රියැදුරුට නින්ද යාමෙන් ඉහළ යන මාරක අනතුරු


 

 

ලොව සිදුවන සෑම මාරක රිය අනතුරු 4 කින්ම එකක් සිදුවන්නේ නිදිමත හේතුවෙනි.


මාර්ග අනතුරු ඇතිවීම සඳහා මූලිකවම බලපානුයේ ක්ෂණිකව ඇතිවන ක්ෂුද්‍ර නිදිමත නොහොත් කෙටි නිදිමතයි (Micro - Sleepiness)
අන්නාසි කෙසෙල් දොඩම් වැනි පලතුරු වර්ග ආහාරයට ගැනීමෙන් මෙලටොනීන් නිපදවීම උත්තේජනය වන නිසා එවැනි ආහාර පරිභෝජනය සිදු නොකළ යුතුය.


රතු ආලෝකය භාවිතයද සුදුසු නොවේ

රියැදුරාට නින්දයාම හේතුවෙන් සිදුවන රිය අනතුරු පිළිබඳව මේ දිනවල නිතර කතාබහට ලක්වන්නේ එහි ප්‍රතිඵල ලෙස විශාල ජීවිත ප්‍රමාණයක් අහිමිවෙමින් පවතින බැවිනි. වර්තමාන සංඛ්‍යාලේඛනවලට අනුව ලොව සිදුවන සෑම මාරක රිය අනතුරු 4කින්ම එකක් සිදුවන්නේ නිදිමත හේතුවෙනි. එමෙන්ම නිදිමතෙන් හෝ අධික මහන්සියෙන් යුතුව රිය පදවන්නෙකු අනතුරට පත්වීමේ හැකියාව සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා 6 ගුණයක් ඉහළ බවද පර්යේෂණ මගින් අනාවරණය කරගෙන ඇත.


මෙලෙස නින්දයාමට හේතූන්, ක්ෂණිකව මෙලෙස ඇතිවන නිදිමතෙහි ස්වභාවය සහ එය අවම කරගැනීමට ඇති ක්‍රියාමාර්ග මෙන්ම මේ ආශ්‍රිතව වැදගත් කාරණා කිහිපයක් පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා වේ.


නින්ද යනු මිනිසාගේ නීරෝගී දිවි පැවැත්මට අත්‍යාවශ්‍ය, එහෙත් කාර්යබහුල ජීවන රටාවත් සමඟ ක්‍රමයෙන් ඈත්වෙමින් පවතින, මානව සිරුරේ අත්‍යාවශ්‍ය ජෛවරසායනික ක්‍රියාවලින් රාශියක් සිදුවන කාල පරාසයකි.


සැබවින්ම මාර්ග අනතුරු ඇතිවීම සඳහා මූලිකවම බලපානුයේ මෙලෙස ස්වභාවිකව ඇතිවන සාමාන්‍ය නිදිමත නොව ක්ෂනිකව ඇතිවන ක්ෂුද්‍ර නිදිමත නොහොත් කෙටි නිදිමතයි (Micro - Sleepiness)


කෙටි නිදිමත යනු දවසේ ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයකදී තත්පරයකින් කොටසක කාලයක සිට තත්පර 30ක උපරිම කාල සීමාවක් සඳහා ක්ෂණිකව ඇති විය හැකි ඉතා අනතුරුදායක තත්ත්වයකි. මක්නිසාදයත් මෙම කෙටි කාලය තුළ අපගේ සංවේදන ප්‍රතිග්‍රාහක මගින් සංවේදන ලබාගැනීමත්, මොළය මගින් එම තොරතුරු නිසිආකාරව සම්බන්ධීකරණය කිරීමත් මන්දගාමී වීම නිසා අවසානයේ එකවර ගැස්සීමකින් යුක්තව සහ සිහිමඳ ගතියකින් මෙන් (Unconscious stage) ක්ෂණිකව ප්‍රකෘති තත්ත්වයට පත්වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස වාහනය පාලනය කිරීම සුළු කාලසීමාවක් සඳහා රියැදුරුගෙන් ගිලිහෙන අතරම අවසානයේ ක්ෂණිකව ප්‍රකෘති තත්ත්වයට පත්වීමත් සමඟම (Dizziness) කලබලයට පත්වීම හේතුවෙන් වාහන අනතුරු සිදුවෙයි.


ක්ෂණික නිදිමත ඇතිවීමට හේතු මොනවාද?


මේ සඳහා වන හේතු ප්‍රධාන කොටස් දෙකක් යටතේ විග්‍රහ කළ හැකි අතර ඉන් එකක් වන්නේ ජෛවවිද්‍යාත්මකව සිරුරෙන් ඇති කරන බලපෑමයි. එනම් ජෛවවිද්‍යාත්මක ඔරලෝසුව මගින් නිදිමත ඇතිවීම පාලනය කිරීමයි. මේ සඳහා මෙලටොනින්, සෙරටොනීන් වැනි හෝමෝන ක්‍රියාකාරිත්වය බලපාන අතරම ප්‍රමාණවත් නින්දක් නොලැබීම ඇතැම් ඖෂධ භාවිතය කායික හෝ මානසික ලෙඩ රෝග හේතු සාධක වේ.


