරීම වැදගත්. 


♦ මුරලි කතාවක් තියෙනවා ඔබ එළැඹෙන මැතිවරණයකදී දේශපාලනයට එනවාය කියලා. ඒගැන ඇත්තම කිව්වොත් 


අද මාධ්‍ය විවිධාකාර අංශවලින් පැතිරිලා තියෙනවානෙ. මොනවා හරි ආරංචි එනවා ඇති. හැබැයි මම දේශපාලනයට එනවා නම් මාධ්‍ය හමුවක් පවත්වලා ඒ ගැන රටට ප්‍රකාශ කරනවා. 


♦ ඒ කියන්නේ එහෙම අදහසක් තියෙනවා වගෙයි? 


මිනිස්සුන්ට අදහස් එන්න පුළුවනි. ඒ වගේම ආයෙත් ඒ අදහස් නැතිවෙලා යන්න පුළුවනි. අද දවසට මුහුණ දෙන අපට හෙට දවස ගැන කියන්නට බැහැ. හෙට දවස ගැන අපි දන්නෙ නැහැනෙ. අපි හිතින් හිතාගෙන අනුමාන කරනවා. ඒත් මොනවා වේවිද කියන්න දන්නෙ නැහැ. 


♦ මතුපිටින් දකින මුරලිට වඩා ඇතුළාන්තයෙන් වෙනස් අර්ථාන්විත චරිතයක් වගෙයි පෙනෙන්නේ? 


ඔය ඔබ කියන දේශපාලනය ගැන විතරක් නෙවෙයි. ජීවිතය ගැනත් මම බොහොම අවබෝධ කරගෙනයි තියෙන්නේ. ජීවිතය කියන්නේ මොකක්ද බලමු. උපත ලැබුවාම ජීවිතයක් බවට එය පත් වෙනවා. ඊළඟට එදා ඉඳලා අපි හරියටම දන්න දේ තමයි මැරෙන බව. අපි කවුරුවත් නොමැරී ඉන්නෙ නැහැනේ. ඇයි අපි ජීවත් වෙන්නෙ? කන්නයි බොන්නයි විතරක් වෙනුවෙන්මද? තමුන්ගෙ උපරිම ශක්තියෙන් අවබෝධයෙන් ජීවත්වීමයි වැදගත්. ඒ ජීවිතය මතකයක් කියලා හොඳින් ජීවත්වීම තමයි පරමාර්ථය විය යුත්තේ. ඒ මම හිතන විදියයි. මිනිස්සු ඇයි රණ්ඩු කරන්නේ. වාද විවාද කර ගන්නෙ. මේ ඔක්කොම බලය තියා ගන්නනෙ. මේ නිසා තව කෙනෙක් කියන කරන දේ ගැන විවේචන කරන්න මම අකැමැතියි. මම හිටියා නම් මීට වඩා හොඳයි ඒ විදියට කියන්න මම කැමති නැහැ. ඒ අත්දැකීම නොලබා මීට වඩා මට පුළුවන් කියලා කියන්න මම කැමැති නැහැ. 


අපේ ක්‍රිකට් හරියට පවත්වාගෙන යන්න නම් එය මහත්වරුන්ට බාරදිය යුතුයි කියලා සමහරු ප්‍රකාශ කරනවා. ඒ වගේම මහත්වරුන්ට එතැනට එන්නට තරම් වාතාවරණයක් නැහැ කියලත් ප්‍රකාශ වෙනවා. කොහොමද හිතන්නෙ ඒ ගැන. 


ඉස්සෙල්ලාම මට කියන්න ඔය කියන මහත්තුරු කවුද කියලා. හරි අපි ඒ මහත්තුරු ගැන කතා නොකර මේ ප්‍රශ්නය ගැන කිව්වොත් ඒකට උත්තර දෙන්න අපට බලයක් නැහැ. ඒක ඇත්තටම එහෙම වෙනවා නම් ඒ ගැන ඔබ අහන්න ඕනෑ ක්‍රීඩා ඇමැතිතුමාගෙන්. මගේ මතය අනුව පිටින් ගෙනැල්ලා මිනිස්සු ආයෙත් ඔතැනට එක පාරටම දානවාට වඩා දැන් සිටින අයගෙන් නිවැරදිව වැඩ ගැනීමයි වඩා හොඳ. පුහුණුකරුවන් පවා ආයෙ අමුතුවෙන් ගෙන්වන්න හිතනවාට වඩා සිටින අයට අවශ්‍ය නිදහස දීලා එයාලගෙන් උපරිම සේවයක් ගැනීම කළොත් හොඳයි. දැන් සිටින අයටනෙ බලය තියෙන්නේ. 


ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලී සිටි සමහර ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සැලැස්මක් නැතුව පවතින දෙයක් කියායි. මෙහෙම ගියොත් අනාගතය කොහොම වේවිද? 


අපි ජීවිතය ගනිමු. ජීවිතයෙ අපි කොහොමද අනාවැකි කියන්නෙ. දැන් බලන්න ශ්‍රී ලංකාව පාකිස්ථානය එක්ක ටෙස්ට් තරගය දිනුවා. නමුත් දිනන කල් කවුරුවත් විශ්වාස කරන්න නැතුව ඇති. ඒත් අපි දිනුවා​ෙන්. ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක්. ඒක හැමදාම ජය ගන්නත් බැහැ. ඒ වගේම හැමදාම පරදින්නෙත් නැහැ. ඒක ක්‍රීඩාවක්. එය හැමදාම එක්කෙනෙක් මත යැපෙන්න හොඳ නැහැ. එක්කෙනෙකුට විතරක් කරන්න පුළුවන් කියලා හිතන එකත් වැරදියි. අවුරුදු විසි ගණනක සිට මම අත්දුටු ඇහැට දැකපු දෙයක් තිබෙනවා. ඒ තමයි ක්‍රිකට් පරිපාලනයට එක්කෝ අතුරු පාලක කමිටුවක් පත්වෙයි. එක්කෝ ධර්මදාස පවුලේ කෙනෙක් සභාපති. නැත්නම් සුමතිපාල සභාපති. මේ විදියෙ ත්‍රිකෝණාකාර ස්වරූපයක්නේ අපි බොහෝ විට දකින්නෙ. ඒ නිසා මම අහන්නෙ මේ ත්‍රිත්වය විතරද? මේ දෙගොල්ල විතරද සිටින්නේ ලංකාවේ ක්‍රිකට් හදන්න. 


ඇයි මේ දෙගොල්ලම විටින් විට ක්‍රිකට් පරිපාලනයට එන්නේ? 


ඒක තමයි සොයලා බලන්නට ඕනෑ. දේශපාලනික වශයෙන් බලයක් තියෙනවා ඇති. මම දන්නේ නැහැ ඇයි ඒ කියලා.  


ඒ කියන්නේ ඔබ වැනි ලෝක පූජිත ක්‍රීඩකයින්ටවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න එන්නට තරම් පරිසරයක් ලංකාව ඇතුළෙ නැහැ කියලද? ජනතාව කැමති හිටපු ක්‍රීඩකයන්ටනෙ. 


ජනතාව ක්‍රීඩකයින්ට කැමති බව ඇත්ත. පාර්ලිමේන්තු ඡන්දය වගේ දෙයක් තිබ්බොත් ජනතාව ක්‍රීඩකයින්ට ඉහළින්ම ඡන්දය දෙයි. නමුත් මේ සමාජ 160න් ඡන්දයට අපි ඉදිරිපත් වුණොත් ඡන්ද තුනක්වත් ලැබෙන එකක් නැහැ.

 
කොහොමද එහෙම වෙන්නේ? 


ඔබ මාධ්‍යවේදියෙක්නෙ. ඉතින් ඒ ගැන හොයලා බලන්න ඕනෑ. ඒ වගකීම තියෙන්නේ මාධ්‍යටයි. වසර ගණනාවක් විටින් විට මේ පවුල් දෙකනෙ ක්‍රිකට් පාලනය කරලා තියෙන්නේ. හැබැයි තව දෙයක් මම කියන්නට කැමතියි. 


ඒ මොකක්ද? 


