රෝද දෙකෙන් පටන් ගෙන රෝද හතරට ගිය හොන්ඩා ගේ අපූරු කතාව


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

 

  • ප්‍රාථමික ළමා අවධියේ දී පාසලින් කට්ටි පැනපු පුංචි හොරා
  • මුලින්ම පිස්ටන් වළලු හදලා ටොයෝටා සමාගමට අලෙවි කළා
  • ටෝකියෝවට එද්දි වයස අවුරුදු 15යි තාත්තා කම්මල්කරුවෙක්

යතුරුපැදි හෙවත් මෝටර් සයිකල් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයා කවුද යැයි විමසුවහොත් ඊට එක එල්ලේ දිය හැකි පිළිතුර වෙන්නේ ‘හොන්ඩා’ යනුවෙනි. හොන්ඩා යන නාමය ශ්‍රී ලාංකීය ජනතාව අතර වඩා ප්‍රකටව ඇත්තේ ද යතුරුපැදි සහ මෝටර් රථ නිසාය. වාර්තා උපුටා දක්වන පරිදි හොන්ඩා මෝටර් සයිකල් නිෂ්පාදනයෙන් ලොව ප්‍රමුඛයා බවට පත්ව සිටින්නේ 1959 වසරේ සිටය. 2019 වනවිට පමණක් මිලියන 400ක පමණ නිෂ්පාදන ප්‍රමාණයක් සිදුකර ඇති බැව් සඳහන් වේ. 2001දී පමණ ජපානයේ මෝටර් රථ නිෂ්පාදනයෙහි දෙවැනි තැනට පත්වූයේ ‘හොන්ඩා’ නාමයයි. එමෙන්ම 2015 පමණ වනවිට ලොව මෝටර් රථ සහ මෝටර් සයිකල් නිෂ්පාදනයෙහි අටවැනි තැන පසුවූ හොන්ඩා 2020 වනවිට ලෝකයේ මෝටර් රථ නිෂ්පාදන ක්‍රියාවලියේ දෙවැනියා බවට පත්ව අතැයි සඳහන් වේ.   


පසුගිය සමයේ වතාවක හොන්ඩා ආයනය තම ආදායමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන හතක පමණ මුදලක් ආයෝජනය කළේ සංවර්ධනීය සහ පර්යේෂණ කටයුතු වෙනුවෙනි. කිසියම් සමාගමකට නිෂ්පාදන අලෙවියේ දී වෙනත් රටක දී ශුද්ධ ආදායම් ලබන අපනයනකරුවකු ලෙස ප්‍රමුඛස්ථානයට පත්විය හැකි නම්, එය එම සමාගම ලබන්නා වූ විශේෂිත ජයග්‍රහණයකි. ‘හොන්ඩා’ මෙලෙසින් ඇමරිකාවේ දී එම ඉලක්කය සපුරාලූයේ 2013 දී පමණය. එමෙන්ම එක්සත් ජනපදයේ දී ශුද්ධ අපනයනකරුවකු වූ ප්‍රථම ජපාන මෝටර් රථ නිෂ්පාදන ආයතනය වූයේ ද හොන්ඩාය. Power of Dreams හෙවත් සිහින ප්‍රබල යැයි යන තේමාව කරගෙන සිහින යනු බලවත් දෙයක් යැයි ද කියන ‘හොන්ඩා’ ගැන ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙතින් අද අපි තවත් රසවත් හරවත් විස්තර දැන ගනිමු.   


සොයිචිරෝ හොන්දා හෙවත් සොයිචිරෝ හොන්ඩා   


සොයිචිරෝ හොන්ඩා යනු හොන්ඩා සමූහ සමාගමේ නිර්මාතෘවරයාය. හොන්ඩා යනු ඔහුගේ පෙළපත් නාමය වේ. ‘සොයිචිරෝ’ යන්නෙහි තේරුම පවුලට ප්‍රමුඛත්වය ගෙන දුන් පුත්‍රයා හෙවත් පවුලට සතුට ගෙන දුන් පුත්‍රයා යන්නය. ‘හොන්ඩා’ යන්නෙහි තේරුම ලෙස සඳහන් වන්නේ බැතක මූලය හෙවත් නියමාකාරයෙන් යුතු සහල යන්නය. නාමයෙහි අරුත පසුකාලීනව ප්‍රායෝගික කළ මේ සොයිචිරෝ හොන්ඩා කවුද?   


