ලංකාදීප ආලෝකයෙන් ආලෝකවත් වන තන්තිරිමලේ පුදබිම


“ලංකාදීප ආලෝක පූජාව මේ ප්‍රදේශයට විශාල ආලෝකයක්”   

 

 

ඓතිහාසික තන්තිරිමලේ පුදබිම පො​ෙසාන් පොහොය නිමිතිකොට ගෙන විදුලි බුබුළු දසදහස් ගණනකින් ආලෝකවත් කෙරෙන ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ ඊයේ ආරම්භ විය. අද සහ හෙට දෙදින තුළ ද විජය පුවත්පත් සමාගමේ අනුග්‍රහයෙන් මෙම ආලෝක පූජාව පැවැත්වෙන්නේ 16 වැනි වරටයි.   


විජය පුවත්පත් සමාගම 2004 වසරේදී ආරම්භ කළ ‘තන්තිරිමලේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ විජය පුවත්පත් ආයතනයේ සභාපති රංජිත් සුජීව විජයවර්ධන මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ වූවකි. මෙම විදුලි ආලෝක පූජාව හා එයින් තන්තිරිමලේ ප්‍රදේශය ඒකාලෝක වන අයුරු තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්ද්‍රරතන හිමියන් අප සමඟ පැවැසුවේ මෙය වචනයෙන් කිව නොහැකි තරමේ අතිඋතුම් පූජාවක් බවයි.   


මේ පිළිබඳව ‘ඉරිද‌ා ලංකාදීප’ සමඟ උන්වහන්සේ මෙලෙස පැවැසූහ.   


“දැන් වසර 16ක් පුරාවට මේ ආලෝක පූජාව පැවැත්වෙනවා. ඒ කාලය පුරාවට වසරින් වසර මෙහි දියුණුවක් සිදුවූ බව පෙන්නුම් කළ හැකියි. මේ ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික දියුණුවටත් මේ ආලෝක පූජාව බලපා තිබෙනවා. මේ තන්තිරිමලය කියන්නේ අතිමහත් දුෂ්කරතාවලින් පිරුණ ප්‍රදේශයක්. ඒ වගේම යුද්ධ සමයේ අතිශයින් බැට කෑ මිනිසුන් ජීවත් වුණු ඉතාම දුක්ඛිත පරිසරයක් තමයි තන්තිරිමලය.   


හැම පැත්තෙන් වෙඩි හඬ ඇසෙන වකවානුවක විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ උපදෙස් මත ආයතනයේ නිලධාරීන් පිරිසක් මේ පුදබිමට පැමිණිලා අදහස් ප්‍රකාශ කළා. ඇත්තටම මම මුලින්ම කැමැති වූයේ නැහැ. මොකද මේක විශාල කාර්යභාරයක්. විධිමත්ව නොකළොත් සියලු කටයුතු ඇනහිටින්න පුළුවන්. කිහිප වරක්ම කල්පනා කරලා තමයි මම මේ පිංකමට කැමැත්ත පළ කළේ. එහිදී විජය පුවත්පත් ආයතනයේ නිලධාරී මණ්ඩලය මට කිව්වා කිසිම දෙයක් ගැන සැකයක් ඇති කරගන්න එපා, සියලු කටයුතු ආයතනය විසින් වගකීමෙන් භාරගන්නවා කියලා. අද මම පුදුමාකාර සතුටකින් කියනවා තන්තිරිමලේ ආලෝක පූජාව මේ ගම් ප්‍රදේශයටම කරපු විශාල පුණ්‍යකර්මයක් සහ ආලෝකයක් කියලා.   


එද‌ා ත්‍රස්තවාදී කලබලත් එක්ක තන්තිරිමලේ කියන නම බෞද්ධයන්ට වැඩි මතකයක් තිබෙන්නට නැතුව ඇති. ලංකාදීප පොසොන් ආලෝක පූජාව නිසා මුළු මහත් ලංකාවම තන්තිරිමලය දැනගත්තා වගේම අදටත් ජාති බේදයකින් තොරව වැඳ පුද‌ා ගන්නවා.   


