රාජ්‍ය ආයතන රැසක වංචා දූෂණ එළියට


 

රාජ්‍ය   ගිණුම් කාරක සභාව මගින් (​කෝප්) මේ වසරේ මුල් මාස 6 තුළ ආයතන 36ක් කාරක සභාවට කැඳවා සිදු කරන ලද විමර්ශන පිළිබඳව වාර්තාවක් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණ. මෙම වාර්තාව ගිණුම් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද සිව් වැනි වාර්තාව වෙයි. රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු විශේෂිත වියදම් ඒකක දිස්ත්‍රික් ලේකම් කාර්යාල පළාත් සභා හා පළාත් පාලන ආයතන පිළිබඳව සිදුකරන ලද විමර්ශනයන්ට අදාළ තොරතුරු මෙම වාර්තාවේ සඳහන් කර ඇත.  


මෙම ආයතන සම්බන්ධයෙන් පොදු නිරීක්ෂණයක් වී ඇත්තේ බො​ෙහා් රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය එහි දැක්ම හා මෙහෙවර සමග නොගැළපෙන අවස්ථා වීමයි. පළාත් සභාවල සේවයේ නියුතු නිලධාරීන්ගේ විදේශ සංචාර සඳහා තෝරා ගැනීම සහ ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු පිළිබඳව පොදු වැඩ පිළිවෙළක් නොමැති බව අනාවරණය වී ඇත.  


විදේශ සේවයේ නියුතු විදේශ දූත මණ්ඩල නිලධාරීන් එම සේවයෙන් ඉවත්වීමේ දී අය විය යුතු ගමන් වියදම් කුලී අත්තිකාරම් හා අනෙකුත් අත්තිකාරම් වශයෙන් 2016.12.31 වන විට රුපියල් තිස්එක්කෝටි අටලක්ෂයක් විය.  


වර්ෂ 2007 දී අමෙරිකානු ඩොලර් මිලියන 1.2 ක් (රුපියල් කෝටි 18 ක්) ගෙවා අක්කර 1.7 ක ඉඩමක් මැලේසියාවේ මහ කොමාසාරිස් කාර්යාලය ඉදිකිරීම සඳහා මිලදී ගෙන තිබුණ ද කිසිදු ඉදිකිරීමක් කර නොතිබිණි.  
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් නිලධාරින් සඳහන් කර ඇත්තේ මැලේසියාවේ අගනගරය වෙනස්වීම නිසා ඉදිකිරීම් කිසිවක් කර නොමැති බවයි.  

 

සේවක අර්ථ සාධක අරමුදල


2010 ජුලි මාසයේ ගුවන් සමාගමක් විසින් කරන ලද රුපියල් කෝටි 50ක ආයෝජනයක් වෙනුවෙන් ද 2010 මැයි මස 31 දින වනවිට හෝටල් සමාගමක කොටස් මිල දී ගැනීමට සිදු කළ රුපියල් අසූඑක් කෝටි තුන්ලක්ෂ විසිඑක් දහස් හයසිය දහයක (81,032,610) ක ආයෝජනයක් වෙනුවෙන් සහ නව හෝටල් සංකීර්ණයකට 2013 වර්ෂ අවසානයේ සිදු කළ රුපියල් කෝටි 500ක ආයෝජනයක් සඳහා අරමුදලට කිසිදු ප්‍රතිලාභයක් ලැබී ​නොතිබුණු අතර එම මුදල් මූල්‍ය ප්‍රකාශවල හානි කරන අලාභයක් ලෙස කපා හැර තිබූ බව අනාවරණය වී තිබිණි.  


මෙම තත්ත්වය පිළිබඳව මහ බැංකුවේ අධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ රජයේ සංකල්පයකට අනුව සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමේ අරමුණින් ජාතික ගුවන් සේවය සඳහා මෙන්ම සංචාරක හෝටල් සඳහා මුදල් මණ්‍ඩලයේ තීරණයකට අනුව මුදල් ආයෝජනය කර තිබූ බවයි.  


සේවක අර්ථ සාධක අරමුදලට දායක මුදල් ලෙස විවිධ ආයතනවලින් ලැබී තිබූ රුපියල් තිස්හතර කෝටි හැට හය ලක්ෂ අනූහත්දහස් නවසිය තිස් හතරක (346,697,934) මුදලක් ඒ ඒ අර්ථ ලාභීන්ගේ ගිණුම්වලට බැර නොකර පොදු තැන්පත් ගිණූමේ තැන්පත් කර තිබී ඇත. 2016.12.31 දින වනවිටත් රුපියල් තිස්පන්කෝටි හැටහතර ලක්ෂ විසි දෙදහසක (356,422,000) මුදල් ශේෂයක් ලෙස පැවැති බව අනාවරණය විය.  
එම මුදල් වලින් මිලියන 45ක් දක්වා කාලීනව නිරවුල් කිරීමට පියවර ගෙන ඇති බවද අනාවරණය වී ඇත.  


විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කිරීමට සූදානම් වූ ඊ. විශ්‍රාම වැටුප් ව්‍යාපෘතිය සඳහා වැටුප් වේතන හා පුහුණුවීම් වියදම් හැර රුපියල් දහඅටකෝටි විසි දෙලක්ෂ විසිතුන් දහස් දෙසිය විසිනවයක (182,223,229) මුදලක් වියදම් කිරීම හා 2013 වර්ෂයේ සිට මෙම ව්‍යාපෘතිය අතහැර දමා ඇති බව අනාවරණය වී තිබේ.  


මේ පිළිබඳව සාකච්ඡා කිරීමට කැඳවිය යුතු නිලධාරීන්ගේ නාම ලේඛනයක් ලබා ගැනීමට කාරක සභාව පියවර ගෙන ඇත.  


වර්ෂ 2017.2.28 දිනට බැංකු ක්‍රමය මගින් මාසික විශ්‍රාම වැටුප විශ්‍රාමිකයාගේ බැංකු ගිණුමට බැර නොවී ප්‍රතික්ෂේප වී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත හරවා එවූ විශ්‍රාම වැටුප් සංඛ්‍යාව 1463 ක් වී තිබූ අතර එහි වටිනාකම රුපියල් පන්කෝටි තිස්තුන් ලක්ෂ අනූ දෙදහස් පන්සිය දාහතරක් (53,392,514) බව අනාවරණය වී තිබිණි.  


මේ සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසට කාරක සභාව නියෝග කර ඇත.  


වර්ෂ 2016 දෙසැම්බර් 31 දිනට විශ්‍රාම වැටුප් ලෙස රුපියල් තිස් දෙකෝටි දෙලක්ෂ පනස් දහස් අටසිය පහළොවක (320,250,815) මුදලක් වැඩිපුර ගෙවා තිබූ අතර මෙම ගෙවීම් යළි අයකර ගෙන තිබිණි. එහෙත් එම වැරදි කළ නිලධාරීන්ට එරෙහිව කටයුතු කර නැත. මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේ දී අදාළ නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබිණි.  


දෙපාර්තමේන්තුව වෙත ත්‍යාග ලෙස ලැබී තිබුණු රුපියල් අනූනව ලක්ෂ හතළිස් දහස් නවසිය හැටපහක් (9,947,965) වූ මුදල ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු වුවත් අනුමැතියකින් තොරව ඉන් රුපියල් දාහත්ලක්ෂ හැටපන් දාහක් (1,765,000) 2016 විශ්‍රාමික දිනය සැමරීම සඳහා වැය කර තිබිණි.  


උසස් ​අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ඇමැති හා නියෝජ්‍ය ඇමැතිගේ පරිහරණය හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් උපරිම නිලවාහන 3ක් යොදවා ගත හැකි වුවත් 2014 වසරේදී එම සීමාව ඉක්මවා වාහන 7ක් ලබාදී තිබූ අතර මාසිකව හිමි ඉන්ධන ප්‍රමාණය ඉක්මවා රුපියල් 1,029,380ක ඉන්ධන ප්‍රතිපූර්ණය කර තිබුණු අතර එම මුදල අදාළ පාර්ශ්වයෙන් අය කරගෙන නොතිබී බව ද අනාවරණය වී තිබිණි.  


මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ මෙම කාලවකවානුවේ ඇතිවූ ගැටලුකාරී වාතාවරණය හමුවේ අදාළ අමාත්‍යවරයාගේ ආරක්ෂාව තර කිරීමට සිදුවු බවත් අදාළ කාර්ය මණ්ඩලවලට අනුයුක්ත නිලධාරීන්ගේ රාජකාරී කටයුතු සඳහා නිල රථ ලබාදීමට සිදුවූ බවත්ය. මෙම චක්‍රලේඛය​ට අදාළව නිල වාහන 3ක් පමණක් පරිහරණයට යොදා ගත් බව ද ප්‍රකාශ කර ඇත.  


වර්ෂ 2014 දී ඇමැතිවරයාට වාර්ෂිකව හිමි ගෙවල් කුලී දීමනා වෙනුවට එම සීමාව ඉක්මවා විදුලි හා ජල බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම කර තිබූ නමුත් වැඩිපුර ගෙවු රුපියල් 833,460ක මුදල අදාළ පාර්ශ්වයන්ගෙන් ආපසු අයකර ගැනීමට කටයුතු කර නොතිබු බව රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තාව පෙන්වා දෙයි.  


එහිදී අමාත්‍යාංශය කරුණු පෙන්වා දෙමින් සඳහන් කර ඇත්තේ අමාත්‍යවරයෙකුට හිමි රුපියල් 50,000 ක ගෙවල් කුලී දීමනාව ගෙවමින් සිටියදී එකල විශ්වවිද්‍යාලවල මතුවූ ගැටලු නිරාකරණය කිරීම සඳහා නීතිපති විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග රැස්වීම් පැවැත්වීමට සිදුවු බවයි. වියදම අඩුකර ගැනීම සඳහා ඒ සාකච්ඡා පවත්වා අැත්තේ ඇමැතිවරයාගේ නිල නිවාසයේදීය. ගෙවල් කුලී දීමනාව අනවශ්‍ය බව පවසා ඇති ඇමැතිවරයා අදාළ කාලයේ විදුලි හා ජල බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම ප්‍රමාණවත් බව දන්වා සිටි බව ද ප්‍රකාශ කර ඇත. එම නිසා රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව අදාළ විදුලි හා ජල බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම සිදු කළ බව අදාළ නිලධාරීන් කාරක සභාවට දන්වා ඇත.  


ජනාධිපති ශිෂ්‍යත්ව වැඩ සටහන යටතේ 2012/2013 අධ්‍යයන වර්ෂයේදී පේරා​ෙදණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ලියා පදිංචිවූ පකිස්තානු ජාතික සිසුන් දෙදෙනෙකු පසුව සයිටම් ආයතනයේ වෛද්‍ය සිසුන් ලෙස ලියාපදිංචි කර අමාත්‍යාංශය විසින් 2012 සිට 2017 ජුනි දක්වා රුපියල් මිලියන 3ක වියදමක් දරනු ලැබ ඇති බව ද අනාවරණය වී තිබිණි.  


මේ ගැන අමාත්‍යාංශය කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ විදේශීය සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩ සටහන යටතේ තෝරා ගනු ලැබූ මෙම සිසුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයට ඇතුළත් කර ගැනීමට එකඟවී සිටි අතර විශ්වවිද්‍යාල පරිපාලන ගැටලුවක් මත ඔවුන්ගේ ලියාපදිංචිය ප්‍රතික්ෂේප වී ඇති බවයි. රාජතාන්ත්‍රික මිත්‍රත්වයට බාධාවක් නොවීම සඳහා ඔවුන් සයිටම් ආයතනයට ඇතුළත් කරනු ලැබූ අතර එහිදී නේවාසික පහසුකම් ආහාර පාන අාදිය හා මාසික දීමනාවක් ගෙවා ඇති බව අනාවරණය කර ඇත.  


ගිණුම් කාරක සභාව විසින් සාකච්ඡා කරන ලද තවත් කරුණක් ලෙස සඳහන් වී ඇත්තේ වාර්ෂික ඇස්තමේන්තු ප්‍රතිපාදන යටතේ මහා භාණ්ඩාගාරය විශ්‍වවිද්‍යාල 11කට ලබාදී තිබූ මුදල් වැය නොකර 2016 වර්ෂය අවසන් වන විටත් රුපියල් මිලියන 586.2 ක් ගිණුම්වල රඳවා ගෙන තිබීමයි.  

 

 

මෙහිදී අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ භික්ෂු විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලක් ඉදි කිරීම වෙනුවෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ගෙවිය යුතු මුදල් ව්‍යාපෘතියේ ඇති අඩුපාඩු නිසා නිදහස් නොකළ බවයි.  
පීඨයක් ස්ථාපිත කිරීමට පෙර නේවාසිකාගාරයක් ඉදිකිරීමේ සිද්ධියක්ද මෙම කාරක සභාවේදී අනාවරණය වී තිබිණි. ඒ අනුව 2015 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම අනුව නේවාසික ශිෂ්‍යයන් සංඛ්‍යාව 12,000 කින් වැඩි කිරීමට තීරණය කර තිබිණි. ඒ අනුව විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 60 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළව කාමර 100 කින් යුත් නේවාසිකාගාරයක් තැනීම රුපියල් මිලියන 219 කට ආසන්න මුදලක් වැය කර හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයේ 2013 ආරම්භ කර තිබිණි. එහි ස්ථාපිත කිරීමට යෝජිතව තිබූ කොළඹ විශ්‍වවිද්‍යාලයට අනුබද්ධිත ජෛව තාක්ෂණ පීඨය ස්ථාපිත නොකිරීමට තීරණය කිරීම නිසා මෙම නේවාසිකාගාරය ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීමට නොහැකිවී ඇති බව අනාවරණය වී ඇත. කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ අධ්‍යාපන කටයුතු සිදු කරන ශිෂ්‍යයන් 30කගේ පමණ නේවාසික පහසුකම් වෙනුවෙන් මෙම නේවාසිකාගාරය යොදා ගෙන ඇත.  


මෙම කරුණ සලකා බලා ඇති කාරක සභාව පීඨය ස්ථාපනය කිරීමට පෙර නේවාසිකාගාරයක් ඉදි කිරීමට පදනම් වූ කරුණු විමසුම් කර ඇත. මීට වගකිව යුතු නිලධාරීන් හඳුනාගෙන වාර්තා කරන ලෙසටත් මෙම නේවාසිකාගාරය ඵලදායී කටයුත්තක යොදා ගත හැකි ආකාරය සොයා බලා වාර්තා කරන ලෙසටත් නියෝග කර ඇත.  


පසුගිය අප්‍රේල් මාසය වන විට වැඩ අවසන් කර තිබූ නේවාසිකාගාර 11ක් පරිහරණයට බාර නොදීම පිළිබඳව සාකච්ඡාවට භාජනය කර තිබිණි. එහි දී අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ​ෙගාඩනැගිල්ල ඉදි කළත් අනෙකුත් උපකරණ හා පහසුකම් විශ්වවිද්‍යාල මගින් සපයා ගතයුතුව ඇති බැවින් ප්‍රතිපාදන සපයා ගැනීම දුෂ්කරවී ඇති බවයි.  


වර්ෂ 2014 දී වාර්ෂික ඇස්තමේන්තුවේ ප්‍රතිපාදන නොතිබිය දී ඉහත නේවාසිකාගාර ව්‍යාපෘතියට වෙන් කළ මුදලින් රුපියල් මිලියන 21.5ක මුදලක් ප්‍රචාරක කටයුතුවලට යොදාවා තිබු බව ද අනාවරණය වී ඇත.  
මෙහිදී අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි කටයුත්තක් කරගෙන යාමේ දී එය මහජනතාව අතරට ගෙන යාම අමාත්‍යාංශයේ වගකීම වන බවයි.  


මෙහිදී කාරක සභාව නියෝගයක් නිකුත් කරමින් මෙම මුදල් වැය කළේ කුමන පදනමකින්ද යන්න සොයා බලා වාර්තා කරන ලෙසට දන්වා ඇත. විගණන මතය වී තිබුණේ ප්‍රචාරක කටයුතු සඳහා අවශ්‍ය නම් වෙනම ප්‍රතිපාදන ලබා ගතයුතු බවය. ව්‍යාපෘතියේ ප්‍රතිපාදන අනුමැතියකින් තොරව වියදම් කළ නොහැකි බවද පෙන්වා දී තිබිණි.  


රජයේ ගිණුම් කාරක සභාව දකුණු පළාත් සභාවේ කටයුතු විමර්ශනය කර ඇති අතර එහි දී රුපියල් මිලියන 9.6 ක් වැය කර 2006 වසරේ දී මිලදී ගත් තාර විදින යන්ත්‍රය නිසියාකාරව භාවිතයට නොගැනීම සහ බස්නාහිර පළාත් සභාවට කුලී පදනම මත ලබාදීමෙන් රුපියල් මිලියන 2 ක් අය වීමට තිබෙන බව විමර්ශනය කර ඇත.  


මෙම විමර්ශනය ගැන කරුණු දක්වමින් දකුණු පළාත් සභාවේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ අබලන් මාර්ග අලුත්වැඩියා කිරීමට මෙම යන්ත්‍ර මිලදී ගත් බවත් තාර යෙදීමේ දී අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග වෙනස් කිරීම නිසා මෙම යන්ත්‍රය භාවිත කිරීමට නොහැකි බැවින් දැනට භාවිත නොකරන බවත්ය.  


දකුණු පළාත් සංවර්ධන අධිකාරිය තේ පැළ ලක්ෂ 25 ක් සැපයීම සම්බන්ධව 2006 සිට 2011 වසර දක්වා කාලය තුළ කොන්ත්‍රාත් ගිවිසුම් 22 කට එළඹී තිබූ අතර එහිදී තේ පැළ අඩුවෙන් සැපයීම හා අධිකාරිය අත්තිකාරම් සහ අවසන් ගෙවීම් සිදු කිරීම නිසා 2013 මැයි මාසය වන විට අධිකාරියට රුපියල් එක්කෝටි අසූලක්ෂ තිස්හතර දහස් පන්සිය හත (18,034,507) ක ඍජු අලාභයක් සිදු වී ඇති බව අනාවරණය වී තිබිණි.  


වර්ෂ 2013 වන විට සැපයුම්කරුවන්ගෙන් අයවිය යුතු රුපියල් මිලියන 18 ක මුදල අය නොවීම නිසා රුපියල් පනස් හය ලක්ෂ හැටහත් දහස් දෙසිය හැටක (5,667,260) පොලී මුදලක් රජයට අහිමිවී ඇත.  


හිඟ මුදල් අයකර ගත යුතුව තිබිය දී බාහිර පුද්ගලයකුට අයත් ඉඩමක් මිලදී ගැනීම සඳහා අධිකාරිය කොන්ත්‍රාත්කරුට රුපියල් ලක්ෂ 6 ක මුදලක් ලබා දී තිබිණී.  


හම්බන්තොට අක්කර 55 ක භූමි ප්‍රමාණයක වූ ආදර්ශ සමොධායන ගොවිපළ හා සත්ව අභිජනන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සඳහා 2008 සිට 2014 දක්වා රුපියල් දෙකෝටි පනස් දෙලක්ෂ පනස් නව දහස් හයසිය තිස් අටක (25,259,638) මුදලක් වියදම් කර තිබුණත් එය මුළුමනින්ම අසාර්ථක වීම පිළිබඳව කාරක සභාව විමසුම් කර ඇති අතර එහිදී ප්‍රකාශ වී ඇත්තේ මෙම ගොවිපළට අයත් ඉඩම් අවට ප්‍රදේවාසීන් අත්පත් කරගෙන තිබෙන බැවින් ව්‍යාපෘතිය අක්‍රිය ස්වරූපයකින් පවතින බවයි.  


රජයේ ගිණුම් කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව මගින් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, උතුරු මැද පළාත් සභාව, නැගෙනහිර පළාත් සභාව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනක් පිළිබඳව විමර්ශන පවත්වා ඇත.

 

 

 

 

 

 

 

 

 

දයාසීලි ලියනගේ