ලංකාවේ ඉන්දියන් හෙයා ඩයි එ්කාධිකාරය චීනය ඩැහැගත් හැටි


වේලාව මධ්‍යාහන දොළහයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලියයි. මෙන්න පොලීසියෙන් පුවත්. ඇහැලිය​ගොඩ පදිංචි හතළිස් දෙහැවිරිදි සුගත් රණවක මහතා අතුරුදන්ව ඇත. අවසන් වරට ඇඳසිටියේ කොටු සමරක් සහ සුදු අත් කොට කිමිසයකි. ඩයි කළ කොණ්ඩය මැදින් බෙදා පසුපසට පීරා ඇත.   


මේ මීට දශක තුනකට පමණ පෙර මෙරට ගුවන් විදුලියේ පොලිසියට ලැබුණු පැමිණිලි ගැන දින පතා ප්‍රචාරය වූ වැඩ සටහනකි. එකල නම් අවුරුදු 42 ක පුද්ගලයකු කොණ්ඩය ඩයි කළේ නම් එය විශේෂ ලකුණකි. එහෙත් අද හෙයා ඩයි පාසල් ළමුන් අතරටත් පැමිණ සාමාන්‍යකරණය වී හමාරය. විවෘත ආර්ථිකය පැමිණෙනතුරු කොණ්ඩය ඩයි කළ පුද්ගලයා සුවිශේෂ බලවතකු වූයේ එය අත මිට ඇති පුද්ගලයෙකුට පමණක් මිලදී ගෙන භාවිත කළ හැකි සුවිශේෂ ද්‍රව්‍යයක් වීමය. එහෙත් අද නම් ​ෙෆා්න් කාඩ්, අයිස් ක්‍රීම්, මදුරු කොයිල් වැනි මෙරට පොදු ජනතාවගේ දින පතා අවශ්‍යතාවයන් අතරට නොදැනුවත්වම හෙයා ඩයි එක් වී හමාරය.   


​ෙත්රෙන භාෂාවෙන් අප හඳුන්වන හෙයාර් ඩයි වර්ගවල ආරම්භය ගැන සොයන විට එය 1661 දක්වා ඉතිහාසයකට උරුමකම් කියන බව ලිඛිත ඉතිහාසයේ සඳහන්ය. එහෙත් ඒවා ස්වභාවිකව ගස්වල පොතු හෝ කොළ වර්ග අඹරා ගත් කහටින් සකසා ගත් නැචුරල් හෙයා ඩයි වර්ගත්ය.  එකල මේ අතරින් ප්‍රධාන ශාකය වී ඇත්තේ හෙනා (Henna) නම් ශාකයයි. එකල කේශ වර්ණ අතර රත්‍රං, කොළ, රතු, කහ, සුදු සහ කළු භාවිත වී ඇත. මේ විවිධ වර්ණවලින් කේෂ කලාපය වර්ණ කිරීමේ සූරයන් වූවෝ රතු ඉන්දියානුවෝය.   


කහට වර්ණක ඇති හෙයා ඩයි සොයා ගෙන ඇත්තේ 1860 වකවානුවේ බව සඳහන්ය. ලෝකයේ ප්‍රථම සින්තටික් හෙයාඩයි භාවිතය හඳුන්වා දී ඇත්තේ 1907 දීය.   


ජර්මනියේ මේ හෙයා ඩයි වෙළෙඳ ​ෙපාළට පිවිස ඇත්තේ මීට හැත්තෑ වසරකට පෙර 1947 දීය. එහි වෙළඳ නාමය වූයේ පොලි කලර් (Poly Colour) ය.   


