රෝ ​ලේබලය වැදුණු ලංකාවේ දේශපාලකයෝ


 

සී.අයි.ඒ. යනු ඇමෙරිකානු මධ්‍යම රහස් තොරතුරු ඒජන්සියය. ඇමෙරිකා රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් ඔත්තු බලන්නේ මේ සංවිධානය ය. එක්තරා කාලයක ලංකාවේ දේශපාලකයන්ට කැස්සක් ගියත් සී.අයි.ඒ. සංවිධානය බැණුම් අහන යුගයක් තිබිණි. 1950 ගණන්වල සිට 1980 ගණන් දක්වාම මේ ගෞරවය ලැබුවේ සී.අයි.ඒ. සංවිධානය ය.   


1956 බණ්ඩාරනායක ඝාතනයට සමහරු ඇඟිල්ල දිගු කළේ සී.අයි.ඒ. සංවිධානයට ය. ඔසී කොරයා නමැති ව්‍යාපාරිකයා පිටුපස සිටිමින් සැබෑ ඝාතනය කළේ සී.අයි.ඒ. බව එකල නොඇසූ කනක් නොතිබුණේය.   

ඊළඟට ආවේ 1971 ජවිපෙ කැරැල්ලය. කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වූ ඇත්ත පත්‍රය ජවිපෙ කැරැල්ල තිඹිරිගෙයි තිබියදීම පොල් ගෙඩි අකුරින් පළමු පුවත ලෙස හෙළිදරව්වක් පළ කළේ සී.අයි.ඒ. කෙමනක් යනුවෙනි. ජවිපෙ යනු සී.අයි.එ්. සංවිධානයේ වුවමනාවන් සඳහා ලංකාවේ තරුණයන් අල්ලා දෙන කෙමනක් යන අර්ථයෙන් මෙම ලිපිය පළකර තිබේ. (කෙමන යනු මාළු අල්ලන උගුලකි.) 1970 ගණන්වල සිට අසූ ගණන් දක්වා දක්ෂිණාංශික දේශපාලකයන් තමන් සී.අයි.එ්.කාරයෙක් ලෙස හංවඩු ගසනවාට කැමැත්තක් තිබිණ. වාමංශිකයන් දක්ෂිණාංශික එජාප ඇතුළු පක්ෂවල අයට කීවේම සී.අයි.ඒ.කාරයෙක් සී.අයි.ඒ. ඡන්ද ගුණ්ඩු ආදී වශයෙනි.   


ඒත් ලොකුම සී.අයි.ඒ.කාරයා ලෙස කියැවුණු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1987 ඉන්දීය පරිප්පු හුටපටයේදී සී.අයි.එ්. එකෙත් අයිතිකාරයා වූ ජනාධිපති රෝනල්ඩ් රේගන්ට ඉන්දියාව තම රටට පරිප්පු දැමූ බව කියා අඬද්දී රේගන් කීවේ තමන්ගේ රටේ ලොකු අයියා වන ඉන්දියාව කියන පිළිවෙළට වැඩකටයුතු කරන්න කියාය.   


ඇමෙරිකාව ලෝක පොලිස්කාරයා වුණාට ඒ ඒ වීදිවල ගණන්කාරයන් සමඟ හැප්පෙන්න යන්නේ නැති බව ජේ.ආර්. රජය දැන නොසිටියේය. දකුණු ආසියාව සහ හරස් පාරේ පමණක් නොව ආසියාව යන මහ පාරේත් චණ්‍ඩියා ඉන්දියාවය. මහපාරේ මේ පැත්තේ චණ්‍ඩියා ඉන්දියාව වනවිට එහා පැත්තේ චණ්‍ඩියා චීනය ය. අමෙරිකාව ඒ ඒ වීදිවල චණ්ඩින්ගේ ලෙඩවලට අත දාන්න යන්නේ නැත. ඉන්දියානු චණ්ඩියාට එරෙහිව තමන්ගේ ගෙයි එළිපත්තේ සිට කෑ ගසා ඵලක් නැති බවත් එසේ කෑ ගැසුවාට අසල්වැසි වීදි චණ්‍ඩියාට එරෙහිව පාරෙන් හැතැම්ම ගාණක් දුර සිටින අැමෙරිකාව හෝ සී.අයි.ඒ. එකවත් නොඑන බව වටහාගත් ජේ.ආර්. එතැන් සිට වීදි චණ්‍ඩියා කියන දේ කිරීමට තීන්දු කළේය. එහි ප්‍රතිඵලය වූයේ සී.අයි.ඒ. වෙනුවට රෝ බලය අතට ගැනීමය.   