ක්‍රිකට්වලට උදව් කරන්න ක්‍රිකට් බෝඩ් එකටම එන්න ඕනෑ නැහැ. මිනිසුන්ට උදව් කරන්න ආණ්ඩුවේ ඇමැතිවරයකු වෙන්නම ඕනැත් නැහැනේ. තම තමන්ට පුළුවන් විදියට ඕනෑම උදව්වක් කරන්න පුළුවන්. දැන් අපි පදනමක් (foundation of goodness​) පිහිටුවලා තියෙනවනේ ගුණ ජය සතුට පදනම නමින්. සමාජයට සත්කාරක ​ෙස්වාවන් ලෙස අපි ක්‍රිකට්වලට විතරක් සීමා නොවි තවත් ක්‍රීඩා වෙනුවෙන් ඒ මගින් උදව් කරනවා. හැකියාවන් ඇති දරිද්‍රතාවයෙන් යුතු දරුවන් වෙනුවෙන් අපි අපට හැකි විදියට උදව් කරනවා. ඒ වගේම දුප්පත් මිනිසුන්ට ඉගෙන ගන්න දරුවන්ටත් උදව් කරනවා. මම කියන්න හදන්නෙ අන්න ඒ විදියටත් අපට මිනිස්සුන්ට වගේම ක්‍රිකට්වලටත් උදව් කරන්න පුළුවනි. ක්‍රිකට්වලට ආදරේ නම් එහෙමයි වෙන්න ඕනෑ. එහෙම නැතුව ක්‍රිකට්වලට උදව් කරන්න පරිපාලනයටම ආ යුතුයි කියලා දෙයක් නැහැ. උදව් කරන කෙනා කොතැන සිට හෝ උදව් කරනවා. රටක් සංවර්ධනය වෙන්නෙ එහෙමයි. 


ඔබ මේ විදියට සමාජ සත්කාර කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ 


අපි මැරෙන බව අපි දන්නවා නේද? ඉතින් මේ එක් රැස් කරගත් සියලු වස්තුව අපි මැරෙනකොට ගෙනියන්නෙ නැහැනේ. සෑම කෙනෙකුටම තම තමුන්ගෙ හැකියාව අනුව තව කෙනෙකුට උදව් කරන්න පුළුවනි. ජීවිතය ලස්සන වන්නෙ එවිටයි. හැබැයි තව මිනිසෙකුට ගරහාලා තව කෙනෙකු රිදවලා සතුටු වෙන්න මම කැමති නැහැ. මට කටට එන ඕනෑම දෙයක් කියන්න පුළුවන්. හැබැයි එහෙම ආ නිසාම වචන ප්‍රකාශ කරලා මිනිස්සු රිදවන්න මම කැමතිම නැහැ. සමහර මිනිස්සු දැනගෙන වැරදි කරනවා ඇති. තවත් අය නොදැන කරනවාත් ඇති. අපි හැම වෙලාවෙම අපේ මතය තමයි ඉදිරිපත් කරන්නෙ. නමුත් අපේ මතයම හරි වෙන්න ඕනෑය කියලා රීතියකුත් නැහැනෙ. ක්‍රිකට් කණ්ඩායම ගත්තොත් නායකයා හැමෝගෙම අදහස් විමසනවා. සමහර විට ඒ අදහස්වලට එයා එකඟ වෙලා ක්‍රියා කරන්න පුළුවන්. නැත්නම් ඒවා අහල එයාට කැමති දේ කරන්න පුළුවන්. අදහස් විවිධයි. මත විවිධයි. නමුත් තීරණ ගත යුතුයිනෙ. ඒ නිසා අපට තව කෙනෙකුට වැරදියි එයා කරන දේ හරි නැහැ කියා අවසාන නිගමනයකට එන්නත් බැහැ. මටත් හිතෙන දේ තමයි මම ප්‍රකාශ කළේ සහ ප්‍රකාශ කරන්නේ. 


මුරලි ඔබ හරි ආඩම්බරකාරයෙක් කියලා තමයි බොහෝ දෙනා හිතන්නේ. තවමත් ඔබ ආඩම්බරකාරයෙක්ද? 


මම එහෙම හිතන්නේ නැහැ. ලෝකයේ ඕනෑම දෙයක දෙපැත්තක් තියෙනවනේ. කළු-සුදු, හොඳ-නරක ඒ වගේ. ඒ නිසා පිරිසක් මම හොඳයි කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම නරකයි කියලා කියන්නත් පුළුවන්. ඒක එයාලගෙ මතයනෙ. ඔක්කොම මට කැමති වෙන්න ඕනෑය කියලා නියමයකුත් නැහැනෙ. 


ඇයි මුරලිට මුරලි වගේ ක්‍රීඩකයෙක් රටට බිහි කරන්න බැරි වුණේ? 


මං වගේ කියලා ක්‍රීඩකයෙක් බිහිවෙන්නෙ නැහැනෙ. සමහර විට මටත් වඩා හොඳ ක්‍රීඩකයෙක් බිහි වෙන්න පුළුවන්. කවුරුවත් හිතුවෙ නැහැනෙ එදා රංගන හේරත් මා එක්ක එකට ක්‍රීඩා කරද්දී එයත් ලෝක පූජිත පන්දු යවන්නෙකු වේවි කියලා. නමුත් අද එයා ඒ තැනට ආවානෙ. දැන් සිටින ක්‍රීඩකයනුත් අත්දැකීම් එක්ක සහ තමුන්ට ලැබෙන අවස්ථා එක්ක පරිනත වෙලා එහෙම වේවි. 


ඔබගෙ පුතා ක්‍රිකට් ක්‍රීඩාවට එ්විද? දැනටමත් ඇවිල්ලද? 


එයා ක්‍රිකට්වලට කැමතියි. දැන් එයාගෙ වයස අවුරුදු 11යි. තාත්තා හොඳට ක්‍රිකට් ගැහුවා කියලා පුතාත් එහෙම වේවිද කියන්න බැහැ. ඒක එයාගෙ හැකියාව කැමැත්ත අනුව අනාගතයේදී එය තීරණය වේවි. 


රටේ ප්‍රේක්ෂකයන්ට ඔබට මොනවද කියන්න තියෙන්නේ. 


ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක්. ක්‍රීඩාවක් ජය ලබනවා එ් වගේම පරාජය වෙනවා. මොන දේ වුණත් ශ්‍රී ලංකා කණ්ඩායමට ස​ෙපා්ට් කරන්න. පරාජය වෙන විට හිතට අමාරු වෙන්න පුළුවන්. ඒත් ඉවසීම දරා ගන්න. අන්තිම වසරේ අපි තරමක් පරාජයට පත්වූ බව ඇත්ත. හැමදාම ඒක එහෙම වෙන්නෙත් නැහැ. අපට දක්ෂ ක්‍රීඩකයන් සිටිනවා. එයාලව හරිම විදියට මෙහෙයවීම වැදගත්. 1991 සිට 2014 විතර දක්වා ඉතා දක්ෂ පිරිසක් හිටියා. එයාලා එකවර ඉවත් වුණා. ඉන්පසුව අලුත් පිරිසක් අනුගත වුණා. නිතරම දක්ෂයින් සිටින විට තවත් දක්ෂයින් පිරිසකට එළියෙ ඉන්නත් සිද්ධ වුණා. ඉතින් ඒ සියලු දේ අපි විශ්ලේෂණාත්මක සැසඳීම වැදගත්. ලංකාව පරාජය ලබනකොට මාත් දුක්වුණා. පරදින විට මට සතුටු වෙන්න බැහැනේ. දක්ෂ අය කොච්චර සිටියත් හැමෝටම චාන්ස් ගන්නත් බැහැ. අපේ රටේ දක්ෂ පුහුණුකරුවන් දක්ෂ ක්‍රීඩකයින් සිටිනවා. 


මේ හමුවේදී අන්තිමට ඔබට මොනවද කියන්න තියෙන්නෙ? 


ක්‍රිකට් පරාජය වන විට හෝ දිනන විට හෝ විවිධ කතා පැතිරෙනවානෙ. එවිට ක්‍රිකට් බාරව සිටින අය සහ ඒ රාජකාරිය කරන අයට ඒ සියලු දේට පිළිතුරු දෙන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒ කිසිවකට උත්තර දෙන්න බැරි නම් එය නොකර සිටීම වඩා හොඳයි. යම්කිසි දෙයක පාලනයක් කරන කොට එයින් අපට ඈත් වෙලා සිටින්න බැහැනේ. ඒ බාරගත් වගකීම වෙනුවෙන් උත්තර පිළිතුරු දෙන්න ඕනෑ. 


මුරලි ඇත්තම කියන්න, ඔබ දේශපාලනයට එනවා නේද? 


ඇයි ඔබ මාව එතැනටම තල්ලු කරන්න හදන්නෙ? 

 

 

 

 

 

 

 

 

සාකච්ඡාව : සඳුන් ගමගේ