රහස් පොලිසිය බ්යගැන්වූවාට හිටපු නියෝජ්‍ය පොලිස්පති වසර 5 කට දඟගෙට


2013 ජුනි මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ කොටුව පොලිස් මූලස්ථානය තුළ දී එවකට සහකාර පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් වන රංජිත් මුණසිංහ සහ ලාලිත ගීතාංජන ගුණවර්ධන මහත්වරුන්ට ‘‘මට තේරුණා උඹලා මට මේ වැඩේ කරනවා කියලා. හැබැයි හැමදාම උඹලට මාව මේක ඇතුළේ තියාගන්න බැහැ. ශානි මං මිනී මරුවෙක්, මං එළියට ගියදාට උඹලට කරන දේ බලාගනිල්ලා’’ කියමින් පොලිස් නිලධාරීන් තිදෙනාට මරණය හෝ බරපතළ තුවාල සිදුකරන බව හැඟවෙන ලෙස තර්ජනය කරන ලදැයි විත්තිකාර වාස් ගුණවර්ධන මහතාට එරෙහිව චෝදනා හයක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරනු ලැබීය.


එම නඩුවේ නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ වසන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ධුරය හොබවන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සාක්කි දෙමින්, ‘‘මොහොමඩ් සියාම් ඝාතන සිිද්ධිය සම්බන්ධයෙන් සර්, අත්අඩංගුවට ගන්නවා’’ කියා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට දැනුම් දුන් අවස්ථාවේදී අරෝවක ස්වරයෙන් කතා කළ ඔහු ‘‘ශානී, මං මිනී මරුවෙක්. මං හැමදාම ඇතුළේ ඉන්නේ නැහැ. මං එළියට ආවාම කරන දේ බලාගනින්’’ යනුවෙන් කී අවස්ථාවේදී මා සහ මගේ අඹු දරුවන්ගේ ජීවීත පිළිබඳ බියක් ඇති වුණා යැ’’යි පැවසීය.


එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා වැඩිදුරටත් සාක්කි දෙමින් ‘‘1996 වසරේදී උප පොලිස් පරීක්‍ෂවරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූ තමා, මේ වන විට අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුර දක්වා උසස්වීම් ලැබ රහස් පොලිසියේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන්නේ යැ’’යි පැවසීය.


‘‘මෙම නඩුවට අදාළ සිද්ධිය වූ 2013 ජුනි මාසය වන විට රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළා. 2013 මැයි මස 22 වැනි දා බම්බලපිටියේ දී මොහොමඩ් සියාම් නමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට පැමිණිල්ලක් ලැබුණු අතර, පොලිස්පතිවරයාගේ නියෝග මත ඒ සම්බන්ධ පරීක්‍ෂණ මා යටතට පත් කළා. ඒ වන විට මෙම සිද්ධිය පිළිබඳව බම්බලපිටිය හා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් පරීක්‍ෂණ සිදු කර ක‍්‍රිෂාන්ත විශ්වරාජ් කෝරලේ හා මොහොමඞ් ෆවුස්ඩීන් නමැති සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.


අපි පරීක්‍ෂණ ආරම්භ කළ පසු බස්නාහිර උතුර ප‍්‍රදේශය බාරව කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා යටතේ සේවය කළ උප පොලිස් පරීක්‍ෂක ලක්මිණ බමුණුසිංහ කොස්තාපල්වරුන් වන සනත්චන්ද්‍ර, සංජීව සහ කැලුම් නමැත්තන් අපි අත්අඩංගුවට ගත්තා. අපි මේ සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කරද්දී මෙම අපරාධයට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා වන රවිඳු වාස් ගුණවර්ධන සම්බන්ධ බවට තොරුතුරු හෙළි වුණා.’’


‘‘මා මේ බව හිටපු පොලිස්පති ඉලංගකෝන්, රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති රවීන්ද්‍ර සෙනෙවිරත්න, රහස් පොලිසියේ අධ්‍යක්‍ෂ ගාමිණී මතුරට, පොලිස් අධිකාරීවරුන් වන රණවක සහ ප‍්‍රියන්ත චන්ද්‍රසිරි යන මහත්වරුන්ට දැනුම් දුන්නා.’’