ගිහෙයි හොන්ඩා නම් වූ ඔහුගේ පියා කම්මල්කරුවකු විය. ඔබට මතක ද කොරියාවේ ‘හුන්ඩායි’ ගේ මුල් කාලීන ජීවිතයේ හැඩතල? මේ ජපානයේ ‘හොන්ඩා’ යනු හුන්ඩායි මෙන්ම දරිද්‍රතාවයෙන් වෙලී ගැලී දිළිඳුකමේ අන්තිම පතුලේ සිටි පවුලකට අයත් වූ දරුවකු විය. ඉවාතා දිස්ත්‍රික්කයේ ෂිසුඕකා හි හමාමත්සු යනු එවැනිම ඉතා අඩු පහසුකම් යටතේ තිබූ පළාතක් වූ අතර මෙම හොන්දා හෙවත් හොන්ඩා උපත ලැබුවේ 1906 නොවැම්බර් මාසයේ 17 වැනිදා එහිදීය. තාත්තා කම්මල්කරුවකු ලෙස කටයුතු කරමින් සිටිය දී මව ‘මිකා’ කළේ පේෂකර්මාන්තයේ නියැලී කටයුතු කිරීමය. කුඩා හොන්ඩා වැඩිපුර උනන්දු වූයේ තාත්තා බයිසිකල් රෙපෙයාර් කළ පුංචි කම්මලට වී අත්උදවු දීමටය. කෙටියෙන් කිවහොත් වත් පොහොසත්කම් තිබූ පවුල්වල අයගේ දරුවනට මෙන් ප්‍රාථමික ළමා වියෙ හිදී සෙල්ලම් කිරීමට නොයෙක් වර්ගයේ සෙල්ලම් බඩු ඔහු දෑහටවත් දැක නොතිබිණි. ඔහුගේ සෙල්ලම් බඩු වූයේ බයිසිකල් චේන් කෑලි, රේසර් බෝල වැනි ලට්ටා-පට්ටය. තවත් විදියකට කිව්වොත් කුඩා අවදියේ දී මේ හොන්ඩා හට ජීවිතය ගෙවීමට සිදුවූයේ සුන්බුන් බවට පත්ව තිබූ පාපැදි කොටස් සහ යකඩ කෑලි තිබූ වටපිටාවකය. දරිද්‍රතාවයෙන් වෙලී සිටි නිසාදෝ නැතහොත් දෛවයේ කුමක් හෝ සරදමකට නතුව සිටි ‘හොන්ඩා’ පාසල් යෑමට වඩා උනන්දු වූයේ තාත්තා පුංචි බයිසිකල් රෙපෙයාර් කළ තැනට වී සිටීමට මෙන්ම යන්ත්‍රෝපකරණ ගැන දැන ගැනීමටය. ගමේ පාසලේ ඔහුගේ පංතියේ ළමුන්ගේ ප්‍රගති වාර්තා ලැබුණු පසු ළමෝ ඒවා ගෙදර ගෙන ගියේ සතුටිනි. එහෙත් ‘හොන්ඩා’ පාසල් කට්ටි පැනීම කළ නිසා ප්‍රගති වාර්තාව ඔහු හට ප්‍රදානය නොවුණි. ඒ හැරත් ප්‍රගති වාර්තාව ගෙදරට ගෙන ගිය පසු මව්පියන් ලවා එහි අත්සන් යොදා නැවත පාසලට ගෙනැත් දීමට සිදුව තිබිණි. පාසල් නොයා කට්ටි පැන්න මේ ඇට්ටර කොල්ලා දිනෙක හරි මරු වැඩක් කළේය. එනම් පවුලේ මුද්‍රාව යැයි පෙන්වීම සඳහා පා පැදි රබර් පැඩලයේ කොටසක් භාවිතා කොට මුද්‍රාවක් එනම් රබර් සීල් එකක් නිර්මාණය කර ගත්තේය. මෙලෙසින් අනෙක් ළමුනට ද ව්‍යාජ ලෙස ඒවා සකස් කර දුන්නේය. පුංචි හොරාගේ කෙරුවාව පාසලේ ගුරුවරුන් හට අතටම අසුවිණි. ඒ ගැන වගේ වගක් නැතුව තමාගේ ළමා ලොකයේ හොන්ඩා ජීවත් වූයේ මහ පොළොවේ මෙන්ම පරිසරයේ සුවඳ ද ආඝ්‍රාණය කර ගනිමිනි. එකී කුඩා ළමා වියේ දී තම ගමට ආ මෝටර් රථයක් දැක ගැනීමට ඔහු හට හැකිවිණි. එය ඔහුගේ ගමට ආ අතිශය ප්‍රථම මෝටර් රථය මෙන්ම ස්වකීය ජීවිතයේ දී මුල් වරට ‘හොන්ඩා’ දරුවා හට මෝටර් රථයක් දැක ගැනීමේ වාසනාව ලැබුණු ප්‍රථම අවස්ථාව විය.   