අද බොහෝ දෙනා තම කෙස් කළු කර ගැනීමට වෙළඳපළේ ඇති ඕනෑම ඉලවු හෙයා ඩයි වර්ගයක් ගෙන කේශ කලාපයේ උලාගැනීම සාමාන්‍ය සිරිතයි. කවුරුත් මේ අසුරණ​ෙය් ඇති උපදෙස් පත්‍රිකාව කියවන්නට යන්නේ නැත. හෙයා ඩයි භාවිතය සුදුසු නැති පිරිසක් ද සිටින බව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකු අප සමග පැවසීය. මේ පිරිසට ගැනෙන්නේ හෘද රෝගීන්, බෝවෙන රෝගීන්, ඇඳුම රෝගීන්, ගැබිනි මව්වරුන්, හිස් කබලෙහි තුවාල ඇති පිරිස්ය.   
මේ හිසකේ “හෙයා ඩයි” ගැන බොහෝ දෙනා නොකරන ප්‍රධාන දෙයක් ඇත. ඒ අසාත්මිකතා පරීක්ෂණයක් කර ගැනීමයි. මෙය Patch Test ලෙස හැඳින්වේ. හෙයා ඩයි භාවිතයට පෙර ශරීරයේ සියුම් තැනක එය ගල්වා බැලීම මෙහිදී සිදු වේ. වැලමිට ප්‍රදේශය මෙන්ම කන ආශ්‍රිත ප්‍රදේශ මේ අයුරින් ප්‍රධාන වේ. හෙයා ඩයි සාම්පලය ගෑ පසු කන, නාසය, ​ෙබල්ල ප්‍රදේශ කසන්නට පටන් ගෙන කුඩා බිබිලි දැමීම, රතු වී ඉදිමීම, පලු දැමුවහොත් ඉන් කියවෙන්​ෙන් අදාළ පුද්ගලයාට එම හෙයා ඩයි වර්ගය නුසුදුසු බවකි. සමහරු කාර්ය බහුල නිසා මේ පරීක්ෂණය නොකරම හෙයා ඩයි භාවිත කරනු දක්නට හැකිය. එය මාරාන්තික විය හැකිය. මෙරට සිටි ජනප්‍රියතම ගායිකාවක් මරණයට පත් වූයේ මේ ආසාත්මික පරීක්ෂණය නැතුව කඩිමුඩියේ එරට වෙළෙඳ පළේ ජනප්‍රිය හෙයා ඩයි වර්ගයක් හිස ගැල්වීම නිසාය.   


ලංකාවේ කෙස් වර්ණ ගැන්වීමේදී ප්‍රධාන වශයෙන් ජනප්‍රිය ක්‍රමවේදයන් 3 කි. Re Growth නමින් හැඳින්වෙන වර්ණ ගැන් වූ කොණ්ඩයේ නැවත ලියලා එන කොටස් නැවත වර්ණ ගැන්වීම, High Hight නමින් හැඳින්වෙන කොණ්ඩයේ කොටස් කීපයක් වෙනත් වර්ණයකින් ඩයි කිරීම, මෙන්ම Glowble නමින් හැඳින්වෙන මූලිකම නිශ්චිත කොටසක් වර්ණ ගන්නවා ඉන්පසු විනාඩි 15 කින් පමන ඉතිරිය වර්ණ ගැන්වීම මෙහිදී සිදුවේ.    


කෘත්‍රිම වර්ණකවලට අමතරව ස්වභාවිකව හෙයා ඩයි කරගැනීමට බොහෝ දෙනාගේ තේරීම “හෙනා” නම් වර්ණකයයි. එමෙන්ම හෙයා​ස්ප්‍රේ (Hair Spry) හෙයා චෝක් (Hair Chalh) ද දැන් වෙළඳ පළේ ඇත්තේ හුණු කූරැ වගේය. මේවා තාවකාලික වන අතර එක් වරක් ස්නානයෙන් පසු කෙස් කළඹෙන් ඉවත් වේ. එහෙත් විදේශයන්ගේ වඩාත් ප්‍රචලිත Permanent, Dem, Permanent, Semi - Permanent සහ Tempory Colour වැනි ක්‍රමයි. කෙස් ස්ථාරව මාස 6 කට පමණ කළු කරන Permanent නමැති ආකාරයට තම කොණ්ඩය ඩයි කර ගත් බවට ඇමරිකන් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා වරක් ලොව පුරා පුවත් මවන්නකුද විය.   