2004 දී විජය පුවත්පත් ආයතනයේ නිලධාරීන් මේ වැඩපිළිවෙළ කළේ අතිමහත් දුෂ්කරතාවලට මුහුණ දෙමින්. කෑමක් බීමක්, නිද‌ාගන්න තැනක්, වැසිකිළි කැසිකිළි පහසුකම් තිබුණේ නැහැ. ඇත්තටම වසර දහසයක් පුරාවට මේ වැඩකටයුත්ත කරගෙන ආවේ රංජිත් විජයවර්ධන සභාපතිතුමාගේත්, ඒ වගකීම පැවැරුණු ආයතන කාර්ය මණ්ඩලයෙත් ධෛර්යය නිසා.   


මෙම ආලෝක පූජාව නිසා ප්‍රදේශයට මහත් සේවාවක් ඉටුවුණා. ප්‍රදේශයම ආලෝකවත් වුණා. මංමාවත් හැදුණා. ජලය, විදුලිය වගේම ප්‍රදේශයේ ජන ජීවිතයට ද විශාල සහයෝගයක් වී තිබෙනවා මේ ආලෝක පූජාව නිසා.   


අපි වෙනත් වසරවල් වගේම ඉතාම උසස් ආකාරයෙන් මෙවරත් ආලෝක පූජාව පවත්වනවා. ඉස්සරට වඩා අද වෙනකොට බොහෝ පහසුකම් පැමිණෙන බැතිමතුන්ට ලබාදීමට හැකියාව තිබෙනවා. පානීය ජලය, නවාතැන් ප්‍රශ්න, වැසිකිළි, සෞඛ්‍ය සියලුම පහසුකම් පසුගිය අවුරුදුවලටත් වඩා හොඳින් සැලසුම් කරලා තිබෙනවා. මෙවරත් අතිවිශාල බැතිමතුන් පිරිසක් තන්තිරිමලේ වන්දනාමාන කරන්න එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.   


 ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් අපි සහතික වෙනවා. මේ පූජා භූමියේ ආරක්ෂාව දෙගුණ කරලා තිබෙනවා. ඒ වගේම පොසොන් වන්දනාවේ එන පිරිසගෙන් ඉල්ලීමකුත් කරනවා පරිසරය අපවිත්‍ර නොකර මත්පැන් භාවිතයෙන් තොරව වන්දනාමාන කරන්න කාරුණික වන්න කියලා.   


 මේ මහඟු පුණ්‍යකර්මයට ද‌ායකත්වය ලබා දෙන විජය පුවත්පත් සමාගමේ සභාපතිතුමා ඇතුළු එහි කාර්ය මණ්ඩලයට මේ පින් අත්වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මම ඉතාමත් සත්භාවයෙන් කියන්නේ මේ වගේ දේවල් දුෂ්කර ගමකට ගෙනැල්ලා බැතිමතුන් වන්දනාමාන කරවන්න තන්තිරිමලය ආලෝක කරන්න දරණ උත්සාහයට බොහොම පිං.”   


මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම තෙක් දුරාතීතයකට දිවෙන තන්තිරිමලේ බෞද්ධ පූජනීය උරුමය ඓතිහාසික පුරාවිද්‍යාත්මක පූජනීය කේන්ද්‍රස්ථානයකි.   

 

 


තන්තිරිමලේ ඉතිහාසය   


තන්තිරිමලේ යනු ශ්‍රී ලංකාවේ පැරැණිතම ජනාවාසවලින් එකක් වන අතර තන්තිරිමලේ නම සෑදීම පිළිබඳව ජනවහරෙහි විවිධ මතවාද පවතී. දෙවැනි පෑතිස් රජ දවස දඹදිව සිට සඟමිත් තෙරණිය වැඩමවා ගෙන පැමිණි ජය ශ්‍රී මහා බෝධි අංකුරය දඹකොළ පටුනින් පිළිගෙන මහා පෙරහරකින් අනුරාධපුරයට වැඩමවා ගොස් ඇත. ඒ මඟ මහ විලච්චිය හරහා වැටී තිබූ බවත්, මෙම පෙරහර එක් දිනක් ‘තිවක්ඛ බමුණුගම’ කියන ග්‍රාමයේ නැවතී නවාතැන් ගෙන ඇති බවත් මෙම ‘තිවක්ඛ බමුණුගම’ කියන ග්‍රාමය අද තන්තිරිමලය වී ඇති බවත් ඓතිහාසික මූලාශ්‍රවල දැක්වේ.   