‘එදා මම මේ රථය ළඟට දිව ගියේ පිස්සෙක් වගෙයි. ගිහින් ඒ දිහා බලා සිටියා. රථයෙන් දහනය වී ගලා ආ ඉන්ධන සුවඳ, නැතිනම් තෙල් සුවඳ මට අද වගේ මතකයි. ඒ සුවඳ මට කිසිදා අමතක කළ නොහැකියි’ සොයිචීරෝ හොන්ඩා, පසුකාලීනව දේශනයක දී පවසා තිබුණේ එලෙසිනි.   


රථයකින් හමා ආ යාන්ත්‍රික තෙල් සුවඳ එදා ඔහුට ගෙන දුන්නේ අනාගත ජීවිතය සුවඳවත් කර ගැනීම වූ ඉමිහිරි සුවඳක්ම විය.   


තාත්තාගේ කම්මලට රෙපෙයාර් කිරීමට ගෙනැත් දී තිබුණු බයිසිකල් හිමිකරුවකුගේ බයිසිකලයක් ණයට ඉල්ලාගෙන සොයිචිරෝ ගුවන් නියමුවකු විසින් සාදා තිබූ ගුවන් යානයක ආකෘතියක් නැරැඹීමට දිනෙක ගියේය.   


‘මටත් අලුත් දෙයක් කරන්න ඕනෑය’ කියන අදහස ආවේ එදා තමයි. පසුකාලීනව තමාගේ සිහින ලිහා දමමින් සොයිචිරෝ එලෙස සිහි ගන්වා තිබිණ.   


අනෙක් අයගේ මෙන් මටසිළුටු නොවූ ඔහුගේ සිහින වඩාත් යාන්ත්‍රික සිහින විය.   


රළු-පරළු ජීවිතයක් ගමේ සිට ගෙවා දමමින් සිටි කුඩා සොයිචිරෝ හොන්ඩාගේ වයස අවුරුදු පහළොවකට ආසන්න වෙමින් තිබියේය.   


‘මගේ ගමනාන්තය තිබෙන්නෙ මෙතැන නෙවෙයි, කෙසේ හෝ මා තෝකියෝව බලා පලා යා යුතුයි’ කියා හේ කල්පනාවේ නිමග්න වූවේය. ඒ වෙනවිට විධිමත් අධ්‍යාපනයක් නොලබ සිටි ‘හොන්ඩා’ ජීවිතයේ අස්වැන්න නෙළා ගැනීමට නම් මුලින්ම ‘ටෝකියෝ’ හිදී රැකියාවක් කළ යුතු යැයි විශ්වාස කළේය. විධිමත් අධ්‍යාපනයක් නොලබා සිටියෙකු වුවද ඔහුට දැක්මක් තිබිණි. ඔහු ටෝකියෝවේ සිට හඹා යාමට පටන් ගත්තේ ඒ අරමුණ ඔස්සේය.   


