රාජ්‍ය ඇමැති රුවන්ගෙන් සවිබල කතක් තැනුමට තැතක්


මනාලියන් හැඩ ගැන්වීමේ හා රූපලාවණ්‍ය පිළිබඳ යුගයේ දැවැන්තම ඩිප්ලෝමා පාඨමාලාව

පුහුණුවෙන් අනතුරුව ගම්පෙරළියෙන් ව්‍යවසායකත්ව ණය සහන

 
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 11 වැනි සෙනසුරාදා ගම්පහ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයෙහි “සවිබල කතක් තැනුමට තැතක්” තේමාව යටතේ මනාලියන් හැඩ ගැන්වීමේ හා රූපලාවණ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව හඳුන්වා දීමේ වැඩසටහන අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. ප්‍රවීණ රූපලාවණ්‍ය උපදේශක ප්‍රසන්න කොළඹආරච්චි මහතා හා ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ප්‍රියංගනී වන්නිආරච්චි මහත්මිය විසින් මෙහෙයවනු ලබන මෙම පාඨමාලාව සඳහා එදින කාන්තාවන් පන්සියය ඉක්මවා ලියාපදිංචි වී ඇත.   


කලකට ඉහත දී නගරයට පමණක් සීමා වූ රූපලාවණ්‍යාගාර (Beauty Saloon) මේ වන විට ගම් නියම් ගම් පාසා ව්‍යාප්තව ඇත. ඒ අනුව පෙනී යන්නේ වෙනදාටත් වඩා ලස්සන වෙනුවෙන් පුළුල් වෙළෙඳ පොළක් මේ වෙන විට නිර්මාණය වෙමින් ප!වතින බවය. කාලයත් සමග වෙනස් වෙන්නා වූ සියලු කෘත්‍යය සංස්කෘතිය ලෙස සරලව හඳුනා ගැනීමේදී සමකාලීන අපගේ සංස්කෘතිය තුළ ලස්සන සංකල්පයෙහි භූමිකාව ද හඳුනා ගත යුතුමය. ලස්සන යනු සාපේක්ෂ සංකල්පයකි. එය සමාජය තුළ වඩාත් ප්‍රචලිත කර වන්නේ ඇසිදිසි මාධ්‍ය තුළිනි. ඇසිදිසි මාධ්‍යකරණය තුළින් ලස්සන විශේෂයෙන්ම නිර්මාණය කරනු ලබන්නේ බහුජාතික සමාගම් ආශ්‍රිතව හා ඉන් විනිර්මුක්තව නිර්මාණය වෙන වෙළඳ ප්‍රචාරණ තුළිනි. ඇත්තෙන්ම එය ලස්සන විකුණන කලාවකි. ඒ ආශ්‍රිතව නිර්මාණය වෙන ටෙලිනාට්‍ය ද එක් අතකින් එකී භාවිතයෙහිම තවත් දිගුවකි. පළිඟු මැණිකේ, කන්දේ ගෙදර, වෙද හාමිනේ, කඩුල්ල වැනි පැරණි ටෙලි නාට්‍ය තුළින් අප හමුවට ආ ගැමි යුවතිය ද අප වෙත පැමිණෙන්නේ ඇහි බැම මැනවින් සකසන ලද නිය පෙළ උල්ව දිදුලන ගැමි කාන්තාවක ලෙසය. රඟපෑමට පවා එවන් වූ කැප කිරීමක් කිරීමට ඔවුන් නොපෙලඹෙන්නේ දෛනික ජීවිතය තුළ එම අංග අද සමාජය වැලඳගෙන ඇති ලස්සන නම් සංකල්පයෙහි අත්‍යවශ්‍යව භාවිත වූ නිසාය. 


අාසියාවේ දිගම ඒකාංගික ටෙලි නාට්‍ය වන කෝපි ක​​ඩේ හි රඟපාන සියලු නිළියන්ගේ බාහිර ස්වරූපය පිළිබඳව එදා හා අද සලකා බැලීමෙන් පවතින මේ වෙනස පැහැදිලිව හඳුනා ගත හැකිය. එමෙන්ම මෑතක නිර්මාණය වෙන බොහෝ ටෙලිනාට්‍ය තුළ අම්මාගේ හා දුවගේ චරිතය නිරූපණය සඳහා සම වයස්වල කාන්තාවන් තෝරා ගැනීම මුල දී අතිශයෝක්තියක් ලෙස සමාජගත වුවද පසු කාලීනව ඒවා අම්මයි දුවයි වැනි රූපවාහිනී වැඩසටහන් තුළින් හුදු සමාජ යථාර්ථයක් බවට පෙරළා පත් කරලීම ඉතා සවිඥානිකව අප විසින් හඳුනා ගත යුතු තත්ත්වයකි. 


අතීතයේ මෙන් නොව වර්තමානයේ විවාහ උත්සවයකට කාන්තාවන් සහභාගී වීමේදී ඔවුහු සියල්ලෝම රූපලාවණ්‍යාගාරයක සහය අපේක්ෂා කරති. ඒ අනුව විවාහක පිරිමියා පළමුව සැරසී දෙවනුව තම අඹුව සරසවන රූපලාවණ්‍යාගාරය වෙත ගොස් ඇය කැටුව විවාහ උත්සවයට පිටත්විය යුතුව ඇත. ඔබ කුමන සමාජ පන්තියක් නියෝජනය කළ ද මේවා අද ඔබේ ජීවිත වෙළා පවතින ප්‍රායෝගික සත්‍යයතා නොවන්නේ ද? එසේ නම් ලස්සන නම් සංකල්පය වෙනුවෙන් හෙට දින විවර වෙන වෙළෙඳ පොළ ගැන අවධානය යොමු කළ විට එයම කාන්තාවන් දෙපයින් සිට වන්නට සමත් කර්මාන්තයක් නොවන්නේ දැයි වෙසෙසින්ම සිතිය යුතු කාලය එළඹ ඇත. 


​මහමෙරක් සේ නොසැලී ගෙදර දොර සියලු කටයුතුවල බර උසුලන්නී අම්මාය. ගෘහණියක සේ අමිල මෙහෙයක් ඉටු කරන ඇයහට රූපලාව්‍ය අමතර අදායමක් උපයන්නට කියා දෙන කලාව මනාලියන් හැඩ ගැන්වීම ලෙස හඳුන්වා දිය හැක. එයම පෙරදැරි කර ගනිමින් රුවන් විජයවර්ධන පදනම මෙවර “සවිබල කතක් තැනුමට තැතක්” යන තේමාව මුල් කොට ගනිමින් මනාලියන් හැඩ ගැන්වීමේ හා රූපලාවණ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව ගම්පහ දිස්ත්‍රික්කයේ දිරිය කාන්තාවන් වෙත හඳුන්වා දෙනු ලැබුයේ අගෝස්තු මස 11 වැනි සෙනසුරාදා ගම්පහ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයෙහි දීය. එදින එම ශ්‍රවණාගාරය අතුරු සිදුරු නොමැතිව කාන්තාවන්ගෙන් පිරී ඉතිරී තිබිණි. එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවන් කාන්තා සහභාගිත්වයක් තිබූ යුගයේ දැවැන්තම රූපලාවණ්‍ය පාඨමාලාව ලෙස එදින සපැමිණි කාගේත් අවධානයට මෙම වැඩසටහන ලක් විය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙම වසර තුළ ගම්පහ දිස්ත්‍රික්කයට හඳුන්වා දුන් විවිධ පාඨමාලා ඇසුරින් වැඩිම කාන්තා ආකර්ෂණයට ලක් වූ පාඨමාලාව ලෙස මෙය හඳුන්වා දිය හැකිය. 
පුරා විසි වසරකට ආසන්න කාලයක් ලාංකේය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ උපදේශකයෙකු ලෙස සුවහසක් රූපලාවණ්‍ය ශිල්පීන් හා ශිල්පිනියන් දැයට දායාද කළ ප්‍රසන්න කොළඹආරච්චි මහතා හා එක්ව මෙම පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ ජනාධිපති සම්මානලාභී ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ප්‍රියංගනී වන්නිආරච්චි මහත්මියයි. රූපලාවණ්‍ය ක්ෂේත්‍රයෙහි විශිෂ්ට ප්‍රවීණයන් දෙපළකගේ උපදේශකත්වයෙන් මෙහෙයවනු ලබන මෙම පාඨමාලාවේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරනු ලබන්නේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ පෞද්ගලික සහකාර තිළිණ විජේසිංහ මහතාය. මාස හයක කාල සීමාවක් තුළ පැවැත්වෙන මෙම පාඨමාලාව සෑම අහඟහරුවාදා දිනකම පෙ.ව. 9.30ට ගම්පහ මැදගම ශ්‍රී සුනන්දාරාම පිරිවෙණහි පැවැත්වෙයි. 

 


සමාරම්භක උළෙලට සහභාගි වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අදහස් දක්විමන් ප්‍රකාශ කර සිටියේ “සවිබල කතක් තැනුමට තැතක්” යන වැඩසටහනින් පුහුණුව ලබා තමන්ගේම ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන සියලු දෙනා වෙත යහපාලන රජය තුළින් හඳුන්වා දී ඇති සහන ණය යෝජනා තුළ ඇති වැදගත්කමයි. මහජන බැංකුව, ලංකා බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන රජයේ ප්‍රධාන බැංකුවල සෑම ශාඛාවකම ව්‍යවසායකයන්ට ණය ලබා දෙන විශේෂිත වූ කවුළුවක් Enterprise Sri Lanka යනුවෙන් අලුතින් විවෘත කර ඇති බවත් මෙම පාඨමාලාව සාර්ථකව නිමා කර තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටින ඕනෑම අයෙකුට එමගින් ඉතාමත්ම සහන පොලියකට ණය ලබා ගත හැකි බවත් අමාත්‍යතුමා තවදුරටත් අවධාරණය කර සිටියේය. 


දිරිය කාන්තාවක ලෙස ඔබව හැඩ ගන්වමින් ඔබේ පවුලේ හැඩ රුව මවන්නී අන් කිසිවෙක් නොව ඔබමය. එවන් වූ දිරිය හදවතක් ඇති කාන්තාවන් වෙත පිදෙන සවි බල කතක් තැනුමට තැතක් වැඩසටහනින් දිග හැරෙන මනාලියන් හැඩ ගැන්වීම හා රූපලාවණ්‍ය පාඨමාලාව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ලස්සනින් ලස්සන ගෙත්තම් කළ සවිමත් කුටුම්භ ආර්ථිකයක් ඔබ වෙත නිර්මාණය කරදීමේ තවත් එක් ප්‍රජා සත්කාර සේවයකි.

 

 

 

සටහන
චාරුමුඛ රත්නායක
ඡායාරූප - ඩික්සන් වසන්ත