‘‘ඉන් පසු රහස් පොලිසියේ අධ්‍යක්‍ෂ ගාමිණී මතුරට මහතාගෙන් මට ලැබුණු උපදෙස්වලට අනුව මොහොමඩ් සියාම් ඝාතන සිද්ධිය පිළිබඳව ප‍්‍රකාශයක් ලබා ගැනීමට මා නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා කැඳවනු ලැබූ අතර 2013 ජුනි මස 10 වැනිදා දහවල් 11.00ට පමණ ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. එතැන් සිට ඔහුගේ ප‍්‍රකාශය සටහන් කරගත් අපි රාත‍්‍රී 9.15ට පමණ එය අවසන් කොට එම ප‍්‍රකාශය ඔහුට කියවීමට ලබාදුන්නා. එතුමා එය කියවා අවසන් කොට එයට අත්සන් කිරීමෙන් අනතුරව රාත‍්‍රී 9.45ට පමණ මොහොමඞ් සියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සර්, අත්අඩංගුවට ගන්නවා කියලා මා දැනුම් දුන්නා.’’
‘‘ඒ අවස්ථාවේදී නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඔහු ඉඳගෙන සිටි පුටුව එක පාරටම පස්සට දාලා නැඟිට්ටා, පසුව ඔහු කතා කොට ‘‘මට තේරුණා උඹලා මට මේ වැඩේ කරනවා කියලා. හැබැයි හැමදාම උඹලට මාව මේක ඇතුළේ තියාගන්න බැහැ. ශානි මං මිනී මරුවෙක්, මං එළියට ගියදාට උඹලට කරන දේ බලාගනිල්ලා’’ කිව්වා.


ඒ වේලාවේ එතැන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් වන රන්ජිත් මුණසිංහ, දිසානායක, පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා උප පොලිස් පරීක්‍ෂක උපාලි හා ප්‍රෙ‌්මතිලක යන නිලධාරීන් සිටියා. මේ තර්ජනය කිරීමෙන් අපිට මරණය හෝ බරපතළ තුවාල සිදුකරන බව හැඟී බියට පත්වුණා.


විනිසුරු ගිහාන් කුලතුංග මහතා: ඒ වන විට ඔබ සහකාර පොලිස් අධිකාරීවරයෙක්, මෙම විත්තිකරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් නේද?


පිළිතුර: ඔව්.


විනිසුරු ගිහාන් කුලතුංග මහතා: එතකොට කනිෂ්ඨ නිලධාරියකුට පුළුවන්ද ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අත්අඩංගුවට ගන්න?


පිළිතුර: අපරාධ නීතීය යටතේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් ප‍්‍රශ්න කිරීමට හෝ ඔහු අත්අඩංගුවට ගැනීමට කනිෂ්‍ඨ නිලධාරියෙකුට හැකියාව සහ බලය තියෙනවා. නමුත් විනය පරීක්‍ෂණයකදී පොලිස්පතිවරයා විසින් බලය පැවරීමක් කළේ නැත්නම් ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් ප‍්‍රශ්න කිරීමට හෝ ඔහු අත්අඩංගුවට ගැනීමට කනිෂ්ඨ නිලධාරියකුට හැකියාව සහ බලය ලැබෙන්නේ නැහැ. එවැනි අවස්ථාවක ජ්‍යෙෂ්ඨ නිලධාරියාට සමාන හෝ ඊට වඩා වැඩි ජ්‍යෙෂ්ඨත්වයකින් යුතු නිලධාරියකුට පමණයි අදාළ නිලධාරියාගෙන් ප‍්‍රශ්න කිරීමට හෝ ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාව තියෙන්නේ.


වාස් මහතාගේ සාක්කියෙන් අනතුරුව රහස් පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් වන රන්ජිත් මුණසිංහ සහ ලලිත ගීතාංජන දිසානායක යන මහත්වරුද සාක්කි දෙමින් ඒ තත්ත්වය සනාථ කළහ.


විත්ති වාචකය ඉදිරිපත් කරමින් වාස් ගුණවර්ධන මහතාම සාක්කි දෙමින් රහස් පොලිස් නිලධාරීන් තමන්ට එරෙහිව එල්ල කළ සියළු චෝදනා අසත්‍ය බව පවසමින්, දීර්ඝ සාක්කියක් ලබා දුන්නත් මෙම නඩුව සම්බන්ධයෙන් විත්තිකරු ලබාදුන් සාක්කිය සත්‍ය සාක්කියක් වශයෙන් පිළිගැනීමට හැකියාවක් නොමැති බව විනිසුරුවරයා සිය තීන්දුව දෙමින් සඳහන් කළේය.