1922 දී පමණ මුලින්ම ගරාජයක අත්උදවු කරමින් සහ පුහුණුව ලබමින් ආධුනිකයකු ලෙස පුහුණුව නිම කිරීමට ඔහුට හැකිවිණි. ඉනික්බිතිව තමා කරන්නේ කුමක් ද යන්න ගැන කුහුලින් පසුවුණු ඔහු තවදුරටත් එම ගරාජයේ සේවය කරමින් ගත කිරීමට ඉටා ගත්තේය. සමහර වාර්තාවල සටහන්ව ඇත්තේ එදා මුලින්ම ටෝකියෝවට ආ පසු ගරාජයේ රස්සාව කෙසේ වෙතත් ගරාජය හිමිකරුගේ දරුවා බලා ගැනීමේ වගකීම හොන්ඩා හට පැවැරී තිබුණු වගය. තමාට තමාගේම ගරාජයක් දැමීම අරමුණු කරගත් නිසාවෙන් උදේ, දිවා, රාත්‍රි නොබලා කටයුතු කළ ඔහු පසුව එම ගරාජයේ කාර්මික ශිල්පියකු ලෙස කටයුතු කරමින් බොහෝ දේ ප්‍රායෝගිකව උගත්තේය. විටෙක ඔහු නිදා ගත්තේ එම ගරාජයේ බංකුවක් මතය. පැය විසිහතරම මෙන් වැඩේට බැහැලා හිටපු නිසා මහන්සියක් ඇතිවූ විට බංකුවේ ඇල වී සුළු නින්දක් ලද බව පැවැසිය හැකිය. මේ දුෂ්කර කාල පරිච්ඡේදය සය වසරක් යන තෙක් ගත කිරීමට ඔහුට සිදුවිණි.   


කාර්මික ශිල්පියකු ලෙස කටයුතු කරන අතරේ විවිධ අත්හදා බැලීම් මෙන්ම අලුත් යමක් නිර්මාණය කිරීමේ කුතුහලයෙන් ද පසුවූ හොන්ඩා තරුණයා යම් යම් අලුත් නිෂ්පාදන කිරීමට පෙළැඹුණේ ඉතා දැඩි ලෙස මහන්සි වී උපයාගත් මුදල භාවිතා කරමිනි. එහි අවසන් ඵලය වූයේ තමාගේම ගරාජයක් 1928 දී පමණ ඔහු හට ඇරැඹීමට හැකිවීමය. ගමට යාම පසෙකලූ ඔහු එම ගරාජයේ සිට සේවා ලබාදෙන අතරේ ඉහත කී අයුරින් අලුත් නිර්මාණ කිරීමට කටයුතු කළේය. වාහන මෝටර් රථවල එංජින් සඳහා පිස්ටන් ක්‍රියාත්මක කරවා ගත හැකි පිස්ටන් රින්ග්ස් හෙවත් වළලු නිර්මාණයට පෙළැඹුණේ ඒ අතර වාරයේ දීය. මේ සියල්ලට පෙර 1923 දී ජපානයේ භූමිකම්පාවක් ඇතිවූ මොහොතේ ගරාජයේ තිබූ මෝටර් රථ තුනක් වහාම ගින්නෙන් බේරා ගැනීම වෙනුවෙන් පදවා ගෙන ගිය ඔහු එය කළේ ඊට පෙර සුක්කානම හුරුව තිබූ දෑතින් නම් නොවේය.   


1924 දී පමණ ෂෝකායි ගරාජයේ හිමිකරුගේ සහෝදරයින් සමග එක්ව මෝටර් රථ ධාවන තරග සඳහා සුදුසු පරිදි මෝටර් රථයක් ධාවනය කළ හැකි පරිදි නිමවා ගත් සොයිචිරෝ එම සහෝදරයින් දෙදෙනා සමඟ පස්වැනි ජපාන මෝටර් රථ ශූරතා ධාවන තරගයට ඉදිරිපත් විය. කාර්මික ශිල්පියකු ලෙස සිටි ඔහු හට තම කණ්ඩායමට ජයග්‍රහණය ලබාදීමට එහිදී හැකිවිණි. ආට් ෂෝකායි ගරාජයේ සිට සෑම අංශයකින්ම වැඩ පෙන්වූ මෙම ජව සම්පන්න තරුණයාගේ හැකියාවන් නිසා ෂෝකායි ගරාජය සීඝ්‍ර දියුණුවක් ලැබූ අතර ඒ නමින් ශාඛා කිහිපයක්ම ව්‍යාප්ත කිරීමට හිමිකරුවාව සිටි සකාකිබාරා පියවර ගෙන තිබුණි.   


ආට් ෂෝකායි ගරාජය යනු නිකම්ම වාහන රෙපෙයාර් කරන තැනක් නොවූ අතර අලුත් අලුත් උපාංග සොයා ගැනීම් කළ තැනක් ලෙස ජනතාව අතර ප්‍රකට වූයේ සොයිචිරෝ හොන්ඩාගේ නිර්මාණශීලිත්වය නිසාමය.   


ලෝ ප්‍රකට ටොයෝටා සමාගම හට ඔහු විසින් තනන ලද ‘පිස්ටන් රිං’ අලෙවි කිරීමේ ඇණවුම ලැබී තිබුණ ද ඒවායෙහි තත්ත්වය හොඳ මට්ටමක නොතිබුණු නිසා ටොයෝටා සමාගම ඒවා ගැනීම ප්‍රතික්ෂේප කළ බැව් සඳහන්ය. එයින් පසුබට නොවූ හොන්ඩා තරුණයා තව තවත් අත්හදා බැලීම් කරමින් තමාගේ ගමන යන අතරේ ඉංජිනේරු සහ කාර්මික අංශයේ දැනුම වැඩි දියුණු කර ගැනීම උදෙසා වැඩිදුර අධ්‍යාපනය සඳහා පෙළැඹී සිටියේය. අවසන එහි ඵලයක් ලෙස එදා මුල්වරට ප්‍රතික්ෂේප වූ තමාගේ නිර්මාණ ගුණාත්මක මට්ටමින් නිමවා ටොයෝටා සමාගම වෙත ලබාදීමට හැකිවූ බව සඳහන් වේ. හමාමත්සු පළාතේ ෂෝකායි ගරාජයේ ශාඛාවක් විවර කර තිබුණු අතර එය මෙහෙය වූයේ හොන්ඩා තරුණයාය. ඔහු වැඩිදුර මෝටර් රථ අංශයේ උසස් අධ්‍යාපනය ලැබුවේ එහි තාක්ෂණික විද්‍යාලයෙනි.   

 

සොයිචිරෝ හොන්ඩා බිරිඳ සමග

 


ඇසකට තුවාලවීම   


එලෙසින් කටයුතු කරමින් සිටි අතරේ හොන්ඩා තරුණයා 1936 දී පමණ ජපාන මෝටර් රථ ධාවන තරගයට ඉදිරිපත් වූයේ ටර්බෝ චාර්ග් ලෙස අලුත්වැඩියා කර තිබූ ෆෝර්ඩ් රථයක් උපයෝගී කර ගනිමිනි. ඔහුගේ සහෝදරයා ද මෙම ධාවන රථ තරගයට එක් කරගෙන සිටි අතර ධාවනයේ දී රථය අනතුරට පත්වුණි. හොන්ඩා තරුණයාගේ දිවි ගැලවුණේ ඇසකට දරුණු ලෙස හානි ගෙන දෙමිනි. සහෝදරයා ද අනතුරින් තුවාල ලැබීය. මෝටර් රථ ධාවන තරග සඳහා සමුදුන් සොයිචිරෝ හොන්ඩා නව සොයාගැනීම් සහ පර්යේෂණ ආදියෙහි නිරන්තරයෙන් ඇලී ගැලී වෙලී සිටි අතර 1937 දී පිස්ටන් වළලු නවතාවයෙන් සහ උසස් තාක්ෂණයෙන් යුතුව නිපදවා ටොයෝටා ඇතුළු මෝටර් රථ නිෂ්පාදන ආයතන වෙතින් ඇණවුම් ලබා සිටියේය. 

 
‘හොන්ඩා’ නිර්මාණ කළ එලි බැසීම

   
පිස්ටන් වළල්ලෙන් තමාගේම නව ගමනක් අරඹා තිබූ ‘හොන්ඩා’ එකී ගමන යමින් සිටියදී දෙවැනි ලෝක යුද සමය ඇරැඹී තිබිණි. ඇමෙරිකානුවන් මුදාහළ බෝම්බයක් නිසා හොන්ඩා ස්ථාපිත කර තිබූ පිස්ටන් නිපදවීමේ කම්හල පොළවට සමතලා වුණි. එහෙත් නැවත​ ධෛර්යෙන් නැගී සිටි ඔහු නොසැලී ගමන යමින් සිටියේය. දෙවැනි ලෝක යුද්ධයේ නිමාවට පෙර නැවතත් භූමිකම්පාවක් ඇතිවුණි. එය හැඳින් වූයේ 1945 මිකාවා භූමිකම්පාව නමින්ය. අවශේෂ වූ සියලු කොටස් සහ පිස්ටන් නිපද වූ යාන්ත්‍රණ සියල්ල ටොයෝටා වෙත යෙන් හාර ලක්ෂ පනස් දහසකට විකුණා දැමීය. ඒ ලද මුදලින් 1946 දී පමණ යුද්ධයේ නිමාව සමග තාක්ෂණික පර්යේෂණ ආයතනය නමින් තමාගේ ආයතනයක් ස්ථාපිත කළ හොන්ඩා නව සොයා ගැනීමක් කිරීමට නිතර උනන්දුවී සිටියේය. එහි ඵලයක් ලෙස 1948 දී පාපැදියකට මෝටර් එංජිමක් සවිකොට තනන ලද TYPE-A නමැති යතුරු පැදිය හඳුන්වාදීමට ඔහුට හැකිවිණි. හොන්ඩා නාමයේ ප්‍රථම මෝටර් රථ නිෂ්පාදන ක්‍රියාවලියේ ඇරැඹුම එයම විය. දෙවැනි ලෝක යුද්ධය නිසා අඬු කඩාගෙන සිටි සොයිචිරෝ හොන්ඩා එලෙසින් පටන් ගත් ගමන 1959 වනවිට දියුණු කර ගත්තේ ඇමරිකාවට හොන්ඩා මෝටර් සයිකල අපනයනය කරමින්ය. අතීතයේ දී ඇමරිකානු බෝම්බ ප්‍රහාර හමුවේ මේ ජපනාගේ පිස්ටන් නිෂ්පාදනාගාරය සුන්බුන් ගොඩක් බවට පත්වූ බව අප සඳහන් කළෙමු. එහෙව් වූ අකාරුණික අතීතය අමතක කර දමා ඇමෙරිකාවට අපනයන යැවීමට තරම් සමත්වීම ප්‍රකාශ කරන්නේ ජපනාගේ හපන්කම නිසාම නොවේද?   


‘හොන්ඩා’ ලෝකය 

 
යතුරු පැදි නිෂ්පාදනයෙන් එවකට කප් ගසා සිටියේ ට්‍රම්ප් සහ හාලි ඩේවිඩ්සන් නාමයේ ඒවා වුවද ඒ සියල්ල අභිබවා හොන්ඩා යතුරු පැදි නාමය ලොව වෙළා ගත්තේ රැල්ලක් මෙනි. දෙවැනි ලෝක යුද්ධයේ නිමාවත් සමඟ ජපානයේ හමාමත්සු නගරයේ දී හොන්ඩා සමාගම  බිහිවූ බව සඳහන් කළ හැකිය. එය සංස්ථාපිත සමාගමක් බවට පත්වූයේ 1948  සැප්තැම්බර් 24 වැනිදාය. හොන්ඩා මෝටර් කම්පැනි නමින් එදා සොයිචිරෝ මේ මහා  ගමන ආරම්භ කළේ ව්‍යවසායකයකු වූ තතේඕ ෆුජිසාවා සමග එක්වය. හොන්ඩා මෝටර්  සමාගමේ මූල්‍ය කටයුතු අංශය භාරව කටයුතු කරමින් හොන්ඩා නාමය ලෝක සළකුණක්  කිරීමට ඔහුගෙන් ලැබුණේ ද නොමද සහායකි. එතෙක් රෝද දෙකේ ගමනක් යමින් සිටි  හොන්ඩා සමාගම රෝද හතරෙ ගමන ඇරැඹුවේ 1967 දී පමණය.  


ඒ වනවිට යතුරු පැදිවලට අමතරව මෝටර් එංජින් මෙන්ම තවත් බොහෝ උපාංග හොන්ඩලා හට නිපදවීමට හැකිව තිබිණි. පසුකාලීනව ‘හොන්ඩා’ සමාගම අංශ කිහිපයක් ඔස්සේ විහිදී පැතිරී ගිය සමූහ සමාගමක් බවට හැරවුණි. මෝටර් සයිකලයෙන් මෝටර් එංජින් නිපදවීමට ද පසුව මෝටර් රථ නිපදවීමට ද පෙළැඹ සිටි හොන්ඩා ලොව එංජින් නිපදවන ප්‍රමුඛතම සමාගම බවට පත්වූයේය. එක් තැනෙකින් පමණක් නොනැවතුණු හොන්ඩා නාමය ඉදිරියේ ගුවන් යානා මෙන්ම නවීනතම රොබෝ යන්ත්‍ර පවා අද වනවිට නිෂ්පාදනය වී හමාරය. එලෙසින් හොන්ඩා සමාගමට බොහෝ දේ කළ හැකි වූයේ සොයිචිරෝ හොන්ඩා සතුවූ පර්යේෂණ කිරීමේ දර්ශනය නිසාය. එක් දෙයක් සොයාගෙන නොනැවතුණු ඔහු බොහෝ ගවේෂණ කරමින් ‘හොන්ඩා’ නාමය යටතේ නිෂ්පාදනය කළ දේ නම් සැබැවින්ම විශ්මිතය. මෝටර් රථ ක්ෂේත්‍රයේ දී ජපානයට ගෙන දුන් නවතාවය නිසා ජපාන ජනතාව සොයිචිරෝ හොන්ඩා හඳුන්වන්නේ ‘ජපානයේ හෙන්රිෆෝඩ්’ යනුවෙනි.   

 

 


ජපානයේ හෙන්රිෆෝඩ් ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින් වූ සොයිචිරෝ හොන්ඩාගේ පුද්ගලික ජීවිතය හා දර්ශනය   


මෝටර් රථ හා මෝටර් එංජින් ඇතුළු ගුවන් යානා මෙන්ම රොබෝ තාක්ෂණ නිමැවුම් ක්‍රියාවලියෙහි ද පෙරමුණට ආ ‘හොන්ඩා’ යනු ජපානයේ මෝටර් රථ හා මෝටර් ඉංජිනේරු මෙන්ම තාක්ෂණික අංශයට වැදගත් මුද්‍රාවක් සළකුණක් ලෝක සිතියමේ සනිටුහන් කළ සාඩම්බර සමූහ සමාගමකි. ඒ අභිමානය පිටුපස සිටි අභිමානවත් මිනිසා සොයිචිරෝ හොන්ඩාමය. උපාධි පිටුපස හඹා ගොස් උපාධි ගන්නා පිරිස බොහෝ වෙති. එහෙත් ඒ අතරින් ප්‍රායෝගික වී ලෝකය සැරැසීමට හැඩ කිරීමට දායක වෙන්නේ අතළොස්සක් දෙනා පමණකි. ඒ අතින් මේ සොයිචිරෝ හොන්ඩා යනු ලියැවිල්ලකට, කියැවිල්ලකට, ළතැවිල්ලකට, වැළපිල්ලකට වඩා අතිශයින්ම ප්‍රායෝගික වූ මිනිසකු නොවේද?   


අතීතයේ දී පාසලින් කට්ටි පැනපු හොන්ඩා ඒ කට්ටි පැනීම වෙතින් සමාජයට එපා කරපු මිනිසකු නොවීය. රස්තියාදුකාරයකු ද නොවීය. සියවස් ගණනාවකට ප්‍රායෝගික වූ මිනිසකු ලෙස මහා සළකුණක් තැබූ මිනිසකුම විය. ඔහු සහ ඔහුගේ බිරිඳ ගුවන් නියමු බලපත්‍රලාභීන් වූයේ වයස අවුරුදු හැට ඉක්මවා තිබූ වයසේ දීය. ළමා වියේ දී දරිද්‍රතාවයේ පතුලේ සිටි ‘හොන්ඩා’ ජීවිත ගමන නිමා කළේ වඩාත් අර්ථාන්විත මෙන්ම ප්‍රායෝගික වූ මිනිසකු ලෙසිනි.   


විශ්‍රාමික සමයේ දී හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාව, රේසිං කාර් ධාවනය කරවීම, ගුවන් ක්‍රියාකාරකම් සහ වා බැලුනයෙන් යෑම වැනි දේ විනෝදාංශ ලෙස කළේය. ‘හොන්ඩා’ සමාගම නිර්මාණය කළ සොචිහිරෝ හොන්ඩා සහ තකේඕ ෆුජිසාවා කිසි දිනෙක තම පුතුන් හට හොන්ඩා සමූහයේ නියැලී කටයුතු කිරීමට බල නොකළේය.  


මෙනිසා හොන්ඩාගේ පුතු වන හිරෝතෝෂි හොන්ඩා Mugen motor sports නමින් තමාගේම සමාගමක් ස්ථාපිත කිරීමට 1973 දී පමණ හැකිවිණි. මෝටර් රථ ධාවන තරග සඳහා වූ සුපිරි මෝටර් රථ නිපදවීම ඒ මගින් සිදුවූ අතර පසුව තම පියාගේ හොන්ඩා සමාගමට ද ‘රේසිං කාර්’ නිර්මාණය කර දුන්නේය. 1991 අගෝස්තු 6 වැනිදා හංගිරියානු ගෝන් ෆ්‍රී මෝටර් රථ ධාවන ඉසව්ව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය වී තිබුණේය. හොන්ඩා මහතා ඊට පෙරදා අසනීප තත්ත්වයෙන් පසුවිණි. එදිනම ‘හොන්ඩා’ නමැති මහා මිනිස් යන්ත්‍රය සදහටම අක්‍රිය වූවේය. හංගේරියානු ගෝන් ෆ්‍රී ජයග්‍රාහකයා කුසලානය සොයිචිරෝ හොන්ඩා මහතාගේ නාමයට පුද කළේය. ස්වකීය ජීවිත කාලයේ දී ‘හොන්ඩා’ මහතා ලද සම්මාන ගරු බුහුමන් නම්බුනාම බොහෝය. ඒ සියල්ලටත් වඩා වටින්නේ ඔහු ලෝකයට ලබාදුන් හොන්ඩා දර්ශනයයි. ජීවිතය කෙතරම් නම් අරුත් සම්පන්න ද බර ද විශාල ද යන්න වටහා ගැනීමට සොයිචිරෝ හොන්ඩාගේ ජීවිතය වෙතින් ගත හැකි දේ නම් බොහෝය.

 

 

 

පරිවර්තන සටහන :
සඳුන් ගමගේ