මෙලටොනීන් හෝමෝනය රාත්‍රී කාලයේදී බහුලව ශ්‍රාවය වන අතර එමගින් නිදිමත ඇතිවීම උත්තේජනය වේ. සාමාන්‍ය මිනිසාගේ මෙම හෝමෝන ශ්‍රාවය උපරිම වන්නේ උදෑසන 3 - 4 අතර කාලයේ වීම සහ මෙම කාල පරාසය තුළ මාරක රිය අනතුරු රැසක් වාර්තා වී තිබීම මගින් මෙහි සම්බන්යධ මනාව තහවුරු වේ.


තවත් ඉතාම වැදගත් කරුණක් ලෙස ආහාර පුරුදු සහ ආහාර රටාවන් හඳුනාගත හැකි අතරම, වඩාත් සුලබව මාරක රිය අනතුරු වාර්තා වන්නේ දිවා ආහාරයෙන් පසු, එනම් පස්වරු 1ත් 4ත් අතර කාලයේ වීම මේ සඳහා සාක්ෂි සපයයි. වැඩි කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් සහිත විශාල ආහාර ප්‍රමාණයක් ලබාගැනීමට රියැදුරන් පුරුදුවීම නිසා එම කාලය තුළ ආහාර ජීරණ ක්‍රියාවලියට ප්‍රමුඛ ස්ථානය දෙමින් සිරුරේ ක්‍රියාවලි සිදුවීමේන් මෙම බලපෑම ඇතිවන බව නිගමනය කළ හැකිය.


එමෙන්ම ආලෝකය, ශබ්දය, උෂ්ණත්වය, කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය, වාහන තුළ පවතින ඉහළ වාෂ්පශීලී ගුණ ඇති කාබනික සංයෝග (Volatile Organic Compounds) වැනි පාරිසරික සාධක හේතුවෙන් කෙටි නිදිමත ඇතිවීම උත්ප්‍රේරණය විය හැකිය. විශේෂයෙන්ම වාහන තුළ උෂ්ණත්වය ඉහළ යනවිට සහ වැඩි කාලයක් ගමන් කරන විට කාබන්ඩයොක්සයිඩ් අගය විශාල වශයෙන් ඉහළ යෑම (3000 PPM පමණ) මෙලෙස නිදිමත ඇතිවීමට හේතුවක් ලෙස පර්යේෂණ මගින් අනාවරණය වී ඇත.


ක්ෂණික නිදිමත ඇතිවීම වළක්වාගැනීම මගින් මාරක අනතුරු වළක්වාගැනීමට ගත හැකි පියවර මොනවාද?


මේ සඳහා විවිධ ක්‍රියාමාර්ග වර්තමානයේ භාවිත වුවත් ඒවායින් බොහොමයක කාර්යක්ෂමතාව සහ නිරවද්‍යතාව පිළිබඳව විද්‍යාත්මකව තහවුරු වී නොමැති වට පිටාවක ඇතැම් රියැදුරු මහත්වරු මෙලෙස ඇතිවන ක්ෂණික නිදිමත වළක්වා ගැනීමට (විශේෂයෙන් බර වාහන සහ දුරගමන් සේවා බස් රථවල) නොයෙක් විෂ මත්ද්‍රව්‍ය භාවිතයටද හුරු වී ඇත. එමෙන්ම ශබ්දවාහිනී යන්ත්‍ර භාවිතය, විවිධ වර්ණ සහිත ආලෝකය භාවිතය, බුලත් විට, ජලය, කෝපි හෝ තේ වැනි ආහාර භාවිතයද සුලභව සිදුකරති.

 

 


දිගු වේලාවක් වාහන පැදවීමට බලාපොරොත්තු වන්නේ නම් සාමාන්‍ය ආහාර වේලක් ලබාගැනීම වඩාත් උචිත වේ. එම ආහාර වේල අඩු කැලරි අගයකින් යුතු විය යුතුය. විශේෂයෙන්ම අන්නාසි, කෙසෙල්, දොඩම් වැනි පලතුරු වර්ග ආහාරයට ගැනීමෙන් මෙලටොනීන් නිපදවීම උත්තේජනය වන නිසා එවැනි ආහාර පරිභෝජනය සිදු නොකළ යුතුය.
වාහන තුළ සහ පිටත විවිධ වර්ගයේ වර්ණ නිපදවෙන විදුලි බුබුළු සහ සැරසිලි ශ්‍රී ලංකාවේ ඉතාම ජනප්‍රිය අංගයක් බවට පත්ව ඇත. ඒ අතරින් මගී ප්‍රවාහන බස් රථ තුළ ඇති අධික ශබ්ද නිපදවන ශබ්දවාහිනී සහ විදුලි බුබුළු මගීන්ට මෙන්ම රියැදුරාගේ කාර්යක්ෂමතාව කෙරෙහිද විශාල බලපෑමක් ඇති කරයි.