මෙම නඩුවේ සම්පූර්ණ තීන්දුවම විවෘත අධිකරණයේදී විනිසුරුවරයා විසින් කියවමින් මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට අදාළව ගල්කිස්ස පොලිසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පරීක්‍ෂණ සිදුකිරීමෙන් අනතුරුව පොලිස්පතිවරයාගේ නියෝග මත මෙම අපරාධය පිළිබඳ පරීක්‍ෂණ කටයුතු රහස් පොලිසියට බාර වී ඇති බවත් ඒ වන විට විත්තිකාර වාස් ගුණවර්ධන මහතා කොළඹ උතුරු කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශ්‍යයෙන් කටයුතු කොට ඇති බවත් සඳහන් කළේය.


මෙම නඩුවට පාදක වූ සිද්ධිය වූ 2013 ජුනි මස 10 වැනි දා විත්තිකරු මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට අදාළව ප‍්‍රකාශ ලබාදීමට රහස් පොලිසියට පැමිණෙන විට එහි ප‍්‍රධානියා වශයෙන් කටයුතු කළ ගාමිණී මතුරට මහතා විත්තිකරුගේ මිතුරකු වශයෙන් කටයුතු කොට ඇති බව හෙළි වී ඇතැයිද එවැනි තත්ත්වයක් තුළ එවකට රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරීවරයකු වශයෙන් කටයුතු කළ ශානි අබේසේකර, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් වන රංජිත් මුණසිංහ සහ ලාලිත ගීතාංජන ගුණවර්ධන මහත්වරුන් සහ තවත් නිලධාරීන් පිරිසක් සමඟ එක්ව එක ආකාරයකට බොරුවක් ගෙතීමට හැකියාවක් හෝ අවශ්‍යතාවක් නැතැයිද සිය තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා මෙම නිලධාරීන්ගේ සාක්කිවල කිසිදු පරස්පරතාවක් නැතැයිද තීන්දු කළේය.


රහස් පොලිසියේ ප‍්‍රධානියා වන ගාමිණී මතුරට මහතාගේ මිතුරකු වීම නිසා තමන්ගෙන් ප‍්‍රකාශයක් ගැනීමෙන් අනතුරුව තමන් අත්හරීවී යනුවෙන් විත්තිකරු සිතා සිටියත් එය ඉටු නොවූ තැන උරණ වූ විත්තිකරු, නිලධාරීන් තැති ගැන්වීමේ අරමුණින් මේ අකාරයෙන් කටයුතු කොට ඇති බව පෙනෙන්නට ඇතැයිද සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරු තවත් පොලිස් නිලධාරීන් පිරිසක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනිස් ඝාතන චෝදනාවකට බවත් විත්තිකරුගේ තර්ජනය හේතුවෙන් රහස් පොලිස් නිලධාරීන් තුළ තැති ගැන්වීමක් සිදුවිය හැකි බවටද තීරණය කළේය.


ඒ අනුව විත්තිකරුට එරෙහි චෝදනාවකට විත්තිකරු වරදකරු බව තීරණය කළ විනිසුරුවරයා විත්තිකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට වසර 05ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්ද රුපියල් 25,000/-ක දඩයක්ද නියම කළේය.


නිල ඇඳුමක් අඳින විත්තිකරු කියන කරුණු සාමාන්‍ය පුද්ගලයකු පවසන කරුණකට වඩා බරපතළ බවත් ඔහු අත්අඩංගුවට ගන්නා ලද කරුණ සමඟ බලද්දී එය ඉතාම බරපතළ තත්ත්වයක් බවත් තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන් විිනිසුරුවරයා එවැනි තත්ත්වයක් තුළ මෙම චෝදනාව සම්බන්ධයෙන් ලිහිල් ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නැතැයි සඳහන් කරමින් විත්තිකරුට මෙලෙස දඬුවම් නියම කළේය.

 

 

 

සටහන - මනෝප‍්‍රිය ගුණසේකර