මේ හෙයා ඩයි ගැන සිහිකරන විට ඒ හා බැඳුන පුවත් ද ඇත. වරක් ​ෙමරට අගමැති වරයකු​ෙග් බාත් රූම් එක වතුර නොමැතිව හිරවූ  නිසා ඉංජිනේරුවන්ට බලු බැනුම් අසන්නට විය. නමුත් අවසානයේ බහිඝ්‍රාවීය ජල මාර්ගය හිර වූ හැටි පෙන් වූ විට අගමැති ලජ්ජාවෙන් මිරිකී ගියේය.   


සර් මේ හැමදාම කොණ්ඩේ ඩයි කරලා ස්පන්ච් කෑලි මේ වතුර බහින තැනට දානවා නේද. ඔක්කොම බට හිර වෙලා. අපි දැන් ඩයිගාපු ස්පන්ච් කෑලි 200 කට වැඩිය ගොඩ ගත්තායි නිලධාරියා අගමැතිවරයාට පැවසීය.   


යනවා ඕයි බම්බුව අරගෙන අගමැති​ගේ පිළිතුර විය.   


අපේ බණදහමෙහි ජනප්‍රිය පුස්තකයක් නම් පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේය.   


නර කෙසක් ආ නිසා රජකම අතැර ගිය රජකු ගැන කියවේ. එදා හෙයා ඩයි තිබුණේ නම් ජාතක කතා පො​ෙත් එක් ජාතක කතාවක් අඩුවනු නියතය.   


අද බොහෝ දේශපාලඥයින් තම රැවුලත් ඩයි කරනු දක්නට ඇත. රිමාන්ඩ් බන්ධනාගාර ගත වන විට කළුවට තිබූ රැවුල දින කිහිපයකින් සුදු වන්නේ එහිදීය.


අලෙවිය සිරුල් කදිර් සහ සමාගම කොළඹ   

අපට ඊළඟ දැන්වීම හෙයා ඩයි ගැන සොයා ගත හැකි වූයේ 1959 දීය. එය මෙසේ සඳහන්ය.   


“කේශ කලාපය වූ කලී ඔබේ ඉතා වටිනා වස්තුවයි........... හිස කෙස් පැහී​ෙමන් ඔබට මින් ඉදිරියට කරදරයක් ඇති වන්නේ නැත. රූබි ලකුණ දරන ග්‍රෙ හෙයාර් ස්පැසිපික් නම් ද්‍රව්‍යයෙන් කරදයක් හෝ තුවාලයක් නැතිවම ක්ෂණික ලෙස සදහටම හිස කෙස් කළුපාටව පවතී. උපදෙස් පරිදි මෙය හිසකෙස්වලට යෙදූ විට ඔබේ හිස කෙස්වලට ස්වභාවික කාල වර්ණය ලැබී කාන්තිය ගෙනදෙන හැටි ඔබටම පෙනෙනු ඇත. අනුකරණයන්ගෙන් ප්‍රවේසම් වෙන්න. රූබි ලකුණ දරන ග්‍රෙ හෙයාර් ස්පෙසිපික් නම් ද්‍රව්‍යයම ඉල්ලන්න. එයින් සතුටට පත් වන්න.”  

 
සීමාසහිත  ඇම්.පී. ගෝමස් සහ සමාගම  ​ෙකාළඹ   

කෙසේ නමුත් කරුණු විමසීමේදී පෙනීයන්නේ 80 දශකය වනතුරුත් ලංකාවේ හෙයා ඩයි වෙළෙඳ පොළේ රජ කර ඇත්තේ ප්‍රධාන වසයෙන් චීන නිෂ්පාදන බවය. ඒ අතර ජපන්, ජර්මන් නිෂ්පාදන නම් ඇති බව දැන්වීම් අනුව පෙනී යයි. නමුත් 80 දශකය ආරම්භයත් සමගම ඉන්දියාවේ නිෂ්පාදිත හෙයා ඩයි ක්‍රමයෙන් මෙරට වෙළෙඳ ​ෙපාළ ආක්‍රමණය කරන්නට විය. ඔවුන්ගේ ඇසුරුම් බොහෝ විට එක්වරකට ප්‍රමාණවත් වූ නිසා චීන නිෂ්පාදන මෙන් බෝතලයක් සඳහා එක්වර සෑහෙන මුදලක් වැය කිරීමට අවශ්‍ය වූයේ නැත. ඉන්දියන් නිෂ්පාදන සුපර්මාකට් හා ෆාමසිවලින් නොනැවතී සාමාන්‍ය සිල්ලර කඩවලට පවා බෙදා හැරීම සහ ඒවායේ දැන්වීම්වලට සිටින නිරූපණ නිරූපිකාවන්ගේ දේශීය ඌරුව මෙරට ජනතාවට වඩාත් සමීප අත්දැකීමක් විය. පසුගිය වසර කීපය වනතුරුත් බොහෝ ආනයනික හෙයා ඩයි වෙළෙඳ ​ෙපාළ තුළ ඉන්දියන් නිෂ්පාදන වෙළඳ බහුතරයක් හිමි කර ගත්තේ මේ නිසාය.   


හෙයා ඩයි වෙළඳාම ලෝකයේ දෙවැනි වන්නේ අවි ආයුධ වෙළඳාම හා බෙහෙත් වෙළඳාමට පමණයි යනුවෙන් කියමනක් තිබේ.​ කළු පැහැති චීන ඩයි ෂැම්පු වෙළෙඳ පොළට එන්නේ මෑතකදීය. එම පැකට්ටුවක මිල රු. 150/- පමණ වේ. කොණ්ඩය කළු ගැන්වීමට ගත වන කාලය විනාඩි 5 කි. පැය ගාණක් ඉන්දියන් ඩයි උලාගෙන බලා සිටිනු වෙනුවට තත්පර 60 ක දී තම ​අරමුණ ඉටු කර ගැනීමට හැකි වූ නිසා හෙයා ඩයි ඉන්දියන් ඒකාධිකාරයට එල්ල වූයේ මරුපහරකි. මෙවැනි චීන ඩයි ෂැම්පු විවිධ නම්වලින් වර්ග 15 කට වඩා වෙළෙඳ ​ෙපාළේ ඇත. අප මේ ගැන පිටකොටුවේ ආලේපන අලෙවි කරන වෙළඳසලකින් දැනගත්තෙමු.   


ඔය චීන ඩයි ෂැම්පු ගොඩක් බැගේජ් දාලා ගේන ඒවා. එ්වාවල හරිහමන් ඒජන්ට් කෙනෙක් වත් නෑ. ඉන්දියන් හෙයා ඩයි ඔක්කොම බ්‍රෑන්ඩඩ්. ඇඩ්වටීස්මන්ට් ටී.වී. එකේ. එහෙම දාන හින්දා කියන තරම් ඉල්ලුමේ අඩුවක් නැහැ.   
එහෙත් ඔහු පවසා සිටින්නේ චීන ඩයි ෂැම්පු ආක්‍රමණයත් සමග බොහෝ වෙළෙන්ඳන් ඉන්දියන් ෂැම්පු වෙනුවට ඒවා රැගෙනයා​ෙම් ප්‍රවණතාවක් ඇති බවය. සාමාන්‍යයෙන් විනාඩි 30 ත් 45 ත් අතර කාලය වැය වන ඉන්දියන් හෙයා ඩයි තොගයක්ම ඉතුරුව තිබෙනු ඔහු අපට පෙන්නා සිටියේ දැන්නම් නිකං දුන්නත් ඒවා කවුරුත් රැගෙන නොයන බව කියමිනි.   


රූපලාවන්‍ය ආලේපන විශේෂඥයකු අපට පවසා සිටියේ චීන ඩයි ෂැම්පු ඉන්දියන් නිෂ්පාදනවලට වඩා දැඩි තත්ත්ව පරීක්ෂණයකින් පසු නිෂ්පාදනය කොට ඇති බවය. මේ අතර දැන් ඉන්දියන් හෙයා ඩයි ෂැම්පු ද වෙළෙඳ ​ෙපාළට පිවිසෙමින් පවතී. චීන නිෂ්පාදන ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඒවා කෙස්ගසෙහි තැවරුණු කොටස පමණක් උරාගැනීමයි. සමෙහි තැවරෙන තැන් වතුර බිඳුවකින් සෝදා හැරිය හැකි අතර කිසිම පැල්ලමක් ඉතුරු නොවේ. ඊටත් වඩා රැවුල ඩයි කරන්නන් අතර මේ චීන නිෂ්පාදන ජනප්‍රිය වීමට මෙය වඩාත් හේතු වී ඇත.   
අපගේ නිරීක්ෂණයට ලක්වූ බොහෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොග කඩවල ඇතැම් ඉන්දියන් නිෂ්පාදන තොග දැකගත හැකි විය. මේ අතර අපට තවත් දේශීය නිෂ්පාදන කිහිපයක් දැක ගත හැකි විය. ඒවා සිංහල ආයුර්වේද නිෂ්පාදන ලෙස හැඳින්විය හැකිය. ස්වභාවිකව සාදාගන්නා මේ සඳහා යොදාගන්නේ ගස්වල කහටය. සුදු පැහැති කෙස් කලු කිරීමට එම බෝතලයේ ද්‍රාවණය බුරුසුවක් මගින් ආලේප කළ යුතු බව එම බෝතලේ ලේබලයේ සඳහන් විය.   


කෙසේ නමුත් කොණ්ඩේ ගාන හෙයා ඩයි රැවුලේ ගෑම ගැන කොළඹ මහ රෝහලේ චර්ම රෝග අංශයෙන් විමසීමට අප අමතක කළේ නැහැ. කොණ්ඩේ ගාන ඇමෝනියා සහිත හෙයා ඩයි රැවුලේ ගෑම ඉතා භායනක රෝගාබාධවලට අතවැනීමක් බව එම අංශ​ෙය් වෛද්‍යවර​ෙයක් අප සමග පැවසීය. රැවුල බෑමේදී ඇති විය හැකි කුඩා, ඇසට නොපෙනෙන සමෙහි ස්තරයක් කැපී ඉවත් වීම හා කුඩා තුවාල මගින් ඇමෝනියා ශරීරය තුළට ඇතුළුවීම බරපතළ තත්ත්වයක් ඇතිවීමට හේතු භූත විය හැකිය.   


අප පිටකොටුවේ සැරිසරද්දී අවුරුදු 80 ක පමණ පුද්ගලයකු හෙයා ඩයි විශේෂයක් පෙන්වා එය “හර්බල්” දැයි ඇසීය. එම පුද්ගලයා ගියපසු වෙළඳ සලේ සේවකයා අප සමග නෝක්කඩුවක් කියුවේ මෙසේය.  

 
“මේ හෙට අනිද්දට වළපල්ලට යන්න ඉන්නම නාකි පප්පලා අමෝනියම් ද හර්බල් ද අහනවා. හරියට අයිස්ක්‍රීම් දාල කොළ කැඳ බොනවා වගේ.”

  
කෙසේ නමුත් අවසන අපට සටහන් කළ හැක්කේ ලංකාවේ ජනතාව​ෙග් කේශ කලාපය කාල වර්ණ කිරීමේ වෙළෙඳ ​ෙපාළ දිනා ගැනීමට චීනය සහ ඉන්දියාව සීතල යුද්ධයකට පිවිස ඇති බවයි.

 

 

 

සටහන 
වජිර ලියනගේ