එමෙන්ම විජය කුමරු ලංකාවට පැමිණ මල්වතු ඔය ඔස්සේ ගමන්කොට අනුරාධපුරය රාජධානිය කරගත් අතර ඔහු සමඟ පැමිණි අමාත්‍යවරුන්ට ද එක් එක් දිසාවල ජනාවාස ගොඩනැගීමට උපදෙස් දුන්නේය. ඒ අනුව ‘උපතිස්ස’ නම් අමාත්‍යවරයා මල්වතු ඔය හා කනදරා ඔය හමුවන ස්ථානය මුල්කරගෙන ඇති කළ ‘උපතිස්ස ගම’ පසුකාලීනව තන්තිරිමලය ලෙස ද හඳුන්වනවා ඇත.   


තව ද සාලිය කුමරු හා අශෝකමාලා කුමරියගේ අසම්මත විවාහය නිසා පිටුවහල් කරන ලදුව ඔවුන් දෙදෙනා ද මේ ප්‍රදේශයේ කලක් වාසය කර ඇති බව ද ඉතිහාස ජනවහරේ සඳහන් වේ. කාලයාගේ ඇවෑමෙන් දුටුගැමුණු රජතුමා පසුව ඔවුනට සමාව දුන් අතර එහිදී පරිත්‍යාග කළ ‘තන්තිරි’ යන සමනල විශේෂයේ හැඩය සහිත රන්මාලය මෙහි නිදන් කොට ඇති නිසා ‘තන්තිරිමලය’ ලෙස නම ලැබුණු බව ද ජනප්‍රවාදයේ කියැවේ. එසේම ඔවුන් නවාතැන් ගත් කන්ද ‘තන්​ගෛතිරුමලෙයි’ යන දමිළ ව්‍යවහාරය පසුව තන්තිරිමලය නම් වූ බව ද තවත් ජනප්‍රවාදයක සඳහන් වෙයි.   


 තවත් සමහරුන්ගේ මතවාදයක්, විශ්වාසයක් වනුයේ අනුරාධපුර යුගයේදී මහායාන නිකායට අයත් තන්ත්‍රයානික භික්ෂුන්වහන්සේලා සහ අදත් භූතානයේ ගෞරව කරන ත්‍රාන්තික බ්‍රාහ්මණයන් වාසය කළ නිසා තන්තිරිමලය යන නාමය සෑදුණ බවයි.   


 මෙලෙස තන්තිරිමලය රජමහා විහාරයේ ඓතිහාසික පසුබිම පිරික්සීමේදී එය පූර්ව හා ප්‍රාග් ඓතිහාසික යුගයන් දක්වා ඈත අවදියකට දිවයන්නක් බව විද්වත් විශ්ලේෂණ මතයයි. ඉතාමත් ඉපැරැණි මෙන්ම පෞරාණික වටිනාකමකින් යුත් සීගිරිය, දඹුල්ල, මහියංගනය වැනි ආගමික සිද්ධස්ථාන මෙන්ම මනා වූ උරුමයකට උරුමකම් කියන මෙම තන්තිරිමලය විහාරය වර්තමාන මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 366 ග්‍රාම නිලධාරී වසම තුළ පිහිටා තිබේ.   


මහින්ද‌ාගමනයට පෙර සිටම ශ්‍රී ලංකාවේ ජනාවාස පැවැති බවට තන්තිරිමලය ප්‍රදේශය සාක්ෂි දරන අතර මුල් භාගයේ සිට අනුරාධපුර යුගයේ අග භාගය දක්වාම විහිදෙන දීර්ඝ කාල පරිච්ඡේදයකට අයත්වන කැටයම්, ශිලා ලේඛන, චිත්‍ර හා මුර්ති, මිනිසුන් භාවිත කළ මෙවලම්, ආගමික නිර්මාණ මෙහි දැකගත හැකිය.   