විශේෂයෙන්ම නිල් සහ සුදු වැනි වර්ණ මගින් මෙලටොනීන් ශ්‍රාවය මන්දනය කරන නමුත් රතු ආශ්‍රිත වර්ණ මහින් මෙලටොනින් ස්‍රාවය වීම කෙරෙහි උත්තේජනයන් සැපයීම හේතුවෙන් රතු වර්ණ සහ රතු ආලෝකය රියැදුරාට නිදිමත ඇතිවීම කෙරෙහි බලපෑම් ඇතිකරයි. එබැවින් එවැනි වර්ණ හෝ බල්බ භාවිතය සුදුසු නොවේ. එසේම සුදු සහ නිල් වැනි වර්ණ මගින් නින්ද ප්‍රමාද කරන නිසා දිගු ගමනකට පෙර ප්‍රමාණවත් නින්දක් ලබාගැනීමට නින්දට යාමට පෙර ජංගම දුරකථන, රූපවාහිනී වැනි නැරඹීමෙන් වැළකීම සහ නිල් පැහැ විදුලි අලෝකය භාවිත නොකිරීම වඩාත් සුදුසුය.


රිය පැදවීමට පෙර මත්ද්‍රව්‍ය පානය නොකිරීම, අධික ලෙස විඩාව පවතී නම් හෝ ඖෂධ භාවිතා කරයි නම් වෛද්‍යවරයාගෙන් ඒ පිළිබඳව විමසීමෙන් නිදිමත ඇතිවීම කෙරෙහි බලපෑමක් නොමැති බව තහවුරු කරගැනීමෙන් පසුව වාහන ධාවනයට යොමුවීමෙන් මගින් මෙම අනතුරු වළක්වා ගත හැකිය.


වාහන තුළ කාබන්ඩයොක්සයිඩ් හෝ වාෂ්පශීලී කාබනික සංයෝග එක්රැස් වීම මගින් වන බලපෑම අවම කිරීම සඳහා වාහන අධික ලෙස රත්වී ඇතිවිට වීදුරු විවෘත කර තබා තරමක් සිසිල් වූ පසුව වායු සමීකරණය භාවිතය සහ දුර ගමන් වලදී පිරිසිදු වාතය ඇති ස්ථානවල වාතය පිටතින් ගන්නා ආකාරයට වායුසමීකරණය භාවිතය වඩා සුදුසුය.
වාහනය තුළ අමිහිරි හෝ තමා අකමැති සුවඳකාරක භාවිතයෙන් වැළකීම, ඝෝෂාකාරී ශබ්ද භාවිතයෙන් වැළකීම සහ වාහන පදවන අතර තුර මානසික පීඩනය ඇතිවන ආකාරයේ හැසිරීම් වලින් වැළකීම සුදුසුය.


වාහන පදවන අතරතුර කිහිපවිටක් ක්ෂණික නිදිමත ඇතිවෙමින් පවතින අවස්ථා වල (එනම් ක්ෂණිකව ඇස් පියවී අවධානයෙන් තොර වී හිස පහළට යොමු වී නැවත ක්ෂණිකව පියවි සිහියට එලඹීම) තව දුරටත් අඛණ්ඩව රිය ධාවනය අනතුරුදායක බැවින් වහාම කෙටි නින්දක් ලබාගත යුතුය.


නිදිමත ඇතිවීම පිළිබඳව සංවේදන දැනුණු මොහොතේම ආකර්ෂණීය සුවඳක් සහිත සහ මද සැරක් සහිත හපන ආහාරයක් (කුරුඳු, ඉඟුරු, ගම්මිරිස් වැනි) පරිභෝජනය කිරීම මගින් එහි ඇති ආවේණික සුවඳ සහ රස මගින් (astonish olfactory and tingling action) මෙන්ම හකු ප්‍රදේශයේ චලනයන් මගින් (mortar function) වන බලපෑම හමුවේ නිදිමත වැළැක්වීම සඳහා මිනිස් මොළයේ සෛල උත්තේජනය වීම සිදුවේ.


මෙම කෙටි නිදිමත නිසා ඇතිවන රිය අනතුරුවලට අමතරව තවත් අවාසිදායක තත්ත්වයන් පවතී.


ඵලදායීතාව කෙරෙහි ඇතිවන බලපෑම. විශේශයෙන්ම රාත්‍රී වැඩමුරවල නියුතු සේවකයින් දිවා ආහාර ගැනීමෙන් පසුව

නිෂ්පාදන වල තත්ත්වය කෙරෙහි බලපෑම් ඇතිවීම

අනතුරු හේතුවෙන් සිදුවන නාස්තීන්

 

එමෙන්ම අවසානයේ රටේ ජාතික ආදායම කෙරෙහිද මෙම කෙටි නිදිමත නිසා බලපෑම් ඇති වේ.


එම නිසා එදිනෙදා වැඩකටයුතුවලදී අනතුරු අවම කරගැනීමටත් කාර්යක්ෂම සහ ඵලදායීව වැඩකටයුතු සිදුකිරීම සඳහාත් කෙටි නිදිමත වළක්වා ගැනීම ඉතා වැදගත් වේ.

 

 

 

ආචාර්ය රුමේෂ් ලියනගේ
තාක්ෂණ පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය