රාමසාන් අතහැරීමේ උත්සවය විහාරස්ථානයක


බෞද්ධ - ඉස්ලාම් දෙපිරිසම උත්සවයට එති

මේ දිනවල ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස කාලය ආරම්භ වී ඇත. ඔවුහු එය සිය ආගමික වතාවත් අනුව, එම චාරිත්‍ර විධි අනුව සිදු කළ අතර සෑම දිනකම අලුයම් කාලයේ උපවාසය ආරම්භ කොට සවස වන තෙක්ම පවත්වා ආගමික වතාවත්වලින් පසුව ආහාර අනුභවය සිදු කරති. ඔවුන්ගේ මෙම ආගමික කටයුත්ත බෞද්ධ විහාරස්ථානයක් තුළ සිදු කරන ලද දුර්ලභ අවස්ථාවක් අපට දැන ගැනීමට හැකි වූ අතර අපි එම දිනයේ එම විහාරස්ථානය වෙත ගියෙමු. 

 
ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් උත්සවය ඓතිහාසික මාවනැල්ල මැදිලිය රජමහා විහාරස්ථානයේදී පසුගිය 02 වැනි දින සිදු කරනු ලැබූ අතර එවන් අවස්ථාවක් මෙරට බෞද්ධ විහාරස්ථානයක් තුළ මෑත කාලයේ සිදු වූයේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයකි.   


මේ සඳහා ඉස්ලාම් බැතිමතුන් සියයට වැඩි පිරිසක් සහභාගී වී සිටි අතර බෞද්ධාගමිකයෝ විශාල පිරිසක් ද එම උත්සවයට සහභාගී වූහ. රාජ්‍ය නිලධාරී පිරිසක් ද ආගමික උත්සවය සඳහා එක්ව සිටියහ. මෙහිදී දෛනික රාමසාන් උපවාසය අතහැරීම සිදුකිරීමට මත්තෙන් විහාරාධිපති ඉළුග්ගොඩ ඥනානන්ද හිමියෝ එම අවස්ථාවට සහභාගී වී සිටි බෞද්ධාගමිකයන් පිරිස පංචශීලයේ පිහිට වූහ. එම අවස්ථාවේ ඉස්ලාම් ආගමිකයන් ද නැගී සිට ඔවුන්ගේ ආගම සිහිකර ගනිමින් එම අවස්ථාවට එක්වනු දැක ගතිමු.  


විහාරස්ථානයක් මුල්කර ගනිමින් එම පූජනීය භූමිය තුළ ඉස්ලාම් දෛනික රාමසාන් උපවාසය අතහැර ආගමික වතාවත් එහිම සිදුකර ආහාර අනුභවය සිදු කරන ලද මෙවන් අවස්ථාවක් මීට පෙර දැක නැති බව සහභාගී වූවෝ ද පැවැසූහ. මෙවන් කටයුතු සිදු කිරීම නිසා ජාතීන් අතර ද ආගම් අතර ද මිනිසුන් අතර ද එකමුතුකම වර්ධනය වන බව ද මෙම උත්සවයට සහභාගී වූ ආගමික නායකයෝ මෙන්ම රජයේ උසස් නිලධරීහු ද මෙහිදී පෙන්වා දුන්හ.  


මැදිලිය විහාරස්ථානය පිහිටා තිබෙන​්නේ අරණායක ප්‍රාදේශීය ලේකම් කලාපයට අයිති කොටසක වන අතර එම විහාරස්ථානය අවට කිසිදු ඉස්ලාම් ජාතිකයකු පදිංචි වී නොමැති නමුත් විහාරාධිපති හිමියන් හා ඉස්ලාම් ජනතාව අතර මනා සමීප සහසම්බන්ධතාව කාලයක සිට පවතී.   

 

 

මේ නිසාම ඉස්ලාම් ආගමේ ඉහළ පෙළේ නායකයන් මෙන්ම සෙසු ඉස්ලාම් ජාතික​ෙයා් විහාරාධිපති හිමියන් හොඳින් හඳුනති. විහාරාධිපති හිමියන්ට අසනීප තත්ත්වයක් ඇති වූ විට උන්වහන්සේට දානය මෙන්ම ලෙඩට දුකට බෞද්ධාගමික පිරිස පිහිටට එන්නා සේම ඉස්ලාම් ජාතික​ෙයා් උන්වහන්සේට ඇප උපස්ථාන සිදුකරති.  


මෙම උත්සවය විහාරස්ථ ධර්ම ශාලාවේ පැවැති අතර එහිදී සවස උපවාසය අතහැරීම ඉස්ලාම් ආගමික වතාවත් ධර්ම ශාලාවේදීම සිදු කරනු ලැබුවේ තාසිම් මව්ලවිතුමන් විසිනි. ඉන් පසුව ආහාර අනුභවය ආගමික වතාවත්වලින් පසුව රාමසාන් දෛනික උපවාසය අතහැරීම ද සිදු විය. එම ආහාර පාන අනුභවය සිදුකරන විට එහි පැමිණ සිටි රජයේ නිලධාරීහු ද බෞද්ධාගමිකයෝ ද මෙම ආහාර අනුභවය ඔවුන් සමඟම සිදු කළහ. රාමසාන් දෛනික උපවාසය අතහැරීමේදී ලබා දෙන විශේෂ කැඳ සංග්‍රහය ද මෙහි සිටි සියලු දෙනාට පිරිනැමූ අතර ඥානානන්ද හිමියන් විසින් ඔවුන් වෙත පිරිනැමූ දිවුල් යුෂ පානය ද සියලු දෙනා භුත්කි වින්දාහ.  
ඉළුග්ගොඩ ඥානානන්ද හිමියෝ තම කෙටි අනුශාසනාවේදී මෙසේ පැවැසූහ.  

 

“ඉස්ලාම් බෞද්ධ ක්‍රිස්තියානි සහ හින්දු යන ආගම් හතර තුළ සබැඳියාවක් නැහැ කියන එක පැහැදිලිවම පේනවා. ඒකට හේතුව තමයි ආගම්වල තිබෙන සංකල්ප. ඒ සංකල්ප ඒ ආගම්වලට කාලයක සිට ආපු එ්වා. නමුත් බුදු දහම හැම කෙනාටම විවෘතයි. ඒක ඕනෑ කෙනකුට ඇවිත් බලන්න පුළුවන්. ඔය සංකල්පය අනික් ආගම්වලත් ගොඩ නගා ගෙන තිබෙනවා නම් ඔය පරස්පර අදහස් ටික ටික අඩු වෙන්න පුළුවන්.  


අධ්‍යාපනය හදාරන මුස්ලිම් දැරියක් මම හම්බවෙන්න ආවා. ඒ දැරියට ඕනෑ වුණේ සහජීවනය ගැන කරුණු ටිකක් දැන ගන්න. ඉතින් මම කියලා දුන්නා. ඊට පස්සේ මේ දැරිය මගෙන් ඇසුවා ඔබ වහන්සේට අපේ ආගමෙන් තියෙන විරුද්ධ වීම් මොනවා ද? දුර්වලතා මොනවා ද? කියලා.  


මම කීවා ඔය දැරියගේ ඇඳුමට මම විරුද්ධයි කියලා. ඇයි එහෙම කියන්නේ? කියලා මගෙන් ඇසුවාම මම කීවා දැන් මේ දැරියට මට අවශ්‍ය කරුණු මම කියලා දුන්නා නමුත් පසුව මේ දැරිය මට දකින්න ලැබුණත් මට මේ දැරිය අඳුනාගන්න බැහැ. එයා මාව අඳුනා ගනී. ඒ නිසා මම මේ දැරියට කීවා මේ කරලා තියෙන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වැනි දෙයක් කියලා. මෙවැනි දේවල් ඉස්ලාම් ආගමේ තියෙනවා නම් ඒවා අයින් කර ගන්න. කාන්තාවක් සමඟ විවාහ ජීවිතයක් ගත කරනවා නම් කාන්තාවට ඒ සැප සම්පත් ලබා දෙනවා නම් පුරුෂයාට සැප සම්පත් ලබා ගන්නවා නම් ඇයි කාන්තාවට මේ විදිහට සලකන්නේ? මේ දේ ගැන මගේ තියෙන්නේ පොඩි කලකිරීමක්. සදාකාලික නොවෙයි තාවකාලික කලකිරීමක්.  

 

 

ඔබගේ ආගම්වල තිබෙන යම් යම් සම්ප්‍රදායන් වෙන්න පුළුවන්. නමුත් ඒවා ඔබට වෙනස් කර ගන්න පුළුවන් නම් වටිනවා. එදා බුදු හාමුදුරුවෝ විනය නීති වෙනස් කළා. බුදු හාමුදුරුවෝ ප්‍රජාතන්ත්‍රවාදීයි. භික්ෂූන් වහන්සේලාට එක සිවුරයි පවරලා තිබුණේ අඳින්න. මහා වැස්සකට අසුවෙලා බුදු හාමුදුරුවෝ ගාවට ගියා තෙමීගෙන. ඒ අවස්ථාවේ තමයි තව සිවුරක් අනුමත කළේ. තුන් සිවුරක් අනුමත කළා. ඒවා ඒ විදියට ආගමික නායකයන් සමඟ සාකච්ඡා කරලා වෙනස් කර ගන්න පුළුවන්.  


දැන් මේ උපවාස සමයේ කරන්නේ සිල් සමාදන් වීමක්. අපේ බෞද්ධ ජනතාව මාසයකට සැරයක්, නැතිනම් මාසයකට තියෙන පෝය හතරක් සිල් සමාදන් වෙනවා. ප්‍රතිපත්තිගරුකව ඒ වන්දනා මාන කරනවා. ඔබතුමන්ලා මාසයක්ම අලුයම සිට සවස 6.30 පමණ තෙක් සීලයක් ආරක්ෂා කරනවා. මීළඟට ඔබතුමන්ලා මක්කම යනවා. ඔබතුමන්ලා දඹදිව යනවා. මේ මක්කම යාමත් දහම් කරුණුවලින් එකක්. මීළඟට මෙම ඉස්ලාම් අාගමේ මම දැකලා තිබෙනවා ආගම අදහන්න පෙර චාරිත්‍ර විධි රාශියක්. මේවාත් ඉතා හොඳ පිළිවෙත්. වැඳීම් සිදු කිරීමේදී දවසේ ක්‍රම 5කට සිදු කරනවා. අනිවාර්යයෙන්ම සිකුරාදා මේ වන්දනා ක්‍රමයට සම්බන්ධ වෙන්න ඕනෑ.”  
අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසඩ්.ඒ.එම්. ෆයිසල් : “මේ ඉෆ්තාර් උත්සවය රටටම ආදර්ශමත් උත්සවයක්. සංහිඳියාව ගැන කතා කරන මේ කාල වකවානුව තුළ ඒ සංහිඳියාවට මුල් තැන ලබා දෙමින් අපේ නායක හිමියන් වහන්සේ මැදිහත් වෙලා මුස්ලිම් බැතිමතුන්ගේ ඉෆ්තාර් උත්සවය සංවිධානය කර තිබෙනවා. මමත් ඉස්ලාම් ආගමිකයකු හැටියට උන්වහන්සේට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා මේ කරපු කටයුත්තට. අපේ රටේ ලෝකයේ විවිධ සිද්ධීන් තියෙන කාල වකවානුවක ආගම් අතර ජාතීන් අතර සංහිඳියාවෙන් කටයුතු කිරීම අපි ලොවටම දෙන ලොකු ආදර්ශයක් වේවි යැයි කියලා මම හිතනවා.”   


තාසිම් මව්ලවි : “අද මේ ඇති වෙලා තියෙන්නේ සහජීවනයයි. අපේ කපුරැක්ක විහාරස්ථානයේ නායක හිමිපාණන් වහන්සේ අපවත් වූවායින් පසුව ඉස්ලාම් ආගමිකයන් සමඟ සම්බන්ධ වෙලා ඉතා සමීපව ඔවුන් සමඟ හැම කටයුත්තක්ම මෙහෙය වන්නේ අපේ නායක හිමිපාණන් වහන්සේයි. රාමසාන් උපවාස කාලයේ උන්වහන්සේ අපේ ගමට මෙසේ දෙන්නේ හොඳ ආදර්ශයක්. මේ ආදර්ශය මුළු රටටම වැදගත් වූ ආදර්ශයක්. මේ නිසා අප තුළ තිබෙන සහෝදරත්වය මෙයින් තව තවත් වැඩිදියුණු වීමක් සිදු වෙනවා. මේක ඉතිහාසයට අලුතෙන්ම එකතු වන සංහිඳියාවක්.” යැයි පැවැසීය.  


මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ද එක් වූ අතර මසක් පුරා පැවැත්වෙන පොලිස් ජංගම සේවය ද මේ දිනවල මැදිලිය රජමහා විහාරස්ථානයේ පැවැත්වෙයි.

 

 

 


ඡායාරූප හා සටහන : 
මාවනැල්ල හෙම්මාතගම 
සමන් විජය බණ්ඩාර