සිංහලේ මහා වංශ කතාවේ විජය කුමරුගේ ආගමනයත් සමග ඇරැඹුණු ස්වදේශික ගෝත්‍රික ජන කොටස් ජීවත් වූ බවට විවිධ ප්‍රදේශවල කැනීම්වලදී අනාවරණය වී ඇත. එසේ ඉපැරැණි ජනාවාස පිළිබඳ සාධක හමුවන ස්ථානයක් ලෙස තන්තිරිමලය පුණ්‍ය භූමිය හැඳින්විය හැකිය.   


 ලාංකීය බොදු ජනී ජනයාගේ බැතිබර හැඟුම් උද්ධීපනය කරනු ලබන ආගමික වශයෙන් වැදගත් වන පූජනීය වස්තු කිහිපයක්ම මෙම පුණ්‍ය භූමිය තුළදී අදටත් අපට වැඳ පුද‌ා ගත හැකිය. අව්ව වැස්ස ද්විත්වයට සොමි ගුණ පාමින් අමා මෑණි බුදුරදුන්ගේ ලොව්තුරු සුවය බැතිබර සිත් තුළ ජනිත කරවන එම සලකුණු අදටත් දැකගත හැකිය.   


සමාධි පිළිම වහන්සේ/ සැතපෙන පිළිම වහන්සේ   


තන්තිරිමලය පූජා භූමියේදී සමාධි පිළිම වහන්සේ මෙන්ම සැතපෙන පිළිම වහන්සේ ද වැඳ පුද‌ා ගැනීමට හැකියාව ලැබේ. සමාධි පිළිම වහන්සේ අනුරාධපුර යුගයේ අග භාගයේදී නෙළීම අරඹා ඇති අතර එය පොළොන්නරුව ගල් විහාරයේ සමාධි පිළිම වහන්සේට බොහෝ සෙයින් සමානය. අනුරාධපුරයේ අග භාගයේදී එල්ල වූ සතුරු ආක්‍රමණය නිසා එම නිම කිරීමට නොහැකි වූ නිර්මාණ පොළොන්නරු යුගයේදී තනා නිම කළා යැයි අනුමාන කළ හැකිය. පිළිමය දෙපසින් චාමරධාරී දෙවිවරුන් නිරූපිත අතර පිළිමයට පිටුපා ඇති මකර තොරණ සිංහයන් දෙදෙනකු විසින් ඔසවාගෙන සිටින බවක් විදහා පායි. සමාධි පිළිමයේ ආසනය සැරැසීම සඳහා චමර රූප කැටයම් කොට තිබේ. සමාධි පිළිමය නෙළා ඇත්තේ උස් කවාකාර හැඩයෙන් යුතු ගල් පර්වතයේ අඩි 8ක් පමණ ඉහළට වන්නටය.   


 එමෙන්ම අෂ්ඨඵල බෝධි රුක්ෂය රෝපිත ගල් තලාවේ උතුරු බෑවුමේ සැතපෙන පිළිම වහන්සේ නෙළා ඇත. පිහිටි කළු ගල්තලාවෙන් මතුකොට නෙළා ඇති මෙම පිළිමයේ චීවරය සිරුරට ඇලී ඇති ආකාරයට නිරූපණ කර ඇත. අනුරාධපුර යුගයේ අග භාගයේදී එල්ල වූ සතුරු ආක්‍රමණ නිසා මෙම ප්‍රදේශය ජන ශුන්‍ය වීමෙන් පසු නිධන් හොරුන්ගේ ගොදුරු බවට පත්වී ඇත. 1974 කැනීම් කිරීමේදී අනාවරණය වී ඇත්තේ පිළිමයේ සිරස හා ගැබ ප්‍රදේශය කඩා ඇති බවයි. තන්තිරිමලය සැතැපෙන පිළිම වහන්සේ පොළොන්නරුව ගල් විහාරයේ සැතැපෙන පිළිම වහන්සේට බෙහෙවින් නෑකම් කියනු ඇත.   