එතැන් පටන් මෙරට සී.අයි.ඒ. හංවඩුව ගිලිහී අලුත් හංවඩුවක් මතුවිය. ඒ රෝ හංවඩුවයි. ඉන්දියානු භූමියේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස දිවි හිමියෙන් කැපව සිටින පර්​ෙ‌ය්ෂණ​ සහ විශ්ලේෂණ අංශය Research and Analysis Wing හෙවත් රෝ සංවිධානය 1987 ජුලි 29 වැනිදා පටන් සී.අයි.ඒ. සංවිධානයේ අනුප්‍රාප්තිකයා බවට පත්විය. එදා පටන් මෙරට දක්ෂිණාංශික සහ වාමාංශික දේශපාලකයන් එකිනෙකාට ගහගන්නේ රෝකාරයන් සහ රෝ නියෝජිතයන් ලෙසය.   


ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය බලපෑම් මතුවෙන්නට පටන් ගත්තේ 1977 එජාප රජය පැමිණීමත් සමඟය. ඒ වනවිට ජනාධිපති ජේ.ආර්. හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකට එරෙහිව ගත් යම් යම් පියවර එවකට ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ නොසතුටට හේතු විය. ඉන්දිරා තම මිතුරිය ගලවා ගැනීමට ගත් රාජ්‍ය තාන්ත්‍රික පියවරට ජනාධිපති ජේ.ආර්. කන් නොදීමේ ප්‍රතිඵලය වූයේ උතුරේ මතුවෙමින් තිබූ දමිළ බෙදුම්වාදයට ඉන්දියාව උදව් කිරීමය. එකල රෝ සංවිධානය දකුණු ඉන්දියාවේ වනාන්තරවල කොටි සංවිධානය ඇතුළු බෙදුම්වාදී කල්ලි 37කට අවි පුහුණුව ලබා දුන්නේය. 1981 මෙම බෙදුම්වාදීන් යාපනයේ අන්නාකෝට්ටේ තිබූ පොලිස් ස්ථානයට පහර දුන්නේය. එය පොලිසියකට එල්ල කළ පළමු ප්‍රහාරය විය. 1983 ජුලියේ කොළඹ සිදුවූ දමිළ ජනතා සංහාරය නිසා ඉන්දියාවට ලංකාවේ දමිළයන් වෙනුවෙන් පෙනී සිටීමේ සුජාතභාවය ලැබිණි. එතැන් පටන් ​රෝ එළිපිටම උතුරේ බෙදුම්වාදයට උදව් කිරීමට පටන් ගත්තේය.   


ඉන්දියාවේ ඒකීයභාවය වෙනුවෙන් රෝ ගෙන යන කාර්යභාරය රටක් හැටියට ගත්විට සාධාරණය. 1984 පමණ කාලයේ ලංකාව සිටියේ ඇමෙරිකාවේ අල්ලේ නැටවෙමිනි. පාකිස්තානයේ නායක සියා උල්හක් ද අැමෙරිකානු හිතවතකු විය. බංග්ලාදේශයේ හමුදා පාලක මොහොමඩ් එර්ෂාද් ද ඇමෙරිකා හිතවතකු විය. ඒ කාලයේ ලෝකය බෙදී තිබුණේ ඇමෙරිකා හිතවාදී සහ සෝවියට් හිතවාදී ලෙසය. ඉන්දියාව සෝවියට් හිතවාදී විය. මේ නිසා සෝවියට් හිතවාදී ඉන්දියාව, හතරවටින් වටකරගෙන සිටින ඇමෙරිකා වැඩපිළිවෙළේදී ලංකාවම ඇමෙරිකා පිලට නතු වී සිටින බව එකල ජාත්‍යන්තර විචාරකයෝ නිතර ලීවේය. ඉන්දියාවේ ද පන්ජාබය, ඇසෑමය, කාෂ්මීරය, ත්‍රිපූරු, මියෝරාම් හා බෙංගාලයේ ඩාර්ජිලිං කඳු ප්‍රදේශය තුළ බෙදුම්වාදී අරගල දැඩිව පැවැතුණේය. මේවා අතරට තමිල්නාඩුව ද එකතු වුවහොත් ප්‍රශ්නය තවත් උග්‍ර වනු ඇති බව සිතූ ඉන්දියාව තමිල්නාඩුව බේරා ගැනීම සඳහා ලංකාවේ ත්‍රස්තවාදී කල්ලිවල පාලනය තම අණසකට ගෙන ඔවුන් මෙහෙයවීම පටන් ගත්තේය.   


රෝ යනු ඉන්දියානු භූමියේ පරම පවිත්‍ර ආරක්ෂකයාය. විදේශ ආක්‍රමණ ද අත පෙවීම් පිළිබඳ කලින්ම දැන ගන්නා රාජ්‍යය රේඩාර් යන්ත්‍රය ය. රෝ නොතිබෙන්නට ජනපද 25කින් සුසැදි භාරත මාතාව වටා මෙලහකටත් ස්වාධීන රාජ්‍ය දුසිමක්වත් බිහිවෙලාය. රට තුළ දේශපාලන අරගල කැලඹීම් කල් තියා දැන ගැනීම මෙන්ම අසල්වැසි රටවල ආණ්ඩු සහ විපක්ෂය බලවත් වීම කලාපීය රටවල් අතර විරසක සහ ඇතිවන මිත්‍ර සන්ධාන රෝ ඇසින් ගිලිහී යන්නේ නැත. 1987 ඉන්දු ලංකා ගිවිසුම මෙරටට රෝ සංවිධානය කළ දැවැන්ත මැදිහත්වීමකි. එම ගිවිසුමෙන් පසු ලංකාවට එවූ සාම සාධක හමුදාවේ අණදෙන නිලධාරියා වූ ජනරාල් ක්‍රිෂ්ණා ස්වාමි සුන්දර් ජී පසුකාලීනව කියා සිටියේ ශ්‍රී ලංකා හමුදා වඩමාරච්චිය අල්ලා ගැනීම අපට ලංකාවට ඒමට සිදුවූ හේතුව කියාය. ලංකාවේ වඩමාරච්චි ජයග්‍රහණයෙන් පසු තමිල්නාඩුවේ ජනතාව දුම්රිය ස්ථාන තැපැල් කාර්යාල ආදියට පහර දී ගිනි තැබූ බවත් ලංකාවේ යාපන ජනතාවගේ සහයෝගය පිණිස එසේ කළ බවත් ජනරාල් සුන්දර් ජී කියයි. මෙය කැරැල්ලක් සේ වර්ධනය වීම වැළැක්වීම සඳහා වඩමාරච්චි මෙහෙයුමට එරෙහි ක්‍රියාන්විතයකට යාමට ඉන්දියාවට සිදුවූ බව ද ඔහු සඳහන් කරයි.   

 

“රෝ ඉහළ නිලධාරියකු නීනා ගෝපාල්ට විස්තර කර ඇති අන්දමට අපි සංඥා හරියාකාරව තේරුම් ගත්තා නම් ප්‍රභාකරන්ගේ සිත තේරුම් ගැනීමට සමත් වූවා නම් අපට සමහරවිට එය (රජීව් ඝාතනය) වළක්වා ගැනීමට හැකියාව තිබෙන්නට ඇති.   


එය අපේ වරදක්. අපි ප්‍රභාකරන් හරියාකාරව තේරුම් ගත්තේ නෑ. අපි කිසිදාක හිතුවේ නෑ ප්‍රභා මේ අන්දමට (රජීව් ඝාතනය) අපට එරෙහිව කටයුතු කරයි කියා. එය අපට තේරුම් ගැනීමට තිබුණා. එහෙත් එසේ සිදුවී නැහැ.   


අපි රජීව් සම්බන්ධයෙන් අසමත් වුණා. අපට ඔහුගේ ජීවිතය බේරා ගැනීමට බැරි වුණා.” එම නිලධාරියා සඳහන් කළ බව නීනා ගෝපාල් කියයි. 


එදා රෝ එහෙමය. එකල උතුරේ සන්නද්ධ සංවිධානය පෝෂණය කළ රෝ පසුකාලීනව උතුරේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ලක් රජයට සහාය විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට ටික කලකට පෙර විදේශ මාධ්‍යයට කීවේ එල්.ටී.ටී.ඊ. මුලිනුපුටා දැමීම තමන්ට අැමෙරිකාව සහ ඉන්දියාව ද උදව් කළ බවය. ඉන්දියානු උදව් රෝ උදව්වෙන් තොරව කවදාවත් ලැබෙන්නේ නැත. ලංකාවේ ප්‍රශ්නයට අත දා ඉන්දියාවට විශාල වශයෙන් අලාභ හානි විඳින්නට සිදුවිය. මැතිවරණයකදී සමස්ත ඉන්දියාවේම ජනතා ආකර්ෂණය හිමිවුණු රජීව් ගාන්ධි අහිමිකර ගැනීම (රජීව්ගෙන් පසු රට පුරාම ඡන්ද ලැබුණේ වත්මන් අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදිටය) ලංකාවේ ත්‍රස්ත විරෝධී මෙහෙයුමට ආ ඉන්දීය සාමසාධක සෙබළුන් හා නිලධාරීන් 1200 දෙනකු මරණයට පත්වීම හා මෙම යුද්ධය නිසා ඉන්දියාවට ලැබුණු ආර්ථික වාසියක් නැතිවීම එම හේතු වේ. 1990 රජීව් ඝාතනයෙන් පසු රෝ අලුත් මගක් ගත්තේය. මහා පරිමාණ හමුදා මෙහෙයුම් වෙනුවට ලංකාවේ දේශපාලකයන් සමඟ ගනුදෙනු මගින් මෙරට දේශපාලනය හැසිරවීම සඳහා බලපෑම් කිරීම එම අලුත් පිළිවෙතය. එයට පෙර තමා විසින්ම පෝෂණය කර මුදාහළ එල්.ටී.ටී.ඊ. ය කලාපයටම හිසරදයක් වීම නිසා ප්‍රභාකරන්ගේ අවසානය උදා කරන ශ්‍රී ලංකා හමුදා මෙහෙයුමට රෝ උපකාර කළේය. 

 
ද රෝල් ඔෆ් ඉන්දියා ඊස් කිලින් ප්‍රභාකරන් යන හිසින් 2013 වසරේ ලිපියක් ලියූ ඉන්දීය ලේඛක වී.කේ. ශෂිකුමාර් ලංකා යුද්ධයේ ඉන්දියානු භූමිකාව පිළිබඳ හෙළිදරව්වක් කරයි. ඔහු කියන්නේ 2009 මැයි 17 වැනිදා නන්දිකඩාල්හිදී ප්‍රභාකරන් හා පවුලේ සාමාජිකයන් මරා දැමූ දින හෝ මලයාලි බ්‍රි​ගේඩියර්වරයකු ලෙස හඳුන්වන ඉන්දියානු හමුදා අණදෙන නිලධාරියකු නන්දිකඩාල් භූමියේ සිටින අන්දමට ඡායාරූපගතව ඇති බවයි. ශ්‍රී ලංකාවේ උදව්වට ඉන්දීය රේඩාර් ඒකකයක් උතුරු යුද බිමේ ස්ථානගතව තිබූ අතර මෙම නිලධාරියා දිල්ලියෙන් ලැබුණු නියෝග පිළිපදිමින් තම රේඩාර් ක්‍රියාකරුවන් නන්දිකඩාල් කළපුව ඔස්සේ මෙහෙයවමින් සටනට සක්‍රිය දායකත්වය ලබාදුන් බවයි. ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ රජය ගෙන යන ප්‍රචාරයක් වන ප්‍රභාකරන් ඝාතනය කළේ ශ්‍රී ලංකා හමුදාවය යන්න එමගින් බිඳවැටෙන බවත් එල්.ටී.ටී.ඊ. ය අවසන් කළ සටනට ඉන්දියාවේ සක්‍රිය දායකත්වය තිබුණ බවත් ඔහු හෙළිදරව් කරයි.   


ඉන්දියානු මාධ්‍යවේදිනී නීනා ගෝපාල් ලියූ ඇසසිනේෂන් ඔෆ් රජීව් ගාන්ධි පොතේ ප්‍රභාකරන් ළඟ සිටි රෝ ඔත්තුකරුවකු ගැන සඳහන් වෙයි. රජීව් ගාන්ධි 1991 දී ඝාතනය කළ සිද්ධියේ ඉන්දියානු බන්ධනාගාරගතව සිටින සැකකරුවන් හමුවී තමා සාකච්ඡා කළ බවත් එල්.ටී.ටී.ඊ. දෙවැනියා වූ ගෝපාලස්වාමි මහේන්ද්‍රරාජා හෙවත් මහත්තයා රෝ සංවිධානයේ ඔත්තුකරුවකු වූ බවත් ඇය කියන්නීය. (මහත්තයා පසුව එල්.ටී.ටී.ඊ. ය විසින්ම මරා දැමුණි.)


ප්‍රභාකරන්ගේ සමීපතම මිතුරකු වූ යාපනය කොටි අණ දෙන්නා වූ කිට්ටු එම්.වී. අහඩ් නමැති නෞකාවෙන් ආයුධ තොගයක් රහසිගතව ප්‍රවාහනය කරමින් සිටියදී 1993 වසරේ ඉන්දීය හමුදාවට කොටු විය. නාවිකයන් මෙම යාත්‍රාව කිට්ටු ද සමඟ මුහුදුබත් කළ අතර රෝ ඔත්තු සේවයට මෙම රහසිගත නැව පිළිබඳව ඔත්තුව දුන්නේ මහත්තයා බව එල්.ටී.ටී.ඊ. ය සැක කළේය.   


පො​තේ සඳහන් අන්දමට එල්.ටී.ටී.ඊ. ය මහත්තයා පැහැරගෙන ඔවුන්ගේ කඳවුරකට ගෙන ගොස් ඇත. එහිදී සති ගණන් එක දිගට ඔහුට වධ හිංසා පමුණුවා ඇත. අවසානයේ කතා කරගැනීමටවත් නොහැකි තරමට දුර්වල වූ පසු මහත්තයා රැගෙන ගොස් මරා දමා ඇත. ඒ මාස 19කට පසු 1994 දෙසැම්බරයේදීය. මහත්තයාගේ අනුගාමිකයන් වූ ඉහළ සහ පහළ මට්ටමේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 257 දෙනකු ද එල්.ටී.ටී.ඊ.යේ සුපුරුදු කෘෘර ක්‍රියාදාමයකට අනුව වෙළකට දමා ගිනි තබා මරා දමා ඇතැයි එම කෘතියේ සඳහන් වෙයි.   


රෝ සංවිධානය එල්.ටී.ටී.ඊ. ය සමඟ හොර සම්බන්ධතා පවත්වාගෙන ගිය නමුත් 1987-1990 උතුරු නැගෙනහිර පළාත්වල ඉන්දීය හමුදා ස්ථානගත කළ පසු ඉන්දියානු හමුදාවේ ද සිවල් සහ රහස් ඔත්තු නිලධාරීන් ද තානාපති නිලධාරීන් ද එකිනෙකට පරස්පර ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මෙම පොතේ සඳහන්ය.   


රජීව් ගාන්ධි මරා දැමීමට ප්‍රභාකරන් අණ කිරීමෙන් පසු සෙසු ඉන්දීය ආයතන මෙන්ම රෝ සංවිධානය ද එල්.ටී.ටී.ඊ. ය තමන්ට ද්‍රෝහි වූවා කියා විශ්වාස කළ අතර අවසානයේ ප්‍රභාකරන් ඝාතනයට ද ඔවුන්ගේ සම්බන්ධයක් තිබෙන්නට ඇතැයි සැක පහළ කරන බව එම පොතේ සඳහන්ය.   


රෝ ආරංචි මාර්ගවලට අනුව 2009 දී ඔහු සහ ඔහුගේ සමීප කණ්‍ඩායම ශ්‍රී ලංකා රජය අපේක්ෂා කළ අන්දමට ඔවුන්ට නොව අවි බිම තබා යටත් වුවහොත් අපක්ෂපාතී ජාත්‍යන්තර කණ්‍ඩායමකට තමන් භාරදෙන බවට තදබල විශ්‍වාසයක් තිබී ඇත.   


රෝ සංවිධානය එල්.ටී.ටී.ඊ. ය සමඟ පැවැති රහස් සබඳතා නිසා එල්.ටී.ටී.ඊ. ය රෝ වෙත දැඩි විශ්වාසයක් තබා තිබිණි. එහෙත් එල්.ටී.ටී.ඊ.යට විරුද්ධව ඉන්දියන් හමුදාව යෙදවීම නිසා කිසියම් දවසක ප්‍රභාකරන් රජීව් ගාන්ධි ඉලක්ක කර ගනී යන්න රෝ සංවිධානයට වටහා ගැනීමට අසමත් විය.   


“රෝ ඉහළ නිලධාරියකු නීනා ගෝපාල්ට විස්තර කර ඇති අන්දමට අපි සංඥා හරියාකාරව තේරුම් ගත්තා නම් ප්‍රභාකරන්ගේ සිත තේරුම් ගැනීමට සමත් වූවා නම් අපට සමහරවිට එය (රජීව් ඝාතනය) වළක්වා ගැනීමට හැකියාව තිබෙන්නට ඇති.   


එය අපේ වරදක්. අපි ප්‍රභාකරන් හරියාකාරව තේරුම් ගත්තේ නෑ. අපි කිසිදාක හිතුවේ නෑ ප්‍රභා මේ අන්දමට (රජීව් ඝාතනය) අපට එරෙහිව කටයුතු කරයි කියා. එය අපට තේරුම් ගැනීමට තිබුණා. එහෙත් එසේ සිදුවී නැහැ.   
අපි රජීව් සම්බන්ධයෙන් අසමත් වුණා. අපට ඔහුගේ ජීවිතය බේරා ගැනීමට බැරි වුණා.” එම නිලධාරියා සඳහන් කළ බව නීනා ගෝපාල් කියයි.   


සැබැවින්ම ඔවුන්ට එය නොහැකි විය. රජීව් ගාන්ධි යනු ඉන්දියානු මාතාවට දිගු කලකින් ලබාගත නොහැකි නායකයකු විය. ඔහු සම්බන්ධයෙන් ලාංකිකයන්ට ඇත්තේ නොපනත් හැඟීමක් වුවත් සමස්ත ඉන්දියාව මැතිවරණවලදී ජයගැනීමට හැකි නායකත්වයක් ආකර්ශණයක් ඔහුට තිබිණ. රජීව් ඝාතනය වූයේ ඔහුගේ සේවය ඉන්දියානුවන්ට අත්‍යවශ්‍යම වූ යුගයකය.   


ලංකාවේ සිටින දේශපාලකයන් හතරදෙනකුට මේ වනවිට රෝ ඒජන්ත යන ලේබලය වැදී තිබේ. ජනපති කැබිනට් රැස්වීමේදී කළ බව කියන ප්‍රකාශයක් මත මේ ප්‍රශ්නය කරළියට ආව ද ලංකාවේ ඇමැතිවරුන්ට රෝ ඒජන්තයන් යන ලේබල් ඇල වුණේ අද ඊයේ පටන් නොවේ. 1987 ඉන්දු ලංකා ගිවිසුමට මූලික වූ ගාමිණී දිසානායක ඇමැතිවරයාට සමහරුන් චෝදනා කළේ ඔහු ඉන්දියානු වුවමනාවට මෙම ගිවිසුම වෙනුවෙන් පෙනී සිටින බව කියමිනි. ගාමිණී රෝ හිතවතකු බව එවකට විපක්ෂය වූ ශ්‍රීලනිපය කෑමොර ගැසුවේය. එවකට විදේශ ඇමැති වූ ඒ.සී.එස්. හමීඩ් ට ද රෝ හිතවාදී ලේබලය එල්ල වුණේය. චන්ද්‍රිකා රජයේ ඇමැතිවරයකු වූ තොණ්‍ඩමාන් හෙම්බරිස්සාවටත් දුවන්නේ ඉන්දියාවට නිසා ඔහු ද කාලයක් රෝ ලේබලය අලවාගෙන සිටියේය.   


මහින්ද රාජපක්ෂ රජය 2015 පෙරළා දැමීමට කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරියකු සම්බන්ධ බවට මහින්ද පාර්ශ්වය ජනපතිවරණය සමයේ චෝදනා කළේය. එම නිලධාරියා ලංකාවෙන් ගෙන්වා ගන්නා ලෙස ද මහින්ද රාජපක්ෂ රජය එකල දැනුම් දුන්නේය. මේවා සියල්ලම ඒ ඒ අයගේ කතා වෙන්නට පුළුවන. කලක් සී.අයි.ඒ. ලේබල් ද එකිනෙකාට අලවන්නේ අපගේ දේශපාලකයන් විසිනි. අපගේ දේශපාලකයන් එකිනෙකට අලවන ලේබල් ගැන අපේ ජනතාව නම් හොඳින්ම දනිති. එහෙත් අඟහරුවාදා උදෑසන පැවැත්වෙන ලංකාවේ කැබිනට් රැස්වීමේ කතාබහ වෙන දෙයක් පසුදා නවදිල්ලියේදී මුද්‍රණය වන ඉන්දියානු පුවත්පතක පළවීම යනු රෝ කාර්යක්ෂමතාවට හොඳම උදාහරණයක් බව නම් ලිවිය යුතුමය. 

 

 

 

ප්‍රේමකීර්ති රණතුංග