අෂ්ඨඵල බෝධි රුක්ෂය   


තන්තිරිමලය පූජා භූමියේ තෙවන අතිශයින්ම වැදගත් පූජනීය වස්තුව වන්නේ ඓතිහාසික අෂ්ඨඵල බෝධි රුක්ෂයයි. දඹදිව සිට ශ්‍රී ලංකාවට වැඩමකරවූ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුර මහමෙව්නා උයනේ රෝපණය කළ අතර එයින් පැන නැගී ආ බෝධි අංකුර 8ක් දිවයින පුරා බෙද‌ාහැරීම සිදුකෙරුණේ මිහිඳු මහරහතන් වහන්සේගේ හා දෙවැනි පෑතිස් රජුගේ මූලිකත්වයෙනි. දඹකොළ පටුනේ සිට අනුරාධපුරයට වැඩමවා ගෙන එන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ තිවංක බමුණු ග්‍රාමයේදී පෙළහර පෑම හේතු කොටගෙන තිවංක බමුණාට ද බෝධි අංකුරයක් හිමි විය. බුදු රදුන්ගේ අධිෂ්ඨානයත්, මිහිඳු මහ රහත්වහන්සේගේ තීරණයන් අනුව තිවක්ඛ බමුණා හට ලැබුණු බෝධි අංකුරය විශාල පෙරහරකින් වඩමවා ජය ශ්‍රී මහා බෝධිය වැඩ සිටි ගල්තලාවේ කවාකාර පවුරක් තනවා එහි රෝපණය කර පුද පූජා මහත් හරසරින් කර ඇත. සිවු දෙසින් මල් ආසන තනවා තිබූ බව ද මෑතදී කළ කැනීම්වලින් තහවුරු වී ඇත. වසර දහස් ගණනක් අව් වැසි සුළං හා වන සතුන්ගේ පීඩා විඳි නමුදු බුදුන් වහන්සේගේ අධිෂ්ඨානය නිසාම මෙම අෂ්ඨඵල බෝධින් වහන්සේ මේ දක්වා අදටත් ජීවමානව වැඩ සිටීම මහත් ආශ්චර්යජනකය.   


 චෛත්‍ය රාජයාණන් වහන්සේ   


මුල් කාලීනව තිබූ පූජනීය වස්තුන් හැරුණුකොට ද‌‌ාගැබක් ඉදිකිරීමේ අවශ්‍යතාව මතුවන්නේ 1960 දශකයෙන් පසුවය. එම කාලයේදී විහාරස්ථානය කැනීම් මගින් හඳුනාගෙන දියුණු කිරීමෙන් පසු චෛත්‍යයක අඩුපාඩුව මතුව එ්ම හේතුවෙන් 1976 දී දැනට පවත්නා ද‌ාගැබ ඉදිකරවන ලදී. මෙම ද‌ාගැබ තුළ බුදුරජාණන් වහන්සේගේ භෂ්මාවශේෂ, වෙනත් වටිනා වස්තු, මූර්ති මෙන්ම බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය කොටන ලද තඹපත් ද නිධන් කර තිබේ. මෙම ස්ථූපය ගල්තලාව මත බුබ්බුලාකාර හැඩයෙන් ඉදිකර ඇති නිසා සුවි​ෙශ්ෂී අලංකාරයකින් යුක්තය.   


එමෙන්ම ගල්ලෙන් හා ප්‍රාග් ඓතිහාසික සිතුවම් ද පොත්ගුල නම් ස්ථානයේ නැගෙනහිර දෙසට මීටර් 200ක් පමණ ගිය විට හමුවේ. ගල්ලෙන්වල ප්‍රාග් ඓතිහාසික සිතුවම් ද අදටත් දක්නට ඇත.   


මෙවන් ඓතිහාසික වටිනාකමක් ඇති පූජනීය තන්තිරිමලය අද විදුලි ආලෝකයෙන් ආලෝකමත් වී තිබේ. මෙම පූජනීය භූමියට පැමිණෙන බැතිමතුන්ගේ බුද්ධාලම්බන ප්‍රීතිය එද‌ා මෙන්ම අදටත් දක්නට ලැබීම මෙහි ඇති විශේෂත්වයයි.   

 

 

 

 

සටහන - නදීශා අතුකෝරළ   
 ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය